Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 6701-6800 න් 15083

මහණෙනි සංයෝජනිය ධර්‍මයෝ කවරහු ද, සංයෝජන කවරහු ද යත්:
මහණෙනි, රූපය සංයෝජනිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. වේදනාව සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. සංඥාව ... සංස්කාර ... විඥානය සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනිය දහම්හු යයි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) සංයෝජන යි.
1. 3. 2. 9.
උපාදානිය සූත්‍රය
121. සැවැත්නුවර:
මහණෙනි, උපාදානිය (උපාදානයන්ට හිතවූ) දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, උපාදානිය දහම්හු කවරහු ද, උපාදානය කවරේ ද යත්:
මහණෙනි, රූපය උපාදානිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. වේදනාව උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. සඤ්ඤාව උපාදානිය දහමෙකි ... සංඛාර උපාදානිය දහමෙකි ... විඤ්ඤාණය උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානිය දහම්හු ය යි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) උපාදාන යි.
1. 3. 2. 10.
සීල සූත්‍රය
122. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මිගදායයෙහි වාස කෙරෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි ශාරීපුත්‍රනි, සිල්වත් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩ වශයෙන් හුල් වශයෙන් පීඩා වශයෙන් ආබාධ වශයෙන් මෙරමා වශයෙන් වැනසීම් වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු ය. කවර පස් කඳෙකැ යත්: එනම් – රූපෝපාදාන ස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් ... දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යි. ඇවැත්නි, සිල්වත් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය විසින් දුක් විසින් ... අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරනුයේ සෝවන්පල පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෝවන් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි?
ඇවැත්නි, කොට්ඨිතයෙනි. සෝවන් මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යැ. ඇවැත්නි, සෝවන් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනුයේ සෙදගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෙදගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සෙදගැමි මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, සෙදගැමි මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ අනගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අනගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි. අනගැමි මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහු ය. ඇවැත්නි, අනගැමි මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ රහත් ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කළ යුත්තාහු දැ යි?
ඇවැත්නි, කොට්ඨිතයෙනි. රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසීම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිස ද, සිහිනුවණ පිණිස ද පවත්නාහ යි.
1. 3. 2. 11.
සුතවන්ත සූත්‍රය
123. බරණැස්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කට යුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ.
කවර පසෙක් ද යත්: එනම්-රූපෝපාදානස්කන්‍ධය … විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහ.
ඇවැත්නි යම් හෙයකින් ශ්‍රැතවත් මහණ තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරන්නේ සෝවන්පල පසක් කරන්නේ යැ ... සෙදගැමිපල පසක් කරන්නේ යැ ... අනගැමිපල පසක් කරන්නේ යැ ... රහත්පල පසක් කරන්නේ යැ යන තෙල කරුණ ඇත්තේ යි.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවත්, කොට්ඨිතයෙනි, රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිසත්, සිහිනුවණ පිණිසත් පවත්නාහ යි.
1. 3. 2. 12.
පඨම කප්ප සූත්‍රය
124. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් කප්ප තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් කප්ප තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:
වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර මමිඞ්කාර (අහඞ්කාර දෘෂ්ටිය, මාගේ යයි ගන්නා තණ්හාව හා) මනානුසයය යන කෙලෙස්හු නො වෙද්දැ යි?
කප්පය, අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි” තෙල මෙසේ තතු සේ මනා නුවණින් දකියි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයකුත් වේ ද ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය” යි තෙල තතු සේ මනානුවණින් දකී.
කප්පය, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානානුසයයෝ නො වෙති යි.
1. 3. 2. 13.
දුතිය කප්ප සූත්‍රය
125. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් කප්ප තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මාන කොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ දැ යි?
කප්පය, අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයකුත් වේ ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.
කප්පය, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මානකොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ ය යි.
දෙවැනි ධම්මකථික වර්‍ග යි
එහි සූත්‍ර නාමාවලිය:
අවිජ්ජා විජ්ජා යන සූත්‍ර දෙක යැ, ධම්මකථික සූත්‍ර දෙක යැ, බන්‍ධන සූත්‍රය, පරිපුච්ජිත සූත්‍ර දෙක යැ, සඤ්ඤෝජන උපාදාන සීල සුතවන්ත යන සූත්‍ර සතර ය කප්ප සූත්‍ර දෙක යයි සූත්‍ර තෙළෙසකි.
3. අවිජ්ජා වර්‍ගය
1. 3. 3. 1.
පඨම සමුදය ධම්ම සූත්‍රය
126. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත්පසෙකැ හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, අවිද්‍යා ය, අවිද්‍යා යයි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යාව කවර යත් කොපමණකින් අවිද්‍යාගත (අවිද්‍යාවට ගියේ) ද වේ දැ”යි.
මහණ, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ සමුදය (ඉපදීම) ස්වභාව ඇති රූපය සමුදය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, ව්‍යය (වැනසීම) ස්වභාව ඇති රූපය ව්‍යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, “සමුදයව්‍යය ස්වභාව ඇති රූපය සමුදයව්‍යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, සමුදය සැහැවි වේදනාව සමුදය සැහැවි වේදනාවකැ යි තතුසේ හේ නො දනියි, වැනසෙනසුලු වේදනාව වැනසෙනසුලු වේදනාවයකැ යි තතුසේ නො දනියි. සමුදයව්‍යය ස්වභාව ඇති වේදනාව සමුදයව්‍යය ස්වභාව ඇති වේදනාවකැයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති සංඥාව ... හටගන්නා ස්වභාව ඇති සංස්කාර හටගන්නා ස්වභාව ඇති සංස්කාර යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති සංස්කාර වැනසෙන ස්වභාව ඇති සංස්කාර ය යි තතු සේ නො දනියි, සමුදයව්‍යය ස්වභාව ඇති සංස්කාර සමුදයව්‍යය ස්වභාව ඇති සංස්කාර යයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති විඥානය හටගන්නා ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති විඥානය වැනසෙන ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, සමුදයව්‍යය ස්වභාව ඇති විඥානය සමුදයව්‍යය ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනී. මහණ, මේ අවිද්‍යා යයි කියනු ලැබේ. මෙ පමණකින් අවිද්‍යාගත ද වේ යි.
මෙසේ වදාළ කල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, විද්‍යා යැ විද්‍යා යයි කියනු ලැබේ. වහන්ස, විද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් විද්‍යාගත වේ දැ”යි?
මහණ, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ හටගන්නා සැහැවි රූපය හටගන්නා සැහැවි රූප යයි තතුසේ දනී, වැනසෙන සැහැවි රූපය වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි රූපය හටගන්නා-වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා සැහැවි වේදනාව ... හටගන්නා සැහැවි සඥාව ... හටගන්නා සැහැවි සංස්කාර ... හටගන්නා සැහැවි විඥානය හටගන්නා සැහැවි විඥාන යයි තතු සේ දනියි. වැනසෙන සැහැවි විඥානය වැනසෙන සැහැවි විඥාන යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි විඥානය හටගන්නා වැනසෙන සැහැවි විඥාන ය යි තතුසේ දනී. මහණ, මේ විද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගතත් වේ යයි.
1. 3. 3. 2.
දුතිය සමුදය ධම්ම සූත්‍රය
127. බරණැස්නුවර:
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: තෙල කීහ: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යා නම් කවර යැ? කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි? මෙය කීහ.
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන උපදනා ස්වභාව ඇති රූපය උපදනා ස්වභාව ඇති රූපය යි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති රූපය ... හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූපය හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූප යයි තතුසේ නො දනියි, හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන යයි තතුසේ නො දනියි. වැන සෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානයයි තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යයි කියනු ලැබේ මෙතෙකින් අවිද්‍යාගතත් වේ ය යි.
1. 3. 3. 3.
තතිය සමුදය ධම්ම සූත්‍රය
128. බරණැස්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබේ. ඇවැත්නි විජ්ජා නම් කවර යැ? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හටගන්නාසුලු රූපය හටගන්නාසුලු රූප යයි තතු සේ දනියි, වැනසෙනසුලු රූපය ... හටගන්නා-වැනසෙනසුලු රූපය හටගන්නා-වැනසෙනසුලු රූප යයි තතුසේ දනී. හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන ය යි තතුසේ දනී වැනසෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානය හටගන්නා-වැනසෙනසුලු විඥාන ය යි තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජා යි කියනු ලැබෙයි. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.
1. 3. 3. 4.
පඨම අස්සාද සූත්‍රය
129. බරණැස්නුවර:
එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
1. 3. 3. 5.
දුතිය අස්සාද සූත්‍රය
130. බරණැස්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි, විජ්ජා නම් කවරක්ද? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි.
ඇවැත්නි, මේ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජායි කියනු ලැබේ. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.
1. 3. 3. 6.
පඨම සමුදය සූත්‍රය
131. බරණැස්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනියි, වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
1. 3. 3. 7.
දුතිය සමුදය සූත්‍රය
132. බරණැස්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි විද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් විද්‍යායුක්තත් වේ දැ? යි.
ඇවැත්නි, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විද්‍යාව යයි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යායුක්තත් වේ ය යි.
1. 3. 3. 8.
කොට්ඨික සූත්‍රය
133. බරණැස්නුවර:
එක්සමයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මේ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්‍යාගතත් වේ යයි.
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යා නම් කවරක් ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්‍යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්‍යාගතත් වේ ය යි.
1. 3. 3. 9.
දුතිය කොට්ඨික සූත්‍රය
134. බරණැස්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබෙයි, ඇවැත්නි, අවිද්‍යාව නම් කවරක් යැ කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. මේ අවිද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්‍යාගතත් වේ යයි”.
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යා නම් කුමක් ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්‍යා”යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්‍යාගතත් වේ ය”යි.
1. 3. 3. 10.
තතිය කොට්ඨික සූත්‍රය
135. බරණැස්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව නම් කවර යැ, කොපමණකින් අවිද්‍යාගතත් වේ දැ?”යි.
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය නො දනියි. රූපසමුදය නො දනියි. රූපනිරෝධය නො දනියි. රූපනිරෝධගාමිනී පටිපදාව නො දනී.