මහණෙනි, මෙහි මම සිහි ඇතියෙම් ආශ්වාස කරමි. සිහි ඇතියෙම් ප්‍රශ්වාස කරමි. දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කරමි යි දනිමි දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කරමි යි දනිමි ... නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි දනිමි. නිවන අනු ව දක්නාසුලුව ප්‍රශ්වාස කරන්නෙමි යි දනිමි. මහණෙනි, මැනවින් කියන්නෙක් අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු ඒ යමකට කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු කියන්නේ ය.
මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් ශෛක්‍ෂ්‍ය වූවාහු නො පැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර රහත් බව පතන්නාහු වෙසෙද් ද, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ ඔවුන්ගේ ආස්‍රවක්‍ෂය පිණිස පවතී. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමග කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් මහණහු වෙද්ද, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ ඔවුන්ට දිටුදැමියෙහි සුවවිහරණ පිණිසත් සිහිනුවණ පිණිසත් පවතී. මහණෙනි, මැනවින් කියන්නෙක් අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගත විහාරය යි දු ඒ යමකට කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු කියන්නේ යි.
10. 2. 2.
කඞ්ඛෙය්‍ය සූත්‍රය
3760. එක් සමයෙක ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවෝ ශාක්‍ය දනව්වෙහි කපිලවාස්තුපුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවෙසෙති. එකල මහානාමශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන්ට මෙය කීය: “වහන්ස, සේඛ විහාරයන් එය ම ද? තථාගතවිහාරයත් එය ම ද? නොහොත් සෙඛවිහාරය අනෙකෙක් ද? තථාගත විහාරය අනෙකෙක් දැ”යි.
ඇවැත්නි, මහානාම, එය ම සේඛවිහාරයත් එය ම තථාගතවිහාරයත් නො ම වේ. ඇවැත්නි මහානාම, සෙඛවිහාරය අනෙකෙකි. තථාගතවිහාරය අනෙකෙකි. ඇවැත්නි, මහානාම, යම් ඒ ශෛක්‍ෂ්‍ය භික්‍ෂූහු නො පැමිණි රහත්බැව් ඇත්තාහු අනුත්තර රහත්බව පතමින් වෙසෙද්ද, ඔහු පස් නීවරණ දුරු කොට වෙසෙත්. කවර පසක් ද යත්: කාමච්ඡන්‍ද නීවරණය දුරු කොට වෙසෙත්. ව්‍යාපාද නීවරණය ... ථිනමිද්ධ නීවරණය ... උද්ධච්චකුක්කුච්ච නීවරණය ... විචිකිච්ඡා නීවරණය දුරු කොට වෙසෙත්. ඇවැත්නි මහානාම, යම් ඒ ශෛක්‍ෂ්‍යභික්‍ෂූහු නො පැමිණි රහත්බැව් ඇත්තාහු අනුත්තර වූ අර්‍හත්‍වය පතමින් වෙසෙද්ද, ඔහු මේ පස් නීවරණ දුරු කොට වෙසෙති.
ඇවැත්නි මහානාම, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් භික්‍ෂූහු වෙද්ද, ඔවුන් විසින් පස් නීවරණයෝ ප්‍රහීණයහ. උසුන්මුල්හ. හිස්සුන් තල්ගසක් මෙන් කරනලදහ. නැවත නොහටගන්නා බවට පමුණුවනලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. කවර පසෙක් ද යත්: කාමච්ඡන්‍දනීවරණය ප්‍රහීණ ය. උසුන්මුල් ය. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. ව්‍යාපාදනීවරණය ... ථීනමිද්ධනීවරණය ... උද්ධච්චකුක්කුච්චනීවරණය ... විචිකිච්ඡානීවරණය ප්‍රහීණ ය. උසුන්මුල් ය. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය.
ඇවැත්නි මහානාම, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ බඹසර ඇති, කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති, ක්‍ෂය වූ භවසංයෝජන ඇති, මැනවින් දැන මිදුණු යම් ඒ රහත් භික්‍ෂූහු වෙද්ද, ඔවුන් විසින් මේ පස් නීවරණයෝ ප්‍රහීණයහ. උසුන්මුල්හ. හිස්සුන් තල්ගසක් මෙන් කරනලදහ. නැවත නො හටගන්නා බවට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඇවැත්නි මහානාම, යම්සේ සෙඛවිහාරය අනෙකෙක් ම වේ ද, තථාගතවිහාරය අනෙකෙක් ම වේ ද, ඒ මෙය මේ නයෙනුදු දතයුතු.
ඇවැත්නි මහානාම, එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගලනුවර ඉච්ඡානඞ්ගලවනලැහැබෙහි වැඩවසන සේක. ඇවැත්නි, එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මම තෙමසක් එකලා ව වෙසෙන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. ඇවැත්නි, “එසේ ය වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණි.
ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඇවෑමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, මහණ ගොයුම්හු ඇතුළුවස කවර විහරණයෙකින් යුතු ව බහුල කොට දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඇතුළුවස ආනාපානසතිසමාධියෙන් යුතු ව බහුල කොට විසූ සේකැ” යි මෙසේ පවසන්නහු ය. මහණෙනි, මෙහි මම සිහි ඇතියෙම් ආශ්වාස කෙරෙමි, සිහි ඇතියෙම් ප්‍රශ්වාස කෙරෙමි, දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනිමි. දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනිමි ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි දනිමි. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි දනිමි. මහණෙනි, මැනවින් කියන්නෙක් ඒ යමකට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ ය.
මහණෙනි, යම් ඒ ශෛක්‍ෂ්‍ය භික්‍ෂූහු නොපැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර නිවන පතමින් වෙසෙද්ද, ඔවුන් විසින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ ආස්‍රව ක්‍ෂය පිණිස පවතී. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ බඹසර ඇති, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති, ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් මහණහු වෙද්ද, ඔවුන් විසින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ දිටුදැමියෙහි සුවවිහරණය පිණිසත් සිහිනුවණ පිණිසත් පවතී.
මහණෙනි, මැනවින් කියන්නෙක් ඒ යමකට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ නම් මැනවින් කියන්නා අනාපානසතිසමාධියට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ යි. ඇවැත්නි මහානාම, යම්සේ සෙඛවිහාරය අනෙකෙක් ම වේ ද තථාගතවිහාර අනෙකෙක් ම වේ ද මෙය මේ නයින් දතයුතු යි.
10. 2. 3.
ආනන්‍ද සූත්‍රය
3761. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, එක් දහමක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනෙකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇද්දැ”යි. ආනන්‍ද, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇතැ යි.
“වහන්ස, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ (කවර) සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු (කවර) සත් දහම් කෙනකුන් පුරවත් ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු කවර දෙ දහම් කෙනකුන් පුරවද්දැ”යි. ආනන්‍ද, ආනාපානසතිසමාධි නම් එක් දහම වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවා ද යත්: ආනන්‍ද, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්‍ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සුවය දන්නාසුලු ව ... චිත්තසංස්කාර දන්නාසුලු ව ... චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද මෙය එක්තරා වේදනාවෙකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙසස්නෙහි මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සිත සතුටු කරවමින් ... සිත එකඟ කරමින් ... සිත මුදවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ සිතෙහි සිත අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මුළා සිහි ඇති මනාදැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිභාවනාවක් මම නො කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... විරාගය අනුව දක්නාසුලු ව ... නිරෝධය අනු ව දක්නාසුලු ව ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දැඩිලොබ හා දොම්නස පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ නම් හේ එය නුවණින් දැක දැක මැනවින් මැදහත් ව දක්නාසුලු වෙයි. ආනන්‍ද, එසෙයින් මෙහි ලා මහණ එසමයෙහි දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දගම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවයි.
ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවද්ද යත්: ආනන්‍ද, යම් සමයෙක මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසේ ද එසමයෙහි ඔහුගේ සිහිය නුමුළා වූවා එළඹසිටියා වේ. ආනන්‍ද, යම් සමයෙක මහණහුගේ සිහිය නුමුළා වූවා එළඹ සිටියා වේ ද, එසමයෙහි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හේ එසේ සිහි ඇති ව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයයි පිරික්සයි විමසුමට පැමිණෙයි.
ආනන්‍ද, යම් සමයෙක මහණ එසේ සිහි ඇති ව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයා ද පිරික්සා ද විමසුමට පැමිණේ ද, එසමයෙහි මහණහු විසින් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන ඔහු විසින් ලීන නොවූ වැර අරඹන ලද්දේ වෙයි.
ආනන්‍ද, යම් සමයෙක ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන මහණහු විසින් වැර අරඹන ලද්දේ ලීන නොවූයේ වේ ද, එසමයෙහි මහණහු විසින් විරියසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වේ. එසමයෙහි මහණ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. පිරිපුන් වැර ඇත්තහුට නිරාමිස (පස්කම්සුවයෙන් තොර) ප්‍රීතිය උපදී.
ආනන්‍ද, යම් කලෙක පිරිපුන් වැර ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එකල්හි මහණහු විසින් ප්‍රීතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එකල්හි මහණ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එකල්හි මහණහුගේ පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ප්‍රීතසිත් ඇත්තහුගේ කයත් සන්හිඳේ. සිතත් සන්හිඳේ.
ආනන්‍ද, යම් සමයෙක ප්‍රීතසිත් ඇති මහණහුගේ කයත් සන්හිඳේ ද සිතත් සන්හිඳේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. සන්හුන් කය ඇති සුව ඇත්තහුගේ සිත එකඟ වේ.
ආනන්‍ද, යම් සමයෙක සන්හුන් කය ඇති සුව ඇති මහණහුගේ සිත එකඟ වේ ද, එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වෙයි.
ආනන්‍ද, යම් සමයෙක මහණ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ වේදනායෙහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසේ ද, එසමයෙහි ඔහුගේ සිහිය එළඹ සිටියා නුමුළා වූවා වේ. ආනන්‍ද යම් සමයෙක මහණහුගේ සිහිය එළඹ සිටියා නුමුළා වූවා වේ ද, එසමයෙහි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ ... හෙතෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වෙයි.
ආනන්‍ද, යම් සමයෙක මහණ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවත්.
ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවද්ද යත්: ආනන්‍ද, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙන සුල්ලක් කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
10. 2. 4.
දුතිය ආනන්‍ද සූත්‍රය
3762. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්‍ද, එක්දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... ආනන්‍ද එක්දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවත් නම් එබඳු දහමෙක් ඇත.
ආනන්‍ද, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද් ද යත්: ආනන්‍ද, ආනාපානසතිසමාධි වූ එක්දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවද්ද යත්: ආනන්‍ද, මෙහි මහණ අරනකට ගියේ හෝ ... ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
(පළමු සුතුර මෙන් විතර කටයුතු.)
10. 2. 5.
භික්ඛු සූත්‍රය
3763. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ”යි. “මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇතැ” යි.
වහන්ස, කවර එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා ද? (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් ද? (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවද්දැ යි. මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක්දහම වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟහු පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධි සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ ... මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
10. 2. 6.
දුතිය භික්ඛු සූත්‍රය
3764. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙදහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇත.
මහණෙනි, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහමක් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවද්දැ යි. මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක් දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවති. සත් බොජඟ වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්ති පුරවයි. “මහණෙනි, ආනාපානසතිසමාධි කෙසේ වඩන ලදුයේ කෙසේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවාගෙන හිඳගනී. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමියි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද, ලුහුඬු කොට හෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නා සුලු ව ... කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ ද, කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැයි මම කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
මහණෙනි, යම් කලෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සුවය දන්නාසුලු ව ... චිත්තසංස්කාර දන්නාසුලු ව ... චිත්තසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ යම් මේ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද, මෙය එක්තරා වේදනාවකැ යි මම කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සිත සතුටු කරවමින් ... සිත එකඟ කරමින් ... සිත මුදමින් ... ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ සිත්හි සිත් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුළා සිහි ඇති මනා දැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිභාවනාවක් මම නො කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ අනිත්‍යය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... විරාගය අනු ව දක්නාසුලු ව නිරෝධය අනුව දක්නාසුලු ව ... නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. හේ අභිජ්ඣාදෝමනස්සයන්ගේ යම් ඒ ප්‍රහාණයෙක් වේ නම් එය නුවණින් දැක මැනවින් මැදහත් ව බලනසුලු වෙයි, මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වඩන ලදුයේ මෙසේ පුනපුනා කරන ලදුයේ සිවු සීවටන් පුරවයි.
මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවත් ද යත්: මහණෙනි, යම් කලෙක මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසේ ද, එකල්හි මහණහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වේ ද, එකල්හි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එකල්හි මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි, එකල්හි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හෙතෙමේ එසේ සිහි ඇති ව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයයි, පිරික්සයි, විමසුමට පැමිණෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ එසේ සිහි ඇතිව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයා ද, පිරික්සා ද, විමසුමට පැමිණේ ද, එසමයෙහි මහණහු විසින් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන ඔහු විසින් වැර අරඹන ලද්දේ නො සැඟවුනේ වෙයි.
මහණෙනි, යම් සමයෙක ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන මහණහු විසින් වෙර අරඹන ලද්දේ නොසැඟවුනේ වේ ද, එසමයෙහි මහණහු විසින් විරියසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වේ. එසමයෙහි මහණ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. පිරිපුන් වැර ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදී.
මහණෙනි, යම් සමයෙක පිරිපුන් වැර ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එසමයෙහි මහණහු විසින් පීතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ප්‍රීතිසිත් ඇත්තහුගේ කයත් සංසිඳෙයි. සිතත් සංසිඳෙයි.
මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සංසිඳේ ද සිතත් සංසිඳේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. සන්සුන් කය ඇති සුව ඇත්තහුගේ සිත එකඟ වේ.
මහණෙනි, යම් කලෙක සන්හුන් කය ඇති සුව ඇති මහණහුගේ සිත එකඟ වේ ද, එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණතෙමේ සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හෙතෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ තෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ තෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
මහණෙනි, යම් කලෙක මහණ තෙමේ වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසේ ද, එසමයෙහි ඔහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වේ ද, එසමයෙහි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ තෙමේ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ ... හෙතෙමේ එසේ එකඟවූ සිත මැනවින් මැදගත් ව දක්නාසුලු වෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ තෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවත්.
මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවති යි.
10. 2. 7.
සංයෝජන සූත්‍රය
3765. මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතී. මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතීද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතී යි.
10. 2. 8.
අනුසය සූත්‍රය
3766. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අනුසය නැසීම පිණිස පවතී යි.
10. 2. 9.
අද්ධාන සූත්‍රය
3767. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අදන් පිරිසිඳ දැනීම පිණිස පවතී යි.
10. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
3768. මහණෙනි, ආනාපානසතිසමාධිය ... ආස්‍රවක්‍ෂය පිණිස පවතී යි.
(මේ තුන් සුතුර ද සංයෝජන සුතුර මෙන් විතර කටයුතු.)
දෙවැනි ආනන්‍ද වර්‍ග යි.
එහි සූත්‍රනාමමාලාව:
ඉච්ඡාඞ්ගල සඞ්ඛෙය්‍ය යී දෙසුතුරෙකි. ආනන්‍ද නමින් අනෙක් සුතුරු දෙකෙකි. භික්ඛු නමිනුදු සුතුරු දෙකෙකි. සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
අනාපානසංයුත්තය නිමියේ ය.
එහි වර්‍ග නාමාවලිය:
ධර්‍මස්වාමි මුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් අනාපානසංයුත්තයෙහි ඒකධම්ම, ආනන්‍ද යි වර්‍ග දෙකෙක් ම මැනවින් දේශනා කරණ ලද යි.
11. සෝතාපත්ති සංයුත්තය
1. වේළුද්වාර වර්‍ගය
11. 1. 1.
රාජ සූත්‍රය
3769. සැවැත්නුවර:
මහණෙනි, සක්විති රජ සිවුදිවයිනෙහි ඉසුරු බැවින්යුත් අධිපති බව ඇති රජය කරවා කාබුන් මරණින් මතු සුගති සගලොව තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ ද, හෙතෙමේ එහි නඳුනුයනෙහි අසරසුමුයෙන් පිරිවරන ලදු ව දිව්‍යමය වූ පස්කම්ගුණෙන් යුතු ව සමන්‍විත ව ඉඳුරන් පිණවා ද එහෙත් හෙතෙමේ සිවු දහමින් නොයුතු ය. (එහෙයින්) හෙතෙමේ නිරයෙන් නො මිදුනේ ම ය. තිරිසන් යෝනියෙන් නොමිදුනේ ම ය. ප්‍රේතවිෂයෙන් නො මිදුනේ ම ය. අපායදුග්ගවිනිපාතයෙන් නො මිදුනේ ම ය. මහණෙනි, අරීසවුතෙමේ පිඬුසිඟීමෙන් යැපේ ද, කඩමාලු දරා ද (එහෙත්) හෙතෙමේ සිව් දහමින් යුතු ය. එහෙයින් හෙතෙමේ නිරයෙන් මිදුනේ ය. තිරිසන් යෝනියෙන් මිදුනේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපායදුග්ගවිනිපාතයෙන් මිදුනේ ය.
කවර සිවු දහමින් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “මෙකරුණෙනු දු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් හ. සම්‍යක්සම්බුද්ධ හ. විද්‍යාචරණසම්පන්න හ. සුගත හ. ලෝකවිදූ හ. අනුත්තරපුරුෂදම්‍ය සාරථී හ. දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. සාන්දෘෂ්ටික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය”යි ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවූයේ වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේද (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය. පාහුනෙය්‍ය ය. දක්ඛිණෙය්‍ය ය. අඤ්ජලිකරණීය ය. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වේ. අඛණ්ඩ අච්ඡිද්‍ර අසබල අකල්මාෂ භුජිෂ්‍ය විඥප්‍රශස්ත අපරාමෘෂ්ට සමාධිසංවර්‍තනික ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සිවුදහමින් යුතු වූයේ වෙයි.
මහණෙනි, යම් සිවුදිවයින් පිළිලැබුමෙක් වේ ද, යම් සිවුදහම් පිළි ලැබුමෙකුත් වේ ද සිවුදිවයින් පිළිලැබුම සිවුදහම් පිළිලැබුමෙහි සොළොස් වැනි කලාවෙන් කලාවකුත් නො අගී යී.
11. 1. 2.
බ්‍රහ්මචරියෝගධ සූත්‍රය
3770. මහණෙනි, සිවුදහමින් යුතු අරීසවුතෙමේ විවස ව නොවැටෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවු දහමින් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු”යි. ධර්‍මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝතෙමේ සුප්‍රතිපන්නය ... ලෝකයාහට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි නො කඩවූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු වූ අරීසවු තෙමේ විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක.
බුදුරජානන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් ආර්‍ය්‍යකාන්තශීලයත් සංඝයා කෙරෙහි පැහැදීමත් ධර්‍මයෙහි පැහැදීමත් යම් කෙනෙකුන්ට වෙත් නම් ඔහු බඹසරට ඇතුළත් (මතු තුන්මග හා යෙදුනු) සුවයට සුදුසු කල්හි ඒකාන්තයෙන් පැමිණෙති යි.
11. 1. 3.
දීඝාවුඋපාසක සූත්‍රය
3771. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි දීඝාවු උවසු තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි දීඝාවු උවසු තෙමේ පියා වන ජෝතික ගැහැවිහු ඇමැතී ය. ගැහැවි එවු. තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙවු. එළඹ මා වදනින් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳිවු. “වහන්ස, දීඝාවු උපාසක හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා දීඝා වු උවසුහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්නම් මැනැවැ යි මෙසේ ත් කියා”යි.
දරුව එසේ යි ජෝතික ගැහැවි දීඝාවු උවසුහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජෝතික ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, දීඝාවු උවසු හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව නිසා දීඝාවු උවසුහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක් නම් මැනවැ”යි මෙසේත් කියා යි.
භාග්‍යවතුන් වහන්සේ මුවෙන් නො බැණ ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙර ව පා සිවුරු ගෙන දීඝාවු උවසුහුගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උවසුහට මෙය වදාළ සේක. දීඝාවු කිම තොපට ඉවසිය හැකි ද, කිම යැපිය හැකි ද, කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද, වැඩි නො වෙද්ද, මේ දුක් වේදනාවන්ගේ අඩුවීම පැණේ ද, වැඩිවීමෙක් නො පැණේ දැයි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩිවීම පැණේ. අඩුවීමෙක් නො පැනේ”යි.
දීඝාවු, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වන්නෙමි”යි. දීඝාවු, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවාන් අඞ්ග කෙනෙක් වදාරන ලද්දාහු ද ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ලැබෙන්නෙමි. වහන්ස, මම වනාහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනු දු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්‍වාගතයෙමි ධර්‍මය කෙරෙහි සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගතයෙමි”යි.
දීඝාවු, එහෙයින් මෙහි ලා තෙපි මේ සිවු සෝවාන් අඟෙහි පිහිටා විදු කොටස් ඇති සදහම් මතු වඩන්නහු. දීඝාවු මෙහි තෙපි සර්‍වසංස්කාර යන්හි අනිත්‍යානුදර්ශී ව අනිත්‍යයෙහි දුඃඛසංඥි ව දුඃඛයෙහි අනාත්මසංඥි ව ප්‍රහාණසංඥි ව විරාගසංඥි ව නිරෝධ සංඥී ව වෙසෙවු. දීඝාවු තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ විදු කොටස් ඇති සදහම් කෙනෙක් වදාරන ලද්දාහු ද ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ලැබෙන්නෙමි. වහන්ස, මම වනාහි සියලු සංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී ව අනිත්‍යයෙහි දුඃඛසංඥි ව දුඃඛයෙහි අනාත්මසංඥි ව ප්‍රහාණසංඥි ව විරාගසංඥි ව නිරෝධසංඥි ව වෙසෙමි. වහන්ස, වැලිදු මට මෙබඳු සිතෙක් වෙයි; “මේ ජෝතික ගැහැවි මාගේ ඇවෑමෙන් දුකට නො පැමිණේවා. දරුව, දීඝාවු, තෙපි එසේ නහමක් මෙනෙහි කරවු. එම්බා දරුව, දීඝාවු තෙපි භාග්‍යවතුන් වහන්සේ යමක් ම වදාළ සේක් නම් එය ම තෙපි මැනවින් මෙනෙහි කරවු”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උවසුහට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ කලකින් දීඝාවු උවසුතෙමේ කලුරිය කෙළේ ය. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන් හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, දීඝාවු නම් යම් ඒ උවසුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවු ඔවදනින් ඔවදන් දෙනු ලැබී ද, හෙතෙමේ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කවරක් ද, පරලොව කවරෙක් දැ”යි. මහණෙනි, දීඝාවු උවසුතෙමේ පණ්ඩිතයෙක් වී ය. දහම්හි අනුදහමට පිළිපන්නේ ය දහම් හෙයින් මා නො ද වෙහෙසී ය. මහණෙනි, දීඝාවු උවසුතෙමේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඕපපාතිකයෙක් වේ යි.
11. 1. 4.
සාරිපුත්ත සූත්‍රය
3772. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් දැ”යි.
ඇවැත්නි, සිවුදහමකින් යුතුවීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සිවුදහමෙකින් ද යත්: ඇවැත්නි, මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ බුද්ධ හ භගවත් හ යි බුදුරජානන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි අඛණ්ඩ වු ... සමාධි සංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ඇවැත්නි, මේ සිවුදහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව විවස ව නො වැටෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.