Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 6401-6500 න් 15083

ඵෙණ පිණ්ඩූපම සූත්‍රය
95. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, යම්සේ මේ “ගංගා” නදිය මහත් පෙණපිඩක් එළවන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙණපිඩ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ ය. දක්නා, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ ය. බොල් වූවක් සේ ම වැටහෙන්නේ ය. හර නැත්තක් සේ ම වැටහෙන්නේ ය. මහණෙනි, කිම, පෙණපිඩෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි කිම, රූපයෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, යම්සේ සරත්කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්හි දියෙහි දිය බුබුළෙක් හටගන්නේත් වේ ද, නැසෙන්නේත් වේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල දිය බුබුළ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පුනපුනා පිරික්සන්නේ ය. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ. හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, දිය බුබුළෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි වේදනාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් වේදනාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, වේදනායෙහි සාරයක් ඇත්තේ ද?
මහණෙනි, යම්සේ ගිම්කල පැසුළුමස මධ්‍යාහ්නයෙහි මිරිඟු සැලේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මිරිඟුව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. බලන, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, මිරිඟුවෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ... යම් කිසි සංඥාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් සංඥාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, සංඥායෙහි හරයක් වන්නේ ද?
යම්සේ පුරුෂයෙක් හරයෙන් ප්‍රයෝජන ඇතියේ හර සොයනුයේ හර සෙවීමෙහි සරනුයේ තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙනුයේ ද, හේ එහි ඇද නැති අලුත් නොහටගත් බඩය ඇති මහත් කෙසෙල් කඳක් දක්නේ යැ. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේ යැ. මුල සිඳ අග සිඳින්නේ යැ. අග සිඳ, පත්වැටි ගලවන්නේ යැ. හේ එහි පත්වැටි ගලවනුයේ ඵලය ද නො ලබන්නේ ය. හර කොයින් ද? ඇස් ඇති පුරුෂයෙක් ඒ තෙල කෙසෙල් කඳ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් විමසන්නේ යැ. දකින, සිතන, නුවණින් විමසන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යි. කිම, මහණෙනි, කෙසෙල් කඳෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංස්කාර කෙනෙක් ඇද්ද, දුර වේවයි ළඟ වේවයි යම් සංස්කාර කෙනෙකුත් ඇද්ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි සංස්කාරයන්හි කුමන හරයෙක් වන්නේ ද?
මහණෙනි, යම්සේ ඉඳුරුදැලියෙක් (විජ්ජාකරුවෙක්) හෝ ඉඳුරුදැලියකුගේ අතැවැස්සෙක් හෝ සිවුමංසලෙක මායාවක් (විජ්ජාවක්) දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්න් යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. කිමැ, මහණෙනි, මායාවෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-වර්‍තමාන වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මහණ ඒ විඥානය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි, බොල් වූවක් සේ ම වැටහෙයි, හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, විඥානයෙහි හරයෙක් වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (පස් කඳෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි දැනීම (ප්‍රත්‍යවේක්‍ෂා ඥානය) වෙයි. ජාතික්‍ෂය විය. මහබඹසර වැසැ නිමවන ලද, කරණී කරණ ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනියි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතුදු තෙල ගාථා වදාළ සේක:
(1) රූපය පෙණපිඩක් වැන්න, වේදනාව දියබුබුළක් වැන්න, සංඥාව මිරිඟුවක් වැන්න, සංස්කාර කෙසෙල් කඳක් වැන්න, විඥානය මායාවක් වැන්නැ යි ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී.
(2) යමෙක් එය නුවණින් දකී ද, යම් යම් පරිද්දෙන් එය සිතා ද, නුවණින් පිරික්සා ද, එපරිද්දෙන් හිස් වූවක් බොල් වූවක් වෙයි.
(3) පතළ නුවණැති බුදුරජාණන් වහන්සේ විසින් ගැරහිය යුතු කොට දේශිත, (ආයු ආදී) දහම් තුනෙක ප්‍රහාණය ඇති, සොහොනෙහි දමන ලද රූපස්කන්‍ධ සංඛ්‍යාත මේ කාය යමෙක් දක්නේ ද,
(4) ආයුෂත් (ජිවිතේන්‍ද්‍රියත්) උණුසුමත් (කර්‍මජතේජෝධාතුවත්) විඥානයත් යම් කලෙක මේ කය හර දමා ද, එ කල්හි බැහැර කරණ ලද්දේ (කෘමිගණාදි) මෙරමා හට බත් ව අචේතන ව හොවී යි (දකියි)
(5) (මළහු පිළිබඳ) මේ ප්‍රවේණිය (ක්‍රියාවලිය) මෙ බඳු ය. මේ විඥානය බාලයන් ලවා මැනැවැ යි කියවන මායවෙකි. තෙල ස්කන්‍ධ (ඔවුනොවුන් නසාලන අර්‍ත්‍ථයෙන්) වධයෙකැ යි පවසන ලදී. මෙහි හරයෙක් නැති.
(6) ඇරැඹූ වෙර ඇති මහණ ඉඳින් දහවල් හෝ රැය හෝ මනා නුවණ ඇත්තේ එළඹ සිටි සිහි ඇත්තේ ස්කන්‍ධයන් මෙසේ බලන්නේ යි.
(7) අච්‍යුත සඞ්ඛ්‍යාත නිවන පතනුයේ සියලු සංයෝජන දුරු කරන්නේ යැ, තමහට පිහිටක් කර ගන්නේ යැ, හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ යි.
1. 2. 5. 4.
ගොමය පිණ්ඩූපම සූත්‍රය
96. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ, එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
“වහන්ස, යම් රූපයෙක් නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ නො පෙරළෙන සැහැවි ඇත්තේ ශාශ්වතවස්තු හා සම වූයේ එසේ ම සිටුනේ නම් එබඳු කිසි රූපයෙක් ඇද්දැ? වහන්ස, යම් වේදනාවක් නිත්‍ය ද, ධ්‍රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වත වස්තූන් හ සම ව එසේ ම සිටියි නම් එ බඳු කිසියම් වේදනාවක් ඇද්ද? වහන්ස, යම් සංඥාවක් ... එ බඳු කිසියම් සංඥාවක් ඇද්ද? වහන්ස, යම් සංස්කාර කෙනෙක් නිත්‍ය ද, ධ්‍රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටිත් නම් එ බඳු කිසියම් සංස්කාර කෙනෙක් ඇද්ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය ද, ධ්‍රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසියම් විඥානයක් ඇද්දැ” යි.
මහණ, යම් කිසි රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එබඳු කිසි රූපයෙක් නැත් මැ යැ, මහණ, ... කිසි වේදනාවක් නැත් මැ යැ, කිසි සංඥාවක් ... කිසි සංස්කාර කෙනෙක් ... මහණ, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එබඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අල්ප වූ ගොමපිඩක් අතින් ගෙන ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූද ලබන ලද අත්බවෙක් නැත. මහණ, ඉඳින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූද පිළිලද අත්බවෙක් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙ පමණ වූ ද අත් බැව් පිළිලැබීමෙක් නැද්ද, එ හෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනේ.
මහණ, පෙර වූවක් කියමි: මම මුදුන්හි අභිෂේක කළ කැත්රජෙක් වීමි. මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොට ඇති නගරයෝ සුවාසූ දහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට දහම්පහස ප්‍රමුඛ කොට ඇති ප්‍රාසාදයෝ සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අබිසෙක් කළ කැත්රජකු වූ ඒ මට මහාව්‍යුහ කුළුගෙය ප්‍රමුඛ කොට ඇති කුළුගෙවල් සුවාසුදහසක් විය.
මහණ, මුදුන්හි බිසෙස් කළ කැත්රජකු වූ ඒ මට දළමුවා වූ ද හරමුවා වී ද රන්මුවා වූ ද රිදීමුවා වූ ද කොඳුපලස් අතුරන ලද්දාවූ ද දෙපස එළුලොම්මුවා සුදු කම්බිලි අතුරන ලද්දාවූ ද ගනපුප් එළුලොම්මුවා අතුරුණු අතුරන ලද්දාවූ ද කෙසෙල්මුවසමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත වූ දෙපස රත් කන්වයින් ඇති පලඟහු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂික්ත කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු උපෝසථ ඇත්රජ ප්‍රමුඛ කොට ඇති ඇත්හු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කළ කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු වලාහක අස්රජ ප්‍රමුඛ කොට ඇති අස්හු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි, අභිෂේක කරන ලද කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු විජයොත් රිය ප්‍රමුඛ කොට ඇති රියහු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට මිණිරුවන් ප්‍රමුඛ කොට ඇති මාණික්‍යයෝ සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට ඇති ස්ත්‍රීහු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂික්ත කැත්රජකු වූ ඒ මට අනුගත පරිණායක රත්නය ප්‍රමුඛ කොට ඇති කැත්රජහු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කළ කැත්රජකු වූ ඒ මට දුහුල් අතුරුණු ඇති රිදීමුවා දෝනා බඳුන් ඇති සුවාසුදහසක් දෙන්හු වූහ.
මහණ, මුදුන්හි බිසෙස් කළ කැත්රජකු වූ ඒ මට සියුම් කොමු පිළි යැ, සියුම් කසීසළු යැ, සියුම් කම්බිලි යැ, සියුම් කපුපිළිය යි වස්ත්‍ර යුගළ සුවාසුදහසක් විය.
මහණ, මස්තකාභිෂික්ත ක්‍ෂත්‍රියරාජන් වූ ඒ මට උදය සවස එළැවියයුතු බත එළැවනු ලැබී ද (එබඳු) සුවාසුදහසක් බත් බඳුන් වියැ.
මහණ, එ සමයෙහි මම් යම් නගරයෙකැ වෙසෙම් ද, ඒ සුවාසුදහසක් නගර අතුරින් ඒ එක ම නගරය කුසාවතී රාජධානිය වෙයි.
මහණ, එ සමයෙහි මම් යම් පහයෙකැ වෙසෙම් ද, ඒ සුවාසුදහසක් පහය අතුරින් ඒ එක ම පහය ධර්‍මප්‍රසාදය වෙයි.
මහණ, එ සමයෙහි මම් යම් කූටාගාරයෙකැ වෙසෙම් ද ඒ ඒ සුවාසුදහසක් කූටාගාර අතුරින් ඒ එක ම කූටාගාරය මහාව්‍යුහ කූටාගාරය වෙයි.
මහණ, එ සමයෙහි මම් යම් පර්‍ය්‍යඞ්‍කයක් පරිභෝග කෙරෙම් ද, සුවාසුදහසක් පර්‍ය්‍යඞ්‍ක අතුරින් ඒ එකම පර්‍ය්‍යඞ්‍කය දළමුවා හෝ හරමුවා හෝ රන්මුවා හෝ රිදීමුවා හෝ වෙයි.
මහණ, එ සමයෙහි මම් යම් ඇතකු නැගෙම් ද, ඒ සුවාසුදහසක් ඇතුන් අතුරින් ඒ එක ම ඇතා උපෝසථ කුලයෙහි වූ ඇත් රජ යි.
මහණ, එ සමයෙහි මම් යම් අසකු නැගෙම් ද, ඒ සුවාසුදහසක් අසුන් අතුරින් ඒ එක ම අස්රජ වලාහක අශ්වරාජ යි.
මහණ, එ සමයෙහි මම් යම් රියක නැගෙම් ද, ඒ සුවාසුදහසක් රිය අතුරින් ඒ එක ම රිය වෛජයන්ත රථය වෙයි.
මහණ, එ සමයෙහි යම් ස්ත්‍රියක් මා උවැටන් කෙරේ ද, ඒ සුවාසුදහසක් ස්ත්‍රීන් අතුරින් ඒ එකම ස්ත්‍රිය ක්‍ෂත්‍රිය වේලාමික (ක්‍ෂත්‍රියකූට දාව බැමිණියකගේ හෝ බමුණකුට දාව ක්‍ෂත්‍රියාවකගේ හෝ කුසින් උපන් ස්ත්‍රිය) හෝ වෙයි.
මහණ, ඒ සමයෙහි මම් වස්ත්‍ර යුගළයක් හඳිම් ද, ඒ සුවාසූ දහසක් වස්ත්‍ර යුගළ අතුරින් ඒ එක ම වත් යුවළ සියුම් කොමුපිළි හෝ සියුම් කසීසළු හෝ සියුම් කම්බිලි හෝ සියුම් කපුපිළි හෝ වෙයි.
මහණ, එ සමයෙහි යම් සැළියෙකින් ගෙන ඕදන හා එයට අනුරූප වූ සූප ද වළඳම් ද, ඒ සුවාසුදහසක් අහර බඳුන් අතුරින් ඒ එකම අහර බඳුන වෙයි.
මහණ, මෙසේ වනාහි ඒ සියලු සංස්කාරයෝ ඉක්මැ ගියහ, නිරුද්ධයහ, පරිණාමයට (වෙනස් බවට) ගියහ. මහණ, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණ, සංස්කාරයෝ මෙසේ අධ්‍රැවයහ. (ස්ථිර ව නො පවත්නාහ), මහණ, සංස්කාරයෝ මෙසේ අස්වැසිලි රහිතයහ. මහණ, සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට සුදුසු යැ, නො ඇලෙන්නට සුදුසු යැ, මිදෙන්නට සුදුසු යි.
1. 2. 5. 5.
නඛසිඛොපම සූත්‍රය
97. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
වහන්ස, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් ඇද්දැ? වහන්ස ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස ... කිසි සංස්කාර කෙනෙක් ඇද්ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් ඇද්දැ” යි.
මහණ, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් නැත් ම යැ, මහණ, ... කිසි වේදනාවක් නැත්ම යැ, මහණ, ... කිසි සංඥාවක් නැත් ම යැ, මහණ, ... කිසි සංස්කාර කෙනෙක් නැත් ම යැ, මහණ, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස් බිඳක් නියසිළෙහි නගා ඒ මහණහට තෙල වදාළ සේක: මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයෙකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොපෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූ ද රූපයෙක් නැද්ද, ඒ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද වේදනාවක් නැත. මහණ, ඉදින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් නැද්ද, එ හෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. මහණ, මෙ පමණ වූ ද සංඥාවක් නැත. ... මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වත වස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද සංස්කාරකෙනෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් ඉදින් වූහු නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ
නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් නැත්තාහු ද එහෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම පැනෙයි. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද විඥානයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් නැද්ද, එ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනේ.
මහණ, ඒ කිමැ යි හඟිහි ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය ය.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය ය.
මහණ, එ හෙයින් මෙහිලා ... මහණ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ... මේ බැව් පිණිස අනෙකක් නැතැ”යි දැනගනී යි.
1. 2. 5. 6.
සුද්ධික සූත්‍රය
98. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, යම් රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් ඇද්ද? වහන්ස, ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහු ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් ඇද්දැ?” යි.
මහණ, යම් රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් නැත් ම යැ.
මහණ, ... කිසි වේදනාවක් නැත් ම ය. කිසි සංඥාවක් ... කිසි සංස්කාර කෙනෙක් ... මහණ, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
1. 2. 5. 7.
ගද්දුලබද්ධ සූත්‍රය
99. සැවැත්නුවර:
මහණෙනි, මෙ සසර අනවරාග්‍ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති භවයෙන් භවයට සංධාවන කරන ච්‍යුති ප්‍රතිසන්‍ධි විසින් සැරිසරන සත්ත්‍වයන්ගේ මුල් කෙළෙවර නො පෙනේ.
මහණෙනි, යම් කලෙක මේ මහමුහුද සිඳේ ද, වියළේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සංධාවන සංසරණ කරණ සත්ත්‍වයන්ගේ දුක් කෙළවර කිරීමක් මම නො ම කියමි.
මහණෙනි, යම් කලෙක මේ සිනේරු පර්‍වතරාජයා දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ මැ යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
මහණෙනි, යම් කලෙක මේ මහපොළොව දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
මහණෙනි, බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ යම්සේ ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ වටාගෙන අනුව දිවේ ද, අනුව පෙරළේ ද, මහණෙනි, එසෙයින් මැ ආර්‍ය්‍යයන් නොදක්නා ආර්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය ධර්‍මයෙහි නොහික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් හෝ ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ දකියි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය වශයෙන් හෝ ආත්මය විඥානවත්ය යි හෝ ආත්මයෙහි විඥානය ඇතැ යි හෝ විඥානයෙහි ආත්මය ඇතැ යි හෝ දකියි. හේ රූපය මැ අනුව දිවෙයි. රූපය මැ අනුව පෙරළෙයි. වේදනාව ම අනුව දිවෙයි. වේදනාව ම අනුව පෙරළෙයි. සංඥාව ම අනුව දිවෙයි. සංඥාව ම අනුව පෙරළෙයි. සංස්කාර මැ අනුව දිවෙයි. සංස්කාර මැ අනුව පෙරළෙයි. විඥානය මැ අනුව දිවෙයි. විඥානය මැ අනුව පෙරළේ.
හේ රූපය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ රූපයෙන් නො මිදෙයි, වේදනාවෙන් නො මිදෙයි, සංඥාවෙන් නො මිදෙයි, සංස්කාරයන් ගෙන් නො මිදෙයි, විඥානයෙන් නො මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදෙයි. (පස්කඳ) දුකින් නො මිදේ යයි කියමි.
මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මය වශයෙන් නො දකියි, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැ යි හෝ නො දකියි. වේදනාව ... නො දකියි, සංඥාව ... නො දකියි. සංස්කාර ... නො දකියි, විඥානය ආත්මය වශයෙන් නො දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි විඥානය ඇතැ යි හෝ නො දකියි. විඥානයෙහි ආත්මය ඇතැ යි හෝ නො දකී.
හේ රූපය අනුව නො දිවෙයි, නො පෙරළෙයි. වේදනාව අනුව නො දිවෙයි, නො පෙරළෙයි. සංඥාව ... සංස්කාරයන් අනුව නො දිවෙයි, නො පෙරළෙයි. විඥානය අනුව නො දිවෙයි, නො පෙරළෙයි.
හේ රූපය අනුව නො දිවෙන්නේ නො පෙරළෙන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනුව නො දිවෙන්නේ අනුව නො පෙරළෙන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන් ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි. (පස්කඳ) දුකින් මිදේ යයි කියමි.
1. 2. 5. 8.
දුතිය ගද්දුලබද්ධ සූත්‍රය
100. සැවැත්නුවර:
මහණෙනි, මෙ සසර අනවරාග්‍ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙළවර නො පැනෙයි. මහණෙනි, යම් සේ බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ ද, ඉදින් හේ යේ නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟට යෙයි. ඉදින් සිටී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ සිටියි. ඉදින් හිඳී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ හිඳියි. ඉදින් ලගී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ ලගියි.
මහණෙනි, එලෙසින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය “තෙල මාගේ ය. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය යි දකී. වේදනාව තෙල මාගේ යැ ... සංඥාව තෙල මාගේ යැ ... සංස්කාර තෙල මාගේ යැ ... විඥානය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දකියි.” හේ ඉදින් යේ නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ යෙයි, ඉදින් සිටී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ සිටියි, ඉදින් හිඳී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ ඉඳියි, ඉදින් හොවී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධය වෙත මැ හොවී.
මහණෙනි, එ හෙයින් මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි සිය සිත නිතර පස්විකිය යුතු යි. මහණෙනි, සිත සකෙලෙස් වීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙති. මහණෙනි, තොප විසින් චරණ නම් චිත්‍රය දක්නා ලද ද?
වහන්ස, එසේ යැ.
මහණෙනි, ඒ චරණචිත්‍රය ද සිතින් ම විසිතුරු කරණ ලද යැ. මහණෙනි, ඒ චරණ චිත්‍රයට ද වඩා සිත ම ඉතා විසිතුරු යි. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, සිත සකිලිටි වීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
මහණෙනි, මේ තිරිසන්ගත ප්‍රාණීහු යම් බඳු වෙත් ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එක ද සමූහයක් මම නො දකිමි. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීහු ද සිතින් ම විසිතුරු වූහ. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීන්ට ද වඩා සිත ම ඉතා විසිතුරු යැ. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, කෙලෙසීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
මහණෙනි, යම්සේ, රජකයෙක් වේවයි, සිත්තරෙක් වේවයි, රඳන් හෝ ලතු හෝ රන්වන් පැහැය හෝ නිල්පැහැය හෝ මදට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපිටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් වේවයි පුරුෂ රුවක් වේවයි මවන්නේද? මහණෙනි, එසෙයින් මැ අශ්‍රැතවත් පෘථග්ජන නිපදවන්නේ රූපය මැ නිපදවයි. වේදනාව මැ ... සංඥාව මැ ... සංස්කාර මැ ... නිපදවන්නේ විඥානය ම නිපදවයි.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ?යි.
වහන්ස, අනිත්‍ය ය. ...
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය ය. ...
මහණෙනි එ හෙයින් මෙහි ලා මෙසේ දක්නා ... මේ බැව් පිණිස අන්කිසෙක් නැතැ යි දැනගනී.