4. 2. 6.
දුතිය විත්‍ථාර සූත්‍රය
1700. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ. මහණෙනි, මෙසේ ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් ඵලනානාත්‍වය ද ඵලනානාත්‍වයෙන් පුද්ගලනානාත්‍වය ද වේ යි.
4. 2. 7.
තතිය විත්‍ථාර සූත්‍රය
1701. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රහත්මග කරන්නේ රහත්බව සපය යි, යට තුන්මඟ කරන්නේ යට තුන්පල සපය යි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමි යි.
4. 2. 8.
පටිපන්න සූත්‍රය
1702. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් රහත්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. මහණෙනි, යමකුට මේ පසිඳුරෝ මුළුමනින් සියලු අයුරින් නැද්ද, හෙතෙමේ බැහැර වූ පුහුදුන් පසෙහි සිටියේ ය යි මම කියමි යි.
4. 2. 9.
සම්පන්න සූත්‍රය
1703. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකෙළේ ය. වහන්ස, ඉන්‍ද්‍රියසම්පන්නය ඉන්‍ද්‍රියසම්පන්නය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්නය වේදැ යි? මහණ, මෙහි මහණතෙමේ කෙලෙස් සංහිඳිමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු සද්ධින්‍ද්‍රිය වඩයි ... කෙලෙස් සංසිඳුවීමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණ මෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න (-පිරිපුන් ඉඳුරන් ඇත්තේ) වේ යි.
4. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
1704. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
දෙවෙනි මුදුතර වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පටිලාභ සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍ර තුන ය, අනෙක් විත්‍ථාර සූත්‍ර තුන ය, පටිපන්නසම්පන්නසූත්‍ර දෙක ය. දශවන ආසවක්ඛයසූත්‍ර ය යි දශසූත්‍රාන්ත කෙනෙකි යි.
3. ඡළින්‍ද්‍රිය වර්‍ගය
4. 3. 1.
පුනබ්භව සූත්‍රය
1705. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යී. මහණෙනි, මම යම්තාක් මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය (=බුද්ධත්‍වය) අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දත්තෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට පස්විකුම්නැණ ද පහළ විය. මාගේ අරහත්ඵලවිමුක්තිය නො සැලේ (නො පිරිහේ). මේ අන්තිම ඉපැද්ම යි. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
4. 3. 2.
ජීවිතින්‍ද්‍රිය සූත්‍රය
1706. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.
4. 3. 3.
අඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය
1707. මහණෙනි, ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: අඤ්ඤතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.
4. 3. 4.
ඒකබීජී සූත්‍රය
1708. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු පසිඳුරෝ ය. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්චපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ඒකබීජී (=එක් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් කොලංකොල (=දෙතුන් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සත්තක්ඛත්තුපරම (=සත්වන පිළිසඳ කෙළවරකොට ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ යි.
4. 3. 5.
සුද්ධක සූත්‍රය
1709. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය සෝතින්‍ද්‍රිය ඝානින්‍ද්‍රිය ජිව්හින්‍ද්‍රිය කායින්‍ද්‍රිය මනින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු සඉඳුරෝ යි.
4. 3. 6.
සෝතාපන්න සූත්‍රය
1710. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක අරිසවු මේ සයිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ අරිසවු සිවුඅපාහි නොහෙන සැහැවි ඇති නියත් වූ මතු තුන්මඟ නමැති සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුල් යි කියනු ලැබේ යි.
4. 3. 7.
අරහන්ත සූත්‍රය
1711. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක මහණ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, මහණෙනි, මේ මහණ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹවර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්‍ථිය ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැයි කියනු ලැබේ යි.
4. 3. 8.
බුද්ධ සූත්‍රය
1712. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, මම යම්තාක් මේ සඉඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද ... මට පස්විකුම් නැණ ද පහළ විය. මාගේ අර්‍හත්ඵල විමුක්තිය නො සැලේ. මේ කෙළවර ඉපැද්ම ය. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
4. 3. 9.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
1713. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 3. 10.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
1714. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ චක්ඛුන්‍ද්‍රියය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය සමුදය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, සෝතින්‍ද්‍රිය නො දනිත්ද ... ඝානින්‍ද්‍රිය නො දනිත් ද ... ජිව්හින්‍ද්‍රිය නො දනිත්ද ... කායින්‍ද්‍රිය නො දනිත්ද ... මනින්‍ද්‍රිය නො දනිත්ද, මනින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද ... දනිත්ද තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
තෙවැනි ඡළින්‍ද්‍රියවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පුනබ්භව, ජීවිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, ඒකබීජී, සුද්ධක, සෝතාපන්න, අරහන්ත, බුද්ධ යි සූත්‍ර අටෙක් ද සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකෙක් ද වෙති යි.
4. සුඛින්‍ද්‍රිය වර්‍ගය
4. 4. 1.
සුද්ධික සූත්‍රය
1715. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 2.
සෝත සූත්‍රය
1716. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි, මේ අරීසවු තෙමේ සිවුඅපායෙහි නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි කියනු ලැබේ යි.
4. 4. 3.
අරහන්ත සූත්‍රය
1717. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත්, ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති සහමුලින් ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 4. 4.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
1718. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිත්ද ... දනිත්ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 4. 5.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
1719. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සුඛින්‍ද්‍රිය නො දනිත් ද සුඛින්‍ද්‍රියසමුදයය නො දනිත් ද සුඛින්‍ද්‍රියනිරෝධය නො දනිත් ද සුඛින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදාව නො දනිත් ද දුක්ඛින්‍ද්‍රිය නො දනිත් ද ... සෝමනස්සින්‍ද්‍රිය නො දනිත් ද ... දෝමනස්සින්‍ද්‍රිය නො දනිත් ද ... උපෙක්ඛින්‍ද්‍රිය නො දනිත්ද ... උපෙක්ඛින්‍ද්‍රියසමුදය නො දනිත්ද ... උපෙක්ඛින්‍ද්‍රියනිරොධය නො දනිත් ද ... උපෙක්ඛීන්‍ද්‍රියනිරොධගාමිනීපටිපදව නො දනිත් ... දනිත් ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 4. 6.
විභඞ්ග සූත්‍රය
1720. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති දුක් වූ කායප්‍රසාදය වස්තු කොට ඇති අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාද වස්තු කොට ඇත්තා වූ හෝ සිත පිළිබඳ වූ හෝ නො ම මිහිරි වූත් නොම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 7.
දුතිය විභඞ්ග සූත්‍රය
1721. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මෙය සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: ... මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාදවස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, එහි යම් සුඛින්‍ද්‍රියයකුත් යම් සෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්‍ද්‍රියයකුත් යම් දෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය දුක් වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නොදුක් නොසුවවෙදනා යි දැක්කයුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 8.
තතිය විභඞ්ග සූත්‍රය
1722. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදවාස්තුක සුව වූ කායප්‍රසාදවාස්තුක මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්; මහණෙනි, කායප්‍රසාදවාස්තුක දුක් වූ කායප්‍රසාදවාස්තුක අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, චක්‍ෂුරාදිචතුඃප්‍රසාදවාස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් සුඛින්‍ද්‍රියයෙකුත් යම් සෝමනස්සින්‍ද්‍රියයෙකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්‍ද්‍රියයෙකුත් යම් දෝමනස්සින්‍ද්‍රියයෙකුත් වේ නම් එය දුක්වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නොදුක් නොසුව වේදනා යි දැක්කයුතු. මහණෙනි, මෙසේ මේ පසිඳුරෝ පස් අයුරු ව ත්‍රිවිධ වෙති, තුන් අයුරු ව පඤ්චවිධ වෙති යි.
4. 4. 9.
කට්ඨොපම සූත්‍රය
1723. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුව වේදනාවට හිත වූ පහස නිසා සුඛින්‍ද්‍රිය උපදි. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුඛිතයෙමි යි දැනගනී. සුවවේදනාව ට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දුක්වේදනාවට හිත වූ පහස නිසා දුක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ හටගත් දුක් ඇත්තේ ම දුක්ඛිතයෙමි යි දැනගනී. දුක්වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දුක්වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දුක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී.
මහණෙනි, සෝමනස්සවේදනාවට හිත වූ පහස නිසා සෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ සුඛිත සිත් ඇත්තේ ම සුමනස්මි යි දැනගනී. සෝමනස්සවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සෝමනස්සින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දොම්නස්වේදනාවට හිත වූ පහස නිසා දෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ දුක්ඛිත සිත් ඇත්තේ ම දුර්‍මනස්මි යි දැනගනී. දොම්නස් වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දෝමනස්සින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. මහණෙනි, මැදහත්වෙදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මැදහත් බැව් ඇත්තේ ම උපේක්‍ෂකයෙමි යි දැනගනී. උපේක්‍ෂා වේදනාවට හිත වූ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, උපේක්‍ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යී දැනගනී.
මහණෙනි, යම්සේ ගිනිගානා දඬු දෙකෙක ගැටීමෙන් හා එක්වීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද, ඒ දඬු දෙකේ ම වෙන් වීමෙන් වෙන් කොට තැබීමෙන් එයින් හටගත් යම් උණුසුමෙක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම සුවවේදනාවට හිත වූ පහස නිසා සුඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුබිතයෙමි යි දැනගනී. සුවවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. දුක්වේදනාවට හිත වූ ... සොම්නස්වේදනාවට හිත වූ ... දොම්නස්වේදනාවට හිත වූ ... මැදහත්වේදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ උපේක්‍ෂා ඇත්තේ ම උපේක්‍ෂකයෙමි යී දැනගනී. උපේක්‍ෂාවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් ගටගත් යම් වේදනාවක්, උපේක්‍ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනි යි.
4. 4. 10.
උප්පටිපාටික සූත්‍රය
1724. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: දුක්ඛින්‍ද්‍රිය, දෝමනස්සින්‍ද්‍රිය, සුඛින්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය, උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, මෙහි, නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දුක්ඛින්‍ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ දුක්ඛින්‍ද්‍රිය උපන, හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය, ඒ දුක්ඛින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හේ දුක්ඛින්‍ද්‍රියයත් දැනගනී. දුක්ඛින්‍ද්‍රිය සමුදයයත් දැනගනී. දුක්ඛින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනක උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමුන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසේ. මෙහි උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දුක්ඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය, ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.
මහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනී. මට මේ දෝමනස්සින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්‍රත්‍යය සහිත ය. ඒ දෝමනස්සින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම දෝමනස්සින්‍ද්‍රියත් දැනගනී. දෝමනස්සින්‍ද්‍රියසමුදයයත් දැනගනී. දෝමනස්සින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් දෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන් සන්හිඳීමෙන් තම සිත්හි පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍කරහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් දෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දොමනස්සින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා’යි කියනු ලැබේ.
මහණෙනි, මෙහි නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට සුඛින්‍ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ සුඛින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්‍රත්‍යය සහිත ය. ඒ සුඛින්‍ද්‍රියය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම සුඛින්‍ද්‍රියයත් දැනගනී. සුඛින්‍ද්‍රියසමුදයත් දැනගනී. සුඛින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්‍රීතියෙහිත් නො ඇල්මෙන් උපේක්‍ෂක ව වෙසෙයි. සිහි ඇත්තේත් මනා දැනුම් ඇත්තේත් කයින් සුවත් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ඒ දැහැනක් උපේක්‍ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය සුව විහරණ ඇත්තේ යයි කියත් නම් (ඒ) තෙවන දැහැනට පැමිණ වෙසෙ යි. මෙහි උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ සුඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.
මහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට සෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනි: මට මේ සෝමනස්සින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ සෝමනස්සින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත්තේ ය. හෙතෙමේ සොමනස්සින්‍ද්‍රියත් දැන ගනී. සෝමනස්සින්‍ද්‍රියසමුදයයත් දැන ගනි. සෝමනස්සින්‍ද්‍රියනිරෝධයත් දැනගනි. යම් තැනෙක උපන් සෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එයත් දැනගනි. කොහි උපන් සෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි,මෙහි මහණ තෙමේ සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැව් ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් සෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ. මහණෙනි, මේ මහණ සොමනස්සින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යී කියනු ලැබේ.
මහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනි. මට මේ උපෙක්ඛින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ උපෙක්ඛින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙමේ උපෙක්ඛින්‍ද්‍රියයත් දැනගනී. උපෙක්ඛින්‍ද්‍රියසමුදයයත් දැනගනී, උපෙක්ඛින්‍ද්‍රියනිරොධයත් දැනගනි, යම් තැනෙක උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනි. කොහි උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසේ. මෙහි උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ. මහණෙනි, මේ මහණ උපෙක්ඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යී කියනු ලැබේ යි.
සිවුවැනි සුඛින්‍ද්‍රිය වර්‍ග යි.
ඵභි සූත්‍ර නාමාවලිය:
සුද්ධක, සෝතාපන්න, අරහන්ත යී සූත්‍ර තුනෙකි. සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකෙකි. විභඞ්ග නමින් තුනෙක් කියන ලදී. කට්ඨොපම, උප්පටිපාටික යි සූත්‍ර දෙකෙකි යි මුළුල්ල දශයෙකි.
5. ජරා වර්‍ගය
4. 5. 1.
ජරා සූත්‍රය
1725. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් වෙහෙර පසුපස සෙවනෙහි පිට තවමින් වැඩහුන් සේක් වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේගේ අවයව අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ඇසිරියෙකි, වහන්ස, පුදුමයෙකි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිවිපැහැය පෙරමෙන් දැන් නො ද පිරිසිදු වේ. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල්හ. හටගත් රැලි ඇතියහ. කය ද ඉදිරියට නැඹුරු වූයේ ය. ඉඳුරන්ගේත් එනම්: චක්ඛුන්‍ද්‍රියයේත් සෝතින්‍ද්‍රියයේත් ඝානින්‍ද්‍රියයේත් ජිව්හින්‍ද්‍රියයේත් කායින්‍ද්‍රියයේත් වෙනස් බවෙක් පෙනේ.
ආනන්‍ද, ඒ එසේ ම ය. යොවුන් බැව්හි දිරන ස්වභාව ඇත්තේ නිරෝගි බැව්හි රෝගී ස්වභාව ඇත්තේ දිවියෙහි මැරෙන ස්වභාව ඇත්තේ වෙයි. සිවිපැහැය ඒතාක් නො ද පිරිසිදු වෙයි. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල් වූවාහු හටගත් රැලි ඇත්තාහු ද වෙති. කය ද ඉදිරියට නැඹුරැ වූයේ වේ. ඉඳුරන්ගේ ද එනම් චක්ඛුන්‍ද්‍රියයේත් සෝතින්‍ද්‍රියයේත් ඝානින්‍ද්‍රියයේත් ජිව්හින්‍ද්‍රියයේත් කායින්‍ද්‍රියයේත් වෙනස්බවෙක් පෙනේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු ද මෙය වදාළ සේක:
එම්බල ලාමක ජරාව, දුර්වර්‍ණනා කරනසුලු ජරාව, තට නින්‍දා වේවා. ඒතාක් මනරම් සිරුර ජරාවෙන් මඩනා ලද්දේ ය.
යමෙක් සියවසක් ජීවත්වතු දු හෙතෙමේත් මරු වසඟ වන්නේ ය. කිසිවක් අත් නො හරී. සියල්ල ම මැඩලා යි.