Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 4601-4700 න් 15083

ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) කාමයන් කෙරෙන් වෙන් ව ම, අකුශල ධර්‍මයන් කෙරෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි.
ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒතාක්) (නවානුපූර්‍ව විහාර සමාපත්තීන්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද විස්තරය පෙය්‍යාලයෙන් දත යුතු යි)
ඇවැත්නි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වෙසෙමි.
ඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් වූ හෝ ඇතකු තලපතෙකින් වැසිය හැකි ය යි හඟනේ ය.
ථුල්ලනන්‍දා මෙහෙණ බඹසරින් ච්‍යුත වූවා ය.
4 .1. 12.
තථාගත පරම්මරණ සූත්‍රය
295. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි පලසමවතින් නැගී සිටියෝ ආයුෂ්මත් කසුප් තෙරුන් වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරුන්ට මෙය කීහ.
ඇවැත්නි, කාශ්‍යපයෙනි, කිමෙක් ද, තථාගත (සත්ත්‍ව) තෙමේ මරණින් මතුවේ ද?
ඇවැත්නි, “සත්‍ව තෙමේ මරණින් මතු වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වේ ද?
ඇවැත්නි “සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වෙයි” යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ ද?
ඇවැත්නි, “සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි” යන මේද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ ද?
ඇවැත්නි, “සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වෙයි” යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
ඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද්දේ ද?
ඇවැත්නි, මෙය අර්‍ත්‍ථ සහිත වූයේ නො වෙයි. මගබඹසරට මුල් වූයේ නො වෙයි. කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස, ව්‍යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස නො පවතී.
එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
ඇවැත්නි, වැලි, කිමෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ද? ඇවැත්නි, ‘මේ දුකැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. ‘මේ දුක හටගැණීමේ හේතුව’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ‘මේ දුක නැති වීම වූ නිවන’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි ‘මේ දුක් නැති වීමට පමුණුවන පිළිවෙතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි.
ඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ද?
ඇවැත්නි, මෙය අර්‍ත්‍ථ සහිත ය. මෙය මගබඹසරට මුල් වූයේ ය. මෙය කළකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස, ව්‍යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පවතී. එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
4. 1. 13.
සද්ධම්මපතිරූපක සූත්‍රය
296. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි … වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ:
වහන්ස, යම් හෙයකින් පෙර ශික්‍ෂාපදයොත් ඉතා මඳ වූහු නම් ඉතා බොහෝ භික්‍ෂූහුත් රහත්බැව්හි පිහිටියාහු නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, දැන් යම් හෙයකින් ශික්‍ෂාපදයොත් ඉතා බොහෝ වෙත් නම් ඉතා මඳ වූ භික්‍ෂූහුත් රහත් බැව්හි පිහිටත් නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද?
කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්ත්‍වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්‍ෂාපදයෝත් ඉතා බොහෝ වෙති ඉතා මඳ වූ භික්‍ෂූහුත් රහත්බැව්හි පිහිටත්.
කස්සප, ලොව යම් තාක් සදහම් පිළිරුවෙක් (=සදහම් වැනි වූවෙක්) නූපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීමෙක් නො වේ. කස්සප, ලොව යම් කලෙක සදහම් පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ. කස්සප, යම් සේ ලොව යම් තාක් රන්බඳු දෙයක් නො හටගණී නම් ඒ තාක් රන් අතුරුදන් වීමෙක් නො වේ ද, කස්සප, ලොව යම් කලෙක රන්බඳු දෙයක් හටගණී නම් එකල්හි රන් පිළිබඳ අතුරුදන් වීම වේ ද, කස්සප, එසෙයින් ම ලොව යම් තාක් සදහම්පිළිරුවෙක් නූඋපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීම නො වේ. කස්සප, යම් කලෙක ලොව සදහම්පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ.
කස්සප, පඨවිධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. ආපෝධාතුව සදහම් අතුරුදන් නො කරයි. තේජෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වායෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වැලි, යම් කෙනෙක් මේ සදහම් අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහි ම උපදිත්.
කස්සප, යම් සේ නැව වඩාලා බඩු ගැණීමෙන් ම ගිලේ ද, කස්සප, එසෙයින් (පරියත්ති ආදීන් පිරීමෙන්) සදහම් අතුරුදන් නො වේ.
කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පසෙක් සදහම්හුගේ නැසීම පිණිස අතුරුදන් වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්.
කස්සප, මේ සසුන්හි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී.
කස්සප, මේ දහම් පසෙක් සදහම්හුගේ පැවැත්ම පිණිස නොනැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්: කස්සප, මෙසස්නෙහි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. කස්සප, මේ දහම්පස සදහම්හුගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී.
කස්සපවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය :
සන්තුට්ඨ, අනොත්තාපී, චන්‍දොපම, ජිණ්ණ යන සූත්‍ර ය, ඕවාද සූත්‍ර තුණ ය, ඣානාභිඤ්ඤා, උපස්සය, චීවර, පරම්මරණ, සද්ධම්මපතිරූපක සූත්‍ර ය යි සූත්‍ර තෙළෙසකි.
කස්සපසංයුත්තය නිමියේ ය.
5. ලාභසක්කාර සංයුත්තය
1. දාරුණ වර්‍ගය
5. 1. 1.
දාරුණ සූත්‍රය
297. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය. එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා බැහැර කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂයකොට ගෙන නොම සිටිනේ” ය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 1. 2.
බළිස සූත්‍රය
298. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, යම් සේ බිළී වැද්දෙක් ඇමින් යුත් බිළිය ගැඹුරු දිය විලෙක බහන්නේ ද, ඇමෙහි ලූ ඇස් ඇති එක්තරා මසෙක් එය ගිලින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මසු තෙමේ බිළිය ගිලගත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ බිළීවැදි විසින් කැමති සේ කටයුත්තෙක් වන්නේ ය. මහණෙනි, “බිළීවැද්දා” යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, “බිළිය” යනු ලාභසත්කාර කීර්තිප්‍රශංසාවනට මේ නමෙකි.
මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළී ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය, මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නොම සිටිනේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 1. 3.
කුම්ම සූත්‍රය
299. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...
මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා දියවිලෙක මහ කැසුප් කුලක් දිගුකලක් වුසුයේ විය. මහණෙනි, එකල්හි එක්තරා කැසුබුවෙක් අනෙක් කැසුබුවකුට “පුත, කැස්බ, තෝ මේ පෙදෙසට නො යා”යි මෙය කී ය. ඒ කැසුබු ඒ පෙදෙසට ගියේ ය. උහුට වැද්දෙක් යොත් බන් යකටුවකින් විද්දේ ය. මහණෙනි, එකල්හි ඒ කැසුබු ඒ කැසුබුවා වෙත එළඹියේ ය. මහණෙනි, ඒ කැසුබු තෙමේ එන්නා වූ ඒ කැසුබුවා දුර දී ම දැක්කේ ය. දැක ඒ කැසුබුවාට මෙය කී ය. පුත, කැස්බ, කිම? තෝ ඒ පෙදෙසට නො ගියෙහි ද? පියේ, කැස්බ, මම ඒ පෙදෙසට ගියෙමි යි. පුත, කැස්බ, කිම? අක්‍ෂත (නුබුන් සිරුරු ඇති) යෙහි ද? අනුපහත (නොනැසුනේ) වෙහිද? පියේ කැස්බ, අක්‍ෂතයෙමි, අනුපහතයෙමි. එහෙත් මා පසුපස ලුහුබැඳි මේ හුයෙක් ඇතැයි.
පුත, කැස්බ, ඒකාන්තයෙන් ක්‍ෂත වූයේ උපහත වෙහි. පුත, කැස්බ, මේ හුයෙන් තාගේ පියහු ද මුත්හු ද දුකට පැමිණියහ. විපතට පැමිණියහ. පුත, කැස්බ, දැන් තෝ යව. දැන් තෝ අපගේ නො වෙහි යි.
මහණෙනි, ‘වැද්දා’ යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, ‘යකටු’ යනු ලාබ සත්කාර කීර්ති ප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ‘හුය’ යනු තෘෂ්ණාවට මේ නමෙකි. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිජු වූයේ යකටුවෙන් දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 4.
දීඝලෝමි ඵලක සූත්‍රය
300. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...
මහණෙනි, යම් සේ දික් ලොම් ඇති එළුදෙනක් කටුලැහැබකට පිවිසියා ද, ඕ ඒ ඒ තන්හි ඇලෙන්නී ය. ඒ ඒ තන්හි ගැණෙන්නී ය, ඒ ඒ තන්හි බැඳෙන්නී ය. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙන්නී ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඬනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසේ ද, හෙතෙමේ ඒ ඒ තන්හි ඇලෙයි, ඒ ඒ තන්හි ගැණෙයි, ඒ ඒ තන්හි බැඳෙයි. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා බැහැර ලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 5.
මීළ්හක සූත්‍රය
301 සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. ...
මහණෙනි, යම්සේ වර්චස් බුදින වර්චස් භරිත වර්චසින් පිරුණු මීළ්හක (වර්චස් බුදිනා) පණුවෙක් වේ ද, ඉදිරියෙහිත් මහා වර්චස් පිඩෙක් වන්නේ ද, ඕ එයින් “මම් වූ කලි වර්චස් කන්නෙම් වර්චස් භරිතයෙම් වර්චසින් පිරුණෙම් වෙමි. මා ඉදිරියෙහිත් මේ අශූචිපිඩෙක් වේ ය”යි අන් මීළ්හකාවන් ඉක්මවා සිතයි.
මහණෙනි, එසෙයින් ම ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද්දේ හාත්පසින් පැහැරගන්නා ලද හිත් ඇත්තේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේ. හෙතෙමේ එහි දී ඇති තාක් වළඳුයේත් සෙට පිණිස පවරණ ලද්දේත් වෙයි. පිණ්ඩපාතය ද පිරුණේ වන්නේ ය. හෙතෙම අරමට ගොස් මහණගණා මැද “මම ඇති තාක් වැළඳුයෙම් ද වෙමි. සෙට පිණිස පවරණ ලද්දෙම් ද වෙමි. මාගේ මේ පිණ්ඩපාතය ද පිරුණේ ය. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෙම් ද වෙමි. මේ අන් මහණහු මඳ පිණැත්තහ, අල්පේශාක්‍යයහ. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලහ”යි තමා වණයි. හෙ තෙමේ ඒ ලාබ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් ඉක්මවා සිතයි. මහණෙනි, එය ඒ හිස්පුරුෂයාහට දිඟුකලක් අහිත පිණිස දුක් පිණිස වේ. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
5. 1. 6.
අසනිවක්ක සූත්‍රය
302. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය, ...
මහණෙනි, හෙනසක කවරකු කරා පැමිණිය හෙයි ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්‍ෂයා වෙත ය. ලාභසත්කාර කීර්තිප්‍රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හෙනසක” යනු ලාභසත්කාර කීර්තිප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
දිද්ධවිසල්ල සූත්‍රය
303. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, විසපී විස වැකි හුලෙකින් කවරකුට විදිය හේ ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්‍ෂයාට ය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හුල” යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 8.
සිගාල සූත්‍රය
304. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන ජරසිවලකුගේ හඬ ඇසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවලා උක්කණ්ටක නම් රෝග ජාතියෙන් පහස්නා ලද්දේ බිලයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ ශූන්‍යාගාරයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 9.
වේරම්බ සූත්‍රය
305. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, මතු අහසෙහි වේරම්බ නම් වාතයෝ හමත්. එහි යම් පක්‍ෂි (වාලිහිණි)යෙක් යේ නම් ඒ මූ වේරම්බ වාතයෝ දමාපියත්. වේරම්බ වාතයෙන් දමා ලූ උගේ පාදයෝ අන් දෙසකට යෙත්. පියාපත් අන් දෙසකට යේ. හිස අන් දෙසකට යේ. කය අන්දෙසකට යේ.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නොරක්නා ලද කයින් යුතු ව ම නොරක්නා ලද වචනයෙන් යුතුව ම නොරක්නා ලද සිතින් යුතුව ම නො රක්නා ලද සිහියෙන් යුතු ව ම සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ම ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේද, හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගමක දකී ද, නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගම දැකීමෙන් ඔහුගේ සිත රාගය තෙමේ වනසයි. හෙතෙමේ රාගයෙන් වනසන ලද සිතින් සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරළෙයි. අන්නු ඔහුගේ සිවුර හැර ගණිත්. අන්නු පාත්‍රය හැර ගණිත්, අන්නු නිසීදනය හැර ගණිත්. අන්නු හිදිගුලාව හැර ගණිත්. වේරම්බ වාතයෙන් බැහැර ලූ පක්‍ෂියාගේ (අවයව) මෙනි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු යි ... උපන් ලාභ සත්කාරකීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 10.
සගාථ සූත්‍රය
306. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, මෙහි මම ලාභ සත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, මෙහි මම අසත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, මෙහි මම සත්කාරයෙන් ද, අසත්කාරයෙන් ද යන දෙකින් ම මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළසේක:
සත්කාර කරණු ලබන අප්‍රමාණ සමාධිවිහරණ ඇති යමකුගේ සමාධිය අසත්කාරයෙන් ද සත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ ද,
ධ්‍යාන කරණසුලු සතතක්‍රියා ඇති සූක්‍ෂම දෘෂ්ටි හා විදර්‍ශනා ඇති උපාදානක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි ඇලුනු ඔහුට සත්පුරුෂයා යි කියති යි.