මහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම් මහණෙනි මේ චක්ඛුසම්ඵස්ස යයි කියනු ලැබේ. චක්ඛුසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් චක්ඛුසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳි යි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ.
කනත් ශබ්දයනුත් නිසා සෝතවිඤ්ඤාණය උපදියි ... නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදි යි ... දිව අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රස අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් වැය වන්නේත් වේ, අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍යය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය, පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් ජිව්හාවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.
මහණෙනි, මේ තුන්දහමුන්ගේ යම් එක්වීමෙක් රැස් වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ ජිව්හාසම්ඵස්ස යයි කියනු ලැබේ. ජිව්හාසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. ජිව්හාසම්ඵස්සයාගේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් ජිව්හාසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ.
කයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදී ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. සිත අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. දහම් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් නැසෙන්නේත් වෙයි. අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණය අනිතය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් මනෝවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.
මහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ මනෝසම්ඵස්ස යයි කියනු ලැබේ. මනෝසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වන සුලු ය.
මනෝසම්ඵස්සයේ ඉපැද්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් මනෝසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් නැසෙන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ. මහණෙනි, මෙසේ දෙකක් නිසා විඤ්ඤාණය හටගනී යි.
නවවැනි ඡන්න වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
පලෝක, සුඤ්ඤ, සඞ්ඛිත්ත, ඡන්න, පුණ්ණ, බාහිය යන සූත්‍ර සයෙක් ද එජා නමින් දෙකෙක් ද, ද්වය නමින් අනෙක් දෙකෙක් දැ යි සූත්‍ර දශයෙක් වදාරන ලදී.
10. ඡළ වර්‍ගය
1. 10. 1.
ඡ ඵස්සායතන සූත්‍රය
94. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන දමනය නොකරන ලද්දාහු ගෝපනය නොකරන ලද්දාහු නොරක්නා ලද්දාහු සංවර නොකරන ලද්දාහු දුක් එළවන්නෝ වෙති. කවර සදෙනෙක් ද යත්:
මහණෙනි ඇස නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි කන නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි නැහැය නමැති ස්පර්‍ශායතනය … මහණෙනි දිව නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි කය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි සිත නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නො රක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන දමනය නොකරන ලද්දාහු ගෝපනය නොකරන ලද්දාහු නොරක්නා ලද්දාහු සංවර නොකරන ලද්දාහු දුක් එළවන්නෝ වෙති.
මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන මැනැවින් දමනය කරන ලද්දාහු මැනැවින් ගෝපනය කරන ලද්දාහු මැනැවින් රක්නා ලද්දාහු මැනැවින් සංවර කරන ලද්දාහු සැප එළවන්නෝ වෙති. කවර සදෙනෙක් ද යත්:
මහණෙනි ඇස නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනවින් රක්නා ලද්දේ මැනවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි කන නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි නැහැය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි, දිව නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනැවින් රක්නා ලද්දේ මැනැවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි, කය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි සිත නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනවින් රක්නා ලද්දේ මැනවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන මැනවින් දමනය කරන ලද්දාහු මැනවින් ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු මැනවින් සංවර කරන ලද්දාහු සැප එළවන්නෝ වෙති යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු ද තෙල වදාළ සේක:
මහණෙනි, යම් ස්පර්‍ශායතනයක සංවරණය නො වූයේ දුකට පැමිණේ නම් එබඳු ස්පර්‍ශායතන සයෙක්ම ය. යම් කෙනෙක් ඔවුන්ගේ සංවරණය ලැබුවාහු නම් (ඔහු) ශ්‍රද්ධාව දෙවැන්න කොට ඇත්තාහු කෙලෙසුන්ගෙන් තෙත් නො වූවාහු වෙසෙත්.
මනහර රූ දැක යලි නොමනහර රූ ද දැක මනහර රූහි රාගය දුරු කරන්නේ ය. (නොමනහර රූහි ) මට අප්‍රිය යයි සිත නො කෙලෙසන්නේ ය.
ප්‍රිය වූ ද අප්‍රිය වූ ද දෙවැදෑරුම් ශබ්දයත් අසා ප්‍රිය වූ ශබ්දයෙහි මුසපත් වූයේ නො වන්නේ ය. නැවත අප්‍රිය ශබ්දයෙහි ද්වේෂය දුරු කරන්නේ ය. මට අප්‍රිය යයි සිත නො ද කෙලෙසන්නේ ය.
මනහර මිහිරි සුවඳ ආඝ්‍රාණය කොට යළි දු අප්‍රිය වූ දුගඳ ද ආඝ්‍රාණය කොට අප්‍රිය වූ දුගඳේ ද්වේෂය දුරු කරන්නේ ය. කැමති වූ සුවඳේ ඇල්මට පමුණුවන ලද්දෙක් නොවන්නේ ය.
රස විඳිය යුතු මිහිරි රසත් අනුභව කොට වැලි දු ඇතැම් අනෙක් අමිහිරි රස ද අනුභව කොට මිහිරි රස ගැලී නො වළඳන්නේ ය. අමිහිරි රසෙහි විරෝධයක් නො දක්වන්නේ ය.
සුවපහසින් පහස්නා ලද්දේ මත් නො වන්නේ ය. දුකින් පහස්නා ලද්දේ ද නො සැලෙන්නේ ය. කිසිවකු හා විරුද්ධ නොවන්නේ නො ඇලෙන්නේ සුවදුක් දෙකෙහි වූ පහස් දෙක මැදිහත්ව දක්නේ ය.
ක්ලේශසංඥා ඇති හෙයින් ප්‍රපඤ්ච සංඥා වූ ඉතා ලාමක සත්ත්‍වයෝ පමා වන්නාහු සසරට පැමිණෙත්. (නුවණැති මහණ තෙමේ) පඤ්චකාමනිශ්‍රීත සියලු මනෝමය විතර්‍කයන් දුරු කොට නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කොට පවතී මැ යි.
මෙසේ යම් කලෙක සාරමුණෙහි සිත මැනවින් වඩනා ලද්දේ වේ ද, සුව පහසෙකින් හෝ දුක් පහසෙකින් පහස්නා ලද ඔහුගේ සිත කොහිවත් නොසැලෙයි. මහණෙනි, ඒ තෙපි රාගද්වේෂයන් මැඩ ජාති-මරණයන්ගේ පරතෙර වූ නිවනට යන්නාහු වවයි.
1. 10. 2.
මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය
95. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා යි.
මාලුඞ්ක්‍යපුත්ත, දිරාගිය වැඩිසිටි මහලු වූ තුන් කල් ගත වූ පිළිවෙළින් පැසුට වියට පැමිණි මහණකු වූ යම්බඳු තෙපි සැකෙවින් අවවාද යදින්නහු නම් මෙහි ලා දැන් තරුණ භික්‍ෂූන්ට කුමක් කියන්නෙම් දැ යි. වහන්ස, මම දිරූයෙම් වැඩීසිටියෙම් මහලු වූ යෙම් තුන්කල් ගත වූයෙම් පිළිවෙළින් පැසුළු වයසට පැමිණියෙම් නමුදු, වහන්ස භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අරුත් දැනගන්නෙම් නම් මැනවි. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනව යි.
මාලුඞ්ක්‍යපුත්ත, ඒ කිමැයි හඟිවු ද, චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ නුදුටු නුදුටුවිරූ යම් ඒ රූපයෝ වෙද්ද, (ඔවුන්) නො ද දකිවු නම් ඔවුන් දකින්නෙමි යි. තොපට නො ද සිතෙක් වේ නම් තොපට එහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.
නො ඇසු නො ඇසුවිරූ සෝතවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ ශබ්දයෝ වෙද්ද (ඔවුන්) නො ද අසවු නම් අසන්නට තොපට සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැයි. වහන්ස මෙය නො වේ ම ය. ආඝ්‍රාණය නොකළ ආඝ්‍රාණය නොකළ විරූ යම් ඒ ගන්‍ධයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආඝ්‍රාණය කරවු නම් ආඝ්‍රාණය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.
ආස්වාදනය නොකළ ආස්වාදනය නොකළවිරූ ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු යම් ඒ රසයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආස්වාදනය කරවු නම් ආස්වාදනය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය. නොපැහැසි නොපැහැසිවිරූ කායවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ පහස්හු වෙත් නම් ඔවුන් නො ද පුසින්නහු නම් පුසින්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. නොදත් නොදත්විරූ මනෝවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ දහම්හු වෙද්ද, (ඔවුන්) නො ද දන්නහු නම් දැනගන්නෙමියි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
මාලුඞ්ක්‍යපුත්ත, මෙහි තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ය. අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ය. ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ය. දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ය. මාලුඞ්ක්‍යපුත්ත , යම් කලෙක තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ද, අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ද, ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ද,දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ද, මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි එයින් (රාගරත්තයෙක් දෝසදූසිතයෙක් මොහමූළ්හයෙක්) නොවන්නහු ය. යම්කලෙක තෙපි එයින් (රාගරත්තාදියෙක්) නොවන්නාහු නම් මාලුඞ්ක්‍යපුත්ත, එකල්හි තෙපි එහි නොපිහිටි වන්නහු ය. මාලුඞ්ක්‍යපුත්ත යම් කලෙක තෙපි එහි නොපිහිටි වන්නහු නම් මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි මෙලොවත් නොවන්හු ය. පරලොවත් නොවන්නහු ය. දෙලොව ම නොවන්නහු ය. මෙය ම දුකේ කෙළවර යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි.
රූපය දැක ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි.ඔහුට රූපය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
ශබ්දය අසා ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ශබ්දය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
ගන්‍ධය ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ගන්‍ධය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
රස අනුභව කොට ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට රස නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්.නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
පහස පැහැස ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට පහස නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
දහම දැන ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට අරමුණු දහම නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
සිහියෙන් යුත් හෙතෙමේ රූපය දැක රූපයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටි යි. රූපය දක්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, රැස් නො වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
සිහියෙන් යුත් හෙතෙමේ ශබ්දය අසා ශබ්දයන්හි නො ඇලෙයි.නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටි යි. ශබ්දය අසන්නා වූ ද, වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, රැස් නො වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
සිහියෙන් යුත් හෙතෙමේ ගන්‍ධය ආඝ්‍රාණය කොට ගන්‍ධයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. ගන්‍ධය ආඝ්‍රාණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
සිහියෙන් යුත් හෙතෙමේ රස අනුභව කොට රසයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙනද නො සිටියි. රස විඳුනා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
සිහියෙන් යුත් හෙතෙමේ පහස පැහැස පහස්හි නොඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. පහස පුසින්නා වූ ද, වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මේ අයුරින් දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
සිහියෙන් යුත් හෙතෙමේ අරමුණු දහම දැන දහම්හි නො ඇලෙයි. නො ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටියි. දහම් දන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නොරැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද දෙසුම්හි අරුත විතරවිසින් මම මෙසේ දනිමි යි. මාලුඞ්ක්‍යපුත්ත මැනවි, මැනවි, මාලුඞ්ක්‍යපුත්ත මා විසින් සැකෙවින් වදහළ මේ දහමෙහි අරුත විතර විසින් තෙපි මෙසේ දනිවු.
රූපය දැක ප්‍රිය අරමුණෙකැයි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිල ගෙන ද සිටියි. ඔහුට රූපය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්, නොහොත් දැඩිලෝභයෙන් ද වෙහෙසින් ද ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන ඈත යැයි කියනු ලැබේ ...
සිහියෙන් යුත් හෙතෙමේ දහම දැන අරමුණු දහම්හි නොඇලෙයි. නො ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. දහම දන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක බැහැර ලන්නහුට නිවන ළඟ ය යි කියනු ලැබේ.
මාලුඞ්ක්‍යපුත්ත මා විසින් සැකෙවින් වදහළ මේ දෙසුමෙහි අරුත විතර විසින් මෙසේ දතයුත්තේ යි. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ.
ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූවාහු නොපමා ව කෙලෙස් තවන වෙර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු කුලපුත්තු යමක් පිණිස මැනැවින් ම ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙද්ද, මගබඹසර කෙළවර වූ අනුත්තර ඒ අර්‍හත් ඵලය නො බෝ කලෙකින්ම මේ අත්බව්හි ම තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ විසූහ. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දැන ගත්හ. ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ රහතුන් අතරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
1. 10. 3.
පරිහානධම්ම සූත්‍රය
96. මහණෙනි තොපට පරිහාන ධර්‍මයත්, අපරිහාන ධර්‍මයත් අභිභායතන සයත් දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි කෙසේ නම් පරිහානධර්‍මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බන්‍ධනයට කරුණු වූ (ධාවන) සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම් දුරු නො කෙරේ නම් , බැහැර නො කෙරේ නම්, කෙළවර නො කෙරේ නම්, නැවත නො හටගන්නා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට උපදිත් … මහණෙනි නැවත අනෙකක් ද කියමි. නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. දිවෙන් රසයක් විඳ මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි, කයින් පහසක් පැහැස මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම්, දුරු නොකෙරේ නම්, බැහැර නො කෙරේ නම් කෙළවර නො කෙරේ නම් , නැවත නූපදනා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ පරිහානධර්‍මය වේ.
මහණෙනි කෙසේ නම් අපරිහානධර්‍මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්, ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නො හටගන්නා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි, මෙය අපරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි නැවත අනෙකක් ද කියමි, කනින් ශබ්දයක් අසා මහණහට ... නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්. ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නූපදනා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් අපරිහාන ය යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අපරිහාන ධර්‍මය වේ.
මහණෙනි අභිභායතන සය කවරේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) නූපදිත් නම් , මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයෙකැ යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට … නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවනසඞ්කල්පයෝ නූපදිත් නම්, මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයකැ යි වදාරන ලදැ” යි මෙය දතයුතු ය. මහණෙනි මේ අභිභායතන සය යයි කියනු ලැබේ යි.
1. 10. 4.
පමාදවිහාරී සූත්‍රය
97. මහණෙනි, තොපට ප්‍රමාද විහරණ ඇත්තහු ද අප්‍රමාද විහරණ ඇත්තහු ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කෙසේ නම් ප්‍රමාද විහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්‍ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඥාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. කෙලෙසුන් ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය (දුර්‍වලප්‍රීතිය) නො වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසෙයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි (සමථ විදර්‍ශනා) දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමා විහරණ ඇත්තේ ය යි ගැනීමට යේ.
මහණෙනි සෝතින්‍ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතු රසයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය නො වේ … මහණෙනි කායින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි මනින්‍ද්‍රියෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත මනෝවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය නො වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමාවිහරණ ඇත්තේම ය යි ගිණීමට යේ. මහණෙනි මෙසේ පමාවිහරණ ඇත්තේ වේ.
මහණෙනි, කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරනු ලැබූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වෙයි. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟවෙයි. සිත එකඟ වූ කල්හි (සමථ විදර්‍ශනා) දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම ය යි ගිණීමට යේ.
මහණෙනි, සෝතින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි කායින්‍ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නාහු ගේ … මහණෙනි මනින්‍ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නහුගේ සිත මනෝවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි කෙලෙසුන්ගෙන් නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම යයි ගිණුමට යේ. මහණෙනි මෙසේ නොපමා විහරණ ඇත්තේ වෙ යි.
1. 10. 5.
සංවර සූත්‍රය
98. මහණෙනි තොපට සංවරයත් අසංවරයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇති. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි. මේ පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දතයුතු ය.
මහණෙනි සෝතවිඤ්ඤාණයෙන් (කනවිනැණින්) දත යුතු සද ඇත … ඝාණවිඤ්ඤාණයෙන් (නැහැවිනැණැන්) දතයුතු ගඳ … ජිව්හාවිඤ්ඤාණයෙන් (දිව්විනැණින්) දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනෝවිඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටි නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් පිරිහෙමි. මෙය පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අසංවර වේ.
මහණෙනි කෙසේ නම් සංවරය වේ ද යත්: මහණෙනි ඉටු කමනීය මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මෙය අපරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු සද ඇත ....... ඝ්‍රාණවිඥානයෙන් (නැහැවිනැණින්) දත යුතු ගඳ … ජිහ්වාවිඥානයෙන් දත යුතු රස … කාවිනැණින් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනවිනැණින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මේ අපරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ සංවර වේ යි.
1. 10. 6.
සමාධි සූත්‍රය
99. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්: ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විණැන අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී.
කන අනිසැ යි ... නැහැය අනිසැ යි ... දිව අනිසැ යි තතු සේ දනී. රස අනිසැ යි තතු සේ දනී. දිව්විනැණ අනිසැ යි තතු සේ දනී. දිව්පහස අනිසැයි තතු සේ දනී. දිව්පහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හේ ද අනිසැ යි තතු සේ දනී.
කය අනිසැ යි ... සිත අනිසැ යි තතු සේ දනී, දහම් අනිසැ යි තතු සේ දනී. මනවිනැණ අනිසැයි තතු සේ දනී. මනපහස අනිසැ යි තතු සේ දනී. මනපහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් වේ නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී යි.
1. 10. 7.
පටිසල්ලාන සූත්‍රය
100. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්:
ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විනැණ අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. කන … නැහැය ... දිව ... කය ... සිත ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී යි.
1. 10. 8.
න තුම්හාක සූත්‍රය
101. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි ඇස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස තොපගේ නො වෙයි. එය දුරු කරවූ. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
කන තොපගේ නො වෙයි … නැහැය තොපගේ නො වෙයි … දිව තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
දිව්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දිව්පහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවූ. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
කය තොපගේ නො වෙයි ... සිත තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දහම් තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනවිනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනපහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
මහණෙනි යම් සේ මේ ජේතවනයෙහි යම් තණ දර අතු කොල වේ ද, ජන තෙමේ එය හැරගෙන යන්නේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ නම් (එකල්හි) තොපට මෙබඳු අදහසෙක් වන්නේ ද, ජන තෙමේ අප හැරගෙන යන්නේ යයි කියා හෝ දවන්නේ යයි කියා හෝ යම් කැමති පරිද්දක් කරන්නේ යයි කියා හෝ මෙබඳු සිතෙක් වන්නේ ද, වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: වහන්ස මෙය තෙමේ හෝ තමාගේ හෝ නො වේ මැ යි (එහෙයිනි).
මහණෙනි එසෙයින් මැ ඇස තොපගේ නො වෙයි. එය (ඇස කෙරෙහි තෘෂ්ණාව) දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි … ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. ඇස්පහස තොපගේ නො වෙයි ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 10 .9.
දුතිය නතුම්හාක සූත්‍රය
102. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්:
මහණෙනි ඇස තොපගේ නො වෙයි. එහි වූ තෘෂ්ණාව දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු (එහි තෘෂ්ණාව) එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස් පහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 10. 10.
උද්දක සූත්‍රය
103. මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි:
“මාගේ මේ වචනය අසවු, මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි.
මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ සියල්ල නො දත්තේ ම සියල්ල දත්තෙම් වෙමි යි ඒ මේ වචනය කිය යි. සියල්ල නොදිනුයේ ම සියල්ල දිනුයෙම් වෙමි යි කියයි. දුක්මුල නොසාරා දමන ලද්දේ ම දුක්මුල සාරා දමන ලද්දේ යයි කිය යි.
මහණෙනි මෙහි මහණ තෙමේ මැනැවින් කියන්නේ,