1. 2. 5. 9.
වාසිජටොපම සූත්‍රය
101. සැවැත්නුවර:
මහණෙනි, මම දන්නා දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි, නො දක්නාහට නො කියමි.
මහණෙනි, කුමක් දන්නා කුමක් දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය වේ යැ යත්:
රූපය මෙසේ යැ, රූපසමුදය (-හට ගැනීම) මෙසේ යැ, රූප අස්තංගමය (-අභාවය) මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තංගමය මෙසේ යි. මහණෙනි, මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය වේ.
භාවනානුයෝගයෙහි යෙදී වාස කරන මහණහට “මාගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මනා” යි ඉදින් මෙබඳු රිසියෙක් උපදනේ ද, එසේ නමුදු ඔහුගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට ආස්‍රවයන් ගෙන් නො මිදෙයි.
ඒ කවර හෙයිනැ යත්:
නො වඩනා ලද හෙයිනැ යි කියයුතු යි.
කුමක් නො වඩනා ලද හෙයිනැ යත්:
සතර සතිපට්ඨාන නො වඩනාලද හෙයිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද හෙයිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද හෙයිනැ, පඤ්චේන්‍ද්‍රිය නො වඩනාලද හෙයිනැ, පඤ්චබල නො වඩනාලද හෙයිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද හෙයිනැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය නො වඩනාලද හෙයිනි.
මහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසෙක් හෝ වෙත් ද, කිකිළිය විසින් ඒ මතුයෙහි ලැගැ මොනොවට නො රක්නා ලද්දාහු මොනොවට උණුසුම් නො ගන්වන ලද්දාහු මොනොවට කුකුළුගඳ නො ගන්වන ලද්දාහු වෙති. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් උපදනේ ද? එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට අසමත්හු මැ යි.
ඒ කුම් හෙයිනැ යත්:
මහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළිය ගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් නොලගින ලද්දාහු යැ, මැනැවින් උණුසුම් නොගන්වන ලද්දාහු යැ, මැනැවින් නොවඩන ලද්දාහු යි. (එහෙයිනි).
මහණෙනි, එසෙයින් ම භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි කෙසේ හෝ මෙබඳු ආශාවක් උපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් නො මැ මිදෙයි.
ඒ කවර හෙයින යත්:
නොවඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කුමක් නොවඩනා ලද බැවිනැ යත්:
සතර සතිපට්ඨාන නො වඩනාලද බැවිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද බැවිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද බැවිනැ, පඤ්චේන්‍ද්‍රිය නො වඩනාලද බැවිනැ, පඤ්චබල නො වඩනාලද බැවිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද බැවිනැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය නො වඩනාලද බැවිනි.
මහණෙනි, භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද? එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
ඒ කවර හෙයින යත්:
වඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කුමක් වඩන ලද බැවිනැ යත්:
සතර සීවටන් වඩන ලද බැවිනැ, සතර සම්මප්පධාන වඩනාලද බැවිනැ, සිවුඉදුපා වඩන ලද බැවිනැ, පසිඳුරන් වඩන ලද බැවිනැ, පස්බලන් වඩන ලද බැවිනැ, සත්ත බොජ්ඣංග වඩන ලද බැවිනැ, අරිඅටඟිමග වඩන ලද බැවිනි.
මහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසක් හෝ වෙත් ද, ඒවා කිකිළිය විසින් මැනවින් ලගිනා ලද්දාහු මැනවින් උණුසුම් ගන්වන ලද්දාහු මැනවින් වඩන ලද්දාහු වෙත් ද,. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට සමර්‍ත්‍ථහු මැ යි.
ඒ කවර හෙයිනැ යත්:
මහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළියගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් ලගින ලද්දෝ, මැනැවින් උණුසුම් ගන්වන ලද්දෝ, මැනැවින් වඩන ලද්දෝ වන්නාහු ය. (එහෙයිනි).
මහණෙනි, එසෙයින් මැ භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනැවැ යි. ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
ඒ කුම් හෙයින යත්:
වඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කුමක් වඩන ලද බැවිනැ යත්:
සතර සීවටන් වඩන ලද බැවිනැ, සිවුසම්පධන් වඩන ලද බැවිනැ, සිවුඉදුපා වඩන ලද බැවිනැ, පසිඳුරන් වඩන ලද බැවිනැ, පස්බලන් වඩන ලද බැවිනැ, සත් බොජඟ වඩන ලද බැවිනැ, අරිඅටඟිමග වඩන ලද බැවිනි.
මහණෙනි, යම්සේ වඩුවකුගේ හෝ වඩු අතවැස්සකුගේ හෝ වෑමිටෙහි ඇඟිලි සටහන් හෝ මහපටැඟිලි සටහන් හෝ දක්නා ලැබේ ද, ඔහුට “මාගේ වෑමිට අද මෙ පමණ ගෙවිණැ, ඊයේ මෙ පමණ ගෙවිණැ, පෙර දවස මෙ පමණ ගෙවිණැ” යි මෙසේ දැනීම නො ද වෙයි. එතෙකුදු වුවත් ගෙවුණු කල්හි ගෙවුණේ ම යයි දැනුම ඔහුට වෙයි.
මහණෙනි, එසෙයින් මැ භාවනානුයෝගී වැ වෙසෙන මහණහුට “මාගේ ආස්‍රවයන් ගෙන් අද මෙ තෙක් ගෙවිණැ, ඊයේ මෙ තෙක් ගෙවිණැ, පෙර දවස මෙ තෙක් ගෙවිණැ” යි ඉදින් මෙ බඳු දැනීමෙක් නො වෙයි. එහෙත් ඔහුට ක්‍ෂය වූ කල්හි ක්‍ෂය වූයේ ම යයි දැනුම වෙයි.
මහණෙනි, වේවැල්බැඳුමෙන් බඳනා ලද සමසක් දියෙහි රැඳුණු හිමත්කල ගොඩට නඟන ලද මුහුදෙහි වූ නැවක අවුසුළඟින් පහළ බැඳුම් වේ ද, ඒ බන්‍ධනයෝ වසිකල මේඝයෙන් වෙසෙසින් තෙමුණාහු පහසුවෙන් දුබල වෙති. දිරායෙති.
මහණෙනි, එසෙයින් ම භාවනානුයෝගයෙහි වෙසෙන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙති. දිරායෙති යි. (නො පැනෙන බවට යෙති.)
1. 2. 5. 10.
අනිච්චසඤ්ඤා සූත්‍රය
102. සැවැත්නුවර:
මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.
මහණෙනි, යම්සේ ගොවියෙක් සරත්කල මහනගුලෙන් සාන්නේ පැතිර සිටි සියලු මුල් සිඳිමින් සා ද, මහණෙනි, එසෙයින් ම අනිච්චසඤ්ඤාව වඩනා ලද්දී බහුල කරන ලද්දී සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.
මහණෙනි, යම්සේ බබුස්තණ කපන්නෙක් බබුස්තණ කපා අගින් ගෙන යටට සලා ද, පොළා ද, පොළා පසෙක දමා ද, මහණෙනි, එසෙයින් ම භාවිත බහුලීකෘත අනිච්චසංඥාව සියලු කාමරාගය ... නසයි.
මහණෙනි, යම්සේ අඹකැනෙක තුවටු සිඳි කල්හි එහි යම් තුවටුයෙහි බැඳුණු අඹ වේ නම් ඒ සියල්ල එය අනුව පවත්නේ (පතනය) වේ ද මහණෙනි, එසෙයින් ම ... නසයි. භාවිත බහුලීකෘත අනිත්‍යසංඥාව සියලු කාමරාගය ... නසයි.
මහණෙනි, කුළුගෙයක යම්කිසි ගොනැස්හු වෙද්ද ඒ සියල්ලෝ කැණිමඩලට ගියාහු කැණිමඩලට නැමුණාහු කැණිමඩල අනුව පැතිර සිටියාහු වෙත් ද කැණිමඩල ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි. මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි මුලගන්‍ධයෝ වෙද්ද? කළුඅගිල්ගඳ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි හරගඳහු වෙද්ද? රත්සඳුන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද? දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි කුඩා රජහු වෙද්ද? ඒ සියල්ලෝ සක්විති රජුට අනුකූල වූවාහු වෙත, සක්විතිරජ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ තාරක රූපයන්ගේ යම්කිසි කැලුම් වේ ද ඒ සියලු කැලුම් සඳ කැලුම්හි සොළොස් වන කලාවත් නො අගි ද, සඳ කැලුම් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහ වූ වලාකුළු ඇති කල්හි හිර අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා දිලියෙන්නේ වේ ද, බබළන්නේ වේ ද, වෙසෙසින් බබළන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම වඩනා ලද බහුල කරණ ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.
මහණෙනි, කෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවා ද ... සියලු අස්මිමානය ගෙවා ද නසා ද යත්:
රූපය මෙසේ යැ, රූපයේ හටගැන්ම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයාගේ හටගැන්ම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසා යි.
පස්වැනි පුප්ඵ වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
නදී, පුප්ඵ, ඵෙණපිණ්ඩොපම, ගොමයපිණ්ඩොපම, නඛසිඛොපම සුද්ධික සූත්‍ර ද ගද්දුලබද්ධ සූත්‍ර දෙක ද වාසිජට, අනිච්චසඤ්ඤා සූත්‍ර දෙක දැ යි සූත්‍ර දශයෙකි.
මජ්ඣිමපණ්ණාසක නිමි.
ඒ මජ්ඣිමපණ්ණාසකයේ වර්‍ගනාමාවලිය:
උපය, අරහන්ත, ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන වර්‍ගවලින් දුතිය පණ්ණාසක කියනු ලැබේ.
3. උපරිපණ්ණාසකය
1. අන්ත වර්‍ගය
1. 3. 1. 1.
අන්ත සූත්‍රය
103. සැවැත්නුවර:
මහණෙනි, මේ අන්ත සතරෙකි. කවර සතරෙකැ යත්:
සක්කාය අන්ත යැ, සක්කායසමුදය අන්ත යැ, සක්කායනිරෝධ අන්ත යැ, සක්කාය නිරොධගාමිනීපටිපදා අන්ත යයි.
මහණෙනි, සක්කාය අන්තය කවරැ යත්:
පඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
එනම්: රූපෝපාදානස්කන්‍ධ යැ, වේදනෝපාදානස්කන්‍ධ යැ, සංඥෝපාදානස්කන්‍ධ යැ, සංස්කාරෝපාදානස්කන්‍ධ යැ, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කායඅන්ත යයි කියනු ලැබෙයි.
මහණෙනි, සක්කායසමුදය අන්තය කවරැ යත්:
පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාව ය, භවතෘෂ්ණාව ය, විභවතෘෂ්ණාව යි. මහණෙනි, මේ සක්කායසමුදය අන්ත යයි කියනු ලැබෙයි.
මහණෙනි, සක්කායනිරෝධ අන්තය කවරැ යත්:
ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ අන්ත යයි කියනු ලැබෙයි.
මහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදා අන්තය කවරැ යත්:
මේ ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ නම්: සම්මාදිට්ඨි යැ, සම්මාසංකප්ප යැ, සම්මාවාචා යැ, සම්මාකම්මන්ත යැ, සම්මාආජීව යැ, සම්මාවායාම යැ, සම්මාසති යැ, සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරොධගාමිනිපටිපදා අන්ත යයි කියනු ලැබේ. මහණෙනි, මේ අන්ත සතර යි.
1. 3. 1. 2.
දුක්ඛ සූත්‍රය
104. සැවැත්නුවර:
මහණෙනි, තොපට දුක්ඛයත්, දුක්ඛසමුදයත්, දුක්ඛනිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනී පටිපදාවත් දේශනා කරන්නෙම්, එය අසවු.
මහණෙනි, දුක්ඛය කවරේ යැ යත්:
පඤ්චෝපාදානස්කන්‍ධ යි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
රූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ දුක්ඛය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදය කවරැ යත්:
පුනර්‍භවය කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදය යි කියනු ලැබෙයි.
මහණෙනි, දුක්ඛනිරෝධය කවරේ යැ යත්:
ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාගනිරෝධයෙක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද මහණෙනි, මේ දුක්ඛනිරෝධ යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:
මේ අරිඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාව යයි කියනු ලැබේ යි.
1. 3. 1. 3.
සක්කාය සූත්‍රය
105. සැවැත්නුවර:
මහණෙනි, තොපට සක්කායයත්, සක්කායසමුදයයත්, සක්කායනිරෝධයත්, සක්කාය නිරොධගාමිනීපටිපදාවත් දේශනා කරන්නෙමි, එය අසවු.
මහණෙනි, සක්කාය කවරැ යත්:
පඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
රූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කාය යයි කියනු ලැබේ යි.
මහණෙනි, සක්කායසමුදය කවරැ යත්:
පුනර්‍භවය කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරණ යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ සක්කායසමුදය යයි කියනු ලැබෙ යි.
මහණෙනි, සක්කායනිරෝධය කවරේ යැ යත්: