54. සැවැත්නුවර–
වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ දැ? යි.
මහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. රූප අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය, අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් හෙද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ.
මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ යයි.
1. 6. 3.
සංයෝජන සමුග්ඝාත සූත්‍රය
55. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ දැ? යි.
මහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. රූප අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්‍ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් ම නැසීමට යේ. චක්‍ෂුස්සංසපර්‍ෂය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ … මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ.
මහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ යි.
1. 6. 4.
ආසවපහාන සූත්‍රය
56. සැවැත්නුවර–
වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ දැ? යි.
මහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ. රූ ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස් සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ.
මහණ, මෙසේ දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ යි.
1. 6. 5.
ආසවසමුග්ඝාත සූත්‍රය
57. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්‍රව සහමුලින් නැසීමට යේ දැ? යි.
මහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්‍රව සහමුලින් නැසීම යේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස්සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්‍රව සහමුලින් ම නැසීමට යේ.
මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට ආස්‍රව සහමුලින් නැසීමට යේ යි.
1. 6. 6.
අනුසයප්පහාන සූත්‍රය
58. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය ප්‍රහීණ වේ දැ? යි.
මහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අනුසය ප්‍රහීණ වේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුසංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දනන්හුට දක්නහුට අනුසය ප්‍රහීණ වේ.
මහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය ප්‍රහීණ වේ යි.
1. 6. 7.
අනුසයසමුග්ඝාත සූත්‍රය
59. සැවැත්නුවර–
වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ දැ? යි.
මහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස්සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ.
මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ යි.
1. 6. 8.
සබ්බුපාදානපරිඤ්ඤා සූත්‍රය
60. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්:
ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
කනත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කනෙහිත් කලකිරෙයි. ශබ්දයන්හිත් කලකිරෙයි. සෝතවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නැහැයෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. ඝානවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝානසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.
දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශයයි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.
කයත් ඵොට්ඨබ්බත් නිසා කායවිඤ්ඤාණ උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කයෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බයන්හිත් කලකිරෙයි, කායවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි, මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය යි.
1. 6. 9.
සබ්බුපාදානපරියාදාන සූත්‍රය
61. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනි.
දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනී.
සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය යි.
1. 6. 10.
දුතියසබ්බුපාදානපරියාදාන සූත්‍රය
62. සැවැත්නුවර–
මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්:
මහණෙනි, ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්‍ය ද නොහොත් අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් වෙයි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය” යි. දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
රූප නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය ... චක්ඛුසම්ඵස්සය … චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද … සෝතය … සද්දය … සෝතවිඤ්ඤාණය … සෝතසම්ඵස්සය … සෝතසම්ඵස්සය නිසා යම් වේදනාවක් උපදී නම් එ ද .... ඝානය … ගන්‍ධය ... ඝාණවිඤ්ඤාණය ... ඝානසම්ඵස්සය … ඝානසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් උපදී නම් එ ද ... කායය ... ඵොට්ඨබ්බය … කායවිඤ්ඤාණය … කායසම්ඵස්සය … කායසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද ... චිත්තය ... ධම්මය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි. මිදුණුකල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූ ය. බඹසැර වැස නිමවන ලද සිවුමග කටයුතු කරන ලද, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය යි.
සවැනි අවිජ්ජා වර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
අවිජ්ජා සූත්‍රය සඤ්ඤෝජනසූත්‍ර දෙක ය, අනෙක් ආස්‍රව සූත්‍ර දෙක ය, අනුසය නමින් කියන ලද සූත්‍රදෙක ය, පරිඤ්ඤා සූත්‍රය, පරියාදාන සූත්‍රදෙකය යි ඔහු දශයෙකි.
7. මිගජාල වර්‍ගය
1. 7. 1.
මිගජාල සූත්‍රය
63. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
වහන්ස, “ඒකවිහාරී ඒකවිහාරී” (එකලා ව වසනසුලු) යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඒකවිහාරී වේ ද? කෙතෙකින් සදුතියවිහාරීත් (දෙවැන්නකු සමඟ වසනසුලුත්) වේ දැ? යි. මිගජාල, ඇසින් දතයුතු ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති (ක්ලේශ) කාමයෙන් යුක්ත වූ රැඳිය යුතු වූ රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරී යයි කියනු ලැබේ. මිගජාල ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳියයුතු දිවින් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි, දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරි යයි කියනු ලැබේ ...
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ සදුතියවිහාරී ය යි කියනු ලැබේ.
මිගජාල, මෙසේ වසනසුලු වූ ද මහණ තෙමේ ශබ්ද රහිත වූ ඝෝෂ රහිත වූ ජනහසරින් උපදනා පවන් රහිත වූ මිනිසුන්ගේ රහස් ක්‍රියාවන්ට සුදුසු වූ එකලා ව විසුමට සුදුසු වූ වනසෙනසුන් ද වනප්‍රස්ථ (=මනුෂ්‍යෝපචාරයෙන් ඈත) සෙනසුන් ද ප්‍රාන්ත (=මනුෂ්‍යවාසයෙන් ඉතා ඈත) සෙනසුන් ද සෙවුනේ නමුදු සදුතිය විහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්නා ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවූවා ය. එහෙයින් සදූතිය විහාරී යයි කියනු ලැබේ.
මිගජාල, ඉටු අරමුණ වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, නොවනා ද, ගැලී නො සිටී ද, එය නොපතන නොවනන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නො බැඳුණු මහණ ඒකවිහාරී යයි කියනු ලැබේ ...
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු දිවෙන් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමෙ එය නො පතා ද ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම් නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී යයි කියනු ලැබේ.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳියයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී ය යි කියනු ලැබේ.
මිගජාල මෙසේ වෙසෙනුලුසු මහණ ඉදිනුදු මහණුන්ගෙන් මෙහෙණන්ගෙන් උවසුන්ගෙන් උවැසියන්ගෙන් රජුන්ගෙන් රජමහා ඇමැතියන්ගෙන් තොටුවන්ගෙන් තොටුසව්වන්ගෙන් ගැවසීගන්නා ලද්දේ ග්‍රාමාන්ත සෙනසුන්හි වෙසේ ද එහෙත් ඒකවිහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්න ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවා ය. එහෙයින් ඒකවිහාරී යයි කියනු ලැබේ යි.
1. 7. 2.
දුතිය මිගජාල සූත්‍රය
64. එකල්හි, ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ යයි කියමි.
මිගජාල ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳීමට සුදුසු දිවෙන් දත යුතු රස ... ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ ය යි කියමි.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන, ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වේ ය යි කියමි.
මිගජාල, ... දිවෙන් දත යුතු රස ඇත. මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇත කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ ය යි කියමි යි. ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ හුදකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසනුවෝ යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර අර්‍හත්ත්‍වය ඉහාත්මයෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට (එයට) එළඹ විසූහ. ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි අවබෝධ කළහ. ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.
1. 7. 3.
සමිද්ධි මාරපඤ්හ සූත්‍රය
65. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවන අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළමියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ.: “වහන්ස, ‘මාර යැ මාර යැ’යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් මාර හෝ මාර ප්‍රඥප්ති වන්නේ දැ”යි.
සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාර ප්‍රඥප්ති හෝ ඇත ... ජිව්හා ඇද්ද, රසයෝ ඇද්ද, ජිව්හාවිඥාන ඇද්ද, ජිව්හාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති හෝ ඇත ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති ඇති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥානය නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති නැත ... ජිව්හා නැද්ද, රසයෝ නැද්ද, ජිහ්වාවිඥාන නැද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති නැත ... මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති හෝ නැතැ යි.
1. 7. 4.
සමිද්ධි සත්තපඤ්හ සූත්‍රය
66. රජගහනුවර–
“වහන්ස, ‘සත්ත්‍ව’ යැ ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘සත්ත්‍ව’ හෝ ‘සත්ත්‍වප්‍රඥප්ති’ හෝ වන්නේ දැ” යි.
සමිද්ධිය, යම් තැනෙක, චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති ඇත ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති ඇති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද, ජිහ්වාවිඥාන නැද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති නැත ... මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති නැතැ’යි.
1. 7. 5.
සමිද්ධි දුක්ඛපඤ්හ සූත්‍රය
67. වහන්ස, ‘දුඃඛ යැ දුඃඛ යැ’යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ ඇත ... ජිව්හා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ ඇත ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ ඇති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති, හෝ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද … මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ නැති.
1. 7. 6.
සමිද්ධි ලෝකපඤ්හ සූත්‍රය
68. වහන්ස, ‘ලෝක’ යැ ‘ලෝක’ යැ යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ හෝ ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ ඇත.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද ... මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ලෝක හෝ ලෝකප්‍රඥප්ති හෝ නැතැ’යි.
1. 7. 7.
උපසේන සූත්‍රය
69. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් උපසේන තෙරණුවෝත් රජගහ නුවරැ සීත වෙනෙහි සප්පසොණ්ඩික පර්‍වතගුහාවෙහි වැඩ විසූහ. එකල්හි ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කයෙහි ආශීර්විෂයෙක් වැටුණේ වෙයි.
එකල්හි ආයුෂ්මත් උපසේන තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, “එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපසේන තෙරුන්ට මෙය වදාළහ: ආයුෂ්මත් උපසේනයන්ගේ කයෙහි වෙනස්බවක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකුම්හ. එහෙත් ආයුෂ්මත් උපසේන මෙසේ කියයි. “ඇවැත්නි, එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි.