වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ…
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට ක්ලාන්ත වන්නහුට ක්ලාන්ත කරවන්නහුට කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නසන්නහුට නස්වන්නහුට නුදුන් දේ ගන්නහුට ගන්වන්නහුට ගෘහසන්‍ධි සිඳින්නහුට ගම් පහරන්නහුට එක්ගෙයක් පහරන්නහුට මං පැහැරීමෙහි යෙදී සිටින්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි හැඟීමෙන්) කරන්නහුට පවෙක් නො කෙරෙයි. (පවෙක් නැත). ඉදින් යමෙක් කරවැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්‍රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංතෙරට ද යන්නේ නම් එ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරු ගං තෙරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්‍ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි ආර්‍ය්‍යශ්‍රාවකගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්හටගැන්මෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්නැවැත්මෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මට යන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි මේ ආර්‍ය ශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙන සැහැවි යැ, ගතිනියත යැ සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ යි.
3. 1. 7.
හේතු සූත්‍රය
212. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධි වෙත්. (තමා සුවපත් කරනුවට) බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බල නැත්තාහු වීර්‍ය්‍ය රහිත වූවාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු සවැදෑරුම් (කෘෂ්ණ නීලාදී) අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භග්‍වත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයන් ගේ කෙලෙසීමට හේතුයෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි
වහන්ස, අනිත්‍ය යැ ….
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට “හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … ෂඩ් භිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?”
වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ…
යමෙක් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව, ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, හේතුරහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධ වෙත්. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බලරහිත වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු ෂඩභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛ යෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න යි කියනු ලැබේ යි.
3. 1. 8.
මහාදිට්ඨි සූත්‍රය
213. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා මෙබඳු දෘෂ්ටියක් උපදී ද? කිසිවකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති, ඉදු බෙලෙනුදු නො මැවුණු, අන් කිසි ලෙසෙකිනිදු නො මවන ලද, වඳ වූ (කිසිවක් නො උපදවන), පර්‍වත කූටයක් සේ ස්ථිර (පරිනාම රහිත) ඉන්‍ද්‍රකීලයක් සෙයින් නො සැලී සිටුනා, මේ සත්කාය (සමූහ) කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරළෙති, උනුනට බාධක නො වෙති, උනුනට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව දුක් දෙක ම පිණිස හෝ නො වෙත්.
කවර සතෙකැ යත්: පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛ, දුක්ඛ හා සත්වන ජීව යන සත යි. මේ සප්තකායයෝ නො කරන ලදහ, නො කළ විධාන ඇතියහ. නො මැවුණාහ නො මවන ලදහ, පර්‍වත කූටයක් සෙයින් සිටියහ, ඉන්‍ද්‍රකීලයක් සෙයින් තිරව සිටුනාහ. උහු තුමූ නො සැලෙති, නොම පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළෙති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුව-දුක් පිණිස වේව යි නො ද පොහොසත් වෙත්. යමෙක් තියුණු සැතින් (යමකුගේ) හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කරයි. වැළිදු සප්තකාය අතරින් සැත විවරයට වැදගනී.
මේ ප්‍රමුඛ යෝනි තුදුස් සිය දහසෙක් වෙයි, අන්‍ය වූ ද යෝනි සදහසෙක් ද සසියෙක් ද වේ. කර්‍ම පන්සියයෙක් ද (අන්සැටියකින්) කර්‍මපසෙක් ද (කාය-වාග් නම් වූ) පූර්‍ණ කර්‍ම ද (මනඃකර්‍ම නම් වූ) අර්‍ධකර්‍ම ද වේ. ප්‍රතිපත් දෙසැටෙකැ, අතුරුකප් දෙසැටෙකැ, (කණ්හාභිජාති ආදි) අභිජාති සයෙකැ, (මන්‍දභූමි ආදී) පුරුෂ භූමි අටෙකැ, ආජීවවෘත්ති එකුන්පනස් සියයෙකැ, පිරිවැජි පැවිදි එකුන්පනස් සියයෙකැ, නාමඬුලු එකුන්පනස් සියයෙකැ, ඉන්‍ද්‍රියයෝ එක්සිය විස්සෙකැ, නිරය එක්සිය තිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිර්ග්‍රන්‍ථගර්භ සතෙකැ, දේවගර්‍භ සතෙකැ, මනුෂ්‍යගර්භ සතෙකැ, පිසාචජාති සතෙකැ මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, ප්‍රපාත සතෙකැ, කුඩා ප්‍රපාත සත්සියයෙකැ, මහසිහින සතෙකැ, කුඩා සිහින සත්සියයෙකැ, බාලයෝ ද පණ්ඩිතයෝ ද (සසර) දුව හැවිද දුක් කෙළවර කෙරෙත් නම් එබඳු කල්ප සුවාසූ ලක්‍ෂයෙකි.
එහි “මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නො මුහුකළ කර්‍මය මුහුකුරු වන්නෙමි යි කියා හෝ මුහුකළ කර්‍මය විඳ විඳ කෙළවර කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුත්තෙක් නැති. ද්‍රෝණයෙන් මැන ප්‍රමාණ කරන ලද සෙයින් සුව දුක් (කියන ලද කාලය තුළ) කෙළවර කරන ලද වෙයි. සසර පිරිහීමෙක් වැඩීමෙක් නැත, නැගීමෙක් බැසීමෙක් නැති. යම් සේ දමා ලූ හූ වටෙක් ලිහෙමින් දිග ඇති පමණක් ම යේ ද, එසෙයින් ම බාලයෝ ද පණ්ඩිතයෝ ද (කාල වශයෙන් යෙමින්) සුවදුක් විඳුනාහ” යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී ද?)
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස නොකළ නොකරන ලද නොකළ විධාන ඇති මේ සප්තකායයෝ වෙති … සුවදුක් විඳුනාහ”යි. මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස නොකළ, නොකළ විධාන ඇති මේ සත් කයෙක් වෙයි … සුවදුක් විඳුනාහ”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය ද හෝ අනිත්‍ය ද හෝ යි?
වහන්ස, අනිත්‍ය යැ. …
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “නොකරන ලද නොකළ විධාන ඇති නොමැවුණ නොමවන ලද වඳ වූ පර්‍වත කූටයක් මෙන් සිටි ඉන්‍ද්‍රකීලයන් සේ නොසැලී තිර වැ සිටි මේ සප්ත කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති. ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. කවර සතෙකැ යත්: පඨවීකාය යැ, ආපෝ කාය යැ, තේජෝකාය යැ, වායෝකාය යැ සුඛ යැ, දුක්ඛ යැ, ජීවය”යි. මේ සත්තකායයෝ නො කරන ලදහ, නො කළ විධාන ඇතියහ, නොමැවුණහ, නොමවන ලදහ, වඳයහ, පර්‍වතකූටයක් සෙයින් සිටියහ. ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළෙත්, ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් නො තොර කෙරෙයි, වැලි සත් කය අතරින් ම සැත විවරයට පිවිසේ.
බාලයෝත් පණ්ඩිතයෝත් යමක් කරා දිව සැරිසරා දුක් කෙළවර කරන්නාහු නම් (එබඳු) මේ උතුම් යෝනි තුදුස්ලක්‍ෂ සදහස්සසියයෙක් ද කර්‍ම පන්සියයෙක් ද, කර්‍ම පසෙක් ද කර්‍ම තුනෙක් ද, කර්‍මයෙක් ද, අර්‍ධකර්‍මයෙක් ද වෙයි. ප්‍රතිපදා දෙසැටෙකැ. අතුරුකප් දෙසැටෙකැ, අභිජාති සයෙකැ, පුරුෂභූමි අටෙකැ, ආජීවකවෘත්ති එක්සියඑකුන් පනසෙකැ, පිරිවැජි පැවිදි එක්සිය එකුන්පනසෙකැ, නාමඬුලු එක්සිය එකුන්පනසෙකැ, ඉන්‍ද්‍රිය එක්සියවිස්සෙකැ, නිරය එක්සිය තිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිගණ්ඨගර්‍භ සතෙකැ, දෙවියෝ සත්දෙනෙකැ, මිනිස්සු සත්දෙනෙකැ, පිසාචයෝ සත්දෙනෙකැ, මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, මහාප්‍රපාත සතෙකැ, කුඩාප්‍රපාත සත්සියයෙකැ, මහසිහින සතෙකැ කුඩාසිහින සත්සියයෙකැ මහාකල්ප සුවාසුලක්‍ෂයෙකි. මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නුමුහුකුරා ගිය කර්‍මයක් මූකුරු වන්නෙමි යි හෝ එහි නැත. මුහුකුරා ගිය කර්‍මයක් විඳිමින් ගෙවන්නෙමි යි හෝ මෙසේත් නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනින ලද මෙනි. සසර කරන ලද කෙළවර ඇත්තේ යැ. පිරිහීම් වැඩුම් නැත. උස්පහත් වීම් නැති. (පර්‍වතයෙක හෝ රුක් මුදුනෙක හෝ සිට) හූගුලක් දමා ගැසූ කල්හි යම් සේ (හුයේ පමණට) ලිහෙමින් යේ ද, එසෙයින් ම බාලයෝත් පණ්ඩිතයෝත් (කාල වශයෙන්) ලිහෙමින් සුවදුක් දෙකට යෙති යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද නම් අසන ලද නම් සුඹුනා විඳුනා පහස්නා ලද නම් දන්නා ලද නම් පැමිණෙන ලද නම් සොයන ලද නම් සිතින් හැසිරෙන ලද නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ? යි
වහන්ස, අනිත්‍ය යැ …
යමෙක් දුක් නම් පෙරැළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “නො කරන ලද, නො කළ විධාන ඇති නො මැවුණු නොමවන ලද වඳ වූ පවුකුළක් මෙන් සිටී, ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටි මේ සත්කයෙකි. ඔහු නො සැලෙති, නො වෙනස් වෙති. ඔවුනොවුන් නො පෙළත්. ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. කවර සතෙකැ යත්: පඨවිකාය යැ, ආපෝකාය යැ, තේජෝකාය යැ, වායෝකාය යැ, සුඛ යැ දුක්ඛ යැ, ජීව ය යි. මේ සත්කායයෝ නො කරන ලදහ. නොකළ විධාන ඇතියහ. නො මැවුණහ, නො මවන ලදහ, වඳයහ,
පවුකුළක් සේ සිටියහ. ඉන්‍ද්‍රකීලයක් මෙන් නො සැලී සිටියහ. ඔහු නො සැලෙති, නො වෙනස් වෙති. ඔවුනොවුන් නො පෙළති, ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් නො තොර කෙරෙයි. හුදෙක් සත්කාය අතරින් මැ සැත විවරයට පිවිසේ.
බාලයෝත්, පණ්ඩිතයෝත් යමෙක දිව සැරිසරා දුක් කෙළවර කරන්නාහු නම් (එබඳු) මේ උතුම් යෝනි තුදුස් ලක්‍ෂ සදහස් සසියයෙක් වෙයි, කර්‍ම පන්සියයෙක් ද, කර්‍ම පසෙක් ද, කර්‍ම තුනෙක් ද කර්‍මයෙක් ද, අර්‍ධ කර්‍මයෙක් ද, වේ. ප්‍රතිපදා දෙසැටෙකැ. අතුරුකප් දෙසැටෙකැ, අභිජාති සයෙකැ, පුරුෂභූමි අටෙකැ, ආජීවක වෘත්ති එක්සිය එකුන්පනසෙකැ, පිරිවැජි පැවිදි එක්සිය එකුන්පනසෙකැ, නාමඬුලු එක්සිය එකුන්පනසෙකැ, ඉන්‍ද්‍රිය එක්සියවිස්සෙකැ, නිරය එක්සියතිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිගණ්ඨගර්‍භ සතෙකැ, දෙවියෝ සත්දෙනෙකැ, මිනිස්සු සත්දෙනෙකැ, පිසාචයෝ සත්දෙනෙකැ, මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, මහාප්‍රපාත සතෙකැ, කුඩාප්‍රපාත සත්සියයෙකැ මහසිහින සතෙකැ, කුඩාසිහින සත්සියයෙකැ, මහාකල්ප සුවාසූ ලක්‍ෂයෙකි.
“මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නුමුහුකුරා ගිය කර්‍මය මුහුකුර වන්නෙමි යි හෝ එහි නැතැ, මුහුකුරා ගිය කර්‍මය විඳිමින් ගෙවන්නෙමි’යි මෙසේත් නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනින ලද මෙනි. සසර කරන ලද කෙළවර ඇත්තේ ය. පිරිහීම් වැඩීම් නැත. උස්පහත් බැව් නැති. හූගුලක් (පර්‍වතයෙක හෝ රුක් මුදුනෙක හෝ සිට) දමා ගැසූ කල යම්සේ (හුයේ පමණට) ලිහෙමින් යේ ද, එසෙයින් ම බාලයෝත් පණ්ඩිතයෝත් (කාල වශයෙන්) ලිහෙමින් සුවදුකට යෙත් දැ”යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම්කලෙක මේ සතැන්හි අරීසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙන නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න යයි කියනු ලැබේ යි.
3. 1. 9.
සස්සත සූත්‍රය
214. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය ශාශ්වත යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය, ඇසුරු කොට විඥානයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ. …
දුක්, නම් වෙනස් වනසුලු, නම් එය නො ඇසුරු කොට ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද ද, අසන ලද ද, සුඹුනා-විඳුනා-පහස්නා ලද ද’ දන්නා ලද ද පැමිණෙන ලද ද, සොයන ලද ද, සිතින් හැසිරෙන ලද ද, හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ …
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය ශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි? “
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක හටගැන්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබේ යි.
3. 1. 10.
අසස්සත සූත්‍රය
215. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය, ඇති කල්හි රූපය, ඇසුරු කොට රූපයට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය ය ...
දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය ද හෝ? අනිත්‍ය ද හෝ යි?
වහන්ස, අනිත්‍ය යැ …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි
වහන්ස, මෙය නො වේ ම යැ.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … මහණෙනි, අපායෙහි නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබෙයි.
3. 1. 11.
අන්තවත් සූත්‍රය
216. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ලෝකය අන්තවත් (කෙළවර සහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස, ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ‘රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි”?
වහන්ස, අනිත්‍ය යැ …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? … දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ ‘සෝතාපන්න’ ය යි කියනු ලැබේ යි.
3. 1. 12.
අනන්තවත් සූත්‍රය
217. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘ලෝකය අනන්තවත් (කෙළවර රහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? ‘අනිත්‍ය හෝ වේ දැ?” යි
වහන්ස, අනිත්‍ය ය …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … එය නො ඇසුරු කොට ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ යි?
වහන්ස, මෙය නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
3. 1. 13.
තත් ජීව තත් ශරීර සූත්‍රය