Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 4901-5000 න් 15083

රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්චෙතනායෙහිත් කලකිරෙයි, සද්දසඤ්චේතනායෙහිත් කලකිරෙයි, ගන්‍ධසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. රසසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ඵොට්ඨබ්බසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ධර්‍මසඤ්චේතනායෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.
6. 1. 8.
තණ්හා සූත්‍රය
347. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද, රූපතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දතණ්හාව ... ගන්‍ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපතණ්හාවෙහිත් කලකිරෙයි, සද්දතණ්හාවෙහිත් කලකිරෙයි, ගන්‍ධතණ්හාවෙහිත් කලකිරෙයි, රසතණ්හායෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බතණ්හායෙහිත් කලකිරෙයි, ධම්මතණ්හායෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 9.
ධාතු සූත්‍රය
348. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? පඨවීධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණ ධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
රාහුල මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පඨවීධාතුයෙහි ද කලකිරෙයි, ආපෝධාතුයෙහි ද කලකිරෙයි, තේජෝධාතුයෙහි ද කලකිරෙයි, වායෝධාතුයෙහි ද කලකිරෙයි, ආකාසධාතුයෙහි ද කලකිරෙයි, විඤ්ඤාණධාතුයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 10.
ඛන්‍ධ සූත්‍රය
349. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද, රූපය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... වේදනාචා ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය ...’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනායෙහි ද කලකිරෙයි, සඤ්ඤායෙහි ද කලකිරෙයි, සඞ්ඛාරයන්හි ද කලකිරෙයි, විඤ්ඤාණයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි’ යි.
[අයාචනාවෙන් දෙසූ ] පළමුවැනි වර්‍ගය යි.
එහි උද්දාන:
චක්ඛු, රූප, විඤ්ඤාණ, සම්ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු යන ඔහු ඛන්‍ධ සූත්‍රය සමග දශයෙකි.
2. දෙවෙනි වර්‍ගය
6. 2. 1.
චක්ඛුආදි සූත්‍රය
350 මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
රාහුල, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය,’ යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’ කණ ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද? සැපද, ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි, ... කණෙහි ද කළ කිරෙයි ... නැහැයෙහි ද කලකිරෙයි ... දිවෙහි ද කලකිරෙයි, ... කයෙහි ද කලකිරෙයි ... සිතෙහි ද කලකිරෙයි. කළ කිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි කට යුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.
(පෙය්‍යාලනයින් සූත්‍රාන්ත දශය සංක්‍ෂේප කට යුතු යි)
6. 2. 2.
රූපාදි සූත්‍රය
351. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැ යි හඟිහි ද? රූපයෝ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ධර්‍මයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
විඤ්ඤාණ සූත්‍රය
352. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය ද,අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය … කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
6. 2. 4.
සම්ඵස්ස සූත්‍රය
353. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සෝතසම්ඵස්සය ... ඝාණසම්ඵස්සය ... ජිව්හාසම්ඵස්සය … කායසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 5.
වේදනා සූත්‍රය
354. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව … කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 6.
සඤ්ඤා සූත්‍රය
355. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රුපසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධර්‍මසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
සඤ්චේතනා සූත්‍රය
356. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රූපසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
තණ්හා සූත්‍රය
357. රාහුල, ඒ කිමැයි හඟිහි ද, රූපතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සද්දතණ්හාව ... ගන්‍ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
ධාතු සූත්‍රය
358. රාහුල, ඒ කිමැයි හඟිහි ද? පඨවිධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය. ‘ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝ ධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 10.
ඛන්‍ධ සූත්‍රය
359. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රූපය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ … වේදනාව ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ … රාහුල මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණී යි.
6. 2. 11.
මානානුසය සූත්‍රය
360. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය:
“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ (ස්වකීය) කයෙහිත්, පිටත සියලු (සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වූ) නිමිත්තයන්හිත් අභිඞ්කාර (මම යන දෘෂ්ටිය) ද, මමිඞ්කාර (මාගේ යන තෘෂ්ණාව ද මානානුසයෝ ද නො වෙද් දැ” යි?
රාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයෙක් වේද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
යම් කිසි වේදනාවක් ... යම් කිසි සඤ්ඤාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හේ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් විඤ්ඤාණයෙක් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
රාහුල මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරමමිඞ්කාරමානානුසයෝ නො වෙති යි.
6. 2. 12.
මානාපගත සූත්‍රය
361. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරයෙන් මමිඞ්කාරයෙන් මානයෙන් පහ වූයේ වේ ද, මානකොටස් මැනවින් ඉක්ම වූයේ සන්සුන් වූයේ මනා කොට මිදුනේ වේ දැ යි?
රාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයකුත් වේ ද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ. (පඤ්චස්කන්‍ධය පිළිබඳ පෙය්‍යාලය මෙසේ කට යුතු යි.) ... යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙකුත් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ.
රාහුල, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහි ද, පිටත සියලු නිමිත්තයන්හි ද අභිඞ්කාරමමිඞ්කාරමානයෙන් පහ වූයේ මාන කොටස් මනා කොට ඉක්මවූයේ සන්හුන් වූයේ මැනවින් මිදුනේ වේ යි.
දෙවෙනි වර්‍ගය යි.
එහි උද්දානය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු, ඛන්‍ධ යන දශය ද, අනුසය අපගත දෙක ද යන මේ සූත්‍ර දොළසින් වර්‍ගය කියනු ලැබේ.
රාහුල සංයුත්තය නිමියේ ය.
7. ලක්ඛණ සංයුත්තය
1. ප්‍රථම වර්‍ගය
7. 1. 1.
අට්ඨිසඞ්ඛලික සූත්‍රය
362. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ද ගිජුකුළුපව්වෙහි වැඩවෙසෙති. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්ඛණ තෙරුන්ට “ඇවැත්නි, ලක්ඛණයෙනි, යමු, රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි මෙය කීහ. ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ගිජුකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද? ප්‍රත්‍ය කවරේ දැ”යි මෙය කීහ. ඇවැත්නි, ලක්ඛණයෙනි, මේ ප්‍රශ්නයට නො කල් ය. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රශ්නය මා විචාරව යි.
ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහ නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: මෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ගිජිකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”යි?
ඇවැත්නි, මෙහි මම ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ඇටසැකිල්ලක් වූ (ප්‍රේතයකු දිවැසින්) දිටිමි. (යක්) ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ ඇටසැකිල්ල ලුහුබඳිමින් ඉළඇට අතරින් විදිත්. ඒ ඇටසැකිල්ල බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි, ඒ මට “භවත්නි, ආශ්චර්‍ය්‍යෙක් ම ය! භවත්නි, අද්භුතයෙක් ම ය! මෙබඳු වූත් සත්ත්‍වයෙක් වේ ද! මෙබඳු වූත් යක්‍ෂයෙක් වේ ද! මෙබඳු වූත් අත්බැව් ලැබීමෙක් වේ දැ!යි මේ අදහස විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් හෙයකින් සව්වෙක් ද මෙබන්දක් දන්නේ හෝ දක්නේ හෝ සාක්‍ෂ්‍ය කරන්නේ හෝ වේ ද, එහෙයින් උපන් (දිව) ඇස් ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, උපන් (දිව) නැණ ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මා විසින් පෙර ම දක්නා ලද්දේ විය. එහෙත් මම නො පැවසුවෙමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු (නොදැනීමෙන්) මා වදන නො අදහන්නාහු (විය හැකි) ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයෙක් (ගෙරින් නසා ඇටෙන් මස් මුදා විකොට වැටෙන්නෙක්) විය. හෙ තෙමේ ඒ කර්‍මයෙහි විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සියගණන් බොහෝ වස් දහස් ගණන් බොහෝ වස් සියදහස් ගණන් නිරයෙහි පැස ඒ කර්‍මයාගේ ම ඉතිරි විපාකයෙන් (අට්ඨිසඞ්ඛලික පේතව) මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
(මෙය ම මතු දැක්වෙන සියලු සූත්‍රයන්ගේ පෙය්‍යාලය වේ.)
7. 1. 2.
මාංසපෙසි සූත්‍රය
363. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි යන මස්වැදැල්ලක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ මස්වැදැල්ල ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඒ මස්වැදැල්ල ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෙරින් මරන්නෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 3.
මාංසපිණ්ඩ සූත්‍රය
364. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත් ,ඉරා කත්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි ... මහණෙනි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 4.
නිච්ඡවි සූත්‍රය
365. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම බැටෙළුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 1. 5.
අසිලෝම සූත්‍රය
366. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ අසිලොම් (=කඩුමුවා ලොම්) ඇති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි . ඔහුගේ ඒ අසි උඩ නැග නැග ඔහුගේ ම සිරුරෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම හුරුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 6.
සත්තිලෝම සූත්‍රය
367. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සැත්ලොම් (=සැත්මුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ සැත් උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම මුවවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 7.
උසුලොම සූත්‍රය
368. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හීලොම් (=හීමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හී උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම වධකයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.