Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 1501-1600 න් 15083

එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී … එහි ම අතුරුදහන් විය.
4. 2. 4.
පතිරූප සූත්‍රය
150. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි ඒකසාල නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
ඉක්බිති පවිටු මරුහට මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි! මේ අදහස වි ය. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
යම් හෙයකින් මෙරමාහට අනුශාසනා කෙරෙහි ද, එය මුබට සුදුසු නො වේ. එය කෙරෙමින් රාග ප්‍රතිඝ දෙක්හි නො ලැගව.
[භගවත්හු:]
යම් හෙයකින් සර්‍වඥ තෙමේ හිතානුකම්පා ඇති ව මෙරමාහට අනුශාසනා කෙරේ ද, (ඒ) තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ වේ.
ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 5.
මානස සූත්‍රය
151. මා විසින් අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
අන්තරික්‍ෂචර වූ (අහස හැසිරෙන්නවුන් පවා බඳනා වූ) සිත්හි හටගත්තා වූ යම් මේ (රාග) පාශයෙක් හැසිරේ ද, එයින් මුබ පෙළන්නෙමි. මහණ, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.
[භගවත්හු:]
සිත්කලු වූ රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්‍ධයෝ ය, ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මේ පඤ්චකාමවස්තූන් කෙරෙහි වූ මගේ රාගය පහවූයේ ය. මරුව නො නටුයෙහි.
ඉක්බිති පවිටු මරු … එහි ම අතුරුදහන් වි ය.
පත්ත සූත්‍රය
152. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. සමාදානයෙහි උත්සාහවත් කරණ සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්.
එලක්හි පවිටු මරුහට මේ අදහස වි ය. මේ මහණ ගොයුම් උපාදානස්කන්‍ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සිත හර්‍ෂ ගන්වයි. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු හිතින් සමනා ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!
එකල්හි බොහෝ පාත්‍රයෝ එළියෙහි බහන ලද්දාහු වෙත්. එකල්හි පවිටු මාර තෙමේ ගොන්වෙසක් මවා ගෙණ ඒ පාත්‍රයන් වෙත එළඹියේ ය. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකුට “මහණ, මහණ, මේ ගොණා පාත්‍රයන් බිඳුනේ ය” යි මෙය කී ය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, හේ ගොණෙක් නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට පැමිණියේ ය”යි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
රූපය හා වේදනාව හා සංඥාව හා විඥානය හා යම් සංස්කාරධර්‍මයෙක් වේ නම් එය හා මේ පස්කඳ මම නො වෙමි. තෙල මා ගැත්තේ නොවේ යයි මෙසේ එහි නො ඇලේ.
මෙසේ නො ඇලුනු ක්‍ෂේමප්‍රාප්ත අත්බැව් ඇති සියලු බවබැඳුම් ඉක්මවා සිටි රහත්හු කොහිදැයි සියලු තන්හි සොයන මරපිරිස් ද නො දැක්කේ ය.
ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 7.
ආයතන සූත්‍රය
153. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ෂට්සප්ර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.
එකල පවිටු මරුහට මේ අදහස විය: “මේ මහණගොයුම් ෂට් ස්පර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. උත්සාහවත් කරයි. හර්‍ෂ ගන්වයි. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්. පැණැස වනසන්නට මහණගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි”
ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහත් බියජනක හඬක් කළේ ය. පොළොව පෙරළන්නක් සෙයිනි.
ඉක්බිති එක්තරා මහණෙක් එක්තරා මහණෙකුට “මහණ. මහණ, මේ පොළොව (‘පටත් පටත්’ යන අනුකරණ දෙමින්) පෙරෙළෙන්නාක් මෙනැයි මෙය කී ය.
මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, මේ පොළොව පෙරෙළෙන්නේ නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට ආයේ යයි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
සියලු රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්‍ධයෝ ද ස්පර්‍ශයෝ ද ධර්‍මයෝ ද යන මෙය දරුණු ලෝකාමිෂය වේ. ලෝ වැස්සා මෙහි දැඩි ලෙස ඇලුනේ ය.
බුදුරජානන් වහන්සේගේ සිහි ඇති ශ්‍රාවක තෙමේ මේ ෂඩායතන ද ඉක්මවා මරුට ස්ථාන වූ භවත්‍රය ද පසු කොට හිරු මෙන් බබලයි.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 8.
පිණ්ඩ සූත්‍රය
154. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි පඤ්චශාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චශාලා බමුණුගමෙහි කුමරුන්ගේ (ඔවුනොවුන් යවන) තුටුපඬුරු කෙනෙක් වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පඤ්චශාලා නම් බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි පඤ්චශාලා වැසි බමුණු ගැහැවියෝ පවිටු මරු විසින් “මහණගොයුම් තෙමේ පිඬු නොලබාවා!” යි අවිෂ්ට වෙත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ යථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පඤ්චශාලා බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක් ද, තථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පෙරළා වැඩි සේක.
ඉක්බිති පවිටු මාරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: ශ්‍රමණය, පිඬු ලැබුවෙහි ද?
පවිට, මම යම්සේ පිඬු නො ලබන්නෙමි නම් තෝ එසේ කෙළෙහි නො?
වහන්ස, එසේ නම් භගවත් තෙමේ දෙවනවට දූ පඤ්චශාලා බමුණුගමට පිවිසේවා. භගවත් තෙමේ යම්සේ පිඬු ලබන්නේ නම් මම එසේ කරන්නෙමි.
[භගවත්හු:]
මාර තෙමේ ඒ තථාගතයන් ගටා පව් රැස් කළේ ය. පවිට, “මාගේ පව් නොපැසෙති”යි කිම සිතයි ද?
යම්බඳු වූ අපට (රාගාදි) ක්ලේශජාතයෙක් නැද්ද (එසේ වූ අපි) ඒකාන්තයෙන් ඉතා සැපසේ ජීවත් වම්හ. ආභස්සර බඹලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තමෝ වම්හ.
එකල්හි පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
4. 2. 9.
කස්සක සූත්‍රය
155. සැවැත්නුවර–
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.
එකල්හි පවිටු මරුහට මේ අදහස වි ය. “මේ මහණ ගොයුම් නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන් … හර්‍ෂ ගන්වයි ඒ භික්‍ෂූහු ද … බණ අසත්. පැණැස වනසන්නට මහණ ගොයුම් වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!
ඉක්බිති පවිටු මාර තෙමේ ගොවිවෙසක් මවා ගෙණ මහ නඟුලක් කර තබාගෙණ දික් කෙවිටිලීයක් ගෙණ හෘතාහෘත කේශ (ඔබමොබ විසිර ගිය කෙහෙ) ඇත්තේ හණ වතක් ඇඳ ගත්තේ මඩ වැකුණු පයින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ශ්‍රමණය, ගොනුන් දැක්කෙහි ද?
පවිට, තට ගොණුන්ගෙන් කවර වැඩෙක් ද?
ශ්‍රමණය, ඇස මාගේ ම ය. රූප මාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද? ශ්‍රමණය, කණ මාගේ ම ය. ශබ්දයෝ මාගේ ම ය. සෝතසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, නැහැය මාගේ ම ය, ගන්‍ධයෝ මාගේ ම ය. ඝාණසම්පස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, දිව මාගේ ම ය. රස මාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කය මාගේ ම ය, ස්ප්‍රෂ්ටව්‍ය මාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, සිත මාගේ ම ය, දහම් මාගේ ම ය, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද?
පවිට; ඇස තාගේ ම ය. රූප තාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. එවිට, යම් තැනෙක ඇස නැද් ද, රූප නැද් ද, චක්ඛුසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
කණ තාගේ ම ය, ශබ්ද තාගේ ම ය, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය තාගේ ම ය. පවිට, යම්තැනෙක කණ නැද් ද, ශබ්ද නැද් ද, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
පවිට, නැහැය තාගේ ම ය. ගන්‍ධයෝ තාගේ ම ය. ඝානසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.
පවිට, දිව තාගේ ම ය, රස තාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.
පවිට, කය තාගේ ම ය. ස්ප්‍රෂ්ටව්‍යය තාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … එහි තාගේ ගමනෙක් නැත.
පවිට, සිත තාගේ ම ය. දහම් තාගේ ම ය. මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. පවිට, යම් තැනක සිත නැද් ද, දහම් නැද් ද, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනයත් නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
[මරු:]
මේ මාගේ ය යි යමක් කියද් ද, යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද්ද, ඉදින් එහි ලා මුබගේ සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මා කෙරෙන් නොමිදෙන්නෙහි ය.
[භගවත්හු:]
(මාගේ ය යි) යමක් කියද් ද, එය මගේ නොවෙයි. යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද් ද, මම ‘ඔහු’ ද නොවෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මඟත් නොදන්නෙහි ය.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් විය.
4. 2. 10.
රජ්ජ සූත්‍රය
156. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන කිළියෙක වැඩ වසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙහි යෙදුනු භාග්‍යවතුන් වහන්සේට “නො නස්මින් නො නස්වමින් පරස්වහරණය (ධනහානිය) නො කරමින්-නොකරවමින් ශෝක නො කරමින් නොකරවමින් දැහැමින් රජය කරවන්නට හැක්කේ දෝ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේ සිත්හි පරිවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භගවත් තෙමේ නො නස්වමින් නො නස්වමින් ධනහානි නො කරමින්-නො කරවමින් ශෝක නො කරමින් ශෝක නො කරවමින් දැහැමෙන් රජය කෙරේවා. සුගත තෙමේ රජය කෙරේවා යි.
[භගවත්හු:]
පවිට, “වහන්ස, භගවත් තෙමේ නො නස්මින් නො නස්වමින් ධනහානි නො කරමින් නො කරවමින් ශෝක නො කරමින් නො කරවමින් දැහැමින් රජය කෙරේවා, සුගත තෙමේ රජය කෙරේවා”යි යම්හෙයෙකින් තෝ මට මෙසේ කියහි ද, තෝ කුමක් දකිහි ද?
[මරු:]
වහන්ස, භගවත්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහ. බහුල කරණ ලද්දාහ. යානයක් මෙන් කරන ලද්දාහ. වාස්තුවක් මෙන් කරණ ලද්දාහ. නිතර තමා කෙරෙහි පිහිටුවන ලද්දාහ. පුරුදු කරණ ලද්දාහ. භාවනායෙන් සම්පූර්‍ණ කරණ ලද්දාහ. වහන්ස, ඉදින් භගවත් තෙමේ කැමති වන්නේ හිමවත් මහපව්ව රන් ම යයි සිතන්නේ නම් රන්පව්වෙක් වන්නේ ය.
[භගවත්හු:]
ස්වර්‍ණසඞ්ඛාත ජාතරූපයෙන් නිමි හුදු පව්වෙක් වේ නම් එමෙන් දෙගුණයක් මහත් පව්වක් වුව ද එක් පුරුෂයකුගේ සිතට නොසෑහේ. මෙසේ දන්නා නුවණැත්තේ සම ව හැසිරෙන්නේ ය.
යම් පස්කම් කෙනකුන්ගේ හේතුයෙන් දුක පහළ වේ යයි යමෙක් දුක දිටි නම් ඒ සත්‍ව තෙමේ කෙසේ පස් කම් සුවෙහි නැමෙන්නේ ද (නුවණැති) සත්‍ව තෙමේ ලෝකයෙහි පස්කම්හු ‘සඞ්ගයහ’යි දැන පස්කම් දුරලීම පිණිස ම හික්මෙන්නේ ය.
ඉක්බිති පවිටු මාර තෙමේ භගවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
රජ්ජ වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
පාසාණ, සීහ, සකලිකා, පතිරූප, මානස, පත්ත, ආයතන, පිණ්ඩ, කස්සක, රජ්ජ ය යි සූත්‍ර දශයෙකි.
3. මාර වර්‍ගය
4. 3. 1.
සම්බහුල සූත්‍රය
157. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.
එකල්හි පවිටු මාර තෙමේ බමුණු වෙසක් මවා ගෙණ මහත් දළසුඹුළුයෙන් යුක්ත ව හැඳි පෙරෙවි අඳුන්දිවිසම් ඇතියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු හඬින් ප්‍රශ්වාස කරණසුලු වූයේ දිඹුල්දඬක් අතින් ගෙණ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට “භවත් පැවිද්දෝ දහරයහ. මනා අභිනීල කෙහෙ ඇතිය හ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කම්කෙළියෙහි කෙළුම් නොකළසුල්ලහ. භවත්හු මිනිස් කම්සුව විඳිත්වා. මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු වූ සුව කරා නුදුවත් වා” යි කී.
බමුණ, අපි මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු සුව කරා නොදුවමු. බමුණ, අපි කල් ගෙවා වින්ද යුතු සුව හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි දොස් බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමන් විසින් ම වින්ද යුතු ය. කල් නොයවා විපාක දෙන සුලු ය. එව බලව යි කීමට සුදුසු ය. තමසිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.
මෙසේ කී කල්හි පවිටු මාර තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නළලෙහි තුන් රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙන ගියේ ය.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි අපි භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වෙසෙමු. වහන්ස, එකල්හි එක්තරා බමුණෙක් මහත් දළසුඹුළුයෙන් යුක්තව අඳුන් දිවිසම් හැඳ පෙරෙවියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු යන හඬින් ප්‍රශ්වාස කරණ සුලු වූයේ දිඹුල් දණ්ඩක් අතින් ගෙණ අප වෙත එළඹියේ ය. එළඹ අපට මෙය කී ය.
“භවත් පැවිද්දෝ දහරයහ. කළුකෙහෙ ඇතියහ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කාමයෙහි ක්‍රීඩා නොකළහ. භවත්හු මිනිස් කම්සුව විඳිත් වා. මේ අත්බැව්හි වින්ද යුතු සුවය හැර කලෙකින් ලැබෙන සුවය කරා නො දුවත්වා” යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණාට අපි මෙය කීමු. “බමුණ, අපි මේ අත්බැව්හි වින්දයුතු සුව හැර කල් ගෙවා ලැබෙන සුව කරා නො දුවමු. බමුණ, අපි කල් ගෙවා ලැබෙන සුව අත් හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනව බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමා විසින් ම වින්ද යුතු ය. කල් නො යවා විපාක දෙන සුලු ය. එව, බලවයි කීමට සුදුසු ය. තම සිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය”යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණු තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නලළෙහි තුන්රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙණ ගියේ ය.
මහණෙනි, මේ බමුණෙක් නො වේ. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසාලීම පිණිස පැමිණියේ ය යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක:
යමෙක් දුක යම් පඤ්චකාම ගුණයක් නිදාන කොට ඇතැයි දුටුයේ ද, ඒ සත්‍ව තෙමේ කාමයන්හි කෙසේ නැමෙන්නේ ද, (නො නැමේ මැ යි) ඒ සත්‍ව තෙමේ ලෙව්හි කාමගුණෝපධිය (රාගාදී) සඞ්ගය යි දැන ඒ කාමගුණෝපධිය ම දුරලනු පිණිස හික්මෙන්නේ ය.
4. 3. 2.
සමිද්ධි සූත්‍රය
158. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.
ඉක්බිති එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි.
ඉක්බිති පවිටු මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් නුදුරෙහි මහත් බිය ජනන හඬක් කළේ ය. තවද එය පොළොව පෙරළන්නාක් සෙයින් වෙයි.
ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වේ එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමි. වහන්ස, එකලා වූ චිත්තවිවේකයෙන් හුන් ඒ මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. එය මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. වහන්ස, ඒ මාගේ නුදුරෙහි පොළොව පෙරළන්නාක් සෙයින් බිය ජනන හඬෙක් විය.
[භගවත්හු:]