Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 14601-14700 න් 15083

සමාධි සූත්‍රය
3843. මා විසින් මෙසේ අසන ලදි. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක ... මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනියි. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනියි. “මේ දුක්හටගැනුමැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනියි. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනී.
මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි (දැන) වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් හටගැනුමැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 2.
පටිසල්ලාන සූත්‍රය
3844. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනී. ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. මහණෙනි, එහෙයින් එහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය කටයුතු යි.
කුලපුත්ත සූත්‍රය
3845. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, දැන් යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය.
කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද ... පැවිදි වන්නාහු ද ... පැවිදි වෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් ම තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 4.
දුතියකුලපුත්ත සූත්‍රය
3846. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනැවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යී වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 5.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
3847. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. කවර චතුරාර්‍ය්‍යසත්‍ය කෙනෙක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ... අවබෝධ කරන්නාහු ද, ... අවබෝධ කෙරෙත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 6.
දුතියසමණබ්‍රාහ්මණ සූත්‍රය
3848. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ (මම්) අවබෝධ කෙළෙමැ යි (තමන්) පැවසූහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කෙළෙමැ යි පැවසූහ. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතු සේ අවබෝධ කෙළෙමැ යි තමන් පවසත් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අභිසම්බුද්ධය යි පවසත්. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පැවසූහු ද ... පවසන්නාහු ද ... පවසත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසත්. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 7.
විතක්ක සූත්‍රය
3849. මහණෙනි, ලාමක වූ අකුශල විතර්‍කයන් නහමක් විතර්‍කණය කරවු. එනම්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසා විතර්‍ක යි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිත නො වෙත්. මගබඹසරට මුල් වූවෝ නො වෙත්. නිර්වේදය පිණිස නො පවතිත්. විරාගය පිණිස නො පවතිත්. නිරෝධය පිණිස නො පවතිත්. ව්‍යුපශමය පිණිස නො පවතිත්. අභින්‍දනය පිණිස නො පවතිත්. සම්බෝධිය පිණිස නො පවතිත්. නිර්‍වාණය පිණිස නො පවතිත්. මහණෙනි, තෙපි විතර්‍කණය කරන්නාහු නම් “මේ දුක්ඛ”යි විතර්‍කණය කරවු. ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී විතර්‍කණය කරවු. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිතයහ. මොහු මගබඹසරට මුල් ය. මොහු නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිපිණිස පවතිත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 8.
චින්තා සූත්‍රය
3850. මහණෙනි, “ලෝකය ශාශ්වතයැ” යි හෝ “ලෝකය අශාශ්වතයැ”යි හෝ “ලෝකය අන්තවතයැ” යි හෝ “ලෝකය අන්නතවතයැ” යි හෝ “එය ජීවය එය ශරීරය”යි හෝ “ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ”යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ” යී හෝ “සත්ත්‍වයා මරණින් මතු නො වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි ලාමක අකුසල් සිතක් නො සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත නො වේ, මඟබඹසරට මුල් නො වේ, නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි සිතන්නාහු නම් “මේ දුක්ඛ”යි සිතවු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥාය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 9.
විග්ගාහිකකථා සූත්‍රය
3851. මහණෙනි, “තෙපි මේ සස්න නො දනිවු, මම මේ සස්න දනිමි. කිම තෙපි මේ සස්න දනිවු ද, තෙපි වරදවා පිළිපන්නහු වවු. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු කිය යුත්ත පසු ව කීහු, පසු ව කිව යුත්ත පළමු කීහු. මාගේ වචනය කරුණු සහිත ය. තොපගේ වචනය කරුණු රහිත ය. තොප විසින් දිගුකලක් මුළුල්ලෙහි පුරුදු කරන ලද්ද පෙරළී සිටියේ ය. තොපට දොස් නගන ලද. දොසින් මිදීම පිණිස හැසිරෙවු. නිගා කරන ලදහු යැ, ඉදින් සමත් වවු නම් නිදහස් වවු” යී විරුදධවාදී කථා නො කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නාහු නම් “මේ දුක්ඛ”යි කියවු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 10.
තිරච්ඡානකථා සූත්‍රය
3852. මහණෙනි, නන්වැදෑරුම් තිරිසන් කථා නො කියවු. එනම් “රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍රයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බිය පිළිබඳ කථා, යුද පිළිබඳ කථා, අහර පිළිබඳ කථා, පානවර්‍ග පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, සෙනසුන් පිළිබඳ කථා, මල්දම් පිළිබඳ කථා, ගඳ පිළිබඳ කථා, නෑයන් පිළිබඳ කථා, වාහන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, පුරුෂයන් පිළිබඳ කථා, සූරයන් පිළිබඳ කථා, වීථි පිළිබඳ කථා, දියතොට පිළිබඳ කථා, (කුම්භදාසීන් පිළිබඳ කථා) ඉකුත් නෑයන් පිළිබඳ කථා, නානාස්වභාව ඇති කථා, ලෝකනිර්‍මාණය පිළිබඳ කථා, සමුදුර හටගැනීම පිළිබඳ කථා (ශාශ්වත උච්ඡේද ආදි) භවාභව කථා හෝ” යි. එ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නහු නම් “මේ දුක්ඛ”යි කියවු. “මේ දුක්ඛසමුදය”යී කියවු. “මේ දුක්ඛනිරෝධ”යි කියවු. මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛ සමුදය” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
පළමුවැනි සමාධිවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සමාධි, පටිසල්ලාන යී දෙසුතුරෙකි. අනෙක් කුලපුත්ත සුතුරු දෙකෙකි. සමණබ්‍රාහ්මණ සුතුරු දු දෙකෙකි. විතක්ක, චින්තා, විග්ගාහිකකථා, තිරච්ඡානකථා යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
2. ධම්මචක්කප්පවත්තන වර්‍ගය
12. 2. 1.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
3853. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලේශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නුවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, තථාගතයන් විසින් අවබෝධ කරන ලද පැනැස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි. එනම්: “සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි” යි. මහණෙනි, පැනැස කරන නුවණැස කරන ඒ මේ මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡේද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ය. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දතයුතු (ඉක්මැ වියැ යුතු) ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළවිය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු යයි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහීණයැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතුය යි. පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුතු ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය.
මහණෙනි, යම්තාක් මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්‍ශනය තතුසේ වෙසෙසින් විසුදු නො වී ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නො ම පිළින කෙළෙමි. මහණෙනි, යම් කලෙක මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්‍ශනය තතුසේ වෙසෙසින් විසුදු වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනයත් පහළ විය. මාගේ අර්‍හත්ඵල සමාධිය අකෝප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්‍භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති පස්වග භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි “යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ”යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවැත්වූ කල්හි මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ (තමන් වහන්සේ හා සමාන ලෙස) නො පැවැත්විය හැකි මේ අනුත්තර දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ”යි බූමාටු දෙවියෝ ප්‍රීති ශබ්ද ඇස්වූහ. (සාධුකාර දුන්හ.) මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ යි බූමාටු දෙවියන්ගේ (සාධුකාර) ශබ්දය අසා සිවුමහරජවැසි දෙවියෝ සාධුකාර දුන්හ ... සිවුමහරජවැසි දෙවියන්ගේ සාධුකාර ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ සාධුකාර දුන්හ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිර්‍මාණරතී දෙවියෝ ... පරනිර්මිතවශවර්ති දෙවියෝ ... මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ” යි ... බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ” යි.
මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් (සාධුකාර) ශබ්දය උස්ව පැන නැංගේ ය. මේ දශසහස්‍රී ලෝකධාතුවත් සැලුණේ ය. මහත්සේ සැලුණේ ය. දැඩිසේ වෙවුළී ය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි අප්‍රමාණ උදාර ආලොකයෙක් ද ලොව පහළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් (චතුස්සත්‍යය) දැන ගත්තේ ය. භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් දැන ගත්තේ ය යි උදන් ඇනූ සේක. මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ”යි ම මේ නමෙක් වී යි.
12. 2. 2.
තථාගත සූත්‍රය
3854. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දත යුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය ප්‍රහාණය කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... ප්‍රහාණය කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩියයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ වී ය යි.
12. 2. 3.
ඛන්‍ධ සූත්‍රය
3855. මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: පස් උපාදානස්කන්‍ධයෝ ය යි එයට කියයුතු. කවර පසෙක යත්: එනම් “රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ ය” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාග නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවර යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 4.
ආයතන සූත්‍රය
3856. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍යය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: අධ්‍යාත්මික ෂඩායතනයෝ යයි එයට කියයුතු. කවර ෂඩායතනයෝ යැ යත්: “චක්ඛායතන සෝතායතන ඝානායතන ජිව්හායතන කායායතන මනායතන” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇලුම් ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: “කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා” යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවර යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 5.
ධාරණ සූත්‍රය
3857. මහණෙනි, මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි තෙපි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි” යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ” යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි.
“වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා ලදැ” යි දරමි. “වහන්ස, මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරමි” යි.
මහණ, මැනවි, මැනවි, මහණ, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු මහණ, මා විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මෙසේ මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුක්ඛ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 6.
දුතිය ධාරණ සූත්‍රය
3858. මහණෙනි, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ”යි දරමි යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ”යි. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි. වහන්ස, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පළමුවනු කොට පනවන්නෙමි”යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දේශනා ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු නො වේ. මම මේ දෙවන දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යයක් දෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දේශනා කරන ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු නො වේ. මම මේ තෙවන දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යයක් තෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා කරන ලදැයි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. වහන්ස, මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි.
මහණ, මැනවි, මැනවි. මහණ, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරනු මැනවි. මහණ, මා විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පළමුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත ...
මහණෙනි, මා විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා කරන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණ, මෙසේ තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරවු. මහණ, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 7.
අවිජ්ජා සූත්‍රය
3859. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, අවිද්‍යා අවිද්‍යා” යි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යා නම් කවර යැ? කෙතෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි. මහණ, යම් දුකෙහි නො දැන්මෙක් දුක් හටගැන්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි නො දැන්මෙක් වේ ද, මහණ, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙතෙකින් අවිද්‍යාගතත් වේ. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 8.
විජ්ජා සූත්‍රය
3860. එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, විද්‍යා විද්‍යා”යී කියනු ලැබේ. වහන්ස, විද්‍යා නම් කවර යැ? කෙතෙකින් විද්‍යාගතත් වේ දැයි? මහණ, යම් දුකෙහි දැනීමෙක්, දුක් හටගැන්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි දැනීමෙක්, වේ ද, මහණ, මේ ‘විද්‍යා’ යි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාගතත් වෙයි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 9.
සඞ්කාසන සූත්‍රය
3861. මහණෙනි, “මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදි. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි. මහණෙනි, “මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි” මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා”යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 10.
තථ සූත්‍රය
3862. මහණෙනි, මේ සතරෙක් සත්‍ය ය. නො වෙනස් වන සුලු ය, අන්පරිදි නොවන සුලු ය. කවර සතරෙක යත්: මහණෙනි, “මේ දුකැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය, “මේ දුක්හේතු” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, “මේ දුක් නැවැත්මැ”යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, මහණෙනි, මේ සතර සත්‍ය ය. නො වෙනස් වනසුලු ය, අන්පරිදි නො වනසුලු ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්හේතු ය”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් නැවැත්මැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
දෙවැනි ධම්මචක්කපවත්තන වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
(ධම්මචක්කප්පවත්තන තථාගත යි) තථාගතනමින් දෙකෙක් කියන ලදි. ඛන්‍ධ ආයතනනමින් ද දෙකෙකි. ධාරණ සූත්‍ර ද දෙකෙකි. අවිජ්ජා, විජ්ජා, සඞ්කාසන, තථ යී සතරෙකි. මුළුල්ල දශයෙකි යි.
3. කෝටිගාම වර්‍ගය
12. 3. 1.
කෝටිගාම සූත්‍රය
3863. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑ දනව්වෙහි කෙළගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, සිවු අරීසස් නොදැනුමෙන් නො පිළිවිදුමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි දිවිණි සැරිසැරිණි. නොහොත් මාගේත් තොපගේත් දිවුම සැරිසැරුම විය. කවර සතරක යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නො පිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි.
මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. භවතෘෂ්ණාව සිඳින ලදු, බවරැහැන (තෘෂ්ණ) ගෙවිණ. දැන් පුනර්‍භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
‘සිවු අරීසස් තතුසේ නොදැක්මෙන් දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි සැරිසරමින් ම ඒ මොහු (සිවුසස්) දක්නා ලද හ. බවරැහැන නසන ලදි. දුකෙහි මුල් සිඳින ලදී. දැන් පුනර්‍භවයෙක් නැතැ’ යි.
12. 3. 2.
දුතිය කෝටිගාම සූත්‍රය