Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 4301-4400 න් 15083

උප්පාද සූත්‍රය
260. සැවැත්නුවර–
මහණෙනි, පඨවීධාතුවෙහි යම් ඉපැද්මෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළ වීමෙක් වේ ද, මේ දුක්හුගේ ඉපැද්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයාගේ පහළ වීමය. ආපෝධාතුවෙහි යම් ... තේජෝධාතුවෙහි යම් ... වායෝධාතුවෙහි යම් ඉපැද්මෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළ වීමෙක් වේ ද, මේ දුක්හුගේ ඉපැද්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයේ පහළ වීම ය.
මහණෙනි, පඨවීධාතුවෙහි යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ ද, මේ දුක්හුගේ නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යූපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ආපෝධාතුවෙහි යම් ... තේජෝධාතුවෙහි යම් ... වායෝධාතුවෙහි යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ ද, මේ දුක්හුගේ නිරෝධය යි රෝගයන්ගේ ව්‍යූපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
261 සැවැත්නුවර–
මහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු යි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සිවුධාතුන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණහ යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි අරුත (සිවුමග) හෝ බමුණුබැව්හි අරුත (සිව්පල) හෝ මේ අත්බැව්හි ම තුමූ ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ම වෙසෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ චතුධාතූන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මතයහ. බමුණන් කෙරෙහි බමුණහ යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද මහණ බැව්හි පලයත්, බමුණු බැව්හි පලයත් මේ අත්බැව්හි ම තුමූ දැන ඊට එළබ වෙසෙති යි.
2. 4. 9.
දෙවන සමණබ්‍රාහ්මණ සූත්‍රය
262. සැවැත්නුවර–
මහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක් යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සිවුධාතුන්ගේ සමුදයත් අත්ඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද ... තතු සේ දනිද්ද, ඒ මහණෝ හෝ බමුණෝ ... තුමූ වෙසෙසින් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
2. 4. 10.
තෙවන සමණබ්‍රාහ්මණ සූත්‍රය
263. සැවැත්නුවර–
මහණෙනි, යම් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව නො දනිද්ද, පඨවීධාතු සමුදය නො දනිද්ද, පඨවීධාතු නිරෝධය නො දනිද්ද, පඨවීධාතු නිරෝධගාමිනී පටිපදාව නො දනිද්ද ... ආපෝධාතුව නො දනිද්ද ... තේජෝධාතුව නො දනිද්ද … වායෝධාතුව නො දනිද්ද, වායෝධාතුසමුදය නො දනිද්ද, වායෝධාතුනිරෝධය නො දනිද්ද, වායෝධාතු නිරොධගාමිනී පටිපදාව නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණහ යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට (එයට) පැමිණ නො ද වෙසෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව දනිද්ද, පඨවීධාතුසමුදය දනිද්ද, පඨවීධාතුනිරෝධය දනිද්ද, පඨවීධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව දනිද්ද, වායෝධාතුසමුදය දනිද්ද, වායෝධාතුනිරෝධය දනිද්ද, වායෝධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණහ යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
චතුධාතු වර්‍ගය සිවුවැනි යි.
එහි උද්දානය:
චතුධාතු, පුබ්බ, අස්සාද, නෝචේදං, දුක්ඛ, අභිනන්‍දන, උප්පාද යන සූත්‍ර හා සමානබ්‍රහ්මණ සූත්‍ර තුණ දැ යි සූත්‍ර දශයෙකි.
ධාතුසංයුත්තය නිමියේ ය.
3. අනමතග්ග සංයුත්තය
1. තිණකට්ඨ වර්‍ගය
3. 1. 1.
තිණකට්ඨ සූත්‍රය
264. සැවැත්නුවර - මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මේ සසර අනුව ගොසිනුදු නොපිරිසුන් අග ඇති. එහෙයින් අවිද්‍යානීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වකෝටිය (පූර්‍වාන්තය) නො පැණේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව යම් තාක් තණ දඬු අතු කොළ වේ නම්, එය සිඳ එක් රැස් කරන්නේ ද, එක් රැස් කොට සතරගුල් සතරගුල් කඩ කොට “මෝ මාගේ මව ය, මෝ මාගේ ඒ මවගේ මව ය” යි තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මවගේ මවුහු නො පිරිසිඳුනාහු ම වන්නාහ. වැලි, මේ දඹදිව තණ දඬු අතු කොළ ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සසර අනවරාග්‍ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණේ.
මහණෙනි, මෙසේ තොප විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණු දුක් විඳින ලදී, (ඥාතිව්‍යසනාදි) ව්‍යසන විඳින ලදී. සොහොන නොහොත් පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
3. 1. 2.
පඨවී සූත්‍රය
265. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අමතවූ - නොදත් අග් ඇතියේයි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල නො පැණේ. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මේ මහපොළොව ඩෙබර ඇට පමණ ඩෙබර ඇට පමණ ගුළි කොට “මේ මගේ පියා ය, මේ මගේ ඒ පියාගේ පියා ය” යි තබන්නේ ද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියාගේ පියහු නො පිරිසිදින ලද්දාහු ම වන්නාහ වැලි, මේ මහපොළොව ගෙවීමට අවසන් වීමට යන්නේය. ඒ කුම් හෙයින? යත්: මහණෙනි, මේ සසර අවිදිත වූ අග ඇතියේ යි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල නො පෙණේ. (එහෙයිනි.)
මහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් ම දුක් විඳින ලදී, තියුණු දුක් විඳින ලදි, ව්‍යසන විඳින ලදී, සොහොන හෝ පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
3. 1. 3.
අස්සු සූත්‍රය
266. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අවිච්ඡින්න වූ පශ්චිම සීමා ඇතියේ යි. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) ධාවත් සංසරත් සත්‍වයන්ගේ පූර්‍වසීමා නො පෙණේ. මහණෙනි, තොප විසින් දිගුකලක් දුක් විඳින ලදී. ඒ කිමැ යි හඟිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වේද, සිවුමහසමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?
වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මය යම් සේ දනිමු නම්, මේ දිගුකල දිවෙත්. දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන අපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී ද, වහන්ස, මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්‍මය මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, තොප විසින් දිගුකලක් මවු මළ දුක විඳිනලදී. මහණෙනි, මවු මළ දුක විඳින අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුණු වැගුරුණු යම් කඳුලෙක් වී නම් එය ඉබොහෝමය. සිවුමහසමුදුරෙහි දිය නොබොහෝමය. මහණෙනි, තොප විසින් දිගුකලක් පියා මළ දුක විඳින ලදි ... බෑයා මළ දුක විඳින ලදි ... බුහුන මළ දුක විඳින ලදි ... පුතු මළ දුක විඳින ලදි ... දූ මළ දුක විඳින ලදි ... ඥාතිව්‍යසන විඳින ලදි ... භෝගව්‍යසන විඳින ලදි ... රෝගව්‍යසන විඳින ලදි … රෝගව්‍යසනය විඳින්නා වූ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුනු වැගුරුණු කඳුලු ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි දිය නො ම වැඩි ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ සසර නො පිරිසුන් කෙළවර ඇතියේ ය ... මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
3. 1. 4.
මාතුථඤ්ඤ සූත්‍රය
267. සැවැත්නුවර–
මහණෙනි, මෙ සසර නො පිරිසුන් අග ඇතියේ ය, අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල් කෙළවර නො පෙණේ. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? මේ දිගුකල දිවෙන සැරිසරණ තොප විසින් (එක්නම් ඇති මිනිස්) මවකගේ යම් කිරක් පූ ද, සිවුමහ සමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි ද?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මය අපි යම් සේ දනිමු නම්, මේ දිගුකල් දිවෙන සැරිසරණ අප විසින් යම් මව් කිරෙක් බොන ලද ද, වහන්ස, මෙය ම ඉතා වැඩිය. සිවු මහ සමුදුරෙහි දිය නො වැඩිය.
මහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, මා විසින් දේශනා කරණ ලද ධර්‍මය තෙපි මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල් දිවෙන සැරිසරණ තොප විසින් යම් මවුකිරෙක් පූ නම්, එය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි දිය නො වැඩි ය. ඒ කුම් හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය ... මිදෙන්නට සුදුසුමැ යි.
3. 1. 5.
පබ්බත සූත්‍රය
268. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “වහන්ස, කල්පය කෙතෙක් දිගු දෝ” යි.
මහණ, කල්පය දිග ය. එය මෙතෙක් වසැයි හෝ මෙතෙක් වස් සියයෙකැ යි හෝ මෙතෙක් වස් දහසෙකැ යි හෝ මෙතෙක් වස් සියදහසෙකැ යි හෝ ගිණීමට සුකර නො වේ. වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ අයමින් යොදුනක් වූ, විතරින් යොදුනක් වූ උසින් යොදුනක් වු සිදුරු රහිත විවර රහිත ගතබොල් මහසෙල් මුවා පව්වෙක් වේ ද, එය පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් කසීසළුවෙකින් වරින්වර පිරිමදනේ ද, මහණ, මේ උපක්‍රමයෙන් ඒ මහසෙල් මුවා පව්ව වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. කල්පය (එතෙක්) අවසනට නො යන්නේ ය.
මහණ, මෙසේ කල්පය දීර්‍ඝ ය. මහණ, මෙසේ දීර්‍ඝ වූ කල්පයන් අතුරෙන් ස්‍රස්රස්තවූයේ - ගෙවීගියේ එක්කපෙක් නො වෙයි. ගෙවීගියේ කප්සියෙක් නො වෙයි. ගෙවීගියේ කප්දහසෙක් නො වෙයි ගෙවීගියේ කප්සියදහසෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍ර වෙයි ... (එයින්) මිදෙන්නට නිසි මැ යි.
3. 1. 6.
සාසප සූත්‍රය
269. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේය ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, “කල්පය කෙතෙක් දිග ද?
මහණ, කල්පය දිගය. එය මෙතෙක් වසැ යි හෝ … මෙතෙක් වස් සියදහසැයි හෝ ගණනට සුකර නොවේ වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ දිගින් යොදුනක් වූ පුළුලින් යොදුනක් වූ උසින් යොදුනක් වූ අබැටින් සිළු බැද පිරුණු යපවුරෙන් පිරිකෙවු නුවරෙක් වේද, පුරුෂයෙක් සියවස් සියවස් ඇවෑමෙන් එයින් එක් එක් අබැටක් උදුරන්නේද, මහණ, ඒ මහත් අබැටරැස මේ උපක්‍රමයෙන් ඉතා වහා ගෙවීමට නිමාවට යන්නේ ය. කල්පය(එසේ ගෙවීමට) නො ම යන්නේ ය.
මහණ, මෙසේ කල්පය දිගය. මහණ, මෙසේ දික් වූ කල්පයන් අතුරෙන් ගෙවුනේ එක් කපෙක් නො වෙයි. ගෙවුනේ කප්සියෙක් නො වෙයි. ගෙවුනේ කප් දහසෙක් නො වෙයි. ගෙවුනේ කප් සියදහසෙක් නොවේ. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍රය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
3. 1. 7.
සාවක සූත්‍රය
270. සැවැත්නුවර–
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ද, ඉක්මුනා ද”
මහණෙනි, අතීත වූ කල්පයෝ බොහෝ ය. මෙතෙක් කපැ යි හෝ මෙතෙක් කප් සියෙකැ යි හෝ මෙතෙක් කප්දහසැ යි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ එය ගිණුමට සුකර නො වෙයි වහන්ස, උපමාවක් කරනට හැකි දැයි? මහාණෙනි, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මෙහි සියවස් ආයු ඇති සියවස් ජීවත් වන සුලු සව්වෝ සිවුදෙනෙක් වෙත් නම්, ඔහුත් දිනපතා කප් සියදහසක් කප් සියදහසක් සිහි කෙරෙත් නම්, මහණෙනි, ඔවුන් විසින් කල්පයෝ සිහි නො කළහු ම වෙත්. වැලි දු සියවස් ආයු ඇති සියවස් ජීවත්වන සුලු ඒ සිවුසව්වෝ සියවස් සියවස්හුගේ ඇවෑමෙන් කලුරිය කරන්නාහු ය.
මහණෙනි, මෙසේ ගෙවී ගියා වූ ඉක්ම ගියා වූ කල්පයෝ බොහෝ ය. ඔහු මෙතෙක් කපැ යි හෝ, මෙතෙක් කප් සියෙකැයි හෝ, මෙතෙක් කප් දහසැයි හෝ, මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අපරිමාණ ය … එයින් මිදෙන්නට නිසි මැ යි.
3. 1. 8.
ගඞ්ගා සූත්‍රය
271. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේ ය ... එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයෙනි, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්මුනාහු දැ? යි.
බමුණ, බොහෝ කල්පයෝ ගත වූහ. ඉක්මූනාහු ය. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ ගිණීමට සුකර නො වෙති. භවත් ගෞතමයෙනි, උපමාවක් කරන්නට හැකි දැ යි? බමුණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. බමුණ, යම් සේ මේ ගඞ්ගා නදිය යම් තැනෙකින් හට ගණී ද, යම් තැනෙක මහසමුදුරට පිවිසේ ද, මේ අතර යම් වැල්ලෙක් වේ ද, එය මෙතෙක් වැලි ය යි හෝ මෙතෙක් වැලි සියකැ යි හෝ මෙතෙක් වැලි දහසැයි හෝ මෙතෙක් වැලි සියදහසැයි හෝ ගිණීමට සුකර නො වේ.
බමුණ, එයට වැඩි ඉතා බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්ම ගියහ. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙති. ඒ කවර හෙයින යත්: බමුණ, මෙසසර අනාදිමත්ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
මෙසේ වදාළ කල්හි ඒ බමුණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි, භවත් ගෞතමයෙනි, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි.
3. 1. 9.
දණ්ඩ සූත්‍රය
272. සැවැත්නුවර–
මහණෙනි, මෙ සසර නො දත් අග ඇතියේ වෙයි. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍ව කෙළවර නො පෙණේ. මහණෙනි, යම් සේ උඩ අහසෙහි දැමූ දඬෙක් වරක් මුලිනුදු වැටෙයි. වරක් මැදිනුදු වැටෙයි. වරක් අගිනුදු වැටෙයි. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (ඒ මේ අත) දිවෙන සැරිසරණ සත්‍වයෝ වරක් මෙලොවින් පරලොවට යෙති. වරක් පරලොවින් මෙලොවට එති. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග්මුල් ඇත්තේ ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
3. 1. 10.
ඒකපුග්ගල සූත්‍රය
273. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක.
මහණෙනි, මෙසසර නැවත නැවත බලයි දු නොපිරිසුන් කෙළවර ඇතියේ යි. මහණෙනි, කපක් මුළුල්ලේ දිවෙන සැරිසරණ එක් පුඟුලකුගේ ඇටසැකිල්ල ඇටගොඩ ඇටරැස ඉදින් රැස් කරන්නෙක් වන්නේ නම්, රැස් කරණ ලදුයේත් නො වැනසේ නම්, මේ වේපුල්ල පර්‍වතය යම් සේ ද, එසේ මහත් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය. … එයින් මිදෙන්නට නිසි මැ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යලි මතුදු මෙය වදාළ සේක:
එක් කපෙකින් එක් පුඟුලකුගේ ඇට රැස (වේපුල්ල) පර්‍වතය බඳු රැසෙක් වන්නේ ය යි මහර්ෂි වූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදි.
ඒ මේ මහත් වේපුල්ල පර්‍වතය මගධජනපදයෙහි ගිරිව්‍රජයෙහි (පර්‍වත පරික්‍ෂේපයෙහි) ගිජුකුළු පව්වට උතූරුදික්හි (පිහිටියේ) ය යි කියන ලදී.
යම් කලෙක දුක, දුක හට ගැණීම, දුක ඉක්මීම, දුක ඉක්මීමට යන අරිඅටගිමග යන ආර්‍ය්‍ය සත්‍යයන් මනා නුවණින් දකී ද,
ඒ (සෝවන්) පුද්ගල තෙමේ සත්වරක් පරම කොට සැරිසරා සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නෙක් වේ යි.
තිණකට්ඨවර්‍ගය පළමුවැ නි යි.
එහි උද්දානය:
තිණකට්ඨ, පඨවි, අස්සු, බීර, පබ්බත, සාසප, සාවක, ගඞ්ගා, දණ්ඩ, පුග්ගල ය යි සූත්‍ර දශයෙකි යි.
2. දුග්ගත වර්‍ගය
3. 2. 1.
දුග්ගත සූත්‍රය
274. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක:
“මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය. අවිද්‍යානීවරණයෙන් වැසුනු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූකෙළ (පූර්‍වාන්තය) නො පෙණේ. මහණෙනි, දිළිඳු වූ විරූප වූ යමකු දක්නහු නම්, මෙහි දී “අප විසිනු දු මේ දීර්‍ඝකාලයෙහි මෙබඳුවක් විඳින ලදැ”යි නිමාවට (නිශ්චයට) යා යුතු යි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ යි … මෙයිනුදු … මිදෙන්නට නිසි මැ යි.
3. 2. 2.
සුඛිත සූත්‍රය
275. සැවැත්නුවර–
මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය … මහණෙනි, සුවපත් අලඞ්කාරයෙන් සැදුනු යමකු දක්නහු නම්, මෙහි දී “මේ දිගුකල අප විසිනුදු මෙබඳුවක් විදින ලද” යි නිමාවට යා යුතු යි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය ... මෙයිනුදු මිදෙන්නට නිසි මැ යි.
තිංසමත්ත සූත්‍රය
276 රජගහනුවර–
එකල්හි සියල්ලෝ ම ආරණ්‍යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ තෙචීවරික වූ, සියල්ලෝ ම සංයෝජන සහිත වූ, පාවානුවර වැසි තිස්නමක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්හ.