Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 5201-5300 න් 15083

ඉක්බිත් ආයුෂ්මත් නන්‍ද තෙමේ මෑත භාගයෙහි ආරණ්‍යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද විය. කාමයන්හි නිරපේක්‍ෂක ව විසී ය.
9. 1. 9.
තිස්ස සූත්‍රය
403. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් වූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ දුක් ඇත්තේ හටගත් දොම්නස් ඇත්තේ කඳුලු වගුරවමින් එකත්පසෙක හුන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්සහට - තිස්ස, තෝ කුමක් හෙයින් දුක් ඇත්තෙහි හටගත් දොම්නස් ඇත්තෙහි කඳුලු වගුරුවමින් එකත්පසෙක හුන්නෙහි දැයි මෙය වදාළ සේක.
වහන්ස, එය එසේ මැයි: භික්‍ෂූහු වචනකෙවිටෙන් මට හාත්පස මතුමතුයෙහි විද්දාහු ය. තිස්ස, එය එසේ මැයි. තෝ (මෙරමාහට) කියන්නෙකි. මෙරමා වදන් නො ම ඉවසන්නෙකි. තිස්ස, යම්බඳු තෝ කියන්නෙක් වෙහි ද, මෙරමා වදන් නො ඉවසන්නෙක් වෙහි ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන් කුලපුත්‍ර වූ තට එය නිසි නො වේ. තිස්ස, යම්බඳු තෝ කියන්නෙහිත් මෙරමා වදන් ඉවසන්නෙහිත් වන්නෙහි නම් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිදිවන් කුලපුත්‍ර වූ තට මෙය නිසි වේ මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
කුමක් හෙයින් කිපෙහි ද? නො කිපෙව. තිස්ස, තට නො කිපීම උතුමි. තිස්ස ක්‍රෝධය ,මානය, මකුගුණය දුරු කිරීම පිණිස ම බඹසර වෙසේ යි.
9. 1. 10.
ථේරනාම සූත්‍රය
404. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේ ද එකලා ව විසීමෙහි ගුණ කියන්නේ ද වෙයි. හෙතෙමේ එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙහි. එකලා ව පෙරළා එයි. එකලා ව රහසිගත ව හිඳී. එකලා ව සක්මනට නගී.
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේත් එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වේ ය” යි මෙය සැළකළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෝ ‘ඇවැත්නි, ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මාගේ වචනයෙන් ථේර මහණ අමතව. ‘වහන්ස, එසේ ය’ යි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ථේර මහණ වෙත එළඹියේ ය. එළඹ, ආයුෂ්මත් ථේර මහණහට ‘ඇවැත්නි ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මෙය කී ය. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් ථේර මහණ තෙමේ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ථේරහට භාග්‍යවතුන් වහන්සේ: ථේර, තෝ එකලා ව වෙසෙන්නෙහි, එකලා ව විසීමෙහි ගුණ කියන්නෙහිත් සැබෑ දැ යි මෙය වදාළහ. වහන්ස , එසේ ය.
ථේර, කෙසේ නම් එකලා ව වෙසෙන්නේ එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වෙහි ද? වහන්ස, මෙහි මම එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙමි එකලා ව පෙරළා එමි. එකලා ව රහසිගතව හිඳිමි. එකලා ව සක්මනට නගිමි. වහන්ස, මෙසේ මම එකලා ව වෙසෙන්නෙම් එකලා ව විසීමෙහි ගුණ කියන්නෙම් ද වෙමි.
ථේර, මේ එකලා විහරණය ඇත්තේ ය. එය නැත්තේ නොවේ ය යි කියමි. වැලි දු ථේර, යම් සේ එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, එය අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ථේර මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
ථේර, කෙසේ නම් එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, ථේර, මෙහි අතීත වූ (ස්කන්‍ධපඤ්චකයෙහි ) යම් ජන්ඳරාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. අනාගත වූ (ස්කන්‍ධපඤ්චකයෙහි) යම් ජන්ඳරාගයෙක් වී නම් එය දුරු කරණ ලද්දේ ය. වත්මන් අත්බැව් පිළිලැබුම්හි ඡන්‍දරාගය මැනවින් හික්මවන (=මඩනා) ලද්දේ ය. ථේර, මෙසේ එකලා විහරණය පිරිපුන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මෙය ද වදාළ සේක:
සියල්ල (ස්කන්‍ධ ධාතු ආයතන ත්‍රිවිධ භව) මැඩ ලූ, ඒ සියල්ල දන්නා, මනා නුවණ ඇති, ඒ සියලු දහම්හි නො ඇලුනු, ඒ සියල්ල දුරු කළ තෘෂ්ණාක්‍ෂයසඞ්ඛාත නිවන අරමුණු කොට මිදුනු ඒ මිනිසා එකලා විහරණ ඇත්තේ ය යි මම කියමි යි.
9. 1. 11.
මහාකප්පින සූත්‍රය
405. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි එන්නා වූ සුදු සිහින් උස් නැහැයක් ඇති තෙල මහණ දකිවු ද? වහන්ස, එසේ ය.
මහණෙනි, තෙල මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එබඳු සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් මගබඹසර අවසන් කොට ඇති අනුත්තර වූ ඒ අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
යම් කෙනෙක් ග්‍රෝත්‍රය ප්‍රතිඥා කෙරෙත් නම් මේ ප්‍රජාව කෙරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් සමන්‍විත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨහ.
හිරු දහවල් බබලයි. සඳු රෑ බබල යි. ක්‍ෂත්‍රිය තෙමේ සන්නාහ සන්නද්ධ වූයේ බබලයි. රහත් බමුණු තෙමේ ධ්‍යාන කරනේ බබලයි. වැලි, බුදුරජානන් වහන්සේ මුළු රෑ දාවල් තෙදින් බබලති යි.
9. 1. 12.
සහායක සූත්‍රය
406. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ගේ සද්ධිවිහාරික වූ යහලු භික්‍ෂූහු දෙනමක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඔවුන් දුරදී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, තෙපි මහාකප්පිනගේ සද්ධිවිහාරික වූ තෙල එන යහලු භික්‍ෂූන් දෙනම දකිවු ද? වහන්ස, එසේ ය.
මහණෙනි, තෙල භික්‍ෂූහු මහත් ඍද්ධි ඇතියහ. මහත් ආනුභාව ඇතියහ. ඒ භික්‍ෂූන් විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එවැනි සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
මේ යහලු භික්‍ෂූහු දිගුකලක් සමෙතිකා (මනා සේ සැසඳීම් වසයෙන් සම වූ සම්මාදිට්ඨි ආදි ලබ්ධි) ඇතියෝ ම ය. (එහෙයින් ම දැන්) බුදුරජුන් විසින් පැවසූ ධර්‍මයෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ශාසන ධර්‍මය සම වේ. (හොබනේ වේ.)
ආර්‍ය්‍ය බුදුරජුන් දෙසූ ධර්‍මයෙහි කප්පින විසින් මැනැවින් හික්මවන ලද ඔහු සේනා සහිත මරු දිනා අවසන් සිරුර දරත්.
පළමුවන වර්‍ගය යී.
එහි උද්දානය:
කෝලිත, සාරිපුත්ත, ඝට, නව (භික්ඛු), සුජාත, භද්දිය, විසාඛ, (පඤ්චාලිපුත්ත) නන්‍ද, තිස්ස, ථෙරනාම, කප්පින, සහාය යි සූත්‍ර දොළසෙක් කියනු ලැබේ.
භික්ඛුසංයුත්තය නිමියේ යි.
නිදාන වර්‍ගයේ සංයුත්ත උද්දානය:
අභිසමය, ධාතු, අනමතග්ග, කස්සප, ලාභසක්කාර, රාහුල, ලක්ඛණ, ඔපමම, භික්ඛු යන මේ සංයුත්තයන්ගෙන් දෙවෙනි වූ නිදාන වර්‍ගය සම්පූර්‍ණ ය යි කියනු ලැබේ.
නිදානවර්‍ගය නිමියේ ය.
සුත්‍රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
තෘතීය භාගය
ඛන්‍ධක වර්‍ගය
1. ඛන්‍ධ සංයුත්තය
1. මූලපණ්ණාසකය
1. නකුලපිතු වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1. 1.
නකුලපිතු සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර සමීපයෙහි භේසකලා මුවළැව්හි වැඩ වසන සේක.
එකල්හි නකුලපිතු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හින. එකත්පසෙක හුන් නකුලපිතුගැහැවී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම ජරායෙන් ජීර්‍ණයෙමි. (වයසින්) වැඩුණෙමි, මහලුවෙමි, වයස්ගතයෙමි, පැසුළුවියට පැමිණියෙමි. ගිලන්කය ඇත්තෙමි. නිරතුරු රෝග ඇත්තෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ මනෝභාවනීය භික්‍ෂූන් නිතර නො දක්නාසුලු වෙමි. වහන්ස, යම්සේ මට දිගුකලක් හිත සුව පිණිස පවතී නම්, භාග්‍යවතුන් වහන්සේ එසේ මට අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්ව” යි තෙල සැලකෙළේ යැ.
“ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන් වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති” යි. ගැහැවි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි වදාළහ.
එකල්හි නකුලපිතු ගැහැවි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන සතුටු වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳැ පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ යැ, එළඹැ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් නකුලපිතු ගැහැවිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේක. “ගැහැවි, තොපගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ, මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ. අද භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැමි කථාවක් අසන්නට ලැබී දැ” යි. වහන්ස, කිම නො වේ ද, වහන්ස, මම දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දෙම් වෙමියි. “ගැහැවි, තෙපි කෙසේනම් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දහු දැ” යි.
“වහන්ස, මෙහි ලා මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැදැ එකත්පසෙකැ හුන්නෙමි. වහන්ස, එකත්පසෙක හුන් මම භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළෙමි. ‘වහන්ස, මම දිරුණෙමි. (වයසින්) වැඩුණෙමි. මහල්ලෙමි. වයස්ගතයෙමි, පැසුළුවියට පැමිණියෙමි. ගිලන්කය ඇත්තෙමි. නිරතුරු රෝග ඇත්තෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ (ශ්‍රාවක වූ) මන වඩන භික්‍ෂූන් නිතර නො දක්නාසුලු වෙමි. වහන්ස, යමක් මට දිගුකලක් හිතයට සුවයට වැටේ නම්, භාග්‍යවතුන් වහන්සේ එසේ මට අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වායි.
වහන්ස, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘ගැහැවි, තෙල එසේය. ගැහැවි, තෙල එසේය. ගැහැවි, මේ කය රෝග ඇත්තේ ම යැ. බිජුවටක් වැන්නැ. සියුම් සිවියෙන් වළඳනා ලද්දේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බව පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? එහෙයින් ගැහැවි, මෙහි තොප විසින් මෙසේ හික්මියැ යුතු: ගිලන් කය ඇත්තාවූ මාගේ සිත නොගිලන් වෙති යි. ගැහැවි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයැ’ යි මෙය වදාළ සේක. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දෙම් වෙමි.”
“ගැහැවි, ‘වහන්ස, කොපමණෙකින් ගිලන්කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේද? කොපමණෙකින් ගිලන්කය ඇත්තේ නොගිලන් සිත ඇත්තේ වේ දැ’යි ඒ භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහි විචාරන්නට තොපට නො මැ වැටැහිණි දැ’ යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වහන්සේ සමීපයෙහි මේ භාෂිතයේ අරුත දැන ගැනීම පිණිස අපි දුර සිට වුවත් එමු. මේ භාෂිතයේ අර්‍ත්‍ථය ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මැ වැටහේ නම්, මනා මැ යැ.
ගැහැවි, එසේ නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියමි’යි. වහන්ස, එසේ යැ යි නකුලපිතු ගැහැවි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
ගැහැවි, කෙසේ නම් ගිලන්කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේ ද:
ගැහැවි, ආර්‍ය්‍යයන් (නුවණැසින්) නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම යැ යි
හෝ, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි රූපය පවතී යැ යි හෝ, රූපයෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘රූපය මම ය, මාගේ රූපයැ’යි වැළඳගෙන සිටින ඔහුගේ ඒ රූපය ජරාමරණ විසින් පෙරැළෙයි. අන්‍යස්වහාවයට පැමිණෙයි. රූපයාගේ විපරිණාමයෙන් හා අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
වේදනාව ආත්මයැ යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි වේදනාව පවතී යැ යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘වේදනාව මම යැ, මාගේ වේදනාව යැ’යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘මම වේදනා යෙමි. මාගේ යැ වේදනා යැයි’ වැළඳගෙන සිටින ඔහුගේ ඒ වේදනාව විපරිණාම වෙයි. අන්‍යථාභාවයට පැමිණෙයි. වේදනායෙහි විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
සංඥාව ආත්මයැ යි හෝ, ආත්මය සංඥා ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි සංඥාව පවතී යැ යි හෝ, සංඥාවෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘සංඥාව මම ය, මාගේ යැ සංඥා යැ’යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘සංඥාව මම ය. මාගේ යැ සංඥා’ යැ යි පරියුට්ඨිතව සිටින ඔහුගේ ඒ සංඥාව විපරිණාම වෙයි. අන්‍යප්‍රකාර වෙයි. සංඥාවෙහි විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
සංස්කාර ආත්මයැ යි හෝ, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි සංස්කාර පවතී යැ යි හෝ, සංස්කාරයන්හි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර යැ’යි පරියුට්ඨිතව සිටිනසුලු වෙයි. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර’ යැ යි වැළඳගෙන සිටිනසුලු වූ ඔහුගේ ඒ සංස්කාර විපරිණාම වෙයි. අන්‍යප්‍රකාර වෙයි. සංස්කාර විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
විඥානය ආත්මයැ යි හෝ, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි විඥානය පවතී යැ යි හෝ, විඥානයෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘විඥානය මම යැ, මාගේ යැ විඥාන’යැ යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘විඥානය මම යැ, මාගේ විඥාන’ යැ යි වැළඳගෙන සිටින ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි. අන්සැහැවි වෙයි. විඥානය පෙරැළීමෙන් අන්සේ වීමෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්.
ගැහැවි, මෙසේ ගිලන්කය ඇත්තේත් ගිලන්සිත් ඇත්තේත් වෙයි.
ගැහැවි, කෙසේ නම් ගිලන්කය ඇත්තේ ම ගිලන්සිත් ඇත්තේ නොවේ යැ යත්:
ගැහැවි, ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම ය යි නො දකියි, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකියි, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකියි. ‘රූපය මම යැ, මාගේ යැ රූප’යැ යි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ගැනීමෙන් මැඩලන අයුරෙන් නො සිටිනසුලු වෙයි. ‘රූපය මම ය, මාගේ රූප’ ය යි තෘෂ්ණාදෘෂ්ටි විසින් වැළද නො ගන්නා ඔහුගේ ඒ රූපය ජරාමරණ විසින් පෙරැළෙයි, අන්සැහැවි වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
වේදනාව ආත්මයැ යි නො දකියි, ආත්මය වේදනා ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව පවතී යයි හෝ නො දකියි, වේදනාවෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳ නො සිටිනසුලු වෙයි. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ වේදනාව පෙරැළෙයි. අන්‍යථාභාවයට යෙයි, වැළද නො සිටින සුලු වෙයි. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ වේදනාව පෙරැළෙයි. අන්‍යථාභාවයට යයි. වේදනාවගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
සංඥාව ආත්මය යි නො දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි සංඥාව පවතී යයි හෝ නො දකියි, සංඥාවෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘සංඥාව මම ය, මාගේ සංඥාව’ යයි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘සංඥාව මම ය, මාගේ සංඥාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ සංඥාව විපරිණාම වෙයි. අන්‍යාකාර වෙයි, සංඥායෙහි විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
සංස්කාර ආත්මය යි නො දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාර පවතී යයි හෝ නො දකියි, සංස්කාරයන්හි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර’ ය යි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘මම සංස්කාර ය, මාගේ සංස්කාර’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ සංස්කාරයෝ විපරිණාම වෙත්. අන්සැහැවි වෙත්. සංස්කාර විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
විඥානය ආත්මය යි නො දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි විඥානය පවතී යයි හෝ නො දකියි, විඥානයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘විඥානය මම ය, මාගේ විඥාන’ යයි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘විඥාන මම ය, මාගේ විඥාන’ යයි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ විඥානය විපරිණාම වෙයි . අන්‍යථාභාව වෙයි. විඥානයාගේ විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්.
ගැහැවි, මෙසේ ගිලන්කය ඇත්තේ ගිලන්සිත් නැත්තේ වේය යි.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති නකුලපිතු ගැහැවි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්තේ යි.
1. 1. 1. 2.
දේවදහ සූත්‍රය
2. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩ වසන සේක.
එ කල්හි අපරදිග දනව්වට යනු කැමති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, අපි අපරදිග දනව්වට යන්නටත්, අපරදිග දනව්වෙහි වාසය කිරීමටත් කැමැත්තෙමු” යි.
මහණෙනි, තොප විසින් සැරියුත් පුළුවුස්නා ලද්දේ දැ යි. වහන්ස, අප විසින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නො පුළුවුස්නා ලදහ යි. මහණෙනි, සැරියුත් පුළුවුසිවු. මහණෙනි, සැරියුත් පණ්ඩිතයෙක, සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන්නේ වෙයි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
එ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තුවර ලැහැබෙක වැඩහුන්නාහු වෙති. එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අපි පසුළුදිග දනව්වට යන්නටත්, පසුළුදිග දනව්වෙහි වසන්නටත් කැමැත්තෙමු. අප විසින් ශාස්තෲන් වහන්සේ පුළුවුස්නා ලදහ” තෙල කීහ.
ඇවැත්නි, අන්රජයකට ගිය මහණහු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත්තාහු ම ය. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු ‘ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කුමන ලබ්ධි ඇත්තේද, කුමක් (අවවාද විසින්) කියන්නේ’ දැ යි, විමසන්නෝය. යම් සේ ප්‍රකාශ කරන්නා වූ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝත් වන්නහු නම්, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නින්‍දා කරන්නහු නම්, දහමටද අනු දහමක් පවසන්නහු නම්, කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ නම් - කීම, ආයුෂ්මත් තොප විසින් (එසේ) දහම් මැනැවින් අසන ලද ද, සකසා උගන්නා ලද ද, මනා කොට මෙනෙහි කරන ලද ද, මැනැවින් සලකා බලන ලද ද, නුවණින් මනා කොට අවබෝධ කරන ලද දැ යි.
“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ සමීපයෙහි තෙල භාෂිතයෙහි අරුත් දැන ගන්නට දුර සිට වුවත් එන්නෙමු. මැනැවි, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ම තෙල වචනයෙහි අරුත වැටහේවා” යි.
ඇවැත්නි, එසේනම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්වන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරුණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, අන්‍යදේශගත මහණහුගෙන් පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් (අවවාද වසයෙන්) කියන්නේ දැ” යි, විමසන්නෝ මැ යි.
ඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි “ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි මෙසේ ප්‍රකාශ කරවු.
ඇවැත්නි, මෙසේ පැවසූ කල්හිද මතුයෙහි දු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද වෙත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෲ තෙමේ කිමෙක්හි ඡන්‍දරාග නැසීම පවසන්නේ දැ” යි විමසන්නෝ මැ යි.
ඇවැත්නි, මෙසේ පුළුස්නා ලද තෙපි “ඇවැත්නි, (අපගේ) ශාස්තෲන් වහන්සේ රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි මෙසේ ප්‍රකාශ කරවු.
ඇවැත්නි, මෙසේ පැවසූ කල්හි දු මතු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද වෙත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෲ තෙමේ කිනම් දෝෂයක් දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ වේදනාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ සංඥාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ සංස්කාරයන්හි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ දැ” යි විමසන්නෝ මැ යි.
ඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ ප්‍රකාශ කරවු: ඇවැත්නි, රූපයෙහි නො පහ වූ රාග ඇති නො පහ වූ ඡන්‍ද ඇති නො පහ වූ ප්‍රේම ඇති නො පහ වූ පිපාසා ඇති නො පහ වූ පරිදාහ ඇති නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට ඒ රූපය පෙරැළීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි නො පැහු වූ රාග ඇති නො පැහූ ඡන්‍ද ඇති නො පැහූ ප්‍රේම ඇති නො පැහූ පිපාසා ඇති නො පැහූ පරිදාහ ඇති නො පැහු වූ තෘෂ්ණා ඇති ඔහුට ඒ සංස්කාරයන්ගේ වෙනස් වීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. විඥානයෙහි නො පැහූ රාග ඇති නො පැහූ ඡන්‍ද ඇති නො පැහූ ප්‍රේම ඇති නො පැහූ පවස් ඇති නො පැහූ පරිදාහ ඇති නො පැහූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ විඥානයේ වෙනස් වීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ මේ දෝෂය දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. වේදනාවෙහි … සංඥාවෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි.
ඇවැත්නි, මෙසේ පැවසූ කල්හි දු මතු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත් මැයැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කිනම් අනුසසක් දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … ශාස්තෘ තෙමේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ දැ”යි විමසන්නමෝ මැයි.
ඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ පවසවු: “ඇවැත්නි, රූපයෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ රූපයෙහි පරිණාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. වේදනායෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ වේදනායෙහි පරිණාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. සංඥායෙහි … සංස්කාරයන්හි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ සංස්කාරයන්ගේ පරිණාමන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. විඥානයෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ විඥානයාගේ විපරිණාමාන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්.”
ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ මේ අනුසස් දැකැ රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෘන් වහන්සේ වේදනායෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. සංඥායෙහි … සංස්කාරයන්හි … ශාස්තෘන් වහන්සේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ යි.
ඇවැත්නි, අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් නිදුක් වූ තැවිලි නැති දැවිලි නැති සුඛවිහරණයෙක් වන්නේ නම්, කාබුන් මරණින් මතුත් සුගතිය කැමති විය යුතු නම්, භාග්‍යවතුන් වහන්සේ මේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය නො පසස්නා සේක. ඇවැත්නි, යම් හෙයෙකින් අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් දුක් සහිත තැවිලි සහිත දැවිලි සහිත දුක්ඛවිහරණයෙක් වේ ද, කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පසස්නා සේක.
ඇවැත්නි, කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් දුක් සහිත තැවිලි සහිත දැවිලි සහිත දුක්ඛවිහරණයෙක් වන්නේ නම්, කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු නම්, භාග්‍යවතුන් වහන්සේ කුසල් දහම් රැස් කිරීම නො පසස්නා සේක. ඇවැත්නි, යම් හෙයෙකින් කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් නිදුක් වූ තැවිලි නැති දැවිලි නැති සුඛවිහරණයෙක් වේ ද, කාබුන් මරණින් මතුත් සුගතිය කැමති විය යුතු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසල් දහම් රැස් කිරීම පසස්නා සේකැ යි.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්හ.
1. 1. 1. 3.
හාලිද්දිකානි සූත්‍රය
3. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්‍ගයට අයත් මාගන්‍දිය ප්‍රශ්නයෙහි දී මෙය වදාළ සේකැ:
“විඤ්ඤාණගෝචර සංඛ්‍යාත ඕකය හැරපියා අනිකෙතසාරී (රූපාදි නිමිත්තෙහි නො හැසිරෙන්නා) වූ ගම්හි සංසර්‍ගයන් නො කරන්න වූ කාමයන්ගෙන් වෙන් වූ සසරවට පෙරටු නො කරන්නා වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙමේ ජනයා සමග විරුද්ධකථා නො කරන්නේ යැ” යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්‍ත්‍ථය විස්තර වශයෙන් කෙසේ දත යුතු දැ?යි.
ගැහැවිය, රූපස්කන්‍ධය කර්‍මවිඥානයාගේ ප්‍රත්‍යය සංඛ්‍යාත ඕකය යි. රූපස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ඕකසාරි (ගෘහාලයයෙහි හැසිරෙන්නා) ය යි කියනු ලැබේ. ගැහැවිය, වේදනාස්කන්‍ධය විඥානයාගේ ගෘහය යි. වේදනාස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංඥාස්කන්‍ධය, විඥානයාගේ ගෘහය යි. සංඥාස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංස්කාරස්කන්‍ධය විඥානයාගේ ගෘහ යයි. සංස්කාරස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, මෙසේ ඕකසාරී වේ.
ගැහැවිය, කෙසේ නම් අනෝකාසාරී වේ ද? ගැහැවිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් (තෘෂ්ණා දෘෂ්ටි) උපය කෙනෙක්, (කාමුපාදානාදී සිවු) උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වූවාහු වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තල් ගසක් මෙන් කරන ලදහ. අත්‍යන්තයෙන් අභාවයට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී (ගෙහි නො හැසිරෙනු) යයි කියනු ලැබෙත්. ගැහැවිය, වේදනාස්කන්‍ධයෙහි … ගැහැවිය, සංඥාස්කන්‍ධයෙහි … ගැහැවිය, සංස්කාරස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. හිස් සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී ය යි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනෝකසාරී වේ.
ගැහැවිය, කෙසේ නම් නිකේතසාරී (නිවෙස්හි හැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවෙස්හි උපන් කෙලෙසුන්ගේ විසාර පැතිරීම හා විනිබන්‍ධ බැඳීම හේතුකොටගෙන නිකේතසාරී යයිකියනු ලැබේ. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්‍මාලම්බන නැමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා බැඳීමෙන් නිකේතසාරී යයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ නිකේතසාරී වේ.