හේ රූපයෙහි නිර්වේද බහුල වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි නිර්වේද බහුල වැ වාස කරනුයේ රූපය (ත්‍රිවිධ පරිඥායෙන්) පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාර පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනියි. හෙ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාර පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් (ප්‍රහාණපරිඥා විසින්) මිදෙයි, වේදනායෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් ජරාවෙන් හා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් (කායික) දුකින් (මානසික) දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි. වෘත්තදුඃඛයෙන් මිදේ යයි කියමි යි.
1. 1. 4. 8.
දෙවැනි අනුධම්ම සූත්‍රය
40. සැවැත්නුවර–
මහණෙනි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න මහණහට මේ අනුලෝමධර්‍ම වෙයි:
යම් හෙයෙකින් රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ (අනිත්‍ය නුවණින්, දකිමින්) වාස කෙරේ ද, වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කෙරේ ද, හේ රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි ... සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ ව්‍යාස කරනුයේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව …. සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි. වේදනායෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරා මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් උපායාසයෙන් මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
1. 1. 4. 9.
තෙවැනි අනුධම්ම සූත්‍රය
41. සැවැත්නුවර–
මහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණහට මේ අනුලෝම ධර්‍ම වෙයි:
යම් හෙයකින් රූපයෙහි දුඃඛානුදර්ශී වැ වෙසේ ද, වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි දුඃඛානුදර්ශී වැ වෙසේ ද, හේ රූපයෙහි දුඃඛානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි දුඃඛානුදර්ශී වැ වාස කරනුයේ රූපය පිරිසිඳ දනියි, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් … සංඥායෙන් … සංස්කාරයන්ගෙන් … විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරා මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
1. 1. 4. 10.
සිව්වැනි අනුධම්ම සූත්‍රය
42. සැවැත්නුවර–
මහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණහට මෙ අනුලෝම ධර්‍ම වෙයි:
යම් හෙයෙකින් රූපයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද, හේ රූපයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ රූපය පිරිසිඳ දනියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් … සංඥායෙන් … සංස්කාරයන්ගෙන් … විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරාවෙන් හා මරණයෙන් - ශෝකයෙන් - වැලපීමෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් (දැඩිවෙහෙසින්) මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
සතරවැනි නතුම්හාක වර්‍ග යි.
එහි උද්දානය:
නතුම්හාක නමින් සූත්‍ර දෙකක් දේශිත යැ, භික්ඛු නමින් අන්‍ය සූත්‍ර දෙකක් ද, ආනන්‍ද නමින් සූත්‍ර දෙකක් ද දේශිත යැ, අනුධම්ම නමින් ද්වික දෙකක් (සතරක්) දේශිත යි. (මෙසේ නතුම්හාක වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි).
5. අත්තදීප වර්‍ගය
1. 1. 5. 1.
අත්තදීප සූත්‍රය
43. සැවැත්නුවර–
මහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු. (ලොවී ලොව්තුරා) දහම් පිහිට කොට දහම් සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු.
මහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට, මෙරමා පිහිට නො කොට ධර්‍මය පිහිට කොට, ධර්‍මය සරණ කොට මෙරමා සරණ නො කොට වසන තොප විසින් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් දැ” යි කාරණය ම විමසිය යුතු ය.
මහණෙනි, සෝකපරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය ධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, ආත්මය රූප ඇත්තක් කොට හෝ දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ රූපය විපරිණාමයට යෙයි, අන් පරිදි හෝ වෙයි. රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
වේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව විපරිණාමයට යෙයි, අන් අයුරු වෙයි. ඔහුට වේදනාවගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති. සංඥාව … සංස්කාර ආත්ම වශයෙන් දකියි, සංස්කාරවත් ආත්මය හෝ දකියි. ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ දකියි, සංස්කාරයන්හි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ සංස්කාර විපරිණාමයට යෙයි, අන්පරිදි වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
විඥානය ආත්ම විසින් දකියි. විඥානවත් ආත්මය හෝ දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ විඥානය විපරිණාමයට යෙයි. අන්පරිදි වෙයි. විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.
තවද මහණෙනි, රූපයාගේ ම අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන අතීතයෙහි වූ රූපය හා වර්‍තමානයෙහි වූ රූපය දැයි හැම රූ අනිත්‍යය, දුඃඛය, පෙරෙළෙන සැහැවි ඇතියි තෙල මෙසේ ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වේ, ත්‍රස්ත නො වනුයේ සුවසේ විහරණ කෙරෙයි සුවසේ විහරණ කරන මහණ (විදර්‍ශනාඞ්ගයෙන් ශෝක නිවුණු හෙයින්) “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
තවද මහණෙනි, වේදනාව පිළිබඳ අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන පෙර වූ වේදනා හා වර්‍තමානයෙහි වූ සියලු වේදනාවෝ අනිත්‍යයහ, දුඃඛයහ, පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
තවද මහණෙනි, සංඥාව පිළිබඳ වූ ම … මහණෙනි, සංස්කාරයන් පිළිබඳ වූ ම අනිත්‍යතාව දැන විපරිණාම විරාගනිරෝධය දැන අතීතයෙහි වූ සංස්කාර හා වර්‍තමානයෙහි වූ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, දුඃඛයහ, පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
තවද මහණෙනි, විඥානය පිළිබඳ වු ම අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන අතීතයෙහි වූ ම විඥානය හා වර්‍තමානයෙහි ද සියලු විඥානය අනිත්‍ය ය දුඃඛ ය පෙරළෙන සැහැවි ඇතියෙකියි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නහුට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත්ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
1. 1. 5. 2.
පටිපදා සූත්‍රය
44. සැවැත්නුවර–
මහණෙනි, තොපට සත්කාය සමුදය ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. සත්කාය නිරෝධ ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. ඒ අසව.
මහණෙනි, සත්කාය සමුදය ගාමිනී ප්‍රතිපත් කවර:
මහණෙනි, මෙලොව බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනාවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ වේදනාව දකියි, වේදනායෙහි ලා හෝ ආත්මය දකී.
සංඥාව … සංස්කාර … විඥානය ආත්ම වශයෙන් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි, විඥානය ආත්මයෙහි ලා හෝ දකියි, ආත්මය විඥානයෙහි ලා හෝ දකියි. මහණෙනි, මේ සත්කායසමුදයගාමිනීප්‍රතිපදා ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුඃඛසමුදයගාමිනීසමනුදර්‍ශනා ය යි කියනු ලැබේ. මෙය ම මෙහි අර්‍ත්‍ථ යි.
මහණෙනි, සත්කාය නිරෝධගාමිනී ප්‍රතිපත් කවර:
මහණෙනි, මෙලොව බුද්ධාදි ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ දක්‍ෂ, ආර්‍ය්‍ය ධර්‍මයෙහි මොනවට හික්මුණු, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂ ධර්‍මය පිළිබඳ දක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි මොනවට හික්මුණු, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. වේදනාව ආත්ම වශයෙන් නො දකියි, … සංඥාව ආත්ම වශයෙන් නො දකියි, … සංස්කාර ආත්ම වශයෙන් නො දකියි, … විඥානය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය විඥානවත් කොට හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ලා හෝ නො දකියි, ආත්මය විඥානයෙහි ලා හෝ නො දකී. මහණෙනි, මෙ සත්කායනිරෝධගාමිනීප්‍රතිපත් යයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුඃඛනිරෝධගාමිනී සමනුදර්‍ශනා යයි කියනු ලැබේ. මෙය ය මෙහි අර්‍ත්‍ථ යි.
1. 1. 5. 3.
පළවැනි අනිච්චතා සූත්‍රය
45. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත (මාර්‍ගක්‍ෂණයෙහි දී) නො ඇලෙයි, (ඵලක්‍ෂණයෙහි දී) උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … අනිත්‍ය යි. යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත නො ඇලෙයි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
මහණෙනි, ඉදින් මහණහුගේ සිත රූපධාතුයෙහි නො ඇලුණේ උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේද. වේදනා ධාතුයෙහි … සංඥාධාතුයෙහි … සංස්කාර ධාතුයෙහි … මහණෙනි, ඉදින් මහණහුගේ සිත විඥානධාතුයෙහි නො ඇලුණේ වේ ද, උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් ගෙන් මිදුණේ වෙයි. විමුක්ත බැවින් මතුයෙහි (කළයුතු, කිස නැති හෙයින්) ස්ථිත වෙයි. ස්ථිත බැවින් (ලැබියයුතු දෑ ලැබීමෙන්) සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට බැවින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වනුයේ තමා කෙරෙහි ම (තමා විසින් ම) පිරිනිවෙයි. “ජාතිය, ක්‍ෂීණ විය. බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැති” යි දැන ගනී යි.
1. 1. 5. 4.
දෙවැනි අනිච්චතා සූත්‍රය
46. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ තෙල ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට පූර්‍වාන්තය අනුවගිය (අටළොස්) දෘෂ්ටීහු නො වෙත්. පූර්‍වාන්තානුදෘෂ්ටි නැති කල්හි අපරාන්තය, අනුව ගිය (සූසාළිස්) දෘෂ්ටීහු නො වෙත්. අපරාන්තානුදෘෂ්ටි නැති කල්හි දෘෂ්ටිශක්ති විසින් (දෘෂ්ටි) පරාමර්‍ශයෙක් නො වෙයි. දෘෂ්ටිශක්ති විසින් පරාමර්‍ශයෙක් නැති කල්හි රූපයෙහි වේදනායෙහි සංඥායෙහි සංස්කාරයන්හි විඥානයෙහි සිත නො ඇලෙයි, උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන්ගෙන් සිත මිදෙයි, මිදුණු හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වනුයේ තෙමේ ම පිරිනිවෙයි. “ජාතිය ගෙවිණ, බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ රහත් බව පිණිස අන්කිසෙක් නැති” යි දැනගනී යි.
1. 1. 5. 5.
සමනුපස්සනා සූත්‍රය
47. සැවැත්නුවර–
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි දෘෂ්ටි වශයෙන් දක්නාහු අනේකප්‍රකාර ආත්මය දකිත්. ඒ සියල්ලෝ පඤ්චෝපාදාන ස්කන්‍ධයන් දෘෂ්ටිවශයෙන් දකිති. ඒ පඤ්චෝපාදානස්කන්‍ධ අතුරෙන් අන්‍යතරයක් හෝ දකිත්.
කවර පසෙක් යත්:
මහණෙනි, මෙලොව බුද්ධාදී ආර්‍ය්‍යයන් නොදක්නා ආර්‍ය්‍යධර්‍ම පිළිබඳ අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍ම පිළිබඳ අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් දකියි. ආත්මය රූපවත් කොට හෝ දකියි. ආත්මයෙහිලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ආත්ම විසින් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි, ආත්මයෙහිලා හෝ විඥානය දකියි, විඥානයෙහි ලා හෝ ආත්මය දකියි.
මෙසේ මේ දිට්ඨිසමනුපස්සනා (යමෙකුට) ඇත් ද, (එකල්හි) ඔහුට ‘මම වෙමි’ යන ප්‍රපඤ්චය අවිගත (අප්‍රහීණ) වෙයි. මහණෙනි, ‘මම වෙමි’ යන ප්‍රපඤ්චය අවිගත කල්හි චක්‍ෂුරින්‍ද්‍රිය - ශ්‍රෝත ඉන්‍ද්‍රිය - ඝ්‍රාණේන්‍ද්‍රිය - ජිහ්වේන්‍ද්‍රිය - කායේන්‍ද්‍රිය යන පඤ්චේන්‍ද්‍රියයන්ගේ අවක්‍රාන්තිය (ඉපැද්ම) වෙයි. මහණෙනි, මනස (-කර්‍මචිත්තය) ඇත, ආරම්මණ ධර්‍ම ඇත, (ජවනක්‍ෂණයෙහි) අවිද්‍යාව ඇති. මහණෙනි, අවිද්‍යාසම්ප්‍රයුක්ත ස්පර්‍ශයෙන් හටගත් වේදනායෙන් පහස්නා ලද ඒ අශ්‍රැතවත් පෘථග්ජනහට (තණ්හාදි වශයෙන්) “මම් වෙමි” යන මඤ්ඤනා ද වෙයි, (රූපාදි කිසිවක් ආත්ම දෘෂ්ටි වශයෙන් ගෙන) ඔහුට මේ “මම වෙමි’යි මඤ්ඤානා ද වෙයි, ඔහුට ‘මතු වෙමි’ යි ද වෙයි, ඔහුට ‘මතු නො වෙමි’ යි ද වෙයි, ‘මතු රූපී වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු අරූපී වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු සඥා ඇති (සංඥී) වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු සංඥා නැති (අසංඥී) වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු නේවසංඥීනාසංඥී වෙමි’ යි ද ඔහුට වේ.
තව ද මහණෙනි, ඒ පඤ්චස්කන්‍ධයෙහි මැ පඤ්චේන්‍ද්‍රියයෝ ඇත්තාහුය, එහෙයින් තෙල ඉන්‍ද්‍රියයන්හි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අවිද්‍යාව ප්‍රහීණ වෙයි, අර්‍හන්මාර්‍ගඥාන විද්‍යාව උපදී. ඔහුට අවිද්‍යාවිරාගයෙන් විද්‍යාව ඉපැදීමෙන් ‘මම් වෙමි’ ඔහුට තණ්හා මාන දිට්ඨි නො වෙයි, රූපාදිය ‘මේ මම් වෙමි’ ආත්මදෘෂ්ටිය නො වෙයි, (ශාශ්වත විසින්) මතු වෙමි ද නො වෙයි, (උච්ඡේද විසින්) මතු නො වෙමි ද නො වෙයි, මතු රූපී වෙමි ද නො වෙයි, අරූපී වෙමි ද නො වෙයි, මතු සංඥී වෙමි ද නො වෙයි, මතු අසංඥී වෙමි ද නො වෙයි, මතු නේවසඤ්ඤීනාසඤ්ඤී වෙමි ද ඔහුට දෘෂ්ටිය නො වේ යයි.
1. 1. 5. 6.
ඛන්‍ධ සූත්‍රය
48. සැවැත්නුවර–
මහණෙනි, පඤ්චස්කන්‍ධ ද, පඤ්චෝපාදානස්කන්‍ධ ද දෙසමි. එය අසව …
මහණෙනි, පඤ්චස්කන්‍ධ කවරහ යත්: මහණෙනි, අතීත - අනාගත - වර්‍තමාන වූ, ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම්කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ රූපස්කන්‍ධ යි කියනු ලැබේ.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර … අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් ඇත් ද මේ විඥාන ස්කන්‍ධ’යි කියනු ලැබේ. මහණෙනි, මොහු පඤ්චස්කන්‍ධ යි කියනු ලැබෙත්:
මහණෙනි, පඤ්චෝපාදානස්කන්‍ධ කවරහ යත්: මහණෙනි, ආස්‍රව සහිත වූ උපාදානයනට ප්‍රත්‍යය වූ අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් රූපයක් ඇත් ද, ළඟ වූ හෝ දුර වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ ‘රූපෝපාදානස්කන්‍ධ’ යි කියනු ලැබේ.
යම්කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර … ආස්‍රව සහිත වූ උපාදානයනට ප්‍රත්‍යය වූ අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් ඇත් ද, මෙ විඥානෝපාදානස්කන්‍ධ යි කියනු ලැබේ.
මහණෙනි, මොහු පඤ්චෝපාදානස්කන්‍ධ යි කියනු ලැබෙත්:
1. 1. 5. 7.
පළමුවැනි සෝණ සූත්‍රය
49. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි සෝණ නම් ගෘහපති පුත්‍ර භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එ තන්හි එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගැහැවි පුත්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
සෝණය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්‍ය රූපයෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය මිස අන් කිමෙක? දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්‍ය වේදනායෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය මිස එ අන් කිම? දුක් වූ විපරිණාම ස්වභාව ඇති අනිත්‍ය සංඥායෙන් … දුක් වූ පෙරැළෙන ගති ඇති අනිත්‍ය සංස්කාරයෙන් … දුක් වූ පෙරැළෙන දහම් ඇති අනිත්‍ය විඥානයෙන් “මම විශිෂ්ටයෙමි” යි හෝ දකිත් ද, “මම සමාන යෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය හැර අන් කිමෙක?
සෝණය යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය රූපය හේතු කොට “මම විශිෂ්ට යෙමි” හෝ නො දකිත් ද, “මම තුල්‍යයෙමි” හෝ නො දකිත් ද, “මම හීනයෙමි” යි හෝ නො දකිත් ද, යථාභූතදර්‍ශනය හැර අන් කිමෙක? දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය වූ වේදනාව නිසා … අනිත්‍ය වූ සංඥාව නිසා … අනිත්‍ය වූ සංස්කාර නිසා … දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය විඥානය හේතු කොට “මම උත්තමයෙමි” යි කියාත් නො දකිත් ද, “මම සදෘශයෙමි” යි කියාත් නො දකිත් ද, “මම හීනයෙමි” යි කියාත් නො දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ දර්‍ශනය හැර අන් කිම?
සෝණය, ඒ කිසේ හඟියි: රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරැළෙන සැහැවි වේ නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය” යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නිසි නො වෙයි.
වේදනා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් වනාහි අනිත්‍ය දුඃඛ විපරිණාම ධර්‍ම වේ නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යයි නුවණින් දක්නට යෝග්‍ය වේ ද?
වහන්ස, තෙල යෝග්‍ය නො වේ මැ යැ.
සංඥා … සංස්කාරයෝ … විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”ය යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නිසි නො වේ මැ යැ.
සෝණය, ඒ හේතුවෙන් ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඕළාරික වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, දුරෙහි වූ හෝ හමියෙහි වූ හෝ යම් රූපයෙක් ඇත් ද ඒ හැම රූපය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මා අයත් ආත්මයක් නො වේය” යි මෙසේ මේ කරුණ ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.
යම් කිසි වේදනාවක් … යම්කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර කෙනෙක් … ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, දුරෙහි වූ හෝ සමීපයෙහි වූ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ හැම විඥානය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ මෙ කරුණ ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.
සෝණය, මෙසේ දක්නේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු නිර්වේද කෙරෙයි, වෙදනායෙහිදු නිර්වේද කෙරෙයි, සංඥායෙහි දු නිර්වේද කෙරෙයි, සංස්කාරයෙහිදු නිර්වේද කෙරෙයි, විඥානයෙහිදු නිර්වේද කෙරෙ යි. නිර්වේද කරනුයේ විරක්ත වෙයි, විරාග හේතුයෙන් මිදෙයි, මිදුණු කල “විමුක්ත” යයි ඥානය පහළ වෙයි, ජාති ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවිණැ, කරණී කරන ලද. මේ අනුපාදාපරිනිර්‍වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැති” යි නුවණින් දනීයයි වදාළහ.
1. 1. 5. 8.
දෙවැනි සෝණ සූත්‍රය
50. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි සෝණ ගෘහපතිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතන්හි එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගෘහපති පුත්‍රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
සෝණය යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපය නො දනිත් ද, රූප සමුදය නො දනිත් ද, රූපනිරෝධය නො දනිත් ද, රූපනිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නො දනිත් ද, විඥානසමුදය නො දනිත් ද විඥාන නිරෝධය නො දනිත් ද, විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, සෝණය, තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත නො වෙති, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත නො වෙත්, ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය වේ ව යි බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය වේවයි දුටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹැ නො ද විහරණ කෙරෙත්.
සෝණය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ රූපය දනිත් ද, රූප සමුදය දනිත් ද, රූපනිරෝධය දනිත් ද, රූපනිරෝධගාමිනීපටිපදාව දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දනිත් ද, විඥාන සමුදය දනිත් ද, විඥාන නිරෝධය දනිත් ද, විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, සෝණය, තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත ද වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත ද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය ද දිටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹ විහරණ කෙරෙත් යි වදාළහ.
1. 1. 5. 9.