Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 12901-13000 න් 15083

ආනන්‍ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. යළි පසු ව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු සිත්හි සිත් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
ආනන්‍ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැයි දැනගනී. යළි පසු ව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී. ආනන්‍ද, මෙසේ (සිත) නො පිහිටුවා වැඩීම වේ.
ආනන්‍ද, මෙසේ මා විසින් සිත පිහිටුවා වැඩීම දේශනා කරන ලදී. සිත නො පිහිටුවා වැඩීම දේශනා කරන ලදී. ආනන්‍ද, සව්වන්ට වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. ආනන්‍ද, තෙල රුක්මුල් ඇත. තෙල ශුන්‍යාගාර ඇත. ආනන්‍ද, ධ්‍යාන කරවු. නහමක් පමාවවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
පළමුවැනි අම්බපාලිවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
අම්බපාලි, සතෝ, භික්ඛු, සාලා, කුසලරාසි, සකුණග්ඝි, මක්කට, සූද, ගිලාන, බික්ඛුනූපස්සය යී දශසූත්‍රාන්තකෙනෙකි යි.
2. නාලන්‍දා වර්‍ගය
3. 2. 1.
මහාපුරිස සූත්‍රය
1189. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මහාපුරිස මහාපුරිස” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් මහාපුරිස වේ දැ?” යි. සාරිපුත්ත, මිදුණු සිත් ඇති බැවින් මහාපුරිස ය යි මම කියමි. නො මිදුණු සිත් ඇති බැවින් මහාපුරිස නො වේ ය යි කියමි. සාරිපුත්ත කෙසේ නම් මිදුණු සිත් ඇත්තේ වේ ද යත්: සාරිපුත්ත, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. කයෙහි කය අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත නො ඇලේ. උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත නො ඇලේ. උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදේ. සාරිපුත්ත, මෙසේ මිදුණු සිත් ඇත්තේ වෙයි. සාරිපුත්ත, මිදුණුසිත් ඇති බැවින් මහාපුරිස ය යි මම කියමි. නොමිදුණු සිත් ඇති බැවින් මහාපුරිස නො වේ ය යි කියමි යි.
3. 2. 2.
නාලන්‍දා සූත්‍රය
1190. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දානුවර සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය. නො ද වන්නේ ය. දැනුදු නැත්තේ ය” යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි.
සාරිපුත්ත, සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර ඤාන ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය, නො ද වන්නේ ය, දැනුදු නැත්තේ ය යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි යන මේ ශ්‍රේෂ්ඨය අකම්ප්‍ය වචනයෙක් මෙහි ලා කියන ලදී. ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලදී. සාරිපුත්ත, කිම? ඉකුත්කල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළ වූ සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ “තොප විසින් ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූ සේකැයි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු දහම් ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වූ සේකැ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දෝ දැ? යි වහන්ස මෙය නැත් ම ය.
සාරිපුත්ත, කිමෙක් ද? මතුකල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළ වන සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ තොප විසින් “ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු දහම් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු විහරණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි වහන්ස, මෙය නැත් ම ය.
සාරිපුත්ත, කිමෙක් ද? තොප විසින් දැන් අර්‍හත් සම්මාසම්බුදුරජ “භාග්‍යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු දහම් ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ප්‍රඥා ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විහරණ ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විමුක්ති ඇති සේකැ යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි. වහන්ස, මෙය නැත් ම ය. සාරිපුත්ත, මෙහි ලා තොපට අතීතානාගතපච්චුප්පන්න අර්‍හත් සම්මාසම්බුදුවරයන් කෙරෙහි චේතෝපරියඤාණයෙක් (=සිතින් සිත පිරිසිඳ දැනීමේ නුවණෙක්) නැත. එකල්හි කුමක් හෙයින් තොප විසින් “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මගනුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් නො ද වීය. නොද වන්නේ ය. දැනුදු නැතැ යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි ශ්‍රේෂ්ඨ අකම්ප්‍ය වචනයෙක් කියන ලද ද: ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලද දැ? යි.
වහන්ස, අතීතානාගතපච්චුප්පන්න වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි චේතෝපරිය ඤාණයෙක් මට නැත. එසේ වුව ද, දහම් අනුව දන්නා ලදී. වහන්ස, යම්සේ රජකුට දැඩිපවුරු ඇති දැඩිපවුරු තොරන් ඇති එක් දොරක් ඇති පසල්නුවරෙක් වේ ද: එහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණ ඇති නො අඳුනන්නවුන් වළක්වන අඳුනන්නවුන් ඇතුළු කරන දොරටුපල්ලෙක් වන්නේ ය. හේ ඒ නුවර හාත්පස පවුර අවට මඟ අනුව යන්නේ යටත් පිරිසෙයින් බළලුන් නික්මෙන පමණ වූත් පවුරුසන්‍ධියක් (=ගඩොළු දෙකක් ඉවත් වූ තැනක්) හෝ පවුරු සිදුරක් (=සුන්තැනක්) හෝ නොදක්නේ ය. ඔහුට මෙසේ සිත් වන්නේ ය. යම්කිසි ඖදාරික ප්‍රාණීහු මේ නුවරට පිවිසෙත් නම් හෝ නික්මෙත් නම් හෝ ඒ සියල්ලෝ මේ දොරින් ම පිවිසෙත් හෝ නික්මෙත් හෝ යි.
වහන්ස, එසෙයින් ම මා විසින් දහම් අනු ව දන්නා ලද්දේ ය. වහන්ස, ඉකුත්කල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පභළ වූ සේක් ද; ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති සේක් සත්බොජඟ තතු සේ වඩා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක. වහන්ස, මතුකලදු යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළවන සේක් නම් ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති සේක් සත්බොජඟ තතුසේ වඩා අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කරන සේක. වහන්ස, මෙකල අර්‍හත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කෙලෙසන නුවණ දුබල කරණ පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතිසේක් සත්බොජඟ තතුසේ වඩා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේකැ යි.
සාරිපුත්ත, මැනවි, මැනවි, සාරිපුත්ත, එහෙයින් මෙහි ලා තෙපි මේ දහම්නය මහණුනට මෙහෙණනට උවසුනට උවැසියනට එක්වන් කියන්නහු. සාරිපුත්ත, යම් හිස්පුරුෂයනට දු තථාගතයන් කෙරෙහි යම් සැකයෙක් හෝ විමතියෙක් හෝ වන්නේ නම් මේ දහම්නය අසා ඔවුන්ගේත් තථාගතයන් කෙරෙහි වූ යම් සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද; එය ප්‍රහීණ වන්නේ යි.
3. 2. 3.
චුන්‍ද සූත්‍රය
1191. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගදදනව්වෙහි නාළකගම්හි හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩිසේ ගිලන් වූවාහු වැඩවෙසෙති. චුන්‍දහෙරණ තෙමේත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට උවටැන් කරන්නේ වේ. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ ආබාධයෙන් ම පිරිනිවියහ. ඉක්බිති චුන්‍ද හෙරණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසිවුරු ගෙන සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චුන්‍ද හෙරණ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කී ය.
වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු යි ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දකිනු වස් මේකතාපඬුරෙක් ඇත. ඇවත චුන්‍ද, යමු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙමු. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙ අරුත සැලකරන්නෙමු යි. වහන්ස, එසේ ය යි චුන්‍දහෙරණ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දිනි. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝත් චුන්‍දහෙරණුවෝත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මේ චුන්‍ද හෙරණ මෙසේ කියයි: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු” යි. වහන්ස, තව ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ යි අසා මාගේ සිරුර තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නොවැටහේ යි.
ආනන්‍ද, කිමෙක් ද? සැරියුත් තොපගේ ශීලස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? සමාධිස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? ප්‍රඥාස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ දැ?යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මාගේ ශීලස්කන්‍ධය හෝ රැගෙන නො පිරිනිවියහ ... මාගේ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය හෝ රැගෙන නො ම පිරිනිවියහ. වහන්ස, එතෙකුදු වුවත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අවවාද කරන්නෙක් කරුණු අඟවන්නෙක් කරුණු දක්වන්නෙක් සමාදන් කරවන්නෙක් තෙද ගන්වන්නෙක් සතුටු කරවන්නෙක් දම්දෙසුම්හි නො පසුබස්නෙක් සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන්නෙක් වූහ. අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ ඒ ධර්මොජස ධර්‍මභොගය ධර්‍මානුග්‍රහ සිහි කරමු යි.
ආනන්‍ද, සියලු ප්‍රියමනාප වස්තුවලින් වෙනස්වනබව වෙන්වන බව අන්අයුරකට පැමිණෙනබව මා විසින් පළමු කොට ම කියන ලද්දේ නො වේ ද? ආනන්‍ද, ඒ යමක් උපන්නේ ද වූයේ ද හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ද වැනසෙන සැහැවි ඇත්තේ ද; එය ඒකාන්තයෙන් විනාශ නො වේවා යන ඒ කරුණ මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කරුණ නැත්තේ ය. ආනන්‍ද, යම්සේ පවත්නා හර ඇති මහත්රුකෙක යම් ඉතාමහත් කඳෙක් වේ ද; එය නැසෙන්නේ ය. ආනන්‍ද, එසෙයින් ම පවත්නා හර ඇති මහත් බික්සඟන පිළිබඳ සැරියුත් පිරිනිවියේ ය. ආනන්‍ද, යමක් උපන්නේ ද වූයේ ද හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ ද වැනසෙන ස්වභාව ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො නැසේ වා යන ඒ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කාරණය නැත්තේ ය. ආනන්‍ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු.
ආනන්‍ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්; ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු නම් ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු නම් ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.
3. 2. 4.
උක්කචෙල සූත්‍රය
1192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැරියුත්මුගලන් දෙනම පිරිනිවී නො බෝකල් ඇති සමයෙහි වැදෑදනව්වෙහි උක්කචෙලා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි මහත් බික්සඟන සමග වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් එලිමහන්හි වැඩහුන් සේක් වෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬ බික්සඟන දෙස බලා භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, සැරියුත්මුගලන් දෙනම පිරිනිවී කල්හි මේ මුළු පිරිස ම හිස් වූවාසේ වැටහේ. මහණෙනි, යම් දිගෙක සැරියුත් මුගලන් දෙනම වෙසෙත් නම් මාගේ ඒ පිරිස නො සිස් වේ. ඒ දික්හි පුනපුනා අපේක්‍ෂාව වේ. මහණෙනි, අතීතකාලයෙහි යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ වූ නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වී ය. මහණෙනි, අනාගතකාලයෙහි යම් ඒ අර්‍හත්සම්මාසම්බුදුවරයෝ වන්නාහු නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වන්නේ ය. මහණෙනි, සව්වන්ගේ අසිරියෙකි. මහණෙනි, සව්වන්ගේ පුදුමයෙකි. ශාස්තෘසම වූවෝ ම සස්න කරන්නෝ අවවාදය අනු ව ක්‍රියා කරන්නෝ වන්නාහ. සිවුපිරිසට ප්‍රිය වූවෝ ද මන වඩන්නෝ ද ගරු කටයුත්තෝ ද වන්නාහ. මහණෙනි, තථාගතයන්ගේ අසිරියෙකි. මහණෙනි, තථාගතයන්ගේ පුදුමයෙකි. මෙබඳු වූ ම ශ්‍රාවකයුග්මයක් පිරිනිවිකල්හි දු තථාගතයන්ට ශෝකයෙක් හෝ වැලපීමෙක් හෝ නැති මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය.
මහණෙනි, යම්සේ හර ඇති සිටුනා මහත්රුකෙක යම් ඉතා මහත් කඳහු වෙත් නම් ඔහු වැනසෙන්නාහ. මහණෙනි, එසෙයින් ම හර ඇති සිටුනා මහත්බික්සඟනගේ සැරියුත්මුගලන්හු පිරිනිවියහ. මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසෙවු.
මහණෙනි, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මහණ මෙසේ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ. මහණෙනි, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වසන්නාහු ද, මහණෙනි, යම්කිසි කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු ද, මහණෙනි, ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.
3. 2. 5.
බාහිය සූත්‍රය
1193. ඉක්බිති ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පසෙක හුන් ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නොපමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් කායචිත්තදෙක්හි අපේක්‍ෂා රහිතයෙම් වසන්නෙම් නම් එබඳු දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.
බාහිය එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කවරේ ද යත්: ඉතා පිරිසිදු වූ සීලයත් ඉතා ඍජු වූ දෘෂ්ටියත් ය. බාහිය, යම් කලෙක තොපගේ ශීලය ඉතා පිරිසිදුත් දෘෂ්ටිය ඉතා ඍජුත් වන්නේ නම් බාහිය, එකල්හි තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු ය. කවර සිවු දෙනෙක් ද යත්: බාහිය, මෙහි තෙපි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. බාහිය, යම් කලෙක තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද, බාහිය, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම්, කුසල්දහම්හි වැඩීමෙක් ම කැමැති වියයුතු, පිරිහීමෙක් නො කැමැති වියයුතු යි.
ඉක්බිති ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් ව ගියේ ය. ඉක්බිති ආයුෂ්මත් බාහිය තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු නො බෝකලකින් ම යමක් පිණිස කුලපුත්තු මැනවින් ම ගිහිගෙන් නික් ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුත්තර වූ මඟබඹසර කෙළවර වූ ඒ අර්‍හත්‍වය දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසූහ. ඉපැද් ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී කටයුතු කරන ලදී. මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැනගත්හ. ආයුෂ්මත් බාහිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
3. 2. 6.
උත්තිය සූත්‍රය
1194. එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... උත්තිය, එකල්හි තෙපි සසර පරතෙරට යන්නහු යි ... ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
3. 2. 7.
අරිය සූත්‍රය
1195. මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවුසීවටන්හු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවත්. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවති යි.
3. 2. 8.
බ්‍රහ්ම සූත්‍රය
1196. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි රහසිගත ව විවේකයෙන් යුතුව වැඩවෙසෙන භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: යම් මේ සිවුසීවටන්හු වෙද් ද; සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ වේදනාහි හෝ ... මහණ සිත්හි හෝ ... මහණ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්ම වීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ වේ යි.
එකල්හි සහම්පතී බ්‍රහ්ම සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරන්නේ ද; දිගුකළ අතක් හෝ හකුළුවන්නේ ද එසෙයින් ම බඹලොව අතුරුදන් ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම උතුරුසඟ එකස් කොට ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ” ය.
“භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ ය. සුගතයන් වහන්ස, මෙය එසේ ය. වහන්ස, යම් මේ සිවු සීවටන්හු වෙත් නම් සත්ත්‍වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට අරිඅටඟිමඟ අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ ය. කවර සතරෙක්ද යත්: වහන්ස, මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, මහණ වේදනාහි හෝ ... වහන්ස, මහණ සිත්හි හෝ ... වහන්ස, මහණ තෙමේ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්‍වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ වේ යි. සහම්පතී බ්‍රහ්ම මෙය කිය: මෙය කියා යළි මතු ද මෙය කී ය:
නිවන දක්නා වූ හිතානුකම්පා ඇති (භාග්‍යවතුන් වහන්සේ) එක ම මඟ දන්නාසේක. යම් කෙනෙක් චතුරෝඝය පෙර තරණය කළාහු ද, මතු තරණය කරන්නාහු ද, දැන් තරණය කෙරෙද්ද (ඔහු) මේ මගින් තරණය කළහ. කරන්නාහ. කෙරෙති යි.
3. 2. 9.
සේදක සූත්‍රය
1197. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්ම දනව්වෙහි සුහ්මයන්ගේ, සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, පෙර චණ්ඩාලවංශිකයෙක් සැඩොල්හුණගස ඔසොවා “යහළු මේදකථාලිකාවනි, එවු තෙපි සැඩොල්හුණගසට නැඟී මාගේ කඳ මතුයෙහි සිටිවු” යි. මේදකථාලිකා නම් අතැවැස්සා ඇමතී ය. මහණෙනි, ඇදුර, එසේ ය යි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංශිකයාට පිළිතුරු දී චණ්ඩාලවංසයට නැඟී ඇදුරාගේ කඳමතුයෙහි සිටියේ ය. මහණෙනි, එකල්හි චණ්ඩාලවංසික මේදකථාලිකා අතවැස්සාට මෙය කී ය: යහළු මේදකථාලිකාවනි, තෙපි මා රකිවු. මම තෙපි රකින්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් විසින් ගෝපනය කරන ලද්දමෝ ඔවුනොවුන් විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු. සුවසේ සැඩොල්හුණගසින් ද බසින්නෙමු” යි. මහණෙනි, එසේ කී කල්හි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංසිකයාට මෙය කී ය: ඇදුර, මෙය එසේ නො ම වන්නේ ය. ඇදුර, තෙපි තමා රකිවු. මම ද තමා රක්නෙමි. මෙසේ අපි තමා විසින් ගෝපනය කරන ලද්දමෝ තමා විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු, චණ්ඩාලවංසයෙන් ද සුවසේ බසින්නෙමු” යි.
“මේදකථාලිකා අතැවැසි තෙමේ ඇදුරාට යම්සේ කීයේ නම් එය එහි න්‍යායය”, යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “මහණෙනි, තමා රක්නෙමි” යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මහණෙනි, කෙසේ නම් තමා රක්නේ මෙරමා රකී ද යත්: කමටහන් සෙවුමෙනි, වැඩීමෙනි, බහුල කිරීමෙනි, මෙසේ තමා රක්නේ මෙරමා රකී. මහණෙනි, කෙසේ නම් මෙරමා රක්නේ තමා රකී ද යත්: ඉවසීමෙනි, කරුණායෙනි, මෙත්සිත් ඇති බැවිනි, මුදු බැවිනි. මහණෙනි, මෙසේ මෙරමා රක්නේ තමා රකියි. මහණෙනි, තමා රක්නෙමී යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මෙරමා රක්නේ තමා රකී යි.
3. 2. 10.
ජනපදකල්‍යාණී සූත්‍රය
1198. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්මදනව්වෙහි සුහ්මයන්ගේ සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ජනපදකල්‍යාණිය යම්සේ ද: මහණෙනි, ජනපදකල්‍යාණි යයි (ඇසූකෙණෙහි) මහජන සමූහයා රැස්වන්නේ ය. ඒ ජනපදකල්‍යාණි තොමෝ නැටුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී ගැයුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී වන්නී ය. මහණෙනි, දනවුකලණ නටයි, ගයයි ඇසූ කෙණෙහි බෙහෙවින් ම මහජනසමූහයා රැස්වන්නේ ය. එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, මුවටිට සම කොට පිරුණු මේ තෙල් බඳුන මහාසමූහයා අතරෙන් දනවුකලණ අතරෙන් ගෙන යායුතු. ඔසවා ගත් කඩු ඇති පුරුෂයෙක් පසුපස ලුහුබඳනේ ය. යම් මැ තැනෙක එයින් ස්වල්පයකුදු ඉවතලන්නේ නම් එහි ම තාගේ හිස කපා හෙළන්නේ” යි. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරුෂ තෙමේ ඒ තෙල් බඳුන නො මෙනෙහි කොට බැහැර පමාවට එළඹෙන්නේ ද? වහන්ස, එය නො වේ ම ය.
මහණෙනි, අරුත් දන්වනු පිණිස මා විසින් මේ උපමාවක් කරන ලද. මේ එහි අර්‍ත්‍ථ යි: මහණෙනි, “මුවවිට සම කොට පිරුණු තෙල්බඳුනැ” යි කාගියසිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මියයුතු යි: අප විසින් කායගතාසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී යානයක් මෙන් කරන ලද්දී වස්තුවක් මෙන් කරන ලද්දී දැඩිසේ පිහිටුවන ලද්දී පුරුදු කරන ලද්දී මැනවින් අරඹන ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
දෙවැනිනාලන්‍ද වර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
මහාපුරිස, නාලන්‍ද, චුන්‍ද, උක්කචෙල, බාහිය, උත්තිය, අරිය, බ්‍රහ්ම යන සූත්‍ර අට ය. සේදක ජනපදකල්‍යාණි ය යි සූත්‍ර දශයෙකි.
3. සීලට්ඨිති වර්‍ගය
3. 3. 1.
සීල සූත්‍රය
1199. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් භද්දතෙරණුවෝ ද පැළලුප්නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති, එකල්හි ආයුෂ්මත් භද්දතෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟි සිටියෝ ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන් සමග සතුටුවූහ ... ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් මේ කුසල්සිල් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ද, මේ කුසල්සිල් කුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, භද්දයෙනි, මැනවි මැනවි: ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්‍රශ්න විමර්‍ශනය යහපති. ප්‍රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් කුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් සිවුසීවටන් වැඩීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් මේ සිවුසීවටන් වැඩීම පිණිස ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
3. 3. 2.
ඨිති සූත්‍රය
1200. කුක්කුටාරාමයෙහි:
ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි? ඇවැත්නි,
භද්දයෙනි, මැනවි, මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්‍රශ්න විමර්‍ශනය යහපති. ප්‍රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ”යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ යි.
3. 3. 3.
පරිහාන සූත්‍රය
1201. කුක්කුටාරාමයෙහි:
ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ? යි. ඇවැත්නි භද්දයෙනි, මැනවි මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ නුවණ සෙවීම යහපති. වැටහීම යහපති. පිළිවිසුම මැනවි. ඇවැත්නි භද්දයෙනි, තෙපි මෙසේ පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය ද, ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වෙර ඇතිව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වේ. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ යි.
3. 3. 4.
සුද්ධක සූත්‍රය
1202. සැවැත්නුවර:
මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ යි.
3. 3. 5.
බ්‍රාහ්මණ සූත්‍රය
1203. සැවැත්නුවර:
එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ? යි.”
බමුණ, සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. බමුණ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: බමුණ, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. බමුණ, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. බමුණ, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ යි. මෙසේ වදාළ කල්හි ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකළේ ය; “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසුවකු කොට දරන සේක්වා)” යි.
3. 3. 6.
පදෙස සූත්‍රය
1204. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකී වනයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, සේඛ ය සේඛ ය යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් සේඛ වේ දැ?” යි.
ඇවැත්නි, සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වෙයි. කවර සතරක ද? යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වේ යි.
3. 3. 7.
සමත්ත සූත්‍රය
1205. කණ්ටකීවනයෙහි:
ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ ය අසේඛ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් අසේඛ වේ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ. කවර සතරෙක් ද? යත්: ඇවැත්නි, මෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ යි.
3. 3. 8.
ලෝක සූත්‍රය
1206. කණ්ටකීවනයෙහි:
ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ (මහනුවණැති) බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි යි. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම දහසක් ලොව වෙසෙසින් දනිමි යි.
3. 3. 9.
සිරිවඩ්ඪ සූත්‍රය