Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 6201-6300 න් 15083

සංඛත රූපය සංඛත රූප යයි තතු සේ නො දනියි, සංඛත වේදනාව සංඛත වේදනාව යයි තතු සේ නො දනියි, සංඛත සඤ්ඤාව ... සංඛත සංඛාර සංඛත සංඛාර යයි තතු සේ නො දනියි, සංඛත විඤ්ඤාණය සංඛත විඤ්ඤාණ යයි තතු සේ නො දනී.
වධක රූපය වධක රූප යයි තතු සේ නො දනියි, වධක වේදනාව ... වධක සඤ්ඤාව ... වධක සංඛාර වධක සංඛාර යයි තතු සේ නො දනී, වධක විඤ්ඤාණය වධක විඤ්ඤාණ ය යි තතු සේ නො දනී.
හේ රූපය මාගේ ආත්මය යි දෘෂ්ටි විසින් පැමිණෙයි. දැඩි වැ ගනියි, (එහි) පිහිටයි. වේදනාව මාගේ ආත්මය යි දෘෂ්ටි විසින් පැමිණෙයි. දැඩි වැ ගනියි, පිහිටයි. සංඥාව මාගේ ආත්මය යි … සංස්කාරයන් දෘෂ්ටි විසින් පැමිණෙයි ගනී පිහිටයි. විඥානය මාගේ ආත්මය යි පැමිණෙයි දැඩි වැ ගනියි, පිහිටයි. ඔහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ දීර්‍ඝ රාත්‍රියෙහි උපගත වූවාහු දැඩි වැ ගන්නා ලද්දහු අහිත පිණිස දුක් පිණිස පවතිත්.
ඇවැත්නි, ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි. ආත්මය රූපවත් යි හෝ නො දකියි, රූපය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි. රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකී. වේදනාව ... සඥාව ... සංස්කාර ... විඥානය ආත්ම විසින් නො දකියි. ආත්මය විඥානවත් යි හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි. විඥානයෙහි ආත්මය ඇතැයි හෝ නො දකී.
හේ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය යි තතු සේ දනියි, අනිත්‍ය වූ වේදනාව ... අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ... අනිත්‍ය වූ විඥානය අනිත්‍ය වූ විඥාන යයි තතු සේ දනී.
දුක් වූ රූපය දුක් වූ රූපය යි තතු සේ දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය දුක් වූ විඥාන යයි තතු සේ දනී.
අනාත්ම වූ රූපය අනාත්ම වූ රූප යයි තතු සේ දනියි, අනාත්ම වූ වේදනාව ... අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ... අනාත්ම වූ විඥානය අනාත්ම වූ විඥානය යි තතු සේ දනී.
සංඛත වූ රූපය සංඛත වූ රූප යයි තතු සේ දනියි, සංඛත වූ වේදනාව ... සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ... සංඛත වූ විඥානය සංඛත වූ විඥාන යයි තතු සේ දනී.
වධක වූ රූපය වධක වූ රූප යයි තතු සේ දනියි, වධක වූ වේදනාව ... වධක වූ සංඥාව ... වධක වූ සංස්කාර ... වධක වූ විඥානය වධක වූ විඥානය යයි තතු සේ දනී.
හේ රූපය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. වේදනාව (මාගේ ආත්මය යි) නො පැමිණෙයි ... සංඥාව නො පැමිණෙයි ... සංස්කාරයන් නො පැමිණෙයි ... විඥානය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. ඔහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ උපගත නො වූවාහු දැඩි වැ නො ගන්නා ලද්දාහු දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස පවතිත් යයි.
ඇවැත්නි ශාරිපුත්‍රනි, යම් කෙනකුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති ඔවදන් දෙන අනුශාසන කරන ආයුෂ්මතුන් වැනි සබ්‍රම්සරහු වෙත් නම් තෙල මෙසේ වෙයි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ ධර්‍මදේශනාව අසා මාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදුණේ යයි.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් යමක ස්ථවිර තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්තේ යි.
1. 2. 4. 4.
අනුරාධ සූත්‍රය
86. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙන් වන කිළියෙකැ වෙසෙති. එකලැ බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු:
ඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පැමිණිය යුතු උතුම් ඵලයට පැමිණ යම් ඒ තථාගත (සත්ත්‍වයෙක්) වේ ද, ඒ ( තථාගත සංඛහත ) සත්ත්‍වයා (ඔබගේ ශාස්තෘ වූ) තථාගතයෝ මේ සතර තන්හි ලා පනවන්නාහු පනවත් ද? (කවර සතර තැනෙකැ යත්:) “සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ ඒ පිරිවැජ්ජනට තෙල කීහ: ඇවැත්නි, යම් ඒ උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම් ඵලයට පැමිණි යම් සත්ත්‍ව වේ ද, (අපගේ ශාස්තෘ වූ) තථාගතයන් වහන්සේ ඒ සත්ත්‍වයා පනවනසේක් “සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යන මේ සතර තැන් හැර පනවති යි.
මෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජියෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු: “මෙ මහණ නවකයෙක් පැවිදි වැ නො බෝ කල් ඇත්තෙක් වන්නේය, (නැතහොත්) ස්ථවිර වූයේ බාලයෙක් අව්‍යක්තයෙක් හෝ වන්නේ යි”.
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට නවකවාදයෙන් බාල වාදයෙන් අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරුන්හට ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි තෙල අදහස විය:
“ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතුයෙහි මා පැන පුළුවුස්නාහු නම් ඒ අන්තොටු පිරිවැජියනට මම් කෙසේ විසඳා කියන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙකිම් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නුගුණ කියන්නෙකිම් වෙම් ද, ( ලොව්තුරු) දහමට අනුලොම් වූ (පිළිවෙත්) දහමක් පවසන්නෙම් ද, කරුණු සහිත වූ කිසි යම් වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණට නො ද පැමිණේදැ”යි.
ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකැත්පස් වැ හුන්හ. එකැත්පස් වැ හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ.
වහන්ස, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන පන්සලකැ වෙසෙමි. එකල්හි වහන්ස, බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙතැ එළැඹියහ. එළැඹ මා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ඒ අන්තොටු පිරිවැජියෝ මට තෙල කීහු:
“ඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණ යම් ඒ සත්ත්‍ව වේ ද, ඒ (යුෂ්මත් ශාස්තෘ වූ) තථාගතයෝ ඒ සත්ත්‍වයා මෙ සතර තන්හි ලා පනවන්නාහු ‘සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ පනවත්දැ”යි?
මෙසේ කීකල්හි වහන්ස, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට තෙල කීමි: “ඇවැත්නි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණ යම් සත්ත්‍ව වේ ද, අස්මත් ශාස්තෘ වූ තථාගතයන් වහන්සේ ඒ සත්ත්‍වයා පනවන්නාහු සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ යන මේ සතර තැන හැර පනවනසේකැ”යි.
වහන්ස, මෙසේ කීකල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට තෙල කීහු: “ඒ මේ මහණ නවකයෙක්, පැවිදි වූ නොබෝ කල් ඇත්තෙක් වන්නේය, ස්ථවිර වූයේ බාලයෙක් අව්‍යක්තයෙක් වන්නේ හෝ යි”.
වහන්ස, ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුදු බාලවාදයෙනුදු මට අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි ඒ මට මේ සිත විය:
“ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතුයෙහි මා පැන පුළුවුස්නාහු නම් ඒ අන්තොටු පිරිවැජ්ජනට කෙසේ විසඳා කියන මම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙකිම් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නුගුණ කියන්නෙකිම් වෙම් ද, ලොව්තුරු දහමට අනුලොම් වූ පිළිවෙත් දහමක් කියන්නෙම් ද, කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණට නො ද පැමිණෙන්නේදැ”යි.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද: “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද”? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු ද”? වහන්ස, තෙල නො වේ මැයි.
වේදනා ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට නිසි ද”? වහන්ස, තෙල නො වේ මැයි.
එහෙයින් අනුරාධය, මෙහි ලා අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රුපයකුත් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රුපයකුත් වේ ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල ඇතිසැටියෙන් විදසුන් නුවණින් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද ... යම් කිසි සංස්කාර වේ ද ... අතීත-අනාගත-පච්චුප්පන්න අජ්ඣත්ත වේවයි බාහිර වේව්යි ඕළාරික වේවයි සුඛුම වේවයි හීන වේවයි පණීත වේවයි යම් කිසි විඥානයකුත් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් විඥානයකුත් වේ ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ” මෙසේ තෙල යථාභූත කොට විදර්‍ශනාඥානයෙන් දැක්කයුතු. මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි. ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දැනගනී.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද? රූපය සත්ත්‍ව යි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැයි.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද? රූපයෙහි සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
රූපයෙන් බැහැරැ සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනායෙහි ... වේදනායෙන් බැහැරැ ... සංඥායෙහි ... සංඥායෙන් බැහැරැ ... සංස්කාරයන්හි ... සංස්කාරයෙන් බැහැරැ ... විඥානයෙහි සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
විඥානයෙන් බැහැරැ සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද, රූපය-වේදනාව-සංඥාව-සංස්කාර-විඥානය සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
අනුරාධය, ඒ කිමැයි හඟිහි ද? රූප නොවූ වේදනා නොවූ සංඥා නොවූ සංස්කාර නොවූ විඥාන නොවූ මේ පුද්ගල සත්ත්‍ව යි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
අනුරාධය මෙහි ලා මේ අත්බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තොපට සත්ත්‍වයකු නො ලැබෙන කල්හි “ඇවැත්නි උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණි යම් ඒ තථාගත (සත්ත්‍ව) වේ නම් තථාගතයෝ ඒ සත්ත්‍වයා පනවන්නාහු සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ සත්ත්‍ව මරණින් මතු නො වෙ යි හෝ සත්ත්‍ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි, නො ද නො වෙ යි හෝ යන මේ සිවු තැනින් වෙන් ව පනව ති” යි තොපගේ ඒ විසඳීම නිසි ද? වහන්ස තෙල නො වේ මැ යි.
අනුරාධය, මැනැවි මැනැවි. අනුරාධය පෙරදු දැනුදු මම් දුඃඛයත් දුඃඛනිරෝධයත් පනවමියි.
1. 2. 4. 5.
වක්කලි සූත්‍රය
87. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු කුඹල් කම්හලෙහි වැඩ වෙසෙති.
එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ: ඇවැත්නි, එව, තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙ වු. එළැඹැ “වහන්ස වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳිවු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවි යි. මෙසේත් කියවු” යි.
ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරණුවන්ට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාගවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි ගිලන් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී, මෙසේත් කිය යි: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙනසේක් නම් මැනැවි” යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් වක්කලි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ වඩන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ ධරූහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට තෙල වදාළසේක: “වක්කලි කම් නැත, තෙපි ඇඳෙන් නැගී සිටීමට නහමක් උත්සාහ ධරව. මෙ පනවනලද අසුන් ඇත, මම් එහි හිඳිමි”යි භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුන්හි හුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් වක්කලි තෙරුන්හට තෙල වදාළසේක:
“වක්කලි කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි? කිම, දුක් වේදනා අඩු වේ ද, වැඩි නො වේ ද? මේ දුක් වේදනාවන්ගේ අඩුවීම පැනෙයි ද, වැඩිවීම නො පැනේ ද?”
“වහන්ස මට නො සැහිය හැක්කැ, නො යැපිය හැකි. මාගේ දැඩි දුක් වේදනා වැඩිවෙයි, අඩු නො වේ. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, නැවැත්ම නො පැනේ යි.
වක්කලි කිම තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? වහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්ප යයි.
වක්කලි කිම තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ ද? වහන්ස, තෙමේ මට ශීලයෙන් උපවාද නො කෙරේ යයි.
වක්කලි , ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිම, විපිළිසර කිම? වහන්ස, මම බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙනු කැමැත්තෙමි. යම්තාක් මම භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නේ නම් එපමණකුත් බලමාත්‍රයෙක් ම සිරුරෙහි නැති.
වක්කලිය, කම් නැත. මේ කුණු කය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්‍මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්‍මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකී. වක්කලි ඒ කිමෙකැයි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි. වහන්ස, අනිත්‍ය ය.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? යි. වහන්ස, දුක් ය.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය “තෙල මගේ ය, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දක්නට සුදුසු දැ යි? වහන්ස, මෙය නො වේ ම ය.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි වහන්ස, අනිත්‍ය ය ... තෙල මාගේ ආත්ම යි (දක්නට සුදුසු දැ යි?) වහන්ස, මෙය නො වේ ම ය.
වක්කලිය, එහෙයින් මෙහි ලා ... මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගී ගිජුකුළුපව්ව වෙත වැඩම කළ සේක.
එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ කල්හි උපස්ථායකයන් ඇමතූහ. ඇවැත්නි, එවූ. මා ඇඳකට නංවා ගෙන ඉසිගිලිපැස කළුගල්තලාව වෙත එළඹෙවු. කෙසේ මා වන්නෙක් ඇතුළුගම් කලුරිය කළයුතු කොට හඟනේ දැ’යි.
ඇවැත්නි, එසේ යයි, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳකට නංවාගෙන ඉසිගිලි පස කළුගල්තලාව වෙත එළැඹියහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ රැයත් ඉතිරි දහවලත් ගිජිකුළු පව්වෙහි විසූ සේක.
ඉක්බිති රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්‍ණ ඇති දේවතාවෝ දෙදෙනෙක් මුළු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස වක්කලි මහණ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා ය”යි තෙල සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ”යයි තෙල සැල කළේය. ඒ දේවතාවෝ මෙය කීහ. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු ලෝට එහි ම අතුරුදහන් වූහු.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, එව තෙපි වක්කලි මහණ වෙත එළඹෙවු. එළඹ වක්කලි මහණහට මෙසේ කියවු: ඇවැත්නි, වක්කලිය, භාග්‍යවතුන් වහන්සේගේ ද දෙවියන් දෙදෙනකුන්ගේ ද වදන් අසව. ඇවැත්නි, මේ රැය, මනහර ඡවිවර්‍ණ ඇති දෙවියෝ දෙදෙනෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළු පව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ඇවැත්නි, එකත් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, වක්කලි මහණ තෙමේ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා” යයි මෙය සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ” යයි මෙය සැලකළේය. ඇවැත්නි වක්කලි භාග්‍යවතුන් වහන්සේ ද තොපට “වක්කලි නහමක් බිය වවු. වක්කලි නහමක් බිය වවු. තොපගේ මරණය අලාමක වන්නේ ය. ක්‍රියාවාද අල්ල්මක වන්නී යයි මෙසේ වදාළ සේකැ” යි.
වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් වක්කලි තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට “ඇවැත්නි, වක්කලිය, භාග්‍යවතුන් වහන්සේගේත් දෙවියන් දෙදෙනකුන්ගේත් වදන් අසව” යි තෙල කීහු.
එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ. ඇවැත්නි, එවු මා ඇඳෙන් බස්වවු, කෙසේ නම් මා වැනියෙක් උසසුනෙක හිඳ ඒ භාග්‍යවතුන් වහන්සේගේ හසුන් ඇසිය යුතු කොට හඟනේ දැ?යි.
ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳෙන් බැස්වූහ.
ඇවැත්නි, මේ රැය, මනහර ඡවිවර්‍ණ ඇති දෙවියෝ දෙදෙනෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළු පව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ඇවැත්නි, එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, වක්කලි මහණ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා ය”යි තෙල සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ ය”යි තෙල සැලකළේය. ඇවැත්නි වක්කලිය, භාග්‍යවතුන් වහන්සේත් තොපට “වක්කලි නහමක් බිය වවු. වක්කලි නහමක් බිය වවු. තොපගේ මරණය අලාමක වන්නේ ය. ක්‍රියාවාද අලාමක වන්නී ය”යි මෙසේ වදාළ සේකැ යි.
ඇවැත්නි, එසේ වී නම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟල හිසින් වඳිවු. “වහන්ස වක්කලි මහණ හටගත් අබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳියි. මෙසේත් කියයි: (කෙසේ යැ යත්:) රූපය අනිත්‍යය. වහන්ස මම් එය සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි. වේදනාව අනිත්‍ය ය. වහන්ස මම් එය සැක නො කරමි ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය ය. වහන්ස මම් එය සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන ස්වභාව ඇත්තේ නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි”යි.
ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී නික්මැ ගියහ.
ඉක්බිති ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ ඒ භික්‍ෂූන් ගිය නො බෝ කල්හි සැතකින් ගලනළ සිඳගත්හ.
එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, වක්කලි මහණ හටගත් අබාධ ඇත්තේ ය. දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් දොහොත් මුදුන් තබා වඳියි. මෙසේත් කියයි: රූපය අනිත්‍යය. එය මම සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි. වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥාන අනිත්‍ය යැ. වහන්ස, එය මම සැක නො කරමි. යමෙක් අනිත්‍ය වී නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නො කරමි”යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම්හ වක්කලි කුලපුතු විසින් යම් තැනෙක දී සැතෙකින් ගලනල සිඳ ගන්නා ලද ද, ඒ ඉසිගිලිපස කළුගල් තලාව වෙත එළඹෙන්නෙමු යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ඉසිගිලිපස කළුගල්තලාව වෙත එළැඹි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරළුණු කඳ ඇති ව ඇඳෙහි හෝනා ආයුෂ්මත් වක්කලි තෙරහු දුර දී ම දුටු සේක.
එ සමයෙහි දුමනබවෙක් අඳුරුබවෙක් පෙරදිගට යේ ම ය. පැසුළුදිගට යෙයි. උතුරු දිගට යෙයි. දකුණු දිගට යෙයි. උඩට යෙයි. යටට යෙයි. අනුදිගට යෙයි.
එ කල්හි භාග්‍යවතුන් වහන්න්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි පෙරදිගට යන පැළදිගට යන උතුරු දිගට යන දකුණු දිගට යන උඩට යන යටට යන අනුදිගට යන මේ දුමනබව අඳුරුබව දකිවු ද? වහන්ස, එසේ යැ.
මහණෙනි, තෙල පවිටු මරු ය. වක්කලි කුලපුතුගේ විඥානය කොහි පිහිටියේ දැ යි, වක්කලි කුලපුතුගේ විඥානය සොයයි.
මහණෙනි, වක්කලි කුලපුත් නො පිහිටි විඥානයෙන් පිරිනිවියේ යි වදාළසේක.
1. 2. 4. 6.
අස්සජි සූත්‍රය
88. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුඃඛිත වූවාහු දැඩි සේ ගිලන් වූවාහු කස්සපකාරාමයෙහි (කසුප් සිටු විසින් කරවන ලද අරම්හි) වැඩවෙසෙති.
එ කල්හි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ. “ඇවැත්නි, එවු, තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළබෙවු: “වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුකට පැමිණියේ යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළුවන් දොහොත් මුදුන් තබා වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් දොහොත් මුදුන් තබා වඳිවු. මෙසේත් කියවු “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ”යි. ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අස්සජි තෙරුන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුඃඛිත යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිස් මුදුනින් වඳියි. මෙසේත් කියයි: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ යි. භාග්‍යවතුන් වහන්සේ මුවින් නො බැණ ඉවසූ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කල ඵලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් අස්සජි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ දරන අයුරක් දැක්වූහ.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කම් නැත. තෙපි ඇඳෙන් නැගී සිටීමට උත්සාහ නො දරවු. පනවන ලද මේ අසුන් ඇත. මම් එහි හිඳින්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක, වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කිම. තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙත්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පැනෙයි ද? වැඩීම නො පැනේ දැ යි?
වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දුක් වේදනාවෝ වැඩෙති. නො පිරිහෙති. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, පිරිහීම නො පැනේ යි.
අස්සජිය කිම? තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? යි.
වහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්පය යි.
අස්සජි කිම, තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි?
වහන්ස, මට ශීලයෙන් උපවාද නො කෙරේ ය යි.
අස්සජිය, ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිමෙක් ද? විපිළිසර කිමෙක් දැ? යි.
වහන්ස, පෙර මම ගිලන්බැව්හි කායසංඛාරයන් (අස්සාස පස්සාස දෙක) සන්හිඳුවා වෙසෙමි. මම ඒ සමාධිය නො පිළිලබමි. වහන්ස, ඒ සමාධිය නොපිළි ලබන මට “මම නො ද පිරිහෙම් දැ?”යි මෙ බඳු සිතෙක් වෙයි.
අස්සජි, සමාධිය සාර කොට ඇති සමාධිය ශ්‍රමණ බව කොට ඇති යම් ඒ මහණ බමුණෝ වෙත් නම් ඒ සමාධිය නො පිළිලබන ඔවුන්ට “අපි පිරිහෙන්නමෝ නො වමු දැ”යි මෙ බඳු සිතෙක් වෙයි.
අස්සජි, ඒ කිමෙකැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය ය ...
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස අනිත්‍ය ය ...
අස්සජි, එහෙයින් මෙහි ලා ... මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනී.
හේ ඉඳින් සුව වේදනාවක් විඳී ද, එය අනිත්‍ය යයි දනියි. (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො බැසගන්නා ලදැ යි දනියි, නො පතන ලදැ යි දනියි. ඉඳින් දුක් වේදනාවක් විඳී ද, එය අනිත්‍ය යයි දනියි. නොබැසගන්නා ලදැ යි දැනගනියි, නොපතන ලදැ යි දැනගනියි, ඉඳින් නොදුක් නොසුව වේදනාවක් විඳී ද එම අනිත්‍ය ය යි දැනගනියි. (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො බැසගන්නා ලදැ යි දැනගනියි, නො පතන ලදැ යි දැනගනී.