11. 1. 5.
දුතිය සාරිපුත්ත සූත්‍රය
3773. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “සාරිපුත්ත, සෝවාන් අඟ සෝවාන් අඟැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත, සෝවාන් අඟ කවරේ දැ”යි. වහන්ස, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි”යි. සාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි.
සාරිපුත්ත, සෝතය සෝත ය”යි මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝතය කවරේ දැ”යි. වහන්ස, මේ අරිඅටඟිමඟ ම සෝත යයි. එනම්; සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත මේ අරිඅටඟිමඟ ම සෝත ය යි. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. සාරිපුත්ත සෝවාන් සෝවාන් යී මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් කවරේ දැ යි. වහන්ස, යමෙක් මේ අරිඅටඟිමඟින් යුතු වූයේ වේ ද, මේ සෝවාන් යී කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගොත් ඇත්තේ යි. සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, යමෙක් මේ අරිඅටඟිමඟින් යුතු වූයේ වේ ද, මේ සෝවාන් යී කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගොත් ඇත්තේ යි.
11. 1. 6.
ථපති සූත්‍රය
3774. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමාසිවුරු ඇති (අනුසස් කාලය නිම වූ සිවුරු ඇති) භාග්‍යවතුන් වහන්සේ තෙමස අවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙත්. එසමයෙහි ඉසිදත්ත පුරාණ වඩුවෝ දෙදෙන කිසියම් කටයුත්තක් හේතු කොට සාධුක නුවර වෙසෙත්. ඉසිදත්ත පුරාණ වඩුවෝ නිමා සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැයි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කම් කෙරෙති යි ඇසූහ.
ඉක්බිති ඉසිදත්ත පුරාණ වඩුවෝ “එම්බල පුරුෂය යම් කලෙක තෙපි වඩනා අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නහු නම් එකල්හි අපට සැල කරන්නහු”යි මඟ පුරුෂයකු තැබූහ. දෙතුන් දිනක් සිටි ඒ පුරුෂ තෙමේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දිටී. දැක ඉසිදත්ත පුරාණ වඩුවන් වෙත එළඹියේ ය. එළඹ ඉසිදත්ත පුරාණ වඩුවන්ට මෙය සැලකෙළේ ය. “හිමියෙනි, ඒ මේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක. යමකට දැන් කල් දන්නහු නම් මැනවැ”යි.
එකල්හි ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස අනුගමන් කළහ. එකල භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. එකත් පස්ව හුන් ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වැඩි සේ කැ”යි අසමෝ නම් එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වට චාරිකාවෙහි වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් මගදදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් මගදදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මගදදනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නාහ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් කොසොල්දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් කොසොල්දනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙන් සැවතට චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නාහ”යි අපට සතුටු බවෙක් වෙයි, සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේකැයි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට නොමඳ සතුටු බවෙක් වෙයි. නොමඳ සොම්නසෙක් වෙයි.
වඩුවෙනි, ගිහිගෙය පළිබෝධ සහිතය, කෙලෙස් රජස් නගින තැනෙකි. පැවිද්ද එළිමහනෙකි. වඩුවෙනි, එහෙයින් මෙහි ලා තොප විසින් නොපමා වීමට සුදුසු යි. වහන්ස, මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූ ද අතිශය සම්බාධ ය යි පවසන ලද්දා වූ ද අනෙක් සම්බාධයෙක් ඇතැ”යි. වඩුවෙනි, මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූ ද අතිශය සම්බාධ ය යි පවසන ලද්දා වූ ද තොපගේ අනෙක් සම්බාධය කවරේ දැයි.
වහන්ස, මෙහි අපි, යම් කලෙක පසේනදි කොසොල් රජතෙමේ උයන් බිමට නික්මෙනු කැමැත්තේ වේ ද (එකල්හි) පසේනදි කොසොල්රජුගේ ඉසිලීමෙහි සමත් යම් ඒ ඇත්තු වෙත් නම් ඔවුන් සරසා පසේනදි කොසොල්රජුගේ පිය වූ මනාප වූ යම් ඒ මෙහෙසියෝ වෙත් නම් ඔවුන් එකක ඉදිරියෙන් ද එකක පස්සෙන් ද හිඳුවමු. වහන්ස, රජුට සුදුසු සුවඳින් සැරසුනු ඒ නැගණියන්ගේ මෙබඳු සුවඳෙක් වෙයි. එකෙණෙහි වැසුම් හරිනු ලබන සුවඳ කරඬුවෙක සුවඳ යම්සේ නම් එමෙනි. වහන්ස, සුවසේ වැඩුනු රජකුමරියන් වූ ඒ නැගණියන්ගේ මෙබඳු කාපහසෙක් වෙයි. හිඹුල්පුලුනෙහි හෝ කපුපුලුනෙහි හෝ පහස යම්සේ නම් එමෙනි. වහන්ස, එසමයෙහි ඇතා ද රැක්ක යුත්තේ වෙයි. ඒ නැගණියෝ ද රැක්කයුත්තාහු වෙති. තමා ද රැක්කයුත්තේ වෙයි. වහන්ස අපි, ඒ නැගණියන් කෙරෙහි ලාමක සිතක් ඉපදවූ බවක් නො ම දැනුම් හ. වහන්ස, මේ තෙල සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූත් අතිශය සම්බාධය යි පවසන ලද්දා වූත් අනෙක් සම්බාධය යි. වඩුවෙනි, ගිහිගෙය පළිබෝධ සහිත ය. කෙලෙස් රජස් නගින තැනෙකි. පැවිද්ද එලිමහනෙකි. වඩුවෙනි, එහෙයින් මෙහිලා තොප විසින් නොපමා වීමට සුදුසු යි.
වඩුවෙනි, සිවුදහමෙකින් යුත් අරීසවුතෙමේ විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවුදහමකින් ද යත්: වඩුවෙනි, මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ, භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මුදන ලද ත්‍යාග ඇත්තේ (-ත්‍යාගශීලී ව, ආවවුන්ට දීම පිණිස) දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුනේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුනේ පහ ව ගිය මසුරු මල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසෙති. වඩුවෙනි, මේ සිවුදහමින් යුත් අරීසවුතෙමේ විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ.
වඩුවෙනි, තෙපි වනාහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ව ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ යි බුදුරජානන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතය හ. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... කුලයෙහි යම් කිසි දිය යුතු දෙයක් වේ නම් ඒ සියල්ල කලණදහම් ඇති සිල්වතුන් හා නොපිළිබෙදන ලද්දේ වෙයි. වඩුවෙනි, ඒ කිමැයි හඟිවු ද? දීමෙහිත් බෙදා දීමෙහිත් ලා යම් කෙනෙක් තොපට සමසම වෙත් නම් කොසොල්දනව්වෙහි එබඳු මිනිස්සු කෙතෙක් වෙද්දැයි. වහන්ස, යම් බඳු අප ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ දැනවදාරන සේක් නම් වහන්ස ඒ අපට ලාභයෙකි. අපට මනාලැබුමෙකි යි.
11. 1. 7.
වේළුද්වාරෙය්‍ය සූත්‍රය
3775. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙන සේක් කොසොල් දනවු වැස්සන්ගේ වේළුද්වාර නම් බමුණුගම වෙත පැමිණිසේක. වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ “ශාක්‍යකුලයෙන් පැවිදි වූ ගොයුම් ගොත් ඇති භවත් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ මහත් බික්සඟන සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙන සේක් වේළුද්වාර නුවරට පිළිවෙළින් පැමිණි සේක. ඒ භගවත් ගෞතමයන් ගේ මෙබඳු කළණ කිතු සදෙක් උස් ව පැන නැංගේය: “ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනු දු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධ හ. විද්‍යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිදූ හ, අනුත්තරපුරිසදම්මසාරථී හ, දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධ හ. භගවත් හ”යි, ඔවුන් වහන්සේ දෙවියන් සහිත් මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත මේ ලොව දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසන සේක. ඔවුන් වහන්සේ මුල කලණ වූ මැද කලණ වූ අවසන කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසන සේක. එබඳු රහතුන් ගේ දැක්ම යහපත් වේ”යි ඇසූහ.
ඉක්බිති වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම් ගොත් අස්වා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් මුවින් නො බැණ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. “භවත් ගෞතමයෙනි, අපි දරුවන්ගෙන් හක වූ යහන්හි වෙසෙන්නමෝ සිනිඳු සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නමෝ යි මෙබඳු කාම ඇත්තමෝ මෙබඳු ඡන්‍ද ඇත්තමෝ මෙබඳු අදහස් ඇත්තමෝ වම්හ. යම් සේ අපි දරුවන් ගෙන් හක වූ යහන්හි වසන්නමෝ සිහිල් සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතුත් සුගති සගලොවට පැමිණෙන්නමෝ නම් මෙබඳු කාම ඇති මෙබඳු ඡන්‍ද ඇති මෙබඳු අදහස් ඇති ඒ අපට භවත් ගෞතමයන් වහන්සේ එසේ දහම් දෙසන සේක්වා”යි.
ගැහැවියෙහි, තමා එළවා දැක්වීම ඇති දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. භවත්නි, එසේ ය යි වේළුද්වාරවැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
ගැහැවියෙනි, තමා එළවා දැක්වීම ඇති දහම් නය කවරේ ද යත්: ගැහැවියෙනි, මෙහි අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙම් නො මැරෙනු කැමැත්තෙම් සුව කැමැත්තෙම් දුකට පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක් ජීවත් වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුකට පිළිකුල් කරන මා දිවියෙන් තොර කරන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මම ද ජීවත් වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුකට පිළිකුල් කරණ මෙරමා දිවියෙන් තොර කරන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් පණිවායෙන් වැළකුණේ වෙයි. මෙරමාත් පණිවායෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කාය සංවරය තුන්කෙළවර පිරිසිදු වූයේ වෙයි.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි; අරීසවු තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් මාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද මේ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් අයිනාදනින් වැළකුනේ වේ. මෙරමාත් අයිනාදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි. අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි: “යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් කාමයෙහි මිසහසරින් වැළකුනේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි; යමෙක් මුසවායෙන් මාගේ අරුත් බිඳින්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මුසවායෙන් මෙරමාගේ අරුත් බිඳින්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් මුසවායෙන් වැළකුනේ වෙයි. මෙරමාත් මුසවායෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් පිසුණුවදනින් මා හා මිතුරන් බිඳුවන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් පිසුණු වදනින් මෙරමා හා මිතුරන් බිඳුවන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමා හටත් ඒ දහම අප්‍රිය අමනාප වෙයි. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම්දැයි? හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් පිසුණුවදනින් වැළකුනේ වෙයි. මෙරමාත් පිසුණුවදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. පිසුණු වදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් රළු වදනින් මට බෙණෙන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් රළු වදනින් මෙරමාහට බණන්නෙම් නම් මෙරමාහටත් එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් රළු වදනින් වැළකුනේ වේ. මෙරමාත් රළුවදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. රළුවදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
ගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් මට හිස්බසින් බෙණෙන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාහට හිස්බසින් බෙණෙන්නේ නම් මෙරමාහටත් එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් හිස්බසින් වැළකුනේ වෙයි, මෙරමාත් හිස්බසින් වෙන් වීමෙහි සමාදන් කරවයි. හිස් බසින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
හෙතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ, බුද්ධ හ, භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝතෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි.
ගැහැවියෙනි, අරීසවු තෙමේ යම් කලෙක මේ සත් දහමින් යුතු වූයේ වේ ද කැමති විය යුතු මේ සිවු කරුණෙන් යුතු වූයේ වේ ද හෙතෙමේ කැමතිවන්නේ මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ යි.
මෙසේ වදාළ කල්හි වේළුද්වාරෙය්‍යක බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතාමැනවි ... මේ අපි භවත් ගොයුම්හුත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උවසුන් කොට දරන සේක්වා”යි.
11. 1. 8.
ගිඤ්ජකාවසථ සූත්‍රය
3776. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතගමෙක්හි උළුගෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, සාළා නම් මහණ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, නන්‍දා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුදත්ත නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුජාතා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් දැයි.
ආනන්‍ද කලුරිය කළ සාළා මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසීය. ආනන්‍ද කලුරිය කළ නන්‍දා මෙහෙණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවා එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තී එහි ම පිරිනිවෙනසුලු වූවා ය. ආනන්‍ද, කලුරිය කළ සුදත්ත උවසු ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූයේ එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. ආනන්‍ද කලුරිය කළ සුජාතා උවැසි ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු වූවා නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී සෝවාන් වූවා ය.
ආනන්‍ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි ඉදින් මා කරා එළඹ මෙකරුණ පුළුවුස්නහු ය යන යමෙක් වේ ද මෙය පුන පුනා ඇසිරියෙකි. ආනන්‍ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්‍ද, එහෙයින් මෙහි ලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ පෙත්තිවිසය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම් නයක් දේශනා කරන්නෙමි.
ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම්කැඩපත නම් වූ ඒ දහම්නය කවරේ දැ යි: ආනන්‍ද මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ, බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම් කැඩපත නම් වූ දහම්නය යි.
11. 1. 9.
තතිය ගිඤ්ජකාවසථ සූත්‍රය
3777. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, අසෝක නම් මහණ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝකා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝක නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ය, අසෝකා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
ආනන්‍ද, කලුරිය කළ අසෝක මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය ... ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි. විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම්කැඩපත නම් වූ දහම්නය යි.
(පළමුසුතුර මෙන් විතර කටයුතු)
11. 1. 10.
තතිය ගිඤ්ජකාවසථ සූත්‍රය
3778. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඤාතගම්හි කකුධ නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, ඤාතගම්හි කාලිඞ්ග නම් උවසු කලුරිය කෙළේ ය. වහන්ස, ඤාතගම්හි නික්ඛ නම් උවසු ... වහන්ස, කටිස්සහ නම් ... වහන්ස, තුට්ඨ නම් ... වහන්ස, සන්තුට්ඨ නම් ... වහන්ස, භද්ද නම් ... වහන්ස ඤාතගම්හි සුභද්ද නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
ආනන්‍ද, කලුරිය කළ කකුධ උවසු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි. ආනන්‍ද, කලුරිය කළ කාලිඞ්ග උවසු ... ආනන්‍ද, නික්ඛ ... ආනන්‍ද, කටිස්සහ ... ආනන්‍ද, තුට්ඨ ... ආනන්‍ද, සන්තුට්ඨ ... ආනන්‍ද, භද්ද ... ආනන්‍ද, කලුරිය කළ සුභද්ද උවසු පස් ඕරම්භාගිය සංයෝජනයන්, ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි.
ආනන්‍ද, ඤාතගම්හි පනසකට වැඩි උවසුවෝ කලුරිය කළාහු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවාහු එලොවින් පෙරළා නො එනසුලු වූවාහු එහි පිරිනිවෙන සුල්ලෝ වෙත්. ආනන්‍ද, ඤාතගම්හි අනූවකට වැඩි උවසුවෝ කලුරිය කළාහු ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ආනන්‍ද, ඤාතගම්හි පන්සිය සදෙනෙක් උවසුවෝ කලුරිය කළාහු ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූහ.
ආනන්‍ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි මා කරා එළඹ මෙකරුණ විචාරන්නහු ය යන යමෙක් ඉදින් ඇද්ද මෙය පුන පුනා අසිරි යි. ආනන්‍ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්‍ද, එහෙයින් මෙහිලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම්, ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම්නයක් දේශනා කරන්නෙමි.
ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ ... නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති (සෝවන්) වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ ඒ දහම්නය කවරේ දැ යි? ආනන්‍ද මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනිත වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවසව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිටකොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම් කැඩපත නම් වූ දහම්නය යි.
පළමුවැනි වේළුද්වාර වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
රාජ බ්‍රහ්මචරියෝගධ දීඝාවූ යි සූත්‍ර තුනෙකි. අනෙක් ශාරීපුත්‍ර සූත්‍ර දෙකෙකි. ථපති වේළුද්වාරෙය්‍යක යි දෙකෙකි. ගිඤ්ජකාවසථ සූත්‍ර තුනෙකි යි මුළුල්ල දසයෙකි යි.
2. රාජකාරාම වර්‍ගය
11. 2. 1.
සහස්ස සූත්‍රය
3779. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි රාජකාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සහසක් මෙහෙණසඟන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ මෙහෙණනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මෙහෙණනි, සිවුදහමකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවුදහමකින යත්: මෙහෙණනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲ හ, බුද්ධාය හ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. මෙහෙණනි, මේ සිවුදහමින් යුතු අරීසවු විවස ව නොහෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 2. 2.
බ්‍රාහ්මණ සූත්‍රය
3780. මහණෙනි, බමුණෝ උදයගාමිනී නම් පටිපදාවක් පනවත්. ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෙපි කලින් ම නැගිට පෙරදිගට මුහුණ ලා යවු. ඒ තෙපි හෙබ නහමක් දුරු කරවු. බෑවුම නහමක් දුරු කරවු. කණුව නහමක් දුරු කරවු. කටුබිම නහමක් දුරු කරවු. අසුචිසොරොව්ව නහමක් දුරු කරවු. ගම්දොර ගවරවළ නහමක් දුරු කරවු. යම් තැනෙක වැටෙන්නහු නම් එහි ම මරණයට පැමිණෙන්නහු එම්බා පුරුෂය, මෙසේ තෙපි කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණෙන්නහු”යි මහණෙනි, ඒ මෙය බමුණන්ගේ බාල ගමනෙකි. මෙය මෝඩ ගමනෙකි. මෙය නිර්වේදය පිණිස නො පවතියි. විරාගය පිණිස නො පවතියි. නිරෝධය පිණිස නො පවතියි. ව්‍යුපසමය පිණිස නො පවතියි. අභිඥානය පිණිස නො පවති යි සම්බෝධිය පිණිස නො පවතියි. නිර්‍වාණය පිණිස නො පවතියි.
මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මමත් අරීසසුන්හි (එබඳු) උදයගාමිනී පටිපදාවක් පනවමි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය පිණිස ... නිර්‍වාණය පිණිස පවතී නම් ඒ උදයගාමිනීපටිපදාව කවර යත්: මහණෙනි, මෙහි අරීසවු මෙකරුණෙනුදු … “දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මේ ඒ උදයගාමිනී පටිපදාව යි.
11. 2. 3.
ආනන්‍ද සූත්‍රය
3781. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමග සතුටු වූහ ... සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, කෙතෙක් දහම් ප්‍රහාණයෙන් කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි?
ඇවැත්නි, සිවුදහමක් දුරැලීමෙන් සිවුදහමෙකින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදු. කවර සිවුදහමෙකින යත්: ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් දහම්හි, එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, දහම්හි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් සඟන කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, යම්බඳු දුසිල්බවෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් ඔහුට නැත. ඇවැත්නි, යම් බඳු ආර්‍ය්‍යකාන්නශීලයන්ගෙන් සමන්‍වාගත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ එබඳුආර්‍ය්‍යකාන්තශීලයෝ ඔහුට වෙති. ඇවැත්නි, මේ සිවුදහම් දුරැලීමෙන් මේ සිවුදහමින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැයී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
11. 2. 4.
දුග්ගති සූත්‍රය
3782. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වේ යි.
11. 2. 5.
විනිපාත සූත්‍රය
3783. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිවිනිපාතබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භාග්‍යවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමෙන් යුතු අරීසවු සියලු දුගති විනිපාතබිය ඉක්ම වූයේ වේ යි.
11. 2. 6.
මිත්තාමච්ච සූත්‍රය
3784. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතු ය. වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය. කවර සිවු සෝවන් අඟෙහි යත්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධහ. භගවත්යහ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය.
“ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවු සෝවන් අඟෙහි සමාදන් කරවිය යුතු ය, වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය යි.
11. 2. 7.
දුතිය මිත්තාමච්ච සූත්‍රය
3785. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ, වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සිවුසෝවන් අඟෙහි යත්: “ඒ,භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තේජෝධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බව යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු ඒ අරීසවු නිරයට හෝ තිරිසන් යොනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... සඟන කෙරෙහි, ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තෙජොධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බවයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරයට හෝ තිරිසන්යෝනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවුසෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටු වියයුතුව හ යි.
11. 2. 8.
දේවචාරික සූත්‍රය
3786. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ නම් එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූවෝ තවුතිසාදෙවුලොව පහළ වූහ. එකල්හි තවුතිසාවැසි බොහෝ දෙවියෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස්ව සිටි ඒ දෙවියන්ට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය” යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
11. 2. 9.
දුතිය දේවචාරික සූත්‍රය
3787. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙහි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් ... තවුතිසා දෙව්ලොව පහළ වූහ. එකල්හි බොහෝ වූ තව්තිසාවැසි දෙවියෝ ... ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. ඇවැත්නි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.
නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහිඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ චූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.
11. 2. 10.
තතිය දේවචාරික සූත්‍රය
3788. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූ සේක් තවුතිසා දෙව්ලොව පහළ වූ සේක. එකල්හි බොහෝ වූ තවුතිසාවැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ඒ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ. ඇවැත්නි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි.
නිදුකාණන් වහන්ස, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. නිදුකාණන් වහන්ස, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.