Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 13301-13400 න් 15083

4. 5. 2.
උණ්ණාභබ්‍රාහ්මණ සූත්‍රය
1726. එකල්හි උණ්ණාභ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උණ්ණාභ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයෙනි, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රියය ... කායින්‍ද්‍රිය යි. භවත් ගෞතමයෙනි, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිනා මේ පසිඳුරන්ට කිමෙක් පිළිසරණ ද? කවරෙක් ඔවුන්ගේ අරමුණු විෂය විඳී දැ යි.
බමුණ, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ය ... කායින්‍ද්‍රිය යි. බමුණ, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳින මේ පසිඳුරන්ට සිත පිළිසරණ යි. සිත ම ඔවුන්ගේ අරමුණු විෂය විඳී යි. භවත් ගෞතමයෙනි, සිතට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිතට සිහිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, සිහියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිහියට විමුක්තිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, විමුක්තියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, විමුක්තියට නිවන පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, නිවනට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ ප්‍රශ්නය ඉක්මවා ගියෙහි ය. ප්‍රශ්නයෙහි කෙළවර ගැනීමට නො හැකි විය. බමුණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට බඹසර වෙසෙන්නේ යි. එකල්හි උණ්ණාභ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උණ්ණාභ බමුණා නික්ම ගිය නොබෝ කලකින් භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, කුළුගෙයක හෝ කුළුගේහලක හෝ පෙරදිග වාකවුළු යම් සේ ද හිරු උදාවන කල්හි වාකවුළුවෙන් හිරුරැස් පිවිස කොහි පිහිටියා වන්නේ දැ යි? වහන්ස, පැසුළු බිතෙහි ය, මහණෙනි, එසෙයින් ම උණ්ණාභ බමුණාට තථාගතයන් කෙරෙහි ඇතුළට පිවිසි හටගත් මුල් ඇති දැඩි වූ මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ නො වැනසිය හැකි සැදැහැ පිහිටියා ය. මහණෙනි, ඉදින් උණ්ණාභ බමුණු මෙසමයෙහි කලුරිය කරන්නේ නමුදු යම් සංයෝජනයෙකින් යුත් උණ්ණාභ බමුණු නැවත මෙලොවට පැමිණෙන්නේ නම් එබඳු සංයෝජනයෙක් නැතැ යි.
4. 5. 3.
සාකේත සූත්‍රය
1727. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේතනුවර සමීපයෙහි මිගදාය නම් වූ අඳුන්වෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද? යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද? එබඳු නයෙක් ඇද්ද යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ගෙන ඇතියහ ...
මහණෙනි යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, ඒ නය කවරේ ද, යත්: මහණෙනි, යමෙක් සද්ධින්‍ද්‍රියය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්‍ද්‍රිය වේ. යමෙක් විරියින්‍ද්‍රිය වේ නම් එය විරියබලය වේ. යමෙක් විරියබලය වේ නම් එය විරියින්‍ද්‍රිය වේ. යමෙක් සතින්‍ද්‍රිය වේ නම් එය සතිබලය වේ. යමෙක් සතිබලය වේ නම් එය සතින්‍ද්‍රිය වේ. යමෙක් සමාධින්‍ද්‍රිය වේ නම් එය සමාධිබලය වේ. යමෙක් සමාධිබලය වේ නම් එය සමාධින්‍ද්‍රිය වේ. යමෙක් පඤ්ඤින්‍ද්‍රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්‍ද්‍රිය වේ.
මහණෙනි, යම්සේ පෙරදිගට නැමුණු පෙරදිගට නැඹුරු වූ පෙරදිගට බර වූ නදියක් වේ ද, එහි මැද දිවයිනෙක් වන්නේ ය. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැයි ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙසැඩපහරෙකැයි ම ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැ යි ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි පෙරදිග කෙළවර යම් දියෙක් වේ ද, පැළදිග කෙළවර යම් දියෙකුත් වේ ද, මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම දියපහරෙකැ යි ගිණුමට යේ නම් මේ ඒ නය යි. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැ යි ම ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි උතුරු කෙළවර යම් දියෙක් වේ ද, දකුණු කෙළවර යම් දියකුත් වේ ද මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැයි ම ගිණුමට යේ නම් මේ ඒ නයයි. මහණෙනි, එසෙයින් ම යමෙක් සද්ධින්‍ද්‍රිය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්‍ද්‍රියය වේ ... යමෙක් පඤ්ඤින්‍ද්‍රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්‍ද්‍රිය වේ. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් මහණතෙමේ ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙ හි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
4. 5. 4.
පුබ්බ කොට්ඨක සූත්‍රය
1728. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුබ්බකොට්ඨකයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක: සාරිපුත්ත සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි තෙපි හදහවු දැ යි.
වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. මෙහි ලා මම භාග්‍යවතුන් වහන්සේගේ (වදන්) ඇදහීමෙන් (නිමාවට) නො යෙමි. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් නො දන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහි ලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරණ ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි. යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහි ලා නිසැක වූවාහු පහවූ විචිකිච්ඡා ඇත්තාහු වෙත්. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. ම විසිනුදු මෙය දන්නා ලද්දේ ය. දක්නා ලද්දේ ය. අවබෝධ කරන ලද්දේ ය. පසක් කරන ලද්දේ ය. නුවණින් පහස්නා ලද්දේ ය. මම එහි ලා නිසැකයෙමි. පහ වූ විචිකිච්ඡා ඇතියෙමි යි.
සාරිපුත්ත මැනවි, මැනවි, සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් මෙය නොදන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහිලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යී යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහිලා නිසැකයහ. පහ වූ විචිකිච්ඡා ඇතියහ යි.
4. 5. 5.
පුබ්බාරාම සූත්‍රය
1729. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩඩසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් ඉන්‍ද්‍රියයක් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරෙයි. කවර එකක් ද යත්: පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ පිහිටයි. ඒ අනුව යන වැර පිහිටයි. ඒ අනුව යන සිහිය පිහිටයි. ඒ අනුව යන සමාධිය පිහිටයි. මහණෙනි, මේ එක් ඉන්‍ද්‍රියය වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව ප්‍රකාශ කෙරේ යි.
4. 5. 6.
දුතිය පුබ්බාරාම සූත්‍රය
1730. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්‍ද්‍රිය දෙකත් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරෙයි. කවර දෙකක්ද යත්: ආර්‍ය්‍ය වූ ප්‍රඥාවත් ආර්‍ය්‍යවූ විමුක්තියත් ය. මහණෙනි, ඔහුගේ යම් ආර්‍ය්‍ය වූ ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි ඔහුගේ යම් ආර්‍ය්‍ය වූ විමුක්තියක් වේ නම් එය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි. මහණෙනි, මේ දෙඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ යි.
4. 5. 7.
තතිය පුබ්බාරාම සූත්‍රය
1731. මහණෙනි, කෙනෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉඳුරන් සිවුදෙනකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ: “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ. කවර සිවුදෙනෙකුන් ද යත්: විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ සිවුඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණතෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා යි.
4. 5. 8.
චතුත්‍ථ පුබ්බාරාම සූත්‍රය
1732. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්‍ද්‍රිය පසක් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසයි. කවර පසක් ද යත්: සද්ධින්‍ද්‍රියය විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත්බව පවසා යි.
4. 5. 9.
පිණ්ඩෝල සූත්‍රය
1733. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ වෙයි. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. වහන්ස, කිනම් කරුණක් දක්නා ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ දැ? යි.
මහණෙනි, ඉන්‍ද්‍රිය තුනක් වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. කවර තුනක් ද යත්: සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුන වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝලභාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ ය. මහණෙනි, මේ තුන්ඉඳුරෝ කුමක් කෙළවර කොට ඇත්තෝ ද යත්: ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ය. කුමක් ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ද යත්: ජාතිජරාමරණ යි. මහණෙනි, ජාතිජරාමරණ ක්‍ෂය අන්තය යි දක්නා වූ පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ යි.
4. 5. 10.
ආපණ සූත්‍රය
1734. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්වෙහි අඟුදනවුවැස්සන්ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක කරන්නේ හෝ විචිකිච්ඡා කරන්නේ හෝ වේ දැ? යි.
වහන්ස, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. වහන්ස, “අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹූ වැර ඇත්තේ කුසල්දහම්හි නොපසුබස්නා වැර ඇත්තේ දැඩිපැරකුම් ඇත්තේ නොබහාතැබූ ධුර ඇත්තේ වෙසෙන්නේ ය. යන යමෙක් ඇද් ද, සැදැහැති අරීසව්හු විසින් එය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. වහන්ස, “සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහිකරනුයේ වන්නේ ය, යන යමෙක් ඇද්ද, ඇරඹු වැර ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති විය යුතු. වහන්ස, ඔහුට යම් සිහියෙක් වේ නම් එය ඔහුගේ සතින්‍ද්‍රිය යි. වහන්ස, නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ ය, සිතේ එකඟකම ලබන්නේය යන යමෙක් ඇද්ද, ඇරඹු වෙර ඇති එළඹසිටි සිහි ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමැති වියයුතු. වහන්ස, ඔහුට යම් සමාධියෙක් වේ නම් ඵය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි.
වහන්ස, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ සසර නොදන්නා ලද අග්මුල් ඇත්තේ ය. පෙරපසු කෙළවර නො පෙනේ. අවිද්‍යාසඞ්ඛ්‍යාත තමස්කායයාගේ යම් මේ නිරවශේෂ විරාගනිරොධයෙක් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ බැහැර ලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් මේ නිවන්පදය ශාන්ත ය, මෙ නිවන්පදය ප්‍රණීත ය යි මෙසේ දන්නේ ය යන යමෙක් වේ ද, ඇරඹූ වැර ඇති එළඹසිටි සිහි ඇති එකඟ වූ සිත් ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. වහන්ස, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහිකොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මා විසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය. මම දැන් ඔවුන් නාමකයින් ද පැහැස වෙසෙමි. නුවණින් ද පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහයි. වහන්ස, ඔහුට යම් සැදැහැයෙක් වේනම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.
සාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැතියේ වෙසෙසින් පහන් වූයේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගත සස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. සාරිපුත්ත, අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹු වැර ඇතියේ කුසල්දහම්හි නො පසුබස්නා වැර ඇතියේ දැඩි පැරකුම් ඇතියේ නො බහා තැබූ ධුර ඇතියේ වෙසෙන්නේ ය යන යමෙක් වේ ද, සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති විය යුතු. සාරිපුත්ත, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. සාරිපුත්ත ... ඇරඹූ වැර ඇති සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති වියයුතු, සාරිපුත්ත, ඔහුට ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. සාරිපුත්ත, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහි කොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මවිසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය; මම දැන් ඔවුන් නාමකයිනුදු පැහැස වෙසෙමි. නුවණිනුදු පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහ යි. සාරිපුත්ත, ඔහුට යම් සැදැහැයෙක් වේ නම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.
පස්වැනි ජරාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ජරා, උණ්ණාභබ්‍රාහ්මණ, සාකේත, පුබ්බකොට්ඨක යි සිවු සුතුරෙක් ද පුබ්බාරාම නමින් සිවු සුතුරෙක් ද, පිණ්ඩෝල ආපණ යි දෙසුතුරෙක් දැ යි දසසුතුරෙකි යි.
6. සූකරඛත වර්‍ගය
4. 6. 1.
සාලා සූත්‍රය
1735. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි සාලානම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, යම්සේ යම්කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද, මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වේගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි එසෙයින් ම යම්කිසි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ.
මහණෙනි,බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. විරියින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සතින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සමාධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. මහණෙනි, යම් කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වේගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ යී.
4. 6. 2.
මල්ලක සූත්‍රය
1736. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලකදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලකයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අරීසවුහට යම්තාක් අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවු ඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවුඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ.
මහණෙනි, යම්සේ කුළුගෙහි කැණිමඩල යම් තාක් නොඔසවන ලද්දේ වේ නම් ඒ තාක් ගොනැසුන්ගේ නො ම පිඬුවී සිටීම වේ. ඒ තාක් ගොනැසුන්ගේ කුළෙහි පිවිස සිටීම නො ම වේ. මහණෙනි, යම් කලෙක කුළුගෙහි කැණිමඩල ඔසවන ලද්දේ වේ නම් එකල ගොනැසුන්ගේ පිඬු වී සිටීම වේ. එකල ගොනැසුන්ගේ පිවිස සිටීම වේ. මහණෙනි, එසෙයින්ම යම් තාක් අරීසවුහට අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවු ඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ. කවර සිවුඉඳුරන්ගේ ද යත්: සද්ධින්‍ද්‍රියයේත් විරියින්‍ද්‍රියයේත් සතින්‍ද්‍රියයේත් සමාධින්‍ද්‍රියයේත් ය. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ සිටී. ඒ අනුව යන වෙර සිටී. ඒ අනුව යන සිහිය සිටී. ඒ අනුව යන සමාධිය සිටී”යි.
4. 6. 3.
සේඛ සූත්‍රය
1737. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගනී නම් ඒ නය කවරේද යත්: මහණෙනි, මෙහි සේඛමහණතෙමේ මේ දුකැයි තතුසේ දනී. මේ දුක් හටගැනීමැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැයි තතුසේ දනී. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමියි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, නැවත අනෙකක්ද කියමි. සේඛ මහණ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. “යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදුවූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් පිටත ඇද්දෝ යි හෙතෙමේ මෙසේ දැනගනී: යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදු වූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් බැහැරනැතැ’යි. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සේඛ බිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, නැවත අනෙකක්ද කියමි: සේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයින් පැහැස නො ම වෙසේ ද. පස්විකුම් නුවණින් පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, මෙහි අසේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය ... පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයිනුදු පැහැස වෙසේ ද. පස්විකුම් නුවණිනුදු පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අසේඛ මහණ තෙමේ චක්ඛුන්‍ද්‍රියය සෝතින්‍ද්‍රියය ඝානින්‍ද්‍රියය ජිව්හින්‍ද්‍රියය කායින්‍ද්‍රියය මනින්‍ද්‍රියය යන සඉඳුරන් දනී. මේ සඉඳුරෝ මුළුමනින් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. අන් සඉඳුරු කෙනෙක් කොහි වත් කොතැනෙක වත් නූපදනාහයි දනී. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි යි.
4. 6. 4.
පද සූත්‍රය
1738. මහණෙනි, යම්යේ යම්කිසි ජඞ්ගමප්‍රාණීන්ගේ පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. ඇත් පියවර මහත්බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්‍ද්‍රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන් ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, කවර දහම්පද අවබෝධ පිණිස පවතී ද යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, ජඞ්ගමප්‍රාණීන්ගේ යම්කිසි පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. මහත් බැවින් ඇත්පියවර ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්‍ද්‍රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ යි.
4. 6. 5.
සාර සූත්‍රය
1739. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ යි.
4. 6. 6.
පතිට්ඨිත සූත්‍රය
1740. සැවැත්නුවර:
මහණෙනි, එක්දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති. කවර එක් දහමෙක ද යත්: නොපමාවෙහි ය. මහණෙනි, නොපමාව කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ ආස්‍රව වූ ද සාස්‍රව වූ ද දහම් නිමිති කොට සිත රකී. ආස්‍රව වූ ද සාස්‍රව වූ ද දහම් නිමිති කොට සිත රක්නා ඔහුගේ සද්ධින්‍ද්‍රිය ද වැඩීමෙන් පිරීමට යේ. විරියින්‍ද්‍රිය ද ... සතින්‍ද්‍රිය ද ... සමාධින්‍ද්‍රිය ද ... පඤ්ඤින්‍ද්‍රිය ද වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, මෙසේ එක් දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති යි.
4. 6. 7.
බ්‍රහ්ම සූත්‍රය
1741. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙත භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල්නුගරුක් මුල්හි වැඩවසන සේක. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති” යි.
එකල්හි සහම්පතී බ්‍රහ්ම තෙමේ සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළන්නේ හෝ වේ ද. එසෙයින් ම බඔලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද: සද්ධින්‍ද්‍රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති.
වහන්ස, පෙර මම කසුප් සම්මාසම්බුදුන් කෙරෙහි බඹසර කෙළෙමි. එහි දු මා “සහක මහණ සහක මහණැ”යි මෙසේ දනිත්. වහන්ස, ඒ මම මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට කාබුන් මරණින් මතු සෝභන ගති ඇති බඹලොවට පැමිණියෙමි. එහි දු මා “සහම්පති බඹ, සහම්පති බඹැ”යි මෙසේ දනිත්. භාග්‍යවතුන් වහන්ස: එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු යම්සේ නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත් නම් මම මෙය දනිමි. මම මෙය දකිමි” යි.
4. 6. 8.
සූකරඛත සූත්‍රය
1742. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, රහත් මහණ කුමන කරුණක් දකිමින් තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී දැ යි වහන්ස, අනුත්තර වූ අර්‍හත්‍වය දකිමින් රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී යි.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, අනුත්තර වූ රහත් බව දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් ඒ අනුත්තර වූ රහත් බව කවරේ දැ යි වහන්ස, මෙහි රහත් මහණ සන්හිඳීමට යනසුලු කොට සම්බෝධියට යනසුලු කොට සද්ධින්‍ද්‍රිය වඩයි ... විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය වඩයි.
සන්හිඳීමට යනසුලු කොට පඤ්ඤින්‍ද්‍රිය වඩයි. වහන්ස, රහත් මහණ තෙමේ යමක් දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ (ඒ) අනුත්තර වූ රහත් බවයි.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ ඒ අනුත්තර වූ රහත්බව යි. සාරිපුත්ත, රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත්බවක් පවත්වන්නේ පවතී නම් ඒ ඉතා යටත්බව කවරේ දැ යි. වහන්ස, මෙහි රහත් මහණ තෙමේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ධර්‍මය කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ශික්‍ෂායෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සමාධියෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. වහන්ස, රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටහත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.
4. 6. 9.
උප්පාද සූත්‍රය
1743. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිත් යි.
4. 6. 10.
දුතිය උප්පාද සූත්‍රය
1744. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති යි.
සවැනි සූකරඛත වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සාලා මල්ලක සේඛ පද සාර පතිට්ඨිත බ්‍රහ්ම සූකරඛත යි අටෙක. අනෙක් උප්පාද සූත්‍ර දෙකෙකැ යි දස සූත්‍රයෙකි යි.
7. සම්බෝධි වර්‍ගය
4. 7. 1.
සංයෝජන සූත්‍රය
1745. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්‍රහාණය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්‍රහාණය පිණිස පවතිත් යි.
4. 7. 2.
අනුසය සූත්‍රය
1746. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත් යි.
4. 7. 3.
අද්ධාන සූත්‍රය
1747. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත් යි.