ඇවැත්නි, ඇස නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, කන නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, නැහැය නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, දිව නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, කය නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, සිත නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ නම් ශාසනයෙහි මේ ලෝකය යි කියනු ලැබේ.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි’ යි. යම් උද්දේසයක් තොපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් මම මෙසේ දනිමි. තවද ඇවැත්නි තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අරුත පුළුවුස්නවුය. භාග්‍යවතුන් වහන්සේ යම්සේ තොපට වදාරන සේක් නම් එසෙයින් මෙය දරවු ය යි.
“එසේ ය ඇවැත්නි” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි යම් උද්දේසයක් සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, වහන්ස ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි දැක්ක හැකි යැ යි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි’ යි. මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි.
වහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ” යි.
වහන්ස, ඉක්බිති අපි ආනන්‍ද ආයුෂ්මතුන් වෙත එළඹුනෙමු. එළඹ ආනන්‍ද ආයුෂ්තුන්ගෙන් මේ අරුත පුළුවුසුම්හ. වහන්ස, ඒ අපට ආනන්‍ද ආයුෂ්මතුන් විසින් මේ අයුරින් මේ පදවලින් මේ අකුරුවලින් අරුත බෙදන ලද්දේ ය යි. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහපැනැත්තෝහ. මහණෙනි තෙපි මගෙනුදු මේ අරුත පුළුවුස්නහු නම් මම ද එය මෙසේ ම පවසන්නෙම් වෙමි. ආනන්‍දයන් විසින් එය යම්සේ පවසන ලද්දේ නම් මෙය ම මෙහි අරුත ය. මෙසේ ම එය දරවු ය යි.
1. 12. 4.
කාමගුණ සූත්‍රය
117. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පස්කම්ගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි මා සිත පවත්නේ බහුල වශයෙන් පවත්නේ ය. වර්‍තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය.) අනාගත පඤ්චකාමගුණයන්හි ද මඳ වශයෙන් (පවත්නේ ය.)
මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද තමහට වැඩ කැමති මා විසින් එහි අප්‍රමාදය හා සිහිය යන සිතේ ආරක්‍ෂාව කටයුතුය කියා යි.
මහණෙනි, එහෙයින් මෙහි ලා තොපට ද තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි තොපගේ සිත පවත්නේ බහුල කොට පවත්නේ ය. වර්‍තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය) අනාගත පඤ්චකාමගුණයන්හි ද මද කොට (පවත්නේ ය.) මහණෙනි, එහෙයින් මෙහි ලා තොප විසිනුදු තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි ලා තමහට වැඩකැමති තොප විසින් අප්‍රමාදය හා සිහිය යන සිතේ ආරක්‍ෂාව කට යුතු යැ.
මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක කනත් නිරුද්ධ වේ නම් ශබ්දසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක නැහැයත් නිරුද්ධ වේ නම් ගන්‍ධසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක දිවත් නිරුද්ධ වේ නම් රසත් නැති වේ නම් ඒ ආයතනය දත යුතු ය. යම් තැනෙක කයත් නිරුද්ධ වේ නම් ස්ප්‍රෂ්ටව්‍යසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි.
එකල්හි ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වි ය: මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආනන්‍ද ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආනන්‍ද ආයුෂ්මතුන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආනන්‍ද අයුෂ්මතුන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ. ඇවැත්නි ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු යයි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
ඇවැත්නි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දත යුතුය ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු යයි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ” යි.
ඇවැත්නි, ඒ අපට මෙබඳු සිතෙක් විය: “මේ ආනන්‍ද ආයුෂ්මත්හු ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගෙන් මේ අරුත් පුළුවුස්නමෝ නම් මැනවැයි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදා විස්තර කෙරෙත්වා” යි.
ඇවැත්නි, යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් පවත්නා හර ඇති මහරුකෙක මුලත් ඉක්ම කඳත් ඉක්ම අතුකොළවල හර සෙවියයුතු යයි හඟනේ නම් මෙ ද එබඳු ය. ආයුෂ්මතුන්ට ශාස්තෲන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මැ මේ අරුත අපගෙන් පිළිවිසිය යුතු ය යි හඟිවු ද. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දන්නෝම දනිති. දක්නාහුම දකිති. චක්‍ෂූර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘහ. ප්‍රවක්තෘහ. අර්‍ත්‍ථය පිළිබඳ නිර්නේතෘහ. අමෘතදායකයහ. ධර්‍ම ස්මාමීහ. තථාගතයහ. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නහු නම් එයට මෙය ම කාලය වීය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ තොපට වදාරන සේක් නම් එපරිද්දෙන් එය දරව යි.
ඇවැත්නි ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දන්නාහුම දනිති, දක්නාහුම දකිති. චක්‍ෂුර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘහ. ප්‍රවක්තෘහ. අර්‍ත්‍ථය පිළිබඳ නිර්නේතෘහ. අමෘතදායකයහ. ධර්‍මස්වාමීහ. තථාගතයහ. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නහු නම් එය ම මීට කල් වී ය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන සේක් නම් එසෙයින් එය දරන්නෙමු. එහෙත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නොබර කොට විතර විසින් අරුත බෙදන සේක්වා යි.
ඇවැත්නි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය ඇවැත්නි යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවෝ මෙය කීහ: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද රූපසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය. ... යම්තැනෙක සිතත් නිරුද්ධ වේ ද ධර්‍මසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය යන මේ උදෙසුම සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් මම මෙසේ දනිමි. ඇවැත්නි “මහණෙනි එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය. ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් සළායතන නිරෝධය සඳහා වදාරන ලදී.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය ... යම්තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය” යි යම් උදෙසුමක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නොබෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් මම මෙසේ දනිමි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතම එළඹෙවු. එළඹ මේ අරුත පිළිවිසිවු. යම් සේ භාග්‍යවතුන් වහන්සේ තොපට වදාරන සේක් නම් එසෙයින් එය දරව යි.
එසේ ය ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දී, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය ... යම් තැනක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය යි යම් උදෙසුමක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් වීය.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දත යුතු ය … යම් තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දත යුතු ය”යි මේ උදෙසුම සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි.
වහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
වහන්ස, එකල්හි අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹුණෙමු. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මෙ අරුත පුළුවුසුම්හ. වහන්ස, ඒ අපට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් විසින් මේ අයුරින් මේ පදවලින් මේ අකුරුවලින් අරුත බෙදන ලද්දේ යි. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහපැනැත්තෝ යැ. මහණෙනි, තෙපි මේ අරුත මගෙනුදු පුළුවුස්නහු නම් “යම්සේ එය ආනන්‍දයන් විසින් පවසන ලද්දේ ද මමත් එය එසේ ම පවසන්නෙමි. මෙය ම මෙහි අරුත යි. මෙසේ ම එය දරව” යි.
1. 12. 5.
සක්කපඤ්හ සූත්‍රය
118. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ යි. වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ යි.
දෙවිඳ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
දෙවිඳ, ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නො ඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නොඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටු දැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
1. 12. 6.
පඤ්චසිඛපඤ්හ සූත්‍රය
119. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නොපිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? වහන්ස යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි.
පඤ්චසිඛ, ඇසින් දතුයුතු රූ ඇත. ... (පළමු සුතුර මෙන් විතර කටයුතු යි) පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. පඤ්චසිඛ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
පඤ්චසිඛ, ඇසින් දතයුතු රූ ඇත ... පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. පඤ්චසිඛ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
1. 12. 7.
සාරිපුත්තසද්ධිවිහාරික සූත්‍රය
120. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීයේ ය. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, සද්ධිවිහාරික මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළුණේ යි.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නොයෙදුණු (මහණ) හට මෙය මෙසේම වෙයි.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නො ලැබේ. ඇවැත්නි, ඉඳුරන්හි වැසූ දොර ඇති බොජුනෙහි පමණ දන්නා නිදිවැරීමෙහි යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් ලැබෙයි.
ඇවැත්නි, කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ ඇසින් රුවක් දැක නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්‍යඤ්ජනවශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් චක්ඛුන්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස (දැඩිලොබ, නොසතුට) යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්ඛුන්‍ද්‍රියය රකී. චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසලදහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙසේ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් බොජුනෙහි පමණ දන්නේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ “කෙළි පිණිස නො වේ, මදය පිණිස නො වේ, අඩුතැන් පිරීම පිණිස නො වේ, සැරසුම පිණිස නො වේ, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස සාදුක් වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස (වළඳමි). මෙසේ පැරණි වේදනාව ද නසන්නෙමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියව් පැවැත්ම ද නිවරද බව ද පහසුවිහරණය ද වන්නේ ය”යි නුවණින් සලකා අහර ගනී. ඇවැත්නි, මෙසේ බොජුනෙහි පමණ දන්නේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් නිදිවැරීමෙහි යෙදුණේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ දහවල සක්මනින් ද හිඳීමෙන් ද නීවරණ දහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ පළමුයම සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදුම්යම දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා සිහි ඇත්තේ මනානුවණ ඇත්තේ නැගිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණුපසින් සිංහශෙය්‍යව කෙරෙයි. රෑ පැසුළුයම පෙරළා නැඟිට සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. ඇවැත්නි, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
ඇවැත්නි, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතු යි. ඉඳුරන්හි වැසූ දොර ඇත්තමෝ බොජුනෙහි පමණ දන්නමෝ නිදිවැරීමෙහි යෙදුණමෝ වන්නෙමු යි. ඇවැත්නි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.
1. 12. 8.
රාහුලෝවාද සූත්‍රය
121. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එසඳ එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළවිය;
රාහුලගේ රහත්බව මුහුකුරුවනදහම්හු මුහුකුරා ගියහ. මම රාහුල මහරහත්බැව්හි හික්මවන්නෙම් නම් මැනවැ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වන්හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණුසේක් ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක: රාහුලය, නිසීදනය ගනුව. දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹෙන්නෙමු යි. එසේය වහන්සැ යි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස ගමන් කෙළේ ය.
එකල්හි නොයෙක් දහස්ගණන් දෙවියෝ “අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරුන් මහරහත්බැව්හි හික්මවන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කළාහු වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධවනයට පිවිස එක්තරා රුකක්මුල පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
රාහුලය, ඒ කිමැයි හඟිහි, චක්‍ෂුස නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුඃඛ යැ. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය “තෙලෙ මාගේ ය. තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම ය යි දක්නට නිසි වේ දැ”යි. වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි.
රූපයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? වහන්ස, අනිත්‍ය යැ ... චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය යැ. චක්ඛුසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය යැ. ... චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනාවක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
කන ... නැහැය ... දිව නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. ... රස ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... ජිහ්වාසංස්පර්‍ශය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
කය ... සිත නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
දහම් නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේද?. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
රාහුල මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. ඇස්විනැණෙහිත් කලකිරෙයි. ඇස් පහසෙත් කලකිරෙයි. ඇස්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි ... නැහැයෙහිත් කලකිරෙයි ... දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. දිව්විනැණෙහිත් කලකිරෙයි. දිව්පහසෙහිත් කලකිරෙයි. දිව්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි ... සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනවිනැණෙහිත් කලකිරෙයි. මනපසෙහිත් කලකිරෙයි. මනපහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණු ය යි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කරණී කරනලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ සුතුර බණන කල්හි ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ ය.
නොයෙක් දහස් ගණන් දෙවියන්ට ද “යම් කිසිවක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුලු ය” යි කෙලෙස්රජස් නැති පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළවී.
1. 12. 9.
සංයෝජන සූත්‍රය
122. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිතදහම් ද සඤ්ඤෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිත දහම්හු කවරහු ද සඤ්ඤෝජන කවරේ ද යත්:
මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු රූ ඇත. මහණෙනි, මොහු සඤ්ඤෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි.
1. 12. 10.
උපාදාන සූත්‍රය
123. මහණෙනි, උපාදානයන්ට හිත දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම්හු කවරහු ද? උපාදාන කවරේ ද යත්:
මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.
දොළොස්වැනි ලෝකකාමගුණ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
මාරපාස නමින් දෙකෙක් ද, ලෝකන්තගමන, කාමගුණ නමින් දෙකෙක් ද, සක්කපඤ්හ, පඤ්චසිඛපඤ්හ, සාරපුත්තසද්ධිවිහාරික, රාහුළොවාද, සඤ්ඤෝජන උපාදාන යයි සයෙක් ද කියන ලදහ. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
13. ගහපති වර්‍ගය
1. 13. 1.
වේසාලි සූත්‍රය
124. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පස් ව හුන් විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
ගැහැවිය, ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
ගැහැවි, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
ගැහැවි, කනින් දතයුතු ශබ්ද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය ය යි.
1. 13. 2.
වජ්ජී සූත්‍රය
125. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි දනව්වෙහි හත්‍ථිගම්හි වැඩවසන සේක. එකල්හි හත්‍ථිගම්වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හත්‍ථි ගම් වැසි උග්ග ගැහැවි භාගවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? (පළමු සුතුර මෙන් විතර කටයුතු) ... ගැහැවි, යම් හෙයකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
1. 13. 3.
නාලන්‍දා සූත්‍රය
126. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවර පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි. (විතර කට යුතු) ... ගැහැවි යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
1. 13. 4.
භාරද්වාජ සූත්‍රය
127. එක්කලෙක ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
භවත් භාරද්වාජයෙනි, තරුණ වූ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමුවන වයසින් යුතු කම්සැප අනුභව නොකළ විරූ මේ තරුණ භික්‍ෂූහු යම්හෙයෙකින් දිවිහිමියෙන් පිරිපුන් පිරිසිදු බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. මවු වැන්නවුන් කෙරෙහි මව යන සිත එළව. බුහුන වැන්නවුන් කෙරෙහි බුහුන යන සිත එළව. දූ වැන්නවුන් කෙරෙහි දුව යන සිත එළව යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුතු කම්සැප අනුභව නො කළ විරූ මේ තරුණ භික්‍ෂූහු පිරිපුන් පිරිසිදු බඹසර යම් හෙයෙකින් දිවිහිමියෙන් වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
භවද් භාරද්වාජයෙනි, මේ සිත ලොල් ය. මවු වැන්නවුන් කෙරෙහි දු ඇතැම් දිනෙක ලෝබසිත් උපදී. බුහුන වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. දූ වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. භවත් භාරද්වාජයෙනි, තරුණ මන කළු කෙහෙ ඇති ... මේ තරුණ භික්‍ෂූහු යම් හෙයෙකින් බඹසර කෙරෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවකුත් අනෙක් ප්‍රත්‍යයෙකුත් ඇද්දැ යි.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි. මහණෙනි, තෙපි එවු. පතුලෙන් උඩ කෙසගින් යට (අවටින්) සම කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ සිරුර ම පස්විකවු. (කෙසේ ද යත්:) මේ සිරුරෙහි කෙහෙ, ලොම්, නිය, දත්, සිවිය, මස, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංසය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, පැසුණු අහර, පිත, සෙම, පූයා, ලේ, ඩහ, මේදස්, කඳුළු, වුරුණුතෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍ර, ඇතැ යි කියා යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගුකලක් නොසිඳ පවත්වත් නම් එයට මේ ද හේතුවෙකි, මේ ද ප්‍රත්‍යයෙකි.
භවත් භාරද්වාජයෙනි, වැඩූ කය (කායගතා සති) ඇති වැඩූ සිල් ඇති වැඩූ සිත් ඇති වැඩූ නුවණ ඇති යම් ඒ භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර නො වේ. භවද් භාරද්වාජයෙනි, නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ නුවණැති යම් ඒ භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර වේ. භවත් භාරද්වාජයෙනි, ඇතැම් දිනෙක අශුභවශයෙන් මෙනෙහි කරන්නෙමු යි ශුභවශයෙන් ද මෙනෙහි කිරීමට පැමිණේ. භවද් භාරද්වාජයෙනි, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවෙකුත් ප්‍රත්‍යයෙකුත් ඇද්දැ යි.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. ඉඳුරන්හි වැසූ දොර ඇති ව වෙසෙවු. ඇසින් රූ දැක නහමක් නිමිති ගන්නෝ නහමක් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නෝ වවු. යම් හෙයෙකින් චක්ඛුන්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්‍ද්‍රිය රකිවු, චක්ඛුන්‍ද්‍රියේ සංවරයට පැමිණෙවු. කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැස ...
සිතින් දහම් දැන නහමක් නිමිති වශයෙන් ගන්නෝ නහමක් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නෝ වවු. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. මනින්‍ද්‍රිය රකිවු, මනින්‍ද්‍රියේ සංවරයට පැමිණෙව යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට මෙ ද හේතුවෙකි. මේ ද ප්‍රත්‍යයෙකි.
භවත් භාරද්වාජයෙනි ආශ්චර්‍ය්‍යයෙකි, භවත් භාරද්වාජයෙනි අද්භූතයෙකි, භවත් භාරද්වාජයෙනි සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කෙතරම් මැනවින් වදාරන ලද ද? භවත් භාරද්වාජයෙනි, තරුණ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුතු කම්සැප අනුභව නො කළ විරූ මේ තරුණ භික්‍ෂූහු පිරිපුන් පිරිසිදු බඹසර යම් හෙයෙකින් දිවිහිමියෙන් වෙසෙත් නම් දිගුකලෙකුත් නො සිඳ පවත්වත් නම් එයට මෙය ම හේතු යි මෙය ම ප්‍රත්‍යය යි.
භවත් භාරද්වාජයෙනි, යම් කලෙක මම ද නො රක්නා ලද කයින් නො රක්නා ලද වදනින් නො රක්නා ලද සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත වූ ඉඳුරන්ගෙන් යුතු ව ම ඇතොවුරට පිවිසෙම් නම් එකල්හි ලොබසිත් මා බෙහෙවින් මැඩලයි. භවත් භාරද්වාජයෙනි, යම් කලෙකත් මා රක්නා ලද කයින් රක්නා ලද වදනින් රක්නා ලද සිතින් එළඹ සිටි සිහියෙන් සංවෘත වූ ඉඳුරන්ගෙන් යුතු ව ම ඇතොවුරට පිවිසෙම් නම් එකල්හි එහි ලොබසිත් මා නහමක් මැඩල යි.
භවත් භාරද්වාජයෙනි, ඉතා මැනවි. භවත් භාරද්වාජයෙනි, ඉතා මැනව. භවත් භාරද්වාජයෙනි, යටිකුරු කරන ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ වැසුම් හරින්නේ ද මංමුළාවූවකුට මග හෝ කියන්නේ ද ඇස් ඇත්තෝ රූ දකිත්ව යී අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද එසෙයින් ම භවද් භාරද්වාජයන් විසින් නන් අයුරින් දහම් පවසන ලදී. භවත් භාරද්වාජයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේ ද දහම ද බික්සඟන ද සරණ කොට යෙමි. භවද් භාරද්වාජ තෙරණුවෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා යි.
1. 13. 5.
සෝණ සූත්‍රය
128. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සෝණ ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිමැ යි.