ඉඳින් හේ සුව වේදනාවක් විඳී නම් (තණ්හා වසයෙන්) නො යෙදී එය විඳියි. ඉඳින් දුක් වේදනාවක් විඳී නම් නො යෙදී එය විඳියි. ඉඳින් නො දුක් නො සුව වේදනාවක් විඳී නම් නො යෙදී එය විඳියි. හේ කය හිමි කොට ඇති වේදනාවක් විඳී නම් කය හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි, ඉඳින් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳී නම් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි, කය බිඳීමෙන් මතු දිවි කෙළවර වීමෙන් නො පතන ලද සියලු වේදනාවෝ මෙහි ම සන්හිඳෙන්නාහ යි දැනගනී.
අස්සජි, යම් සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහන දැල්වෙන්නේ ද, එම තෙලත් වැටියත් ගෙවී යෑමෙන් ප්‍රත්‍යය රහිත වැ නිවෙන්නේ ද, අස්සජි, එසෙයින් ම මහණ කය හිමි කොට ඇති වේදනාවක් විඳින්නේ කය හිමි කොට ඇති වේදනාවක් වේදනාවක් විඳිමි යි දැනගනියි, දිවි හිමි කොට ඇති වේදනාවක් විඳින්නේ නම් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි. කය බිඳීමෙන් මතු දිවි කෙළවර වීමෙන් නො පතන ලද සියලු වේදනාවෝ මෙහි ම සන්හිඳෙන්නාහ යි දැනගනි යි.
1. 2. 4. 7.
ඛේමක සූත්‍රය
89. එක්කලෙක බොහෝ වූ ස්ථවිර භික්‍ෂූහු කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් ඛේමක තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු බදරිකාරාමයෙහි වෙසෙති.
එ කල්හි ස්ථවිර භික්‍ෂූහු සවස්කලැ විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් දාසක තෙරුන් ඇමතූහ: “ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක තෙරුන් වෙත එළැඹෙවු. එළැඹැ ඛේමක තෙරුනට මෙසේ කියවු. ඇවැත්නි, ඛේමකයෙනි, ස්ථවිර භික්‍ෂූහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙද්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනේ ද? වැඩීම නො පෙනේ දැ” යි?
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම? තොපට ඉවසිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙත් ද? නො වැඩෙත් ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනෙයි ද? වැඩීම නො පෙනේ දැ” යි?
ඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
ඉක්බිති ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කීහ: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරෙන් කිසිවෙක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කී ය: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ මම නො දකිමි යි.
ඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කී ය: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් ය යි හෝ මම නො දකිමි යි.
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ ඉදින් නො දකී ද? එසේ වී නම් ආයුෂ්මත් ඛේමක අරහත් ක්‍ෂීණාස්‍රවයෙකැ යි.
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමකයන් ට මෙය කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඉදින් ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධය අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ ඉදින් නො දකී ද, එසේ වී නම් ආයුෂ්මත් ඛේමක අරහත් ක්‍ෂීණාස්‍රවයෙකැ” යි.
ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යයි හෝ ආත්මයට අයත් යි හෝ මම නො දකිමි. අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් ද නො වෙමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’යි පැවැති (තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද (දෘෂ්ටි විසින්) නො දකිමි යි.
ඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කී ය: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යයි හෝ ආත්මයට අයත් ය යි හෝ මම නො දකිමි. අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් ද නො වෙමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’යි පැවැති (තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද නො දකිමි යි.
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළැඹැ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි’යි කියවු නම් තෙල කුමක් වෙමි’යි කියවු ද, රූපය මම වෙමි’යි කියවු ද? රූපයෙන් පිටත් අනෙකක් මම වෙමි’යි කියවු ද? වේදනාව මම වෙමි’යි කියවු ද? වේදනාවෙන් පිටත් අනෙකක් මම වෙමි’යි කියවු ද? සංඥාව ... සංස්කාර මම වෙමි යි කියවු ද? සංස්කාරයෙන් පිටත් අනෙකක් මම වෙමි යි කියවු ද? විඥානය මම වෙමි යි කියවු ද? විඥානයයෙන් පිටත් අනෙකක් මම වෙමි යි කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි යි කියවු නම් තෙල කුමක් මම් වෙමි යි කියවු දැ? යි.
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිවදන් අස්වා ආයුෂ්මත් ඛේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමකයන් ට මෙය කී ය: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: ඇවැත්නි, ඛේමකයෙනි තෙල යමක් ‘වෙමි’යි කියවු නම් තෙල කුමක් වෙමි යි කියවු ද? රූපය මම වෙමි’යි කියවු ද? රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි’යි කියවු ද? වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ‘වෙමි’ යි කියවු ද? විඥානයයෙන් බැහැර අනෙකක් මම ‘වෙමි’ යි කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි යි කියනු නම් තෙල කුමක් වෙමි යි කියවු දැ? යි.
ඇවැත්නි, දාසකයෙනි, කම් නැත. මේ පුනපුනා ගමනාගමනින් කිම? ඇවැත්නි සැරයටිය ගෙනෙව. මම ඒ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹෙන්නෙමි යි.
ඉක්බිති ආයුෂ්මත් ඛේමක ස්ථවිර තෙමේ සැරයටිය එල්බ ගෙන ස්ථවිර භික්‍ෂූන් වෙත එළැඹියේ යැ. එළැඹැ ස්ථවිර භික්‍ෂූන් සමග සතුටු වියැ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේමකයන්ට ස්ථවිර භික්‍ෂූහු මෙය කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් මම වෙමි’යි කියවු නම් තෙල කුමක් ‘මම වෙමි’ යි කියවු ද? රූපය ‘මම වෙමි’යි කියවු ද? රූපයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි කියවු ද? වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ‘මම වෙමි’ යි කියවු ද? විඥානයයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි යි’ කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් ‘මම වෙමි’ යි කියවු නම් තෙල කුමක් ‘මම වෙමි’ යි කියවු දැ? යි.
ඇවැත්නි, මම රූපය ‘මම වෙමි’යි නො කියමි. රූපයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. වේදනාව ‘මම වෙමි’යි නො කියමි. වේදනාවෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. සංඥාව ... සංස්කාර ... ‘මම වෙමි’යි නො කියමි. සංස්කාරයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. විඥානය ‘මම වෙමි’යි නො කියමි. විඥානයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’ යි (පැවැති තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. මේ ‘මම වෙමි’යි ද නො දකිමි.
ඇවැත්නි, යම්සේ උපුලෙක හෝ පියුමෙක හෝ හෙළ පියුමෙක හෝ ගඳෙක් වේ ද, යමෙක් වනාහි පෙත්තෙහි ගඳ යයි හෝ වර්‍ණයෙහි ගඳ යයි හෝ රේණුයෙහි ගඳ යයි හෝ මෙසේ කියන්නේ නම් එසේ කියන හේ මනා කොට කියන්නේ දැ යි?
ඇවැත්නි, තෙල නො වේ ම ය.
ඇවැත්නි, මැනැවින් පවසන්නෙක් ඒ කෙසේ නම් පවසන්නේ ද?
ඇවැත්නි, මැනවින් පවසන්නෙක් මලෙහි ගඳ යයි පවසන්නේ යි.
ඇවැත්නි, එසෙයින් ම මම රූපය ‘මම වෙමි’යි නො කියමි. රූපයෙන් පිටත අනෙකක් ‘මම වෙමි’යි ද නො කියමි. වේදනාව … නො කියමි. සංඥාව ... නො කියමි. සංස්කාර ... නො කියමි. විඥානය ‘මම වෙමි’යි නො කියමි. විඥානයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි ද නො කියමි. ඇවැත්නි, වැලිදු මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’ යි (පැවැති තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද නො දකිමි.
ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවකහට ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු වැලිත් ඔහුට පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණු සහගත වූ ‘මම වෙමි’ යන මානය, ‘මම වෙමි’ යන ඡන්‍දය, ‘මම වෙමි’ යන අනුශය නො නසන ලද වෙයි. අපරභාගයෙහි රූපය මෙසේ යැ, රූපයේ හටගැනීම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යයි පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය (හටගැනීම හා විනාශය) දක්නාසුලු වැ වෙසෙයි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙන ඔහුට පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණුසහගත (සියුම්) වූ ‘මම වෙමි’යි පවත්නා යම් මානයෙක් ‘මම වෙමි’යි පවත්නා යම් ඡන්‍දයෙක් ‘මම වෙමි’යි පවත්නා යම් අනුසයෙක් නො නස්නා ලද වේ නම් හෙද සහමුලින් නැසීමට යෙයි.
ඇවැත්නි, යම්සේ කිලිටි වූ හටගත් මල ඇති වස්ත්‍රයෙක් වේ ද, තෙල වස්ත්‍රය හිමියෝ රජකයාහට දෙන්නාහු ය. රජක තෙමේ තෙල වස්ත්‍රය අළුදියෙහි හෝ කරදියෙහි හෝ ගොමදියෙහි මැඩ පහන්දියෙහි සෝදාලයි. ඒ වත පිරිසුදු වූයේ හාත්පසින් බබළන්නේ නමුදු වැලිත් එහි අණුසහගත (සියුම්) වූ අළුගඳ හෝ කරගඳ හෝ ගොමගඳ හෝ නො නටුයේ වෙයි. රජක තෙමේ තෙල වස්ත්‍රය හිමියන්ට දෙයි. හිමියෝ තෙල වස්ත්‍රය ගඳින් පිරිබඩ කළ කරඬුවෙක බහා තබත්, එහි අණුසහගත (සියුම්) නො නට යම් අළු ගඳෙක් හෝ කර ගඳෙක් හෝ ගොම ගඳෙක් හෝ වේ නම් හෙද සහමුලින් නැසීමට යෙයි.
ඇවැත්නි, එසෙයින් ම කෙසේ හෝ අරිසවුහුගේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු වැලිත් ඔහුගේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණුසහගත වූ (සියුම් වූ) සහමුලින් නො නස්නා ලද ‘මම වෙමි’යි පවත්නා මානයෙක් ‘මම වෙමි’යි පවත්නා ඡන්‍දයෙක් ‘මම වෙමි’යි පවත්නා අනුසයෙක් වේ ම ය. හේ අපරභාගයෙහි පඤ්චෝපාදානස්කන්‍ධයන්හි රූපය මෙසේ යැ, රූපයේ හටගැනීම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ. වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ ... විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යැයි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙයි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙන ඔහුගේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි සියුම් වූ සහමුලින් නො නස්නා ලද ‘වෙමි’ යි පවත්නා යම් මානයෙකුත් ‘වෙමි’ යි පවත්නා යම් ඡන්‍දයෙකුත් ‘වෙමි’ යි පවත්නා යම් අනුසයෙකුත් නො නටුයේ ද හෙ ද සහමුලින් නැසීමට යේ.
මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඛේමකයන්ට මෙය කීහු: අපි ආයුෂ්මත් ඛේමකයන් වෙහෙසෙනු කැමැත්තෝ නො විචාළම්හ. එහෙත් ආයුෂ්මත් ඛේමක තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්න විස්තර වශයෙන් කියන්නට දේශනා කරන්නට පනවන්නට පිහිටු වන්නට විවරණය කරන්නට බෙදන්නට උඩුහුරු කරන්නට පොහෝනේ යැ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය ආයුෂ්මත් ඛේමකයන් විසින් විස්තර වශයෙන් කියන ලද්දේ යැ. දේශනා කරණ ලද්දේ යැ. පනවන ලද්දේ යැ. පිහිටුවන ලද්දේ යැ. විවරණ කරන ලද්දේ යැ. බෙදන ලද්දේ යැ. උඩුහුරු කරණ ලද්දේ”යි.
ආයුෂ්මත් ඛේමක තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඛේමක තෙරුන්ගේ දේශනාව පිළිගත්හ.
මේ වෙය්‍යාකරණය (නිග්ගාථක සූත්‍රය) බණන කල්හි සැටක් පමණ ස්ථවිර භික්‍ෂුන්ගේත් ආයුෂ්මත් ඛේමක තෙරුන්ගේත් සිත් උපාදාන රහිත වැ කෙලෙසුන්ගෙන් මිදුණේ යි.
1. 2. 4. 8.
ඡන්න සූත්‍රය
90. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එ කල්හි ආයුෂ්මත් ඡන්න (ස්ථවිර) සවස්කල විවේකයෙන් නැගී සිටියේ යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට
එළඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීය: යම් සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් ආයුෂ්මත් තෙරහු මට අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා” යි.
මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාරයෝ අනිතයහ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි.
එ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “මට ද තෙල මෙසේ වෙයි. රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි. වැලි දු මාගේ සිත සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම වූ සියලු උපධීන්ගේ දුරලීම වූ තෘෂ්ණායෙහි ක්‍ෂය කිරීම වූ නො ඇලීම වූ නැවැත්ම වූ නිවනෙහි නො වැද ගනියි, නො පහදියි, නො සිටියි, නො බැඳෙයි, තැතිගැනුම ද දැඩි කොට ගැනුම ද උපදියි. වැලි කුමක් මාගේ ආත්මය දැ යි මා සිත පෙරළා එයි, දහම් දක්නහුට එසේ නො වෙයි, යම්සේ මම දහම් දක්නෙම් නම් එසෙයින් කවුරු නම් මට දහම් දෙසත් දැ”යි.
එ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “ශාස්තෘන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද, නුවණැති සබ්‍රම්සරුන් විසින් බුහුමන් කරණ ලද මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. යම්සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් මට දහම් දෙසන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කෙරෙහි එ පමණ විශ්වාසයක් ද මට ඇත්තේ ය. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිර සෙනසුන් සකසා තබා පා සිවුරු ගෙන කෝසබෑ නුවර ඝෝසිතාරාමරෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත් එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඡන්න ස්ථවිර ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීය: ඇවැත්නි, ආනන්‍දයෙනි, මම එක්කලෙක මේ බරණැස්නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වෙසෙමි. ඇවැත්නි, එ කල්හි මම සවස්කල විවේකයෙන් නැගීසිටියෙම් යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට එළැඹියෙමි. එළැඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීයෙමි: “යම් සේ මම දහම් දක්නෙම් නම් ආයුෂ්මත් තෙරහු මට එසේ අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා”යි.
ඇවැත්නි, මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු මට ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නයෙනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිතයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි.
ඇවැත්නි, ඒ මට තෙල සිත වියැ: “මට ද තෙල මෙසේ වෙයි. රූපය අනිත්‍ය යැ, වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව … සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි.
වැලි දු මාගේ සිත සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම වූ සියලු උපධීන්ගේ දුරලීම වූ තෘෂ්ණායෙහි ක්‍ෂය කිරීම වූ නො ඇල්ම වූ නැවැත්ම වූ නිවනෙහි නො වැදගනියි, නො පහදියි, මැනවින් නො සිටියි, නො බැඳෙයි. තැතිගැනුමත් දැඩි කොට ගැනුමත් උපදියි. “වැලි කිමෙක් මාගේ ආත්මය දැ’ යි මා සිත පෙරළා එයි, සිවුසස් දහම් දක්නාහට තෙල නො ම වේ. යම්සේ මම දහම් දක්නෙම් නම් කවරෙක් මට එසේ දහම් දෙසන්නේ දැ”යි.
ඇවැත්නි, ඒ මට තෙල තෙල සිත විය: “ශාස්තෘන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද, නුවණැති සබ්‍රම්සරුන් විසින් බුහුමන් කරණ ලද මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. යම්සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් මට දහම් දෙසන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කෙරෙහි එ පමණ විශ්වාසකුදු මට ඇත. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ’යි. යම්සේ මම දහම් දක්නෙම් එසේ ආයුෂ්මත් තෙරණුවෝ මට අවවාද කරන සේක්වා, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මට අනුශාසන සේක්වා, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මට දැහැමි කතා කරණ සේක්වා”යි.
මෙ පමණෙකිනුදු අපි ආයුෂ්මත් ඡන්නහට සතුටු වම්හ, ආයුෂ්මත් ඡන්න විසින් ආරාධිතයම්හ. ආයුෂ්මත් ඡන්න එය හෙළි කළේ යැ. (මාන) හුල බින්දේ ය. ඡන්නයෙනි, කන් යොමු කර, දහම් දැනගන්නට සුදුස්සෙහි. එකල්හි ආයුෂ්මත් ඡන්නහට “දහම් දැනගන්නට සුදුස්සෙමි”යි එ පමණෙකින් ම උදාරප්‍රීති ප්‍රමෝද්‍යය උපන.
ඇවැත්නි, ඡන්නයෙනි, කච්චානගොත්ත මහණහට අවවාද කරණ භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ම මා විසින් තෙල අසන ලද වෙයි, හමුයෙහි ම පිළිගන්නා ලද ද වෙයි: කච්චානය මෙලෝ වැසි තෙමේ බෙහෙවින් ඇති බව ද නැති බව ද යන දෙක ඇසුරු කළේ ය. කච්චායනය, ලෝකයේ හටගැන්ම තතුසේ විදසුන් නුවණින් දක්නහුට ලොව යම් නැති බවෙක් වේ නම් එය නො වෙයි. කච්චානය ලොකනිරොධය තතු සේ මනා නුවණින් දක්නහුට ලොව යම් ඇති බවෙක් වේ නම් එය නො වේ. කච්චායනය, මේ ලෝවැසි තෙමේ (තණ්හාදී කාමාදි) උපය උපාදාන විනිබන්‍ධ ඇත්තේ යැ. මේ තෙමේ ඒ උපය උපාදාන දෙකට ද සිතේ පිහිටීම ඇතුළත පිවිසීම අනුසය යන මොවුන්ට ද නො පැමිණේ. මාගේ ආත්මය යි නො ගනී. නො පිහිටයි. උපදනේ දුක ම උපදී. නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ යයි සැක නො කෙරේ. විචිකිච්ඡා නො කෙරේ. පරප්‍රත්‍යය රහිත බැවින් ඔහුට මෙහි ලා දැනීම ම වෙයි. කච්චානය, මෙතෙකින් සම්මාදිට්ඨිය වෙයි.
කච්චානය, “සියල්ල ඇතැ”යි යන මෙය අන්තයෙකැ. “සියල්ල නැතැ”යි යන මෙය දෙවෙනි අන්ත යයි. කච්චානය, තෙල අන්ත දෙකට නො පැමිණ තථාගතයෝ මැදුම් මගින් දහම් දෙසති. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි, වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වන්නාහ. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වෙයි.
අවිද්‍යාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධ වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ නිරෝධය වේ යයි.
ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති අවවාද කරණ අනුශාසනා කරණ ආයුෂ්මතුන් වැනි සබ්‍රම්සරහු වෙත් නම් ඔහු මෙසේ වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ මේ දම්දෙසුන් අසා මා විසින් දහම් අවබෝධ කරණ ලද්දේ යයි.
1. 2. 4. 9.
පළමුවැනි රාහුල සූත්‍රය
91. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිංකාර (දිට්ඨි) මමිංකාර ( තණ්හා) මාන යන අනුශය ධර්‍මයෝ නො වෙත් දැ යි”?
රාහුලය, අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල තතු සේ දකියි. යම්කිසි වේදනාවක් ...
යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාරකෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල ඇති සැටි දකියි.
රාහුල, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානානුසයෝ නො වෙති යි.
1. 2. 4. 10.
දෙවැනි රාහුල සූත්‍රය
92. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
“වහන්ස, කෙසේ දන්නාහට කෙසේ දක්නාහට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්මවූ සන්හුන් වූ මොනොවට මිදුණු සිත වේ දැ?” යි
රාහුලය, ... යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත වැ මිදුණේ වෙයි. යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙකුත් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.
රාහුලය, මෙසේ දන්නා මෙසේ දක්නා පුද්ගලහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර (දිට්ඨි) මමිංකාර (තණ්හා) මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්ම වූ සන්හුන් වූ මැනවින් මිදුණු සිත වේ යි.
සිවුවැනි ථේර වර්‍ග යි.
එහි උදානය:
ආනන්‍ද, තිස්ස, යමක, අනුරාධ, වක්කලි, අස්සජි, ඛේමක, ඡන්න යන සූත්‍ර ද, අනෙක් රාහුල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දශයෙකි.
5. පුප්ඵ වර්‍ගය
1. 2. 5. 1.
නදී සූත්‍රය
93. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ පර්‍වතයෙන් ගලා බස්නා, දියෙහි වැටුණු වැටුණු දෑ පහළට ගෙන යන, දුරට ගමන් කරන, වේගවත් ජලධාරා ඇති නදියක් වේ ද, ඉදින් එහි දෙතෙර හටගත් වැලුක් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් කුශ තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් බබුස් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් සුවඳහොට තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් (එරඬු ආදී දුබල) වෘක්‍ෂයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහු ය.
ඒ නදියේ සැඩ පහරින් පහතට ගෙන යනු ලබන (පාවෙන) පුරුෂයෙක් ඉදින් ඒ වැලුක් එල්බ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙන්නේ ය. ඉදින් කුසතණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් බුබුස් තණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් සුවඳහොට ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් රුක් ගන්නේ ද, ඒ රුක් සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ.
මහණෙනි, එසෙයින් ම බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් ආත්මය හෝ, රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හි දකියි. ඔහට ඒ රූපය නැසෙයි. හෙ ඒ නිදාන කොට ඇති මහත් වනසට පැමිණෙයි.
වේදනාව ආත්ම යයි දකියි ... වේදනාවේ ආත්මය පවතී යයි හෝ දකියි. ඔහුගේ ඒ වේදනාව නැසෙයි. හෙ ඒ හේතු කොට ඇති මහත් වනසට පැමිණෙයි. සංඥාව ... සංස්කාර ආත්මය යි දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි සංස්කාර පවතී යි හෝ සංස්කාරයන්හි ආත්මය පවතී යි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ නැසෙති, හෙ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙයි. විඥානය ආත්මය යි දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යි හෝ විඥානයෙහි ආත්මය පවතී යි හෝ දකියි, ඔහුගේ ඒ විඥානය නැසෙයි. හේ ඒ හේතු කොට බලවත් දුකට පැමිණේ.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ ද?යි.
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යෙමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සැහැවි නම් එය “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ?”යි.
වහන්ස, මෙය යුතු නො වේ ම ය.
වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය හෝ වෙත් ද, අනිත්‍ය හෝ වෙත් දැ?යි.
වහන්ස, අනිත්‍ය ය ...
මහණෙනි, එහෙයින් මෙහි ... මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 2. 5. 2.
පුප්ඵ සූත්‍රය
94. සැවැත්නුවර:
මහණෙනි, මම ලෝකයා සමග විවාද නො කරමි. මහණෙනි, ලෝකයා වූ කලී මා සමග විවාද කෙරෙයි. මහණෙනි, ධර්‍මවාදියෙක් ලොව කිසිවකු සමග විවාද නො කෙරෙයි.
මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ යි සම්මත නම් මම ද එය නැතැ යි කියමි. මහණෙනි , ලොව යෙමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත නම් මම ද එය ඇතැ යි කියමි.
මහණෙනි, මම යම් නැතැ යි කියම් ද, ලොව එ බඳු කිමෙක් පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත ද යත්:
මහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම රූපයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම වේදනාවක් නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. සංඥාවක් ... නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම සංස්කාර ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම විඥානයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. මහණෙනි, මම යමක් නැතැ යි කියම් ද, මේ වූකලී ලෝකයෙහි පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත යි.
මහණෙනි, මම යෙමෙක් ඇතැ යි කියම් ද, ඒ කිමෙක් ලොව පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත ද යත්:
මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.
මහණෙනි, මම යමෙක් ඇතැ යි කියම් ද, මෙය වූකලී පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යි.
මහණෙනි, තථාගත තෙමේ යමක් මොනොවට අවබෝධ කෙරෙයි ද, මොනොවට දැනගනියි ද, මොනොවට අවබෝධ කොට මොනොවට දැනගෙන කියයි ද, දේශනා කෙරෙයි ද, පනවයි ද, පිහිටුවයි ද, විවර්‍ණ කෙරෙයි ද, බෙදයි ද, උඩුහුරු කෙරෙයි ද, ඒ ලෝකධර්‍මය (ස්කන්‍ධ පඤ්චකය) ලොව ඇති. මහණෙනි, තථාගත තෙමේ යමක් මැනවින් අවබෝධ කෙරෙයි නම් මනාකොට දැනගනියි නම් අවබෝධ කොට දැන කියා නම් දේශනා කෙරේ නම් පනවා නම් පිහිටුවා නම් විවරණය කෙරේ නම් බෙදා නම් උඩුහුරු කෙරේ නම් ලොව ඒ ලෝකධර්‍මය කිමෙක යත්:
මහණෙනි, රූපය ලොව ලෝකධර්‍මයෙකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරෙයි, මැනවින් දැනගනියි. මැනවින් අවබෝධ කොට මැනවින් දැනගෙන කියයි, දෙසයි, පනවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි බෙදනු ලබන කල්හි උඩුහුරු කරනු ලබන කල්හි යමෙක් නො දනී නම් නො දකී නම්, මහණෙනි, අන්‍ධ වූ ඇස් නැති නො දන්නා නො දක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කෙරෙම් ද?
මහණෙනි, වේදනාව ලොවැ ලෝකධර්‍මයෙකි ... මහණෙනි, සංඥාව ලොවැ ලෝකධර්‍මයෙකි ... මහණෙනි, සංස්කාරයෝ ලොවැ ලෝකධර්‍මයෝ ය. මහණෙනි, විඥානය ලොවැ ලෝකධර්‍මයෙකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරෙයි, මැනවින් දැනගනී. මැනවින් අවබෝධ කොට මැනවින් දැන කියයි, දේශනා කෙරෙයි , පනවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි බෙදනු ලබන කල්හි උඩුහුරු කරනු ලබන කල්හි යමෙක් නො දනීයි නම් නො දකී නම්, මහණෙනි, අන්‍ධ වූ ඇස් නැති නො දන්නා නො දක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කෙරෙම් ද?
මහණෙනි, දියෙහි හටගත් දියෙහි වැඩුණු උපුලෙක් හෝ පියුමෙක් හෝ හෙළපියුමෙක් හෝ දියෙන් නැගී දියෙන් නො ගැටී යම්සේ සිටුනේ ද, මහණෙනි, එසෙයින් ම තථාගත තෙමේ ලොවැ උපන්නේ ලොවැ වැඩුණේ ලොව මැඩගෙන ලෝකයා හා නො ගැටී වාස කෙරේ යි.
1. 2. 5. 3.