මහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කායසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශසමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම වේදනානිරෝධගාමිනී පටිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. වේදනාව නිසා යම් සුඛයෙක් සොම්නසෙක් උපදනේ ද, මෙ වේදනාව පිළිබඳ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ඇත් ද, මෙ වේදනාව පිළිබඳ ආදීනව යි. වේදනා පිළිබඳ යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ වේදනාව පිළිබඳ නිශ්ශරණ යි.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනායෙහි ආස්වාදය දැන, මෙසේ වේදනායෙහි ආදීනව දැන, මෙසේ වේදනායෙහි නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්න වෙති. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනාව පිළිබඳ ආස්වාදය දැන, මෙසේ වේදනාව පිළිබඳ ආදීනව දැන, මෙසේ වේදනාව පිළිබඳ නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදයෙන්, විරාගයෙන්, නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට විමුක්ත වෙත් ද, ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
මහණෙනි, සංඥා කවර යැ:
මහණෙනි, මේ සංඥා සමූහ සයෙකි: රූපසංඥා යැ, ශබ්දසංඥා යැ, ගන්‍ධසංඥා යැ, රසසංඥා යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥා යැ, ධර්‍මසංඥා යි. මහණෙනි, මේ ‘සංඥා’ යි කියනු ලැබේ ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
මහණෙනි, සංස්කාර කවර යැ:
මහණෙනි, මේ චේතනා සමූහ සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු ‘සංස්කාර’ යි කියනු ලැබෙත්. ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
මහණෙනි, විඥානය කවර යැ:
මහණෙනි, මේ විඥාන සමූහ සයෙකි: චක්ඛුවිඤ්ඤාණ යැ ... මනෝවිඤ්ඤාණ යි. මහණෙනි, මෙ ‘විඥාන’ යි කියනු ලැබේ. නාමරූප සමුදයෙන් විඥාන සමුදය වෙයි. නාමරූපනිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යි: එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධි යි. විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ විඥානයාගේ ආස්වාද යි. යම් විඥානයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙ විඥානයාගේ ආදීනව යි. විඥාන විෂයෙහි යම් ඡන්‍දරාග විනයයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ විඥානයාගේ නිශ්ශරණ යි.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනීප්‍රතිපදාව දැන, මෙසේ විඥානයාගේ ආස්වාදය දැන, මෙසේ විඥානයාගේ ආදීනව දැන, මෙසේ විඥානයාගේ නිශ්ශරණය දැන, විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසෙයින් විඥානයාගේ ආස්වාදය දැන, මෙසෙයින් විඥානයාගේ ආදීනව දැන, මෙසෙයින් විඥානයාගේ නිශ්ශරණය දැන, විඥාන පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි උපාදාන විසින් දැඩිව නො ගෙන මිදුණාහු ද, ඔහුතුමූ මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් මොනොවට මිදුණාහු ද, ඔහු කේවලීහ. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පනවනු සඳහා වර්‍තයෙක් නැති. මහණෙනි, මෙසෙයින් වනාහි මහණ සත්තැනෙක දක්‍ෂ වූයේ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති වේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධාතු වශයෙන් විමසා බලයි, ආයතන වශයෙන් විමසා බලයි, පටිච්චසමුප්පාද වශයෙන් විමසා බලයි. මහණෙනි මෙසෙයින් වනාහි මහණ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති වෙයි.
මහණෙනි, සත්තැනෙක දක්‍ෂ වූ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති මහණ මේ ශාසනයෙහි (කළ සියලු කිස ඇති හෙයින්) කේවලී යැ, (විසූ මග බඹසර ඇති හෙයින්) උෂිතවත් යැ, උත්තම පුරුෂ යි කියනු ලැබෙයි වදාළසේකි.
1. 2. 1. 6.
සම්බුද්ධ සූත්‍රය
58. සැවැත්නුවර:
මහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ රූපය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘සම්මා සම්බුද්ධ’ යි කියනු ලැබෙයි. මහණෙනි, ප්‍රඥාවිමුත්ත මහණ ද රූපය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘පඤ්ඤා විමුත්ත’ යි කියනු ලැබේ.
මහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තෙමේ වේදනාව පිළිබඳ ... සංඥාව පිළිබඳව ... සංස්කාර පිළිබඳව ... විඥානය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘සම්මා සම්බුද්ධ’ යි කියනු ලැබෙයි. මහණෙනි, ප්‍රඥාවිමුත්ත මහණ ද විඥානය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘පඤ්ඤා විමුත්ත’ යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා ප්‍රඥාවිමුක්ත භික්‍ෂු හා තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ විශේෂය කවරෙ යැ, අධ්‍යාශය කවරෙ යැ, නානාකරණය කිමැ?
වහන්ස, ධර්‍මයෝ අපහට භගවත්හු මුල් කොට ඇත්තාහ, භගවත්හු නේතෘ කොට ඇත්තාහ, භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, එකැතින් මැනවි, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, එසේ වී නම් අසවු, මොනොවට මෙනෙහි කරවූ කියන්නෙමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ නූපන් මාර්‍ගය උපදවන්නාහ, අසඤ්ජාතමාර්‍ගය සංජනනය කරන්නාහ, අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්‍ගය ප්‍රකාශ කරන්නාහ. (දත් හෙයින්) මාර්‍ගඥයහ, (ප්‍රකටකළ හෙයින්) මාර්‍ගවිද්හ, (මග - නො මග දත් හෙයින්) මාර්‍ග නිපුණහ. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්‍ගය අනුව යන්නාහු පසුව යෙදුණාහු වාස කෙරෙත්.
මහණෙනි, පඤ්ඤාවිමුත්ත මහණ හා තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ මේ විශේෂ යි, මේ අධ්‍යාශය යි. මේ නානාකරණ යි.
1. 2. 1. 7.
පඤ්චවග්ගිය සූත්‍රය
59. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වාසය කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි පඤ්චවග්ගිය භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, රූපය අනාත්ම යැ, මහණෙනි, මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස වැටෙයි. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද නො වෙයි.
මහණෙනි, වේදනාව අනාත්ම යැ, ... සංඥාව අනාත්ම යැ, ... සංස්කාර අනාත්ම යැ, ... විඥානය අනාත්ම යැ, මහණෙනි, මේ විඥානය ආත්ම වූයේ නම් මේ විඥානය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් විඥානය අනාත්මද, එහෙයින් විඥානය ආබාධ පිණිස වැටෙයි. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා , මාගේ විඥානය මෙසේ නො වේව” යි නො ද ලැබෙන්නේ වෙයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ” යි. වහන්ස අනිත්‍ය යැ.
යමක් වූකලි අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් වනාහි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ යි. වහන්ස අනිත්‍ය යැ.
යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සුව හෝ යි. වහන්ස, දුක් යැ.
යමක් වූකලි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි එය දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් මෙහි ලා අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් රූපයකුත් ඇත් ද, එ සියලු රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් (විදර්‍ශනාඥානයෙන්) දැක්ක යුතු යි.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්මය වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සුඛුම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයකුත් ඇත් ද, එ සියලු විඥානය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු.
මහණෙනි, මෙසේ විවසුන් නැණින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි කලකිරෙයි, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරෙයි, කලකිරෙනුයේ නො ඇලෙයි, නො ඇලීම් හේතුයෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය වෙයි. “ජාතිය ක්‍ෂය වි යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව සඳහා කළයුතු අන්කිසෙක් නැතැ” යි දැන ගනියි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ පස්වග මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ. මෙ ව්‍යෙයාකරණය වදාරත් මැ පස්වග මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙන මිදුණේ යි.
1. 2. 1. 8.
මහාලි සූත්‍රය
60. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි වූ කූටාගාර ශාලායෙහි වැඩ වාසය කෙරෙති. එ කල්හි මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හුන්නේ යැ, එකත්පස්ව හුන් මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය:
වහන්ස, පූරණකාශ්‍යප මෙසේ කියයි: “සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. සත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත්” යි. මේ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් ද?
මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු ඇත, ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට හේතු ඇත. ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත් යි.
වහන්ස, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු කවරැ, ප්‍රත්‍යය කවර යැ, කිසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත් දැ යි.
මහාලි, රූපය ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් රූපය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි ඇලෙති, ඇලීමෙන් (සංයෝජන වශයෙන්) බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීම පිණිස මෙ ද හේතුයෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
මහාලි, වේදනාව ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්‍වයෝ වේදනායෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් වේදනාව සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ වේදනායෙහි ඇලෙති, ඇලීම් හේතුයෙන් බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
සංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත දුක් වූවාහු දුකෙහි පතිත වූවාහු දුකෙහි වැදගත්තාහු සුවයෙහි නො වැදගත්තාහු වූවාහු නම් සත්‍වයෝ සංස්කාරයන්හි නෑලෙන්නාහුය. යම්හෙයකින් මහාලි, සංස්කාර සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුක්ඛයෙන් අවක්‍රාන්ත නො වෙත් ද, එහෙයින් සත්‍වයෝ සංස්කාරයන්හි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට මෙ ද හේතුවෙකි, මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ කෙලෙසෙත්.
මහාලි, විඥානය ද ඒකාන්ත දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි අවතීර්‍ණ වූවක් සුවයෙහි අවතීර්‍ණ නො වූවක් වී නම් සත්‍වයෝ විඥානයෙහි නො ඇලෙන්නාහුය. යම් හෙයකින්, මහාලි, විඥානය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයයෙහි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, මෙ ද සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත්.
වහන්ස, සත්‍වයන්ගේ විශුද්ධිය පිණිස හේතු කවරැ ප්‍රත්‍යය කවර යැ කිසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධ වෙත් දැයි.
මහාලි, රූපය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ රූපයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින් මහාලි, රූපය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලි, සත්‍වයන්ගේ, විශුද්ධිය පිණිස මෙ ද හේතු යි, මෙ ප්‍රත්‍යය යි. මෙසේ සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධියට යෙත්.
මහාලි, වේදනාව ද ඒකාන්ත සුඛ වී නම් ... මහාලි, සංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත සුඛ වූවාහු නම් ... මහාලි, විඥානය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ විඥානයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින්, මහාලි, විඥානය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් විශුද්ධ වෙත්. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ විශුද්ධ වෙති යි.
1. 2. 1. 9.
ආදිත්ත සූත්‍රය
61. සැවැත්නුවර:
මහණෙනි, රූපය ආදීප්ත යැ (හාත්පසින් ඇවිළගත්තේ වෙයි), වේදනාව ආදීප්ත යැ, සංඥාව ආදීප්ත යැ, සංස්කාර ආදීප්ත යැ, විඥානය ආදීප්ත යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයන්හි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ බව් සඳහා අන් කිසෙක් නැතැයි” දැනගනී යි.
1. 2. 1. 10.
නිරුක්තිපථ සූත්‍රය
62. සැවැත්නුවර:
යම් නිරුක්තිපථ කෙනෙක් බැහැර නො කරන ලද ද, බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු බැහැර නො කරනු ලැබෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද ද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්‍රඥප්තිපථ තිදෙනෙක් වෙත්.
කවර තිදෙනෙකැ යත්:
මහණෙනි, යම් රූපයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව යි, ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ නම යි. ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව නො වෙයි, ‘වන්නේය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව (ගිණීම) නො වේ.
යම් වේදනාවක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව (ගිණීම) වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ නම වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ ප්‍රඥප්තිය වෙයි. ‘ඇත’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි.
යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූහු’ යනු ඔවුනට සංඛ්‍යා යි. ‘වූහු’ යනු ඔවුනට නම යි ‘වූහු’ යනු ඔවුනට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඔවුනට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නාහ’ යනු ඔවුනට සංඛ්‍යා නො වෙයි.
යම් විඥානයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වූයේය’ යනු එයට නම යි, ‘වූයේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි.
මහණෙනි, යම් රූපයක් අජාත ද අපාතුභූත (පහළ නො වී) ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වන්නේය’ යනු එයට නම යි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් අජාත ද අපාතුභූත ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා වෙයි, ‘වන්නේය’ යනු එයට නම් වෙයි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති වෙයි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වේ යයි.
මහණෙනි, යම් රූපයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්‍යා යි, ‘ඇත’ යනු එයට නම යි, ‘ඇත’ යනු එයට ප්‍රඥප්ති යි. ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්‍යා වෙයි, ‘ඇත’ යනු එයට නම් වෙයි, ‘ඇත’ යනු එයට ප්‍රඥප්ති වේ යයි.
මහණෙනි, යම් නිරුක්ති මාර්‍ග කෙනෙක් බැහැර නො කරන ලද ද , බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු නො ද බැහැර කෙරෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්‍රඥප්තිපථ තිදෙන වෙතැයි.
මහණෙනි, උක්කල දනවු වැසි අහේතුකවාදී අක්‍රියවාදී නාස්තිකවාදී වස්ස භඤ්ඤ නම් යම් දෘෂ්ටිගතිකයෝ වූවාහු ද, උහු දු මේ නිරුක්ති මාර්‍ග අධිවචන මාර්‍ග ප්‍රඥප්ති මාර්‍ගයෝ තිදෙන ගැරහියයුතු කොට, පිළිකෙව් කොට නො සිතූහ. එ කවර හෙයින් යත්: නින්‍දා - ඝට්ටන - දෝෂා රෝපණ - අපවාද බියෙන් යැ යි.
පළමුවැනි උපයවර්‍ග යි.
එහි උද්දානය:
උපය සූත්‍රය, බීජ සූත්‍රය, උදාන සූත්‍රය, උපාදාන පරිවට්ට සූත්‍රය, සත්තට්ඨාන සූත්‍රය, බුද්ධ සූත්‍රය, පඤ්ච වග්ගිය සූත්‍රය, මහාලි සූත්‍රය, ආදිත්ත සූත්‍රය, නිරුක්තිපථ සූත්‍රය සමඟ උපය වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.
2. අරහන්ත වර්‍ගය
1. 2. 2. 1.
උපාදිය සූත්‍රය
63. සැවැත්නුවර:
එ සමයෙහි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
“වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්‍මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කෙරෙම් ද, මට එබඳු ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් දෙසනසේක් නම් මැනැවි” යි.
“මහණ, තෘෂ්ණා-දෘෂ්ටි-මාන විසින් දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙ යි, දැඩි වැ නො ගන්නේ මිදුණේ වේ” යයි.
“භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ” යි.
“මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ” යි.
වහන්ස, රූපය (තණ්හා – මාන – දිට්ඨි විසින්) දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, දැඩි වැ නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, වේදනාව උපාදාන විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, උපාදාන විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, සංඥාව ... සංස්කාර උපාදාන විසින් ගන්නේ බැඳුණේ වෙයි, නො ගන්නේ මිදුණේ වෙයි. විඥානය උපාදාන විසින් ගන්නේ මෘත්‍යුපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මෘත්‍යුපාශයෙන් මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් භාෂිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් මම මෙසේ දනිමි යි.
මහණ, මැනැවි, මැනැවි. මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් දනිවු. මහණ, රූපය තණ්හාදි විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, තණ්හාදී විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය තණ්හාදී විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වේ. මහණ, මා විසින් සැකෙවින් භාෂිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය මෙසේ විස්තර වශයෙන් දතයුතු.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වන්සේ වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යැ.
ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කරනුයේ නො බෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වෙත් ද , මගබඹසර අවසනැ වූ ඒ උතුම් අර්‍හත්‍වය මේ අත්බැව්හි මැ තමන් මැ මගනුවණින් දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්‍ෂය විය, මගබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන්කිසෙක් නැතැ” යි දත්තේය. ඒ මහණ රහතුන් වහන්සේ අතර අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 2.
මඤ්ඤමාන සූත්‍රය
64 සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
“වහන්ස, ... (මම්) නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසන සේක් නම් මැනවි” යි.
මහණ, තෘෂ්ණා - මාන - දෘෂ්ටි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලදැයි, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි කිසෙයින් විස්තර විසින් දනිවු දැ යි?
වහන්ස, රූපය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් මම විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් දේශනා කළ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් තෙපි විස්තර විසින් දනිවු නම් ඒ මනා යි. මහණ, රූපය තෘෂ්ණාදි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුනේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් විස්තර වශයෙන් දත යුතු.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ ... එ මහණ රහතුන් වහන්සේ අතර අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 3.
අභිනන්‍දන සූත්‍රය
65. සැවැත්නුවර: