මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි. සංස්කාරයෙහි දු කල කිරෙයි. විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි විමුක්තය යන ඥානය වෙයි. ‘ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ අර්‍හත්ත්‍වය පිණිස අන් කිසෙක් නැත’යි දනියි.
මහණෙනි, සත්‍වාවාස යම්තාක් ද, භවාග්‍රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්‍රයහ. මොහු ශ්‍රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතුදු තෙල වදාළ සේක:
1. රහත්හු ඒකාන්තයෙන් (ධ්‍යාන -මාර්‍ග -ඵල සුඛයෙන්) සුඛිතයහ, ඔවුනට තෘෂ්ණායෙක් නැත. නවවිධ අස්මිමානය රහත් මඟ නුවණින් සිඳින ලදී. මෝහ නැමැති දැල පළන ලදී.
2. ඔහු, අර්‍හත්ත්‍වයට පැමිණියහ, ඔවුන්ගේ සිත කැළඹීම් රහිත ය, ඔහු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ඇලුණහ, ශ්‍රේෂ්ඨහ, ආශ්‍රව රහිතයහ.
3. පස්කඳ ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන සිටි ඔහු (සද්ධා - හිරි ආදී) සප්ත සද්ධර්‍ම ගෝචර කොට ඇතියහ. (නුවණැත්තන් විසින්) පැසසිය යුත්තාහ, සත්පුරුෂහ, බුදු රජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයහ.
4. සප්ත බෝධ්‍යංගරත්නයෙන් යුක්තයහ, ත්‍රිවිධ ශික්‍ෂායෙහි ශික්‍ෂිතයහ, මහාවීර වූ ඔහු ප්‍රහීණ භය භේරව ඇත්තාහු (නිසැක වැ) හැසිරෙති.
5. (අසේඛසීලක්ඛන්‍ධාදී) දශ අංගයෙකින් යුක්තයහ, මහා නාගයහ, (උපචාර - අර්‍පණා ධ්‍යානයෙන්) සමාහිතයහ, මොහු වනාහි ශ්‍රේෂ්ඨ වෙති, ඔවුනට තෘෂ්ණා නැති.
6. රහත්ඵල නුවණ උපන, මේ අන්තිම ආත්මභවය යි. බ්‍රහ්මචර්‍ය්‍යයාගේ යම් සාරයෙක් ඇත් ද, සාර සංඛ්‍යාත ඒ අරහත් ඵලයෙහි පරප්‍රත්‍යය රහිතයහ. (අන්‍ය උපකාර විරහිත වැ ප්‍රත්‍යක්‍ෂ විසින් මැ පිළිවිද සිටියහ.)
7. ත්‍රිවිධ මාන කොටස්හි නො සැලෙති. පුනර්‍භවයෙන් මිදුණාහ, අර්‍හත්ත්‍වයට අනුප්‍රාප්තයහ. ඔහු ලෝකයෙහි (රාගාදිය) දිනා සිටියාහු යි.
8. උඩ - සරස - යට (පස්කඳෙහි හෝ කාලත්‍රයෙහි හෝ භවත්‍රයෙහි හෝ) ඔවුනට තෘෂ්ණායෙක් නැති. අනුත්තර වූ චතුස්සත්‍ය බුද්ධ වූ ඒ රහත්හු ලෝකයෙහි අභීතනාද කරන්නාහ යි.
1. 2. 3. 5.
දෙවැනි අරහන්ත සූත්‍රය
77. සැවැත්නුවර:
මහණෙනි, රූපය අනිත්‍යයි. යමෙක් අනිත්‍ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ”යයි මෙසේ තෙල තතුසේ සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. වේදනාව අනිත්‍ය ය … සංඥාව අනිත්‍ය ය … සංස්කාර අනිත්‍ය ය … විඥානය අනිත්‍ය යි. යමෙක් අනිත්‍ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමෙක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යයි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනාහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලෙනුයේ මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන් කිසෙක් නැති යි දනියි.
මහණෙනි, සත්ත්‍වාවාස යම්තාක් ද, භවාග්‍රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්‍රයහ. මොහු ශ්‍රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි වදාළ සේක.
1. 2. 3. 6.
සීහෝපම සූත්‍රය
78. සැවැත්නුවර:
මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසයෙන් නික්මැ වැජඹෙයි. වැජැඹැ හාත්පස සතරදික් පරීක්‍ෂා කොට බලයි. හාත්පස සතරදික් බලා තෙවටක් සිහනද කෙරෙයි. තෙවටක් සිහනද කොට ගොදුරු පිණිස යයි.
මහණෙනි, යම්කිසි තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් නාද කරන සිංහමෘගරාජයාගේ ශබ්දය අසද්ද, ඔහු බෙහෙවින් භයට සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙත්. බිලයෙහි වෙසෙන සත්හු බිලයට වදිති. දියෙහි වෙසෙන සත්හු දියට වදිති. වනය වාස කොට ඇති සත්හු වනයට වදිති. පක්‍ෂීහු අහස භජනය කෙරෙත්. මහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දෘඪවරපටින් බැඳුනු රජුට අයත් යම් මැ හස්තීහු ඇද්ද ඔහු දු ඒ බන්‍ධනයන් සිඳැ ගෙන බිඳැ ගෙන බියපත් වූවාහු මලමූ හෙළමින් යම් ඒ තැනෙක පලා යෙත්. මහණෙනි, මෘගරාජන් වූ සිංහ තිරිසන් ගිය සතුන් අතරින් මෙබඳු මහත් ඍද්ධි ඇතියෙකැ, මෙබඳු මහේශාක්‍යයෙකැ, මෙබඳු මහත් අනුභාව ඇතියෙකි.
මහණෙනි, එ පරිදි මැ යම් කලෙක අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිද් වූ අනුත්තර පුරුෂදම්‍යයසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනාසේක් ද, ඔහු දහම් දෙසත්: “රූපය මෙතෙකැ, රූපසමුදය මෙතෙකැ, රූපයාගේ අත්‍ථඞ්ගමය මෙතෙකි. වේදනාව මෙතෙකැ ... සංඥාව මෙතෙකැ … සංස්කාර මෙතෙකැ ... විඥාන මෙතෙකැ විඥාන සමුදය මෙතෙකැ, විඥාන අත්‍ථඞ්ගමය මෙතෙකි. (මෙසේ දෙසත්).
මහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ වර්‍ණවත් වූ සුඛබහුල වූ උස්විමන්හි චිරස්ථායී වැ සිටුනා යම් දෙවිකෙනෙක් ඇද්ද, උහුදු තථාගතයන්ගේ දම්දෙසුම් අසා බෙහෙවින් බියව සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙති: “භවත්නි, අපි අනිත්‍ය වූවමෝ නිත්‍යම්හ යි සිතුම්හ. අපි අධ්‍රැව වූවමෝ ධ්‍රැවයම්හ යි සිතුම්හ. භවත්නි, අපි අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වනාහි අනිත්‍යම්හ, අධ්‍රැවයම්හ, අශාස්වතයම්හ, සත්කාය පරියාපන්නයම්හ” යි (සංවේගදනවත්).
මහණෙනි, තථාගතයෝ සදේවක ලෝකයාට මෙසේ මහත් ඍද්ධි ඇතියහ, මෙසේ මහේශාක්‍යයහ, මෙසේ මහානුභාවයහ යි භගවත්හු තෙල වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා වැලිත් ශාස්තෲන් වහන්සේ තදන්‍ය වූ තෙල ගාපෙළ ද වදාළහ:
1. දෙවියන් සහිත ලෝකයාට ශාස්තෘ වූ අප්‍රතිපුද්ගල වූ සර්‍වඥයන් වහන්සේ යම් කලෙක විශිෂ්ටඥානයෙන් දැන ධර්‍මචක්‍රය පවත්වාලු සේක් ද,
2. සක්කාය (පඤ්චස්කන්‍ධය) හා නිරෝධය හා සත්කාය සම්භවය හා දුක් සන්හිඳුවන අරිඅටගිමග හා (දෙසත් ද),
3. වර්‍ණවත් යශස්වී වූ දීර්‍ඝායුෂ්ක වූ යම් දෙවිකෙනෙක් ඇද්ද, (ඔහු හැම) සිංහයාගේ නාද අසා ඉතර මෘගයන් බියපත්වන්නාක් සෙයින් භීත වැ (මෙසේ) සන්ත්‍රාසයට පැමිණියහ.
4. භවත්නි, අපි සක්කායය පැන නො ගියම්හ, අනිත්‍යයම්හ යි විප්‍රමුක්ත වූ තාදී ගුණ ඇති අර්‍හත් වූ බුදුන්ගේ වාක්‍යය අසා දතුම්හ යි.
1. 2. 3. 7.
ඛජ්ජනීය සූත්‍රය
79. සැවැත්නුවර:
මහණෙනි, අනේකප්‍රකාර පූර්‍වනිවාසය නුවණින් මෙනෙහි කරන යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙත් ද, එ හැම පඤ්චෝපාදාන ස්කන්‍ධයන් අනුස්මරණ කෙරෙති, තුලුන් අතුරෙන් අන්‍යතරයක් හෝ අනුස්මරණ කෙරෙත්.
මහණෙනි, “අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි” යි හෝ සිහි කරන්නේ රූපස්කන්‍ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි” යි හෝ සිහිකරන්නේ වේදනාස්කන්‍ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංඥාස්කන්‍ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංස්කාරයන් මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ විඥානස්කන්‍ධය මැ සිහි කෙරෙයි.
මහණෙනි, කවර කරුණින් රූපය කියන්නේ ය යත්: මහණෙනි, “බිඳේ” නුයි එයින් රුපයයි කියනු ලැබෙයි, කුමකින් බිඳේ ය යත්: ශීතයෙනුදු බිඳෙයි, උෂ්ණයෙනුදු බිඳෙයි, බඩසයියිනුදු බිඳෙයි, පවසිනුදු බිඳෙයි, ඩැහැ ලේ බොන මැසි ය - විද ලේ බොන මදුරු ය - වාත ය - ආතප ය - දීර්‍ඝජාති ය යන මොවුන්ගේ සංස්පර්‍ශ යෙනුදු බිඳේ. මහණෙනි, “බිඳෙනු” යි එයින් රූප යි කියනු ලැබේ.
මහණෙනි, කවර කරුණින් වේදනා කියන්නේය යත්: මහණෙනි, “වළඳ කෙරේ” නු යි එයින් වේදනා යි කියනු ලැබෙයි. කුමක් වළඳ කෙරෙයි යත්: සුඛය ද වළඳ කෙරෙයි. දුක්ඛය ද වළඳ කෙරෙයි, උපේක්‍ෂාව ද වළඳ කෙරේ. මහණෙනි, මෙසේ වළඳ කෙරේ නු යි එයින් වේදනා යි කියනු ලැබේ.
මහණෙනි, කවර කරුණින් සංඥා කියන්නේ ය යත්: මහණෙනි, “හඳුනාගනී” නුයි එයින් සංඥායි කියනු ලැබෙයි. කවර කරුණින් හඳුනයි යත්: නිල ද හඳුනයි, කහවන ද හඳුනයි, ලෙහෙවන ද හඳුනයි, සුද ද හඳුනයි. මෙසේ “හඳුනා” නුයි එයින් සංඥා යි කියනු ලැබේ.
මහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ ය යත්: මහණෙනි, “සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙත්” නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්: රූපය රූපය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්. “මහණෙනි, සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්” නුයි එයින් සංස්කාරහ යි කියනු ලැබෙත්.
මහණෙනි, කවර කරුණින් විඥානය කියන්නේය යත්: මහණෙනි, “විජානන කෙරේ” නුයි එයින් විඥාන යයි කියනු ලැබෙයි. කවර කරුණින් විජානන කෙරේ යත්: ඇඹුල ද විජානන කෙරෙයි, තිත්ත ද විජානන කෙරෙයි. කටුකරස ද විජානන කෙරෙයි, මධුරරස ද විජානන කෙරෙයි, කරරස ද විජානන කෙරෙයි. නොකරරස ද විජානන කෙරෙයි. ලුණුරස ද විජානන කෙරෙයි. නොලුණුරස ද විජානන කෙරේ. මහණෙනි, මෙසේ “විජානන කෙරේ” නුයි එයින් විඥාන යි කියනු ලැබේ.
මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ නුවණින් සලකා බලයි: “මම වූකලී දැන් රූපය විසින් කනු ලබමි. යම්සේ දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබම් ද, එසෙයින් ම ඉකුත් කල්හි දු රූපය විසින් කනු ලැබීමි. මම අනාගතරූපය පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න රූපය විසින් කනු ලබම් ද, එපරිදි මම අනාගතකාලයෙහිදු රූපය විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතරූපයෙහි නිරපේක්‍ෂ වෙයි, අනාගතරූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපය පිළිබඳ වැ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
“මම වර්‍තමානයෙහි වේදනාව විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න වේදනාව විසින් කනු ලබම් ද, අතීත කාලයෙහි දු එපරිදි ම වේදනාව විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතවේදනාව පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න වේදනාව විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගතකාලයෙහි දු වේදනාව විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතවේදනාව පිළිබඳ වැ නිරපේක්‍ෂ වෙයි, අනාගතවේදනාව නො පතයි, ප්‍රත්‍යුත්පන්නවේදනාව පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
“මම දැන් සංඥාව විසින් කනු ලබමි … මම වනාහි දැන් සංස්කාර විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න සංස්කාර විසින් කනු ලබම් ද, එපරිදිම අතීතකාලයෙහි දු සංස්කාර විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතසංස්කාර පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්නසංස්කාර විසින් කනු ලබම් ද, එ පරිදි මැ අනාගතකාලයෙහිදු සංස්කාර විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතසංස්කාර කෙරෙහි නිරපේක්‍ෂ වෙයි, අනාගතසංස්කාර නො පතයි, ප්‍රත්‍යුත්පන්නසංස්කාර පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
“මම දැන් විඥානය විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න විඥානය විසින් කනු ලබම් ද, අතීතකාලයෙහිදු විඥානය විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතවිඥානය පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න විඥානය විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගතකාලයෙහි දු විඥානය විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතවිඥානය කෙරෙහි නිරපේක්‍ෂ වෙයි, අනාගතවිඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානය පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
මහණෙනි, කෙසේ හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් හේ දුඃඛ හෝ සුඛ වේ දැ යි? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි ඇත් නම් “තෙල මාගේ යැ, මම තෙලෙ වෙමි, තෙලෙ මාගේ ආත්ම යයි” එය නුවණින් දක්නට කල්‍ය වේ දැ යි? වහන්ස, තෙල කරුණ එසේ නො වේ මැ යැ.
මහණෙනි, ඒ කරුණින් ම ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරෙහි වේවයි හමියෙහි වේවයි අතීතානාගත ප්‍රත්‍යුත් පන්න යම් මැ රූපයෙක් ඇත් නම් එ හැම රූපය “තෙල මාගේ නො වෙයි, මම තෙලෙ නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල කරුණ ඇති සැටි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. යම් මැ වේදනායෙක් ඇත් ද … යම් මැ සංඥායෙක් ඇත් ද … යම් මැ සංස්කාරයෝ ඇත් ද ... ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරෙහි වේවයි සමීපයෙහි වේවයි අතීතා අනාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් මැ විඥානයෙක් ඇත් ද, “තෙලෙ මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙ” යි තෙල කරුණ මෙසේ ඇති සැටියෙන් සම්‍යක්ප්‍රඥාවෙන් දතයුතු යි.
මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක (සසරවට) ඉවත් කෙරෙයි. නො රැස් කෙරෙයි, දුරැලයි, නො ගනියි, විසුරුවයි, නො කැටි කෙරෙයි, නිවයි, නො දල්වා යි කියනු ලැබේ.
කුමක් වනසා ද, නො රැස් කෙරේ ද යත්: රූපය වනසයි, නො රැස් කෙරෙයි, වේදනාව වනසයි, නො රැස් කෙරෙයි. සංඥාව වනසයි, නො රැස් කෙරෙයි. සංස්කාර වනසයි, නො රැස් කෙරෙයි. විඥානය වනසයි. නො රැස් කෙරෙයි.
කුමක් දුරැලා ද, නො ගනී ද යත්: රූපය දුරැලයි, නො ගනියි. වේදනාව දුරැලයි, නො ගනියි. සංඥාව ... සංස්කාර දුරැලයි, නො ගනියි. විඥානය දුරැලයි, නො ගනියි.
කුමක් විසුරුවා ද, රැස් නො කෙරේ ද යත්: රූපය විසුරුවයි, රැස් නො කෙරෙයි. වේදනාව විසුරුවයි, රැස් නො කෙරෙයි. වේදනාව විසුරුවයි, රැස් නො කෙරෙයි. සංඥාව ... සංස්කාර ... විඥානය විසුරුවයි, රැස් නො කෙරෙයි.
කුමක් නිවා ද, නො දල්වා ද යත්: රූපය නිවයි, නො දල්වයි. වේදනාව නිවයි, නො දල්වයි. සංඥාව ... සංස්කාර නිවයි, නො දල්වයි. විඥානය නිවයි, නො දල්වයි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි. සංඥායෙහි දු ... සංස්කාරයන් කෙරෙහි දු ... විඥානයෙහි දු කලකිරෙයි, කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් විමුක්ත වෙයි, විමුක්ත වත් ම “විමුක්ත යෙමි” යි ඥානය වෙයි: “ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැති” යි නුවණින් දනී. මහණෙනි, මේ මහණ රැස් නො කෙරෙයි, නො වනසයි. වනසා සිටියේ වෙයි. නො ම හැරපියයි, නො ගනියි, හැරැ පියා සිටියේ වෙයි, නො ම විසුරුවයි, රැස් නො කෙරෙයි, විසුරුවා සිටියේ වෙයි. නො ම නිවයි, නො ම දල්වයි. නිවා සිටියේ යයි කියනු ලැබේ.
කුමක් නො ම රැස් කෙරේ ද නො ම වනසා ද, වනසා සිටියේ වේ ද යත්: රූපය නො මැරැස් කෙරෙයි, නො මැ වනසයි, වනසා සිටියේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥාන නො මැ රැස් කෙරෙයි, නො ම වනසයි, වනසා සිටියේ යැ.
කුමක් නො ම හරනේ ද, නො ගනී ද, හැර පියා සිටියේ වේ ද යත්: රූපය නො ම හරියි, නො ගනියි, හැර පියා සිටියේ යැ. වේදනාව නො ම හරියි, නො ගනියි, හැරපියා සිටියේ යැ, සංඥාව ... සංස්කාර ... විඥානය නො ම හරියි, නො ගනියි, හැරපියා සිටියේ යැ.
කුමක් නො ම විසුරුවයි ද, රැස් නො කරයි ද ,විසුරුවා සිටියේ වේ ද යත්: රූපය නො ම විසුරුවයි, නො ම රැස් කෙරෙයි, විසුරුවා සිටියේ යැ. වේදනාව නො ම විසුරුවයි, රැස් නො කෙරෙයි, විසුරුවා සිටියේ යැ. සංඥාව ... සංස්කාර ... විඥාන නො ම විසුරුවයි, නො ම රැස් කෙරෙයි, විසුරුවා සිටියේ යැ.
කුමක් නිවාපියා ද නොදල්වාද, නො නිවාපියාසිටියාද සිටියේවේ ද යත්: රූපය නො ම නිවයි, නො ම දල්වයි, නිවාපියා සිටියේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නො ම නිවයි, නො ම දල්වයි, නිවාපියා සිටියේ යි.
මහණෙනි, මෙසේ විමුක්ත සිත් ඇති මහණ හට ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ දුරින් ම නමස්කාර කෙරෙත්.(කෙසේ යැ:)
“යමක් ඇසිරි කොට ධ්‍යාන කරවු ද, යම් ඒ තොපගේ සිතැඟි නො දනුම්හ, පුරුෂ ශ්‍රේෂ්ඨයාණනි, තොපට නමස්කාර වේවා, පුරිෂෝත්තමයාණෙනි, තොපට නමස්කාර වේවා” යි (කියා යි).
1. 2. 3. 8.
පිණ්ඩෝල්‍ය සූත්‍රය
80. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කපිලවාස්තු පුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිසියම් කරුණෙකැ ලා භික්‍ෂු සංඝයා බැහැර කොට දෙවන දින පෙවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසි සේක. කිඹුල්වතෙහි පිඬු පිණිස හැසිර බතින් පසු වැ පිණ්ඩපාතයෙන් වැළකී සේක් මහාවනය කරා දිවා විහාරය පිණිස එළැඹි සේක. මහාවනයට එළඹ නහඹුල් බෙලිරුකක් මුලැ දිවාවිහාරය පිණිස වැඩහුන් සේක.
එසඳ රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “මා විසින් බික්සඟනු බැහැර කරන ලදහ. මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනික වැ පැමිණි භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මව නොදක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් වේ ද, පෙරැළියෙක් වේ ද එපරිදි ම මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනාගත වූ භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි, පෙරැළියෙක් වේ. දිය නො ලබන තරුණබීජයන්ට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් ඇත් ද, පෙරැළියෙක් ඇත් ද, එ පරිදි මෙහි නවක වූ අළුත පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු ඇත් ද, දර්‍ශනය පිණිස මා නො ලබන ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. විපරිණාමයෙක් වේ. යම් පරිදි මා විසින් පෙර බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එ පරිදි ම මම දැන් බික්සඟනට අනුග්‍රහ කෙරෙම් නම් මනා මැ නු” යි.
එසඳ සහම්පතී බ්‍රහ්ම සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන, යම් පරිදි බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ ද, දිගුකළ අත හෝ හකුළුවා ද එ පරිදි බඹ ලොවැ අතුරුදන් වූයේ බුදුන් ඉදිරියෙහි පහළ වී.
ඉක්බිති සහම්පතී බඹ උත්තරාසංගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භාග්‍යවතුන් වහන්ස, තෙල එසේම යැ. සුගතයන් වහන්ස, තෙල එසේ මැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු නෙරන ලදහ. මෙහි ළඟදී පැවිදි වූ මෙ සස්නට ළඟදී, පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මවු දෙන නො දක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වය හා විපර්‍ය්‍යාස හා ඇත් ද, එපරිදි ම මෙහි ළඟැදී පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු වෙති. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාභාවය වෙයි, විපර්‍ය්‍යාස වේ. දිය නො ලබන තරුණබීජවලට යම් පරිදි අන්‍යථාභාවය හා විපරිණාමය හා වේ ද, එපරිදි ම මෙහි පැවිදි නොබෝ කල් ඇති මේ සස්නට ළඟදී පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලබන ඔවුනට අන්‍යථාත්‍වය වෙයි. විපරිණාමය වේ.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟුන් පිළිගන්නා සේක් වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් පරිදි පෙරැ භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එපරිදි ම දැනුදු බික්සඟුන් සගන්නා සේක්වා” යි.
භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ සහම්පතී බඹ භාග්‍යවතුන් වහන්සේ අධිවාසනා දැන බුදුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් නිග්‍රෝධාරාමය කරා එළැඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ යම් පරිදි එ මහණහු තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු සැහැවි ඇත්හාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙත් නම් එබඳු ඉදුහයක් කළසේක.
එ මහණහු ද තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු වැ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුනට තෙල වදාළසේක: “මහණෙනි, ජීවිකාවන් අතුරින් මේ ජීවිකාව ලාමකය, එ කිමෙක යත්: පිඬුසිඟීම යැ. ‘පාත්‍රය ගත් ඇත් ඇති වැ පිඬු සිඟනු වැ හැසිරෙහි’ යන මේ ලෝකයෙහි ආක්‍රෝෂයෙකැ , මහණෙනි, කුලපුත්‍රයෝ හේතුවශඟ වූවාහු අර්‍ත්‍ථවශය නිසා මෙසේ ඒ පිඬු සිඟීමට පැමිණෙති. රාජනීතියෙන් අභිනීත වැ නො වෙත් මැ යැ, සොරුන් විසින් අභිනීත වැ නො වෙත් මැ යැ, ණයින් පෙළුනාහු නො වෙත් මැ යැ, භයින් පෙළුණාහු නො වෙත් මැ යැ, ජීවිකායෙන් පෙළුණාහු නො වෙත් මැ යි. වැළිත් ජාතියෙනුදු ජරාමරනයෙනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු බැසගතුම්හ. මෙසේ දුකට බටුම්හ. දුකින් පීඩිතයම්හ, (එයින්) මේ කේවල දුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මනා මැ නු” යි කියා යි.
මහණෙනි, මෙසේ පැවිදි වූ මේ කුලපුත්‍රයෙක් වේ ද, හේ ද අභිධ්‍යා බහුල වෙයි, කාමයෙහි තීව්‍රසංරාග ඇති වෙයි, විපන්සිත් ඇති වෙයි, දූෂිත සිත් ඇති වෙයි, මුෂිත ස්මෘති ඇති වෙයි, නිෂ්ප්‍රාඥ වෙයි, එකඟ නො වූ සිත් ඇති වෙයි, භ්‍රාන්ත සිත් ඇති වෙයි ප්‍රකෘති ඉඳුරන් ඇති වේ. මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළැගත්, මැද වැකි අශුචි ඇති සොහොන් පෙණ හෙල්ලෙක් ගමෙහි දර පිණිස වේවයි නොයෙ දේ ද වෙනෙහි කාෂ්ට පිණිස නො යෙදේ ද, මහණෙනි, මම මේ පුඟුලා එවන් උපමා ඇතියෙකැ යි කියමි. ගිහි භෝගයෙනුදු පිරිහීණැ, ශ්‍රමණාර්‍ත්‍ථය ද නො පුරයි.
මහණෙනි,මේ අකුශල විතර්‍කයෝ තුන් දෙනෙකි: කාමවිතර්‍කය යැ, ව්‍යාපාද විතර්‍ක යැ, විහිංසා විතර්‍ක යි. මහණෙනි, ඒ අකුශල විතර්‍කයෝ තුන්දෙන නිරවශේෂ වැ කොහි ලා නිරුද්ධ වෙත් ද යත්: සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති වැ වසනුවහට හෝ විදර්‍ශනා සමාධිය වඩනුවහට හෝ යැ.
මහණෙනි, භාවනාවශයෙන් වඩන්නට විදර්‍ශනා සමාධිය නිසි මැ යැ. මහණෙනි, වඩනාලද විදර්‍ශනා සමාධිය බහුලීකෘත වූයේ මහත්ඵල වෙයි, මහානිශංස වේ.
මහණෙනි, මේ දෘෂ්ටීහු දෙදෙනෙකි: භවදෘෂ්ටිය විභවදෘෂ්ටිය ද කියායි. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් එබඳු යම්කිසිවක් ඇද්ද හෝ” යි. හේ මෙසේ නුවණින් දනියි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් ඒ කිසිදු ලොවැ නැති නු” යි. මම වැළිත් උපාදාන වශයෙන් ගන්නෙම් රූපය ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම්
වේදනාව ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් සංඥාව ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් සංස්කාරයන් ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් විඥානය ම උපාදාන කෙරෙමි. එබඳු මට උපාදාන හේතුයෙන් භවය වෙයි, භවහේතුයෙන් ජාතිය, ජාතිහේතුයෙන් ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාස යන මොහු හටගනිත්. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
මහණෙනි, එ කිසේ හඟිවු ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එ දුඃඛ හෝ සුඛ හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි වේ නම් “තෙල මාගේ යැ, මම තෙලෙ වෙමි, තෙලෙ මාගේ ආත්මය” යි එ නුවණින් දකිනට නිසි වේ දැ යි? වහන්ස, තෙල නිසි නො වේ මැ යි. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ දැ යි? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එ දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි වේ නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්මය” යි නුවණින් දකිනට නිසි වේ දැ යි? වහන්ස, තෙලෙ නිසි නො වේ.
මහණෙනි, එහෙයින් යම් මැ රූපයෙක් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වේ ද, අධ්‍යාත්ම හෝ බාහිර හෝ ඕළාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ වේ ද, දුරෙහි වේවයි හමියෙහි වේවයි යම් රූපයෙක් වේ ද, එ හැම රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙති” යි මෙසේ මෙය ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු ය. යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... යම්කිසි විඥානයෙක් අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූයේ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕළාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ වේ ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ වේ ද, එ හැම විඥාන“තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙතී” යි මෙය මෙසේ ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි. විඥානයෙහි දු කලකිරේ. කලකිරෙනුයේ සංරාග වශයෙන් නො ඇලෙයි. එ විරාග හේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි “විමුක්තියෙමි” යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ යැ, බඹසර වසන ලද, කරණී කරන ලද මේ අර්‍හත්ත්‍වය පිණිස කළමනා කිසෙක් නැති” යි නුවණින් දනියි.
1. 2. 3. 9.
පාරිලෙය්‍යක සූත්‍රය
81. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසනසේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පාසිවුරු ගෙන කොසඹෑ පුරයට පිඬු පිණිස පිවිසිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකිසේක් තමන් වහන්සේ ම සෙනසුන් සඟවා තබා පා සිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට (-නො විචාරා) එකලා වැ දෙවන මහණකු නැති වැ චාරිකාවට වැඩිසේක.
ඉක්බිති අන්‍යතර මහණෙක් බුදුන් වැඩි නොබෝ වේලෙහි ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ ය, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “ඇවැත් ආනන්‍දයෙනි, එව, භාග්‍යවතුන් වහන්සේ තුමූ ම සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උවටු මහණුන් නො අමතා බික්සඟුන් නො විචාරා එකලා වැ පසු මහණකු නැති වැ චාරිකාවට නික්ම වැඩිසේකැ” යි.
ඇවත, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට පශ්චාත් ශ්‍රමණයකු නැති වැ ඒකාකී වැ චාරිකාවට බැස යන සේක් ද, එකල භාග්‍යවතුන් වහන්සේ එකලා වැ ම වසනු කැමැති සේක. එකල්හි යම් මැ කෙනෙකුන් විසින් භාග්‍යවතුන් වහන්සේ ලුහුබැඳියයුතු නො වෙති” යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරනසේක් පාරිලෙය්‍යකවනය කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පාරිලෙය්‍යකවනයෙහි භද්‍ර වූ සල්රුකක්මුල වැඩ වසනසේක. එසඳ බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළ යුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහු: “ඇවැත්නි, අනඳ තෙරණුවනි, අප විසින් බුදුන් හමුයෙහි දැහැමිකථා ඇසූ බොහෝ කල් ඇත. ඇවැත්නි, අනඳ තෙරණුවනි, අපි බුදුන් හමුයෙහි දැහැමි කථාවක් අසන්නට කැමැතියම්හ” යි.
එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මහණුන් සමග පාරිලෙය්‍යක වනයෙහි වූ භද්‍රශාලමූලය වෙත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුන්හට දැහැමි කථායෙන් කරුණු දැක් වූ සේක, සමාදන් කරවූ සේක, තෙද ගැන්වූ සේක, පින වූ සේකි.
එකල එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන. “කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට මාර්‍ගඥානයට අනන්තර ව ආස්‍රවක්‍ෂය වේ දැ” යි.
එසඳ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය සිය සිතින් දැන මහණුන් ඇමතූ සේක: “මහණෙනි, මා විසින් විචය නුවණින් දහම් දෙසන ලද: විචය නුවණින් සතර සීවටන්හු දෙසන ලදහ. විචයනුවණින් සතර සම්‍යක්ප්‍රධන්හු දෙසන ලදහ. විචය නුවණින් සතර ඍද්ධි පාදයෝ දෙසන ලදහ. විචයනුවණින් පඤ්චේන්‍ද්‍රියෝ දෙසන ලදහ, විචයනුවණින් පඤ්බලයෝ දෙසන ලදහ, විචයනුවණින් සප්ත බොධ්‍යංගයෝ දෙසන ලදහ. විචයනුවණින් අරීඅටඟිමඟ දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසත් ම, වැලිත් මෙහි ලා ඇතැම් මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට අර්‍හත් මාර්‍ගඥානයට අනන්තර ව (ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත) අර්‍හත්ඵලඥානය වේ දැ’ යි (කියා යි).
මහණෙනි, කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට අර්‍හන්මාර්‍ගඥානයට අනන්තර ව ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්ඵලය වේ ද යත්: මහණෙනි, මෙහි බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ශුද්ධ රූපය ම ආත්මවශයෙන් දක්නේ ය, මහණෙනි, යම් ඒ දිට්ඨි සමනුපස්සනායෙක් වේ ද, ඒ සංස්කාර වේ. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් උපන් වේදනාවෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාර එයින් හටගත්තේ ය.
මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ තෘෂ්ණා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ වේදනා ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ ස්පර්‍ශ ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. මහණෙනි, මෙසෙයිනුදු දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර වැ අර්‍හත්ඵලය වේ.
රූපය ආත්මය යි නො ම දකියි. වැලිදු ආත්මය රූපවත් කොට දකී. මහණෙනි යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් එ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාර එයින් උපන. මහණෙනි, මෙසේ මේ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ තෘෂ්ණා ද, ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. මහණෙනි, මෙසේ දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති වැ අර්‍හත්ඵලය වේ.
රූපය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො දකියි, වැලිදු රූපය ආත්මයෙහි ලා දකී. මහණෙනි, යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත් ද, කුමක් සමුදය කොට ඇත් ද, කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් උපන් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙන් ඇත් ද, ඒ සංස්කාරය එයින් උපන.
මහණෙනි, ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. එ වේදනා ද ... ඒ ස්පර්‍ශය ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති ව අර්‍හත්ඵලය වේ.
රූපය ආත්මය වශයෙන් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි පිහිටියේ ය යි නො මැ දකී. වැළි දු ආත්මය රූපයෙහි ලා දකියි. මහණෙනි, යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද
කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිද්‍යා සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාරය එයින් උපන. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද … ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශය ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති අර්‍හත්ඵලය වේ.
රූපය ආත්ම ය යි නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි ලා නො ම දකියි, ආත්මය රූපයෙහි ලා නො ම දකී. වැළි දු වේදනාව ආත්ම ය යි දකියි … (රූපස්කන්‍ධයෙහි විස්තරය සේ මතු ස්කන්‍ධ සතර ම විස්තර කටයුතු යි.) වැළි දු ආත්මය වේදනා ඇත්තෙකැ යි දකි … වැළි දු වේදනාව ආත්මයෙහි ලා දකී ... වැළි දු ආත්මය වේදනායෙහි ලා දකී ... වැළි දු සංඥාව ම ආත්ම වශයෙන් දකී … වැළිදු ආත්මය සංඥා ඇත්තෙකැ යි දකී ... වැළිදු සංඥාව ආත්මයෙහි ලා දකී ... වැළිදු ආත්මය සංඥාවෙහි ලා දකී ... වැළිදු සංස්කාරම ආත්ම ය යි දකී … වැළිදු ආත්මය සංස්කාර ඇත්තෙකැ යි දකී ... වැළිදු සංස්කාර ආත්මයෙහි ලා දකී … වැළිදු ආත්මය සංස්කාරයන්හි ලා දකී … වැළිදු ආත්මය සංස්කාරයන්හි ලා දකී … වැළිදු විඥානය ම ආත්ම ය යි දකී ... වැළිදු ආත්මය විඥාන ඇත්තෙකැයි දකී ... වැලිදු විඥානය ආත්මයෙහි ලා දකී ... වැළිදු ආත්මය විඥානයෙහි ලා දකී.
මහණෙනි, යම් ඒ සමනුපස්සනාවක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණා උපන. ඒ සංස්කාරය එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර ව අර්‍හත්ඵලය වේ.
මහණෙනි, රූපය ආත්ම ය යි නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි ලා නො මැ දකියි, රූපයෙහි ලා ආත්මය නො ම දකී. වේදනාව ආත්ම ය යි නො ම දකියි, ආත්මය වේදනා ඇත්තෙකැ යි නො ම දකි යි, වේදනාව ආත්මයෙහි ලා නො ම දකියි, වේදනායෙහි ලා ආත්මය නො ම දකී. සංඥාව ආත්ම ය යි නො ම දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි නො ම දකියි, සංඥාව ආත්මයෙහි ලා නො ම දකියි, සංඥායෙහි ලා ආත්මය නො ම දකී. සංස්කාර ආත්ම ය යි නො ම දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි නො ම දකියි, සංස්කාර ආත්මයෙහි ලා නො ම දකියි, සංස්කාරයෙහි ලා ආත්මය නො ම දකී. විඥානය ආත්ම ය යි නො ම දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය නො ම දකී.
වැලිදු “ඒ මම ආත්මය වෙමි, ඒ මම ලෝකය වෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි” යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ ශාශ්වත දෘෂ්ටියක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණාව උපන, ඒ සංස්කාර එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍යය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද … ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේ ද දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට ඉක්බිති ව අර්‍හත්ඵලය වේ.
රූපය ආත්ම විසින් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, ආත්මයෙහි ලා රූපය ඇතැ යි නො ම දකියි, රූපයෙහි ලා ආත්මය ඇතැ යි නො ම දකී. වේදනාව ... නො ම දකී … සංඥාව ... නො ම දකී … සංස්කාර ... නො ම දකී. විඥානය ... ආත්ම වශයෙන් නො ම දකියි. ආත්මය විඥානවත් කොට නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය නො ම දකී. “ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි” වැලිදු මෙබඳු දෘෂ්ටි ඇත්තේ ද නො වෙයි. “ඉදින් මම නො වන්නෙම් නම් මට (පිරිකර ද) නො වන්නේ ය. (මම) මතු නො වන්නෙම් නම් මතු ද මට (පිරිකර) නො වන්නේ ය” කියා යි. මහණෙනි, යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේ නම් ඒ සංස්කාරය යි. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණා උපන, ඒ සංස්කාර එයින් (ඒ තෘෂ්ණායෙන්) හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද … ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර ව අර්‍හත්ඵලය වේ.
රූපය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය රුපවත්ය යි නො ම දකියි, ආත්මයෙහි ලා රූපය ඇතැයි නො ම දකියි. රූපයෙහි ලා ආත්මය ඇතැ යි නො ම දකී. වේදනාව ආත්ම වශයෙන් නො ම දකි යි, ආත්මය වේදනාවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා වේදනාව ඇතැ යි නො ම දකියි, වේදනායෙහි ලා ආත්මය ඇතැයි නො ම දකී. සංඥාව ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි නො ම දකී. ආත්මයෙහි ලා සංඥාව පවතී ය යි නො ම දකියි, සංඥායෙහි ලා ආත්මය පවතී ය යි නො ම දකී. සංස්කාර ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය, සංස්කාරවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා සංස්කාර පවතී ය යි නො ම දකියි, සංස්කාරයෙහි ලා ආත්මය පවතී ය යි නො ම දකී. විඥානය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය විඥානවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය පවතී යයි නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය පවතී යයි නො ම දකියි.
මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. “ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙනසුලු යෙමි” යි. මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. “ඉදින් මම නො වන්නෙම් නම් මට (පිරිකර ද) නො වන්නේ ය. (මම) මතු නො වන්නෙම් නම් මතු ද මට (පිරිකර) නො වන්නේ ය” යි. මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. වැලි දු සැක කරනසුලු වූයේ විචිකිච්ඡා ඇත්තේ සදහම්හි නිමාවට නො ගියේ වෙයි. මහණෙනි, යම් ඒ සැක කරන සුලු බවෙක් විචිකිච්ඡා ඇති බවෙක් සදහම්හි නිමාවට නො ගිය බවෙක් වේ නම් එය සංස්කාරය යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත්, වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණාව උපන. ඒ සංස්කාර එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාරත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණාත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ වේදනාත් අනිත්‍ය ය, සංඛත, පටිච්චසමුප්පන්න ය. ඒ ස්පර්‍ශත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ අවිද්‍යාත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න යි. මහණෙනි, මෙසේත් දන්නා මෙසේත් දක්නා මහණහට අර්‍හන්මාර්‍ගඥානයට අනන්තර ව අර්‍හත්ඵලඥානය වේ යි.
1. 2. 3. 10.
පුණ්ණමා සූත්‍රය
82. එක් සමයෙකැ, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්‍වාරාම නම් මුවරමාපහයෙහි මහත් භික්‍ෂු සංඝයා සමඟ වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එදින උපෝසථය වූ පසළොස්වක් දිනයෙහි (මාස ආදිය පිරුණු බැවින්) පූර්‍ණ වූ සඳ යුත් රැයෙහි “බික්සඟන විසින් පිරිවරන ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.