1. 8. 9.
ලෝක සූත්‍රය
82. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “ලෝක ය ලෝකය යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් ලෝකය යි කියනු ලැබේ දැ” යි.
මහණ, (පලුදු වේ) නැසේ නු යි එහෙයින් ලෝකය යි කියනු ලැබේ. කිමෙක් පලුදු වේ ද යත්: මහණ, ඇස පලුදු වේ. රූ පලුදු වේ. චක්ඛුවිඤ්ඤාණය පලුදු වේ. ඇස්පහස පලුදු වේ. ඇස් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද පලුදු වෙයි … මහණ, පලුදු වේ නු යි (නැසේ) එහෙයින් ලෝකය යි කියනු ලැබේ යි.
1. 8. 10.
ඵග්ගුන සූත්‍රය
83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් ඵග්ගන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, නැසූ තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ ඉකුත් බුදුවරයන් පිරිනිවි යම් ඇසෙකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් ඇද්දැ යි. … වහන්ස, පිරිනිවි ඉකුතු බුදුවරයන් යම් දිවකින් පනවා නම් එබඳු දිවෙක් ඇද්ද යි. … නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් ඇද්ද යි.
ඵග්ගුන, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් ඇසකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් නැත්ම ය. … ඵග්ගුණ, පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් දිවෙකින් පනවා නම් එබඳු දිවෙක් නැත් ම ය. … ඵග්ගුණ, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවී ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් නැත් මැ යි.
අටවැනි ගිලාන වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ගිලාන නමින් සූත්‍ර දෙකෙක් ද රාධ නමින් අනෙක් තුනෙක් ද කියන ලදහ. අවිජ්ජා නමින් දෙකෙක් ද භික්ඛු ලෝක ඵග්ගුණ යයි සූත්‍ර තුනෙක් ද කියන ලදහ.
9. ඡන්න වර්‍ගය
1. 9. 1.
පලෝකධම්ම සූත්‍රය
84. සැවැත්නුවර–
එසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. ... එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: වහන්ස, ලෝක යැ ලෝක යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝක යැ යි කියනු ලැබේ දැ යි.
ආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසැහැවි ඇත් ද, ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යැ යි කියනු ලැබේ. ආනන්‍දයෙනි, කිමෙක් බිඳෙනසුලු වේ යැ යත්: ආනන්‍දයෙනි, චක්‍ෂුස බිඳෙනසුලු යැ රූපයෝ බිඳෙනසුලු යැ චක්‍ෂුර්විඥානය බිඳෙනසුලු යැ චක්‍ෂුසංස්පර්‍ශය බිඳෙනසුලු යැ චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් ද එ ද බිඳෙනසුලු යැ ...
ජිව්හා බිඳෙනසුලු යැ රසයෝ බිඳෙනසුලු යැ ජිව්හාවිඥානය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යැ ...
මනස බිඳෙනසුලු යැ. ධර්‍මයෝ බිඳෙනසුලු යැ. මනෝවිඥානය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශ ප්‍රත්‍යෙයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යි. ආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසුලු වේ ද ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යයි කියනු ලැබේ.
1. 9. 2.
සුඤ්ඤතලෝක සූත්‍රය
85. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: වහන්ස, ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ දැයි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ.
ආනන්‍දයෙනි, කිමෙක් ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ යැ යත්: ආනන්‍දයෙනි, චක්‍ෂුස ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍යයහ. චක්ඛුවිඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ චක්ඛුසම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි … මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි. යම් හෙයෙකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද එහෙයින් ‘ලෝකය ශූන්‍ය’ යැ යි කියනුලැබේ.
1. 9. 3.
සඞ්ඛිත්තධම්ම සූත්‍රය
86. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. වහන්ස, ආරාධනා කෙරෙමි මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකවිහාරී වැ ගණයා කෙරෙන් වෙන් වැ සිහි ඇති වැ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වැ අරමුණට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නෙමි නම් එවන් දහමක් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දේශනා කරන සේක්වා’යි.
ආනන්‍දයෙනි, ඒ කිමැයි හඟිහි? චක්‍ෂුස නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය තෙල මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ දැ යි. වහන්ස, තෙල නිසි නො වේ මැ යි රූපයෝ නිත්‍ය හෝ වෙත් ද අනිත්‍ය හෝ වෙත් දැ යි. අනිත්‍යයහ වහන්ස, … චක්ඛුවිඤ්ඤාණය, … චක්ඛුසම්ඵස්සය ... චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැයි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය නම් එ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස, යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි ...
ජිව්හා නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි … රසයෝ … ජිව්හාවිඤ්ඤාණය ... ජිව්හාසම්ඵස්සය … මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි. නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැයි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුකැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ දැ යි. වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි.
ආනන්‍දයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි ද කලකිරෙයි. රූපයන්හි ද කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි දු කලකිරෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි දු කලකිරෙයි ... මනස්සංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ විරක්ත වෙයි, විරාග හේතුවින් විමුක්ත වෙයි. විමුක්ත කල්හි ‘විමුක්ත’ යැ යි ඥානය වෙයි. “ජාතිය ක්‍ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද යැ. කරණී කරනලද, මේ රහත්බව් පිණිස කළයුතු අන් කිසෙක් නැති යි ද දැනගනී යයි.
1. 9. 4.
ඡන්න සූත්‍රය
87. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් වෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැඟී ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කරුණ වදාළහ: ‘යම්හ ඇවැත්නි චුන්‍දයෙනි, ආයුෂ්මත් ඡන්න තෙරුන් කරා ගිලන්උවටැන් පුළුවුස්නමෝ එළැඹෙම්හ’යි. ‘එසේ යැ, ඇවැත්නි’යි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
එසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ පනවනලද අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න තෙරණුවන්ට තෙල කරුණ වදාළහ.
කිම ඇවැත්නි, තොපට ඉවැසියහැකි ද, කිම යැපියහැකි ද, කිම දුක් වේදනාවෝ බැසයෙත් ද, නො වැඩෙත් ද, බැස යෑමේ අවසානය පැනේ ද, වැඩීමෙක් නො පැනේ දැ? යි.
ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මට ඉවැසිය නො හෙයි, යැපිය නො හෙයි, මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො බැසයෙති, වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙකු තියුණු සැතෙකින් මුදුන පෙළා ද එපරිද්දෙන් මැ ඇවැත්නි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළති.
ඇවැත්නි, මට ඉවැසිය නො හෙයි යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙක් දැඩි වරපටෙකින් හිසෙහි හිස්වෙළුම් දෙන්නේ ද, එපරිද්දෙන්ම ඇවැත්නි, මාගේ ශීර්‍ෂවේදනා අධිමාත්‍ර වෙයි.
ඇවැත්නි, මට ඉවසිය නොහෙයි. යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක ඇතැවැසියෙක් හෝ තියුණු වූ ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එපරිද්දෙන් මැ ඇවැත්නි, අධිමාත්‍ර වාතයෝ කුස කපති.
ඇවැත්නි, මට ඉවසිය නො හෙයි. යැපිය නො හෙයි ... බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වලතර පුරුෂයක්හු වෙන වෙන අත්හි ගෙන සහළඟුරු වළෙකලා තවන්නාහු ද හාත්පසින් තවන්නාහු ද එපරිද්දෙන් මැ ඇවැත්නි, කයෙහි අධිමාත්‍ර දාහ වෙයි.
ඇවැත්නි, මට ඉවසිය නො හෙයි යැපිය නො හෙයි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති. නො බැස යෙති. වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශස්ත්‍රයක් එළවන්නෙමි, ජීවිතය නො කැමැත්තෙමි’යි.
ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ නහමක් ශස්ත්‍රාහරණ කෙරෙත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය භෝජන සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය බෙහෙසත් නැත් නම් මම සත්ප්‍රාය බෙහෙසත් සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට ප්‍රතිරූප උපස්ථායකෝ නැත් නම් මම ආයුෂ්මත් ඡන්න තෙරණුවනට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ සැතක් නො එළවත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ’යි.
ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මට නිසි බොජුන් නැත්තේ නො වෙයි, මට නිසි බොජුන් ඇත. මට නිසි බෙහෙත් නැත්තේ ද නො වෙයි. මට නිසි බෙහෙත් ඇත. මට ප්‍රතිරූප උපස්ථායකයෝ නැත්තාහු ද නො වෙති, මට ප්‍රතිරූප උපස්ථායකයෝ ඇත. එතෙකුදුවත් ඇවැත්නි, මා විසින් දිගුකලක් මුළුල්ලෙහි අමනාප කායකර්‍මාදියෙන් නො වැ මනාප වූ කායකර්‍මාදියෙන් මැ ශාස්තෲන් වහන්සේ ඇසුරුකරන ලදහ. ඇවැත්නි, අමනාප වූ කායකර්‍මාදියෙන් නො ව මනාප වූ මැ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේ යැ යන යමෙක් ඇද්ද, තෙල කරුණ මැ ශ්‍රාවකයක්හට නිසි වෙයි. එහෙයින් ඡන්න මහණ (අප්‍රතිසන්‍ධික වැ) ශස්ත්‍රාහරණ කරන්නේ යයි යන තෙල කරුණ ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ධරනසේක්වා යි.
ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ප්‍රශ්නව්‍යාකරණයට අවකාශ කෙරෙත් නම් ඇපි ආයුෂ්මත් ඡන්න තෙරුන් අතින් කිසි කරුණක් පුළුවුසුම්හ’ යි.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, පුළුවුස්නා මැනැවැ, අසා දන්නමෝ වේ දැ යි.
ඇවැත්නි, ඡන්නයෙනි, චක්‍ෂුස, චක්‍ෂුර්විඥානය, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, ශ්‍රෝත්‍රය … ඇවැත්නි, ඡන්නයෙනි ඝ්‍රාණය ... ඇවැත්නි, ඡන්නයෙනි, ජිහ්වාව, ජිහ්වාවිඥානය, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, කය … ඇවැත්නි, ඡන්නයෙනි මනස, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු දැ යි.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි චක්‍ෂුස, චක්‍ෂුර්විඥානය, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නොවෙමි, තෙලෙ මාගේ ආත්ම නොවේ ය”යි දක්මි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශ්‍රෝත්‍රය ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ඝ්‍රාණය ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජිහ්වාව, ජිහ්වාවිඥානය, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නොවෙයි, තෙලෙ මම නොවෙමි තෙලෙ මාගේ ආත්ම නො වේ ය යි දක්මි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කය … ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි මනස, මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි දක්මි’යි.
ඇවැත්නි ඡන්නයෙනි චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන චක්‍ෂුස චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ‘තෙල මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ ය යි දකිවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, ශ්‍රෝත්‍රයෙහි ... ඇවැත්නි ඡන්නයෙනි, ජිහ්වායෙහි ජිහ්වාවිඥානයෙහි ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන ජිහ්වා ජිහ්වාවිඥානය ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ යයි දකිවු ද? ඇවැත්නි ඡන්නයෙනි, කයෙහි ... ඇවැත්නි, ඡන්නයෙනි, මනසෙහි මනෝවිඥානයෙහි, මනෝවිඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන මනස, මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය” යි දකිවු දැ යි.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන චක්‍ෂුස චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ‘තෙල මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ ය’ යී දකිමි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශ්‍රෝත්‍රයෙහි ... ඇවැත්නි ශාරීපුත්‍රයෙනි ඝ්‍රාණයෙහි … ඇවැත්නි ශාරීපුත්‍රයෙනි ජිහ්වායෙහි, ජිහ්වාවිඥානයෙහි ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන ජිහ්වාව ජිහ්වාවිඥානය ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි දකිමි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කයෙහි ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මනසෙහි මනෝවිඥානයෙහි, මනෝවිඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන මනස , මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ යයි දකිමි” යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරුණුවන්ට තෙල කරුණ කීහ: “ඇවැත්නි ඡන්නයෙනි, (යම් හෙයෙකින් මාරණාන්තික වේදනා සිහිය නොහී ශස්ත්‍රාහරණ කෙරෙමි කියහි ද) එහෙයින් මෙ කරුණෙහි ලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනය ද නිරතුරු මැනැවින් මෙනෙහි කළයුතු යැ. (තෘෂ්ණා මාන දෘෂ්ටි) නිශ්ශ්‍රිතයහට චලන වෙයි. අනිශ්‍රිතයහට චලන නැති. චලන නැති වත් මැ (කාය චිත්ත) ප්‍රශ්‍රබ්ධි (සන්හිඳීම) වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇති කල්හි භවනිකන්ති නො වෙයි, භවනිකන්තිය නැති කල්හි (ප්‍රතිසන්‍ධි විසින්) ආගමන ද (ච්‍යුති විසින්) ගමන ද නො වෙයි. ආගති ගති නැති කල්හි චුති - උප්පත්ති නො වෙයි, චුති - උප්පත්ති නැති කල්හි මෙලොව්හි නො වෙයි. පරලොව්හි නො වෙයි. දෙලොව්හි නො වෙයි. මෙ මැ දුඃඛයාගේ අන්තය වේ” යයි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහා චුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවනට මේ ඕවායෙන් ඔවා දී හුනස්නෙන් නැගී වැඩියහ. එසඳ ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ඒ ආයුෂ්මතුන් නැඟී වැඩි නොබෝ වේලායෙහි ශස්ත්‍රාහරණ කළහ.
එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: වහන්ස, ආයුෂ්මත් ඡන්න තෙරුන් විසින් ශස්ත්‍රාහරණ කරන ලද. උන්ගේ ගති කවර? පරලෝ කවරෙ? යයි. ශාරීපුත්‍රයෙනි ඡන්න මහණහු විසින් තොප හමුයෙහි මැ අනුපවද්‍ය (අප්‍රතිසන්‍ධික) බව ප්‍රකාශ කරන ලද නො වේ දැයි.
වහන්ස, ‘පුබ්බවීර’ වැදෑගමෙක් ඇත. එහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ මිත්‍රකුලයෝ සුහදකුලයෝ උපවද්‍ය (එළැඹියයුතු) කුලයෝ ඇතැයි.
ශාරිපුත්‍රයෙනි, ඡන්න මහණහට තෙල මිත්‍රකුලයෝ සුහද කුලයෝ උපවද්‍ය (එළැඹියයුතු) කුලයෝ ඇත් මැ යි. ශාරීපුත්‍රයෙනි මම මෙතෙකින් ‘සඋපවජ්ජ’ යයි නො කියමි. ශාරිපුත්‍රයෙනි, වැලිදු යමෙක් මේ කයත් (ච්‍යුති වශයෙන්) බහාතබා ද අන් කයකුත් (ප්‍රතිසන්‍ධි වශයෙන්) උපාදාන කෙරේ ද මම ඔහු ‘සඋපවජ්ජ’ යයි කියමි. එය ඡන්න මහණහට නැත. ශාරීපුත්‍රයෙනි, ඡන්න මහණහු විසින් අප්‍රතිසන්‍ධික කොට ශස්ත්‍රාහරණ කරන ලදැ’යි තෙල කරුණ මෙසේ ධරව’ යි.
1. 9. 5.
පුණ්ණ සූත්‍රය
88. එකල්හි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු ) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා” යි.
පුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූ ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටී ද, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. පුණ්ණ සප්‍රීතික තෘෂ්ණාවේ ඉපැද්මෙන් දුකේ ඉපැද්ම වේ යයි කියමි.
පුණ්ණ සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය. ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ දහම් ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටි ද, පුණ්ණ, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. සප්‍රීතික තෘෂ්ණාව ඉපැද්මෙන් දුක් ඉපැද්ම වේ යයි කියමි.
පුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වු කමනීය වූ, මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු රූ ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද, පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව නිරුද්ධ වෙයි. සප්‍රීතික තෘෂ්ණාව නිරෝධයෙන් දුඃඛ නිරෝධය වේ යයි කියමි.
පුණ්ණ, සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය ... ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස් … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන පියදෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු දහම් ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ යයි කියමි.
පුණ්ණ, මා විසින් මේ අවවාදයෙන් සැකෙවින් අවවාද කරන ලද තෙපි කවර දනව්වෙක වසන්නහු දැ යි. වහන්ස, සුනාපරන්ත නම් දනව්වෙක් ඇත එහි මම වෙසෙන්නෙමි යි.
පුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු චණ්ඩයහ. පුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු පරුෂයහ. පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්තක මිනිස්සු අක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් මට සුනාපරන්තක මිනිස්සු ආක්‍රෝශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේය: මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම්හෙයකින් මොහු මට අතින් පහර නො දෙද්ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
පුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට අතින් පහර දෙන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු අතින් මට පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය.
මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයකින් මොහු මට කැටගලින් පහර නො දෙද්ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
පුණ්ණ ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට කැටගලින් පහර දෙන්නාහු නම් එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට කැටගලින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය, මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම්හෙයකින් මොහු මට දඬින් පහර නො දෙද්ද (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
පුණ්ණ ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට දඬින් පහර දෙන්නාහු නම් පුණ්ණය, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට දඬින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයකින් මොහු මට සැතින් පහර නො දෙද්ද (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
පුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට සැතින් පහර දෙන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට සැතින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයෙකින් මොහු මට තියුණු සැතින් මා දිවි තොර නො කෙරෙද් ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
පුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට තියුණු සැතින් තොප දිවියෙන් තොර කරන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු තියුණු සැතින් මා දිවියෙන් තොර කරන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: ඒ භාග්‍යවතුන් වහන්සේගේ සව්වෝ කයින් ද දිවියෙන් ද පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් කරන්නාහු ඇත්තාහ. (ඔහු) සැත් එළවාගැන්මක් සොයත්. ඒ මේ සැත්එළවා ගැන්ම මා විසින් නොසොයන ලදුව ම ලදැ යි, භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
පුණ්ණ, මැනවි, මැනවි, පුණ්ණ, මේ ඉන්‍ද්‍රියදමනයෙන් හා සංහිඳීමෙන් යුක්ත වූ තෙපි සුනාපරන්ත දනව්වෙහි වසන්නට හැකිවවු. පුණ්ණ, තෙපි දැන් එයට කල් දනිවු යි.
ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට සෙනසුන සකසා තබා පාසිවුරු ගෙන සුනාපරන්ත දනව්ව වෙත චාරිකාවට නික්ම ගියහ. පිළිවෙළින් චාරිකාව කරන්නේ සුනාපරන්තදනව්වට එළැඹියේ ය. ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ එහි සුනාපරන්තදනව්වේහි වැඩවෙසෙති.
එකල්හි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ ඒ ඇතුළුවස ම පන්සියක් පමණ උවසුවන්ට ධර්‍මාවබෝධය කරවූහ. ඒ ඇතුළුවස ම පන්සියක් පමණ උවැසියන්ට ධර්‍මාවබෝධය කරවූහ. ඒ ඇතුළුවස ම ත්‍රිවිද්‍යා පසක්කළහ. ඒ ඇතුළුවස ම පිරිනිවියහ.
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “පුණ්ණ නම් යම් ඒ කුලපුතෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬු අවවාදයකින් අවවාද කරන ලද්දේ ද හේ කලුරිය කළේ ය. ඔහුගේ ගති කවර? පරලොව කිමෙක් දැ” යි. මහණෙනි, පුණ්ණ කුලපුත් පණ්ඩිත විය. නවලොවුතුරුදහමට අනු ව පිළිපන්නේ ය. ධර්‍මාවබෝධය නිමිති කොට මට වෙහෙස ද නො කෙළේ ය. මහණෙනි, පුණ්ණ කුලපුත් පිරිනිවියේ යි.
1. 9. 6.
බාහිය සූත්‍රය
89. එකල්හි ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමාව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.
බාහිය, ඒ කිමැයි හැඟිහි ද, ඇස නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය, යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම යැයි දක්නට සුදුසු දැ” යි. වහන්ස, මෙය නො වේ ම ය.
රූප නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. ... චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. … චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
බාහිය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. (රහත්බව) පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
ඉක්බිති ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි ආයුෂ්මත් බාහිය තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් මගබඹසර කෙළවර වූ අනුත්තර වූ ඒ අර්‍හත්ත්‍වය නො බෝ කලකින් ම තුමූ වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ විසූහ.
ජාතිය ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. රහත්බව පිණිස කළ යුතු කරන ලදී. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගත්හ. ආයුෂ්මත් බාහිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
1. 9. 7.
එජා සූත්‍රය
90. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහිලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, ඉදින් මෙහි මහණ ද තෘෂ්ණා රහිත ව හුල් නැති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම්, චක්‍ෂුස ආත්ම ය යි නො හඟනේ යැ. චක්‍ෂුසෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුසින් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුස මාගේ යයි නො හඟනේ යැ. රූපයන් ආත්මය යි නො හඟනේ යැ. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟනේ යැ. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. රූපයෝ ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානය ආත්මය යි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානය ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය ආත්මය යි නො හඟනේ යැ. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුසංස්පර්‍ශයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුසංස්පර්‍ශය ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්‍ෂුස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එය ආත්මය යි ද නො හඟනේ යැ. එහි ආත්මය ඇතැයි ද නො හඟනේ යැ. එයින් බැහැරැ ආත්මය ඇතියි ද නො හඟනේ යැ. එය මාගේ යයි ද නො හඟනේ යි.
ශ්‍රෝත්‍රය ආත්මය යි නො හඟනේ යැ. ශ්‍රෝත්‍රයෙහි ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ... ඝ්‍රාණය ආත්මය යි නො හඟනේ යැ. ඝ්‍රාණයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. ... ජිහ්වාව ආත්මය යි නො හඟනේ යැ. ජිහ්වායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ජිහ්වායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ජිහ්වාව මාගේ යයි නො හඟනේ යැ. රසය ආත්මය යි නො හඟනේ යැ. ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... නො හඟනේ යැ ... ජිහ්වාසංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ආත්මය යි නො හඟනේ යැ. එහිදු ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ඉන් බැහැරැ දු ආත්මය ඇතැයි නො හඟනේ යැ. එය මාගේ යයි ද නො හඟනේ යි.
කය ආත්මය යි නො හඟනේ ය. .... සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි නො හඟනේ ය. සිතින් නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය. දහම් නො හඟනේ ය. මනෝවිඤ්ඤාණය නො හඟනේ ය. ... මනෝසම්ඵස්ස නො හඟනේ ය. ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ යි.
සියල්ල නො හඟනේ ය. සියල්ලෙහි නො හඟනේ ය. සියල්ලෙන් නො හඟනේ ය. සියල්ල මාගේ යයි නො හඟනේ ය. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්) නො ගනී. නො ගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 9. 8.
දුතිය එජා සූත්‍රය
91. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, එහෙයින් ඉදින් මෙසස්නෙහි මහණ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම් ඇස තෘෂ්ණාවශයෙන් නො හඟනේ ය. ඇසෙහි නො හඟනේ ය. ඇසින් නො හඟනේ ය. චක්‍ෂුස මාගේ යයි නො හඟනේ ය. රූප නො හඟනේ ය ... චක්‍ෂුර්විඥානය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණාවශයෙන් හඟී ද, යමෙක්හි හඟී ද යමකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි අලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
ශොත්‍රය නො හඟනේ ය … ඝ්‍රාණය නො හඟනේ ය. ජිහ්වාව ආත්මය යි නො හඟනේ ය. ජිව්හායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හා මාගේ යයි නො හඟනේ ය. රස ආත්මය යි නො හඟනේ ය … ජිව්හාවිඤ්ඤාණය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණා වශයෙන් හඟී ද යමෙක්හි හඟී ද යමකින් හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
කය ආත්මය යි නො හඟනේ ය. … සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. සිතින් බැහැර ආත්මය ඇතැයි නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය.
දහම් (අරමුණ) ආත්මය යි නො හඟනේ ය. … මනෝවිඤ්ඤාණය … මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් හඟී ද, යමෙක්හි හඟී ද, යමෙකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද, එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුණු ලෝවැසි තෙමේ භවය ම පතයි.
මහණෙනි, යම්තාක් ස්කන්‍ධ ධාතු ආයතනයෝ වෙත් නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් දැඩි සේ නො ගනී. නො ගන්නේ නො තැති ගනී. නො තැති ගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. රහත්බව පිණිස කළයුතු දෑ කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 9. 9.
ද්වය සූත්‍රය
92. මහණෙනි, තොපට දෙකක් (දෙ කොටසක් පිළිබඳ ධර්‍මයක්) දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දෙක කිමෙක් ද යත්: ඇස ද රූ ද, කන ද සද ද, නැහැය ද ගඳ ද, දිව ද රස ද, කය ද පහස් ද, සිත ද දහම් අරමුණ දැයි මහණෙනි මේ දෙක යයි කියනු ලැබේ.
මහණෙනි, යමෙක් මෙසේ කියන්නේ ද මම මේ (දහම්) දෙක පිළිකෙව් කොට අනෙක් දෙකක් පනවන්නෙමි යි. (ඒ) ඔහුගේ වචනමාත්‍රයෙක් ම වන්නේ ය. පුළුවුස්නා ලද්දේ ද සපයා කියන්නට නො හැකි වන්නේ ය. මතු ද වෙහෙසට පැමිණෙන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි යම් සේ නම් එමෙනි යි.
1. 9. 10.
දුතිය ද්වය සූත්‍රය
93. මහණෙනි, (හේතු ය - ප්‍රත්‍යය යන ධර්‍ම) දෙකක් නිසා විඤ්ඤාණය හටගනී. මහණෙනි, කෙසේ නම් දෙකක් නිසා විඤ්ඤාණය හටගනී ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඇස අනිසය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රූ අනිසයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ. මෙසේ මේ දෙක සැලෙන්නේත් වැය වන්නේත් වෙයි. අනිසය පෙරළෙන සුලුය වෙනස් වනසුලු ය. ඇස් විනැණ අනිසය. පෙරලෙනසුලුය. වෙනස් වනසුලුය. ඇස්විනැණ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිස ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍ය ය නිසා හටගත් චක්ඛුවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.