Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 6601-6700 න් 15083

ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ යි කියනු ලැබේ.
මහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:
මේ අරීඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරෝධගාමිනී පටිපදා යි කියනු ලැබෙ යි.
1. 3. 1. 4.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
106. සැවැත්නුවර:
මහණෙනි පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනීම ද, පිරිසිඳ දැන සිටි පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, පිරිසිඳ දතයුතු දහම්හු කවරහ යත්:
මහණෙනි, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. මහණෙනි, මොහු පිරිසිඳ දතයුතු දහම්හු යි කියනු ලැබෙති.
මහණෙනි, පිරිසිඳ දැනීම කවර යැ යත්:
මහණෙනි, යම් රාගය ක්‍ෂය කිරීමෙක් වේ ද, ද්වේෂය ක්‍ෂය කිරීමෙක් වේ ද, මෝහය ක්‍ෂය කිරීමෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දැනීම යි කියනු ලැබේ යි.
මහණෙනි, පිරිසිඳ දැන සිටි පුඟුල් කවරේ යැ යත්:
රහත් තෙමේ යයි කියයුතු වෙයි. මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මතෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දත් පුඟුල් යයි කියනු ලැබේ යි.
1. 3. 1. 5.
සමණ සූත්‍රය
107. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ නො දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ ය යි ද සම්මත නො වෙති. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණකම්හි ඵලය හෝ බමුණුකම්හි ඵලය හෝ මේ අත්බැව්හි ම තුමූ ම මැනවින් දැන පසක් කොට එයට එළැඹැ නො ද වෙසෙති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ යයි ද සම්මතයහ. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද මහණකමේ ඵලයත් බමුණුකමේ ඵලයත් මේ අත්බැව්හි ම තුමූ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹැ වෙසෙති යි.
1. 3. 1. 6.
දුතිය සමණ සූත්‍රය
108. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනිද්ද ... දනිද්ද ... තුමූ මැ වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ වෙසෙත් යි.
1. 3. 1. 7.
සෝතාපන්න සූත්‍රය
109. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි.
මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ තෙමේ සිවුඅපායෙහි නොවැටෙන ස්වභාව ඇති (ධම්මනියාම වශයෙන්) නියත වූ ( මතු තෙමඟ නමැති) සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූ අරිසවු යයි කියනු ලැබේ යි.
1. 3. 1. 8.
අරහන්ත සූත්‍රය
110. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙක් ද යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි.
මහණෙනි, යම් කලෙක පටන් මහණ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත වැ මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ අර්‍හත් යැ, ක්‍ෂීණාස්‍රව යැ, වුසූ බඹසර ඇත්තේ යැ, කළ සිවුමඟ කිස ඇත්තේ යැ, බහා තැබූ පස්කඳ බර ඇත්තේ යැ, (මඟ පල) පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇත්තේ යැ, ක්‍ෂය වී ගිය භවසංයෝජන ඇත්තේ යැ, මොනොවට දැන (සසරින්) මිදිණැ යි කියනු ලැබේ.
1. 3. 1. 9.
පඨම ඡන්‍දරාග සූත්‍රය
111. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරණ ලද්දේ මතු නූපදනා සැහැවි ඇත්තේ වන්නේ යැ.
වේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එය දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා වෙයි. උසුන් මුල් ඇති වෙයි, හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද වෙයි, යළි නොහටගන්නක් කරන ලද වෙයි. මතු නූපදනා ස්වභාව ඇති වෙයි.
සංඥායෙහි ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දාහු නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇති වන්නාහු ය.
විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල් ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යි.
1. 3. 1. 10.
දුතිය ඡන්‍දරාග සූත්‍රය
112. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් වේ ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ වෙද්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යැ.
වේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් අත් ද, යම් උපයඋපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන-අභිනිවේස-අනුසයයයෝ ඇත් ද, ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය.
සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් ඇත් ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ ඇත්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණු වන ලද්දේ තු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යයි.
පළමු වැනි අන්ත වර්‍ග යි.
එහි උද්දානය:
අන්ත, දුක්ඛ, සක්කාය, පරිඤ්ඤෙය්‍ය යන සූත්‍ර සතර යැ, සමණසූත්‍ර දෙක යැ, සෝතාපන්න අරහන්ත සූත්‍ර දෙක යැ, ඡන්‍දරාග සූත්‍රදෙක දැ යි සූත්‍ර දශයෙකි.
2. ධම්මකථික වර්‍ගය
1. 3. 2. 1.
අවිජ්ජා සූත්‍රය
113. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස:, අවිද්‍යා යැ යි, අවිද්‍යා යැ යි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් (අවිද්‍යාවට ගියේ) අවිද්‍යාගත වේ ද?
මහණ මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපය නො දනී ද, රූපසමුදය නො දනී ද, රූප නිරෝධය නො දනී ද, රූපනිරෝධගාමිනීපටිපදාව නො දනී ද, වේදනාව නො දනී ද, ... සඤ්ඤා නො දනී ද, ... සංඛාර නො දනී ද, … විඤ්ඤාණය නො දනී ද, විඤ්ඤාණසමුදය නො දනී ද, විඤ්ඤාණනිරෝධය නො දනී ද, විඤ්ඤාණනිරෝධගාමිනී පටිපදාව නො දනී ද, මහණෙනි, මේ අවිද්‍යා යි කියනු ලැබේ, මේ පමණෙකින් අවිද්‍යාගත ද වේ ය යි.
1. 3. 2. 2.
විජ්ජා සූත්‍රය
114. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස, විද්‍යා යැ, විද්‍යා යැයි කියනු ලැබේ. වහන්ස, විද්‍යාව නම් කවර යැ කොපමණෙකින් විද්‍යාගතත් වේ ද?
මහණ මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය දනී ද, රූපසමුදය දනී ද, රූපනිරෝධය දනී ද, රූපනිරෝධගාමිනීපටිපදාව දනී ද, වේදනාව දනී ද ... සඤ්ඤාව දනී ද ... සංඛාර දනී ද, ... විඤ්ඤාණය දනී ද විඤ්ඤාණසමුදය දනී ද, විඤ්ඤාණනිරෝධය දනී ද, විඤ්ඤාණ නිරෝධගාමිනීපටිපදාව දනී ද මහණ, මේ විද්‍යා යයි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගත ද වේ යයි.
1. 3. 2. 3.
පඨම ධම්ම කථික සූත්‍රය
115. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස, “ධම්මකථික ය, ධම්මකථික” ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් “ධම්මකථික” වේ දැ යි.
මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ ඉදින්, රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත වැ මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යි කියන්නට සුදුසු වෙයි.
මහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සඤ්ඤායෙහි ... මහණ, ඉදින් සංඛාරයන්හි ... මහණ, ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කීමට සුදුසු වෙයි. මහණ, ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදානරහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වේ යි.
1. 3. 2. 4.
දුතිය ධම්ම කථික සූත්‍රය
116. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් ධම්මකථික වේ ද? කොපමණෙකින් ධම්මානුධම්මපටිපන්න වේ ද? කොපමණෙකින් දිටුදැමියෙහි නිවනට පැමිණියේ වේ දැ යි.
මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වේ. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වෙයි.
මහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සංඥායෙහි ... මහණ, ඉදින් සංස්කාරයන්හි ... මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු වේ.
1. 3. 2. 5.
බන්‍ධන සූත්‍රය
117. සැවැත්නුවර:
මහණෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ... සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ රූපය දකියි, රූපයෙහි හෝ ආත්මය දකියි, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන රූපබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර බන්‍ධනයෙන් (ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන්) බැඳුණේ සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශබන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොවට යේ යි කියනු ලැබෙයි.
මහණෙනි, වේදනාව ආත්ම විසින් දකියි … වේදනායෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන වේදනාබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර (සංයෝජන) බන්‍ධනයෙන් බැඳුණේ සසරවට නො දක්නේ නිවන නො දක්නේ බැඳුණේ උපදියි. බැඳුණේ මියෙයි. බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
සංඥාව ... සංස්කාර ආත්ම වශයෙන් දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංස්කාර බන්‍ධනයෙන් බැඳුණේ, ආධ්‍යාත්මික බාහිර බන්‍ධනයෙන් බැඳුණේ, සසරවට නො දක්නේ, නිවන නො දක්නේ, බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
විඥානය ආත්ම වශයෙන් දකියි , විඥානවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ විඥානය දකියි, විඥානයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශ බන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යේ යි කියනු ලැබේ.
මහණෙනි බුද්ධාදී ආර්‍ය්‍යයන් දක්නා ... සත්පුරුෂධර්‍මයෙහි මොනොවට හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි. රූපවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපබන්‍ධනයෙන් නො බැඳුණේ ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන් නො බැඳුණේ සසරතෙර දක්නේ නිර්‍වාණ පාරය දක්නේ යි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.
වේදනාව ආත්ම වශයෙන් නො දකියි ... වේදනායෙහි හෝ ආත්මය නො දකියි, මේ ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවක වේදනා බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්‍යන්තර සහිත බාහිර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.
සංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සංස්කාර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, අභ්‍යන්තර සහිත බාහිර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සංසාරවර්‍තය දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණ පාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.
විඥානය ආත්ම වශයෙන් නො දකියි. විඥානවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ විඥානය නො දකියි. විඥානයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත්ආර්‍ය්‍යශ්‍රාවක විඥාන බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්‍යන්තර බාහිර සංයෝජනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.
1. 3. 2. 6.
පඨම පරිපුච්ඡිත සූත්‍රය
118. සැවැත්නුවර:
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දැකිවූ දැ යි. වහන්ස, තෙල නො වේ ම යැ. මහණෙනි, මැනැවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම”යි දකිවු දැ යි වහන්ස, තෙල නො වේ මැ යි. මහණෙනි, මැනවි. මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි. තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්කයුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි ... වේදනාවෙහිත් ... සංඥාවෙහිත් ... සංස්කාරයන්හිත් ... විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස කළයුතු අන්කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 2. 7.
දුතිය පරිපුච්ඡිත සූත්‍රය
119. සැවැත්නුවර:
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි දකිවු දැ යි. වහන්ස එසේ යැ.
මහණෙනි, මැනවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යැ. වේදනාව ... තෙල මාගේ නො වෙයි .... සඥාව තෙල මාගේ නො වෙයි ... සංස්කාර “තෙල මාගේ නො වෙයි ... විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි දකිවු දැ යි.
වහන්ස එසේ යි. මහණෙනි, මැනැවි, මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපයෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 2. 8.
සඤ්ඤොජනිය සූත්‍රය
120. සැවැත්නුවර:
මහණෙනි සංයෝජනිය (සංයෝජනයන්ට හිත වූ) ධර්‍ම ද සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු.