Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 14001-14100 න් 15083

3647-3668. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
දෙවැනි අප්පමාදවර්‍ගය යි.
එහි සූත්‍රනාමමාලාව:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී දස සුතුරෙකි යි.
3. බලකරණීය වර්‍ගය
9. 3. 1-12.
බලාදි සූත්‍ර
3657-3668. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(විතර කට යුතු)
තෙවැනි බලකරණියවර්‍ගය යි.
එහි සූත්‍රනාමමාලාව:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යී තුනෙකැ යි මුළුල්ල දොළොසෙකියි.
4. ඒසනා වර්‍ගය
9. 4. 1-40.
එසනාදි සූත්‍ර
3669-3708. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුතුහ යි.
සිවුවැනි ඒසනාවර්‍ගය යි.
එහි සූත්‍රනාමමාලාව:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි යි.
5. ඕඝ වර්‍ගය
9. 5. 1-39.
ඕඝාදි සූත්‍ර
3709-3747. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතුහ යි.
(විතර කට යුතු)
9. 5. 40.
උද්ධම්භාගිය සූත්‍රය
3748. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සිවු දැහැන් වැඩිය යුතු. කවර සිවු දැහැන් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහ කරනු පිණිස මේ සිවු දැහැන් වැඩිය යුතු යි.
ඕඝවර්‍ගය පස්වැනි යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි යි.
කන්‍ධාන සංයුත්තය නිමියේ ය.
එහි වර්‍ගනාමාවලිය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි ඣාන සංයුත්තයට අයත් වර්‍ග පසෙක් ම වන්නේ යි.
10. ආනාපාන සංයුත්තය
1. ඒකධම්ම වර්‍ගය
10. 1. 1.
ඒකධම්ම සූත්‍රය
3749. සැවැත්නුවර:
මහණෙනි, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත් ඵල මහානිසංස වේ. කවර එක් දහමෙක් ද යත්: ආනාපානසතිය යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා සිහිය අභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි. දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ආශ්වාස කරනුයේ කෙටි කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ප්‍රශ්වාස කරනුයේ කෙටි කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී. සියලු ආශ්වාසප්‍රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ. සියලු ආශ්වාසප්‍රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර (ආශ්වාසප්‍රශ්වාස) සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. ප්‍රීතිය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. ප්‍රීතිය මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර (ප්‍රීතිසුඛ) මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ.
විරාගය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. විරාගය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි හික්මේ. නිරෝධය අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිරෝධය අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.
10. 1. 2.
බොජ්ඣඞ්ග සූත්‍රය
3750. සැවැත්නුවර:
මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ආනාපානසිහිය සහගිය සතිසම්බොජ්ඣඞ්ගය විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි ... ආනාපානසිහිය සහගිය උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.
10. 1. 3.
සුද්ධික සූත්‍රය
3751. සැවැත්නුවර:
මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.
10. 1. 4.
ඵල සූත්‍රය
3752. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියී හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඵල දෙකින් එක්තරා ඵලයන් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදාන ශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
10. 1. 5.
දුතිය ඵල සූත්‍රය
3753. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය කෙසේ වඩන ලද්දී කෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතුහ.
කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නොලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණසමයෙහි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්චපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි මේ සත්පලයෝ මේ සත් අනුසස්හු කැමති විය යුතුහ යි.
10. 1. 6.
අරිට්ඨ සූත්‍රය
3754. සැවැත්නුවර:
මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය පහ ව ගියේ ය. ආධ්‍යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.
අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි.
10. 1. 7.
කප්පින සූත්‍රය
3755. සැවැත්නුවර:
එසමයෙහි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන භාග්‍යවතුන් වගන්සේ නුදුරෙහි වැඩහුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන නුදුරෙහි වැඩ හුන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුටුසේකි. දැක භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි මේ මහණහුගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ දකිවු දැ”යි. වහන්ස, අපි යම් කලෙක සඟමැද හුන්නාවූ හෝ එකලා ව විවේකී ව හුන්නා වූ හෝ ඒ ආයුෂ්මතුන් දක්නමෝ නම් එකලදු අපි ඒ ආයුෂ්මතුන්ගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො දක්නමෝ යි.
මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, සිතෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, මහණෙනි, ඒ මහණ ඒ සමාධිය කැමැති සේ ලබනසුල්ලෙක් නිදුකින් ලබනසුල්ලෙක් මහත් සේ ලබනසුල්ලෙක් වෙයි. මහණෙනි, කවර සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතෙහි කම්පනයෙක් හෝ සැලීමක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, ආනාපානසතිසමාධිය වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වෙයි. සිතෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වේ.
මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි කයේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ. සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ යි.
10. 1. 8.
දීප සූත්‍රය
3756. සැවැත්නුවර:
මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට හියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මම් ද සම්බෝධියෙන් පෙර බුදුබවට නොපැමිණියෙම් බෝසත් වූයෙම් ම මේ විහරණයෙන් යුතු ව බහුලකොට විසුයෙමි. මහණෙනි, මේ විහරණයෙන් යුතු ව බහුල කොට වෙසෙන ඒ මාගේ කය නො ම ක්ලාන්ත විය. ඇස් නො ම ක්ලාන්ත විය. මාගේ සිත ද උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුණේ ය.
මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “මාගේ කය නො ම ක්ලාන්ත වන්නේ නම් ඇස් නො ම ක්ලාන්ත වන්නේ නම් මාගේ සිත ද උපාදාන රහිතව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධියම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ, “මාගේ යම් පඤ්චකාමනිශ්‍රිත විතර්‍කයෝ වෙද්ද ඔහු ප්‍රහීණ වන්නාහු නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි නො පිළිකුල් හැඟීම් ඇතිව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුල ද පිළිකුල ද යන එදෙක දුරු කොට මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...
මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත්ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව කයින් සුවත් විඳින්නෙම් නම් ආර්‍ය්‍යයෝ යමක් ගැන උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි කියද්ද ඒ තෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “සුවත් දුරු කිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැව් ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...
මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “රූපසංඥාවන් සර්‍වප්‍රකාරයෙන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් ආකාසානඤ්චායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණතෙමේත් විඤ්ඤාණඤ්චායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් ආකිඤ්චඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමතිවන්නේ නම් මේ ආනාපානසතිසමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු.
මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඉදින් සුවවේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා ලදැ යි දනී. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතු ය යි දනී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතු ය යි දනී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා ලදැ යි දනී. පිළිගන්නට නොයුතු යයි දනී. ඉදින් හෙතෙමේ සුවවේදනාවක් විඳී නම් (රාගානුසයාදියෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. ඉදින් නොදුක්නොසුවවේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හෙතෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාවෝ නොපිළිගන්නා ලද්දාහු මෙහි ම ලිහිල් වූවෝ වන්නාහ යි දනී.
මහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහන දැල්වෙන්නේ ද, එ ම තෙලත් වැටියත් ගෙවීමෙන් ප්‍රත්‍යය රහිත ව නිවෙන්නේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමියි දනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු මෙහි ම ලිහිල් වූවෝ වන්නාහ යි දනී යි.
10. 1. 9.
අසුභ සූත්‍රය
3757. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් භික්‍ෂූන්ට අසුභකථා වදාරන සේක. අසුභයෙහි ගුණ කියන සේක, අසුභභාවනාවෙහි ගුණ කියන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් එකලා ව වෙසෙන්නට කැමති වෙමි. පිණ්ඩාපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. එසේ ය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණ.
එකල්හි ඒ භික්‍ෂූහු, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් අසුභකථා වදාරන සේක, අසුභයෙහි ගුණ කියන සේක, අසුභ භාවනාවෙහි ගුණ කියන සේකැ යි නොයෙක් කරුණෙන් ගැවසී ගත් අසුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මේකයින් පීඩිතවන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. විසි මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. තිස් මහණ කෙනෙක් ද එක්දවසින් අවි ගනිත්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: “ආනන්‍ද, කුමක් හෙයින් බික්සඟන තුනී වූවාක් මෙන් වේ දැ”යි. වහන්ස, ඒ එසේම ය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට නන් අයුරෙන් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේක. වහන්ස, ඒ භික්‍ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේකැ’යි නොයෙක් කරුණෙන් ගැවසුණු අශුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මෙකයින් පීඩිත වන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් දු එක්දවසින් අවි ගනිත්. විසි මහණ කෙනෙක් දු එක් දවසින් අවි ගනිත්. තිස් මහණ කෙනෙක් දු එක් දවසින් දිවි ගලවත්. වහන්ස, යම්සේ මේ භික්‍ෂු සඞ්ඝයා රහත් බැව්හි පිහිටන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු නයක් වදාරන සේක් නම් මැනවි”යි.
ආනන්‍ද, එසේ වී නම් යම් තාක් භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස්කරව යි. එසේ ය වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම් තාක් භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් නම් ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඔ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ; “වහන්ස, බික් සඟන තෙමේ රැස් වූයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උවටැන් හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය ද වඩන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල්දහම් ද සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, යම්සේ ගිමන් සෙමෙහි පැසුළු (=ඇසළ) මස උඩ නැඟි රජස්දැලි වේ ද එය මහා අකල් වැස්ස සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, එසෙයින් ම ආනාපානසති සමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුව විහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල් දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි සන්හිඳුවයි.
මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වී උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: “මහණෙනි, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙ”මි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ පුනපුනා කරන ලද්දේ ශාන්තත් ප්‍රණීතත් පියවින් මිහිරිත් සුවවිහරණත් වෙයි. උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවා යි.
10. 1. 10.
කිම්බිල සූත්‍රය
3758. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලානුවර සමීපයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි, මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක ... දෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි. තෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධිය වදාරන සේක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු නම් භාග්‍යවතුන් වහන්ස, එයට කාලය යි, සුගතයන් වහන්ස, එයට කාලය”යි. ආනන්‍ද, එසේ නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ ද යත්: ආනන්‍ද මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ.
ආනන්‍ද, යම් කලෙක මහණ දිගු කොට ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ආශ්වාස කරනුයේ ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ප්‍රශ්වාස කරනුයේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, මහණ තෙමේ එසමයෙහි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් ඒ අස්සාස පස්සාස වේ නම් මෙය (වායෝකාය නම් වූ) එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කය අනු ව, දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ප්‍රීතිය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද ආනන්‍ද, එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, ආශ්වාසප්‍රශ්වාසයන්ගේ යම් ඒ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද, මෙය සුව වේදනා නම් වූ එක්තරා වේදනාවකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත සතුටු කරවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත සතුටු කරවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත එකඟ කරමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මුළා සිහි ඇති මනාදැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිහාවනාවක් මම නො කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, අනිස අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, විරාගය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, විරාගය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිරෝධය අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිරෝධය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ ද නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දැඩිලොබ හා දොම්නස පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ නම් හෙතෙමේ එය නුවණින් දැක දැක මැනවින් මැදහත්ව දක්නාසුලු වෙයි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම්සේ සිවුමංසලක මහපස්පිඬෙක් වේ ද, ඉදින් පෙරදිගිනුදු ගැලෙක් හෝ රියෙක් හෝ එන්නේ නම් ඒ පස්පිඬ නසා ම ය. ඉදින් පැළදිගිනුදු ... ඉදින් උතුරුදිගිනුදු ... ඉදින් දකුණුදිගිනුදු ගැලෙක් හෝ රියෙක් හෝ එන්නේ නම් ඒ පස්පිඬ නසා ම ය. ආනන්‍ද, එසෙයින් ම මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව වෙසෙන්නේ ද ලාමක අකුසල් දහම් නසා ම ය. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන්නේ ද, ලාමක අකුසල් දහම් නසා මැ යි.
පළමුවැනි ඒකධම්මවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒකධම්ම, බොජ්ඣඞ්ග, සුද්ධක යී සූත්‍ර තුනෙක් ද ඵලසූත්‍ර දෙකෙක් ද අරිට්ඨ, කප්පින, දීප, අසුභ, කිම්බිල යී පසෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.
2. ආනන්‍ද වර්‍ගය
10. 2. 1.
ඉච්ඡානඞ්ගල සූත්‍රය
3759. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගලනුවර සමීපයෙහි ඉච්ඡානඞ්ගලවනලැහැබෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මම තෙමසක් එකලා ව වෙසෙන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස අයාමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ: “ඇවැත්නි, මහණ ගොයුම්හු ඇතුළුවස කවර විහරණයෙකින් යුතු ව බහුල කොට වුසූ දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධියෙන් යුතු ව ඇතුළුවස බහුල කොට වුසූ සේකැ”යි මෙසේ පවසන්නහු ය.