Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 7001-7100 න් 15083

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
ආනන්‍දය, එ හෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ විවසුන්නුවණින් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇත් ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, ...
ආනන්‍දය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයෙහිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි, ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරණ ලදී. මේබැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.
පස්වැනි දිට්ඨි වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
අජ්ඣත්තික, එතං මම, සො අත්තා, නොච මෙ සියා, මිච්ඡාදිට්ඨි, සක්කායදිට්ඨි, අත්තානුදිට්ඨි යන සූත්‍ර සත යැ, අභිනිවේස සූත්‍ර දෙක යැ, ආනන්‍ද සූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.
උපරි පණ්ණාසකය නිමියේ යි.
එහි වර්‍ග නාමාවලිය:
අත්ත වර්‍ග යැ, ධම්මකථික වර්‍ග යැ, අවිජ්ජා වර්‍ග යැ, කුක්කුල වර්‍ග යැ, පස්වැනි වූ දිට්ඨි වර්‍ග යයි තුන් වන පණ්ණාසකය කියන ලද්දේ ය. එහෙයින් නිපාත යයි කියනු ලැබේ යි.
ඛන්‍ධකවර්‍ගය පිළිබඳ නිපාතයෙහි පණ්ණාසක තුන සමාප්ත යැ.
ඛන්‍ධසංයුත්තය නිමියේ යි.
2. රාධ සංයුත්තය
1. පඨම මාර වර්‍ගය
2. 1. 1.
මාර සූත්‍රය
160. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මාර මාර” යි කියනු ලැබෙයි, වහන්ස කොපමණෙකින් මාර වේ දැ”යි?.
රාධය, රූපය ඇති කල්හි මරු (මරණය) හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි රූපය මරු යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු, රෝග ය යි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසන යයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැ යි දකිවු. යම් කෙනෙක් එය (රූපය) මෙ සේ දකිත් ද ඔහු මැනවින් දකිති. වේදනාව ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි වේදනාව මරණ යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු ... යම් කෙනෙක් එ වේදනාව මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි සංස්කාර මරු යයි දකිවු, මැරිය යුත්තා ය යි දකිවු, මැරෙන්නා ය යි දකිවු ... යම් කෙනෙක් මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. විඥානය ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි විඥානය මරු යයි දකිවු, මැරිය යුත්තා යි දකිවු, මැරෙන්නා යි දකිවු, රෝග යයි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසනයයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැයි දකිවු. යම් කෙනෙක් එ විඥානය මේ සේ දකිත් ද, ඔහු මොනොවට දකිත් යි.
වහන්ස, මොනොවට දැක්ම කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, මොනොවට දැක්ම නිර්වේදය අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, නිර්වේදය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, නිර්වේදය විරාගය අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, විරාගය කුමක් අර්‍ත්‍ථකොට ඇත ද?
රාධය, විරාගය විමුක්තිය අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, විමුක්තිය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, විමුක්තිය නිවන අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, නිවන කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, ප්‍රශ්නය ඉක්මැවූයෙහි, ප්‍රශ්නයේ කෙළවර ගන්නට අසමත් වූයෙහි. නිවනට බැසගත් නිවන පිහිට කොට ඇති නිවන අවසන් කොට ඇති මඟබඹසර වෙසේ යි.
2. 1. 2.
සත්ත සූත්‍රය
161. සැවැත්නුවර:
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “සත්ත සත්ත” යි කියනු ලැබෙයි. වහන්ස කොපමණකින් සත්ත’යි කියනු ලැබේ දැයි?
රාධය රූපයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එ හෙයින් “සත්ත’යි කියනු ලැබෙ යි. වේදනාවෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් ... සංඥායෙහි ... සංස්කාර යෙහි… විඥානයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එහෙයින් ‘සත්ත’යි කියනු ලැබේ.
රාධය, යම්සේ කුඩාදරුවෝ හෝ කුඩාදැරියෝ හෝ වැලිගෙවලින් කෙළිද්ද, යම්තාක් ඒ වැලිගෙවල නොපහ වූ ඇලුම් ඇත්තෝ නොපහ වූ කැමැත්ත ඇත්තෝ නොපහ වූ ප්‍රේම ඇත්තෝ නොපහ වූ පවස් ඇත්තෝ නොපහ වූ පරිදාහ ඇත්තෝ නොපහ වූ ආශා ඇත්තෝ වෙද්ද, ඒතාක් ඒ වැලිගෙවල ඇලුම් කෙරෙති. කෙලායන (ලොල්බව) කෙරෙති. (එය) ධනයක් මෙන් හඟිති. මමත්‍වය කෙරෙත්.
රාධය, යම් කලෙක කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ වැලිගෙවල පහ ව ගිය කැමැත්ත ඇත්තෝ පහවගිය ඇලුම් ඇත්තෝ පහවගිය පෙම් ඇත්තෝ පහවගිය පවස් ඇත්තෝ පහවගිය පරිදාහ ඇත්තෝ පහවගිය ආශා ඇත්තෝ වෙද්ද, එ කල්හි ඒ වැලිගෙවල් අතින් ද පයින් ද විසුරුවති, බිඳදමති, වනසති, පහවූ ක්‍රීඩා ඇති කෙරෙත්.
රාධය, එ පරිද්දෙන් ම තොප විසින් රූපය විසුරුවවු, බිඳදමවු, වනසවු, පහ වූ, ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. වේදනාව විසුරුවවු ... සංඥාව විසුරුවවු ... සංස්කාරය විසුරුවවු ... විඥානය විසුරුවවු, බිඳ දමවු, වනසවු, පහවගිය ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. රාධ, තෘෂ්ණා ක්‍ෂය නිවන යි.
2. 1. 3.
භවනෙත්ති සූත්‍රය
162. සැවැත්නුවර:
එකත්පස්ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “භවනෙත්ති, භවනෙත්ති” යි කියනු ලැබෙයි. වහන්ස ‘භවනෙත්තිය’ නම් කවරක්ද, ‘භවනෙත්තිනිරෝධය’ කවරේ දැ යි?
රාධය, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපය උපාදාන කෙනෙක් සිතපිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් ද මේ ‘භවනෙත්ති’ යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ. වේදනාවෙහි යම් ඡන්‍දයෙක් ... සංඥාවෙහි යම් ඡන්‍දයෙක් ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් ... විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපයඋපාදාන කෙනෙක්, සිත පිළිබඳ අධිෂ්ඨාන, අභිනිවේස, අනුසය කෙනෙක් වෙද්ද, මේ ‘භවනෙත්ති’ යි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ ය යි .
2. 1. 4.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
163. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධ, පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනුම ද, පිරිසිඳ දන්නා පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
රාධය, පිරිසිඳ දතයුතු දහම් කවරැ යත්: රාධය, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. රාධය මොහු පිරිසිඳ දතයුතු දහම් ය යි කියනු ලැබෙත්.
රාධය, පිරිසිඳ දැනුම කවරැ යත්: රාධය යම් රාගක්‍ෂයයෙක් යම් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද; රාධය, මේ පිරිසිඳ දැනුම ය යි කියනු ලැබේ.
රාධය, පිරිසිඳ දත් පුඟුල් කවරෙ යත්:
මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මත් කෙනෙක් වෙත් නම් හේ අරහත් ය යි කිය යුතු වන්නේ යි. රාධය, මේ පිරිසිඳ දත් පුඟුල්’යි කියනු ලැබේ.
2. 1. 5.
සමණ සූත්‍රය
164. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් රූපෝපාදානස්කන්‍ධය: ... විඥානෝපාදානස්කන්‍ධ යි. රාධය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණ යත් තතු සේ නො දනිද් ද, රාධය, මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මත නො වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ බැව්හි ඵලයත් බමුණු බැව්හි ඵලයත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ නො ද වෙසෙති.
රාධය යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් තතු සේ දනිද්ද, රාධය, ඒ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මතයහ. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත යහ. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි ඵලත් බමුණුකමෙහි ඵලත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන එයට එළඹ වෙසෙති යි.
2. 1. 6.
දුතිය සමණ සූත්‍රය
165. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදානස්කන්‍ධ ය:… විඥානෝපාදානස්කන්‍ධයි. රාධය, යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද… තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹ වෙසෙති”යි.
සෝතාපන්න සූත්‍රය
166. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදාන ස්කන්‍ධය… විඥානෝපාදානස්කන්‍ධයි.
රාධය යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, රාධ, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක සිවු අපායෙහි නොවැටෙන සැහැවි ඇති ගතිනියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ”යි.
2. 1. 8.
අරහන්ත සූත්‍රය
167. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදානස්කන්‍ධ ය… විඥානෝපාදානස්කන්‍ධ යි.
රාධ, යම් කලෙක මහණ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන දැඩි ලෙස නො ගෙන මිදුණේ වේද, රාධ, මේ මහණ ක්‍ෂය වූ කෙලෙස් ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කිස ඇති, බහා තැබූ (ස්කන්‍ධ) බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය කළ බවබැඳුම් ඇති මැනැවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ”යි.
2. 1. 9.
ඡන්‍දරාග සූත්‍රය
168. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
“රාධ, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එ දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (සහමුලින් උදුරා හළ තල්ගස ඇති තැන මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය. වේදනායෙහි යම්, ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එය දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා උසුන්මුල් ඇත්තී හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී නැවත නොහටගන්නක් කරන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය. සංඥායෙහි… සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් වේ නම් එය දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් (තාලා වස්තුවක් මෙන්) කරන ලද්දාහු නැවත නොහටගන්න වුන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වන්නාහ. විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් වේ නම් එය දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය”යි.
2. 1. 10.
දුතිය ඡන්‍දරාග සූත්‍රය
169. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
රාධය, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් (හෝ සහමුලින් උදුරාහළ තල් ගස ඇති තැන මෙන්) මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
වේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා උසුන්මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දී නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය. සංඥායෙහි… සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දාහු නැවත නොහටගන්නවුන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වන්නාහ. විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය”යි.
පළමුවැනි මාර වර්‍ග යි
එහි සූත්‍රනාමාවලිය:
මාර, සත්ත, භවනෙත්ති, පරිඤ්ඤෙය යන සූත්‍ර සතර ය, සමණසූත්‍ර දෙක ය, සෝතාපන්න සූත්‍ර ය අරහන්ත සූත්‍රය ඡන්‍දරාගසූත්‍ර දෙක ය යි සූත්‍ර දශයෙකි.
2. දුතිය වර්‍ගය
2. 2. 1.
මාර සූත්‍රය
170. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘මාර, මාර’යි කියනු ලැබෙයි. වහන්ස, ‘මාර’ නම් කවරෙ යැ?
රාධය, රූපය මාර යැ, වේදනාව මාර යැ, සංඥාව මාර යැ, සංස්කාර මාර යැ, විඥානය මාර යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි. වේදනා යෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරේ. කලකිරෙනුයේ නො ඇලෙයි, නො ඇලීම් හේතුයෙන් (පස්කඳින්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි පස්විකුම් නැණ වෙයි, දැය ගෙවිණැ, මහබඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කොට නිමවන ලද, මේ රහත් බව සඳහා කළ යුතු අන් කිසෙක් නැතැ යි දැනගනී.
2. 2. 2.
මාරධම්ම සූත්‍රය
171. සැවැත්නුවර:
එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල, සැලකළහ: වහන්ස, ‘මාරධම්ම, මාරධම්ම’ යි කියනු ලැබෙයි. වහන්ස,‘මාර ධම්ම’ නම් කවරෙ යැ?
රාධය, රූපය මාරධම්ම යැ, වේදනාව මාරධම්ම යැ, සංඥාව මාරධම්ම යැ, සංස්කාර මාරධම්ම යැ, විඥානය මාරධම්ම යි. රාධ, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී.
අනිච්ච සූත්‍රය
172. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, අනිත්‍ය යැ, අනිත්‍ය’යි කියනු ලැබෙයි, වහන්ස, අනිත්‍ය නම් කිමෙක් දෝ”යි?
රාධය, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ. විඥානය අනිත්‍ය යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 4.