Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 14701-14800 න් 15083

3864. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මේ දුකැ’යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් හටගැන්මැ’යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් වැළැක්මැ’ යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ’යි තතුසේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි අරුත හෝ බමුණුකමෙහි අරුත හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මේ දුකැ’ යි තතු සේ දනිද්ද ... ‘මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ’ යි තතුසේ දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු ය යි සම්මතයහ. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි අරුතත් බමුණුකමෙහි අරුතත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
“යම් කෙනෙක් දුකත් යළි දුක්හි හටගැන්මත් යම් තැනෙක සියලු අයුරින් දුක නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එයත් නො දනිද්ද,
දුක් සන්සිඳුමට පමුණුවන ඒ මඟත් නො දනිද් ද, ඔහු ඵලසමාධියෙන් තොර වූවහ. යළි ඵලප්‍රඥායෙන් ද තොර වූවහ.
ඔහු දුක් කෙළවර කිරීමට නුසුදුස්සහ. ඔහු ඒකාන්තයෙන් ජාතිජරාවන්ට පැමිණියහ. යම් කෙනෙක් දුකත් යළි දුක් හටගැන්මත් දනිද්ද,
යම් තැනෙක සියලු අයුරින් දුක නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එයත් දුක් සන්හිඳුමට පමුණුවන ඒ මඟත් දනිද්ද,
ඵලසමාධියෙන් යුතු වූ යළි ඵලප්‍රඥායෙන් ද සමන්‍වාගත වූ ඔහු දුක් කෙළවර කිරීමට සුදුස්සහ. ඔහු ජාතිජරාවන්ට පැමිණියාහු නො වෙති යි.
12. 3. 3.
අභිසම්බුද්ධ සූත්‍රය
3865. සැවැත්නුවර:
මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් තතු සේ වෙසෙසින් අවබෝධ කළ බැවින් තථාගතයෝ “අර්‍හත් සම්‍යක්සම්බුද්ධයහ” යී කියනු ලැබෙති. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යී වීර්‍ය්‍ය කටයුතු යි.
අරහන්ත සූත්‍රය
3866. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කළාහ. මහණෙනි, මතු කල යම් කිසි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කරන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කරන්නාහ. මහණෙනි, මෙකල යම් කිසි අර්‍හත් සම්මා සමබුදුවරයෝ තතු සේ අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්‍හත් සම්මා සම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 5.
ආසවක්ඛය සූත්‍රය
3867. මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නහුගේ නො කියමි. නො දක්නහුගේ නො කියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, මේ දුකැ යි දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 6.
මිත්ත සූත්‍රය
3868. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුතු ය. වැස්වියයුතු ය. පිහිටුවිය යුතු ය. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් මේ සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවියයුතු ය, වැස්වියයුතු ය, පිහිටුවිය යුතුය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 7.
තථ සූත්‍රය
3869. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතර තථ්‍ය ය, නො වෙනස්වනසුලු ය, අන් පරිදි නො වනසුලු ය. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
ලෝක සූත්‍රය
3870. මහණෙනි, මේ අරීසස් සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි තථාගතයන් ආර්‍ය්‍යහ. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 9.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
3871. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය” යි. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් අතුරෙන් පිරිසිඳ දතයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. ප්‍රහාණ කළයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. සාක්‍ෂාත් කටයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. වැඩියයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. මහණෙනි, පිරිසිඳ දත යුතු ආර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දතයුතු ය. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු ය. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත් කටයුතු ය. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩියයුතු ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළකීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 10.
ගවම්පති සූත්‍රය
3872. එක්කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙති දනව්වෙහි සහජාතිභූමියෙහි වෙසෙත්. එකල පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව හුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යමෙක් දුක්ඛය දකී ද, හෙතෙම දුක්ඛ සමුදයත් දකී. දුක්ඛනිරෝධයත් දකී. දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දකී” යි.
මෙසේ කී කල්හි ඇවැත් ගවම්පති තෙරණුවෝ මහණුන්හට මෙය කීහ: “ඇවැත්නි, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී, හමුවෙහි පිළිගන්නා ලදී.” “මහණෙනි, යමෙක් දුක දකී ද, හේ දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක්හේතුව දකී ද, හේ දුකත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්ම දකී ද, හේ දුකත් දකී. දුක් හේතුවත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්මට පමුණුවන පිළිවෙත දකී ද, හේ දුකත් දකී. දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී” යි.
තෙවැනි කෝටිගාමවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
කොටිගම සූත්‍ර දෙකෙකි, අභිසම්බුද්ධ, අරහන්ත, ආසවක්ඛය, මිත්ත යී සතරෙකි. තව ද තථ ලෝක පරිඤ්ඤෙය්‍ය ගවම්පති යී සතරෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.
4. සීසපාවන වර්‍ගය
12. 4. 1.
සිංසපා සූත්‍රය
3873. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.
මහණෙනි, කිමෙක් මා විසින් කියන ලද ද යත්: මහණෙනි, මේ දුකැ යි මා විසින් කියන ලදී. මේ දුක් හටගැනුමැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි මා විසින් කියන ලදී. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මේ කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත ය. මෙය මඟ බඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් එය මා විසින් කියන ලදී. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 2.
ඛදිර සූත්‍රය
3874. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කිහිරිපතින් හෝ හොරපතින් හෝ ඇඹුල්පතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මේ කරුණ නැත් ද, මහණෙනි, එසෙයින් ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
මහණෙනි, යමෙකුත් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, යම්සේ යමෙක් “මම පියුම්පතින් හෝ කෑලපතින් හෝ මාලුවාපතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත් ද, මහණෙනි, එසෙයින්ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් ගෙවීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 3.
දණ්ඩ සූත්‍රය
3875. මහණෙනි, යම්සේ දණ්ඩෙක් අහසෙහි දමන ලද්දේ වරෙකත් මුලින් වැටේ ද, වරෙකත් මැදින් වැටේ ද, වරෙකත් අගින් වැටේ ද, මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සත්ත්‍වයෝ දිවෙන්නාහු සැරිසරන්නාහු වරෙකත් මෙලොවින් පරලොවට යෙත්. වරෙකත් පරලොවින් මෙලොවට එත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 4.
චෙල සූත්‍රය
3876. මහණෙනි, “වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඔහු විසින් කිමෙක් කටයුතු දැ?” යි. වහන්ස, වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඒ වස්ත්‍රය ම හෝ හිස ම හෝ නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු යි. මහණෙනි, ඇවිලගත් වස්ත්‍රය හෝ හිස හෝ නොසලකා නො මෙනෙහි කොට අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනු පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 5.
සත්තිසත සූත්‍රය
3877. මහණෙනි, “යම්සේ වස් සියයක් ආයු ඇති වස් සියයක් ජීවත්වනසුලු පුරුෂයෙක් වේ ද, තෙල මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බා පුරුෂය, එව. පෙරවරු තා සැත් සියයෙකින් පෙළන්නාහ. මද්දහන සැත් සියයෙකින් පෙළන්නාහ. පස්වරු සැත් සියයෙකින් පෙළන්නාහ. එම්බා පුරුෂය, ඒ තෝ දවස් පතා තුන් තුන් සැත් සියයෙන් පෙළනු ලබන්නේ වස් සියයක් ආයු ඇත්තේ වස් සියයක් ජීවත්වනසුලු වූයේ වස් සියය ඇවෑමෙන් අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරන්නෙහි” යි. මහණෙනි, අනුසස් දක්නා කුලපුතු විසින් එළඹෙන්නට සුදුසු යි. ඒ කවර හෙයින යත්: “මහණෙනි, මෙසසර නොදත් අක්මුල් ඇත්තේ ය. සැත්පහර කඩුපහර පිළිබඳ පෙරපසු කෙළවරෙක් නො පෙනේ. මහණෙනි, මෙය මෙසේත් වන්නේ ය: “මහණෙනි, මම සදුක් ව සදොම්නස් ව සිවුඅරීසස් අවබෝධයක් නො ම කියමි. මහණෙනි, වැලිදු මම සුව සහිත ව සොම්නස් සහිත ව සිවුඅරීසස් අවබෝධ කිරීම් කියමි. කවර සිවුසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදාරියසච්ච” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 6.
පාණ සූත්‍රය
3878. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව තණ දැව අතුපත් සැස එක් කොට රැස් කරන්නේ ය. එක් කොට රැස් කර හුල් කරන්නේ ය. හුල් කොට මහමුහුදෙහි යම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මහත් හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් මැදුම් පමණ ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මැදුම් පමණ හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් සියුම් හුල්හි අමුණන්නේ ය යන යමෙක් වේ ද, මහණෙනි, (එහිලා) මහමුහුදෙහි ඖදාරික ප්‍රාණීහු නො ගන්නා ලද්දෝ වන්නාහ. වැලි මේ දඹදිව තණ දැව අතුපත් ක්‍ෂයවීමට අවසන් වීමට යන්නේ ය. යම් කෙනෙක් හුල්හි අමුණන්නට සුකර නො වෙත් නම් මහමුහුදෙහි එබඳු සියුම් ප්‍රාණීහු එයට වඩා ඉතා බොහෝ වෙත්. ඒ කවර හෙයින යත්: “මහණෙනි, අත්බැව සියුම් බැවිනි.” මහණෙනි, අපාය මෙසේ මහත් ය. මහණෙනි, මෙසේ මහත් අපායෙන් යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී නම් ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී නම් එබඳු දිටුසපන් පුඟුල් තෙමේ මිදුණේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 7.
සුරියූපම සූත්‍රය
3879. මහණෙනි, යම් මේ අරුණෝදයයෙක් වේ නම් උදා වන හිරුට මෙය පෙරටු ය. මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ සම්දිටෙක් වේ නම් මහණහට සිවුඅරීසස් තතුසේ නුවණින් පිළිවිදිනු පිණිස මෙය පෙරටු ය, මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, සම්දිටු ගත් මහණහු විසින් “මේ දුකැ” යි තතුසේ දැනගන්නේ ය ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දැනගන්නේ ය” යන මෙය කැමැති විය යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 8.
දුතිය සුරියූපම සූත්‍රය
3880. මහණෙනි, යම් තාක් මේ සඳහිරුහු ලොව නූපදිද්ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො ම වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වෙයි. ඒ තාක් රෑදාවල් නො ම පෙනේ. මස් අඩමස් නො ම පෙනේ. ඍතුසංවස්තර නො ම පෙනේ. මහණෙනි, යම් කලෙක සඳහිරුහු ලොව උපදිද්ද එකල්හි මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල්හි ගනඳුර නො ම වේ. බලවත් කළුවර නො ම වේ. එකල්හි රෑදාවල් පෙනේ. මස් අඩමස් පෙනේ. ඍතුසංවස්තර පෙනේ.
මහණෙනි, එසෙයින් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ යම් තාක් ලොව නූපදිත් ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වේ. ඒ තාක් චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීමෙක් දේශනා කිරීමෙක් පැනවීමෙක් පිහිටුවීමෙක් විවර කිරීමෙක් බෙදීමෙක් උඩුහුරු කිරීමෙක් නො ම වේ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයෝ යම් කලෙක ලොව උපදිත් ද, එකල මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල ගනඳුර නොම වේ. බලවත් කළුවර නො ම වේ. එකල චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවර කිරීම බෙදීම උඩුහුරු කිරීම වේ. කවර චතුරාර්‍ය්‍යසත්‍යය යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 9.
ඉන්‍දඛීල සූත්‍රය
3881. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. මහණෙනි, යම්සේ සැහැල්ලු වූ වාගන්නා හිඹුල්පුලුන හෝ කපුපුලුන හෝ සමබිමක තබන ලද්දේ වේ ද, ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට ගෙනයන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට ගෙනයන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට ගෙනයන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට ගෙනයන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, කපුපුලුන සැහැල්ලු බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් නුදුටු බැවිනි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ දුකැ යි තතුසේ දනිද්ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. මහණෙනි, යම්සේ ගැඹුරු බිමට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නිසල වූ නො සැලෙනසුලු යහුලෙක් හෝ හිම් කණුවෙක් හෝ වේ ද, ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළ දිගින් ... ඉදිනුදු උතුරු දිගින් ... ඉදිනුදු දකුණුදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි. හිම්කණුව මැනවින් සිටුවන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතුසේ දනිද්ද, ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් මැනවින් දුටු බැවිනි. කවර සිවුඅරීසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුඃඛ යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 10.
වාද සූත්‍රය
3882. මහණෙනි, යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ඉදුනුදු දොස් කැමති දොස් සොයනසුලු මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණුදිගින් එන්නේ නම් කරුණු සහිතව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ සොළොස්හත් ගැල්ටැඹෙක් වේ ද එහි අටහතෙක් වළ යටට ගියේ ය. අටහතෙක් වළ මතුයෙහි සිටියේ ය. ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නොම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදිනුදු දකුණුදිගින් දැඩි සුළඟෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. නො ම වෙසෙසින් සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි ගල්ටැඹ මැනවින් සිටුවන ලද බැවිනි.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණු දිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය ය මැනවින් දුටුබැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍ය යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍ය කටයුතු යි.
සිවුවැනි සිංසපාවන වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සිංසපා, ඛදිර, දණ්ඩ, චෙල, සත්තිසත, පාණ යී සයෙක් ද සුරියෝපම සුතුරු දෙකෙක් ද ඉන්‍ද්‍රකීල වාද යී දෙකෙක් දැ යී මුළුල්ල දශයෙකි යි.
5. පපාත වර්‍ගය
12. 5. 1.
චින්තා සූත්‍රය
3883. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහගහනුවරින් නික්ම ලෝ සිතිවිලි සිතන්නෙමි” යි සුමාගවා නම් පොකුණ වෙත එළඹියේ ය. එළඹ ලෝසිතිවිලි සිතමින් සුමාගවා පොකුණු තෙර හුන්නේ ය. මහණෙනි, ඒ පුරිස් තෙමේ සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනඟක් දුටුයේ ය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: “ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි, මම නම් පහවූ සිතිවිලි ඇත්තෙක්මි” යි.
මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ රජගහනුවරට පිවිස: හිමියනි, ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි. හිමියනි, මම නම් පහ වූ සිතිවිලි ඇත්තෙක්මි” යි මහදනමුළුවට සැලකෙළේ ය. එම්බා පුරුෂය ඒ කෙසේ නම් තෝ උමතුවෙක් වෙහි ද? කෙසේ පහ වූ සිතිවිලි ඇත්තෙක් වෙහි ද? ලොව නැති කිමෙක් තා විසින් දක්නා ලද දැ යි? හිමියනි, “මෙහි මම රජගහනුවරින් නික්ම “ලෝසිතිවිලි සිතන්නෙමි” යි “සුමාගවා” පොකුණ වෙත එළඹියෙමි. එළඹ “සුමාගවා” පොකුණු තෙර ලෝසිතිවිලි සිතමින් හුන්නෙමි. හිමියනි, මම සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනග දිටිමි. හිමියනි, මෙසේ මම උමතුවෙක්මි. මෙසේ පහ ව ගිය සිතිවිලි ඇත්තෙක්මි ලොව නැති මෙ ද මා විසින් දක්නා ලදැ”යි, එම්බා පුරුෂය, තෝ ඒකාන්තයෙන් උමතුවෙකි, ඒකාන්තයෙන් පහ ව ගිය සිතිවිලි ඇත්තෙකි. ලොව නැති මෙ ද තා විසින් දක්නා ලදැ යි. මහණෙනි, ඒ පුරිස් තෙමේ ඒ වූවක් ම දිටි. නුවූවෙක් නො වේ.
මහණෙනි, පෙර වූවක් කියමි: දෙවියන් හා අසුරයන් අතර යුදධක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණු අසුරයෝ බියපත් වූවාහු දෙවියන්ගේ සිත් මුළා කරවමින් ම නෙළුඹුදැලියෙන් අසුර පුරයට පිවිසියහ. මහණෙනි, එහෙයින් මෙහි ලා “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය අශාශ්වත ය” යි හෝ “ලෝකය අන්තවත් ය” යි හෝ “ලෝකය අනන්තවත් ය” යි හෝ “එය ජීවය එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක ශරීරය අනෙකකැ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි. ලෝ සිතිවිලි නහමක් සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිලි වැඩ සහිත නො වේ. මගබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී නිරෝධය පිණිස නො පවතී ව්‍යූපශමය පිණිස නො පවතී අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී නිර්‍වාණය පිණිස නො පවතී.
මහණෙනි, තෙපි සිතන්නහු නම් “මේ දුකැ” යි සිතවු. “මේ දුක් හටගැනුමැ”යි සිතවු. “මේ දුක් වැළැක්මැ”යි සිතවු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩදායක ය. මේ මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සමෙබාධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 2.
පපාත සූත්‍රය
3884. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, “යමු දිවාවිහරණය පිණිස පටිභානකූටය වෙත එළඹෙන්නෙමු” යි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග පිලිබහන්කුළ වෙත එළඹිසේක. එක්තරා මහණෙක් පිළිබහන්කුළෙහි මහත් ප්‍රපාතයක් දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් මහති. වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇද්දෝ” යි “මහණ, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇතැ”යි. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතය කවරේ දැ යි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද, “මේ දුක් හට ගැනුමැ”යි තතු සේ නො දනිද්ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්.
ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට, ජාති ප්‍රපාතයට ද වැටෙත්. ජරාප්‍රපාතයට ද වැටෙත්. මරණ ප්‍රපාතයට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්‍රපාතයට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද්ද ... “මේ දුක් වැළැක්මට පුමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්.
ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට, ජාති ප්‍රපාතයට ද නො වැටෙත්. ජරාප්‍රපාතයට ද නො වැටෙත්. මරණ ප්‍රපාතයට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්‍රපාතයට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. (සියලු) දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 3.
පරිළාහ සූත්‍රය
3885. මහණෙනි, මහාපරිළාහ නම් නිරයෙක් ඇත. එහි යම් කිසි රුවක් ඇසින් දකී නම් අනිටු රුවක් ම දකී. ඉටු රුවක් නො දකී. නො කැමති රුවක් ම දකී. කැමති රුවක් නො දකී. නො මනා රුවක් ම දකී. මනාරුවක් නො දකී. කණින් යම් කිසි සදක් අසා නම් ... නැහැයෙන් ගඳක් ගනී නම් ... දිවින් රසක් විඳී නම් ... කයින් පහසක් පුසී නම් ... සිතින් යම් කිසි දහමක් දනී නම් අනිටු රුවක් ම දනී. ඉටු රුවක් නො දනී. නො කැමති රුවක් ම දනී. කැමති රුවක් නො දනී. නො මනාරුවක් ම දනී. මනාරුවක් නො දනීයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇද්දෝ” යි? මහණ, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇතැ යි. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අන් පරිළාහය කවරේ දැයි?
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතු සේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් .. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාතිපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ජරාපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. මරණපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.
මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් .. නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ... ජාතිපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ජරාපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. මරණපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 4.
කූටාගාර සූත්‍රය
3886. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටභාගය නො කොට මතුභාගය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටගෙය කොට මතුගෙය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 5. 5.
වාල සූත්‍රය
3887. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ සිප්හලෙහි විදීමට පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡවීකුමරුන් දුටහ. දැක උන්වහන්සේට මෙබඳු සිතෙක් වියේ. “යම් කෙනෙක් දුරින් ම සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා හීතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.