Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 6101-6200 න් 15083

එකල්හි එක්තරා මහණෙක් හුනස්නෙන් නැගිට උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, ඉඳින් මට භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් පිළිවිසීමට අවකාශ දෙන සේක් නම් මම භාග්‍යවතුන් වහන්සේගෙන් කිසි දෙසක් (කරුණක්) විචාරන්නෙමි” යි. මහණ, එසේ වී නම් තෙපි සිය අසුන්හි හිඳ යමක් කැමැත්තහු විචාරව” යි.
ඒ මහණ “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සිය අසුන්හි හිඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මොහු පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ ඔහු කවරහ යත්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි, මහණ, මොහු ම පඤ්චෝපාදානස්කන්‍ධයෝ ය. ඔහු කවරහ යත්, රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ’ යි.
ඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ”යි. මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ තෘෂ්ණාඡන්‍දය මුල් කොට ඇතියහ යි. ඒ මහණ, “වහන්ස, මැනැවැ” යි
භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, ඒ පඤ්චෝපාදානස්කන්‍ධ කෙතෙක් ඇද්ද උපාදානය එම වේ ද? නැතහොත් උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ දැයි? මහණ එම උපාදාන ඒ පඤ්චෝපාදානස්කන්‍ධ නො වේ යි, උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ ද නො වෙයි. වැලිදු එහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.
ඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් කොට භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වන්නේ දැ යි? වන්නේය මහණ, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙහි ඇතැමකුට මෙසේ අදහසෙක් වෙයි: “මතුකල මෙබඳු රූ ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇතියෙකිම් වෙමි යි. මහණ, මෙසේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වේ යි.
“වහන්ස, මැනැවැ” යි ඒ මහණ මතුයෙහි පැනයක් විචාළේ ය. වහන්ස, ස්කන්‍ධයනට ස්කන්‍ධ ප්‍රඥප්තිය කෙතෙකින් වේ දැ යි? මහණ, අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේ වයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් ඇත් ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයකුත් ඇත්ද, මෙ රූපස්කන්‍ධ ය යි කියනු ලැබෙයි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මේ විඥානස්කන්‍ධ ය යි කියනු ලැබේ. මහණ ස්කන්‍ධයන්ට ස්කන්‍ධප්‍රඥාප්තිය මෙතෙකින් වේ යි.
“වහන්ස, මැනව” යි ඒ මහණ ... මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, රූපස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද? වේදනාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, සංඥාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, විඥානස්කන්‍ධ ප්‍රඥප්තියෙහි හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරෙ දැ යි? මහණ, රූපස්කන්‍ධයෙහි ප්‍රඥප්තියට සතර මහාභූතයෝ හේතුහ, සතර මහාභූතයෝ ප්‍රත්‍යයහ. වේදනා ස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය; ස්පර්‍ශඥාස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය ; සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය. විඥානස්කන්‍ධ ප්‍රඥප්තියට නාමරූප හේතු ය, නාමරූප ප්‍රත්‍යයයි.
ඒ මහණ “වහන්ස, මැනැව” යි ... මතු පැනයක් විචාළේ ය: වහන්ස, කෙසේ නම් සත්කායදෘෂ්ටි වේ දැ යි? මහණ, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන
තෙමේ රූපය ආත්ම වශයෙන් නුනුවණින් දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි. රූපය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ දකියි, ආත්මය රූපයෙහි පිහිටියේ ය යි හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්ම වශයෙන් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි. විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ දකියි. ආත්මය විඥානයෙහි පිහිටියේ ය යි හෝ දකී. මහණ, මෙසේ සත්කායදෘෂ්ටි වෙයි.
ඒ මහණ “වහන්ස, මැනැවැ” යි මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, කෙසේ නම් සක්කායදෘෂ්ටි නො වේ දැ යි? මහණ, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ සත්පුරිෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකියි, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. වේදනාව ... නො දකි ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය විඥානවත් කොට නො දකියි, ආත්මයෙහි විඥානය පවතී ය යි නො දකියි, විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. මහණ, මෙසේ සත්කායදෘෂ්ටි නො වේ යි.
“වහන්ස , මැනව” යි ඒ මහණ ... මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, රූපයෙහි ආස්වාද කවරේ ද? ආදීනව කිමෙක් ද? නිස්සරණ කිමෙක් ද? වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්ගේ ... විඥානයෙහි ආස්වාද කවරෙ ද? ආදීනව කවරේ ද? නිස්සරණ කවරේ දැ? යි.
මහණ, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යි. යම් රූපයෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වනසුලු ද, මේ රූපයෙහි ආදීනව යි. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ නම් මේ රූපයෙහි නිස්සරණ යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වේදනාවෙහි ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවෙහි ආදීනව යි. වේදනායෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද මේ වේදනායෙහි නිස්සරණ යි. සංඥාව නිසා යම් ... සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වන සැහැවි ඇත් ද , මේ සංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්හි යම් ඡන්‍දරාගවිනයයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි. විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්වාද යි. යම් විඥානයෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වන සැහැවි ඇත් ද , මේ විඥානයාගේ ආදීනව යි විඥානයෙහි යම් ඡන්‍දරාගවිනයයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.
“වහන්ස, මැනව” යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ විඥාන සහිත කයෙහි ද, බැහැර සියලු නිමිත්තයන්හි ද, අහංකාර මමංකාර මානානුසය ධර්‍මයෝ නො වෙද්ද” යි? මහණ, අතීත වේවයි අනාගත වේවයි පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය
“තෙල මාගේ නො වේ”යි තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙති” යි මෙසේ මෙය ඇති සැටි මනානුවණින් දකී. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වේවයි අනාගත වේවයි පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුරැ වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙති”යි මෙසේ මෙය ඇති සැටි මනා නුවණින් දකී. මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයෙහිත් අහංකාර මමංකාර මානාසුසය ධර්‍මයෝ නො වෙත් යි.
එ කල්හි එක්තරා මහණකුහට “පින්වත්නි, මෙසේ වනාහි රූපය අනාත්ම ල, වේදනාව අනාත්ම ල, සංඥාව අනාත්ම ල, සංස්කාර අනාත්ම ල, විඥානය අනාත්ම ල, (එහෙයින්) අනාත්මක වැ කළ කර්‍මයෝ කෙසේ නම් ආත්මය ස්පර්‍ශ කෙරෙත් දැ යි (තමා කරා පැමිණෙත් දැ යි) මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ ලෝකයෙහි නුවණ නැති අවිද්‍යාවට පැමිණි ඇතැම් හිස් පුරුෂයෙක් “පින්වත්නි, මෙසේ වනාහි රූපය අනාත්ම ල, වේදනාව අනාත්ම ල, සංඥාව අනාත්ම ල, සංස්කාර අනාත්ම ල, විඥානය අනාත්ම ල, අනාත්මක වැ කරන ලද කර්‍මයෝ කෙසේ ආත්මය ස්පර්‍ශ කෙරෙත් දැ යි” තෘෂ්ණායෙන් මඩනා ලද සිතින් බුදුසසුන ඉක් මැ යායුතු කොට හඟනේ ද (එහෙයින්) මහණෙනි, තෙපි ඒ ඒ තන්හි මාගේ ඒ ඒ දහමෙහි පිළිවිස හික්මුණාහු ය.
මහණෙනි, ඒ කෙසේ හැඟිවු ද රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යම් දෙයක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යම් දැයෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය ‘තෙල මා ගත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් අතීත-අනාගත-පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හින වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය ‘තෙල මාගේ නො වේ යැ, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යයි මෙසේ මෙය ඇති සැටි මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... සංඥාවක් ... සංස්කාර කෙනෙක් ... අතීත-අනාගත-පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් වේ ද, දුරැ වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය ‘තෙල මාගේ නො වේ යැ, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යයි මෙසේ මෙය ඇති සැටි මනානුවණින් දැක්කයුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාර කෙරෙහිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. විරාගහේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි දැනුම වෙයි. ජාතිය ගෙවිණ, මඟ බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස කළමනා අන්කිසෙක් නැත යි දැනගනියි.
තෙවැනි ඛජ්ජනීය වර්‍ග යි.
එහි උද්දානය:
අස්සාද සූත්‍රය, සමුදය සූත්‍ර දෙකය, අනෙක් අරහන්ත සූත්‍ර දෙක ය, සීහෝපම සූත්‍රය, ඛජ්ජනීය සූත්‍ර ය, පිණ්ඩෝල්‍ය සූත්‍ර ය, පාරිලෙය්‍ය සූත්‍ර ය, පුණ්ණමා සූත්‍ර ය යි ඛජ්ජනීය වර්‍ගයෙහි සූත්‍ර දසයෙකි.
4. ථේර වර්‍ගය
1. 2. 4. 1.
ආනන්‍ද සූත්‍රය
83. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ “ඇවැත්නි, මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි”යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මන්නානීපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද කෙරෙති:
“ඇවැත්නි, ආනන්‍දයෙනි (මම්) වෙමි”යි (හැඟීම තෘෂ්ණා දෘෂ්ටි මාන ප්‍රපඤ්ච තුන) නිසා වේ යි. නො නිසා නො වේ. කුමක් නිසා (මම්) වෙමි”යි වේ යැ නො නිසා නො වේ යැ යත්: රූපය නිසා (මම්) වෙමියි වෙයි, නො නිසා නො වෙයි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිසා වෙමි” යි වෙයි, නො නිසා නො වේ. ඇවැත්නි, ආනන්‍දයෙනි, යම්සේ සැරසෙනසුලු යොවුන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සුපිරිසිදු පැහැපත් කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවනිමිත්ත බලන්නේ නිසා දක්නේ වේ ද, නො නිසා නො දක්නේ වේ ද, ඇවැත්නි, ආනන්‍දයෙනි, එ සෙයින් ම රූපය නිසා වෙමි”යි වෙයි, නො නිසා නො වෙයි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිසා වෙමි” යි වෙයි, නො නිසා නො වේ.
ඇවැත්නි ආනන්‍දයෙනි, ඒ කිමැ යි හඟිවුද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? ඇවැත්නි, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි? ඇවැත්නි, දුක් යැ. යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි දක්නට යුතු ද? ඇවැත්නි, තෙල යුතු නො වේ මැ යි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? ඇවැත්නි, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සුව හෝ වේ වේද? ඇවැත්නි, දුක් යැ. යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල මාගේ යැ තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි දක්නට යුතු ද? ඇවැත්නි, තෙල යුතු නො වේ මැ යි.
ඇවැත්නි, ආනන්‍දයෙනි , එහෙයින් අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුර වේවයි ළඟ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් වේ ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක්කයුතු.
ඇවැත්නි, ආනන්‍දයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් මිදෙයි. ... මේ රහත් බව පිණිස අනෙකෙක් නැත යි දැනගනි”යි.
ඇවැත්නි, මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර ඇත්තෝ වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද දෙති. මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා මාවිසින් දහම් අවබෝධ කරණ ලද්දේ යි. (සෝතාපන්න වීමි යන අදහසි)
1. 2. 4. 2.
තිස්ස සූත්‍රය
84. සැවැත්නුවර:
එ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ (පියාගේ සහෝදරියගේ) පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ කියති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි. (අකර්‍මණ්‍ය ය.) දිශාවෝ ද මට නො පැහැදිලියහ. දහම්හු (පර්‍ය්‍යාප්තිධර්‍මයෝ) ද මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන සිටියි, නො ඇලුණෙම් ම බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ” යයි.
එ කල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ ආරෝචනා කෙරෙති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි, දිශාවෝත් මට නො පැහැදිලියහ. දහම්හුත් මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන ගෙන සිටියි, නො ඇලුණෙම් බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ ය” කියා යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ, එව තොප මාගේ වචනයෙන් “ඇවැත්නි, තිස්සයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි තිස්ස මහණහු අමතව”යි. වහන්ස, එසේ යයි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් තිස්සසයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් තිස්සයනට “ඇවැත්නි, තිස්සයෙනි ශාස්තෲන් වහන්සේ තොප අමතන් සේකැ” යි තෙල කීය. ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ “ඇවැත්නි, එසේය”යි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස්වැ හුන් ආයුෂ්මත් තිස්ස තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වලා සේක:
තිස්ස, තෙපි බොහෝ භික්‍ෂුන්ට මෙසේ සැලකළහු යනු සබැ ද? ඇවැත්නි, මාගේ කාය හටගත් බර ඇත්තක් මෙනි, දිශා ද මට නො පැහැදිළියැ, දහම්හු ද මය නො වටහත්, ථීනමිද්ධය ද ම සිත මැඩගෙන සිටියි. නො ඇලුණෙම් ම බඹසර හැසිරෙමි. දහම්හි මට විචිකිච්ඡා ද වෙයි කියා යි. වහන්ස, එසේ යැ.
තිස්ස, එ කිමෙකැයි හඟිවු ද? රූපයෙහි පහ නොවූ රග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් එ රූපයාගේ විපරිණාම අන්‍යථාභාව (වෙනස්වීම) හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි තිස්ස. තිස්ස, රූපයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
වේදනායෙහි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් හට ඒ වේදනාවගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනවි, තිස්ස. තිස්ස, වේදනායෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
සංඥායෙහි ... සංස්කාරයන්හි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ සංස්කාරයන්ගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනවි මැනවි, තිස්ස. තිස්ස, සංස්කාර විෂයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
විඥානයෙහි පහ නොවූ රාග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ විඥානයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, විඥානයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
තිස්ස, ඒ කිමැයි හඟි ද? රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පිපාසා ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලහට එ රූපයාගේ වෙනස් වීමෙන් අන් අයුරු වීමෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, තෙල නො වේ මැයි. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, රූපයෙහි පහ වූ රාග ඇති පුඟුල්හට යම්සේ නම් තෙල එසේ මැ වෙයි.
වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පිපාසා ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ විඥානයාගේ වෙනස් වීම් අන් පරිදි වීම් හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, මෙය නො වේ මැ යි. තිස්ස මැනැවි මැනැවි. තිස්ස, විඥානයෙහි පහ වූ රාග ඇති පුද්ගලහට යම්සේ නම් තෙල එසේ ම වෙයි.
තිස්ස, එ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද? වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල “මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව .. සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය “තෙල මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
තිස්ස, එහෙයින් අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු.
තිස්ස, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි ... විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. ... මේ රහත් බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ යි දැනගනී.
තිස්ස, යම්සේ පුරුෂයෝ දෙදෙනෙක් වෙද්ද, එක් පුරුෂයෙක් මාර්‍ගයෙහි අදක්‍ෂ යැ. එක් පුරුෂයෙක් මාර්‍ගයෙහි දක්‍ෂ යැ. ඒ මේ අමග්ගකුසල (මඟ නොදත්) පුරුෂ මේ මග්ගකුසල (මඟ දත්) පුරුෂයාගෙන් මග පුළුවුස්නේ ය. හෙ මෙසේ කියන්නේ ය. භවත් පුරුෂය, මේ මගය. එයින් මොහොතක් යා, එයින් මොහොතක්
ගොස් දෙමං සන්‍ධියක් දක්නෙහි, එහි වම මුදා දකුණ ගනු, එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් ගන වනලැහැබක් දක්නෙහි, එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් මහත් වූ ගැඹුරු ප්‍රපාතයක් මඩවගුරක් දක්නෙහි. එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් හෙබක් දක්නෙහි. එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් සිත්කලු සම භූමි භාගයක් දක්නෙහි.
තිස්ස, අරුත් හැඟවීම පිණිස ම විසින් මේ උපමාව කරන ලදී. මේ මෙහි අර්‍ත්‍ථ යි. තිස්ස, ‘අමාර්‍ගකුශල’ (මඟ නොදත්) පුරුෂ යන තෙල පුහුදුන්හට නමෙකි. තිස්ස, ‘මාර්‍ග කුශල’ (මඟ දත්) පුරුෂ යනු තෙල අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගතයන්ට නමෙකි. තිස්ස, ‘දෙමංසන්‍ධිය’ යන තෙල විචිකිච්ඡාවට නමෙකි. තිස්ස ‘වම් මඟ ය’ යන තෙල අෂ්ටාංගික මිථ්‍යාමාර්‍ගයට නමෙකි. එනම්: මිච්ඡාදිට්ඨියට ය, මිච්ඡාසංකප්පයට ය, මිච්ඡාවචනයට ය, මිච්ඡාකම්මන්තයට ය, මිච්ඡාආජිවයට ය, මිච්ඡාවායාමයට ය, මිච්ඡාසතියට ය, මිච්ඡාසමාධියට යි. තිස්ස, ‘දකුණු මඟ’ යනු තෙල ආර්‍ය අෂ්ටාංගිකමාර්‍ගයට නමෙකි. එනම්: සම්මාදිට්ඨියට ය, සම්මාසංකප්පයට ය, සම්මාවාචාවට ය, සම්මාකම්මන්තයට ය, සම්මාආජිවයට ය, සම්මාවායාමයට ය, සම්මාසතියට ය, සම්මාසමාධියට යි. තිස්ස, ‘ගන වනලැහැබ’ යනු තෙල අවිද්‍යාවට නමෙකි. තිස්සය ‘මහත් ගැඹුරු මඩවගුර’ යනු තෙල කාමයන්ට නමෙකි. තිස්ස, හෙබ ය (ප්‍රපාතය) යනු තෙල ක්‍රෝධ උපායාස දෙකට නමෙකි. තිස්ස, ‘සිත්කලු සම භුමිභාගය’ යානු තෙල නිවනට නමෙකි.
තිස්ස, (බඹසරෙහි) ඇලෙව. තිස්ස, ඇලෙව. මම අවවාදයෙන් (පිහිට වෙමි). මම අනුග්‍රහයෙන් (පිහිට වෙමි). මම අනුශාසනායෙන් (පිහිට වෙමි) යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
1. 2. 4. 3.
යමක සූත්‍රය
85. ම විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති.
එසමයෙහි යමක නම් මහණහට යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන.
බොහෝ භික්‍ෂූහු යමක නම් මහණහට යම්සේ රහත් මහණ කාබුන් මරණින් සිඳේ ද වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිගතයෙක් උපනැ යි ඇසූහ.
එකලැ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන්ට “ඇවැත්නි, යමකයෙනි, “රහත් මහණ යම්සේ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එපරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ? යි කීහ.
ඇවැත්නි, යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි.
ඇවැත්නි, යමකයෙනි, නහමක් මෙසේ කියවු. භාග්‍යවතුන් වහන්සේට නහමක් අභූතයෙන් චෝදනා කරවු. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම නො ම මැනැවි. “රහත් මහණ කය බිඳීමෙන් සිඳෙයි, වැනසෙයි මරණින් මතු නො වේ යි”, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නහමක් වදාරන සේකැ යි.
ආයුෂ්මත් යමක තෙමේ ඒ භික්‍ෂූන් විසින් මෙසේ ද කියනු ලබන්නේ යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිය එසේ ම දෘෂ්ටි ස්ථාමයෙන්, දෘෂ්ටි පරාමර්‍ශනයෙන් පිවිසගෙන වහරයි.
යම් කලෙක ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් ඒ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නො හැකි වූවාහු ද, එ කල්හි ඒ භික්‍ෂූහු හුනස්නෙන් නැගිට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙනුවන්ට තෙල සැලකළහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, යමක නම් මහණහට යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස යමක මහණහු වෙත එළැඹෙත් නම් මැනැව යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පස්වැ වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් යමක තෙරුනට තෙල වදාළහ: ඇවැත්නි, යමකයෙනි, යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ යි?
ඇවැත්නි, “යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි.
ඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ඇවැත්නි, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම්, එය දුක් හෝ සුව හෝ වේ ද? ඇවැත්නි, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට නිසි ද? ඇවැත්නි, තෙල නිසි නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? ඇවැත්නි, අනිත්‍ය යැ .
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යි. ඇවැත්නි, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ ම ය.
ඇවැත්නි, යමකයෙනි, එහෙයින් මෙ ලොවැ අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රුපයකුත් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේය”යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ඇත් ද ... අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේය”යි මෙසේ තෙල තතු සේ විවසුන් නුවණින් දැක්කයුතු.
ඇවැත්නි, යමකයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි ... මේ රහත් බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ යි දැනගනියි.
ඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපය සත්ත්‍වයා ය යි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
වේදනාව ... සඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍වයා යි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
ඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
රූපයෙන් වෙන් වැ සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
වේදනායෙහි ... වේදනායෙන් වෙන් වැ ... සංඥායෙහි ... සංඥායෙන් වෙන් වැ ... සංස්කාරයන්හි ... සංස්කාරයන් ගෙන් වෙන් වැ ... විඥානයෙහි ... සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
විඥානයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
ඇවැත්නි, යමකයෙනි, කිමැයි හඟිවු ද, රූපය ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය සත්ත්‍වයා යි දකිවු දැයි? ඇවැත්නි, මෙය නො වේ ම ය.
ඇවැත්නි, යමකයෙනි, ඒ කිමැයි හඟිවු ද? රූප නො වූ වේදනා නො වූ සංඥා නො වූ සංස්කාර නො වූ විඥාන නො වූ ඒ මේ ධර්‍මය සත්ත්‍වයා ය යි දකිවු දැයි? ඇවැත්නි, තෙල නො වේ ම ය.
ඇවැත්නි, යමකයෙනි, මෙහි ලා මේ අත්බැව්හි ම තොපට සත්‍ය විසින් ස්ථිර විසින් සත්ත්‍වයකු නො ලැබෙන කල්හි යම්සේ රහත් මහණ කාය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි” යි තොපගේ ඒ පැවසීම සුදුසු ද? ඇවැත්නි ශාරිපුත්‍රනි, නුවණ නැති මට පෙර මේ ලාමක දෘෂ්ටිය විය. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා ඒ ලාමක දෘෂ්ටිය පහ වැ ගියේ ය. ම විසින් ධර්‍මය ද අවබෝධ කරණ ලද්දේ” යයි.
ඇවැත්නි, යමකයෙනි, ඉඳින් තොප මෙසේ විචාරන්නාහු නම් (එනම්): “ඇවැත් යමකයෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ ද, හේ කාබුන් මරණින් මතු කිම වේදැ”යි, ඇවැත් යමකයෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමෙකැයි විසඳා කියන්නහු ද?
ඇවැත්නි ඉඳින් මා මෙසේ පුළුවුස්නාහු නම්: ඇවැත්නි යමකයෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ ද, හේ කාබුන් මරණින් මතු කිම වේදැ”යි, ඇවැත්නි මෙසේ පුළුවුස්නා ලද මම් මෙසේ විසඳා කියන්නෙමි: “ඇවැත්නි, රූපය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය ද එය දුක් යැ, යමක් දුක් ද, එය නිරුද්ධ යැ, අස්තඞ්ගත යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය ද, එය දුක් යැ, යමක් දුක් ද, එය නිරුද්ධ යැ, අස්තඞ්ගත යැ”. මෙසේ පුළුවුස්නා ලද මම් මෙසේ විසඳා කියන්නෙමි යි.
ඇවැත්නි යමකයෙනි, මැනවි. මැනවි. ඇවැත්නි, යෙමකයෙනි, එසේ වී නම් මේ අරුත (මේ ප්‍රථම මාර්‍ගය) ම බෙහෙවින් දැනීම පිණිස තොපට උපමාවක් කරන්නෙමි:
“ඇවැත්නි යමකයෙනි, යම් සේ ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති ගැහැවියෙක් ගො ගැහැවිපුතෙක් හෝ වේ ද, හේ ද ආරක්‍ෂා සම්පන්න ය. ඔහුට අවැඩ කැමැති අහිත කැමැති සිවු උපායෙන් ක්‍ෂේමභාවය නො කැමැති (උවදුරු කැමැති) දිවි තොර කරනු කැමැති කිසියම් පුරුෂයෙක් උපදනේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ය: “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ආඪ්‍ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භෝග ඇත්තේය. හේ ද ආරක්‍ෂා සම්පන්න ය. මැඩ දිවි තොර කරන්නට සුකර නො වේ. මම ඇතුළට පිවිස දිවි තොර කරන්නෙම් නම් මැනැවැ”යි හේ ඒ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත හෝ එළැඹ “හිමි, මුබට උවැටන් කරන්නෙමි”යි මෙසේ කියන්නේ ය. ඒ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ඒ මොහු ලව උවැටන් කරවාගන්නේ ය. හේ පළමු නැඟී සිටින්නේ පසු ව හොවින්නේ කුම් කෙරෙම් දැ?යි පුළුවුස්නේ මනවඩන දෑ කරනුයේ පියවදන් බණනුයේ උවැටන් කරන්නේ යි ඔහුගේ ඒ ගැහැවි හෝ
ගැහැවිපුත් හෝ මිතුරු සෙයිනුදු ඔහු හදහන්නේ ය. සුහද සෙයිනුදු ඔහු හදහන්නේ ය. ඔහු කෙරෙහි විශ්වාසයට පැමිණෙන්නේ ය. ඇවැත්නි, යම් කලෙක ඒ පුරුෂහට “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ මා කෙරෙහි ඉතා විශ්වාස ඇත්තේ ය”යි මෙසේ අදහස් වන්නේ ද, එ කල්හි ඔහු එකලා වූවහු දැන තියුණු සැතින් දිවි තොර කරන්නේ යි.
ඇවැත්නි යමකයෙනි, ඒ කිමැයි හඟිවු ද, යම් කලෙක ඒ පුරිස් තෙමේ මේ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත එළඹැ “හිමි, මුබට උවැටන් කරම් දැ”යි මෙසේ කී ද, ඒ කල්හිත් හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙකත් හේ පළමු නැගී සිටින්නේ පසුව හොවින්නේ කුම් කෙරෙම් දැ යි පිළිවදන් අස්වන්නේ මනාප දෑ කරන්නේ, පියවදන් බණන්නේ උවටන් කෙරේ ද, එ කල්හිදු හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙක්හිදු එකලා වූ ඔහු දැන තියුණු සැතින් දිවි තොර කෙරෙ ද, එකල්හිදු හෙ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේ ය. ඇවැත්නි, එසේ ය යි.
ඇවැත්නි, එසෙයින් ම ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්මය යි හෝ ආත්මය රූප ඇත්තෙකැයි හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥානවත් හෝ යි හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයයෙහි ආත්මය ඇතැයි හෝ දකී. අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වූ වේදනාව යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ සංඥාව අනිත්‍ය වූ සංඥාව යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වූ සංස්කාරය යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ විඥානය අනිත්‍ය වූ විඥානය යි තතු සේ නො දනී.
දුක් වූ රූපය දුක් වූ රූපය යි තතු සේ නො දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය දුක් වූ විඥාන යයි තතු සේ නො දනී.
අනාත්ම වූ රූපය අනාත්ම වූ රූප යයි තතු සේ නො දනියි, අනාත්ම වූ වේදනාව අනාත්ම වූ වේදනාව යයි තතු සේ නො දනියි, අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර අනාත්ම වූ සංස්කාර යි තතු සේ නො දනියි. අනාත්මවූ විඥානය අනාත්මවූ විඥානය යි තතු සේ නො දනී.