වහන්ස, මම ප්‍රයෝජන දෙකක් දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද වෙමි පිණ්ඩපාතික ද … පාංශුකූලික ද ... තෙචීචරිකද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද ... ප්‍රවිවික්තද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි: තමාගේ ඉහාත්ම සැපවිහරණය දකිමිනුත් “පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙන්නේ නම් මැනවැ” යි පශ්චිම ජනතාවට අනුකම්පා කරමිනුත් ය. යම් ඒ බුදු අනුබුදු සව්වෝ වූහු ද ඔහු දිගුකලක් අරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද වූහ පිණ්ඩපාතික ද ... වූහ. පාංශුකූලික ද ... වූහ. තෙචීවරික ද වූහ අල්පෙච්ඡ ද ... වූහ සන්තුෂ්ට ද … වූහ ප්‍රවිවික්ත ද … වූහ අසංසෘෂ්ට ද වූහ. ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුවෝ ද වූහ. ඔහු ඒ පිණිස පිළිපදනාහ. ඔවුනට එය දිගුකලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.
වහන්ස, මම මේ ප්‍රයෝජන දෙක දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද ... පිණ්ඩපාතික ද ... පාංශුකූලික ද ... තෙචීවරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.
කාශ්‍යප, මැනවි, මැනවි. කාශ්‍යප, තෙපි බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත වැඩ පිණිස පිළිපන්නහු ය. කාශ්‍යප, එහෙයින් තෙපි හණපිලියෙන් කළ පරිභෝගයෙන් මාලු වූ පවුල්සිවුරුම දරවු. පිඬු පිණිසත් හැසිරෙවු වෙනෙහිත් වෙසෙවු යි.
4. 1. 6.
ඕවාද සූත්‍රය
289. රජගහනුවර–
එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “කස්සප, භික්‍ෂූන්ට අවවාද කරව. කස්සප, භික්‍ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්‍ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු)” යි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂූහු නො කිකරුහ. නො කීකරු බව කරණ දැයින් යුත්තයහ. නො ඉවසන්නෝ ය, අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, මෙහි මම ආනන්‍දගේ සද්ධිවිහාරික වූ භණඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද “මහණ, එව, කවරෙක් (ධර්‍මකථාවෙහි) ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට කියන්නේද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියනුවන් දිටිමි යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ, මහණ, එව, තෝ මාගේ වචනයෙන් “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ” යි ආනන්‍දගේ සද්ධි විහාරික වූ භණ්ඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද කැඳව” යි එක්තරා මහණකු ඇමතූ සේක. වහන්ස, එසේ යයි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ”යි මෙය කී ය. “ඇවැත්නි, එසේ ය” යි ඒ භික්‍ෂූහු ඒ මහණහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සැබෑ ද තෙපි “මහණ, එව කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු (මිහිරි) කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියවු ද? වහන්ස, එසේ ය යි.
මහණෙනි, “තෙපි එවු, ‘මහණ එව කවරෙක් ඉතා වැඩියක් බණන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට, බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ’ යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියවු” යි මවිසින් එසේ දෙසූ දහමක් කිම, තෙපි දන්නහු ද? වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, තෙපි මා විසින් “මෙසේ දහම් දෙසන ලදැ”යි ඉදින් නො දන්නාහු නම් එසේ කල්හි, මෝඝ (හිස්) පුරුෂයෙනි, තෙපි දැන් කුමක් හෙයින් කුමක් දන්නාහු, කුමක් දක්නාහු මෙසේ ස්වාක්ඛ්‍යාත ධර්‍මවිනයෙහි - ශාසනයෙහි පැවිදි වූවාහු, “මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කියවු ද?
ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ පාහි හිසින් වැටී, “වහන්ස, යම් බඳු අපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ ශාසනයෙහි පැවිදි වූවාහු ම “මහණ එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක් බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීම්හ, අපගේ වරද බාලයන් සේ මෝඩයන් සේ අදක්‍ෂයන් සේ ඒ අප ඉක්මවා ගියේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ අපගේ වරද ආයති සංවරය පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි. යචචා කළහ.
මහණෙනි, යම් බඳු තෙපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ සසුනෙහි පැවිදි වූවාහු ම ‘මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් සොඳුරු කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් කියන්නේ දැ” යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීවහු ද, බාලයන් සේ මෝඩයන් සේ අදක්‍ෂයන් සේ ඒකාන්තයෙන් වරද ඒ තොප ඉක්ම ගියේ ය. මහණෙනි, යම් හෙයකින් තෙපි වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කරවු ද, තොපගේ ඒ වරද අපි පිළිගණිමු මහණෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, මතුත් සංවරයට පැමිණේ ද, ආර්‍ය්‍යශාසනයෙහි මේ වැඩීමෙකි යි.
4. 1. 7.
දෙවන ඕවාද සූත්‍රය
290. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක කස්සප, භික්‍ෂූන්ට අවවාද කරවු කස්සප, භික්‍ෂූන්ට දැහැමි කතා කරවු. කස්සප, මම හෝ භික්‍ෂූන්හට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) කස්සප, මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (දැහැමි කතා කරවු යි.)
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂූහු දුර්වවහ. දුවවබැව් කරණ දහමින් සමන්‍විතහ. නො ඉවසන්නෝ ය. අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, යම් කිසිවකුට කුසල් දහම්හි සැදැහැ නැද්ද, කුසල්දහම්හි හිරි නැද්ද, කුසල්දහම්හි ඔතප් නැද්ද, කුසල්දහම්හි වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.
වහන්ස, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් සඳ පැහැයෙන් පිරිහේ ම ය, මඬලින් පිරිහේ ම ය, දීප්තියෙන් පිරිහේම ය, උසමහතින් පිරිහේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ නැද්ද, … හිරි නැද්ද, … ඔතප් නැද්ද, ... වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.
වහන්ස, ‘සැදැහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, ‘හිරි නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කුසීත පුරුෂපුද්ගලයා, යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘දුෂ්ප්‍රාඥ පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, අවවාද කරණ භික්‍ෂූහු නැත්තාහ යන’ මෙය පිරිහීමෙකි.
වහන්ස, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, කුසල්දහම්හි හිරි ඇද්ද, කුසල්දම්හි ඔතප් ඇද්ද, කුසල්දහම්හි වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමති විය නොහේ.
මහණෙනි, පුරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උසමහතින් වැඩේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, … හිරි ඇද්ද, … ඔතප් ඇද්ද, … වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමැති විය නොහේ.
වහන්ස, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘හිරි ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඇරඹූ වෑර ඇති පුරුෂපුද්ගලයා යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘නුවණැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘නො කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘බද්ධවෛර නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘අවවාද කරණ භික්‍ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි.
කස්සප, මැනවි, මැනවි. කස්සප, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද … වැර නැද්ද, කුසල් දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි හානිය ම කැමති විය යුතු. වැඩීම කැමති විය නො හේ.
කස්සප, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් පිරිහේ ම ය. මඬලින් පිරිහේම ය. දීප්තියෙන් පිරිහේ ම ය. උසමහතින් පිරිහේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල් දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද ... වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම් හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.
කස්සප, ‘සැදැහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. හිරි නැති … ඔතප් නැති … කුසීත … නුවණ නැති … කිපෙනසුලු … කස්සප, ‘බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්‍ෂූහු නැත්තාහ’ යන මෙය පිරිහීමෙකි.
කස්සප, යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, හිරි … ඔතප් ... වැර … කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු ය. පිරිහීම කැමති නො විය යුතු යි.
කස්සප, යම්සේ පුර සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උස්මහතින් වැඩේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද … හිරි ඇද්ද … ඔතප් ඇද්ද ... වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු. පිරිහීම කැමති නො විය යුතු යි.
කස්සප, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. හිරි ඇති ... ඔතප් ඇති … ඇරඹු වෙර ඇති ... නුවණ ඇති … නො කිපෙන සුලු … ‘බද්ධවෛරය නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්‍ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි යි.
4. 1. 8.
තෙවන ඕවාද සූත්‍රය
291. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: කස්සප, භික්‍ෂූන්ට අවවාද කරව. කස්සප භික්‍ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්‍ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු ) යි.
වහන්ස, දැන් භික්‍ෂූහු දුවචහ. දුවචබව කරණ දහමින් සමන්‍විතහ. නො ඉවසන්නෝය. අනුශාසනාව නුහුරට ගන්නෝය යි.
කස්සප, ඒ එසේ මැ යි. පෙර ස්ථවිර භික්‍ෂූහු ආරණ්‍යක වූවොත්, ආරණ්‍යක බැව්හි ගුණ කියන්නෝත් වූහ. පිණ්ඩපාතික වූවොත්, පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නෝත් වූහ. පාංශුකූලික වූවොත්, පාංශුකූලික බැව්හි ගුණ කියන්නෝත් වූහ. තෙචීවරික වූවෝත්, තෙචීවරික බැව්හි ගුණ කියන්නෝත් වූහ. අල්පෙච්ඡ වූවොත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නෝත් වූහ. සන්තුෂ්ට වූවොත්, සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නෝත් වූහ. ප්‍රවිවික්ත වූවෝත්, ප්‍රවිවේකයෙහි ගුණ කියන්නෝත් වූහ. අසංසෘෂ්ටයෝත්, අසංසර්‍ගයෙහි ගුණ කියන්නෝත් වූහ. අරාබ්ධවීර්‍ය්‍යයෝත්, වීර්‍ය්‍යාරම්භයෙයි ගුණ කියන්නෝත් වූහ.
එහි යම් මහණෙක් අරණ්‍යකත් ආරණ්‍යක බැව්හි ගුණ කියන්නේත්, පිණ්ඩපාතිකත් පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නේත්, පාංශුකූලිකත් පාංශුකූලික බැව්හි ගුණ කියන්නේත්, තෙචීවරිකත් තෙචීවරික බැව්හි ගුණ කියන්නේත්, අල්පේච්ඡත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නේත්, සන්තුෂ්ටත් සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නේත්, ප්‍රවිවික්තත් ප්‍රවිවේකයෙහි ගුණ කියන්නේත්, අසංසෘෂ්ටත් අසංසර්‍ගයෙහි ගුණ කියන්නේත්, අරාබ්ධවීර්‍ය්‍යත් වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියන්නේත් වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගණුව” යි අසුනෙන් පවරත්.
කස්සප, එහි ලා නවක භික්‍ෂූන්ට “යම් ඒ මහණෙක් ආරණ්‍යකත් අරණ්‍යක බැව්හි ගුණ කියනුයේත් පිණ්ඩපාතිකත් … පාංශුකූලිකත් … තෙචීවරිකත් ... අල්පේච්ඡත් ... සන්තුෂ්ටත් ... ප්‍රවිවික්තත් ... අසංසෘෂ්ටත් ... අරාබ්ධවීර්‍ය්‍යත් ... වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියණුයේත් වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය, හිඳගණුවයි අසුනෙන් පවරති” යි මෙසේ අදහස් වේ නම් ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුන්ට එය දිගුකලක් හිත පිණිස සැප පිණිස වේ.
කස්සපය, දැන් ස්ථවිර භික්‍ෂූහු ආරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පිණ්ඩපාතික ද පිණ්ඩපාතික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පංසුකූලික ද පංසුකූලික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. තෙචීවරිකද තෙචීවරික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. අල්පෙච්ඡ ද අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. සන්තුෂ්ට බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. ප්‍රවිවික්ත ද ප්‍රවිවේකයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අසංසෘෂ්ට ද අසංසර්‍ගයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අරාබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුවෝ ද නො වෙති.
එහි යම් මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව මේ භික්‍ෂු තෙමේ කිනම් ද? මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන්ම සබ්‍රම්සරුනට කැමති ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගනුව” යි අසුනෙන් පවරත්.
කස්සපය, එහි දී නවක භික්‍ෂූන්ට “යම් ඒ මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වූයේ වේ නම් ස්ථවිර භික්‍ෂූහු ඔහුට ‘මහණ, එව මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සබ්‍රම්සරුන්ට කැමති ය. මහණ, එව මේ අසුනය හිඳගණුව’ යි අසුනෙන් පවරති” යි මෙසේ අදහස් වේ. ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුනට එය දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වෙයි.
කස්සපය, යම් හෙයකින් මැනවින් (සත්‍යය) කියන්නෙක් “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ ය”යි කියන්නේ නම්, කස්සපය, සත්‍යය කියන්නේ “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ” යි මෙසේ කියන්නේ යි.
4. 1. 9.
ඣානාභිඤ්ඤ සූත්‍රය
292. සැවැත්නුවර–
මහණෙනි, මම යම්තාක් කල් කැමති වන්නෙම් නම් (ඒ තාක්) කාමයන් ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම්තාක් කල් කැමති වන්නේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමහේතුවෙන් ස්වසන්තානයෙහි උපන් පැහැදීම ඇති, සිත්හුගේ එකලාව උපදනා උතුම් සමාධිය වඩන, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් ඒ තාක් විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශම හේතුවෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තෙම් ද සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද වෙසෙමි. සුව ද කයින් විඳිමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ තෘතීයධ්‍යාන සමන්‍විත පුද්ගලයා ‘උපේක්‍ෂකය, සිහි ඇත්තේ ය, සුඛවිහාර ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්‍වයෙහිම සොම්නස් දොම්නස් අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂායෙන් හටගත් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්මසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කල් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමයෙන් ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ” යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි.
මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) නන්වැදෑරුම් ඍද්ධි කොටස් වළඳමි. එකෙක් ව ද බොහෝ පරිදි වෙමි. බොහෝ පරිදි ව ද එකෙක් වෙමි. ප්‍රකටබව ද සැඟවුනුබව ද (කරමි.) බිතුසරස පවුරුසරස පවුසරස අහසෙහි මෙන් නො ගැටෙමින් යෙමි. පොළොවෙහි ද දියෙහි ද මෙන් මතු වීම කිමිදීම කරමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි ද යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙයි ද පලඟින් සක්මන් කරමි. මේ සා මහත් ඍද්ධි ඇති මේ සා මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්‍ශනය කරමි. පිරිමදිමි. බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) නන්වැදෑරුම් ඍද්ධි කොටස් වළඳ යි ... බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වයි.
මහණෙනි, මම යම් තාක් කැමති වෙම් ද, (ඒ තාක්) විසුද්ධ වූ මනුෂ්‍ය විෂය ඉක්ම පැවති දිව කණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසමි. මහණෙනි, කස්සප ද යම්තාක් කැමති වේ ද … (ඒතාක්) දිවකණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසයි.
මහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) අන්‍යසත්ත්‍වයන්ගේ අන්‍යපුද්ගලයන්ගේ සිත (තම) සිතින් පිරිසිඳ දැන ගණිමි: සරාග සිත හෝ සරාග සිතැයි දැන ගණිමි. වීතරාග සිත වීතරාග සිතැයි දැන ගණිමි. සදෝස සිත හෝ ... වීතදෝස සිත හෝ … සමෝහ සිත හෝ ... වීතමෝහ සිත හෝ … සඞ්ඛිත්ත සිත හෝ ... වික්ඛිත්ත සිත හෝ … මහග්ගත සිත හෝ … අමහග්ගත සිත හෝ ... සඋත්තර සිත හෝ … අනුත්තර සිත හෝ … සමාහිත සිත හෝ … අසමාහිත සිත හෝ ... විමුත්ත සිත හෝ ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තම සිතින්) පිරිසිඳ දැන ගණියි: සරාග සිත හෝ සරාග සිතැ යි දැන ගණියි ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණියි.
මහණෙනි, “මම යම්තාක් කැමති වෙම් ද (ඒ තාක්) පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙමි. ඒ මෙසේ යි: “එක ජාතියක් ද, දෙජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සාළිස් ජාතියක් ද, පණස් ජාතියක් ද, සිය ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් වැනසෙන කප් ද, නොයෙක් වැඩෙන කප් ද, නොයෙක් වැනසෙන වැඩෙන කප් ද” අසුවල් තැන මෙනම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයුකෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන පහළ වීමි. එහි දු මෙ නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව මෙහි උපන්මි” යි. මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: “එක් ජාතියක් ද … මෙහි උපන්මියි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.
මහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්මවා පැවති දිවැසින් සත්ත්‍වයන් දකිමි: ච්‍යුත වන, උපදින, හීන ප්‍රණීත, මනා පැහැ ඇති, නපුරු පැහැ ඇති, මනා ගති ඇති, නපුරු ගති ඇති, කර්‍ම වූ පරිදි පැමිණි සතුන් දැන ගණිමි: ‘මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්‍වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝ ය. මිථ්‍යාදුෂ්ටිකයෝ ය. මිථ්‍යාදුෂ්ටිකර්‍ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විවස ව පතිත වන, නිරයට පැමිණියාහු ය. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතහ. වාග්සුචරිතයෙන් සමන්‍වාගතහ. මනඃසුචරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යෝපවාද නො කරන්නෝ ය. සම්‍යග්දෘෂ්ටි ගත්තෝ ය. සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහයි, මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකිමි. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකී. … ච්‍යුත වන උපදින හීනප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දැන ගණියි.
මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත් ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙ යි.
4. 1. 10.
භික්ඛුනු උපස්සය සූත්‍රය
293. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ පෙරවරු හැඳ පොරවා පා සිවුරු ගෙණ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය- එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.
ඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.
දෙවන වට දු ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.
ඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.
තෙවන වට දු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.
එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන ආයුෂ්මත් අනඳතෙරුන් පසුමහණහු කොට ගෙණ එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන්හ.
එකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මෙහෙණන් ආයුෂ්මත් මහසුප් තෙරනණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කළහ ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ඒ මෙහෙණන් දැහැමි කතායෙන් කරුණු දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩියහ.
එකල්හි ථූල්ලතිස්සා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, ආර්‍ය්‍ය වු මහා කාශ්‍යප තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහ මුනි ආනන්‍ද තෙරණුවන් හමුයෙහි දහම් බිණිය යුතු යි හගිද්ද? යම් සේ හිදි වෙළෙඳෙක් හිදිකරු ලඟ හිදි විකිණිය යුතු ය යි හඟනේ නම්, එසෙයින් ම ආර්‍ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහ මුනි අනඳ තෙරුන් හමුයෙහි දහම් බිණිය යුතු යි හඟිති” යි නො සතුටු වදන් බිණුවා ය.
ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථූල්ලතිස්සා මෙහෙණ මේ වදන් කියද්දී (අනෙකෙකු විත් සැළකළ පරිදි) ඇසූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට “ඇවැත්නි, ආනන්‍දයෙනි, කිමෙක් ද, මම හිඳි වෙළෙඳෙකිම් ද? තෙපි හිඳිකරුද? නොහොත් මම හිඳි කරු වෙම් ද? තෙපි හිඳි වෙළෙඳෙක් දැ” යි? මෙය කීහ “වහන්ස කාශ්‍යපයෙනි, කමා කළ මැනවි. මාගම මෝඩය” යි.
ඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි සිටිවු. බික්සඟ තෙමේ මතු (අතිරේක කරුණෙක්හි) තොප නොපිරික්සාවා. (තොප කෙරෙහි භික්ඛුනී සත්‍ථවාදීන් සැක නො කෙරේවා.)
ඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ කිමැයි හඟිවු ද? “මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, ආනන්‍දත් යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන කෙරෙහි (බුදුනට ප්‍රතිභාග ශ්‍රාවකයෙකු වශයෙන්) පමුණුවන ලදහු ද?
‘වහන්ස, මෙය නො වේ මය.’
ඇවැත්නි, මම් වූ කලි “මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් යම් තාක් කල් කැමැති වේ ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙ”යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්ඟන කෙරෙහි (බුද්ධප්‍රතිභාග ශ්‍රාවක වශයෙන්) පමුණුවන ලද්දෙම් වෙමි.
(ප්‍රථමධ්‍යානාදී නවවිධ අනුපූර්‍ව විහාරසමාපත්තීන්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද පෙය්‍යාලය දතයුතු.)
ඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ කුමැයි හඟිවු ද, “මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, ආනන්‍දත් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵල සමාධියත්, අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ” යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලදහු ද?
‘වහන්ස, එය නො වේ ම ය.’
“මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ” යි මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලද්දෙමි.
ඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් (=සත්රියන් හමාරක්) වූ හෝ ඇතකු තල්පතකින් වැසිය හැකි ය යි හඟනේ ය.
ථුල්ලතිස්සා මෙහෙණ බඹසරින් චුත වූවා ය.
4. 1. 11.
චීවර සූත්‍රය
294. එක් සමයෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ මහත් බික්සඟන සමග දක්ඛිණාගිරි දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බෙහෙවින් තරුණ වූ තිසක් පමණ භික්‍ෂූහු සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරලුනාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ දකුණුගිරි දනව්වෙහි කැමතිතාක් චාරිකා කොට රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ මෙය කීහ:
“ඇවැත්නි, ආනන්‍දයෙනි, කෙතෙක් කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය* පණවන ලද්දේ දැ” යි.
වහන්ස, කාශ්‍යපයෙනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි: දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස ද, ප්‍රියශීල භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස ද, ලාමක අදහස් ඇත්තෝ, (කුලවිනවා බුදිමින්) පක්‍ෂය (=එවැනි ලාමකයන්ගෙන් ම වඩාගත් සමූහයා) නිසා සඞ්ඝයා නො බිඳිත්වා යි ද, වැලි කුලයන් කෙරෙහි වූ අනුද්දයාව නිසා ද වේ. වහන්ස, කාශ්‍යපයෙනි, මේ කරුණු තුණ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි.
ඇවැත්නි, ආනන්‍දයෙනි, ඉදින් එසේ නම් කුමක් හෙයින් තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුනු මේ නව භික්‍ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු ද? ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. අවැත් ආනන්‍දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් තරුණ වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
“වහන්ස, කාශ්‍යපයෙනි, මගේ හිසෙහි පලිතයෝත් (=පැසුනු කෙසුත්) හට ගත්හ. එහෙත් අද දු ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ගේ කුමරක වාදයෙන් නො මිදෙමු” යි.
ඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ එසේ මැයි: (කුමරකයන් වෙනම හැසිරෙණ බැවින් තෙපි දු කුමරක වාදයට නිසි ය යි සූ යේ ය:) තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදිවැරීමෙහි නො යෙදුණු මේ නවක භික්‍ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු. ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. ඇවැත්නි ආනන්‍දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් නවක වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
ථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍ය වූ මහසුප් තෙරුන් විසින් ආර්‍ය්‍ය වූ වේදේහ මුනි ආනන්‍ද ස්ථවිර තෙමේ කුමරකවාදයෙන් ගරහන ලදැ” යි ඇසූ. එකල්හි ථුල්ලනන්‍දා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, පෙර අන්තොටු වූ ම ආර්‍ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහමුනි ආනන්‍ද තෙරුන්ට කුමරක වාදයෙන් ගැරහිය යුතු ය යි සිතද්දැ”යි නො සතුටු වදන් පහළ කළා ය.
ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථුල්ලනන්‍දා මෙහෙණ මේ වචන කියද්දී අසූහ. ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ විසින් ඒකාන්තයෙන් කරුණු නො සලකා ද්වේෂයෙන් වචන කියන ලදි. ඇවැත්නි, මම යම් කලෙක කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, (එවක් පටන්) ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ හැර අන් ශාස්තෘවරයකු (මගේ ශාස්තෘ ය යි) උදෙසන්නට (=උදෙසූ බවක්) නො දනිමි.
ඇවැත්නි, පෙර ගිහිවූ ම මට “ගෘහවාසය සම්බාධ (=අවකාශ රහිත) ය, කෙලෙස් රජස් රැස්වන මග ය. පැවිද්ද අභ්‍යවකාස ය. ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරුසුදු දෙවූ සකක් බඳු කොට (මොහොතකුදු මල නො ගන්වා හැසිරිය යුතු) මේ බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඇවැත්නි, ඒ මම පසුකලෙක මහඟුවත් කඩකපාගත් පිලියෙන් සඟල (සිවුරක්) කොට ගෙණ ලොව යම් රහත්හු වෙත් නම් ඒ රහතුන් උදෙසා කෙස් රැවුල් බා ඒ කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි.
ඒ මම මෙසේ පැවිදි වූයෙම් ම අදන් මගට පිළිපන්නෙමි. රජගහනුවරට ද නාලන්‍දාවට ද අතර බහුපුත්ත සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටිමි. දැක “මම ශාස්තෘවරයකු දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම මාගේ ශාස්තෘවශයෙන් දක්නෙමි. මම සුගත කෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි. මම සම්මාසම්බුදුකෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි” යි මට මේ සිත විය. ඇවැත්නි, ඒ මම එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා වෙත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි” යි{*} මෙය සැළකෙළෙමි.
ඇවැත්නි, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: “කස්සප, යමෙක් මෙසේ මුළුහිතින් සමන්‍විත වූ සවුවකු (ගුණවිසින්) නො දන්නේ ම දනිමි යි (ස්වකීය ශාස්තෘභාවය ප්‍රතිඥා කෙරේ ද) නොදක්නේ ම දකිමි යි කියා ද, ඔහුගේ හිසත් ගිලිහෙන්නේ ය. (සත්කඩකට) පැලෙන්නේය. කස්සප, මම වනාහි (මාගේ ශාස්තෘභාවය) දන්නෙම් ම දනිමි යි කියමි. දක්නෙම් ම දකිමියි කියමි.{†}
කස්සප, එහෙයින් (මා ශාස්තෘ බැවින්) තොප විසින් මෙහි මෙසේ හික්මියයුතු: “ස්ථවිර නව මධ්‍යම භික්‍ෂූන් කෙරෙහි මාගේ දැඩි හිරි ඔතප් එළඹ සිටියේ වන්නේ” ය යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතු. “කුසල් ඇසුරු කළ යම්කිසි දහමක් අසන්නෙම් නම් ඒ සියලු දහම (තමහට අර්‍ත්‍ථයකැයි) අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කරමින් මුළුහිත එක්කොට යොමු කළ කන් ඇති ව අසන්නෙමි” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ ම හික්මිය යුතු “සුඛසම්ප්‍රයුක්ත (ප්‍රථමධ්‍යාන සුඛයෙන් යුක්ත) වූ මාගේ කායගතාසතිය, නො මා හරණේ ය” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ (ත්‍රිවිධ)අවවාදයෙන්{‡} මට අවවාද කොට හුනස්නෙන් නැගී වැඩිසේක.
ඇවැත්නි, මම සත්දවසක් ම රටවැසියා විසින් දෙන පිණ්ඩාහාරය නය ගැති ව වැළඳුවෙමි ඉක්බිති අටවැනි දිනයෙහි මට රහත් බව පහළ විය.
ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. ඇවැත්නි, එකල්හි මම පටපිලෝතිකායේන් කළ සඟල සිවුර සිවුගුණු කොට පණවා භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ හිඳින සේක්වා, දිගු කලක් එය මට හිත පිණිස සැප පිණිස වනු ඇතැයි” මෙය සැළකෙළමි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩහුන් සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ “කස්සප, මේ පටපිලෝතිකා සඞ්ඝාටිය මෘදු ය”යි මෙය මට වදාළ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ පටපිලෝතිකා සඞ්ඝාටිය අනුකම්පා කොට පිළිගන්නා සේක්වා යි සැළකෙළෙමි.
කස්සප, තෙපි පරිභෝගයෙන් දිරාගිය හණවැහැරි (පිළි) යෙන් කළ මාගේ පවුල්සිවුරු දරන්නෙහි ද? වහන්ස, මම පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුරු දරන්නේමි යි.
ඇවැත්නි, මම මහඟුවත් කඩ කපා කළ සඟළසිවුර භාග්‍යවතුන් වහන්සේට ප්‍රදානය කෙළෙමි. පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුර මම පිළිගතිමි. ඇවැත්නි, මැනවින් සත්‍යය කියන්නෙක් “මුවෙන් (බුදුමුවෙන් නිකුත් අවවාදයෙන්) උපන්, ධර්‍මයෙන් හටගත්, ධර්‍මයෙන් නිමියා වූ ධර්‍මය දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර (ලෙහි උපන් පුතා)ය”යි ඒ යමකු සඳහා කියන්නේ නම්’ මැනවින් කියන්නේ “මුවෙන් උපන්, දහමෙන් හටගත්, දහමෙන් නිමියා වූ, දහම දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ උරදාපුත්ය” යි ඒ මට කියන්නේ ය.