තථාගතාදි සූත්‍ර
1277-1316. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි. (අප්පමාදවර්‍ගය සීවටන් විසින් විතර කට යුතු)
සත්වැනි අප්පමාදවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී චතුෂ්ක දශයෙ කි. මුළුල්ල සාලිසෙකි යි.
(මෙහි ද එකෙක සතරක් සතරක් කොට සමසාලිස්සූත්‍රාන්තයෝ විතර කට යුතුහ).
8. බලකරණීය වර්‍ගය
3. 8. 1-48.
බලාදි සූත්‍ර
1317-1364. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණියවර්‍ගය ද සීවටන් විසින් විතර කට යුතු)
අටවැනි බලකරණියවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, යන චතුෂ්ක සත ද මේඝචතුෂ්ක දෙක ද නාවා, ආගන්තුක, නදී, චතුෂ්ක තුන දැ යි මුළුල්ල දොළොසෙකි. සූත්‍ර අටසාලිසෙකි යි.
(මෙහි දු එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සූත්‍රාන්තයෝ විතර කට යුතුහ.)
9. ඒසනා වර්‍ගය
3. 9. 1-160.
ඒසනාදි සූත්‍ර
1365-1524. මහණෙනි, මේ ඒසනා තුනෙ කි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුත්තේ යි.
(ඒසනාවර්‍ගය ද, සීවටන් විසින් විතර කට යුතු)
නවවැනි ඒසනාවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා විධා ආසව භව දුක්ඛතා ඛීල මල නීඝ වේදනා තණ්හා යි ෂෝඩශක දශයෙ කි. සූත්‍ර මුළුල්ල එක්සිය සැටෙකි.
(කියන ලද සිවුනයින් ද, නැවත ඔවුන් අභිඤ්ඤා ය පරිඤ්ඤා ය පරික්ඛයාය පහානාය යි සිවුනයින් ද බෙදන්නහු විසින් එකෙක සොළස සොළස කොට එක්සියසැට සූත්‍රාන්තයෝ විතර කට යුතු හ.)
10. ඕඝ වර්‍ගය
3. 10. 1-159.
ඕඝාදි සූත්‍ර
1525-1683. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි. මහණෙනි, මේ ඕඝසතර යි. මහණෙනි, මේ චතුරෝඝයන් වෙසෙසින් දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: ... වැඩිය යුත්තේ යි.
3. 10. 160.
උද්ධම්භාගිය සූත්‍රය
1684. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස පැහීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පස පැහීම පිණිස මේ සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
(ඕඝ වර්‍ගය ද, සීවටන් විසින් විතර කට යුතු)
දශවැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී ෂෝඩශක දශයෙකි. (සූත්‍ර එක්සියසැටෙකි) යි. (මෙහි දු එසනාවර්‍ගයෙහි මෙන් එක්සියසැටසූත්‍රාන්තයෝ විතර කට යුතුහ.)
සතිපට්ඨානසංයුත්තය නිමියේ යි.
එහි වර්‍ගනාමාවලිය:
අම්බපාලි, නාලන්‍ද, සීලට්ඨිති, අනනුස්සුත, අමත, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි (සතිපට්ඨානසංයුත්තයෙහි වර්‍ග දශයෙකි යි.)
4. ඉන්‍ද්‍රිය සංයුත්තය
1. සුද්ධික වර්‍ගය
4. 1. 1.
සුද්ධික සූත්‍රය
1685. සැවැත්නුවර:
මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි, කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පස ඉන්‍ද්‍රියෝ යි.
4. 1. 2.
සෝත සූත්‍රය
1686. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරිසවු මේ පසිඳුරන්ගේ රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද: මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
4. 1. 3.
දුතිය සෝත සූත්‍රය
1687. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරීසවු මේ පසිඳුරන්ගේ හටගැන්මත් වැනසුමත් රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද; මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
4. 1. 4.
අරහන්ත සූත්‍රය
1688. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂයවූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 1. 5.
දුතිය අරහන්ත සූත්‍රය
1689. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කිස ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 1. 6.
සමණ සූත්‍රය
1690. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ නොදනිත් ද; මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණුහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණ හයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත් හු මහණබවෙහි අරුත හෝ බමුණු බවෙහි අරුත හෝ දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.
මහණෙනි, යම්කිසි මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ දනිද්ද; මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මතහ. බමුණන් කෙරෙහිත් බමුණ හ යි සම්මතහ. ඒ ඇවැත්හු ද (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 1. 7.
දුතිය සමණ සූත්‍රය
1691. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්‍ද්‍රිය නො දනිත් ද, සද්ධින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, විරියින්‍ද්‍රිය නො දනිත්ද, ... සතින්‍ද්‍රිය නො දනිත්ද, ... සමාධින්‍ද්‍රිය නො දනිත්ද, ... පඤ්ඤින්‍ද්‍රිය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය සමුදය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණ යයි යම්මත නො වෙත්. බමුණන් කෙරෙහි හෝ බමුණු යයි සම්මත නො වෙත්. ඒ ඇවැත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්‍ද්‍රිය දනිත් ද, සද්ධින්‍ද්‍රිය සමුදය දනිත් ද, සද්ධින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, සද්ධින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව දනිත් ද, විරියින්‍ද්‍රිය දනිත් ද, ... සතින්‍ද්‍රිය දනිත් ද ... සමාධින්‍ද්‍රිය දනිත් ද ... පඤ්ඤින්‍ද්‍රිය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය සමුදය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරොධගාමිනී පටිපදාව දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි ත් මහණ යයි යම්මත හ. බමුණන් කෙරෙහිත් හෝ බමුණු යයි සම්මත හ. ඒ ඇවැත්හු ද ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද, බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය ද, දිටුදැමියෙහි ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 1. 8.
දට්ඨබ්බ සූත්‍රය
1692. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්; සිවුසොවත්අඟෙහිය. මෙහි ලා සද්ධින්‍ද්‍රිය දතයුතු. මහණෙනි, විරියින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසම්පදහන්හි ය. මෙහි ලා විරියින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සතින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසීවටන් හි ය. මෙහි ලා සතින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සමාධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුදැහැන් හි ය. මෙහි ලා සමාධින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කොහි ලා දත ද යත්: සිවුඅරීසස් හි ය. මෙහි ලා පඤ්ඤින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 1. 9.
විභඞ්ග සූත්‍රය
1693. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැ ඇත්තේ වේ, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ. සම්මාසම්බුද්ධහ. විජ්ජාචරණ සම්පන්නහ. සුගත්හ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථිහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ” යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහ යි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රියයි කියනු ලැබේ.
මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස්කිරීම පිණිස පිරිපුන් වැර ඇත්තේ කුසල්දහම්හි තිර වැර ඇත්තේ දැඩි පැරකුම් ඇත්තේ නො බහා තැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මේ විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සතින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනු යේ වෙයි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිත්හී එකඟබව ලබයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රියයි කියනු ලැබේ.
මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු පැණ ඇතියේ උදයව්‍යය පිරිසිඳ දක්නා ආර්‍ය්‍ය වූ නිර්වේදයට සමත් වූ, මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 1. 10.
දුතිය විභඞ්ග සූත්‍රය
1694. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැත්තේ වෙයි. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙව්මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත් හ යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස් කිරීම පිණිස ඇරැඹුණු වැර ඇතියේ කුසල්දහම්හි තිරවැර ඇතියේ දඩිපැරකුම් ඇතියේ නොබහා තැබූ වැර ඇතියේ වෙසෙයි. හේ නූපන් ලාමක අකුසල්දහම් නොඉපැද්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙ යි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් පැහීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපැත්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් කුසල්දහම් පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. මහණෙනි, මෙය විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සතින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, මෙහි අරීසවු සිහි ඇතියේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. හෙ කයෙහි කය අනු ව දක්නාසුලු ව … වෙසෙයි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දෙම්නස දුරු කොට වෙසෙ යි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිතෙහි එකඟබව ලබයි. හේ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල්දහමුන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... දෙවන දැහැනට ... තෙවන දැහැනට පැමිණ වෙසෙයි, සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදුබැව් ඇති සිවු වන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු පැණැතියේ උදයව්‍යය පිරිසිඳ දන්නා ආර්‍ය වූ නිර්වේදයට සමත් වූ මැනැවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. හේ මේ දුකැයි තතුසේ දනියි. මේ දුක්ඛසමුදය යි තතුසේ දනියි. මේ දුක්ඛනිරෝධය යි තතුසේ දනියි මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය යි තතුසේ දනියි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
පළමුවැනි සුද්ධක වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සුද්ධක සූත්‍රය ද සෝත සූත්‍ර දෙක ද අනෙක් අරහන්ත සූත්‍ර දෙක ද සමණ සූත්‍ර දෙක ද දට්ඨබ්බසූත්‍රය ද අනෙක් විභඞ්ග සූත්‍ර දෙකදැ යි (මුළුල්ල දශයෙකි) යි.
2. මුදුතර වර්‍ගය
4. 2. 1.
පටිලාභ සූත්‍රය
1695. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැතියේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු අර්‍හත්හ. සම්මාසම්බුද්ධහ ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ යි. තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිවුසම්පදහන් ඇරබ යම් වැරක් පිළිලබා නම් මහණෙනි, මේ විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සතින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිවුසීවටන් ඇරබ යම් සිහියක් පිළිලබා නම් මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබා නම් සිතේ එකඟකම ලබා නම් මහණෙනි, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු පැණැතියේ උදයව්‍යය පිරිසිඳ දන්නා ආර්‍ය්‍ය වූ නිර්වේදයට සමත් වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වේ නම් මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 2. 2.
සඞ්ඛිත්ත සූත්‍රය
1696. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් රැස්කළ බැවින් පිරූ බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන් හේතු කොට ගෙන අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සද්ධානුසාරී වේ යි.
4. 2. 3.
දුතිය සඞ්ඛිත්ත සූත්‍රය
1697. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් සවාරෙන් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට චඩා මොළොක් ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් ඵලනානාත්‍වය ද [ඵලනානාත්‍වයෙන් පුද්ගලනානාත්‍වය ද] වේ යි.
4. 2. 4.
තතිය සඞ්ඛිත්ත සූත්‍රය
1698. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රගත්මඟ කරන්නේ රහත්බව සපයයි. පෙදෙස් වූ යට තුන්මඟ කරන්නේ යට තුන් පල සපයයි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමියි.
4. 2. 5.
විත්‍ථාර සූත්‍රය
1699. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන්ගෙන් (ආයු මැද නොයික්මවා) අතර කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු හෙවත් රහත්වනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් (ආයු මැද ඉක්මවා) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ නැති ව (සුවසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ ඇති ව (දුකසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් හෙවත් අවිහයෙහි පටන් සිවුබඹලොව උපදින්නෙක් වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් ගෙන් සද්ධානුසාරී වේ යි.