Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 13701-13800 න් 15083

පුනර්‍භවය සකස් කරන උප්පත්ති ජනක කාමාවචර රූපාවචර අරූපාවචර නොහොත් අල්පවිපාක බහුවිපාක කර්‍ම බුද්ධමුනි තෙමේ හළේ ය. නිජඅද්ධ්‍යාත්මයෙහි ඇලුණේ උපාචාර අර්‍පණා වශයෙන් සමාහිත වූයේ තමා කෙරෙහි හටගත් කෙලෙස් ද භවගාමී කර්‍ම ද (යුදබිමෙභි සෙබළෙක්) කවචයක් මෙන් බිඳ දැම්මේ ය. නොහොත් නිවනත් භවයත් භවගාමී කර්‍මත් තීරණය කරමින් බුද්ධමුනි තෙමේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් හළේ ය. විදර්‍ශනා වශයෙන් අද්ධ්‍යාත්මයෙහි ඇලුණේ සමථ වශයෙන් සමාහිත වූයේ කවචයක් මෙන් සිය අත්බැව වැළඳගෙන සිටි කෙලෙස් දැල සිඳ දැම්මේ ය.
පළමුවැනි චාපාලවර්‍ග යි.
එහි සූත්‍ර නාමමාලාව:
අපාර, විරද්ධ, අරිය, නිබ්බිදා, පදෙස, සමත්ත, භික්ඛු, අරහන්ත, ඤාණ, චේතිය යි සූත්‍ර දශයෙකි යි.
2. පාසාදකම්පන වර්‍ගය
7. 2. 1.
හේතු සූත්‍රය
3133. සැවැත්නුවර:
මහණෙනි, සම්බෝධියෙන් පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුම පිණිස කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ” යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: “මෙහි මහණ තෙමේ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය යි.
පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
වීර්‍ය්‍යය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීර්‍ය්‍යය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම් බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම් බඳු නම් උඩත් එබඳු ය. උඩ යම් බඳු නම් යටත් එබඳු ය. දහවල් යම් බඳු නම් රෑත් එබඳු ය. රෑ යම් බඳු නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි.
චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩ යි. මෙසේ මාගේ සිත ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩිකොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කරයි. එකෙක් ව ද බොහෝ අයුරු වේ. බොහෝ අයුරු ව ද එකෙක් වේ. පළට බව සැඟවුණු බව (විඳියි.) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නො ගැටෙමින් යේ. පොළොවෙහි ද දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරේ. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහි ද යේ. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහි ද පලඟින් යුතු ව ගමන් කෙරේ, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහස්සි. පිරිමදියි. බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්වයි. __check translation here__
මහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ශුද්ධ වූ මිනිස්බැව් ඉක්ම පැවැති දිව්‍යමය ශ්‍රෝත්‍රධාතුවෙන් දුරවූ ද ළඟ වූ ද මානුෂික දෙසද අසයි. මහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි අන්සතුන්ගේ අන්පුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනී. සරාග සිතත් සරාග සිතැ යි දනී. වීතරාග සිතත් වීතරාග සිතැ යි දනී. සදෝස සිතත් සදෝස සිතැ යි දනී. වීතදෝස සිතත් වීතදෝස සිතැ යි දනී. සමෝහ සිතත් සමෝහ සිතැ යි දනී. වීතමෝහ සිතත් වීතමෝහ සිතැ යි දනී. සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිතැ යි දනී. වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිතැ යි දනී. අමහග්ගත සිතත් අමහග්ගත සිතැ යි දනී. මහග්ගත සිතත් මහග්ගත සිතැ යි දනී. සඋත්තර සිතත් සඋත්තර සිතැ යි දනී. අනුත්තර සිතත් අනුත්තර සිතැ යි දනී. අසමාහිත සිතත් අසමාහිත සිතැ යි දනී. සමාහිත සිතත් සමාහිත සිතැ යි දනී. අවිමුත්ත සිතත් අවිමුත්ත සිතැ යි දනී. විමුත්ත සිතත් විමුත්ත සිතැ යි දනී.
මහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද නොයෙක් නැසෙන කල්ප ද නොයෙක් වැඩෙන කල්ප ද නොයෙක් නැසෙන වැඩෙන කල්ප ද (සිහි කෙරේ.) අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව අසවල්තැන උපන්මි. එහි දු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව පැමිණියෙමි යි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි විසුද්ධ වූ මිනිස් ඇස ඉක්ම පැවැති දිවැසින් සතුන් දකී. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනාවර්‍ණ ඇති නපුරුවර්‍ණ ඇති මනාගති ඇති නපුරුගති ඇති කම් වූ පරිදි පැමිණි සතුන් දැනගනී. මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මානෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුතුවහ, වාක්සුචරිතයෙන් යුතුවහ. මනඃසුචරිතයෙන් යුතුවහ. ආර්‍ය්‍යෝපවාද නො කරන්නාහ. සම්‍යග්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවහ. ඔහු කාබුන් මරණින් මතු සෝභනගති ඇති සගලොවට පැමිණියහ” යි, මෙසේ විශුද්ධ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකී. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සතුන් දැනගනී.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 2. 2.
මහප්ඵල සූත්‍රය
3134. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලදුයේ බහුල කරන ලදුයේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය සැඟවුණේ නො ද වන්නේ ය, ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය, දහවල් යම්සේ නම් රැයත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ” ය යි පසු පෙර හැඟීම් ඇත්තේද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය,
පෙර යම්බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම්බඳු නම් උඩත් එබඳු ය. උඩ යම්බඳු නම් යටත් එබඳු ය. දහවල් යම්බඳු නම් රෑත් එබඳු ය. රෑ යම්බඳු නම් දහවලුත් එබඳු ය”යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙ යි.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරනලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන්වැදෑරුම් ඉදු කොටස් විඳි යි. එකක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්ව යි ... මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සිවු ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 2. 3.
ඡන්‍ද සූත්‍රය
3135. මහණෙනි, ඉදින් මහණ ඡන්‍දය නිසා සමාධියක් ලබා නම් සිතේ එකඟ බවක් ලබා නම් මේ ඡන්‍දසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණ කරනු පිණිස ඡන්‍දය උපදවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩිකොට ගනී. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන්කුසල් දහම් පැවැත්ම පිණිස අවිනාසය පිණිස බොහෝ බැව් පිණිස විපුල බැව් පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මොහු පදහන්සංස්කාරයෝය කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්‍දයත් මේ ඡන්‍දසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයොත් වෙද් ද, මහණෙනි, මේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් මහණ වීර්‍ය්‍යය නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ වීර්‍ය්‍යසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්. මෙසේ මේ වීර්‍ය්‍යයත් මේ විරියසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් මහණ සිත නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ චිත්තසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්‍දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ සිතත් මේ චිත්තසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් මහණ වීමංසාව නිසා සමාධියක් ලබා ද, සිතේ එකඟ බවක් ලබා ද, මේ වීමංසා සමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්‍දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ වීමංසාවත් මේ වීමංසා සමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
7. 2. 4.
මොග්ගල්ලාන සූත්‍රය
3136. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි උඩඟු වූ නගාගත් මානනළ ඇති පාසිවුරු සැරසීම් ආදි චපල බැවින් යුත් රළුවදන් ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි (-අසංවෘත) ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු මුවරමාපා යටමහලෙහි වෙසෙත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක: මුගලන, උඩඟු වූ නගාගත් මානනළ ඇති චපල වූ රළුවදන් ඇති දොඩමලු වූ මුළාසිහි ඇති මනානුවණ නැති නොඑකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි ඉඳුරන් ඇති තොපගේ මේ සබ්‍රම්සරහු මුවරමාපා යටමහලෙහි වෙසෙති. “මුගලන, යවු ඒ මහණුන් සංවේගයට පමුණුවාලව” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා යම්සේ පයමහපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කළෝ ද වැඩියක් කම්පිත කළෝ ද, වෙසෙසින් සැලූහු ද, එබඳු ඍද්ධිවිධියක් කළහ. එකල්හි ඒ භික්‍ෂූහු සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු භවත්නි, අසිරියි, භවත්නි, පුදුමයි. මේ මුවරමාපාය ඒකාන්තයෙන් වාතාවරණසම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනැවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නො සැලෙනසුලු ය. එතෙකුදු වුව කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි පසෙකට වී සිටියහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් වෙත එළඹි සේක. එළඹ ඒ මහණුන්ට මේ වදාළ සේක. මහණෙනි, කුමක් හෙයින් තෙපි සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු පසෙකට වී සිටීහු දැ යි. වහන්ස, අසිරි යි. වහන්ස, පුදුම යි. මේ මුවරමාපායත් ඒකාන්තයෙන් වාතාවරණ සම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නොසැලෙනසුලු ය. එතෙකුදු වූවා කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි. මහණෙනි, තොප ම සංවේගයට පමුණුවන කැමැති මුගලන් මහණහු විසින් පයැ මාපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කරන ලද්දේ ය. බෙහෙවින් කම්පිත කරන ලද්දේ ය. වෙසෙසින් සලන ලද්දේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් කෙනෙකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්‍දසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරිය සමාධි ... චිත්ත සමාධි ... වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය” යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී ... කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 2. 5.
බ්‍රාහ්මණ සූත්‍රය
3137. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීය: “භවත් ආනන්‍දයෙනි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ”යි. බමුණ, තෘෂ්ණාඡන්‍දය පහනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. භවත් ආනන්‍දයෙනි, තෙල ඡන්‍දය ප්‍රහාණය පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතෙක් ඇද්දැයි? බමුණ, තෙල ඡන්‍දය පහනු පිණිස මඟෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි. භවත් ආනන්‍දයෙනි, තෙල ඡන්‍දය පහනු පිණිස මඟ කවරේ ද? පිළිවෙත කවරේ දැ යි? බමුණ, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. බමුණ, තෙල ඡන්‍දය පහනු පිණිස මේ මඟ ය, මේ පිළිවෙත යි.
භවත් ආනන්‍දයෙනි, එසේ ඇති කල්හි ශාන්ත වූවෙක් ම වෙයි. ශාන්ත නො වූවෙක් නො වෙයි. ඡන්‍දයෙන් ම ඡන්‍දය දුරලන්නේ ය යන මෙකරුණ නැතැ යි. බමුණ, එසේ වී නම් මෙහි ලා තොප ම පිළිවිසින්නෙමි. යම්සේ තොපට රුස්නේ නම් එසේ එය විසඳන්නහු. බමුණ, ඒ කිමැ යි හඟිවු ද? පෙර තොපට අරමට යන්නෙමි යි ඡන්‍දයෙක් වී ය. අරමට ගිය ඒ තොපගේ ඒ පිණිස වූ ඡන්‍දයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීර්‍ය්‍යයෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි සිතෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීමංසාවක් වූ ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීමංසාවක් වූ නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය.
බමුණ, එසෙයින් ම රහත් වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති සහමුලින් ගෙවූ භවසංයෝජන ඇති යම් ඒ මහණෙක් වේ ද, ඔහුට පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් ඡන්‍දයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් ඡන්‍දයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීර්‍ය්‍යයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් සිතෙක් වී ද රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීමංසාවක් වූ ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීමංසාවක් වී නම් එය සන්හුන්නේ ය. මෙසේ ඇති කල්හි ශාන්ත වූවෙක් හෝ ශාන්ත නො වූවෙක් හෝ වේ දැ යි? භවත් ආනන්‍දයෙනි, එසේ ඇති කල්හි ඒකාන්තයෙන් ශාන්ත වූවෙක් වේ. ශාන්ත නො වූවෙක් නො වේ. භවත් ආනන්‍දයෙනි, ඉතා මැනවි ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසු කොට දරන සේක්වා) යි.
7. 2. 6.
මහිද්ධික සූත්‍රය
3138. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවින්, බහුල කළ බැවින් (එසේ වූහ.) මහණෙනි, මතුත් යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ... මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ... දැන් මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ මේ ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
7. 2. 7.
ඉද්ධිවිධ සූත්‍රය
3139. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදුකොටස් වින්දාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වූහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වූහු ද, පළට බව මුවහ බව (වින්දාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් ගියාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කළාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් ගියාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කළාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් ස්පර්‍ශකලාහු ද, පිරිමැද්දාහු ද, බඹලොව තෙක් දු කයින් වසයෙහි පැවැත් වූහු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
මහණෙනි, මතුත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන්වැදෑරුම් ඉදු කොටස් විඳින්නාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වන්නාහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වන්නාහු ද, පළට බව මුවහ බව (විඳින්නාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යන්නාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතු වීම කිමිදීම කරන්නාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යන්නාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කරන්නාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහස්නාහු ද පිරිමදනාහු ද, බඹලොව තෙක් කයින් වසයෙහි පවත්වන්නා හු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් විඳිද්ද, එකෙක් ව ද බොහෝ අයුරු වෙද්ද, බොහෝ අයුරු ව ද එකෙක් වෙද්ද, පළට බව මුවහ බව (විඳිද්ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යෙද්ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරෙද්ද, නො බිඳෙන දියෙහිත් පොළොවෙහි මෙන් යෙද්ද. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කෙරෙද්ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහසිද්ද පිරිමදිද්ද, බඹලොව තෙක් දු කයින් වෙසෙහි පවත්වද්ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් වින්දාහු ද ... විඳින්නාහු ද ... විඳිද්ද ... ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
7. 2. 8.
භික්ඛු සූත්‍රය
3140. මහණෙනි, ඉදුපා සතරක් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණතෙමේ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. කවර සතරක් ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 2. 9.
භාවනා සූත්‍රය
3141. මහණෙනි, ඍද්ධිය හා ඍද්ධිපාද හා ඍද්ධිපාදභාවනා හා ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා හා තොපට දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, ඍද්ධි කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කෙරෙයි. එකෙක් ව ද බහු ප්‍රකාර වේ ... බඹලොව හිම් කොට දු කයින් වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධි යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාද කවරෙ යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඍද්ධි ප්‍රතිලාභ පිණිස පවතී ද, මහණෙනි, මේ ඍද්ධිපාද යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනා කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනා යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපත් කවර යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා යයි කියනු ලැබේ යි.
7. 2. 10.
විභඞ්ග සූත්‍රය
3142. මහණෙනි, මේ සතර ඍද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සතර ඍද්ධිපාද මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය ... පච්ඡාපුරේ සඤ්ඤා ඇත්තේ ද වෙසේ. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම් සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම් සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි පච්ඡා පුරෙසඤ්ඤා ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, ඉතා සැඟවුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් කුසීතබව සහගියේ කුසීතබව සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු ඡන්‍දය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු ඡන්‍ද යයි කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ නම් “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ යයි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරේසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මොනවට මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදුනා ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය”යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ යට යම්සේ නම් උඩත් එසේ ව උඩ යම් සේ නම් යටත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ පාදතලයෙන් උඩ කෙස්මතුයෙන් යට සිවිය කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ම ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. මේ කයෙහි කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදමස අක්මා දලබුව බඩදිව පපුමස අතුනු අතුනුබහන් නොපැසුණු අහර පැසුණු අහර පිත් සෙම් පූයා ලේ ඩහ මේදතෙල කඳුළු වුරුණු තෙල කෙල මුකුනු සඳමිදුලු මූ ඇතැ”යි. මහණෙනි, මෙසේ මහණ තෙමේ යට යම් බඳු නම් උඩත් එසේ ව උඩ යම් බඳු නම් යටත් එසේ ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ යම් කොටස්වලින් යම් සටහන්වලින් යම් වැටහීම්වලින් දහවල් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම් වලින් රෑත් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. යම් කොටස්වලින් හෝ යම් සටහන්වලින් හෝ යම් වැටහීම්වලින් හෝ රෑ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් දහවලුත් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මෙසේ මහණතෙමේ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් ආලෝකසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී දිවාසඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, ඉතා සැඟවුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් පිටත පස්කම් ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ ... බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, ඉතා සැඟවුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු සිතැයි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද සිතැයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු සිතැයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු සිතැ යි කියනු ලැබේ ... බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, ඉතා සැඟවුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු වීමංසා යි කියනු ලැබේ
මහණෙනි, කෙසේ නම් මහණ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය” යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරෙසසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මැනවින් මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදිනා ලද්දී වේ ද මහණෙනි, මෙසේ මහණ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය” යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ යට යම්සේ නම් උඩත් එසේ ව උඩ යම්සේ නම් යටත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ පාදතලයෙන් උඩ කෙස්මතුවෙන් යට සිවිය කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ම පස්විකයි. “මේ කයෙහි කෙස් ලොම් ... සඳමිදුලු මූ ඇතැ”යි. මහණෙනි, මෙසේ මහණ යට යම්සේ නම් උඩත් එබඳු ව උඩ යම්සේ නම් යටත් එබඳු ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ දහවල් යම්සේ නම් රෑත් එබඳු ව රෑ යම්සේ නම් දහවලුත් එබඳු ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ යම් කොටස්වලින් යම් සටහන්වලින් යම් වැටහීම්වලින් දහවල් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් රෑත් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. යම් කොටස්වලින් හෝ යම් සටහන්වලින් හෝ යම් වැටහීම්වලින් හෝ රැයෙහි වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් දහවලුත් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මෙසේ මහණ දහවල් යම්බඳු නම් රෑත් එසේ ව රෑ යම්බඳු නම් දහවලුත් එසේ ව වෙසේ.
මහණෙනි, කෙසේ නම් මහණ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා ද යත්; මහණෙනි, මෙහි මහණහු විසින් ආලෝකසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී දිවා සඤ්ඤාව මැනවින් පිහිටුවන ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ විවෘත වූ හාත්පසින් බැබළුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
දෙවැනි පාසාදකම්පනවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
හේතු, මහප්ඵල, ඡන්‍ද, මොග්ගල්ලාන, බ්‍රාහ්මණ, මහිද්ධික, ඉද්ධිවිධ, භික්ඛු, භාවනා, විභඞ්ග යී දශසූත්‍රාන්ත කෙනෙකි.
3. අයොගුළ වර්‍ගය
7. 3. 1.
මග්ග සූත්‍රය
3143. සැවැත්නුවර:
මහණෙනි, සම්බෝධියෙන් පළමු ම බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුමට මඟ කවරේ ද, පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නොද වන්නේ ය.
“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල් යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි. පච්ඡාපුරේසඤ්ඤා ඇත්තේ ද වෙසෙයි.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
(ෂඩභිඥා විතර කටයුතු.)
7. 3. 2.