සෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සෝණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
සෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන, ගුණ කියන, ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සෝණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. සෝණ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
සෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
සෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ, එය උපාදාන කොට නැත්තේ වේ. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. සෝණ, යම් හේතුවකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
1. 13. 6.
ඝෝසිත සූත්‍රය
129. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය සැලකෙළේ ය. වහන්ස, ආනන්‍දයෙනි, “ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය” යි කියනු ලැබේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණෙකින් “ධාතුනානාත්‍වය” වදාරන ලද්දේ දැ යි.
ගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද උපේක්‍ෂාවට කරුණු වූ රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
ගැහැවිය, සෝතධාතුව ඇත ... ගැහැවිය, ඝානධාතුව ඇත ... ගැහැවිය, ජිව්හාධාතුව ද මනවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මන නොවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මැදහත්බවට කරුණු වූ රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
ගැහැවිය, කායධාතුව ඇත ... ගැහැවිය, මනෝධාතුව ද මනවඩන දහම් ද මනෝවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මනනොවඩන දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මැදහත් බවට කරුණු වූ දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය වදාරන ලදී යි.
1. 13. 7.
හාලිද්දිකානි සූත්‍රය
130. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝරයෙහි පවත්ත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, “ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී, ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදීය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී ද? ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී දැ?යි.
ගැහැවිය, මෙහි මහණ ඇසින් රුවක් දැක මෙසේ මෙය මනවඩන්නේ ය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා සුවවේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක මෙසේ මෙය මන නො වඩනේය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද දුක්වේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා දුක්වේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක
මෙසේ මේ මැදහත් බවට කරුණුය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
ගැහැවිය, නැවත අනෙකක් ද කියමි. මහණ කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන මෙසේ මෙය මන වඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා සුවවේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මන නොවඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් දුක්වේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා දුක්වේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මැදහත්බවට කරුණුය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙසේ ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී යි.
1. 13. 8.
නකුලපිතු සූත්‍රය
131. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර මිගදාය වූ භේසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි නකුලපිය ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නකුලපිය ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිමැ? යි.
ගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
ගැහැවිය, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවිය, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
ගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
ගැහැවිය, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ සිත එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවිය යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
1. 13. 9.
ලෝහිච්ච සූත්‍රය
132. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි මක්කරකට නුවර වනකිළියෙක වැඩවෙසෙති. එකල්හි ලෝහිච්ච බමුණාගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ වනකිළිය වෙත එළඹියහ. එළඹ කිසියම් කිසියම් ක්‍රීඩා කරන්නාහු “මොහු මුඬුවෝය. නින්‍දිත මහණෝ ය. ගැහැවියෝ ය. කෘෂ්ණයෝ ය, බඹහු පිටිපත්ලෙන් උපන්නෝ ය, මේ භරතකයන් හෙවත් කෙළෙඹියන් විසින් සත්කාර කරන ලද්දාහු ගරු කරන ලද්දාහු බුහුමන් කරන ලද්දාහු පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් දක්වන ලද්දාහු ය” යි උස්හඬ මහහඬ ඇත්තාහු කිළිය අවට නැවත නැවත සක්මන් කෙරෙත්, සිසාරා යෙත්.
එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ වෙහෙරින් නික්ම ඒ මාණවකයන්ට මෙය වදාළහ: මාණවකයෙනි, “තෙපි නහමක් ශබ්ද කරවු. තොපට දහම් දෙසන්නෙමි” යි. මෙසේ වදාළ කල්හි ඒ මණෙව්වෝ නිහඬ වූහ. එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ඒ මණෙව්වන්ට ගාථායෙන් වදාළහ:
යම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද, ඉතා පැරණි ඒ බමුණෝ ශීලය උතුම් කොට ඇත්තෝ වූහ. ක්‍රෝධය මැඬලා සිටි ඔවුන්ගේ (චක්‍ෂුරාදි) ද්වාරයෝ ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු වූහ.
යම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද එබමුණෝ (දසකුශලකර්‍මපථ) දහම්හි ද (අටසමවත්) දහම්හි ද ඇලුණෝ වූහ. මොහු වූකලී ඒ ගුණවලින් ඉවත්ව (අපි) ජප කෙරෙමු යි කුලයෙන් මත් වූවෝ ක්‍රෝධයෙන් මඬනා ලද්දෝ ගන්නා ලද නොයෙක් දඬු ඇත්තෝ තැතිගන්නා (නො රහත්) නොතැතිගන්නා (රහත්) සත්ත්‍වයන් කෙරෙහි වරද කරන්නෝ විෂම වූ කායකර්‍මාදිය කෙරෙත්.
නොරක්නා ලද ඉඳුරන් ඇත්තහුගේ (ව්‍රතසමාදානයෝ) පුරිස්හට සිහිනෙන් ලත් ධනයක් මෙන් සිස් වෙත්. (දැන් බමුණෝ) එක් දින දෙදින උපවාස කරන්නාහු නිල්කුසතණ අතුළ බිම හෝනාහු උදෑසන දියට බැස නහන්නාහු (වෙති) වේදත්‍රය ද රළු අඳුන් දිවිසම ද දළමඬුලු ද දත්මල ද තපෝමන්ත්‍ර ද අජව්‍රත ගෝව්‍රතාදි ශීලව්‍රත ද (මේ මෙ කල බමුණන්ගේ තපසි) කොහොන්බව ද වක්දඬු ද දියෙන් මුව පිරිමැදුම ද යන මොහු බමුණන් විසින් කිසියම් ආමිසයක් වැඩීම පිණිස කරන ලද ආකල්පයෝ වෙත්.
(පැරණි බමුණන්ගේ) සිත උපචාර අර්‍පණ වශයෙන් මැනවින් සමාධිගත ය. වෙසෙසින් පහන් ය. නොකැලඹුණේ ය. සියලු සතුන් කෙරෙහි මොළොක් ය. සෙටබවට පැමිණීමේ මග ය. (කිම තෙපි බමුණු වහුදැ යි)
ඉක්බිති ඒ මණෙව්වෝ කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු ලෝහිච්ච බමුණු වෙත එළඹියාහු ය. එළඹ ලෝහිච්ච බමුණාට මෙය කීහ; කිම භවත් දන්නේ ද? මහාකච්චාන මහණ බමුණන්ගේ මන්ත්‍රයනට ඒකාන්තයෙන් නින්‍දා කෙරෙයි, දොස් පහළ කෙරෙයි.
මෙසේ කී කල්හි ලෝහිච්ච බමුණු කිපියේ නො සතුටු සිත් ඇත්තේ වි ය. එකල්හි ලෝහිච්ච බමුණුහට මෙබඳු සිතෙක් වි ය: යම්බඳු මම මණෙව්වන්ගෙන් පමණක් අසා මහාකච්චාන මහණහට දොස් නගන්නෙම් නම් පරිභව කරන්නෙම් නම් මෙය මට ඒකාන්තයෙන් සුදුසු නො වේ. මම එළඹ පුළුවුස්නෙම් නම් මැනවැ යි.
ඉක්බිති ලෝහිච්ච බමුණු ඒ මණෙව්වන් සමඟ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ලෝහිච්ච බමුණු ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය කී ය:
භවත් කච්චානයෙනි, අපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු දැ? යි. බමුණ, තොපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු ය යි. ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ?යි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී ය යි. ඒ කෙසේ නම් ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කථාසල්ලාපය වී දැයි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කථාසල්ලාපය මෙසේ වී ය;
යම් කෙනෙක් පැරණි බමුණු දහම් සිහි කෙරෙත් නම් ඉතා පැරණි වූ ඔහු ශීලය උතුම් කොට ඇත්තෝ වූහ ... සියලු සතුන් කෙරෙහි මොළොක් නම් එය සෙට බවට පැමිණීමේ මඟ යි.
බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කථාසල්ලාපය මෙසේ වී ය යි.
භවත් කච්චානයෝ අගුත්තද්වාර ය යි කියති. භවත් කච්චානයෙනි, කෙතෙකින් අගුත්තද්වාර වේ දැ? යි. බමුණ, මෙහි කිසිවෙක් ඇසින් රූ දැක පියදෑ වූ රූහි ගිජු වෙයි, නොපියදෑ වූ රූහි කිපෙයි. නො එළඹ සිටි කය පිළිබඳ “සිහි ඇත්තේ පරිත්ත (සකිලිටි) සිත් ඇත්තේත් වෙසෙ යි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ නො වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ නො දනී.
කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පිය දෑ වූ දහම්හි ගිජු වූයේ වෙයි. නො පියදෑ වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ සකිලිටි සිත් ඇත්තේත් වෙසෙයි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ නො වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ නො දනී. බමුණ, මෙසේ අගුත්තද්වාර වෙ යි.
භවත් කච්චානයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් කච්චානයෙනි, අද්භූත යැ. භවත් කච්චානයන් විසින් යම්තාක් අගුත්තද්වාර වූයෙක් ම අගුත්තද්වාර ය යි පවසන ලද්දේ ය. භවත් කච්චානයෝ ගුත්තද්වාරය යි කියති. භවත් කච්චානයෙනි, කෙතෙකින් ගුත්තද්වාර වේ දැ? යි.
බමුණ, මෙහි මහණ ඇසින් රූ දැක පිය දෑ වූ රූහි නො ගිජු වෙයි. නො පිය දෑ වූ රූහි නො කිපෙයි. එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ අප්‍රමාණ (නිකෙලෙස්) සිතැත්තේත් වෙසෙ යි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනියි. කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි නො ගිජු වූයේ වෙයි. නො පියදෑ වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ නිකෙලෙස් සිතැත්තේත් වෙසෙයි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනී. බමුණ, මෙසේ ගුත්තද්වාර වේ යි.
භවත් කච්චානයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් කච්චානයෙනි, අද්භූත යැ. භවත් කච්චානයන් විසින් යම්තාක් ගුත්තද්වාර වූයෙක් ම ගුත්තද්වාර ය යි පවසන ලද්දේ ය. භවත් කච්චානයෙනි, ඉතා මැනවි. භවත් කච්චානයෙනි, ඉතා මැනවි. භවත් කච්චානයෙනි, යම්සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් හෝ වැසුම් හරින්නේ ද මංමුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් ම භවත් කච්චානයන් විසින් නන් අයුරින් දහම් පවසන ලදි.
භවත් කච්චානයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ යමි. භවත් කච්චානයෝ, අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරත්වා. භවත් කච්චානයෝ මක්කරකට නුවර උපාසක කුලයන් කරා යම්සේ එළඹෙත් නම් එසෙයින් ම ලෝහිච්ච කුලයට ද එළඹෙත්වා. එහි යම් මණෙව්වෝ හෝ මෙණෙවියෝ හෝ භවත් කච්චානයන් වඳින්නාහු නම් උවැටැන් කරන්නාහු නම් අසුන් හෝ දිය හෝ දෙන්නාහු නම් ඔවුන්ට එය දිගුකලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය යි.
1. 13. 10.
වේරහච්චානි සූත්‍රය
133. එක්කලෙක ආයුෂ්මත් උදායි තෙරණුවෝ කාමණ්ඩා නුවර තෝදෙය්‍ය බමුණුගේ අඹවෙනෙහි වැඩවෙසෙති. එකල්හි වේරහච්චානි ගොත් ඇති බැමිණියගේ අතැවැසි මණෙවු ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මණෙව්වාට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කරවූහ.
ඉක්බිති ඒ මණෙවු ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන්කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට වේරහච්චානිගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය. පින්වතිය කිම දන්නෙහි ද? “උදායි ශ්‍රමණයෝ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති” යි.
මණෙව්ව, එසේ වී නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. එසේ ය පින්වතිය යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිවදන් දී ආයුෂ්මත් උදායි තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය සැලකෙළේ ය; “භවත් උදායි තෙරණුවෝ අප ඇදුරු බිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් උදායි තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් ප්‍රණීත වූ කෑයුතු බිදිය යුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් වළඳා නිම වූවන් පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තවුන් (දැන) වහන් නැඟී උස්අස්නෙක හිඳ හිස වසා පෙරෙව ගත්තී ආයුෂ්මත් උදායී තෙරුන්ට මහණ “බණ කියනු මැනව” යි මෙය කිවු ය. නැගෙණියෙනි, “(මතු එයට) කාලයෙක් වන්නේ ය” යි වදාරා හුනස්නෙන් නැගිට වැඩියහ.
දෙවන වට දු ඒ මණෙවු තෙමේ ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය.
එකත්පස් ව හුන් ඒ මණෙවුහට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමිකතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. දෙවනවට දු ඒ මණෙවු ආයුෂ්මත් උදායී තෙරුණුවන් විසින් දැහැමිකතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැඟිට වේරහච්චානි ගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය: පින්වතිය, කිම දන්නෙහි ද? උදායි මහණහු මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති යි. මණෙව්ව, තෙපි මෙසේ ම උදායි මහණහුගේ ගුණ කියව. උදායි මහණ වනාහි මහණ, බණ කියනු මැනව යි කියන ලදුයේ ම නැගණියෙනි, (එයට) “කලෙක් වන්නේ ය” යි කියා හුනස්නෙන් නැඟිට වෙහෙරට ගියේ යි.
ඒ එසේම ය. පින්වතිය, තෙපි වහන් නැඟී උස් අස්නෙක හිඳ හිස වසා පෙරෙව මහණ “බණ කියනු මැනවැ” යී මෙය කීහු. ඒ භවත්හු ධර්‍මය ගුරු කොට ඇත්තෝ ධර්‍මයට ගෞරව කරන්නෝ යි. මණෙව්ව එසේ නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. “එසේය පින්වතිය” යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිතුරු දී ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
භවත් උදායි තෙරණුවෝ අප ඇදුරුබිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායී තෙරහු ප්‍රණීත වූ කෑයුතු බිදියයුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරණුවන් වළඳා නිම වූවන් පාත්‍රයෙන් ඉවත් කළ අත්ඇත්තවුන් (දැන) වහනින් බැස මිටි අස්නෙක හිඳ හිස විවර කොට ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවු ය.
වහන්ස, කුමක් ඇති කල්හි රහත්හු සුවදුක් පනවද්ද? කුමක් නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත් දැ?යි. නැගෙණියෙනි, ඇස ඇති කල්හි රහත්හු සුවදුක් පනවත්. ඇස නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත් ... දිව නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත්. කය ... සිත ඇති කල්හි රහත්හු සුවදුක් පනවත්. සිත නැති කල්හි රහත්හු සුවදුක් නො පනවති යි.
මෙසේ වදාළ කල්හි වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන්ට මේ කිවු ය. වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි. වහන්ස, යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූ දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසෙයින් ම උදායි ආර්‍ය්‍යයන් විසින් නන්අයුරින් දහම් පවසන ලදි. උදායි, ආර්‍ය්‍යයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ යමි. උදායි ආර්‍ය්‍යයෝ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවැසියක කොට දරත්වා යි.
තෙළෙස් වැනි ගහපති වර්‍ගයි.
එහි සූත්‍රනාමාවලිය:
වේසාලි, වජ්ජි, නාලන්‍දා, භාරද්වාජ, සෝණ, ඝෝසිත, හාලිද්දක, නකුලපිතු, ලෝහිච්ච, වේරහච්චානි ය යි සූත්‍ර දශයෙකි.
14. දේවදහ වර්‍ගය
1. 14. 1.
දේවදහ සූත්‍රය
134. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නොපමාව කටයුතු ය යි නො කියමි. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නො පමාව නො කට යුතු ය යි ද නො කියමි.
මහණෙනි, රහත් වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්ඵල) ය ඇති ක්‍ෂය කළ බවබැඳුම් ඇති, මැනවින් දැන මිදුණු යම් ඒ භික්‍ෂූහු වෙත් නම් මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔවුන් විසින් නො පමාව කරන ලදි. ඔහු පමා වන්නට නුසුදුස්සෝ ය.
මහණෙනි, යම් ඒ භික්‍ෂූහු ශෛක්‍ෂ වූවාහු නො පැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර වූ නිවන පතමින් වෙසෙද්ද, මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද ඇසින් දතයුතු රූපයෝ ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය, සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු යයි කියමි.
මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කනින් දතයුතු ශබ්දයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද දිවෙන් දතයුතු රසයෝ ඇතියහ. ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කයින් දතයුතු පහස්හු ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද සිතින් දතයුතු දහම්හු ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලාගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය. සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි යි.
1. 14. 2.
ඛණ සූත්‍රය
135. මහණෙනි, තොපට ලාභයෙකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි, බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය. මහණෙනි, මවිසින් ඡඵස්සායතනික නම් නිරයයෝ දක්නා ලදහ. එහි ඇසින් යම් කිසි රුවක් දකී නම් අනිටු සැහැවි (ස්වභාව) ඇත්තක් ම දකී. ඉටු සැහැවි ඇත්තක් නො දකී. නො කැමති සැහැවි ඇත්තක් ම දකී. කැමති සැහැවි ඇත්තක් නො දකී. නො මනා සැහැවි ඇත්තක් දකී. කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් පුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් අනිටු සැහැවි ඇත්තක් ම දනී. ඉටු සැහැවි ඇත්තක් නො දනී. නො කැමති සැහැවි ඇත්තක් ම දනී. කැමති සැහැවි ඇත්තක් නො දනී. නො මනා සැහැවි ඇත්තක් ම දනී. මනා සැහැවි ඇත්තක් නො දනී.
මහණෙනි, තොපට ලාභයකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට තොප විසින් සුදුසු අවස්ථාව ලබන ලද්දේ ය. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලදහ. එහි ඇසින් යම්කිසි රුවක් දකී නම් ඉටු සැහැවි ඇත්තක් ම දකී. අනිටු සැහැවි ඇත්තක් නො දකී. කැමති සැහැවි ඇත්තක් ම දකී. නො කැමති සැහැවි ඇත්තක් නො දකී. මනා සැහැවි ඇත්තක් ම දකී. නො මනා සැහැවි ඇත්තක් නො දකී.
කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් ඵුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් ඉටු සැහැවි ඇත්තක් ම දනී. අනිටු සැහැවි ඇත්තක් නොදනී. කැමති සැහැවි ඇත්තක් ම දනී. නො කැමති සැහැවි ඇත්තක් නො දනී. මනා සැහැවි ඇත්තක් ම දනී. නො මනා සැහැවි ඇත්තක් නොදනී. මහණෙනි, තොපට තොපට ලාභයෙකි. මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය යි.
1. 14. 3.
සගය්හ සූත්‍රය
136. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. සදෙහි ඇලුම් ඇත්තාහු ... ගඳෙහි ඇලුම් ඇත්තාහු ... රසෙහි ඇලුම් ඇත්තාහු ... පහස්හි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු දහම් අරමුණෙහි ඇලුම් ඇත්තාහු දහම්හි ඇලුණාහු දහම්හි සතුටු වූවාහු වෙත්. මහණෙනි, දෙවිමිනිස්සු දහම්හි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
මහණෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. ශබ්දයන්ගේ ... ගන්‍ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ... ධර්‍මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන දහම් අරමුණෙහි ඇලුම් නැත්තේ දහම්හි නො ඇලුණේ දහම්හි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙසේ පවසා යළි මතු ද මෙය වදාළ සේක:
ඉටු කැමති මනවඩන සියලු රූ සද ගඳ පහස් දහම්හු යම් තාක් ඇතැ යි කියනු ලැබේ ද,
දෙවියන් සහිත ලෝවැස්සා විසින් මොහු සුව යයි සම්මතයහ. යම් තැනෙක මොහු නිරුද්ධ වෙද්ද එය ඔවුන් විසින් දුක් යයි සම්මත ය.
සක්කායයාගේ වැලැක්ම සුව යයි ආර්‍ය්‍යන් විසින් දක්නා ලදි. දක්නවුන්ගේ මෙය (නුවණැත්තන්ගේ මේ දර්‍ශනය) මුළුලෝකයා හා විරුද්ධ වේ.
අන්හු යම්ක් සුව විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය දුක් විසින් කියත්. අන්හු යමක් දුක් විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය සුව විසින් දනිත්.
දැනීමට දුෂ්කර වූ දහම දකිවු. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.
දක්නා සත්පුරුෂයන්ට එළියක් මෙන් විවර වූයේ වෙයි. දහම්හි අදක්‍ෂ වූ (ඒ) මෘගයෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.
භවරාගයෙන් මැඩුණු භවස්‍රෝතස අනුව යන මාරධෙය යි කියන ලද සසරවට පැමිණියවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට හැක්කේ නො වෙයි.
යම් නිර්‍වාණ පදයක් මනානුවණින් දැන කෙලෙස් රහිත ව පිරිනිවෙද්ද ඒ නිවන්පදය අවබෝධ කරන්නට රහතුන් හැර අන් කවරෙක් සුදුසු වේ දැ යි.
1. 14. 4.
ගය්හ සූත්‍රය
137. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයාගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. ශබ්දයෙහි ඇලුම් ඇත්තාහු ... ගන්‍ධයෙහි ඇලුම් ඇත්තාහු ... රසයෙහි ඇලුම් ඇත්තාහු ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු ධර්‍මයෙහි ඇලුම් ඇත්තාහු ධර්‍මයෙහි ඇලුණාහු ධර්‍මයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු ආරම්මණ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
මහණෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි ... ශබ්දයන්ගේ ... ගන්‍ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ... ධර්‍මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන ධර්‍මයෙහි ඇලුම් නැත්තේ ධර්‍මයෙහි නො ඇලුණේ ධර්‍මයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසේ යි.
1. 14. 5.
පලාස සූත්‍රය
138. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, ඇස තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කය තොපගේ නො වෙයි. ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජන තෙමේ එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජන තෙමේ අප ගෙන ය යි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපගේ ආත්මය (තමා) හෝ ආත්මීය (තමා පිළිබඳ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම ඇස තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව ... කය ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 14. 6.
දුතිය පලාස සූත්‍රය
139. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූ තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජනයා එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජනයා අප ගෙන යයි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපට ආත්ම (තමා) හෝ ආත්මීය (තමා ගේ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම රූ තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 14. 7.
අජ්ඣත්ත අනිච්ච සූත්‍රය
140. මහණෙනි, ඇස අනිත්‍ය ය. ඇස හටගැනීමට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් ඒද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් නිත්‍ය වන්නේ ද? කන ... නැහැය ... දිව අනිත්‍ය ය. දිව හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හෙයින් හටගත් දිව කවර හෙයින් නිත්‍ය වන්නේ ද? කය ... සිත අනිත්‍ය ය. සිත හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සිත කවර හෙයින් නිත්‍ය වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් ... නැහැයෙහිත් ... දිවෙහිත් ... කයෙහිත් ... සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කට යුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 8.
අජ්ඣත්ත දුක්ඛ සූත්‍රය