7. 1. 8.
සූචිලෝම සූත්‍රය
369. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිදිලොම් (= හිදිමුවා ලොම් ) ඇති පුරුෂයකු දිටිමි . ඔහුගේ ඒ හිදි උඩට නැග නැග ඔහුගේම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම රියැදුරෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 9.
දෙවැනි සූචිලෝම සූත්‍රය
370. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හිදිලොම් (=හිදිමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිදි හිසෙහි පිවිස මුවෙන් නික්මෙයි. මුවෙහි පිවිස ලයෙන් නික්මෙයි. ලයෙහි පිවිස කුසෙන් නික්මෙයි. කුසෙහි පිවිස කලවෙන් නික්මෙයි. කලවෙහි පිවිස කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙහි පිවිස පාදයෙන් නික්මෙයි. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම සූචකයෙක් (=පිසුණු බණන්නෙක්) විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 1. 10.
කුම්භණ්ඩ සූත්‍රය
371. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ කුම්හණ්ඩ(= කළ පමණ අණ්ඩ) ඇති පුරුෂයකු දිටිමි. හෙතෙමේ යන්නේ ද ඒ අණ්ඩ කඳට නගා ගෙණ ම යෙයි. හිඳිනේ ද ඒ අණ්ඩයන්හි ම හිඳියි. ඒ මොහු ගිජුලිහිණියොත් කවුඩෝත් උකුස්සෝත් ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම (අල්ලස් ගන්නා) විනිසකරු ඇමතියෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
පළමුවැනි වර්‍ගය යි.
එහි උද්දානය:
ගෝඝාතක වූ අට්ඨි පෙසි සූත්‍ර දෙක ය, සාකුණික වූ පිණ්ඩ සූත්‍රය, ඔරබ්හික වූ නිච්ඡවි සූත්‍රය, සුකරික වූ අසි සූත්‍රය, මාගවික වූ සත්ති සූත්‍රය, කාරණික වූ උසු සූත්‍රය, සාරථි වූ සුචි සූත්‍රය, සූචක වූ සූචි සූත්‍රය, ගාමකූටක වූ අණ්ඩහාරී (=කුම්හණ්ඩ) සූත්‍රය යි සූත්‍ර දශයෙකි.
2. දෙවන වර්‍ගය
7. 2. 1.
ගුථකූප සූත්‍රය
372. රජගහනුවර–
ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක හිස සහිත ව ගිලුනු පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම පරඹුන් සෙවුනෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
7. 2. 2.
ගූථඛාදි සූත්‍රය
373. මහණෙනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක ගිලුනු දෑතින් අසූචි කන පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම දුෂ්ට බමුණෙක් විය. හෙතෙමේ කසුප් බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි බික්සඟන බතින් පවරා අසූචියෙන් ඔරු පුරවා කල් දන්වා “පින්වත්නි, මෙයින් ඇති තාක් අනුභව කෙරෙත්වා හැර ගෙණ ද යෙත්වා” යි මෙය කීය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
7. 2. 3.
නිච්ඡවිත්‍ථි සූත්‍රය
374. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සිවිය නැති ස්ත්‍රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම වේශ්‍යාවක් වූවා ය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 2. 4.
මඞ්ගුලිත්‍ථි සූත්‍රය
375. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ දුගඳ පිළිකුල් කට යුතු ස්ත්‍රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම යක්දැස්සක් (යක්දෙහිකම් කරන්නියක්) වූවා ය ... මහජනයා මිසදිටු ගැන් වූ ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.
7. 2. 5.
ඔකලිනී සූත්‍රය
376. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ගින්නෙන් පැසුනු සිරුර ඇති ඩහ වැගිරෙන ගිනි අඟුරින් හාත්පස ගැවසුනු ස්ත්‍රියක දිටිමි. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ කලිඟුරජුගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ ඊර්‍ෂ්‍යායෙන් මඬනා ලද්දී සැතිරිය (=සැමියාගේ අන් බිරිය) මත අඟුරුකබලක් හළාලීය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
7. 2. 6.
අසීසක සූත්‍රය
377. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිස නැති සිරුරක් (=කවන්‍ධයක්) දිටිමි. එහි ලයෙහි ඇස් ද, මුව ද වෙයි. ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මෙය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. හේ ද බැගෑ හඬ කෙරෙයි. ... [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම හාරිත නම් චෝරඝාතයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 2. 7.
භික්ඛු සූත්‍රය
378. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මහණකු දිටිමි. ඔහුගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිත ය. පාත්‍රය ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිතය, කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්ත ය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. හෙතෙමේ ද බැගෑ හඬ කෙරෙයි. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මහණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මහණෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 2. 8.
භික්ඛුණී සූත්‍රය
379. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මෙහෙණක දිටිමි. ඇගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මෙහෙණ තොමෝ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මෙහෙණක් වූවාය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 2. 9.
සික්ඛමානා සූත්‍රය
380. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සික්ඛමානාවක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්ත ය. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සික්ඛමානාව කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පවිටු සික්ඛමානාවක් වූවා ය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි. වදාළ සේක.
7. 2. 10.
සාමණේර සූත්‍රය
381. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හෙරණකු දිටිමි. ඔහුගේ සඟළ ද ආදීප්ත ය. … ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ හෙරණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු හෙරණෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.
7. 2. 11.
සාමණේරී සූත්‍රය
382. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හෙරණක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. පාත්‍රය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. ඕතොමෝ ද බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි ඒ මට මේ අදහස විය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි , පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මෙබඳු නම් සත්ත්‍වයෙක් වන්නේ ද, මෙබඳු නම් යක්‍ෂයෙක් වන්නේද, මෙබඳු නම් අත්බැව් පිළිලැබීමෙක් වන්නේදැ”යි. …
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. යම් හෙයකින් ශ්‍රාවක තෙමේ මෙබන්දක් දන්නේ හෝ වේ ද, දක්නේ හෝ වේ ද, සාක්‍ෂ්‍ය කරන්නේ හෝ වේ ද, (එහෙයින්) මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් නුවණ ඇත්තාහු වෙසෙත්. මහණෙනි, පෙර ම මා විසින් ඒ හෙරණි දක්නා ලද්දී වූවා ය. එහෙත් මම නො පැවසීමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු මා වදන නො අදහන්නාහු ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.
මහණෙනි, මේ හෙරණ තොමෝ කසුප් සම්මාසම්බුදුන්ගේ සස්නෙහි පවිටු හෙරණක් වූවා ය ... ඕ තොමෝ ඒ කර්‍මයේ විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සිය ගණන් බොහෝ වස් දහස්ගණන් බොහෝ වස් සියදහස්ගණන් නිරයෙහි පැස ඒ කර්‍මයාගේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
දෙවෙනි වර්‍ගය යි.
එහි උද්දානය:
කූපයෙහි නිමග්න වූ හෙතෙමේ පාරදාරික වූයේ ය. අශුචි කන්නේ දුෂ්ටබ්‍රාහ්මණයෙක් වූයේ ය. සිවිය නැත්තී වේශ්‍යාවක් වූවා ය. පිළිකුල් කටයුත්තී යද්දැස්සක් වූවා ය. ඩහ වැගිරෙන්නී සැතිරිය මත අඟුරු විසිරිය. හිස්සුන් තැනැත්තේ චෝරඝාතකයෙක් විය. භික්ඛු භික්ඛුනී සික්ඛමානා සාමණේර සාමණේරීහු කසුප් සස්නෙහි පැවිදි ව රිසිසේ පව්කම් කළහ.
ලක්ඛණ සංයුත්තය නිමියේ ය.
8. ඔපම්ම සංයුත්තය
1. ප්‍රථම වර්‍ගය
8. 1. 1.
කූට සූත්‍රය
383. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එහි දී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, යම් සේ කුළුගෙයක හැම ගොනැස්හු ම කූටයෙහි (කැණිමඩලෙහි) පිවිසියාහු කූටයෙහි මුළුදුන්නාහු ද කූටය බිඳීමෙන් ඒ හැම විනාශයට යෙත් ද, මහණෙනි, එසෙයින් ම යම් කිසි අකුසල්මුල් කෙනෙක් වෙත් ද, ඒ හැම අවිද්‍යාවෙහි පිවිසියාහු අවිද්‍යාවෙහි මුළුදුන්නාහු වෙත්. අවිද්‍යාව නැසීමෙන් ඒ සියලු අකුශලමූලයෝ විනාශයට යෙති.
එහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “අප්‍රමත්ත ව වසන්නමෝ” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
8. 1. 2.
නඛසිඛා සූත්‍රය
384. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒ කිමැයි හගිවු ද? කිමෙක් ඉබොහෝ ද? මා විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ද, නොහොත් මේ මහ පොළොව දැ”යි.
වහන්ස, යම් මේ මහපොළවක් වේ ද, එය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ ස්වල්ප ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගණනකට ද නො පැමිණේ. උපමාවට ද නො පැමිණේ. සොළොස්වැනි කලාවෙන් කලාවට ද නො පැමිණේ.
මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද, ඒ සත්ත්‍වයෝ ඉතා අල්පය. වැලි යම් කෙනෙක් මිනිස්ලොවින් අන් තන්හි උපදිත් ද, මේ සත්ත්‍වයෝ ම ඉතා බොහෝය.
එහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “නො පමා ව වෙසෙන්නමෝ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
8. 1. 3.
කුල සූත්‍රය
385. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ බොහෝ ස්ත්‍රීන් ඇති අල්ප පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කළයෙහි සැඟවූ පහන් එළියෙන් සොරකම් කරණ කුඹු සොරුන් විසින් සුවසේ වෙහෙසිය හැක්කාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය (මෛත්‍රීධ්‍යානය) නො වඩන ලද ද, බහුල නො කරණ ලද ද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් සුවසේ වෙහෙසිය හෙන්නේ වෙයි.
මහණෙනි, යම් සේ අල්ප ස්ත්‍රීන් ඇති බොහෝ පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කුඹු සොරුන් විසින් නො වෙහෙසිය හෙන්නාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් නො වෙහෙසිය හෙන්නේ වෙයි.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යුක්ත යානයක් මෙන් කරණ ලද්දී ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන් වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
8. 1. 4.
ඔක්ඛාසත සූත්‍රය
386. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් පෙරවරු මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් මද්දහනෙහි මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් සවස් කල මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් පෙරවරු යටත් පිරිසෙයින් ගෝදෝනා (දෙනගේ තනපුඬු එක් වරක් අදනා) කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙකුත් මද්දහනෙහි යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙක් සවස් වරු යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, මෙය ඒ දනට වඩා මහත්ඵල ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
8. 1. 5.
සත්ති සූත්‍රය
387. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ තියුණු තල ඇති සිරියක් වේ ද, එකල්හි “මම තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ පැහැර නමන්නෙමි. (ධාරා දෙක එක් කොට) අලවන්නෙමි. දිග හැර නැවත හකුළුවන්නෙමි” යි පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, ඒ පුරුෂ තෙමේ තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට නිසි ද? වහන්ස, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින්ද? වහන්ස, තියුණු තල ඇති ඒ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට සුකර නො වේ. ඒ පුරුෂ තෙමේ (ඒ සඳහා යම්තාක් වැර වඩා ද,) ඒ තාක් ම වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.
මහණෙනි, එහෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, යානයක් මෙන් කරණ ලද ද, වාස්තුවක් මෙන් කරණ ලද ද, එළඹ සිටියක් කරණ ලද ද, පුරුදු කරණ ලද ද, මැනවින් පිරිපුන් කරණ ලද ද, ඉදින් අමනුෂ්‍යයෙක් ඔහුගේ සිත පෙරළිය යුතු ය යි හඟනේ නම් වැලි ඒ අමනුෂ්‍ය තෙමේ වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
8. 1. 6.
ධනුග්ගහ සූත්‍රය
388. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ දැඩි දුනු දරණ නිපුණ වූ කෘතහස්ත වූ දැක්වූ ධනුශ්ශිල්ප ඇති දුනුවායෝ සිවුදෙනෙක් සිවුදිග සිටියෝ ද, එකල්හි දැඩි දුනු ඇති නිපුණ වූ කෘතහස්ත වූ දැක් වූ ධනුශ්ශිල්ප ඇති මේ සිවු දුනුවායන් විසින් සිවුදිගට විදින ලද ඊතල පොළොවෙහි නො පිහිටියවුන්ම (පොළොව නොහෙන තෙක්ම) මම හැර ගෙණ එන්නෙමි”යි. පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, “එසේ දිවිය හෙන්නා වූ මේ පුරුෂ තෙම උතුම් ජව ඇත්තේ ය යි - දිවිය හෙන්නේ ය යි කියන්නට සුදුසු දැ”යි:
වහන්ස, දැඩි දුනු දරණ උගත් පළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායකු විසිනුදු විදිනලද හීය පොළොව නො හෙන තෙක් ම ඉදින් හැර ගෙණ එන්නේ නම් එසේ දිවිය හෙන පුරුෂයා උතුම් ජව ඇත්තේ ය යි කියන්නට සුදුසු ය. දැඩි දුනු දරණ උගත් කළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායන් සිවුදෙනෙකුන් විදි හී ගැණ කවර කථා ද?
මහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම්බඳු ද, සඳහිරු දෙදෙනාගේ යම්බඳු වේගයෙක් වේ නම් (එය) ඊට වඩා ශීඝ්‍ර ය. මහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය, යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව යම් සේ දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය එයට වඩා ශීඝ්‍රය. ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය යම් බඳු ද, ඊට වඩා ශීඝ්‍රව ආයුසංස්කාරයෝ (රූප ජිවිතින්‍ද්‍රියයෝ) ක්‍ෂය වෙත්.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 7.
ආණි සූත්‍රය
389. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි: (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ (නම් වූ) ක්‍ෂත්‍රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැළුනු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක්හි ආණක මිහිඟුබෙරයේ පැරණි බෙරකඳ අතුරුදන් වී ද, ඇණහැකිල්ල ම ඉතිරි වීද, එබඳු කලෙක් වූයේ ම ය.
මහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්‍ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්‍යතාධර්‍මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, පිරිවැහිය යුතු ය යි සිතන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 8.
කලිඞ්ගරූපධාන සූත්‍රය
390. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කුටගාරශාලාවෙහි වැඩ වසන සේක. එහි දී … මෙය වදාළ සේක.