Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 5501-5600 න් 15083

මහණෙනි, විඥානයාගේ ආදීනවයෙක් නොවී නම් සත්ත්‍වයෝ විඥානයෙහි නිර්වේද නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආදීනව ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි කලකිරෙත්.
මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ නො වී නම්, සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නිශ්ශරණ නො කෙරෙති. මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නික්මයෙත්.
මහණෙනි, යම්තාක්කල් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදානස්කන්‍ධන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇතිතතු අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝවැසි සත්ත්‍වයෝ දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වප්‍රජාව නිශ්ශෘත වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුත්ත වූවාහු සීමා කොට නොගත් සිතින් යුතුව වාස නො කළාහු ම ය.
මහණෙනි, යම් කලෙක පටන් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණ නිශ්ශරණ විසිනුදු ඇතිතතු දත්තාහු ද, මහණෙනි, එසඳ සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝවැස්සෝ මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍ව ප්‍රජාව (මේ පස් කඳින්) නික්මුණාහුය, විසංයුක්ත වූහුය, වෙසෙසින් මිදුණාහුය, සීමා කොට නො ගත් සිතින් යුතුව වාසය කෙරෙත් යි.
1. 1. 3. 8.
අභිනන්‍දන සූත්‍රය
29. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් රූපය අභිනන්‍දනා කෙරෙයි (සතුටින් පිළිගනියි) ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි. යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් විඥානය අභිනන්‍දනා කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි.
මහණෙනි, යමෙකුන් රූපය අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් විංඥානය අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි යි.
1. 1. 3. 9.
උප්පාද සූත්‍රය
30. සැවැත්නුවර–
මහණෙනි, රූපයාගේ යම් ඉපදීමෙක් ස්ථිතියක් අභිනිර්‍වෘතියක් පහළවීමෙක් ඇත් ද තෙල දුඃඛයාගේ උත්පාද යයි, රෝගයන්ගේ ස්ථිතිය යි, ජරාමරණයාගේ පහළවීම යි. වේදනාවගේ යම් ඉපදීමෙක් … සංඥාවගේ යම් ඉපදීමෙක් … සංස්කාරයන්ගේ යම් ඉපදීමෙක් … විඥානයාගේ යම් උත්පාදයෙක් ස්ථිතියක් අභිනිර්‍වෘතියක් ප්‍රාදුර්‍භාවයෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ උත්පාදය යි. රෝගයන්ගේ ස්ථිතිය යි. ජරාමරණයන්ගේ පහළවීම යි.
මහණෙනි, රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් (සන්හිඳීමෙක්) අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ යයි, ව්‍යුපශම යයි, අස්තඞ්ගම යයි. වේදනායෙහි යම් නිරෝධයෙක් … සංඥායෙහි යම් නිරෝධයෙක් … සංස්කාරයන්ගේ යම් නිරෝධයෙක් … විඥානයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ ය, සන්හිඳීම අස්තයට යෑම් වේ යයි.
1. 1. 3. 10.
අඝමූල සූත්‍රය
31. සැවැත්නුවර–
මහණෙනි, තොපට දුඃඛය ද, දුඃඛ මූලය ද දේශනා කරමි. එය අසව:
මහණෙනි, දුඃඛය කවරෙ යත්:
මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක් යැ, මහණෙනි, මේ දුකැයි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛමූලය කවරෙ යත්:
පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගසහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරන යම් තෘෂ්ණාවක් ඇත් ද, ඒ කවර යැ: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභාවතෘෂ්ණා යි. මහණෙනි, මේ දූඃඛමූල යයි කියනු ලැබේ.
1. 1. 3. 11.
පභඞ්ගු සූත්‍රය
32. සැවැත්නුවර–
මහණෙනි, තොපට බිඳෙනසුලු දැය ද දෙසමි, නො බිඳෙනසුලු දැය ද දෙසමි. එය අසව.
මහණෙනි, කුමක් නම් බිඳෙනසුලු වේ ද, කුමක් නම් නො බිඳෙනසුලු වේ ද:
මහණෙනි, රූපය බිඳෙනසුලු වෙයි. ඒ රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. වේදනාව බිඳෙන සුලු යැ, ඒ වේදනාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙනසුලු වෙයි. සංඥාව බිඳෙන සුලු වෙයි. ඒ සංඥාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද තෙල නො බිඳෙන සුලු වෙයි. සංස්කාර බිඳෙන සුලු වෙයි. ඒ සංස්කාර පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. විඥානය බිඳෙනසුලු වෙයි. ඒ විඥානය පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද තෙල නො බිඳෙනසුලු වෙයි.
තෙවැනි භාරවර්‍ගය යි.
එහි උද්දානය:
භාරසූත්‍රය, පරිඤ සූත්‍රය, අභිජානසූත්‍රය, ඡන්‍දරාග සූත්‍රය හා අස්සාද සූත්‍ර තුණය, අභිනන්‍දන සූත්‍රය, උප්පාද සූත්‍රය, අඝමූලසූත්‍රය, පභංගු සූත්‍රය යන එකොළොස යි.
4. නතුම්හාක වර්‍ගය
1. 1. 4. 1.
පළවැනි නතුම්හාක සූත්‍රය
33. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ මහණහු ද ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය (ඡන්‍දරාගප්‍රහාණ විසින්) දුරු කරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යැ.
මහණෙනි, කවරක් තොපගේ නො වේය යත්:
මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය තොපගේ නො වෙයි. එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වේ.
මහණෙනි, යම්සේ මේ දෙව්රම්හි තණ - දැව - අතු කොළ ඇත් ද ජනයා එය රැගෙන යන්නේ හෝ දවන්නේ හෝ කැමැති පරිදි කරන්නේ හෝ වේද, (එකල්හි) මහණෙනි, තොපට මේ සිත වන්නේ ද: “ජනයා අප හැරගෙන යෙයි හෝ දවයි හෝ කැමැති පරිදි කෙරෙයි හෝ” යි?
වහන්ස, තෙල නො වේ මැයි.
ඒ කවර හෙයිනැ?
වහන්ස, තෙල අපගේ ආත්ම හෝ ආත්ම පිළිබඳ හෝ නො ම වෙයි.
මහණෙනි, එ පරිදි ම රූපය තොපගේ නො වෙයි, එය දුරු කරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරව, එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 1. 4. 2.
දෙවැනි නතුම්හාක සූත්‍රය
34. සැවැත්නුවර–
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරලවු. එහ ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නෙ ය.
මහණෙනි, කුමක් තොපගේ නො වේය යත්:
මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එය දුරලවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරවු, එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 1. 4. 3.
පළවැනි භික්ඛු සූත්‍රය
35. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්‍මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙය වූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් දේශනා කරන සේක්වයි.
මහණෙනි, යමක් අනුශය කෙරේද, ඒ අනුශය ධර්‍මය කරණ කොට (පුද්ගල රක්තයැ, දුෂ්ට යැ, මුඪ යයි) සංඛ්‍යාවට යෙයි. යමක් අනුශය නො කෙරේ ද, ඒ කරණ කොට සංඛ්‍යාවට නො යෙයි.
භාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන්වහන්ස, දන්නාලදැයි.
මහණ, මා විසින් සැකෙවින් කියනලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් කිසෙයින් දන්නහු ද?
වහන්ස, ඉදින් රූපය අනුශය කෙරේ නම් ඒ අනුශය හේතු කොට ගෙන (පුඟුල් රක්තාදි) ප්‍රඥප්තියට යෙයි, ඉදින් වේදනාව අනුශය කෙරේනම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් සංඥාව අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් සංස්කාර අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි.
වහන්ස, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව අනුශය නො කෙරේ නම් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් සංඥාව අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් සංස්කාර අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් විඥානය අනුශය නො කෙරේ නම්, ප්‍රඥප්තියට නො යෙයි. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය මම් විස්තර විසින් මෙසෙයින් දනිමියි.
මැනවි මැනවි මහණ, මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් දන්නහු, ඒ මැනැවි. මහණ, ඉදින් රූපය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි.
මහණ, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව … සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්‍රඥප්තියට නො යෙයි. මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ ය.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යැ. අනතුරු වැ ඒ මහණ, එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මැනැවින් මැ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, මඟ බඹසර අවසන්හි වූ ඒ උත්තමාර්‍ත්‍ථය (රහත් බව) මේ අත්බව්හි තෙමේ මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්‍ෂය වූවාය, මඟ බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැ” යි (පස් විකුමි නැණින්) දන්නා ලදී. ඒ මහණ රහතුන් වහන්සේ අතරැ අන්‍යතරයෙක් වී.
1. 1. 4. 4.
දෙවැනි භික්ඛු සූත්‍රය
36. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට එළඹියේ ය … එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන්වහන්සේට තෙල සැල කෙළේ ය.
“වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ වාස කෙරෙම් නම් මට එබඳු දහමක් දෙසනසේක්ව” යි.
මහණ, යමක් අරමුණු කොට (කාමරාගාදිය) උපදී ද, ඒ (අනුසයිත වූ) රූපාදිය (නැසෙන) අනුසය සමඟ නැසෙයි, යමක් (අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය) කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මුඪ යැයි) ගිණීමට යෙයි. යමක් (අනුසය සමඟ) නූපදී ද, එය, (නැසෙන අනුසය සමග) නො නැසෙයි. යමක් (අනුසය සමග) නො නැසේ ද, ඒ අනුසය කරණ කොට ගෙන (රක්තාදී) සංඛ්‍යාවට නොයේ යයි.
භාග්‍යවතුන් වහන්ස, (මා විසින්) දන්නා ලද, සුගතයන් වහන්ස, දන්නා ලදැයි.
මහණ, තෙපි මා විසින් සැකෙවින් (පැවසූ) භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් කිසෙයින් දැනගත්තවු යැයි.
වහන්ස, ඉදින් රූපය (අරමුණු කොට කාමරාගාදි අනුසය) පවතී ද ඒ (අනුසයිත රූපය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ අනුසය කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට යෙයි. ඉදින් වේදනාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංඥාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත සංස්කාරය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් සංස්කාරයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය කරණ කොටගෙන (රක්ත යැ ආදී) සංඛ්‍යාවට යෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත විඥානය නැසෙන අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (නැසෙන අනුසය සමඟ) නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (කේතයැ දුෂ්ට යැ මූඪ යැයි) ගිණීමට යේ.
වහන්ස ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (නානුසයිත) රූපය නැසෙන අනුසය සමඟ නො නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නො නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් වේදනාව අරමුණු කොට (අනුසය) නූපදී ද ඒ (නො අනුසයිත වේදනාව නැසෙන අනුසය සමග) නො නැසෙයි. යම් වේදනාවක් නැසෙන අනුසය සමඟ නො නැසේ ද ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්තයැ යනාදී) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) නූපදීද ඒ (නානුසයිත සංස්කාරය නැසෙන අනුසය සමඟ) නො නැසෙයි, යම් සංස්කාරයක් අනුසය සමඟ නො නැසේ ද ඒ කරණ කොට ගෙන, (රක්ත යැ යනාදීන්) ගිණීමට නොයෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) නූපදී ද, ඒ (විඥානය නැසෙන අනුසය සමග) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ නො නැසේ ද, ඒ) අනුසය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටය, මූඪ යැයි) ගිණීමට නොයේ. වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්‍ත්‍ථය දැන ගතිමි යි.
මහණ මැනවැ මැනවැ, මහණ මනා මැ ය. තෙපි මා විසින් සැකෙවින් පවසන ලද භාෂිතයා ගේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නවුය. මහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) උපදී ද ඒ (අනුසයිත රූපය අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නැසේ ද ඒ කරණ කොට ගෙන (රක්තයැ දුෂ්ට යැ මූඪයැ යි) ගිණීමට යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) පවතී ද ඒ (අනුසයිත විඥානය අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (අනුසය සමඟ) නැසේ ද ඒ අනුසය කරණ කොට ගෙන (රක්තයැ යනාදීන්) ගිණීමට යෙයි.
මහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (විඥානය අනුසය සමග) නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නො නැසේ ද ඒ (අනුසයිත රූපය) අනුසය සමග නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමඟ) නො නැසේ ද, ඒ කරණ කොට ගෙන, (රක්තයැ යනාදීන්) ගිණීමට නො යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අනුසය සමග) නූපදී ද ඒ (අනනුසයිත විඥානය අනුසය සමඟ) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ) නො නැසේ ද ඒ විඥානය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටයැ, මූඪ යැයි) සංඛ්‍යාවට නොයේ. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්‍ත්‍ථය ගත යුත්තේ යි.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කොට අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති ඒ මහණ එකලා වූයේ කාය විවේක ඇතියේ නො පමාවූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරනුයේ … තවද ඒ මහණ රහතුන් අතුරෙන් අන්‍යතරයෙක් වූයේ යි.
1. 1. 4. 5.
පළවැනි ආනන්‍ද සූත්‍රය
37. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ ය. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්, “ඇවැත්නි ආනන්‍දයෙනි, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) පැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැ යි ප්‍රකාශ කරන්නාහු ද?
වහන්ස, ඉදින් මා මෙසේ පුළුවුස්නාහු නම් “ආනන්‍ද කවර ධර්‍ම කෙනකුන්ගේ ඉපැත්ම පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස (ජරාව) පැනේ දැ” යි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙ පරිදි ප්‍රකාශ කරන්නෙමි: ඇවැත්නි, රූපයාගේ උත්පාදය පැනෙ යි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි, වේදනාවගේ උත්පාදය … සංඥාවගේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ඇවැත්නි, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙමි යි.
මැනවි මැනවි, ආනන්‍ද. ආනන්‍ද, රූපයාගේ ඉපැත්ම පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ වෙනස්වීම් සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. වේදනාවේ … සංඥාවේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙලෙසින් ප්‍රකාශ කරන්නාහුයි.
1. 1. 4. 6.
දෙවැනි ආනන්‍ද සූත්‍රය
38. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළඹියහ. … එකත්පසෙකැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනුණේ ද, ව්‍යය පැනුණේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ ද, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනෙන්නේ ද, ව්‍යය පැනෙන්නේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වයපැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැයි ප්‍රකාශ කරන්නාහු දැ යි?
වහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනුණේ ද, විනාශය පැණුනේ ද, සිටියහුගේ වෙනස පැනුණේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනෙන්නේ ද, විනාශය පැනෙන්නේ ද සිටියහුගේ වෙනස පැනෙන්නේ ද, කවර ධර්‍ම කෙනකුන්ගේ උත්පත්තිය පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස පැනේ දැ” යි. වහන්ස, මෙසේ විචාරන ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙම්: “ඇවැත්නි, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැණුනේ යැ, ව්‍යය පැනුණේ යැ, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් වේදනාවක් ඇද්ද, ඒ වේදනාවගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ, සිටි වේදනාවගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. යම් සංඥාවක් … අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ සංස්කාරයන්ගේ උත්පාදය පැනුණේ යැ, ව්‍යය පැනුණේ යැ. සිටියවුන්ගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇද්ද, ඒ විඥානයාගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ.
ඇවැත්නි, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්‍යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්‍යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ යැ.
ඇවැත්නි, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි, යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි ව්‍යය පැනෙයි සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ යයි. “වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙසේ විසඳා කියන්නෙමි යි.
මැනවි මැනවි ආනන්‍ද, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ ය. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් ... අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ යි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පෙනුණේ ය. විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පෙනුණේ යි.
ආනන්‍ද, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පැනෙන්නේ යැ. විනාශය, පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යි.
ආනන්‍ද, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි. ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍දය මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ විසඳා ප්‍රකාශ කරන්නාහු යි.
1. 1. 4. 7.
පළවැනි අනුධම්ම සූත්‍රය
39. සැවැත්නුවර–
මහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නවලෝකෝත්තරධර්‍මයනට අනුලොම් වූ පූර්‍වභාගප්‍රතිපදාවට පිළිපන්) මහණහට මේ අනුලෝමධර්‍ම වෙයි.
යම් හෙයෙකින් රූපයෙහි නිර්වේද (උකටලී) බහුල වැ වාස කෙරේ ද, වේදනායෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, සංඥායෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, සංස්කාරයන්හි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, විඥානයෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද,