Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 5101-5200 න් 15083

මහණෙනි, දැන් ලිච්ඡවීහු ලීකොටයක් කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්තව වීර්‍ය්‍ය ඇති ව ගුරූපාසනයෙහි (ශිල්ප හැදෑරීමෙහි) යෙදුනාහු වාසය කෙරෙති. මගධාධිපති වේදේහි පුත් අජාසත් රජ තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් (ප්‍රත්‍යයයක්) නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවීහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් (=කොට්ට) ඇති මුදු යහන්හි හිරු උදා වන තෙක් ශයනය කරන්නාහ. මගධාධිපතී වේදේහි පුත් අජාසත් රජ තෙමේ (ඔවුන් දිනුමට) ඔවුන්ගේ සිදුරක් ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.
මහණෙනි, දැන් භික්‍ෂූහු ලීකොට කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනාහු වාසය කෙරෙත්. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි භික්‍ෂූහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් ඇති මුදු යහන්හි හිරු උදාවන තෙක් ශයනය කරන්නාහ. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් (අවකාශයක්) ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “දැව කඩක් කන්වයින් කොට ඇත්තමෝ අප්‍රමත්ත ව කෙළෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනමෝ වාසය කරන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 9.
නාග සූත්‍රය
391. සැවැත්නුවර–
එකල්හි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් කරා එළඹෙයි. භික්‍ෂූහු ඒ මේ මහණහට “ආයුෂ්මතුනි, වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්‍ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිත්. කවර හෙයකින් මම නො එළඹෙම් දැ”යි මෙසේ කී ය.
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් වෙත එළඹෙයි. ඒ මේ මහණහට භික්‍ෂූහු “ආයුෂ්මතුනි, මෙසේ වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්‍ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිති. කවර හෙයෙකින් මම නො එළඹෙම් දැ යි මෙසේ කී ය” යි මෙය සැලකළහ.
මහණෙනි, පෙර වූවක් කියමි: “වන පෙදෙසක මහවිලෙක් විය. ඇත්තු ඒ විල ඇසුරු කොට වෙසෙති. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ සුපිරිසිදු ව සෝදා මඩ රහිතව සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකකට හෝ නො පැමිණෙති.
මහණෙනි, ඒ මහා ඇතුන් අනුව හික්මෙන්නා වු තරුණ ඇත්පැටව් වෙත්. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ පිරිසිදු ව නො සෝදා මඩ සහිතව නො සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස නො වේ ම ය. බලය පිණිස ද නො වේ ම ය. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
මහණෙනි, එපරිද්දෙන් ම මෙසස්නෙහි ස්ථවිරභික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දී දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත්.(ප්‍රත්‍ය දෙත්.) ඔහු නො ගිජු වූවාහු මුසපත් නො වූවාහු තෘෂ්ණාවෙන් නො ගැලී සිටියාහු දොස් දක්නාසුලු වූවාහු සසරින් නික්ම යෑමේ නුවණින් යුක්ත වූවාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ නො පැමිණෙත්.
ඒ ස්ථවිර භික්‍ෂූන් අනුව ම හික්මෙන්නා වූ නවක භික්‍ෂූහු තුමූ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත් (ප්‍රත්‍යය දෙත්.) ඔහු ගිජු වූවාහු මුසපත් වූවාහු තෘෂ්ණාවෙන් ගැලුනාහු දොස් නො දක්නාසුලු වූවාහු නික්ම යෑමේ නුවණ නැත්තාහු ඒ ලාභය වළඳත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස නො ම වේ. බලය පිණිස ද නො ම වේ. ඔහු ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො ගිජු වූවමෝ මුසපත් නුවූවමෝ තෘෂ්ණාවෙහි නො ගැලුනමෝ දොස් දක්නමෝ නිස්සරණ ප්‍රඥා ඇත්තමෝ ලාභය වළඳන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 10.
බිළාල සූත්‍රය
392. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්‍ෂූහු ඒ මොහුට “ආයුෂ්මත්නි, වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නො පැමිණෙව”යි මෙසේ කීහ. භික්‍ෂූන් විසින් කියනු ලබන ඒ මහණ තෙමේ නො ඇලෙයි.
එකල්හි බොහෝ භික්‍ෂූහු ... භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්‍ෂූහු ඔහුට ආයුෂ්මතුනි “වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නහමක් පැමිණෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ නො ඇලේ ය”යි මෙය සැළකළහ.
මහණෙනි, පෙර වූවක් කියමි: බළලෙක් ගෘහසන්‍ධියෙහි (දෙගෙයක් අතර) හෝ මලවහන දියැලක හෝ කසළගොඩක හෝ “යම් කලෙක මේ මෘදු මූෂිකාව ගොදුරු පිණිස යන්නේ ද, එහි දී ම ඌ ගෙණ කන්නෙමි”යි මුදුමීයකු සොයමින් සිටියේ විය. මහණෙනි, එකල්හි ඒ මුදු මීයා ගොදුරු පිණිස නික්මුනේ ය. බළලා ඒ මූ ගෙණ නො සපා වහා ගැලපී ය. ඒ මුදු මීයා ඒ බළලාගේ අතුනු ද කෑ ය. අතුනුබහන් ද කෑ ය ඒ හේතුවෙන් ඒ බළලා මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණියේ ය.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නො රක්නා ලද්දාවූ ම කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් නො එළඹ සිටි සිහියෙන් සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි.
හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගමක් දකී. නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ සිත වනසයි. හෙතෙමේ රාගයෙන් නැසුනු සිතින් මරණයට හෝ මරණය සම දුකකට හෝ පැමිණෙයි. මහණෙනි, යමෙක් සිකපිළිකෙව් කොට ගිහිබවට පෙරළේ ද, මේ සස්නෙහි මරණය යි. මහණෙනි, යම් බඳු ඇවතකින් නැගී සිටීමෙක් පෙණේ නම් (එබඳු) යම් කිලිටි වූ එක්තරා (උට්ඨානගාමිනී) ඇවතකට පැමිණේ ද, ඒ මරණය හා සම දුක ය.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “රක්නා ලද්දා වූ ම කයින් රක්නා ලද වචනයෙන් රක්නා ලද සිතින් එළඹ සිටි සිහියෙන් සංවෘත ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 11.
සිගාල සූත්‍රය
393. සැවැත්නුවර–
මහණෙනි, තෙපි රෑ පැසුළුයම්හි හඬන සිවලකුගේ හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවල් තෙමේ උක්කණ්ටක නම් රෝගයෙන් පහස්නා ලද්දේ ය. හේ යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන යෙයි. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන සිටී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හිඳී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හොවී. සිහිල් වාතය ද ඔහු වෙත හමයි. (හේ මෙයිනුදු චිත්තාස්වාදයක් ලබයි.) මහණෙනි, යම් හෙයකින් මෙහි ‘ශාක්‍ය පුත්‍රයෙමියි ප්‍රතිඥා ඇති ඇතැමෙක් මෙබඳු වූ අත්බැව් පිළිලැබීමක් (චිත්තාස්වාදයක්) විඳිනේ නම් එය යහපත් වන්නේ ය. (මෙය දෙව්දත් සඳහා කියූ.)
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 12.
දුතිය සිගාල සූත්‍රය
394. සැවැත්නුවර–
මහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන සිවලෙකු හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, ඒ ජරසිවලා කෙරෙහි ද යම් කිසි කළ ගුණ දන්නා බවෙක් කළ ගුණ ප්‍රකට කරණ බවෙක් වන්නේ ම ය. මෙහි ශක්‍යපුත්‍රිය භාවය පිළිණ කරණ ඇතැමකු කෙරෙහි කිසි ම කළ ගුණ දන්නා බවෙක්, කල ගුණ ප්‍රකට කරණ බවෙක් නො වන්නේ ම ය. (මේද දෙව්දත් සඳහා කියු සේ ය.)
එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුතු: “කළ ගුණ දන්නමෝ කළ ගුණ ප්‍රකට කොට දන්නමෝ වන්නෙමු. අප කෙරෙහි මඳකුදු කරණ ලද්ද නහමක් නැසේවා (සිතින් තොර නොවේවා)”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
පළමුවන වර්‍ගය යි.
එහි උද්දානය:
කූට, නඛසිඛා, කුල, ඔක්ඛා, සත්ති, ධනුග්ගහ, ආණි, කලිඞ්ගර, නාග, බිළාල සූත්‍ර ය, සිගාල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දොළසෙකි යි.
ඕපම්මසංයුත්තය නිමියේ යි.
9. භික්ඛු සංයුත්තය
1. ප්‍රථම වර්‍ගය
9. 1. 1.
මොග්ගල්ලාන සූත්‍රය
395. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට “ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය, ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය යි කියනු ලැබේ. කිමෙක් නම් ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය වේ දැ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
ඇවැත්නි, ඒ මට “මෙහි මහණ තෙමේ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි පැහැදීම් ඇති සිතේ උතුම් එකඟබැව් වඩන විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසේ නම් මේ ආර්‍ය්‍ය වූ තූෂ්ණීම්භාවය ය යි කියනු ලැබේ”යි මේ සිත විය.
ඇවැත්නි, ඒ මම විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම ඇති සිතේ උතුම් එකඟ බැව් වඩන විතර්‍කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්වීතීයද්ධ්‍යානය උපදවා වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන මට විතර්‍ක සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත වැඩ “මුගලන, මුගලන, බමුණ, ආර්‍ය්‍යතූෂ්ණීම්භාවය නො වරදව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත නගාලව යි” මෙය වදාළ සේක.
ඇවැත්නි, ඒ මම අන් කලෙක විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබැව් වඩන විතර්‍කරහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා විසීමි. ඇවැත්නි, සත්‍යය කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි යමකු සඳහා කියන්නෙ නම්, සත්‍යය කියන්නා “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි මා සඳහා කියන්නේ යි.
9. 1. 2.
සාරිපුත්ත සූත්‍රය
396. සැවැත්නුවර–
එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂුහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ.
ඇවැත්නි, මෙහි එකලා ව විවේකී ව හුන් මට “යම්බඳු මට විපරිණාම අන්‍යථාභාවයෙන් (=යමක් පෙරෙළීම වෙනස් වීම නිසා) සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව ඇද්දෝ” යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
ඇවැත්නි, ඒ මට “යම්බඳු මට විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව නැතැ” යි මෙ සිත විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් ඔබ වහන්සේට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු දැ”යි මෙය කීහ.
ඇවැත්නි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු ය. වැලිදු මට “පින්වත්නි, ඒකාන්තයෙන් මහේශාක්‍ය වු මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සත්‍වයෙක් අතුරුදන් වූයේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ දිගුකලක් සිටුනා සේක් නම් එය බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය යි මෙසේ සිතෙන්නේ ය
ඒ එසේ මැයි: ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ විසින් දිගු කලෙක අභිංකාරමමිඞ්කාරමානානුසයෝ මැනවින් උපුටා හරිණ ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහ යි.
මහානාග සූත්‍රය
397. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි එක වෙහෙර (=එක ම ගර්‍භයක) වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු වූහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මූහුණුපැහැය පිරිසිදු ය වෙසෙසින් බබලන්නේ ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ අද ඒකාන්තයෙන් ශාන්ත වූ විහරණයකින් වූසූහූ ය” යි.
ඇවැත්නි , අද මම ඖදාරික (දිබ්බචක්ඛු - දිබ්බසෝතධාතු විසය වූ) විහරණයකින් විසීමි. එහෙත් මාගේ දැහැමි කතාවෙක් වී ය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව කවරකු සමග වී ද? ඇවැත්නි, මාගේ දැහැමි කතාව භාග්‍යවතුන් වහන්සේ ම සමග වී ය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දැන් දුරෙහි ම සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. කිමෙක් ද? ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ද? නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත වැඩි සේක් දැ යි?
ඇවැත්නි, මම ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නො ම එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද ඍද්ධියෙන් මා වෙත නො එළඹි සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම්තාක් (දුරෙහි වූ) ද, ඒ තාක් මාගේ දිවැස ද දිවකණ ද (භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස ඇසීම පිණිස) විශුද්ධ (=යොමු ) විය. මම යම්තාක් දුරෙහි ද,ඒ තාක් භාග්‍යවතුන් වහසේගේ ද දිවැසත් දිවකණත් විශුද්ධ විය
ඒ කෙසේ නම් භාග්‍යවතුන් වහසේ සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව වී ද?
ඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහසේට ‘වහන්ස, ආරබ්ධවීර්‍ය්‍ය ය, ආරබ්ධවීර්‍ය්‍ය ය යි කියනු ලැබේ වහන්ස, කෙතෙකින් ආරබ්ධවීර්‍ය්‍ය වේ දැ’ යි මෙය සැළකෙළෙමි. ඇවැත්නි, මෙසේ සැළකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: මොග්ගල්ලානය, මෙහි මහණ තෙමේ “ඒකාන්තයෙන් සිරුරෙහි සිවියත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියලේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ඒ යමක් ලැබිය යුතු නම් එය නො ලබා වීර්‍ය්‍යයාගේ සිටීමෙක් නොවන්නේ ය”යි පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති ව වෙසෙයි. මොග්ගල්ලානය, මෙසේ ආරබ්ධවීර්‍ය්‍ය වේ ය”යි. ඇවැත්නි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග මාගේ දැහැමි කතාව විය.
ඇවැත්නි, යම් සේ කුඩා ගල් කැටක් හිමවත් පවුරජුගේ (මහත් බව සඳහා) ලක් තැබීම (උපමා කිරීම) පිණිස පමණක් ම වේ ද, එසෙයින් ම අපි දු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ (ඍද්ධිමහත්ත්‍වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මහත් ඍද්ධි ඇත්තාහ. මහත් අනුභාව ඇත්තාහ. කැමැත්තෝ නම් ආයුෂකල්පය ම සිටිනාහු ය.
යම් සේ කුඩා ලුණුකැටක් (සක්වළ මුවවිට හා බඹලොව හිම් කොට පිහිටි) ලුණු කළයක (මහත්බව සඳහා) ලක් තැබීම පිණිස පමණක් වේ ද, එසෙයින් ම අපි දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ (ප්‍රඥාමහත්ත්‍වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් ස්තුති කරණ ලදහ. වර්‍ණනා කරණ ලදහ. පසස්නා ලදහ:
ප්‍රඥාවෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද සැරියුත් තෙරණුවෝ ම ශ්‍රේෂ්ඨයහ. යම් කිසි මහණෙක් පරතෙරට (නිවනට) පැමිණියේ නම් හෙතෙම සැරියුත් තෙරණුවන් ම පරම කොට ඇත්තේ වන්නේ ය (තෙරුන්ට වඩාඋත්තරිතරයෙක් නැත.)
මෙසේ මේ මහානාගයෝ (මහරහත්) දෙනම මැනැවින් බණන ලද ඔවුනොවුන්ගේ සුබැසිය සතුටින් පිළිගත්හ.
9. 1. 4.
නවභික්ඛු සූත්‍රය
398. සැවැත්නුවර–
එකල්හි එක්තරා නව මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සක ව නිහඬව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරෙයි. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක ව නිහඬ ව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරේ යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ එව, තෝ මාගේ වචනයෙන් ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණ අමතව. “වහන්ස, එසේ ය” යි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණ කරා එළඹියේ ය. එළඹ “ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණහට මෙය කී ය. ඒ මහණ තෙමේ “ඇවැත්නි, එසේ ය”යි ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණහට භාග්‍යවතුන් වහන්සේ: “මහණ තෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක වූයේ නිහඬ ව වෙසෙහි, සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරෙහි, සැබෑ දැ” යි මෙය වදාළ සේක. “වහන්ස, මම සිය කට යුතු කෙරෙමි යි”.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය දැන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි තෙල මහණහට නහමක් අවමන් කරවු. “මහණෙනි, තෙල මහණ තෙමේ උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නෙක්. නිදුකින් ලබන්නෙක්. මහත් සේ ලබන්නෙක්. යමක් පිණිස කුල පුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්‍හත්‍වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරේ” යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ වැලි අන් අයුරින් මෙය වදාළ සේක:
සියලු ග්‍රන්‍ථයන් මුදන මේ නිවන ශිථිලවීර්‍ය්‍යයෙන් අවබෝධ නො කට හැකිය. මේ නිවන ස්වල්ප වූ ශක්තියකින් ලැබිය නො හැකි ය.
මේ දහර මහණෙකි. උතුම් පුරුෂයෙක් වූ මෙතෙමේ සේනා සහිත මරු දිනා අන්තිම ශරීරය දරණේ යි.
9. 1. 5.
සුජාත සූත්‍රය
399. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් සුජාත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ සුජාත තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මේ කුලදරු තෙමේ කරුණු දෙකෙකින් හොබී: “විශිෂ්ට රූප ඇත්තේ දැකුම්කලු වූයේ පැහැ එළවන උතුම් වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ ය” යන යම් කරුණෙකුත් වේ ද, “යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදිත් නම් මහබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්‍හත්ත්‍වය මේ අත් බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරෙයි” යන යම් කරුණෙකුත් වේ ද යන කරුණු දෙකෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මේද වදාළ සේක:
මේ මහණ තෙමේ ඍජු වූ සිතින් ඒකාන්තයෙන් හොබී. කෙලෙසුන් කෙරෙන් මිදුනේ සංයෝජනයන්ගෙන් වෙන් වූයේ උපාදානරහිත ව නිවියේ සේනා සහිත මරු දිනා අන්තිමශරීරය දරණේ යි.
9. 1. 6.
ලකුණ්ටකභද්දිය සූත්‍රය
400. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් දුර දී ම එනුවන් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, තෙපි තෙල එන්නා වූ දුර්‍වණ නපුරු දැකුම් ඇති මිටි වූ භික්‍ෂූන් විසින් අවමන් කරණ ලද ස්වරූප ඇති මහණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් නො සමවන්විරූ යම් සමවතෙක් වේ ද, එබඳු සමවතෙක් සුලබ නො වේ. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තරඅර්‍හත්‍වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
හංසයෝත් කොස්වාලිහිණියෝත් මොනරුත් ඇත්තුත් තිත් මුවෝත් සියල්ලෝ සිංහයාගෙන් බති. කයෙහි සමබවෙක් (පමණ ගිණීමෙක්) නැත.
එසෙයින් ම මිනිසුන් අතර නුවණැත්තේ ඉදින් ලදරු වූයේ ද, හෙතෙමේ ම එහි පූජ්‍ය වෙයි. බාල (අඥ) තෙමේ මහත් සිරුරක් ඇත්තේ ද නො ම පූජ්‍ය වෙයි.
9. 1. 7.
විසාඛ පඤ්චාලිපුත්ත සූත්‍රය
401. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි (පඤ්චාලිරාජ දුහිතෘ පුත්‍ර බැවින්) පඤ්චාලිපුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ නො පැකුළුණු කෙලතොලු නො වු (=නිදොස් වූ) අර්‍තවය අඟවන සිවුසස් නො හැර පවසන සසරට නිසි නො වූ නාගරික (=පුරවැසිබස් සෙයින් මිහිරි වූ) වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන් හලෙහි භික්‍ෂූන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටි සේක් උවටැන්හල වෙත එළඹි සේක. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, කවරෙක් නො පැකුළුණු කෙලතොලු නුවූ (=නිදොස් වූ) අරුත් අඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතායෙන් උවටැන් හලෙහි භික්‍ෂූන් කරුණු දක්වා ද, සමාදන් කරවා ද, තෙද ගන්වා ද, සතුටු කෙරේ දැ යි? වහන්ස පඤ්චාලි පුත්‍ර වූ ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන්හලෙහි භික්‍ෂූන් කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙති යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පඤ්චාලිපුත්‍ර වූ විසාඛ තෙරුන් ඇමතූ සේක. විසාඛ, මැනැවි. මැනැවි. විසාඛ, තෙපි නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසර ඇසුරු නො කළ මධුර වචනයෙන් දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වවු. සමාදන් කරවවු, තෙද ගන්වවු, සතුටු කරවවු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි දු මෙය වදාළ සේක:
බාලයන් හා එක් වූ කථික (පණ්ඩිතයා) ලෝවැස්සෝ නො දනිත් අමාපදය දෙසන කථික (පණ්ඩිතයා) දැන ගණිත්.
ධර්‍මය කියන්නේ ය. බබුලුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජ ය දැඩි කොට ගන්නේ ය. ඍෂීහු සුභාෂිතය ධ්වජ කොට ඇත්තාහ. නව ලොවුතුරු දහම ඍෂීන්ගේ ධ්වජ ය යි.
9. 1. 8.
නන්‍ද සූත්‍රය
402. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුලුමවුපුත් ආයුෂ්මත් නන්‍ද ස්ථවිර තෙමේ කොළන ලද පිළිකොළන ලද (මටසිලුටු සිහින්) සිවුරු පොරවා. ඇස් අඳුනෙන් සදා වෙසෙසින් පහන් පැහැති පාත්‍රයක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් නන්ඳහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
නන්‍ද, යම්බඳු තෝ කොළන ලද පිළිකොළන ලද සිවුරු පොරවන්නෙහි නම්, ඇස් අඳුනෙන් සදන්නෙහි නම්, වෙසෙසින් පහන් පැහැති පාත්‍රයක් දරන්නෙහි නම් එය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණි කුලපුත්‍ර වූ තොපට නිසි නො වේ. නන්‍ද යම්බඳු තෝ ආරණ්‍යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද වන්නෙහි නම්, කාමයන්හිත් නිරපේක්‍ෂක ව වෙසෙන්නෙහි නම්, සැදැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට මෙය සුදුසු වේ මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
ආරණ්‍යක වූ පංසුකූලික වූ ප්‍රකට කුලයන්හි ම නොව ගෙපිළිවෙළින් පිඬු සිඟීමෙන් යැපෙන්නා වූ කාමයන්හි නිරපේක්‍ෂක වූ නන්ඳයන් මම කවදා දක්නෙම් ද?