Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 9301-9400 න් 15083

ඇවැත්නි සාරිපුත්‍රයෙනි, යමකුට “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ ය කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ කියා හෝ ඒකාන්තයෙන්යෙන් මෙබඳු සිතෙක් වන්නේ ද, ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ඔහුගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ ඒකාන්තයෙන් වන්නේ ය. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වූකලි “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ යැ කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ” කියා හෝ බෙමඳු සිතෙක් නො වේ. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිම? ඒ මාගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ වන්නේ ද? (නො වන්නේ ම ය.)
ඒ එසේ මැ යි. ආයුෂ්මත් උපසේනයන් විසින් දිගුකලක සිට අහංකාර දෘෂ්ටිය මමීකාර තෘෂ්ණාව හා මානානුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් උපසේනයන්ට “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ … දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ … සිත මම යැ කියා හෝ සිත මාගේ යැ කියා හෝ මෙබඳු සිතෙක් නො වේ.
ඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය ඇඳක නඟා බැහැර ගෙන ගියහ. එකල්හි ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය බොල්මිටක් මෙන් එතැන ම විසිර ගියේ යි.
1. 7. 8.
උපවාණ සූත්‍රය
70. එක්ලහි ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් වැ හුන් ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ධර්‍මය සන්‍දිට්ඨික (තමා විසින් දැක්ක යුතු) යැ ධර්‍ම ය සන්‍දිට්ඨික යැ යි කියනු ලැබේ. වහන්ස, ධර්‍මය කෙතෙකින් සන්‍දිට්ඨිකත් අකාලිකත් (කල් නො යවා විපාක දෙන්නේත්) ඒහිපස්සිකත් (එව බලව යි කීමට සුදුසුත්) ඕපනයිකත් (සිත්හි ලා දැරීමට සුදුසුත්) නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වේ ද? යි,
උපවාණ, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක රූපය දන්නේත් රූපරාගය දන්නේත් වෙයි. තම සන්තානයෙහි ඇති රූපයන්හි රාගය මාගේ සන්තානයෙහි රූපයන්හි රාගය ඇතැ යි දනියි. උපවාණ, මහණ ඇසින් යම් ඒ රූ දැක රූපය දන්නේත් රූපරාගය දන්නේත් වේ ද, තම සන්තානයෙහි ඇති රූපයන්හි රාගය මාගේ සන්තානයෙහි රූපයන්හි රාගය ඇතැ යි දනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි ...
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ දිවෙන් රස විඳ රස දන්නේත් රසරාග දන්නේත් වෙයි. තම සන්තානයෙහි ඇති රසයන්හි රාගය තමාගේ සතන්හි රසයන්හි රාගය ඇතැ යි දනියි. උපවාණ, මහණ දිවෙන් යම් ඒ රසයක් ආස්වාදනය කොට රස දන්නේත් රසරාග දන්නේත් වේ ද, තම සතන්හි ඇති රසයන්හි රාගය මාගේ සතන්හි රසරාගය ඇතැයි දනි යි. උපවාණ මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතු වේ ...
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ සිතින් ධර්‍මය දැන ධර්‍මය දන්නේත් ධර්‍මරාගය දන්නේත් වේ. තමන් තුළ ඇති ධර්‍මයන්හි රාගය මාගේ සතන්හි ධර්‍මයන්හි රාගය ඇතැ යි දනි යි. උපවාණ, මහණ තෙමේ සිතින් යම් ඒ දහමක් දැන ධර්‍මය දන්නේත් ධර්‍මරාගය දන්නේත් වේ ද, සිය සතන්හි ඇති ධර්‍මයන්හි රාගය මාගේ සතන්හි ධර්‍මයන්හි රාගය ඇතැ යි දනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි.
උපවාණ, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක රූ දන්නේත් නොද රූපරාග දන්නේත් වේ. සිය සතන්හි නැති රූපයන්හි රාගය මා සතන්හි රූපයන්හි රාගය නැතැ යි දැනගනී, උපවාණ, මහණ ඇසින් යම් රූපයක් දැක රූ දන්නේත් නො ද රූපරාග දන්නේත් වේ ද, සියසතන්හි නැති රූපයන්හි රාගය මා සතන්හි රූපයන්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි.
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ දිවෙන් රස විඳ රස දන්නේත් නො ද රසරාග දන්නේත් වෙයි. සියසතන්හි නැති රසයන්හි රාගය මා සතන්හි රාගය නැතැ යි දැනගනී. උපවාණ මහණ දිවෙන් යම් රසයන් විඳ රස දන්නේත්, නො ද රසරාග දන්නේත් වේද, සියසතන්හි නැති රසයන්හි රාගය: මා සතන්හි රසයන්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි. ...
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ සිතින් දහම් දැන දහම් දන්නේත් නො ද දහම්රාගය දන්නේත් වෙයි. සිය සතන්හි නැති දහම්හි රාගය මා සතන්හි දහම්හි රාගය නැතැ යි දනියි. උපවාණ, මහණ සිතින් යම් දහමක් දැන දහම් දන්නේත් නො ද දහම්රාගය දන්නේත් වේ ද, සියසතන්හි නැති දහම්හි රාගය: මා සතන්හි දහම්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨික අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙ යි.
1. 7. 9.
පඨම ඡඵස්සායතන සූත්‍රය
71. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ හටගැන්මත් විනාශයත් විඳගැන්මත් දෝෂයත් නික්මයෑමත් තතු සේ නො දනී ද, ඔහු විසින් මඟබඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් දුරු වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි යි.
මහණ ඒ කුමැ යි හඟිහි ද? ඇස “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දකිහි දැ? යි. වහන්ස, එය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ යි”යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක්හි කෙළවර (නිවන) මෙය මැ යි ...
දිව: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දී වන්නේ නම් දුක් කෙළෙවර මෙය මැ යි ...
සිත: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක් කෙළවර මෙය මැ යි.
1. 7. 10.
දුතිය ඡඵස්සායතන සූත්‍රය
72. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නොවසන ලද, හේ මෙසස්නෙන් දුරු මැ වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහනස්, “මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තත් සේ නො දනිමි” යි.
මහණ, ඒ කුමැ, යි හඟිහි ද? ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මා නුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ පළමුවන ස්පර්‍ශායතනය මතු නූපදනා (නිවන) පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...
දිව “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ සිව්වැනි ඵස්සායතනය මතු නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...
සිත “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ය. මෙසේ තාගේ මේ සවැනි ඵස්සායතනය මත්තෙහි නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ යි.
1. 7. 11.
තතිය ඡඵස්සායතන සූත්‍රය
73. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් බැහැරැ වූයේ ම වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළ් ය: වහන්ස, “මෙහි ලා මම දැඩි සේ නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි” යි.
මහණ, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය වේ ද? නො හොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. ...
දිව නිත්‍ය වේ ද? නොහොත් අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය වේ ද? නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
මහණ, මෙසේ දක්නාසුලු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි සිතෙහි දු කලකිරෙයි.
කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. රහත් බව පිණිස කළ යුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස (කළයුතු) අනෙකක් නැතැ යි දැනගනී යි.
සත්වැනි මිගජාලවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
මිගජාල නමින් දෙකෙක් ද සමිද්ධි නමින් සතරෙක් ද උපසේන උපවාණ යයි දෙකෙක් ද ඵස්සායතනික සූත්‍ර තුනෙක් ද කියන ලදහ.
8. ගිලාන වර්‍ගය
1. 8. 1.
ගිලාන සූත්‍රය
74. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
වහන්ස, “අසෝ වෙහෙරෙහි අප්‍රසිද්ධ වූ එක්තරා නවක මහණෙක් හටගත් රෝග ඇති ව දුකට පැමිණ දැඩිගිලන් ව වෙසෙයි. වහන්ස, අයදිමි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණ වෙත එළඹෙන සේක්වා” යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නවකයෙක යන වචනයත් ගිලනෙක යන වචනයත් අසා නාඳුනන මහණෙකැයි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ එළඹෙන භාග්‍යවතුන් වහන්සේ දුර දීම දැක්කේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්වී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළ සේක: “මහණ කම් නැත. තෙපි ඇඳෙන් නැගිටිනා අයුරක් නහමක් කරහු. පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳින්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:
මහණ තට කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? දුක්ඛ වේදනාවෝ කිම අඩු වෙද්ද? වැඩි නොවෙද්ද? මේ වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැ නේ දැ යි.
වහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපියි හැකි ය. මාගේ දැඩි දුක්ඛ වේදනාවෝ වැඩිවෙත්. නොඅඩුවෙත්. මොවුන්ගේ වැඩිවීම මිස අඩුවීමෙක් නො පැනේ යි.
මහණ “තට කිසියම් කුකුසෙක් නො වේ ද? කිසියම් විපිළිසරෙක් නො වේ දැ” යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරයෙක් වේ.
මහණ කිම තෙමේ තට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ මැ යි.
මහණ, ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නො ම දනිමි යි.
මහණ ඉදින් තෙපි ශීලවිශුද්ධිය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි නො ම දනිහු නම් එකල්හි කුමක් පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිහු දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් රාගවිරාගය පිණිස දහම් දෙසන ලදැ යි මම දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ තෙපි රාගවිනය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිවු. මැනවි. මහණ මා විසින් දහම් දෙසන ලද්දේ රාගවිරාගය පිණිස මැ යි.
මහණ ඒ කිමැ යි හඟිහි ද? ඇස නිත්‍ය ද නොහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම්: “මෙය මාගේ ය. මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය ... දිව නිත්‍ය ද, නැතහොත් අනිත්‍ය දැ යි වහන්ස, අනිත්‍ය ය … සිත නිත්‍ය ද නැතහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද, නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය” යි එය දක්නට සුදුසු දැ යි. වහන්ස, නො වේම ය.
මහණ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහිදු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණුකල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමවන ලදි. කටයුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතැති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ අගාථක සූත්‍රය දෙසනු ලබන කල්හි ඒ මහණහට “යමක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසෙන සුලුය” යි. පහ වූ රජස් (කෙලෙස්) ඇති පැහැ වූ (කෙලෙස්) මල ඇති දහම් ඇස පහළ වූයේ යි.
1. 8. 2.
දුතිය ගිලාන සූත්‍රය
75. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, අසෝ වෙහෙරෙහි එක්තරා අප්‍රසිද්ධ නවක මහණෙක් වැළඳුණු ලෙඩ ඇති ව දුකට පැමිණ දැඩි ගිලන් ව වෙසෙයි. අයදිමි වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණහු වෙත එළඹෙන සේක්වා යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නවකයෙක යන කතාවත් ගිලනෙක යන කතාවත් අසා නාඳුනන මහණෙකැ යි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ තෙමේ එළඹෙන භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණට මෙය වදාළ සේක: මහණ, “කම් නැති, තෙපි ඇඳෙන් නැගිටින අයුරක් නහමක් කරහු පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳගන්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:
මහණ “තට ඉවසිය හැකි ද යැපිය හැකි ද කිම දුක් වේදනාවෝ අඩුවෙත් ද වැඩි නොවෙද් ද වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැනේ දැ” යි.
වහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. නො අඩු වෙත්. ඔවුන්ගේ වැඩිවීමෙක් මිස අඩුවීමෙක් නො පැනේ යි.
මහණ, කිම තට කිසියම් කුකුසෙක් නො වේ ද කිසියම් විපිළිසරෙක් නො වේ දැ යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරෙක් වේ යි.
මහණ, කිම තට තෙමේ ශීලයෙන් උපවාද කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් නහමක් උපවාද කෙරේ යි.
මහණ ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නොකෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද තාගේ විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි මම නො ම දනිමියි.
මහණ, ඉදින් තෙපි මා විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නොදනිවු නම්, මහණ තෙපි එසේ ඇති කල්හි මා විසින් කුමක් පිණිස දහම් දෙසන ලදැ යි දනිවු දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපාදාපරිනිර්‍වාණය පිණිස දහම් දෙසන ලදැයි මම දනිමි.
මහණ මැනවි මැනවි. මහණ තෙපි මා විසින් අනුපාදාපරිනිර්‍වාණය පිණිස දහම් දෙසන ලදැ යි දනිහු යනු මනාමය. මහණ මා විසින් උපාදාන නො කොට පිරිනිවීම පිණිස ම දහම් දෙසන ලදි.
මහණ තෙපි ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්‍ය ද නැතහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් වේ ද නැතහොත් සුව වේ දැයි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය. රූ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි. වහන්ස, අනිත්‍ය ය … චක්ඛුවිඤ්ඤාණය ... ඇස් පහස … ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද … මනපහස නිසා දුක් වූ හෝ සුව වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද නිත්‍ය ද නැතහොත් අනිත්‍ය ද? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
මහණ මෙසේ දක්නාසුලු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරේ, රූ හි දු කලකිරේ, චක්ඛුවිඤ්ඤාණයෙහි දු කලකිරේ, ඇස්පහස්හි දු කලකිරේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරේ … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිතැති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ ආගාථකසූත්‍රය බණනු ලබන කල්හි ඒ මහණහුගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුනේ යි.
1. 8. 3.
අනිච්ච සූත්‍රය
76. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අයදිමි “භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසන්නෙම් නම් (එබඳු) දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.
රාධ, යමක් අනිස නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකටයුතු ය. රාධ කුමක් අනිස ද යත්: රාධය, ඇස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රූ අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.
දිව අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රස අනිස ය ... ජිව්හාවිඤ්ඤාණය අනිස ය. … දිව්පහස අනිසය … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිස ය එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.
සිත අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකට යුතු ය. දහම් අනිස ය. … මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය. … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රාධය, යමක් අනිස නම් එහිලා ඡන්‍දය පහකටයුතු යි.
1. 8. 4.
දුක්ඛ සූත්‍රය
77. රාධය, යමක් දුක් නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකළ යුතු ය. රාධය, කුමක් දුක් ද යත්: රාධ, ඇස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද දුක් ය. එහිලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ, යමක් දුක් නම් එහි ලා ඡන්‍දය පහකළ යුතු යි.
1. 8. 5.
අනත්ත සූත්‍රය
78. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … රාධ යමක් අනත් නම් එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ කුමක් අනත්ද යත්: රාධ, ඇස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය.
ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය.
දිව අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. හෙ ද … සිත අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. දහම් … මනෝවිඤ්ඤාණය ... මනපහස … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ, යමක් අනත් නම් එහි ලා ඡන්‍දය පහකළ යුතු යි.
1. 8. 6.
අවිජ්ජා සූත්‍රය
79. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය . … එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇද්දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහමෙක් ඇත් ම ය. වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහු ගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහම අවිද්‍යාව ය.
වහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද? විදු උපදී දැ? යි. මහණ, ඇස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදි යි. රූ අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. චක්ඛුවිඤ්ඤාණය අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි ...
දිව අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පහවෙයි. විදු උපදියි. ...
සිත අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි. දහම් … මනෝවිඤ්ඤාණය … මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදි යි.
1. 8. 7.
දුතිය අවිජ්ජා සූත්‍රය
80. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. … එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ ද, විද්‍යාව උපදී ද, එබඳු එක්දහමෙක් ඇද් දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇත් මැ යි. වහන්ස, යමක් ප්‍රහාණයෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහම අවිද්‍යාව ය.
වහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද විදු උපදී දැ යි. මහණ, මෙහි මහණහු විසින් සියලු (ත්‍රෛභූමක) ධර්‍ම (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මහණහු විසින් සියලු (ත්‍රෛභූමක) ධර්‍ම (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි මෙය අසන ලද්දේ වේ නම් හෙතෙමේ සියලු දහම් වෙසෙසින් දනී. සියලු දහම් වෙසෙසින් දැන සියලු දහම් පිරිසිඳ දනී. සියලු දහම් පිරිසිඳ දැන සියලු නිමිත් අනත් විසින් දකී. ඇස අනත් විසින් දකී. රූ අනත් විසින් දකී. චක්ඛුවිඤ්ඤාණය අනත් විසින් දකී. ඇස්පහස අනත් විසින් දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී ...
මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහු ගේ අවිදු පැහේ. විදු උපදී.
1. 8. 8.
සම්බහුලභික්ඛු සූත්‍රය
81. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකපස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි මෙසේ අප පුළුවුසිති. වහන්ස, එසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජ්ජනට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනගනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ ය” යි මෙසේ පවසමු. වහන්ස, කිමෙක් ද? එසේ පුළුවුස්නා ලද අපි මෙඅයුරින් පවසන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කෙරෙමු ද? දහමට ද අනුදහමක් පවසමු ද? කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතුබවට නො පැමිණේ දැ යි.
මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙඅයුරින් පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නෝ වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දහමක් පවසවු, කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු බවට නො ද පැමිණෙයි. මහණෙනි, දුක පිරිසිඳ දැනීම පිණිස ම මා කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණ ගොයුම් කෙරෙහි බඹසර වසනු ලැබේ නම් ඒ දුක කවරේ දැ” යි. මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙඅයුරින් පවසන්නාහු ය.
ඇවැත්නි, ඇස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබෙ යි. රූ … ඇස්පහස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.
දිව දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. රස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … ජිව්හාවිඤ්ඤාණය දුක් ය … දිව්පහස දුක් ය. දිව් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.
සිත දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. දහම් දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … මනෝවිඤ්ඤාණය දුක් ය … මනපහස දුක් ය .... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙ අයුරින් පවසන්නහු ය