(මග්ගසංයුත්තයෙහි ඕඝවර්‍ගය මෙන් විතර කටයුතු.)
තෙළෙස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි.
14. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
2. 14. 1-36.
ගඞ්ගාදි සූත්‍ර
837-872 (රාගවිනය අමතෝගධ නිබ්බානනින්නාදී විසින් විතර කට යුතු.)
තුදුස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
පාචීනනින්න ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික සයෙකි. මේ ෂට්ක දෙක දොළසෙක් වේ. (සූත්‍ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්‍ග යි කියනු ලැබේ.
15. පුන අප්පමාද වර්‍ගය
2. 15. 1-30.
තථාගතාදි සූත්‍ර
873-902 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
පසළොස්වැනි පුන අප්පමාද වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සූත්‍ර තිසෙකි.
16. පුන බලකරණීය වර්‍ගය
2. 16. 1-36.
බලාදි සූත්‍ර
903-938 (රාගවිනයාදි වශයෙන් විතර කටයුතු.)
සොළොස්වැනි පුන බලකරණීය වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යන ත්‍රික ද, මේඝ ත්‍රික දෙක ද නාවා, ආගන්තුග, නදී ත්‍රික තුන දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.
17. පුන ඒසනා වර්‍ගය
2. 17. 1-20.
එසනාදි සූත්‍ර
939-1058 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
සතළොස්වැනි පුන ඒසනා වර්‍ගය යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මළ, නීඝ, වේදනා, තණ්හා යි ද්‍වාදශක දශයෙකි. සූත්‍ර එක්සියවිස්සෙකි.
18. පුන ඕඝ වර්‍ගය
2. 18. 1-120.
ඕඝාදි සූත්‍ර
1059-1178 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
අටළොස්වෙනි පුනඕඝ වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගියයි ද්‍වාදශක දශයෙකි. සූත්‍රාන්ත එක්සියවිස්සෙකි.
බොජ්ඣඞ්ගසංයුත්තය නිමි.
එහි වර්‍ග නාමාවලිය:
පබ්බත, ගිලාන, උදායි, නීවරණ, චක්කවත්ති, බොජ්ඣඞ්ග, ආනාපාන, නිරෝධ, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන ඔහු පුන යන්න ආදි කොට ඇති (පුනගඞ්ගාපෙය්‍යාල, පුනඅප්පමාද පුන බලකරණීය පුනඒසනා පුනඕඝ යන පසත් සමග (බොජ්ඣඞ්ගසංයුත්තයෙහි වර්‍ග) අටළොසෙක් ම වේ.
3. සතිපට්ඨාන සංයුත්තය
1. අම්බපාලි වර්‍ගය
3. 1. 1.
අම්බපාලි සූත්‍රය
1179. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අම්බපාලි වෙනෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් ද, සත්ත්‍වයන්ගේ විසුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස න්‍යාය සංඛ්‍යාත ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එකම මාර්‍ගය වේ. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස් දුරු කොට වෙසේ. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. සිත්හි සිත් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙ යි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විසුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක්දොම්නස් දුරු කරනු පිණිස න්‍යාය අවබෝධ කරනු පිණිස නිවන පසක් කරනු පිණිස මේ එකම මාර්‍ගය”යී මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
3. 1. 2.
සතෝ සූත්‍රය
1180. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අම්බපාලි වෙනෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මේ තොපට අපගේ අනුශාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති වැ මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. … වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් මනා දැනුම් ඇත්තේ වේද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි ද පෙරළා ගමන්හි ද මනා දැනුම් ඇති ව කරනසුලු වෙයි. ඉදිරිබැලුම්හි ද අවට බැලුම්හි ද මනා දැනුම් ඇතිව කරන සුලු වෙයි. (අත්පා) හැකිළීමෙහි දිග හැරීමෙහි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. සඟළ පාසිවුරු දැරීමෙහි මනා දැනීම් ඇති ව කරනසුලු වෙයි. බිදීමෙහි පීමෙහි කෑමෙහි රස විඳුමෙහි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. මලමූ කම්හි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. ගමන්හි සිටුම්හි හිඳුම්හි නිඳුම්හි නිදි වැරුම්හි බිණුම්හි නිසදබැව්හි මනා දැනුම් ඇති ව කරනසුලු වෙයි. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම ඇති ව වෙසෙන්නේය. මේ තොපට අපගේ අනුශාසනයයි.
3. 1. 3.
භික්ඛු සූත්‍රය
1181. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නොපමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් එබඳු දහමක් මට සැකෙවින් දෙසන සේක්වා යි. මෙහි ඇතැම් හිස් පුරුෂයෝ මෙසේ ම මට ආරාධනා කෙරෙත්. දහම් දෙසූ කල්හි මා ම ලුහුබැඳිය යුතු කොට හඟිති යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දහම් අරුත දැනගන්නෙම් නම් ඉතා යෙහෙකැ. මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිළිබඳ දායාදයෙක් වන්නෙම් නම් ඉතා යෙහෙකැ යි.
මහණ, එසේ නම් තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල් දහමුන්ගේ මුල කවරේද යත්: ඉතා පිරිසිදු ශීලයත් ඍජු වූ දෘෂ්ටියත්ය. මහණ, යම් කලෙක තොපගේ ශීලය ඉතා පිරිසිදු වන්නේ ද, දෘෂ්ටියත් ඍජු වන්නී ද එකල්හි මහණ තෙපි ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටා සතර සීවටන් තුන් අයුරෙකින් වඩන්නහු ය. කවර සිවුදෙනෙක් ද යත්: මහණ මෙහි තෙපි සිය කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙ වු. මෙරමා කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙවු. සිය මෙරමාකයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වැර ඇතිව මනා දැනු ම් ඇතිව සිහි ඇති ව කය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු.
සිය වේදනාවන්හි … මෙරමා වේදනාවන්හි … සිය මෙරමා වේදනාවන්හි වේදනා අනුව බලනසුලු ව වෙසෙ වු ... සිය සිත්හි … මෙරමා සිත්හි … සිය මෙරමා සිත්හි සිත් අනුව බලනසුලු ව වෙසෙවු ... සිය දහම්හි ... මෙරමා දහම්හි … සිය මෙරමා දහම්හි දහම් අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා මේ සිවු සීවටන් මෙසේ තුන් අයුරෙන් වඩන්නහු නම් මහණ එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි වැඩීමෙක් ම කැමති වියයුතු. පිරිහීමෙක් නොකැමැති වියයුතු.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමා ව කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නොබෝ කලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර වූ ඒ අනුත්තර අර්‍හත්ත්‍වය තෙමේ ම වෙසෙස්නුවණින් පසක් කොට ඊට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වී යයි.
3. 1. 4.
සාලා සූත්‍රය
1182. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, අලුත පැවිදි වූ ළඟ දී මෙසස්නට පැමිණි යම් ඒ නවක භික්‍ෂූහු වෙත් නම් මහණෙනි, ඒ භික්‍ෂූහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සතරක් ද යත්: ඇවැත්නි, එව තෙපි කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව කය තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව වේදනාවන් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. සිත්හි සිත් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සිත තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙ වු. දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව දහම් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු.
මහණෙනි, යම් ඒ භික්‍ෂු කෙනෙක් ශෛක්‍ෂ වූවාහු නොපැමිණි රහත්බව ඇත්තාහු අනුත්තරයෝගක්‍ෂේමය (නිවන) පතමින් වෙසෙත් ද, ඔහුත් කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇතිව වෙසෙසින් පහන්සිත් ඇති ව කය පිරිසිඳ දැනීම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙත්. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව … විඳුම් පිරිසිඳ දැනීම පිණිස වෙසෙත්. සිත්හි සිත් අනුව බලනසුලු ව … සිත් පිරිසිඳ දැනුම පිණිස වෙසෙත්. දහම්හි දහම් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන්සිත් ඇති ව දහම් පිරිසිඳ දැනීම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙත්.
මහණෙනි, රහත් වූ ක්‍ෂීණ වූ ආශ්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණිස්වාත්‍ථි සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ මහණ කෙනෙකුත් වෙත් නම් ඔහුත් කයෙහි කය අනු ව දක්නා සුලු ව වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ වූ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සමාහිත ව ඒකාග්‍රචිත්ත ව කයින් වෙන් ව වෙසෙත්. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව … විඳුමින් වෙන් ව වෙසෙත්. සිත්හි සිත් අනුව බලනසුලු ව … සිතින් වෙන් ව වෙසෙත්. දහම්හි දහම් අනු ව බලනසුලු ව වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන්සිත් ඇති ව සමාහිත ව ඒකාග්‍රචිත්ත ව දහමින් වෙන් ව වෙසෙත්. මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් නවක ද, අලුත පැවිදි වූවාහු ද, මෙසස්නට ළඟ දී පැමිණියාහු ද මහණෙනි, ඔහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ යි.
3. 1. 5.
කුසලරාසි සූත්‍රය
1183. මහණෙනි, අකුසලරැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මහණෙනි, මේ හුදු අකුසල්රැසෙකි. කවර පසෙක්ද යත්: කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යි. මහණෙනි, අකුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මේ හුදු අකුසල්රැස යි.
මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල් රැසෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි … සිත්හි… දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසේ. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල්රැස යි.
3. 1. 6.
සකුණග්ඝි සූත්‍රය
1184. මහණෙනි, පෙර ගිජුලිහිණියක් සැහැසිකමින් පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තා ය. මහණෙනි, එකල්හි කැට කුරුලු තෙමේ ගිජුලිහිණිය විසින් හැර ගෙන යනු ලබන්නේ මෙසේ හැඬී ය: යම්බඳු අපි අගෝචර වූ අනුන් අයත් විෂයෙහි හැසුරුණමෝ නම් (ඒ) අපි ම කාලකන්නි වම්හ. අපි ම පින් නැත්තම්හ. ඉදින් අපි ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසුරුණමෝ නම් මේ ගිජුලිහිණි මේ යුද්ධයට නො ද සමත් වන්නී ය යි. එම්බල කැටකුරුල්ල තාගේ ගොදුරු වූ සියපියසතු විෂය කිමෙක් දැ”යි. නඟුලෙන් සාන ලද කෙතෙහි කැට නැඟි තැනයි. මහණෙනි, එකල්හි ගිජුලිහිණි සිය බලයෙහි තද ව සිට සියබලය වනමින් එම්බල කැටකුරුල්ල, තෝ යා, එහි ද ගොස් මාගෙන් නො මිදෙන්නේ යැ යි මිදුවා ය.
මහණෙනි, ඉක්බිති කැටකුරුලු තෙමේ නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් මහත් කැටකට නැඟ “ගිජුලිහිණිය, දැන් එව, ගිජුලිහිණිය, දැන් එව” යි ගිජුලිහිණියට කියමින් සිටියේ ය. මහණෙනි, එකල්හි ඒ ගිජුලිහිණි සියබලයෙහි තද කොට සිටගෙන සියබලය වනමින් දෙපියාපත් නඟා කැටකුරුල්ලා වෙත සැහැසි කමින් පැමිණියා ය. මහණෙනි, යම් කලෙක කැටකුරුලු තෙමේ ගිජුලිහිණි මා පිණිස බොහෝ දුර ආවා යි දැන ගත්තේ නම් එකල්හි ඒ කැටෙහි ම ඇතුළට පිවිසියේ ය. මහණෙනි, එකල ගිජුලිහිණිය එහි ම ළය තළාගත්තා ය. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරේ නම් එය මෙසේ ම වේ.
මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා අයත් විෂයයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශ ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය කිමෙක්ද යත්: මේ පඤ්චකාමගුණයෝ යි. කවර පසෙක් ද යත්: ඉටුකැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ යැ… කනින් දතයුතු ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ … දිවෙන් දත යුතු රසයෝ යැ. ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය යි.
මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශයක් නො ලබන්නේ ය. මරු අරමුණක් නොලබන්නේ ය. මහණෙනි, මහණහට ගෝචර වූ සිය පියසතු විෂය කිමෙක්ද යත්: මේ සිවු සීවටන්හු යි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. විඳුම්හි … සිත්හි ... දහම්හි දහම් අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ මහණහට ගෝචර වූ සිය පියසතු විෂය යි.
3. 1. 7.
මක්කට සූත්‍රය
1185. මහණෙනි, යම් තැනෙක වඳුරන්ගේත් හැසිරීමෙක් නො වේ ද, මිනිසුන්ගේත් හැසිරීමෙක් නොවේ ද, හිමවත් පවුරදුගේ (එබඳු) යා නොහැකි විසම පෙදෙස් ඇත. මහණෙනි, යම්තැනෙක වඳුරන්ගේ හැසිරීමෙක් වේ ද, මිනිසුන්ගේ හැසිරීමෙක් නො වේ ද, හිමවත් පවුරදුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස් ද ඇත. මහණෙනි, යම් පෙදෙසක වඳුරන්ගේ හැසිරීමත් වේ ද, මිනිසුන්ගේ හැසිරීමත් වේ ද, හිමවත් පවුරදුගේ එබඳු සිත්කලු සමබිම් පෙදෙස් ද ඇත. මහණෙනි, එහි වැද්දෝ වඳුරුමංහි වඳුරන් නසන පිණිස වඳුරුලහටු ගල්වා තබත්. මහණෙනි, එහි යම් ඒ වඳුරුකෙනෙක් බාලගති නැත්තාහු ද ලොල්ගති නැත්තාහු ද ඔහු ඒ ලහටු දැක දුරින් දුරු කෙරෙත්. යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඩින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අනයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ තතනමින් හොවී. මහණෙනි, වැද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකට යේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේ ම වෙයි.
මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා සතු විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය කිමෙක් ද යත්: මේ පස්කම්ගුණ යි. කවර පසෙක් ද යත්; ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ යැ ... ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යැ. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය යි.
මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු නො ලබන්නේ ය. මරු අරමුණක් නො ලබන්නේ ය. මහණෙනි, මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය කිමෙක් ද යත්: මේ සිවු සීවටනි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය යි.
3. 1. 8.
සූද සූත්‍රය
1186. මහණෙනි, යම්සේ බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මේ අරක්කැමි තම ස්වාමියාගේ (භෝජන) නිමිත්ත නො උගනියි. “අද මාගේ ස්වාමිහට මේ සූපරසය රුචි වේ ය හෝ, මෙය ගැනීමට අත දිගුකරයි හෝ, මෙය බොහෝ කොට ගනියි හෝ, මෙහි ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වේ යි හෝ, ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනියි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙහි ගුණ කියා යි හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති ... හෝ … අද මාගේ සැමියාට මිහිරි කොටස් ඇති හෝ, … අද මාගේ සැමියාට කරරස ඇති හෝ, ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ ය හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණු රස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණු රස නැති සූපයේ ගුණ කියා යි හෝ” යි. මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ මේ අරක්කැමි වස්ත්‍ර නො ද ලබනසුලු වෙයි. වැටුප් නො ද ලබනසුලු වෙයි. පඬුරු නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත නො උගනියි ද එහෙයිනි.
මහණෙනි, එසෙයින් ම මෙහි බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වේ. කෙලෙස් ප්‍රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වෙයි. කෙලෙස් ප්‍රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මහණ දිටුදැමියෙහි සුව විහරණ නො ද ලබනසුලු වෙයි. සිහි නුවණ නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මහණ සිය සිතෙහි නිමිත්ත නො උගනී ද එහෙයිනි.
මහණෙනි, යම්සේ පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමියාගේ භෝජන නිමිත්ත උගනියි. “අද මාගේ ස්වාමියාට මේ සූපරසය රුචි වේ යි හෝ මෙයට අත දිගුකරයි හෝ මෙයින් බොහෝ ගනියි හෝ මෙහි ගුණ කියායි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වෙ යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනි යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයේ ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට තිත්ත කොටස් ඇති … හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට මිහිරි කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට කරරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ යි හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණුරස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණුරස නැති සූපයෙහි ගුණ කියා යි හෝ” යි. මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මේ අරක්කැමි වස්ත්‍ර ලබනසුලු වෙයි. වැටුප් ලබනසුලු වෙයි. පඬුරු ලබනසුලු වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත උගනී එහෙයිනි.
මහණෙනි, එසෙයින් ම මෙහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත එකඟ වේ. කෙලෙස් ප්‍රහීණ වේ. හේ ඒ නිමිත්ත උගනී. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත එකඟ වෙයි. කෙලෙස් ප්‍රහීණ වේ. හේ ඒ නිමිත්ත උගනී. මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මේ මහණ දිටුදැමියෙහි සුඛවිහරණ ලබනසුලු ද වෙයි. සිහිනුවණ ලබනසුලු ද වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මහණ සිය සිතෙහි නිමිත්ත උගනී එහෙයිනි යි.
3. 1. 9.
ගිලාන සූත්‍රය
1187. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි බේළුවගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි එවු. තෙපි මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹෙවු. මම මෙහි බේලුවගම්හි ම වස් එළඹෙමී” යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹුණාහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහි ම බේලුවගම්හි වස් එළඹුණු සේක. එකල්හි වස් එළඹුණු භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර ආබාධයක් උපන. මරණය කරා පමුණුවන දැඩි වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නොපෙළෙමින් ඒ වේදනා ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “යම්බඳු මම උවැටන් කරන්නවුන් නො අමතා බික්සඟන නො දන්වා පිරිනිවෙම් නම් මට එය සුදුසු නො වෙයි. මම මේ රෝගය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර (ජීවිතය පවතින සේ) අධිෂ්ඨාන කොට වෙසෙන්නෙම් නම් මැනැවැ”යි . එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර අධිෂ්ඨාන කොට වැඩවූසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්බවෙන් නැඟීසිටි සේක්. ගිලන්බවෙන් නැගී සිටි නොබෝකල් ඇති සේක් වෙහෙර පසුපස සෙවණැල්ලෙහි පැනැ වූ අසුන්හි වැඩහුන් සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්බව හේතු කොට ගෙන මාගේ සිරුර ද තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නො වැටහේ. වහන්ස, තව ද භාග්‍යවතුන් වහන්සේ දැන් ම නො පිරිනිවෙන සේක. භාග්‍යවි ය යි.
ආනන්‍ද, බික්සඟන මා කෙරෙහි කුමක් අපේක්‍ෂා කෙරේ ද? ආනන්‍ද, මා විසින් ආනන්තර-අබාහිර (-නො සඟවා) නො කොට දහම් දෙසන ලදී. ආනන්‍ද, තථාගත දහම්හි ආචාර්‍ය්‍ය මුෂ්ටි නැත. ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේ ව)” යි හෝ යමකුට ඒකාන්තයෙන් මෙබඳු අදහසක් වන්නේ ද ආනන්‍ද, හේ ඒකාන්තයෙන් බික්සඟන ඇරබ කිසිවක් ගෙන හැර පානේ (කිසියම් අවවාදයක් දෙන්නේ) නම් ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේව)” යි හෝ තථාගතයන් හට වූකලී මෙබඳු සිතෙක් නො වේ. ආනන්‍ද, ඒ තථාගත බික්සඟන ඇරබ කිසිවක් ගෙනහැර පානේ ද ආනන්‍ද, දැන් වූකලී දිරූයෙම් වෘද්ධයෙම් මහලු වූයෙම් කල්ගත වූයෙම් පිළිවෙළින් මහලුවියට පැමිණියෙම් මාගේ අසූවැනි විය පවතී. ආනන්‍ද, දිරූ ගැලක් යම්සේ හුණු මුසු පිළිසකරින් යැපේ ද ආනන්‍ද, එපරිද්දෙන් තථාගතයන්ගේ කය හුණු මුසු පිළිසකරින් මෙන් යැපේ.
ආනන්‍ද, යම්කලෙක තථාගත තෙමේ සියලු නිමිති මෙනෙහි නො කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත වූ චිත්තසමාධියට පැමිණ වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ට ඉතා පහසු වෙයි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු. ආනන්‍ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්: ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාව … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු ද, යම්කිසි කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු ද, ආනන්‍ද, ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.
3. 1. 10.
භික්ඛුනුපස්සය සූත්‍රය
1188. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පැනවූ අසුන්හි වැඩ හුන්හ. එකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ මෙහෙණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: “වහන්ස, ආනන්‍දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. නැගණියනි, එය එසේ ය. නැගණියනි, එය එසේ ය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එලඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු යි, ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දැහැමි කථාවෙන් ඒ මෙහෙණුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී ගියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් කරා එළඹියෙමි. එළඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, එකල්හි බොහෝ මෙහෙණහු මා වෙත එළඹියහ. එළඹ මා වැඳ එකත්පස්ව හුන්හ. වහන්ස, එකත්පස් ව හුන් ඒ මෙහෙණහු මට මෙය කීහ: “වහන්ස, ආනන්‍දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. වහන්ස, එසේ කියන ලද මම ඒ මෙහෙණට මෙය කීමි. “නැගණියනි, එය එසේය. නැගණියනි, එය එසේය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති විය යුතු” යි.
ආනන්‍ද, එය එසේ ය. ආනන්‍ද , එය එසේ ය. ආනන්‍ද, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු. කවර සතරෙක ද යත්: ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව ද කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කය අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරෙයි. ආනන්‍ද, ඒ මහණහු විසින් කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවියයුතු යි. කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳි යි. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මෙසේ නුවණින් සලකා බලයි: “මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපනි. ඒකාන්තයෙන් දැන් (පැහැදියයුතු නිමිත්තෙන් සිත) ආපසු හැර ගනිමි” යි. හෙතෙමේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. නො ද විතර්‍ක කෙරෙයි. නො ද විචාර කෙරෙයි. විතර්‍ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
ආනන්‍ද, නැවත අනෙකක් ද කියමි: මහණ වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට වේදනා අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
ආනන්‍ද, නැවත අනෙකක් ද කියමි: මහණ සිත්හි සිත් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට සිත් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
ආනන්‍ද, නැවත අනෙකක් ද කියමි: මහණ දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරේ. ආනන්‍ද, ඒ මහණහු විසින් පැහැදිය යුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවියයුතු. පැහැදියයුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්‍රමුදිත භාවය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපන. ඒකාන්තයෙන් දැන් ආපසු හැර ගනිමි”යි මෙසේ නුවණින් සලකා බලයි. හේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. විතර්‍ක නො ද කෙරෙයි. විචාර නො ද කෙරෙයි. විතර්‍ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී. ආනන්‍ද, මෙසේ (සිත) පිහිටුවා වැඩීම වේ.
ආනන්‍ද, (සිත) නොපිහිටුවා වැඩීම කෙසේ වේ ද යත්: ආනන්‍ද, මහණ පිටත සිත නොපිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. නැවත පසුව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි. හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
ආනන්‍ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. නැවත පසුව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතු දු වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.