එකල්හි භාග්‍යවතුන් වහන්සේට “පාවානුවර වැසි මේ තිස්නමක් පමණ වූ භික්‍ෂූහු සියල්ලෝ ම ආරණ්‍යකහ. පිණ්ඩපාතිකහ. පාංශුකූලිකහ. තෙචීවරිකහ. සියල්ලෝ ම සංයෝජන සහිතහ. ඉදින්, මේ අසුන්හි දී ම ඔවුන්ගේ සිත් උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් යම් සේ මිදේ නම් එසේ මම මොවුනට දහම් දෙසන්නේ නම් මැනැවැ”යි මේ සිත විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, මෙසසර අවිදිතාග්‍ර ඇතියේ ය. අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයන්ගේ පූර්‍වකෝටිය නො පෙණේ. මහණෙනි, ඒ කිමැයි හගිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස් සුන් තොපගේ වෑහුනු වැගිරුණු යම් පමණ ලෙයෙක් වේ ද, සිවුමහසමුදුරෙහි යම් පමණ ජලයෙක් වේද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?
“වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මය යම් සේ දනිවු නම්, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් අපගේ වෑහුණු වැගුරුණු යම් ලෙයෙක් වේ ද, ඒ ලෙය ම ඉතා වැඩි ය. සිවුමහ සමුදුරෙහි ජලය නො ම වැඩි ය.”
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්‍මය මෙසේ දනිවු නම් මැනවි: මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු යම් ලෙයක් වේ නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගොජාතියෙහි ම ගොනුන් ව උපන් හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය ම (ඉතා වැඩිය.) සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මහිෂ ජාතියෙහි ම මිහි ව උපන් හිස්සුන් තොපගේ ... එළු ජාතියෙහි ම එළු ව උපන් ... තිරෙළු ජාතියෙහි ම තිරෙළු ව උපන් ... මුව ජාතියෙහි ම මුව ව උපන් ... හුරු ජාතියෙහි ම හුරු ව උපන් ... කුකුළු ජාතියෙහි කුකුළු ව උපන් … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගම්පහරණ සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මං පහරණ සොරු යි ගෙණ … පරඹුන් සෙවුනා සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුණු වැගුරුණු ලෙය ම (ඉතා වැඩි ය.) සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. ඒ කවර හෙයින යත්: මහණෙනි , මෙසසර නො පිරිසුන් කෙළවර ඇත්තේ ය ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. මේ ධර්‍මවිභාගය වදාරණු ලබන කල්හි තිස් නමක් පමණ පාවෙය්‍යක භික්‍ෂූන් ගේ සිත් උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුනේ ය.
3. 2. 4.
මාතු සූත්‍රය
277. සැවැත්නුවර–
මහණෙනි , මෙසසර නො දන්නා ලද අවධි ඇතියේය ... මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක් සතක්හු මවු නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙ සසර නො දන්නා ලද අවධි අතියේ ය ... මහණෙනි, මෙසේ දීර්‍ඝකාලයක් තොප විසින් දුක් විඳින ලදී … මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නට නිසිය. නො ඇලෙන්නට නිසිය. මිදෙන්නට නිසි ම ය.
3. 2. 5.
පිතු සූත්‍රය
278. සැවැත්නුවර–
මහණෙනි, මෙසසර අවිදිතාග්‍රය … මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක්සතක්හු පිය නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අවිදිතාග්‍රය ... මහණෙනි, එහෙයින් මිදෙන්නට නිසි ම ය. මිදෙන්නට සුදුසු මැ යි.
3. 2. 6.
භාතු සූත්‍රය
279. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිදිතාග්‍ර ඇතියේ ය. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් බෑයා නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
3. 2. 7.
භගිනි සූත්‍රය
280. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිදිතාග්‍ර ඇතියේ ය ... මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් බුහුන නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ … මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
3. 2. 8.
පුත්ත සූත්‍රය
281. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිදිතාග්‍ර අතියේ ය. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් පුතු නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වෙයි ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැයි.
3. 2. 9.
ධීතු සූත්‍රය
282. සැවැත්නුවර–
මහණෙනි, මෙසසර නො දන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයන්ගේ පූකෙළ (පූර්‍වාන්තය) නො පෙණෙයි. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි දූ නො වූ විරූ නම් එබඳු සතෙක් සුලබ නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද අග අතියේය අවිද්‍යාවෙන් බැඳුනු තෘෂ්ණාවෙන් ඇවුරුණු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණෙයි. මහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් දුක් විදින ලදී. තියුණු දුක් විඳින ලදී. ව්‍යසන විඳින ලදී. සොහොන හෝ පොළොව වඩනලදී. මෙයිනුදු මහණෙනි, සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.
3. 2. 10.
වේපුල්ලපබ්බත සූත්‍රය
283. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, මෙසසර නො පිරුසුන් අග ඇත්තේ ය අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයින්ගේ පුර්‍වකෝටිය නො පැණේ.
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට පාචීනවංස ම ය යි නම් විය මහණෙනි, එකල්හි මිනිසුන්ට තිවර යන නාමය විය. මහණෙනි, තිවර මිනිසුන්ට සතලිස්වස්දහසෙක් ආයුඃප්‍රමාණය විය. මහණෙනි, තිවර මිනිසුන්ට පාචීනවංස පර්‍වතයට සිවු දිනකින් නගිත්, සිවු දිනකින් බසිත්.
එකල්හි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යතුන් වහන්සේ ලොව පහළ වූ සේක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේට උතුම් සොඳුරු යුවලක් වූ විධුර, සඤ්ජීව නම් සවු යුවලෙක් විය. මහණෙනි, බලවු: මේ පර්‍වතයේ ඒ නාමය ද අතුරුදන් විය ඒ මිනිස්සු ද කලුරිය කළහ . ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිණිවුනහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අදධුවයහ. මෙසේ සංස්කාරයෝ අනස්සාසික (=අස්වැසිලි රහිත) ය හ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසිම ය. නො ඇලෙන්නට නිසි ම ය . මිදෙන්නට නිසි මැ යි .
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට වඞ්කක යන නාමය ම වි ය . මහණෙනි, එකල්හි මිනිසුන්ට රෝහිතස්ස යන නාමය ම විය. මහණෙනි, රෝහිතස්ස මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය තිස්වස්දහසෙක් විය. මහණෙනි, රෝහිතස්ස මිනිස්සු වඞ්කක පර්‍වතයට තෙදිනකින් නගිත්. තෙදිනකින් බසිත්.
මහණෙනි , එකල්හි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයක් වූ භිය්‍යො, සුත්තර නම් සවු යුගයෙක් වීය මහණෙනි, බලවු: මේ පර්‍වතයාගේ ඒ නාමයත් අතුරුදන් විය ඒ මිනිස්සුත් කලුරිය කළහ ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට සුඵස්ස යන නාමය ම විය. මහණෙනි, එකල්හි මිනිසුන්ට සුප්පිය යන නාමය විය. මහණෙනි, සුප්පිය මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය විසිවස්දහසෙක් සේක් විය. මහණෙනි, සුප්පිය මිනිස්සු සුඵස්ස පර්‍වතයට දෙදිනකින් නගිත්, දෙදිනකින් බසිත්.
මහණෙනි, එසමයෙහි අර්‍හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයෙක් වූ තිස්ස, භාරද්වාජ නම් ශ්‍රාවක යුගයෙක් විය මහණෙනි, බලවු: මේ පර්‍වතයාගේ ඒ නමත් අතුරුදන් විය. ඒ මිනිස්සුත් කලුරිය කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.
මහණෙනි, දැන් මේ වේපුල්ලපර්‍වතයට වේපුල්ල යන නාමය ම විය. මහණෙනි, දැන් මේ මිනිසුන්ට මාගධක යන නාමය ම විය. මහණෙනි, මාගධක මිනිසුන්ගේ අයුඃප්‍රමාණය ඉතා ස්වල්ප ය, මද ය, ඉතා සුලුය යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙතෙමේ සියවසක් හෝ, ඉන් මදක් (දස - විසිවසක්) වැඩියෙන් හෝ ජීවත් වෙයි. මහණෙනි, මගධරට වැසි මිනිස්සු වේපුල්ල පර්‍වතයට මොහොතකින් නගිත්. මොහොතින් බසිත්.
මහණෙනි, දැන් වූ කලි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම ලෝකයෙහි උපන්මි. මහණෙනි, මට අගසොඳුරු යුවල වූ සැරියුත්, මුගලන් නම් සවු යුවල වේ. මහණෙනි, මේ පර්‍වතයාගේ යම් මේ නාමයක් වේ ද, එය අතුරුදන් වන්නේ නම්. ඒ කාලය වන්නේය. මේ මිනිස්සුත් කලුරිය කරන්නාහු ය. මමත් පිරිනිවෙන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසය. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනස්සාසිකහ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි අන් අයුරිනුදු මෙය වදාළ සේක:
තිවරයන්ට පාචීනවංස විය. රෝහිතස්සයන්ට වඞ්කක විය. සුප්පියයන්ට සුඵස්ස විය. මගධයන්ට වේපුල්ල විය.
සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යහ. ඉපැද නැතිවන ස්වභාව ඇතියහ. ඉපැද නිරුද්ධ වෙති. ඔවුන්ගේ සංහිඳීම සුව යි.
දුග්ගතවර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
දුග්ගත, සුඛිත, තිංස (මත්ත), මාතු, පිතු, භාතු, භගිනි, පුත්ත, ධීතු, වේපුල්ල පබ්බත ය යි සූත්‍ර දශයෙකි යි.
අනමතග්ගසංයුත්තය නිමියේ ය.
4. කස්සප සංයුත්තය
1. කස්සප වර්‍ගය
4. 1. 1.
සන්තුට්ඨ සූත්‍රය
284. සැවැත්නුවර–
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර චීවරයෙන් (රූක්‍ෂප්‍රණීතාදීන් ලද පරිදි යම් කිසි සිවුරකින්) සන්තුෂ්ට - සතුටු වූයේ වෙයි ඉතරීතරචීවර සන්තෝසයෙහි ගුණ කියනසුලු වූයේ, සිවුරු හේතුවෙන් අයුතු සෙවුමට නුසුදුසු පිළිවෙතට නො ද පැමිණෙයි. සිවුරු නො ලැබ නො ද තැවෙයි. සිවුරු ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණායෙන් නො වළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ, ප්‍රත්‍යවේක්‍ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ ඉතරීතර පිණ්ඩපාත සංතුෂ්ටියෙහි ගුණ කියනසුලු වූයේ, පිණ්ඩපාත හේතුවෙන් අනුලොම් නොවූ අයුරු සෙවුමට නො ද පැමිණෙයි. පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි. පිණ්ඩපාතය ලැබ ද ගිජු නුවූයේ, මුසපත් නුවූයේ, තෘෂ්ණාවෙන් යටපත් නො වූයේ එහි දොස් දක්න සුලු වූයේ ප්‍රත්‍යවේක්‍ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ යම් කිසි සෙනසුනකින් සතුටු වූයේ, යම්කිසි සෙනසුනකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවුමට නො ද පැමිණෙයි. සෙනසුන නො ලැබ ද නො තැවෙයි. සෙනසුන ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණාවෙන් නො මැඩුනේ එහි දොස් දක්නාසුලු වූයේ, පස්විකුම් නුවණ ඇතියේ පරිභෝග කෙරෙයි.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ලද යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූයේ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, ගිලන්පස බෙහෙසත් පිරිකර හේතුවෙන් නුසුදුසු අයුක්තානේවෂණයට නො ද පැමිණෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලැබ ද නො තැවෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නො වෙළුනේ, එහි දොස් දක්නාසුලු වූයේ, නිඃසරණප්‍රඥා ඇතියේ පරිභෝග කෙරෙයි.
එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු. ඉතරෙතර චීවරයෙන් සතුටු වන්නමෝ ඉතරෙතර චීවරසංතුෂ්ටියෙහි ගුණ කියන්නමෝ වන්නෙමු. සිවුරු හේතු කොට අප්‍රතිරූප අයුක්තානේවෂණයට නො ද පැමිණෙන්නෙමු. සිවුරු නො ලැබ ද නො තැවෙන්නෙමු. සිවුරු ලැබ ද ගිජු නො වන්නමෝ, මුසපත් නො වූවමෝ, තෘෂ්ණායෙන් නොමැඩුනමෝ, දොස් දක්නාසුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු. යම් කිසි පිණ්ඩපාතයකින් සතුටු වන්නෙමු … යම් කිසි සෙනසුනකින් සතුටු වූවමෝ වන්නෙමු … යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූවමෝ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුල්ලමෝ වන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර හේතු කොට නුසුදුසු අයුතු අන්‍වෙෂණයට නො ද පැමිණෙන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූවමෝ, මුසපත් නො වූවමෝ තෘෂ්ණාවෙන් නො වැළදුනමෝ, දොස් දක්නා සුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
මහණෙනි, කාශ්‍යප හා සම වන්නට නොද යමෙක් කාශ්‍යප හා සම වන්නේ නම් (එබන්දකු වන්නට) හෝ තොපට අවවාද කරමි අවවාද කරණ ලද තොප විසිනුදු ඒ පිණිස පිළිපැදිය යුතු යි.
4. 1. 2.
අනොත්තාපී සූත්‍රය
285. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කලැ පලසමවතින් නැගී සිටි සේක් ආයුසමත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහසුප් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට මෙය කීහ:
“ඇවැත්නි, කාශ්‍යපයෙනි, කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි ය. නිවන පිණිස නො නිසි ය. අනුත්තර වූ අර්‍හත්ත්‍වය පිණිස නො නිසි ය. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ ම පවට බිය ඇත්තේ ම සම්බෝධිය පිණිස නිසි ය. නිවන පිණිස නිසි ය. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි ය”යි මෙය කියනු ලැබෙයි.
“ඇවැත්නි, කොපමණෙකින් කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි වේ ද, නිවන පිණිස නො නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ ද? ඇවැත්නි, කොපමණකින් කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ ද, නිවන පිණිස නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි වේ දැ” යි?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවතින්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේද, නූපන් කුශල ධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ වේ.
ඇවැත්නි, කෙසේ නම් පවට බිය නැත්තේ වේ ද?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, නූපන් කුශලධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, ඇවැත්නි, මෙසේ පවට බිය නැත්තේ වේ.
ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර නැත්තේ, පවට බිය නැත්තේ, සම්බෝධිය පිණිස නොනිසි වේ, නිවන පිණිස නො නිසි වේ. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ.
ඇවැත්නි, කෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ ද?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද; ඇවැත්නි, මෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ.
ඇවැත්නි, කෙසේ පවට බිය ඇත්තේ වේ ද?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, නූපන් කුශල ධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධවන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, ඇවැත්නි, මෙසේ පවට බිය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ. නිවන පිණිස නිසි වේ. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි වේ යි.
4. 1. 3.
චන්‍දූපම සූත්‍රය
286. සැවැත්නුවර–
මහණෙනි, (කිසිවකු කෙරෙහි නො ඇලෙමින් අහස් නගින) චන්‍ද්‍රයා වැනිව සත්‍ථවාදියෙන්) කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිති (ආගන්තුකයකු මෙන්) අලුත් ව කුලයන්හි ප්‍රගල්භ (ගැටීම්) රහිතව කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගරාවැටුනු ලිඳක් හෝ කඳුබෑවුමක් හෝ ගංඉවුරු බුන් තැනක් හෝ කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම බලන්නේ ද, මහණෙනි එසෙයින් ම චන්‍ද්‍රයා වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව, කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, කසුප් තෙමේ සඳ වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙයි.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණෙක් කුලයන් වෙත එළඹෙන්නට නිසි දැ යි?
“වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස, මේ භාෂිතයෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. (ඒ අර්‍ත්‍ථය) භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහසෙයි අත සැලූහ. මහණෙනි, යම් සේ මේ අත අහසෙහි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, මහණෙනි, එසෙයින් ම කුලයන් වෙත එළඹෙන යම් කිසි මහණකුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් එසේ ම මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය. මහණෙනි, කුලයන් වෙත එළඹෙන කසුප්හුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලෙයි. නො ගැණෙයි. නො බැඳෙයි. තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම අපිරිසිදු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු දැ යි? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි.
මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණෙක් “මගේ දහම් අසන්නාහු නම්, අසාත් පහන් වන්නාහු නම්, පහන් වූවාහුත් මට පහන් අයුරු (ප්‍රකාශ) කරන්නාහු නම් ඉතා මැනැවැ” යි මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම් දෙසුම අපිරිසිදු වෙයි.
මහණෙනි, යම් කිසි මහණෙක් මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසාද- “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, විඥයන් විසින් තමන් තමන් විසින් ම දත යුතු යි. මාගේ ධර්‍මය අසන්නාහු නම්, අසාත් ධර්‍මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්‍මසුධර්‍මත්‍වය නිසා මෙරමාහට දහම් දෙසා ද, කරුණාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු වේ.
මහණෙනි, කාශ්‍යප තෙමේ මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලිකය, ඒහිපස්සික ය, ඕපනයික ය, විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දත යුතු යි මාගේ ධර්‍මය අසන්නාහු නම්, අසාත් ධර්‍මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්‍මසුධර්‍මත්‍වය නිසා මෙරමාහට දහම් දෙසයි. කරුණාව නිසා මෙරමාහට දහම් දෙසායි අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසායි. අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසයි.
මහණෙනි, ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ යමෙක් කාශ්‍යප බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ ද තොප විසින් ඒ පිණිස පිළිපැදිය යුතු යි.
4. 1. 4.
කුලූපක සූත්‍රය
287. සැවැත්නුවර–
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි දැ යි? වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … “භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂුහු දරන්නාහුය” … භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ස්වල්පයක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා. ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වා” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. ඒ හේතු කොට ගෙණ හෙතෙමේ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ටිකක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි ය.
මහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ටිකක් නො දෙත්වා, මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වායි-මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් කරා එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් කරා එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මඳක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ය.
මහණෙනි, කාශ්‍යප තෙමේ “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, මදක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා, මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා, මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වාය” යි මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹෙයි.
මහණෙනි, මේ බඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ කසුප්හට ඉදින් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙන දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මදක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් සල් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි.
මහණෙනි, කාශ්‍යපයන් හා සමාන වන්නට හෝ යමෙක් කසුප් බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ තොප විසින් ද ඒ පිණිස පිළිපැදිය යුතු යි.
4. 1. 5.
ජිණ්ණ සූත්‍රය
288. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලඥක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් මහකසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කාශ්‍යප, දැන් තෙපි මහලු වහු. හණපිලියෙන් කළ (භාග්‍යවතුන් විසින් පළමු පොරොවා හළ බැවින්) නිබ්බසන වූ (නැවත නැවත කළ ගෙත්තම් ඇති) මේ පවුල් සිවුරු (දැරීම) තොපට බර ය. කස්සප, එහෙයින් දැන් තෙපි (පාංශුකූලිකාඞ්ගාදිය හැර) ගැහැවි සිවුරු ද දරවු. ලහබත් ආදි නිමන්ත්‍රණයන්හි ද වළඳවු, මා ලඟ ද වෙසෙවු.
වහන්ස, මම දිගුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ බණනුයේ ද, පිණ්ඩපාතික ද, පිණ්ඩපාතික බැව්හි ගුණකියනුයේ ද, පාංසුකූලික ද, පාංසුකූලික බැව්හි ගුණ කියනුයේ ද, තෙචීවරික ද,තෙචීවරික බැව්හි ගුණ කියනුයේ ද, අල්පෙච්ඡ ද, අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුයේ ද, සන්තුෂ්ට ද, සන්තුෂ්ට බැව්හි ගුණ කියනුයේ ද, ප්‍රවිවික්ත ද, ප්‍රවිවේකයෙහි ගුණ කියනුයේ ද, අසංසෘෂ්ට ද, අසංසර්‍ගයෙහි ගුණ කියනුයේ ද, ආරබ්ධවීර්‍ය්‍යය ද, වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.
කාශ්‍යප, තෙපි කිනම් ප්‍රයෝජනයක් දක්නහු දිඟුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද? පිණ්ඩපාතික ද ... පංසුකූලික ද ... තෙචීවරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද … අසංසෘෂ්ට ද … ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ දැ යි?