පළවැනි නන්‍දික්ඛය සූත්‍රය
51. සැවැත්නුවර–
මහණෙනි, මහණ අනිත්‍ය වූ ම රූපය අනිත්‍ය යි දකියි, එය ඔහුගේ සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂය හේතුයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂය හේතුයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දිරාගක්‍ෂය හේතුයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබෙයි.
මහණෙනි, මහණ අනිත්‍ය වූ ම වේදනාව අනිත්‍ය යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම සංඥාව අනිත්‍ය’යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම සංස්කාර ‘අනිත්‍ය’ යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම විඥානය ‘අනිත්‍ය’ යි දකියි, එය ඔහුගේ සම්‍යග් දෘෂ්ටිය වෙයි, සම්‍යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. තෘෂ්ණාක්‍ෂයයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂයයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි. නන්‍දිරාගක්‍ෂයයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබේ යයි.
1. 1. 5. 10.
දෙවැනි නන්‍දික්ඛය සූත්‍රය
52. සැවැත්නුවර–
මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව, රූපයාගේ අනිත්‍යතාව ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ, රූපය නුවණින් මෙනෙහි කරනුයේ රූපයාගේ අනිත්‍යතාව ද ඇතිසැටි දක්නේ රූපයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂයයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂයයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දි රාගක්‍ෂයයෙන් සිත (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබෙයි.
මහණෙනි, වේදනාව ... මහණෙනි, සංඥාව … මහණෙනි, සංස්කාර … මහණෙනි, විඥානය නුවණින් මෙනෙහි කරව, විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ විඥානය නුවණින් මෙනෙහි කරන්නේ විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට දක්නේ විඥානයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂය හේතුයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂය හේතුයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දිරාගක්‍ෂය හේතුයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබේ යයි වදාළසේක.
පස්වෙනි අත්තදීපවර්‍ග යි.
එහි උද්දානය:
අත්තදීප සූත්‍ර ය, අනිච්චතා සූත්‍ර දෙක ය, සමානුපස්සනා සූත්‍ර ය, ඛන්‍ධ සූත්‍ර සෝණ සූත්‍ර දෙක ය, නන්‍දික්ඛය සූත්‍ර දෙක දැයි අත්තදීපවර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.
මූලපණ්ණාසකය සමාප්ත යි.
ඒ මූලපණ්ණාසකයේ වර්ගෝද්දානය:
නකුලපිතු වර්‍ග ය, අනිච්ච වර්‍ග ය හා භාරවර්‍ග ය නතුම්හාක වර්‍ගයෙන් ද, අත්තදීප වර්‍ගයෙන් ද පඨම පණ්ණාසකය කියනු ලැබේ.
2. මජ්ඣිමපණ්ණාසකය
1. උපය වර්‍ගය
1. 2. 1. 1.
උපය සූත්‍රය
53. සැවැත්නුවර:
මහණෙනි, උපය (තෘෂ්ණා - දෘෂ්ටි - මාන) සහිත වූයේ, සසරින් නො මිදුණේ වෙයි. උපය රහිත වූයේ මිදුණේ වෙයි. (තෘෂ්ණා - දෘෂ්ටි - මාන විසින්) රූපයට හෝ එළැඹ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනෝපය හෝ ... සංඥෝපය හෝ ... මහණෙනි, සංස්කාරෝපය හෝ එළඹ සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියව විපුලත්‍වයට පැමිණෙයි.
මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ:) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්‍වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් වේදනාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංඥාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංස්කාරධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. මහණෙනි, ඉදින් විඥානධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. නො පිහිටි ඒ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි. විමුක්ත හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි. සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම නිවෙයි. ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලදී, තෙල අනුපාදා පරිනිර්‍වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දනී යි.
1. 2. 1. 2.
බීජ සූත්‍රය
54. සැවැත්නුවර:
මහණෙනි, මේ බීජයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මූලබීජ යැ, ස්කන්‍ධ බීජ යැ, ඵලු (පුරුක්) බීජ යැ, අග්‍රබීජ යැ, පස්වැනි වූ බීජබීජ ය දැයි. මහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණා හු, කුණු නො වූවාහු, අවු-සුළඟින් නො පහළාහු, පිහිටි සාරය ඇත්තාහු සුඛසයිත වූවාහු වෙත් ද, පිහිටන පොළොව ද නො වේ නම්, තෙත් කරන ජලය ද නො වේ නම්, මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?
වහන්ස, තෙල නො වේ මැයි.
මහණෙනි, මේ පඤ්ච බීජයෝ කැඩී ගියාහු, කුණු වූවාහු, අවු-සුළඟින් පහළාහු, සාරාදායී නො වූවාහු, සුඛසයිත නො වූවාහු වෙත් ද, පොළොව ද ඇත්නම් ජලය ද ඇත්නම් මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?
වහන්ස, තෙල නො වේ ම යැ.
මහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණාහු, කුණු නො වූවාහු, සාරය ගෙන දෙන්නාහු, සුඛසයිත වූවාහු වෙත් ද, පොළොව ද, ජලය ද ඇත් ද, (එසඳ) මේ පඤ්ච බීජයෝ වැඩීමට වෙසෙසින් නැඟීමට විපුලභාවයට පැමිණෙත් ද?
වහන්ස, එසේ යැ.
මහණෙනි, පෘථිවිධාතුව යම්සේ ද, එසෙයින් චතුර් විඥාන ස්ථිතීහු දතයුත්තාහ. මහණෙනි, ආපෝධාතුව යම්සේ ද, එසෙයින් නන්‍දිරාගය දතයුතුය. මහණෙනි, පඤ්ච බීජයෝ යම්සේ ද, එසෙයින් ප්‍රත්‍යය සහිත කර්‍මවිඥානය දත යුතු යි.
මහණෙනි, රූපයට පැමිණ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ ද, නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනාවට හෝ පැමිණි ... මහණෙනි, සංඥාවට හෝ පැමිණි ... මහණෙනි, සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ ද, තෘෂ්ණායෙන් තෙත්වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි.
මහණෙනි, යමෙක් “මම රූපය හැර, වේදනාව හැර, සංඥාව හැර සංස්කාරයන් හැර කර්‍මවිඥානයාගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩීම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නෙමි” යි කියා නම් තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ රාගය මහණහට ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංඥාධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට විඥානධාතුව පිළිබඳ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි. කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. නො පිහිටි එ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි, විමුක්ත හෙයින් ස්ථිති වෙයි, ස්ථිති හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම පිරිනිවෙ යි. ජාතිය ක්‍ෂය වී යැ, බඹසර වැස නිමවිණැ, කරණී කරන ලද, තෙල අනුපාදාපරිනිර්‍වාණය පිණිස කළ යුතු අන්කිසෙක් නැති යි නුවණින් දනි යි.
1. 2. 1. 3.
උදාන සූත්‍රය
55. සැවැත්නුවර:
එසඳ භාග්‍යවතුන්වහන්සේ (මෙ) ප්‍රීතිවාක්‍යය පහළ කළසේක: “ඉදින් මම නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ යි. මෙසේ නිශ්චයට පැමිණෙන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳියි.”
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, කෙසේ නම් ‘ඉදින් මම් නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍ම සංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ’යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
මහණ, බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නා, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, ... බුද්ධාදි සත්පුරුෂයින් නො දක්නා, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි. ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව ආත්ම විසින් දකියි. ආත්මය වේදනාවත් කොට හෝ ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකියි. සංඥාව ... සංස්කාර ආත්ම විසින් දකියි. ආත්මය සංස්කාර වත් කොට හෝ ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. විඥානය ආත්ම විසින් දකියි. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකියි.
හේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’ යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි ඇති සැටි නො දනියි.
දුක් වූ රූපය ‘රූපය දුකැ’යි යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ වේදනාව ‘වේදනාව දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ‘සංස්කාර දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි තත් වූ පරිදි නො දනියි.
අනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’යි යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ වේදනාව ‘වේදනාව අනාත්ම’යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ‘සංස්කාර අනාත්ම’යි යථාභූත කොට නො දනියි.
සංඛත වූ ප්‍රත්‍යයෝත්පන්න රූපය ‘රූපය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ වේදනාව ‘වේදනාව සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ‘සංස්කාර සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි.
රූපය බිඳේ යයි ඇති සැටි නො දනියි, වේදනාව ... සංඥාව ... සංස්කාර බිඳේ යයි ඇති සැටි නො දනියි, විඥානය බිඳේ යයි ඇති සැටි නො දනී.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ (බුද්ධාදි) ආර්‍ය්‍යන් දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට විනීත වූයේ, (බුද්ධාදි) සත්පුරුෂයින් දක්නේ සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි මොනොවට විනීත වූයේ රූපය ආත්ම විසින් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. වේදනාව ආත්ම විසින් නො දකියි, ආත්මය වේදනාවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ නො දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. සංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි, ආත්මය සංස්කාරවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාරය ඇතැයි හෝ නො දකියි, සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. විඥානය ආත්ම විසින් නො දකියි, ආත්මය විඥානවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ නො දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි.
හේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’යි තත් වූ පරිදි දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ... අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍යහ’යි ... අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි තත්වූ පරිදි දනී.
දුක් වූ රූපය ‘රූපය දුකැ’යි ඇති සැටි දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි ඇති සැටි දනියි.
අනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’ යයි ඇතිසැටි දනියි, අනාත්ම වූ වේදනාව ... අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ... අනාත්ම වූ විඥානය ‘විඥානය අනාත්ම’ යයි ඇති සැටි දනියි.
සංඛත වූ රූපය ‘රූපය සංඛත’ යයි යථාභූත කොට දනියි, සංඛත වූ වේදනාව ... සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ... සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි යථාභූත කොට දනියි.
රූපය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනියි, වේදනාව බිඳේ යයි ... සංඥාව බිඳේ යයි ... සංස්කාර බිඳේ යයි ... විඥානය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනී.
මහණ, මෙසේ හේ රූපයාගේ විභවදර්‍ශනයෙන්, වේදනාවගේ විභවදර්‍ශනයෙන්, සංඥාවගේ විභවදර්‍ශනයෙන්, සංස්කාරයන්ගේ විභවදර්‍ශනයෙන්, විඥානයාගේ විභවදර්‍ශනයෙන් “ඉදින් මම නො වූයෙම් නම්, අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මට මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ. (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක්) නො වන්නේ”යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
වහන්ස, මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳින්නේ මැයි.
වහන්ස, කෙසේ දන්නාහට කෙසේ දක්නාහට විදර්‍ශනාවට අනතුරු වැ ආශ්‍රවක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්ඵලය වේ ද?
මහණ, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ත්‍රස්ත (භය) නො වියයුතු කරුණෙහි ත්‍රාසයට පැමිණෙයි. මහණ, “ඉදින්, මම් නො වූයෙම් නම්, මට, අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ, (එය නැති කල්හි) මට මතු ප්‍රතිසන්‍ධියක් නො වන්නේ යැ” යන තෙලෙ, අශ්‍රැතවත් පෘථග්ජනහට ත්‍රාසයෙකි.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ත්‍රාස නො කළ යුතු කරුණෙහි ත්‍රාසයට නො පැමිණෙයි, මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට “ඉදින් මම නො වී නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ, (එය නැති කල්හි) මට මතු ප්‍රතිසන්‍ධියක් නො වන්නේ යැ” යන තෙලෙ ත්‍රාසයෙක් නො වෙයි.
මහණ, රූපයට පැමිණ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ යැ, තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණ, වේදනාවට හෝ පැමිණි ... මහණ, සංඥාවට හෝ පැමිණි, මහණ, සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටු නේ යැ. තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි.
මහණ යමෙක් මෙසේ කියා නම්: (කිසේ යැ) “මම රූපය තබා, වේදනාව තබා, සංඥාව තබා, සංස්කාර තබා, විඥානයාගේ ඊම් හෝ යෑම හෝ චුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්‍වය හෝ පනවමි” යි තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණ, ඉදින් රූපධාතුව පිළිබඳ භික්‍ෂුහට රාගය ප්‍රහීණ වේ ද, රාගප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයට ප්‍රතිෂ්ඨා නො වෙයි, මහණ, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට සංඥාධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට විඥානධාතුව පිළිබඳ රාගය ප්‍රහීණ වේ ද, රාගප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයට ප්‍රතිෂ්ඨා නො වෙයි. ප්‍රතිෂ්ඨා රහිත ඒ විඥානය අනභිවෘද්ධියට අවිරූඪියට අවිපුලත්‍වයට පැමිණියේ ප්‍රතිසන්‍ධිය සකස් නො කොට (සසරින්) මිදුණේ වෙයි. මිදුණු හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රාසයට නො පැමිණෙයි, ත්‍රාසයට නො පැමිණෙනුයේ තෙමේ ම පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය වියැ, මග බඹසර වැස නිමවන ලදි. කරණී කරන ලද, මෙ අර්‍හත්‍වය පිණිස අන්කිසෙක් නැතැයි දැන ගනියි. මහණ, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට විදර්‍ශනාවට අනතුරු වැ ආශ්‍රවක්‍ෂය (අර්‍හත්‍වය) වේ යයි (වදාළ සේකි).
1. 2. 1. 4.
උපාදාන පරිවත්ත සූත්‍රය
56. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥෝපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, යම්තාක් මම මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒ තාක් මම අභිසම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ
සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා නො කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක පටන් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම සම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා කෙළෙමි.
චතුෂ්පරිවර්‍තය කෙසේ යැ:
රූපය අවබෝධ කෙළෙමි, රූපසමුදය අවබෝධ කෙළෙමි, රූපනිරෝධය අවබෝධ කෙළෙමි, රූපනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි. වේදනාව අවබෝධ කෙළෙමි ... සංඥාව අවබෝධ කෙළෙමි ... සංස්කාර අවබෝධ කෙළෙමි ... විඥානය අවබෝධ කෙළෙමි, විඥානසමුදය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි.
මහණෙනි, රූපය කවරෙ යැ:
සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද, මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූප නිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම රූපනිරෝධගාමිනීපටිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්සඞ්කල්ප, සම්‍යග්වචන ය, සම්‍යග්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යග්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් වෙත් වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ සුපිළිපන්හ, යම් කෙනෙක් සුපිළිපන් වෙත් ද, උහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, රූපසමුදය දැන, රූපනිරෝධය දැන, රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදානය නො කොට (තණ්හාදී වශයෙන් අලවා නො ගෙන) මිදුණාහු වෙත් ද, ඔහු සුවිමුත්තයහ. යම් කෙනෙක් සුවිමුත්ත ද, ඔහු කේවලීහ (කළ සියලුකිස ඇතියහ). යම් කෙනෙක් කේවලී ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් (කරුණක්) නැත.
මහණෙනි, වේදනාව කවර යැ:
මහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්‍ෂුෂ්ස්පර්ශයෙන් උපන් වේදනා යැ, ශ්‍රෝතස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ඝ්‍රාණස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ජිහ්වාස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, කායස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, මනස්ස්පර්‍ශයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශ සමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම වේදනානිරෝධගාමිනී ප්‍රතිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්මාධි යි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන වේදනාවගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු ද, ඔහු සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, වේදනාසමුදය දැන, වේදනානිරෝධය දැන, වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, වේදනාව පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට විමුත්ත වූවාහු ද, ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
මහණෙනි, සංඥා කවර යැ:
මහණෙනි, මේ සංඥා සමූහ සයෙකි: රූපසංඥා යැ, ශබ්දසංඥා යැ, ගන්‍ධසංඥා යැ, රසසංඥා යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥා යැ, ධර්‍මසංඥා යි. මහණෙනි, මේ ‘සංඥා’ යි කියනු ලැබේ: ස්පර්‍ශසමුදයයෙන් සංඥාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් සංඥානිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ සංඥාව දැන ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
මහණෙනි, සංස්කාර කවරහු යැ:
මහණෙනි, මේ චේතනාරාශී සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ, ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු සංස්කාර යි කියනු ලැබෙත්. ස්පර්‍ශ සමුදයෙන් සංස්කාරසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ සංස්කාර දැන ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
මහණෙනි, විඥානය කවර යැ:
මහණෙනි, මේ විඥාන රාශි සයෙකි: (එනම්) චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝවිඥාන යි. මහණෙනි, මෙ විඥාන යි කියනු ලැබේ. නාමරූප සමුදයෙන් විඥානසමුදය වෙයි. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම විඥානනිරෝධගාමිනී ප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥානසමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ මොනොවට පිළිපන්නාහු වෙති. යම් කෙනෙක් සුපිළිපන් වෙත් ද, ඔහු මේ ධර්‍මවිනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ විඥානය දැන, මෙසේ විඥානසමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන විඥානයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් අලවා නො ගෙන මිදුණාහු ද, ඔහු මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් සුමුත්ත ද, ඔහු කේවලීහ, යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැති යි වදාළසේක.
1. 2. 1. 5.
සත්තට්ඨාන සූත්‍රය
57. සැවැත්නුවර:
මහණෙනි, සත් තැනෙක දක්‍ෂ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති මහණ මෙ ධර්‍මවිනයෙහි කළ සැම කිස ඇති, වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
මහණෙනි, මහණ කිසෙයින් සත්තට්ඨාන කුසල වේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය දනියි, රූප සමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනියි, රූපයාගේ ආස්වාදය දනියි, රූපයාගේ ආදීනව දනියි, රූපයාගේ නිශ්ශරණය දනී.
වේදනාව දනියි, වේදනා සමුදය දනියි, වේදනා නිරෝධය දනියි, වේදනානිරෝධගාමිනීපටිපදාව දනියි, වේදනායෙහි ආස්වාදය දනියි, වේදනායෙහි ආදීනව දනියි, වේදනායෙහි නිශ්ශරණය දනී.
සංඥාව දනියි ... සංස්කාර දනියි, සංස්කාරසමුදය දනියි, සංස්කාරනිරෝධය දනියි, සංස්කාරනිරෝධගාමිනීපටිපදාව දනියි, සංස්කාරයන්ගේ ආස්වාදය දනියි, සංස්කාරයන්ගේ ආදීනව දනියි, සංස්කාරයන්ගේ නිශ්ශරණය දනී.
විඥානය දනියි, විඥානසමුදය දනියි, විඥානනිරෝධය දනියි, විඥානනිරෝධගාමිනීපටිපදාව දනියි, විඥානයාගේ ආස්වාදය දනියි, විඥානයාගේ ආදීනව දනියි, විඥානයාගේ නිශ්ශරණය දනී.
මහණෙනි, රූපය කවරෙ යැ:
සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූපනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම රූපනිරෝධගාමිනීප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද මෙ රූපයාගේ ආදීනව යි. රූප විෂයෙහි යම් ඡන්‍ද රාගවිනයයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මෙ රූපයාගේ නිශ්ශරණ යි.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයාගේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණාහු ද, ඔහු මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පනවනු සඳහා වර්‍තයෙක් නැත.
මහණෙනි, වේදනා කවර යැ: