Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 5401-5500 න් 15083

අනත්ත සූත්‍රය
14. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනාත්මය යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. මහණෙනි, මෙසේ දක්නා … මේ රහත්බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 4.
යදනිච්ච සූත්‍රය
15. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය නම් එය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට මනා නුවණින් දැක්කයුතු.
වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් යැ. යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.
මහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 5.
යංදුක්ඛ සූත්‍රය
16. සැවැත්නුවර–
මහණෙනි, රූපය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇති සැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … විඥානය දුක යි. යමක් දුක් නම් එය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.
මහණෙනි, මෙසේ දක්නා… මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී, යයි.
1. 1. 2. 6.
යදනත්ත සූත්‍රය
17. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනාත්ම යි, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු, වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාර අනාත්ම යැ … විඥානය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.
මහණෙනි, මෙසෙයින් දක්නා … මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 7.
පඨම හේතු සූත්‍රය
18. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යැ, රූපයාගේ ඉපැත්මට යමක් හේතු වේ නම් ප්‍රත්‍යය වේ නම්, හෙ ද අනිත්‍ය යි. මහණෙනි, රූපය අනිත්‍ය සම්භූතයි. කොයින් නිත්‍ය වන්නේ ද, වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ, විඥානයාගේ ඉපැත්මට යමක් හේතු වේ ද, යමක් ප්‍රත්‍ය වේ ද, හෙ ද අනිත්‍ය යැ. කොයින් නිත්‍ය වන්නේ ද.
මහණෙනි මෙසේ දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 8.
දෙවැනි හේතු සූත්‍රය
19. සැවැත්නුවර–
මහණෙනි, රූපය දුක් යැ, රූපයාගේ උප්පාදය පිණිස යම් හේතුයෙක් යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද දුකැ. මහණෙනි, රූපය දුක්ඛසම්භූත යි. කොයින් සුඛයෙක් වේ ද. වේදනා දුක් යැ ... සංඥා දුක් යැ … සංස්කාරයෝ දුක්හ ... විඥානය දුක් යැ, විඥානයාගේ උත්පාදය සඳහා යම් හේතුවක් හා ප්‍රත්‍යයක් හා ඇත් ද, එ ද දුකැ. මහණෙනි, විඥානය දුඃඛ සම්භූත යි. කොයින් සුඛ වේ ද.
මහණෙනි, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතී යි නුවණින් දනී.
1. 1. 2. 9.
තෙවැනි හේතු සූත්‍රය
20. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනාත්ම යැ, රූපයාගේ උත්පාදය සඳහා යම් මැ හේතුයෙක් යම් මැ ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, රූපය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද. වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාරයෝ අනාත්මයහ … විඥානය අනාත්ම යැ. විඥානයාගේ උත්පාදය පිණිස යම් හේතුයෙක් ඇත් ද, යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, විඥානය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි නිර්වේද කරයි, වෙදනායෙහිදු නිර්වේද කරයි, සංඥායෙහිදු නිර්වේද කරයි, සංස්කාරයන්හිදු නිර්වේද කරයි, විඥානයෙහිදු නිර්වේද කරයි. නිර්වේද කරනුයේ විරාග කරයි. විරාග හේතුයෙන් මිදෙයි, මිදුණු කල “විමුක්තයෙමි” යි ඥානය පහළ වෙයි. ජාතිය ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතියි නුවණින් දනී.
1. 1. 2. 10.
ආනන්‍ද සූත්‍රය
21. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.:
වහන්ස, නිරෝධ යැ. නිරෝධ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කවර ධර්‍ම කෙනෙකුන්ගේ නිරෝධයෙන් ‘නිරෝධය යි’ කියනු ලැබේ ද?
ආනන්‍දය, රූපය අනිත්‍ය යැ, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රතීත්‍යසමුත්පන්න යැ, කියවන සැහැවි ඇතැ, වියවන සැහැවි ඇතැ, විරාගස්වභාව ඇතැ, නිරෝධ ස්වභාය ඇති. ඒ රූපයාගේ නිරෝධ හේතුයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි. වේදනා අනිත්‍ය යැ ... සංඥා අනිත්‍ය යැ ... සංස්කාරයෝ අනිත්‍යහ ... විඥානය අනිත්‍ය යැ, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රත්‍යයෙන් සමුත්පන්න යැ, ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව ඇති. ඒ විඥානයාගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි.
ආනන්‍ද මේ ධර්‍මයන්ගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබේ.
දෙවැනි අනිත්‍ය වර්‍ගය යි.
එහි උද්දානය:
අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, යදනිච්චාදි අන්‍ය තුන් සූත්‍රයෝ යැ, හේතු වසයෙන් සූත්‍රයෝ තුන් දෙනෙකැ ආනන්‍ද සූත්‍රයෙන් මෙසේ වර්‍ගය පිරිණි.
3. භාර වර්‍ගය
1. 1. 3. 1.
භාර සූත්‍රය
22. සැවැත්නුවර–
මහණෙනි, තොපට භාරය ද දෙසමි. භාරහාරය හා භාරාදානය හා භාරනික්ඛේපය හා දෙසමි. එය අසව … තෙල වදාළහ.
මහණෙනි, “භාර” නම් කවරේ යත්: පඤ්ච උපාදාන ස්කන්‍ධහ’යි කියයුතු වෙයි. කවර පසෙක: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධය යැ, වේදනෝපාදානස්කන්‍ධය යැ, සංඥෝපාදානස්කන්‍ධය යැ, සංස්කාරෝපාදානස්කන්‍ධය යැ, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ භාරයැ යි කියනු ලැබෙයි.
මහණෙනි, “භාරහාර” නම් කවරෙ යත්: පුද්ගල යයි කිය යුතු වෙයි. මෙබඳු නම් ඇති, මෙබඳු ගෝත්‍ර ඇති, යම් ආයුෂ්මත් කෙනෙක් ඇත් ද, මහණෙනි, මේ “භාරහාර” යයි කියනු ලැබෙයි.
මහණෙනි, “භාරදාන” නම් කවරෙ යත්: පුනර්‍භවය පිණිස පවත්නා නන්‍දිරාග සහගත වූ රූපාදි ඒ ඒ අරමුණෙහි අභිනන්‍දන ස්වභාව ඇති යම් මෙ තෘෂ්ණායෙක් ඇත් ද, ඒ කෙසේ ද යත්: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ “භාරදාන” යි කියනු ලැබෙයි.
මහණෙනි, “භාරනික්ඛේප” නම් කවරෙ යත්, ඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂ විරාගනිරොධයෙක්, පරිත්‍යාගයෙක්, හැරැපීමෙක්, බිඳීමෙක්, නො ඇල්මෙක් ඇත් ද, මහණෙනි, මෙ “භාරනික්ඛේප” යි කියනු ලැබේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා ශාස්තෘ වූ බුදුහු යළිදු අන්‍ය වූ තෙල ගාථා ද වදාළ සේකි.
1. පඤ්චස්කන්‍ධයෝ එකැතින් භාරයහ. වැළි පුද්ගල භාරහාර වෙයි, ලෝකයෙහි භාරාදානය (භාරග්‍රහණය) දුක්වෙයි, භාරනික්ඛේපය සුඛ වෙයි.
2. ගුරුබර බහා තබා අන්බරක් නො ගෙන අවිද්‍යා මූල සහිත තෘෂ්ණාව උදුරා නිස්තෘෂ්ණ වූයේ පිරිනිවියේ නම් වේ.
1. 1. 3. 2.
පරිඤ්ඤා සූත්‍රය
23. සැවැත්නුවර–
මහණෙනි, පරිඥේය ධර්‍මයනුදු දෙසමි. පරිඥා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පරිඥේය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, රූපය පරිඥේය (සමතික්‍රම කළයුතු) ධර්‍ම යැ, වේදනා පරිඥේය ධර්‍ම යැ සංඥා පරිඥේය ධර්‍ම යැ සංස්කාර පරිඥේය ධර්‍ම යැ විඥාන පරිඥේය ධර්‍ම යි. මහණෙනි, මොහු පරිඥේය ධර්‍මහ යි කියනු ලැබෙත්.
මහණෙනි, පරිඥා කවර යත්:
මහණෙනි, යම් රාගක්‍ෂයෙක් දෝසක්‍ෂයෙක් මෝහක්‍ෂයෙක් ඇත් ද, මහණෙනි, මේ පරිඥා යි කියනු ලැබේ.
1. 1. 3. 3.
අභිජාන සූත්‍රය
24. සැවැත්නුවර–
මහණෙනි, රූපය ඥාතපරිඥා වශයෙන් නො දන්නේ, තීරණ පරිඥා වශයෙන් නො දන්නේ, ප්‍රහාණපරිඥා වශයෙන් නො ඉක්මවනුයේ, නො හරනේ, දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය යැ, වේදනා ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් නො දන්නේ … සංස්කාර ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … විඥාන ඥාතපරිඥා වශයෙන් නො දන්නේ තීරණ පරිඥාවශයෙන් නො දන්නේ ප්‍රහාණ පරිඥාවශයෙන් නො ඉක්ම වනුයේ නො හරනේ දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය යි.
මහණෙනි, රූපය ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණපරිඥාවශයෙන් දන්නේ ප්‍රහාණ පරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වෙයි. වේදනා ඥාතපරිඥාවශයෙන් දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් දන්නේ … සංස්කාර ඥාතපරිඥා වශයෙන් දන්නේ … විඥාන ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණ පරිඥාවශයෙන් දන්නේ ප්‍රහාණපරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වේ.
1. 1. 3. 4.
ඡන්‍දරාග සූත්‍රය
25. සැවැත්නුවර–
මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ රූපය, ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ අනභාව කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වෙයි.
වේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ වේදනාව, ප්‍රහීණ වෙයි. උසුන් මුල් ඇති වෙයි. මුදුන් සුන් තලක් සෙයින් කරණ ලද අවස්තුකභාව ඇති වෙයි. අනභාව කරන ලද වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ.
සංඥායෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය හැරපියව … සංස්කාරයන්හි යම් ඡන්‍ද රාගයෙක් ඇත් ද, එය දුරුකරව, මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.
විඥානයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය නෙරව. මෙසේ ඒ විඥානය, ප්‍රහීණ වූයේ. උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ, අනභාව කරන ලදුයේ. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වේ.
1. 1. 3. 5.
පළවැනි අස්සාද සූත්‍රය
26. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පළමු මැ අභිසම්බෝධියට නො පත් බෝසත් වූ මැ මට මේ සිත පහළ විය:
රූපයාගේ ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ, නිස්සරණය කිමෙක: වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්ගේ … විඥානයෙහි ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ. නිස්සරණය කිමෙකැයි.
මහණෙනි, ඒ මාහට තෙල සිත විය: රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද විපරිණාම සැහැවි ද, මේ රූපයාගේ ආදීනව යි. රූපයෙහි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මේ රූපයාගේ නිස්සරණ යි.
වේදනාව නිසා … සංඥාව නිසා … සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙසංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්ගේ යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද, මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි.
විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්සාද යි. යම් විඥානයෙක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මේ විඥානයාගේ ආදීනව යි. විඥානයෙහි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.
මහණෙනි, යම්තාක් මම් මෙ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනව ආදීනව වශයෙන් ද නිශ්ශරණ නිශ්ශරණ වශයෙන් ද මේ සෙයින් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමැයි නො ම ප්‍රතිඥා කෙළෙමි.
මහණෙනි, යම් කාලෙක පටන් මම මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් ගේ ආස්වාදය ආස්වාද විසින් ද ආදීනව ආදීනව විසින් ද නිශ්ශරණය නිශ්ශරණ විසින් ද මෙ සෙයින් යථාභූත කොට අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැයි ප්‍රතිඥා කෙළෙමි. මට ඥානදර්‍ශනය ද උපන, මාගේ චේතෝවිමුක්තිය (ඵලසමාධිය) අකෝප්‍ය යැ, මේ අන්තිම ජාතිය යි, දැන් පුනර්‍භවයෙක් නැති යි.
1. 1. 3. 6.
දෙවැනි අස්සාද සූත්‍රය
27. සැවැත්නුවර–
මහණෙනි, මම රූපයාගේ ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආස්වාදයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය ද අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ නිශ්ශරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී.
මහණෙනි, මම වේදනාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි, … මහණෙනි, මම සංඥාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම සංස්කාර පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම විඥානය පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආස්වාදයක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදී. මහණෙනි, මම විඥානය පිළිබඳ ආදීනව පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම විඥානයාගේ නිශ්ශරණපර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද එය මා විසින් ප්‍රඥායෙන් දක්නා ලදී.
මහණෙනි, මම යම්තාක් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු නුවණින් අවබෝධ නො කෙළෙම් වේ ද, මහණෙනි, මම ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය මොනවට අවබෝධ කෙළෙමි යි පිළින නො කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ මෙසේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු මොනොවට අවබෝධ කෙළෙම් වේ ද, මහණෙනි, එසඳ මම දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි ලා අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යී ප්‍රතිඥා කෙළෙමි. මාගේ චේතෝ විමුක්තිය අකෝප්‍ය යැ. මේ අන්තිම ජාති වෙයි, දැන් පුනර්‍භවයෙක් නැති යි මට ඥානදර්‍ශනය ද උදා විය.
1. 1. 3. 7.
තෙවැනි අස්සාද සූත්‍රය
28. සැවැත්නුවර–
මහණෙනි, රූපයාගේ ආස්වාදයෙක් නැත් නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයකින් රූපයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූප යෙහි ඇලෙති.
මහණෙනි, රූපයාගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො කල කිරෙති. මහණෙනි, යම්හෙයෙකින් රූපයාගේ ආදීනවයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයෙහි නිර්වේද කෙරෙත්.
මහණෙනි, රූපයාගේ නිශ්ශරණයෙක් නො වී නම්, සත්ත්‍වයෝ රූපයෙන් නිශ්ශෘත නො වෙති. මහණෙනි, යම් හෙයෙකින් රූපයාගේ නිශ්ශරණ ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපය කෙරෙන් නිශ්ශරණ කෙරෙත්.
මහණෙනි, වේදනායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සඥායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සංස්කාරයන්ගේ ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, විඥානයාගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ, විඥානයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි ඇලෙත්.