දෙවෙනි රාජකාරාම වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
සහස්ස, බ්‍රාහ්මණ, ආනන්‍ද, දුග්ගති, විනිපාත යී පසෙක් ද මින්තාමච්ච සූත්‍ර දෙකෙක් ද දේවචාරිකා සූත්‍ර තුනෙක් ද කියන ලදහ (මුළුල්ල දශයෙකි).
3. සරකානි වර්‍ගය
11. 3. 1.
මහානාම සූත්‍රය
3789. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාක්‍යදනව්වෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “මේ කිඹුල්වත්නුවර සමෘද්ධ ද (පළන් අබරණින්) පිණාගියේ ද බොහෝ දෙනාට හිත ද ගැවසුණු මිනිසුන් ඇත්තේ ද හැසුණු වීථි ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස්කල කිඹුල්වතට පිවිසෙනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්සුන් ව හැසිරෙන ගැළක් සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන පුරුෂයෙකු සමගත් එක් වෙමි. වහන්ස, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඇරබ පැවැති ඒ මාගේ සිහිය මුළා වේ මැ යි. දහම් ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. සඟන ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: “මෙසමයෙහි මම කලුරිය කරන්නෙම් නම් මා ගේ ගතිය කුමක් වන්නී ද, පරලොව කිමෙක් වන්නේ දැ”යි?
මහානාම, නො බව, මහානාම නො බව. තොපගේ මරණය අලාමක වන්නේ ය, කාලක්‍රියාව අලාමක වන්නී ය. මහානාම, යම් කිසිවකුගේ සිත දිගුකලක් සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ශීලයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ශ්‍රැතයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ත්‍යාගයෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත ප්‍රඥායෙන් හාත්පසින් වඩනා ලද්දේද, ඔහුගේ රූපවත් ශරීරයෙක් සතර මහාභූතයෙන් නිපන්නේ මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ යම් බතින් හා කොමුයෙන් වැඩුණේ නිරතුරු උලන පිරිමදින බිඳෙන වැනසෙන දහම් ඇත්තේ වේ ද එය මෙහි ම කවුඩෝ හෝ කති. ගිජුලිහිණියෝ හෝ කති. උකුස්සෝ හෝ කති. ශුනකයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නන්වැදෑරුම් ප්‍රාණීහු හෝ කති. ඔහුගේ යම් සිතෙක් වූ කලි දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ශීලයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ශ්‍රැතයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ත්‍යාගයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ප්‍රඥායෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, එය උඩුහුරුව යනසුලු වෙයි. වෙසෙස් බැව් කරා යනසුලු වේ.
මහානාම යම්සේ බලවත් පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියවිලකට බස්වා බිඳින්නේ ද, එහි යම් කැට හෝ කැබලිති හෝ වන්නේ නම් එය යටට යනසුලු වන්නේ ය. එහි යම් ගිතෙල් හෝ තෙල් හෝ වන්නේ නම් එය උඩුහුරු ව යනසුලු වෙසෙස් ව යනසුලු වන්නේ ය. මහානාම එසෙයින් ම යම් කිසිවකුගේ සිත දිගු කලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩන ලද්දේ ද, සිත ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් හාත්පසින් වඩන ලද්දේ ද ඔහුගේ යම් රූපවත් වූ, ශරීරයෙක් සතර මහාභූතයෙන් නිපන්නේ මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ බතින් හා කොමුයෙන් වැඩුණේ නිරතුරු උලන පිරිමදින බිඳෙන වැනසෙන දහම් ඇත්තේ වේද, එය මෙහි ලා කවුඩෝ හෝ කති. ගිජුලිහිණියෝ හෝ කති උකුස්සෝ හෝ කති. ශුනකයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නන්වැදෑරුම් ප්‍රාණීහු හෝ කති. ඔහුගේ යම් සිතෙක් දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩන ලද ද ... සිත නුවණින් හාත්පසින් වඩන ලද ද එය උඩුහුරු ව යනසුලු වෙසෙස් ව යනසුලු වෙයි. මහානාම, තොපගේ සිත දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ය ... සිත නුවණින් හාත්පසින් වඩනා ලද්දේ ය. මහානාම, නොබව, මහානාම, නො බව, තොපගේ මරණ ය අලාමක වන්නේ ය. කාලක්‍රියාව අලාමක වන්නී යි.
11. 3. 2.
දුතිය මහානාම සූත්‍රය
3790. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාමශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, මේ කිඹුල්වත්පුරය සමෘද්ධ ද (පලන් අබරණින්) පිණාගියේ ද, බොහෝ දෙනාට හිත ද, ගැවසුණු මිනිසුන් ඇත්තේ ද, හැසුණු වීථි ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස් කල කිඹුල් වතට පිවිසිනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි.නොසන් සුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන් සුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්හුන්ව හැසිරෙන ගැළක් සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන මිනිසකු සමගත් එක් වෙමි. වහන්ස, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඇරබ පැවැති ඒ මාගේ සිහිය මුළා වේ මැ යි. දහම් ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. සඟන ඇරබ පැවැති සිහිය මුළා වේ මැයි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මෙසමයෙහි මම කලුරිය කරන්නෙම් නම් මාගේ ගතිය කුමක් වන්නී ද? පරලොව කිමෙක් වන්නේ දැ”යි?
මහානාම නො බව, මහානාම නො බව. තොපගේ මරණය අලාමක වන්නේ ය. කාලක්‍රියාව අලාමක වන්නී ය. මහානාම, සිවුදහමකින් යුතු අරිසවු තෙමේ නිවණට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහානාම මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහානාම, යම්සේ පෙරදිගට නැමුණ පෙරදිගට නැඹුරු වූ පෙරදිගට බර වූ රුකෙක් වේ ද, එය මුලින් සිඳින ලද්දේ කවර දිගකට වැටෙන්නේ දැ යි? වහන්ස, නැමුණු දිගට නැඹුරු වූ දිගට බර වූ දිගට ය. මහානාම, එසෙයින් ම මේ සිවුදහමින් යුතු අරිසවු තෙමේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි.
11. 3. 3.
තතිය මහානාම සූත්‍රය
3791. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාමශාක්‍ය තෙමේ ගෝධාශාක්‍යයන් වෙත එළඹියේ ය. එළඹ ගෝධාශාක්‍යයන්ට මෙය කී ය: ගෝධාවෙනි, “තෙපි විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි දනිවු දැයි? මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර තුනෙකින යත්: මහානාමයෙනි, “මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... භාග්‍යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන්දහමින් යුතු ය”යි මම දනිමි.
මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැයි? භවත් ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු යයි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: භවත් ගෝධාවෙනි, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුන්ට, ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය යි මම දනිමි යි. මහානාමයෙනි, තෙපි ඉවසවු. මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමින් යුතු හෝ නොයුතු හෝ”යි භාග්‍යවතුන් වහන්සේ ම මෙය දන්නා සේකැ”යි. ගෝධාවෙනි, යමු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙම්හ. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කරම්හ”යි.
එකල්හි මහානාමශාක්‍ය තෙමේත් ගෝධාශාක්‍ය තෙමේත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, “මෙහි මම ගෝධා ශාක්‍යයන් වෙත එළඹියෙමි. එළඹ ගෝධාශාක්‍යයන්ට මෙය කීමි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැ යි? වහන්ස එසේ කී කල්හි ගෝධා ශාක්‍ය තෙමේ මට මෙය කීය:
“මහානාමයෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු යයි මම දනිමි. කවර තුනකින යත්: මහානාමයෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... භාග්‍යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින් කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන් දහමින් යුතු ය”යි මම දනිමි. මහානාමයෙනි, තෙපි වනාහි “විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු යයි” දනිව් දැයි? වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්‍යයන්ට මම මෙය කීමි:
ගෝධාවෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: ගෝධාවෙනි, “මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය”යි මම දනිමි”යි. වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්‍යයෝ මට මෙය කීහ:
මහානාමයෙනි, තෙපි ඉවසවු, මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමෙන් යුතු හෝ නොයුතු හෝ”යි මෙය භාග්‍යවතුන් වහන්සේ ම දැන වදාරන සේක. වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේ ය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක, බික්සඟනද එක්පසෙක වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක වන සේක් නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය, භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක්පසෙක ද මෙහෙණ සඟන එක් පසෙක ද වන්නා හ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක් පසෙක ද මෙහෙණ සඟනත් උවසුවෝත් එක්පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක් පසෙක ද මෙහෙණ සඟනත් උවසුවෝත් උවැසියෝත් එක් පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේ ය. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක වන සේක. බික්සඟන එක්පසෙක ද මෙහෙණසඟනත් උවසුවෝත් උවැසියෝත් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයාත් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවත් එක්පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා යි.
ගෝධාවෙනි, මෙබඳු වාද ඇති තෙපි මහානාම ශාක්‍යයන්ට කුමක් කියවු දැයි? වහන්ස, මෙබඳු වාද ඇති මම මහානාම ශාක්‍යයන්ට යහපත හැර කුශලය හැර කිසිවක් නො කියමි යි.
11. 3. 4.
සරකානි සූත්‍රය
3792. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානිශාක්‍ය තෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරියි. පින්වත්නි, පුදුමයි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවසව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
එකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. හෙතෙමේ විවසව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. වහන්ස, එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්. ගරහත්. දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරි යි. පින්වත්නි, පුදුම යි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේයි” ඒ යමෙකු ගෙන කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ ය. දහම් පිහිට කොට ගියේ ය. සඟන පිහිට කොට ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් ද සමන්‍වාගත ය. හෙතෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය. තිරිසන්යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් හාත්පසින් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. “ධර්‍මය කෙරෙහි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙතෙමේ පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඕපපාතිකයෙක් වෙයි. මහානාම මේ පුඟුල්තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන් යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් යුක්ත වූයේ නො ද වෙයි. හෙ තුන් සංයොජනයක් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක් වරක් ම මෙලොවට පැමිණ දුක් කෙළවර කෙරෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන්යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධය හ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත වේ. හෙ තෙවැදෑරුම් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම, මේ පුඟුල් තෙමේ ද නිරයෙන් මිදුණේ ය. තිරිසන් යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ නො ම වෙයි. දහම්හි ... නොම වෙයි. සඟන කෙරෙහි නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නොම වේ. ජවනප්‍රඥා ඇත්තේ නො ම වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද දහම්හු නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යෝනට නොයන්නෙකි. ප්‍රේතවිෂයට නොයන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් නො ම සමන්‍වාගත වෙයි. දහම්හි ... නො ම වෙයි. සඟන කෙරෙහි ... නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් සමන්‍වාගත නො ම වෙයි. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් කෙරෙහි ද සද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යෝනට නොයන්නෙකි. ප්‍රේතවිෂයට නො යන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.
මහානාම, ඉදින් මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි මේ මහසල්රුක්නට පවසන්නෙම් නම් මේ මහසල්රුක්හු ද සුභාෂිත දුර්‍භාෂිත දැන ගන්නාහු ය. සරකානි ශාක්‍යයා ගැන කියනු ම කිම? මහානාම සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ත්‍රිවිධ ශික්‍ෂා පිරිපුන් කරනසුලු වී ය.
11. 3. 5.
දුතිය සරකානි සූත්‍රය
3793. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානි ශාක්‍යතෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වූ කලී බොහෝ ශාක්‍යයෝ එක් රැස් ව අවමන් කෙරෙත්. ගරහත්, දොස් පහළ කෙරෙත්. “භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද? සරකානි ශාක්‍ය තෙමේ ශික්‍ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
එකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළ හ: “වහන්ස, මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. ‘හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’ යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වනාහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නො වන්නේ ද? සරකානි ශාක්‍ය තෙමේ ශික්‍ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ වේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද? මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ”යි ඒ යමකු ඇරබ කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ ය. දහම් සරණ ගියේ ය. සඟුන් සරණ ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ (=නොසැලෙන සැදැහැ ඇත්තේ) බෙහෙවින් පහන් වූයේ වෙයි. “දහම් කෙරෙහි ... ලොවට අනුතුරු පින්කෙතැයි සඟුන් කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ජවන ප්‍රඥා ඇත්තේ විමුක්තියෙන් ද සමන්‍වාගත වූයේ වෙයි. හෙතෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් වෙසෙසින් මිදුණේ ය. තිරිසන්යෝනියෙන් වෙසෙසින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් වෙසෙසින් මිදුණේ ය. අපායදුග්ගතිවිනිපාතයෙන් වෙසෙසින් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙ පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්ච පරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාස ප්‍රඥා ඇත්තේ නො වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො වෙයි. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙ ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහානාම, මම පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... හාසුප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙ ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්තබවට ගියේ බෙහෙවින් පහන් වූයේ නො ම වෙයි. ධර්‍මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසුප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද දහම්හු ද නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේ ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්‍රේතවිෂයට නොයන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ නො ම වෙයි. ධර්‍මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසබහුල ප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙති. තථාගතයන් කෙරෙහි දු ඔහුට ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්‍රේතවිෂයට නො යන්නෙකි. අපාය දුර්‍ගතිවිනිපාතයට නො යන්නෙකි.
මහානාම, යම්සේ නො සරු බිම් ඇති නො නට කණු ඇති විෂම කෙතෙක් වේ ද, බිඳුණු කුණු වූ අව්සුළඟින් නටුවා වූ හර නො ගත් මැනවින් නො තබන ලද බීජයෝ ත් වන්නාහු ද, වැස්සත් මැනවින් වැසිදහර නො පමුණුවන්නේ ද, (එසේ ඇති කල්හි) බීජයෝ වැඩීමට තිරබවට විපුලත්‍වයට පැමිණෙන්නාහු දැයි? වහන්ස, මෙය නො වේ ය. මහානාම, එසෙයින් ම මෙහි දහම නපුරු කොට පවසන ලද්දේ නපුරු කොට දෙසන ලද්දේ නිවනට නො පමුණුවන්නේ ක්ලේශව්‍යුපශමය පිණිස නො පවත්නේ සව්නේ නොදත්තවුන් විසින් පවසන ලද්දේ වේ නම් මෙය මම විෂම කෙතැ යි කියමි. ශ්‍රාවක තෙමේ ඒ ධර්‍මයෙහිත් ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ව සාමීචිප්‍රතිපන්න ව අනුධර්‍මචාරී ව වෙසේ නම් මෙය මම නපුරු බීජය යි කියමි.
මහානාම, යම්සේ මනා බිම් ඇති මැනවින් නසන ලද කණු ඇති මනා කෙතෙක් වේ ද, නො කඩ වූ නො කුණු වූ අව්සුළඟින් නො නට හර ගත් මැනවින් තබන ලද බීජයෝත් වන්නාහු ද, වැස්සත් මැනවින් වැසිදහර පමුණු වන්නේ ද, (එසේ ඇති කල්හි) ඒ බීජයෝ වැඩීමට තිරබවට විපුලත්‍වයට පැමිණෙන්නාහු දැ?යි වහන්ස, එසේ ය. මහානාම, එසෙයින් ම මෙහි ධර්‍මය මැනවින් පවසන ලද්දේ මැනවින් දෙසන ලද්දේ නිවනට පමුණුවන්නේ ක්ලේශව්‍යුපශමය පිණිස පවත්නේ සව්නේ දත්තවුන් විසින් පවසන ලද්දේ වේ ද මෙය මම මනා කෙතැ යි කියමි. ඒ ධර්‍මයෙහිත් ශ්‍රාවක තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ව සාමීචි ප්‍රතිපන්න ව අනුධර්‍මචාරී ව වෙසේ නම් මෙය මම මනා බීජය යි කියමි. සරකානි ශාක්‍යයා ගැන කියනු කිම? මහානාම, සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ශික්‍ෂාව පිරිපුන් කරනසුලු වී යි.
11. 3. 6.
අනාථපිණ්ඩික සූත්‍රය
3794. එසමයෙහි අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ එක්තරා පුරුෂයකු ඇමතී ය: “එම්බා පුරුෂය, එව. තෙපි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත එළඹෙවු. එළඹ “වහන්ස, අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳී”යි මා වදනින් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳිවු. මෙසේත් කියවු: වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි.
එසේ ය හිමියනි, යි ඒ පුරුෂ තෙමේ අනේපිඬු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කී ය. “වහන්ස, අනේපිඬු ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මුවෙන් නොබැණ ඉවසූහ.
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් ආනන්‍ද පසු මහණහු සමග අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මෙය වදාළහ: “ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? ඔවුන්ගේ අඩුවීම පැනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ යි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක්වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පෙනේ, අඩු වීමෙක් නො පෙනේ යි.
ගැහැවිය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවිය, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහු ය.
ගැහැවි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාත නිරයට පැමිණේ නම් දහම්හි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. දහම්හි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, සඟුන් කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාත නිරයට පැමිණේ නම් සඟුන් කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්‍යවතුන් වහන්සේගේ සවුසඟහු තෙමේ සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. සඟුන් කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු දුසිල්කමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් තොපට නැත. ගැහැවි නොකැඩුණු ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍ය කාන්තශීලයෝ තොපට ඇත් ම ය. ඒ ආර්‍ය්‍යකාන්තශීලයත් තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාදෘෂ්ටියෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා දෘෂ්ටියක් තොපට නැත. ගැහැවි සම්‍යග්දෘෂ්ටිය ද තොපට ඇත් ම ය. ඒ සම්‍යග් දෘෂ්ටිය තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යා සංකල්පයෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාසංකල්පයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්සංකල්පය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්සංකල්පය ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නා හ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාවචනයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාත නිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාවචනයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්වචනය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්වචනය ද තමන් තෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාකර්‍මාන්තයකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාකර්‍මාන්තයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්කර්‍මාන්තය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්කර්‍මාන්තය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යා ආජීවයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා ආජීවයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ආජීවය තොපට ඇත් ම ය. ඒ සම්‍යගාජීවය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාව්‍යායාමයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාව්‍යායාමයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ව්‍යායාමය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්ව්‍යායාමය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාස්මෘතියකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාස්මෘතියක් තොපට නැත. ගැහැවි, සම්‍යක්ස්මෘතිය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්ස්මෘතිය ද තමන් කෙරෙහි ලා දක්නා තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාසමාධියෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා සමාධියෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්සමාධිය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්සමාධිය ද තමන් කෙරෙහි ලා දක්නා තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාඥානයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාඥානයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ඥානය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්ඥානයත් තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
ගැහැවි, යම්බඳු මිථ්‍යාවිමුක්තියකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා විමුක්තියක් තොපට නැත. ගැහැවි, සම්‍යග් විමුක්තිය තොපට ඇත් ම ය. ඒ සම්‍යග් විමුක්තියත් තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ යි.
ඉක්බිති අනේපිඬු ගැහැවිහුගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හුන්හ. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ද සියබත්තලියෙන්ම වැළඳ වී ය. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එක්තරා පහත් අසුනක් ගෙන එකත් පස් ව හුන්නේ ය. එකත් පස් ව හුන් අනේපිඬු ගැහැවිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මේ ගාථාවලින් අනුමෝදනා කළහ.
යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද යමකුගේ යහපත් වූ ශීලය ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.
එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාවත් ශීලයත් පැහැදීමත් ධර්‍මය දැකීමත් අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මේ ගාථාවලින් අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී වැඩියහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “එම්බා ආනන්‍ද, තෙපි මේ මහදවල් කොහි සිට එවු දැ?”යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් අනේපිඬු ගැහැවි තෙමේ මේ අවවාදයෙන් ද මේ අවවාදයෙන් ද අවවාද කරන ලද්දේ යි. ආනන්‍ද, යම් සැරියුත් කෙනෙක් සිවුසෝවන් අඟ දස අයුරෙකින් බෙදුහු නම් ඒ සැරියුත් පණ්ඩිතයෙකි. ආනන්‍ද, සැරියුත් මහපැනැත්තෙකි යි.
11. 3. 7.
දුතිය අනාථපිණ්ඩික සූත්‍රය
3795. එසමයෙහි අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වේ. එකල්හි අනේපිඬු ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය: “එම්බා පුරුෂය, එව තෙපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙවු. එළඹ මා වදනින් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ පා හිසින් වඳිවු ... අනුකම්පා පිණිස එහි එළඹෙන සේක්වා” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මුවින් නො බැණ ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන අනේපිඬුගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මෙය වදාළහ. ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? ඔවුන්ගේ අඩු වීම පැනේ ද? වැඩි වීමෙක් නො පෙනේ දැ යි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය, මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පැනේ. අඩුවීමෙක් නො පැනේ යි.
ගැහැවිය, සිවුදහමෙකින් යුතු නූගත් පුහුදුන්හට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි. කවර සිවුදහමෙකින් ද යත්: ගැහැවි, මෙහි නූගත් පුහුදුන් තෙමේ බුදුරජානණන් වහන්සේ කෙරෙහි නො පැහැදීමෙන් යුතු වූයේ වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ නොපැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා වූ ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි.
ගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ දහම්හි නොපැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි වූ ඒ නො පැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි.
ගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ සඟුන් කෙරෙහි නොපැහැදීමෙන් යුතු වූයේ වෙයි. සඟුන් කෙරෙහි ඒ නොපැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි.
ගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ දුසිල් බැවින් යුතු වූයේ වෙයි. ඒ දුසිල් බවත්, තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි ගැහැවි, මේ සිවුදහමින් යුතු නූගත් පුහුදුන්හට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි.
ගැහැවි, සිවුදහමෙකින් යුතු උගත් අරීසවුහට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ. කවර සිවුදහමෙකින යත්: ගැහැවි, මෙහි උගත් අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ගුණ දැන පැහැදීමක් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ.
ගැහැවි, නැවත අනෙකක් ද කියමි: උගත් අරීසවු තෙමේ දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වූයේ වෙයි. ඒ ආර්‍ය්‍යකාන්ත සිලුත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ. ගැහැවි, මේ සිවු දහමින් යුතු උගත් අරීසවුහට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ.
වහන්ස, ආනන්‍දයෙනි, මම නො බමි. මම කුමකට බානෙම් ද? වහන්ස, මම වූ කලි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතයෙමි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ගිහියන්ට සුදුසු වූ යම් මේ සිකපද කෙනෙක් පනවන ලද්දා හු ද, ඔවුනතර කඩ වූ කිසිවක් තමා කෙරෙහි නො දකිමි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනාලැබුමෙකි. ගැහැවි, තොප විසින් සෝවන් පෙල පවසන ලදැ යි.
11. 3. 8.
තතිය අනාථපිණ්ඩික සූත්‍රය
3796. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬුගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගැහැවි, යම් කලෙක අරීසවුහුගේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, සිවු සෝවන් අඟිනුත් යුතු වූයේ වේ ද, අරී නයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගතිවිනිපාත ඇත්තෙම් වෙමි. මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ ය. කවර පස් බිය වෙර සන්හුන්නාහු ද යත්:
ගැහැවි පණිවා කරනසුල්ලෙක් පණිවාපසයෙන් දිටුදැමි යෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළකුණහුට මේ බයවෙර සන්හුන්නේ වේ. ගැහැවි, නුදුන් දෑ ගන්නාසුල්ලෙක් අයිනාදන් පසයෙන් යම් ... ගැහැවි, කාමයෙහි මිසහසර ඇත්තෙක් කාමයෙහි මිසහසරපසයෙන් යම් ... ගැහැවි, මුසා බණන්නෙක් මුසවාපසයෙන් යම් ... ගැහැවි පමාවට කරුණු වූ රහමෙර මත්පැන් බොනසුල්ලෙක් පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පසයෙන් දිටුදැමියෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පමාට කරුණු වූ රහමෙර මත්පැන් පානයෙන් වැළකුණහුට මේ බය වෙර සන්හුන්නේ වේ. මේ පස් බිය වෙර සන්හුන්නේ වේ.
කවර සිවු සෝවන් අඟින් යුතු වූයේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනු දු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වෙයි.
කවර අරීනයෙක් ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන්, විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාවෝ වෙති. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. “මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” යි යම් මේ පිළිසමුපාදහමෙක් වේ නම් “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙසේ මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ” යි පිළිසමුපා ම මැනවින් නුවණින් මෙනෙහි කෙරෙයි. මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වෙයි.
ගැහැවි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගතිවිනිපාත ඇත්තෙම් වෙමි: “මම විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ යි.
11. 3. 9.
භික්ඛු සූත්‍රය
3797. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද් ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද, මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිඳුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වනුයේ “ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි. මම විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ යි.
11. 3. 10.
නන්‍දක සූත්‍රය
3798. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩ වසනසේක. එකල්හි නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. නන්‍දක, සිවු දහමෙකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්‍දක, මෙහි අරීසවු තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. නන්‍දක, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ.
නන්‍දක, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් ආයුෂයෙන් යුතු වූයේ වෙයි. වර්‍ණයෙන් ... සුවයෙන් ... යසසින් ... දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් අධිපති බැවින් යුතු වූයේ වෙයි. නන්‍දක, මම එය අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නො කියමි. වැලිදු යමක් මවිසින් තමා ම දන්නා ලද්දේ තමා ම දක්නා ලද්දේ තමා ම අවබෝධ කරන ලද්දේ නම් එය ම මම කියමි යි. මෙසේ වදාළ කල්හි එක්තරා පුරුෂයෙක් නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයන්ට හිමියනි, “නහන කලැ”යි මෙය කී ය. “කොල, දැන් මේ බාහිර නෑමෙන් කම් නැත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම් ඒ පැහැදීමෙක් වේ නම් මේ ඇතුළත නෑම පමණ වන්නේ” යි.