සුත්‍රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ප්‍රථම භාගය
සගාථ වර්‍ගය
1. දේවතා සංයුත්තය
1. නළ වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
ඕඝතරණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, නුඹවහන්සේ කෙසේ ඕඝය තරණය කළ සේක් ද?
[භගවත්හු:]
ඇවැත්නි, මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි.
නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කළ සේක් ද?
[භගවත්හු:]
ඇවැත්නි, මම යම් විටෙක පිහිටා සිටිම් ද එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම් ද එකල්හි ඉල්ප යෙමි. ඇවැත්නි, මෙසේ මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි.
[දෙවි:]
නො පිහිටමින් වෑයම් ද නො කරමින් ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ ක්‍ෂීණාස්‍රවබ්‍රාහ්මණයකු කලෙකින් දකිමි.
ඒ දෙවි තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ මැනවින් අනුදත් සේක.
ඉක්බිති ඒ දෙව් තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මාගේ වචනය අනුදත් සේකැ” යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
1. 1. 2.
නිමොක්ඛ සූත්‍රය
2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.
එකල්හි මනා වර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දන්නා සේක් ද?
[භගවත්හු:]
ඇවැත්නි, මම සත්ත්‍වයන්ගේ නිමොක්ඛය (=මාර්‍ගය) ද පමොක්ඛය (=ඵලය) ද විවේකය (=නිවණ) ද දනිමි.
[දෙවි:]
නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දන්නා සේක් ද?
[භගවත්හු:]
ඇවැත්නි, තෘෂ්ණාව මුල් කොට ඇති කර්‍මභවය ක්‍ෂය කිරීමෙන් ද, සංඥා විඥානයන් ගෙවාලිමෙන් ද, වේදනාවන්ගේ නිරෝධයෙන් හා සන් හිඳීමෙන් ද මම මෙසේ සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දනිමි යි.
1. 1. 3.
උපනීයති සූත්‍රය
3. සැවැත්නුවර–
ඉක්බිති ඒ දෙව් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්‍ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.
[භගවත්හු:]
ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට (පිහිට වීමට) රක්‍ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නා නිවණ පතන පුඟුල්තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේයි.
1. 1. 4.
අච්චෙන්ති සූත්‍රය
4. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(පෙරවරු ආදි) කාලයෝ ඉක්ම යෙති. රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සැප එළවන පින් කරන්නේ ය.
[භගවත්හු:]
කාලයෝ ඉක්ම යති. රාත්‍රීහු (පුරුෂයා) මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ, නිවන් පතනුයේ (භවත්‍රය සඞ්ඛ්‍යාත) ලෝකාමිෂය දුරු කරන්නේයි.
1. 1. 5.
කතිජින්‍ද සූත්‍රය
5. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළකළේ ය:
කෙතෙක් සිඳින්නේ ද? කෙතෙක් දුරු කරන්නේ ද? මත්තෙහි කෙතෙක් වඩන්නේ ද? කෙතෙක් සඞ්ග (ඇලීම්) ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ ද?
[භගවත්හු:]
පසක් සිඳින්නේ ය. පසක් දුරු කරන්නේ ය, ඉන් මතුයෙහි පසක් වඩන්නේ ය. සඞ්ග පසක් ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ.
1. 1. 6.
ජාගර සූත්‍රය
6. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද? (කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද? කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද? කෙතෙකින් පිරිසිදු වේ ද?
[භගවත්හු:]
පස් දෙනෙකුන් නිදි වරද්දී පස්දෙනෙකුන් නිදිගත්තාහු වෙත්. පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්. පසෙකින් කෙලෙස් රජස් ගණී. පසෙකින් පිරිසිදු වේ යි.
1. 1. 7.
අප්පටිවිදිත සූත්‍රය
7. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ නොකරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලබත් ද? නිදිගත්තා වූ ඔහු නුපුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
[භගවත්හු:]
යම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ කරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි නො පමුණුවනු ලබත්. (සර්‍වඥාබුද්ධාදි) බුදුවරයෝ මනා කොට දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත්.
1. 1. 8.
සුසම්මුට්ඨ සූත්‍රය
8. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ වෙසෙසින් නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලැබෙත්. ඔහු නිදි ගත්තාහු නො පුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
[භගවත්හු:]
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ නො නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි නොපමුණුවනු ලැබෙත්. (සර්‍වඥබුද්ධාදි) බුදුවරු මැනවින් දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත් යී.
1. 1. 9.
නමානකාම සූත්‍රය
9. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මෙහි මානය කැමැත්තහුට දමයෙක් (=හිතෙහි සන්හුන් පැවැත්මෙක්) නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් (සිවුමග නුවණෙක්) නැත. වනයෙහි හුදකලා ව ප්‍රමත්ත ව වෙසෙන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.
[භගවත්හු:]
මානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදකලා ව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ යී.
1. 1. 10.
අරඤ්ඤ සූත්‍රය
10. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළ කෙළේය:
වෙනෙහි වසන එක්වේලේ අහර වළඳන ශාන්තබ්‍රහ්මචාරීන්ගේ වර්‍ණය කවරහෙයෙකින් පහදී ද?
[භගවත්හු:]
ඉකුත් දෑ ගැණ ශෝක නො කෙරෙති. නො ලත් දෙය නො පතති. පවත්නා දෙයින් යැපෙත්. එයින් ශරීරවර්‍ණය පහදී.
නො ලත් දෙය පැතීමෙන් හා ඉකුත් දෑ ගැණ ශෝක කිරීමෙන් දැයි යන මෙයින් බාලයෝ සිඳින ලද නිලිගත් බටදඬක් සෙයින් වියලෙත්යි.
නළ වර්‍ගය පළමු වැනියි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝතරණ, නිමොක්ඛ, උපනීයති, අච්චෙන්ති, කතිජින්‍ද, ජාගර, අප්පටිවිදිත, සුසම්මුට්ඨ, නමානකාම, දස වැනි වූ අරඤ්ඤ සූත්‍රය යි එයින් පළමු වන වර්‍ගය කියනු ලැබේ.
2. නන්‍දන වර්‍ගය
1. 2. 1.
නන්‍දන සූත්‍රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂුහු ‘පින්වතුන් වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා වැසි එක්තරා දෙවියෙක් දිවසරන් විසින් පිරිවරණ ලදුයේ දිව්‍යපඤ්චකාම සම්පත්තියෙන් සමන්‍විත වූයේ ඉඳුරන් පිණවන්නේ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙක් පිරිවර ඇති තව්තිසා වැසි දෙවියන්ගේ වාසස්ථාන වූ නදුනුයන නො දකිද්ද? ඔහු සැපය නො දනිත්.
මහණෙනි, මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් ඒ දෙවියාට ගාථාවකින් පිළිතුරු දුන්නේ ය:
බාලය, තෝ “සියලු සංස්කාරය අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සන්හිඳීම සැප ය” යන රහතුන් වදන ලෙස නො දන්හියි.
1. 2. 2.