මාගේ මේ වචනය අස්වු. මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නො දමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ ය.
මහණෙනි මහණ තෙමේ කෙසේ නම් වේදගූ (සසරවට දැන සිටියේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි මෙසේ මහණ තෙමේ වේදගූ නම් වෙයි.
මහණෙනි මහණ තෙමේ කෙසේ නම් සබ්බජී (සියල්ල දිනුයේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීන යත් නිස්සරණයත් තතු සේ දැන උපාදානය නො කොට කෙලෙසුන්ගෙන් මිදුණේ වේ ද, මහණෙනි මහණ තෙමේ මෙසේ සබ්බජී නම් වෙයි.
මහණෙනි මහණ තෙමේ කෙසේ නම් නොසාර දැමූ ගඬ (දුක්) මුල සාරා දමන ලද්දේ වේ ද යත්: මහණෙනි “ගඬ” යයි මවුපියන්ගේ ලේඅශුචියෙන් උපන් බතින් හා කොමුයෙන් වැඩුණු අනිස බව හා ඉලීම් පිරිමැදීම් (කරතුදු) බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට නමෙකි. මහණෙනි “ගඬමුල” යයි මේ තෘෂ්ණාවට නමෙකි. මහණෙනි යම් කලෙක මහණහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වූවා උසුන් මුල් ඇත්තී හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බව කරන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වේ ද, මහණෙනි මෙසේ මහණහුගේ නොසාරා දැමූ ගඬමුල සාරාදමන ලද්දේ වෙයි.
මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදැමූ ගඬමුල සාරාදමා සිටියෙම් වෙමි.
මහණෙනි රාමපුත්‍ර උද්දක තෙමේ “වේදගූ” නොවූයේම වේදගූ වෙමි යි මේ වචනය කියයි. සබ්බජී නො වූයේ ම “සබ්බජී” වෙමි යි කිය යි. ගඬමුල නො සාරා දැමූයේ ම ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි යි කියයි.
මහණෙනි, මෙහි මහණ තෙමේ මැනවින් කියන්නේ: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් වේදගූ (සසරවට දැන සිටියෙම්) වෙමි. ඒකාන්තයෙන් සබ්බජි (සියල්ල දිනුයෙම්) වෙමි. නො සාරා දැමූ ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ යි.
දසවැනි ජළවර්‍ගයි.
එහි සූත්‍රනාමාවලිය:
සඞ්ගය්හ සූත්‍ර දෙක ය, පරිහාන, පමාදවිහාරී, සංවර, සමාධි, පටිසල්ලාන යන සූත්‍ර පස ය, නතුම්හාක සූත්‍ර දෙක ය, උද්දක සූත්‍රය දෑ යි සූත්‍ර දශයෙකි.
දුතිය පණ්ණාසකය යි.
එහි වර්‍ගනාමාවලිය:
අවිජ්ජා, මිගජාල, ගිලාන යන වර්‍ග තුන ය, සිවුවැනි ඡන්න වර්‍ගය, ජළවර්‍ගය යන මෙයින් සූත්‍ර පනසෙකි. මේ දුතියපණ්ණාසකය යි.
තතිය පණ්ණාසකය
11. යෝගක්ඛේමි වර්‍ගය
1. 11. 1.
යෝගක්ඛේමි සූත්‍රය
104. සැවැත්නුවර–
මහණෙනි, යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණය කවරේ ද යත්:
මහණෙනි, ඉටු කැමති මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු රූ ඇත. ඔහු තථාගතයන් විසින් ප්‍රහීණයහ. උසුන්මුල් ඇතියහ. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඔවුන් ප්‍රහීණ කිරීමට යෝග මාර්‍ගය ද පැවසී ය. එහෙයින් තථාගත තෙමේ යෝගක්ඛේමි ය යි කියනු ලැබේ.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... මහණෙනි, දිවෙන් දත යුතු රස ඇත ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඔහු තථාගතයන් විසින් ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඔවුන් ප්‍රහීණ කිරීමට යෝගය ද පැවසී ය. එහෙයින් තථාගත තෙමේ යෝගක්ඛේමි ය යි කියනු ලැබේ. මහණෙනි, මේ යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණ ය යි.
1. 11. 2.
උපාදාය සූත්‍රය
105. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. මැනවි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා තමා කෙරෙහි සුවදුක් උපදී. කන ඇති කල්හි කන නිසා තමා තුළ සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැය නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව නිසා තමා තුළ සුවදුක් උපදී. කය ඇති කල්හි කය නිසා තමා තුළ සුවදුක් උපදී. සිත ඇති කල්හි සිත නිසා තමා තුළ සුවදුක් උපදී.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ යි.
කන නිත්‍ය ද නො හොත් අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය … නැහැය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය ... දිව නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... කය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ? යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ ය.
මහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැත්ම ගෙවිනි. බඹසර වැස නිමවන ලදි. කළයුතු දෑ කරන ලදි. මේ රහත් බව පිණිස (කළයුතු) අනෙකක් නැතැයි දැනගනී යි.
1. 11. 3.
දුක්ඛසමුදය සූත්‍රය
106. මහණෙනි, දුකෙහි සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දුකෙහි සමුදය කවරේ ද යත්:
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මේ දුකෙහි සමුදය යි. කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝ විඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මහණෙනි, මේ දුකේ සමුදය යි.
මහණෙනි, දුකෙහි අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මේ දුකේ අස්තඞ්ගමය යි.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී ... කයත් නිසා … සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව උපදී. වේදනාව නිසා තණ්හාව උපදී. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුකේ අස්තඞ්ගම ය යි.
1. 11. 4.
ලෝකසමුදය සූත්‍රය
107. මහණෙනි, ලෝකයේ සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ලෝකයේ සමුදය කවරේ ද යත්; ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
මහණෙනි, ලෝකයේ අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.
කනත් ... නැහැයත් ... දිවත් ... කයත් ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.
1. 11. 5.
සෙය්‍ය සූත්‍රය
108. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ (අදහස්) වේ ද, මම සදෘශයෙමි යි හෝ වේ ද? මම හීනයෙමි යි හෝ වේ දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතිය. වහන්ස, යාච්ඤා කරම්හ. මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි.
මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා ඇසට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි. කන ඇති කල්හි ... නැහැය ඇති කල්හි ... දිව ඇති කල්හි ... කය ඇති කල්හි ... සිත ඇති කල්හි සිත නිසා සිතට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඇස නිත්‍ය ද හෝ අනිත්‍ය ද හෝ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද යි. වහන්ස, දුක් ය. යමක් අනිස නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද? මම සදෘශයෙමි යි හෝ වන්නේ ද? මම හීනයෙමි යි හෝ වන්නේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
කන නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... නැහැය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද, මම සදෘශයෙමි යි හෝ වන්නේ ද, මම හීනයෙමි යි හෝ වන්නේ දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි ... මේ රහත්බව පිණිස ඇනෙකක් නැතැ යි දැනගනී යි.
1. 11. 6.
සංයෝජන සූත්‍රය
109. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් ද, සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් කවරේ ද සංයෝජන කවරේ ද යත්:
මහණෙනි, ඇස සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කන ... නැහැය ... දිව සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කය ... සිත සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු ය යි ද මෙය සංයෝජන යි ද කියනු ලැබෙත්.
1. 11. 7.
උපාදාන සූත්‍රය
110. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් ද, උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් කවරේ ද උපාදාන කවරේ ද යත්:
මහණෙනි, ඇස උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කන ... නැහැය ... දිව උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කය ... සිත උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු ය යි ද මෙය උපාදාන යි ද කියනු ලැබෙති යි.
1. 11. 8.
පරිජානන සූත්‍රය
111. මහණෙනි, ඇස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් නැසීමට නුසුදුසු (නොසමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් නොදන්නේ පිරිසිඳ නොදන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු වේ. මහණෙනි, ඇස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.
1. 11. 9.
දුතිය පරිජානන සූත්‍රය
112. මහණෙනි, රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් නැසීමට නුසුදුසු වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු (නො සමත්) වේ.
මහණෙනි, රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ගෙවීමට සුදුසු (සමත්) වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.
1. 11. 10.
උපස්සුති සූත්‍රය
113. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගඩොළු පහයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රහසිගත ව විවේකී ව මේ දහම්නය වදාළ සේක:
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා ... මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැනීම වේ.
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනා ව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ හඬසනෙහි සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ හඬසනෙහි සිටි ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ දහම්නය ඇසුවහු දැ? යි. වහන්ස එසේ ය. මහණ තෙපි මේ දහම්නය උගනිවු. මහණ තෙපි මේ දහම්නය පිරිවහවු. මහණ තෙපි මේ දහම්නය දරවු. මහණ මේ දහම්නය වැඩ සහිත ය. මගබඹසරට මුල් යයි.
එකොළොස්වැනි යෝගක්ඛේමි වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
යෝගක්ඛේමි, උපාදාය, දුක්ඛ, ලෝක, සෙය්‍ය, සංයෝජන, උපාදාන යන සූත්‍ර සත ය. පරිජානන සූත්‍ර දෙක ය. උපස්සුති සූත්‍ර ය යි දශයෙකි.
12. ලෝකකාමගුණ වර්‍ගය
1. 12. 1.
මාරපාස සූත්‍රය
114. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මාරබන්‍ධනයෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති, මනවඩන, පියදෑ වූ කාමයෙන් යුත්, සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද එහි ගුණ කියන්නේ ද, එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මාරබැඳුමෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
තවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ වෙයි.
මහණෙනි, කනින් දත යුතු සද ඇත. ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, ගුණ නො කියන්නේ ද, ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළහැක්කේ වේ යි.
1. 12. 2.
දුතිය මාරපාස සූත්‍රය
115. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, (එහි) ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූහි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, සිතින් දත යුතු දහම් ඇත ... ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, එහි ගුණ කියන්නේ ද එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දතයුතු දහම්හි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
තවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූපයන්ගෙන් මිදඳුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටිනේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දත යුතු දහමින් මිදුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ යි.
1. 12. 3.
ලෝකන්තගමන සූත්‍රය
116. මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි, දැක්ක හැකි යැයි, පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි යි මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වී ය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැ යි පැමිණිය හැකි යයි මම නො කියමි. මහණෙනි ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි” යි. මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි.
එකල්හි ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකියැ යි දැක්ක හැකි ය යි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි. මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ අපට මෙබඳු සිතෙක් විය.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි. ඇවැත්නි ඒ අපට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි, මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදත්වා යි.
ඇවැත්නි, යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් පවත්නා හර ඇති මහත් රුකෙක මුල ඉක්මැ කඳ ඉක්මැ අතු කොළවල හර සෙවිය යුතු යයි හඟනේ නම් මෙ ද එබඳු ය. ආයුෂ්මතුන්ට ශාස්තෲන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මැ අපගෙන් මේ අරුත පිළිවිසිය යුතු යයි හඟනහු ය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනිති. දැක්ක යුත්ත දකිති. (ලොවට) ඇසක් ම වූහ. ලොවට ඥානය ම වූහ. ලොවට ධර්‍මය ම වූහ. ලොවට බ්‍රහ්මන් ම වූහ. වක්තෘ ම ය. ප්‍රවක්තෘ ම ය. අර්‍ත්‍ථ නිර්නේතෘ ය. අමෘත දායක ය. ධර්‍මස්වාමී ය. තථාගත ය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නාහු නම් එය ම මීට කාලය වී ය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් නම් එසෙයින් එය දරන්නහු යයි.
ඇවැත්නි ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනිති. දැක්ක යුත්ත දකිති. චක්‍ෂූර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘයහ. ප්‍රවක්තෘයහ. අමාව දෙනුවහ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘයහ. ධර්‍මස්වාමීයහ. තථාගතයහ.
යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නමෝ නම් එය ම මීට කාලය වීය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් නම් එසෙයින් එය දරන්නෙමු. එහෙත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නො බර කොට බෙදන සේක්වා යි.
ඇවැත්නි එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනනුද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යයි පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි” යි යම් උද්දේසයක් තොපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් මම මෙසේ දනිමි:
ඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ නම් ශාසනයෙහි මේ ලෝක ය යි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ ද යත්: