මහණෙනි, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, සමථනිමිත්තෙක් අබ්‍යග්ගනිමිත්තෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුලකිරීමෙක් වේ ද, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
මහණෙනි, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාරවේ යි.
2. 6. 2.
පරියාය සූත්‍රය
598. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය; “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල් වැඩි ය අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළැඹෙන්නමෝ නම් මැනවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වුහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පස්ව හුන්හ. එකත් පස් ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ: ඇවැත්නි, “මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි “මහණෙනි, එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු.”ඇවැත්නි, එව. තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කීම? අධික ප්‍රයෝග කිම? නානාත්‍ව කිමැයි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගත්හ, නොම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට “භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ දෙසුම්හි අරුත දැන ගන්නමෝයි හුනස්නෙන් නැඟිට ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමු. වහන්ස, ඒ අපට මේ සිතවිය: “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩිය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නමෝ නම් මැනවැ” යි.
වහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූමු. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ; “ඇවැත්නි, මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි: “මහණෙනි එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි.
ඇවැත්නි, අපිත් සව්වනට මෙසේ දහම් දෙසමු: “ඇවැත්නි, එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂකිම, අධික ප්‍රයෝග කීම නානාත්‍වකිමැ’ යි. වහන්ස, ඉක්බිති අපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගතුම්හ. නො ම පිළිකෙව් කළම්හ. නො පිළිගෙන නො පිළිකෙව් කොට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙ වදනෙහි අරුත දැනගන්නමෝ යි හුනස්නෙන් නැඟිට පිටත් ව ගියෙමු.
මහණෙනි, මෙසේ කියන ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කිව යුතු වන්නාහ; “ඇවැත්නි, යම් නයකට පැමිණ පඤ්චනීවරණ දසයෙක් වේ නම්, සත්බොජඟ තුදුසෙක් වේ නම් එබඳු නයෙක් ඇත්දැ” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා (පුළුවුස්නා ලද්දේ) යම් සේ නම් එහෙයිනි. මහණෙනි, තථාගත කෙනෙකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් (-මාගේ සස්නෙන්) අසා (-ඉගෙන) හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නො ම දකිමි.
මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්‍දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්‍දයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය කාමච්ඡන්‍දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, ඇතුළත යම් ව්‍යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. පිටත යම් ව්‍යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය ව්‍යාපාදනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
යම් ථීනයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් මිද්ධයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය ථීනමිද්ධනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙනයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, යම් උද්ධච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් කුක්කුච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය උද්ධච්චකුක්කුච්චනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, ඇතුළත (සිය පස්කඳෙහි) යම් විචිකිච්ඡාවකුත් වේ නම් එ ද නීවරණයෙකි. පිටත (අන්තැන්හි) යම් විචිකිච්ඡාවකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය විචිකිච්ඡානීවරණය යි උදෙසීමට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ. මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් මේ (ඒ) නයයි.
මහණෙනි, යම් නයකට පැමිණ සත්බොජඟ තුදුසෙක් වේ නම් (ඒ) නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත දහම්හි (-ආධ්‍යාත්මිකසංස්කාරයන්හි) යම් සිහියකුත් වේ නම් එ ද සතිසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි (-බාහිර සංස්කාරයන්හි) යම් සිහියකුත් වේ නම් එ ද සතිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය සතිසම්බොජ්ඣඞ්ගයයි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, ඇතුළත දහම්හි නුවණින් සොයයි, පරීක්‍ෂා කෙරෙයි හාත්පසින් විමසීමට පැමිණෙයි යන යමක් වේ නම් ඒ ද ධම්මවිචයසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි නුවණින් සොයයි, පරීක්‍ෂා කෙරෙයි හාත්පසින් විමසීමට පැමිණෙයි යන යමක් වේ නම් ඒ ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය ධම්මවිචයසම්බොජ්ඣඞ්ග ය යි උදෙසීමට යෙ යි. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, යම් කායික වීර්‍ය්‍යයෙකුත් වේ නම් එ ද විරියසම්බොජ්ඣඞ්ගයෙකි. යම් චෛතසික වීර්‍ය්‍යයෙකුත් වේ නම් එ ද විරියසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය විරියසම්බොජ්ඣඞ්ග ය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, යම් සවිතර්‍කසවිචාර ප්‍රීතියෙකුත් වේ නම් එ ද ප්‍රීතිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් අවිතර්‍කඅවිචාර ප්‍රීතියෙකුත් වේ නම් එ ද පීතිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය පීතිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, යම් කායපස්සද්ධියෙකුත් වේ නම් එ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් චිත්තපස්සද්ධියෙකුත් වේ නම් එ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, යම් සවිතර්‍කසවිචාර සමාධියෙකුත් වේ නම් එ ද සමාධිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් අවිතක්කඅවිචාර සමාධියෙකුත් වේ නම් එ ද සමාධිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය සමාධිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
මහණෙනි, ඇතුළත දහම්හි යම් මැදහත් බවෙකුත් වේ නම් එ ද උපේඛාසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි යම් මැදහත්බවෙකුත් වේ නම් එ ද උපේඛාසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය උපේඛාසම්බොජ්ඣඞ්ගයයි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ. මහණෙනි, යම් නයකට පැමිණ සත්බොජඟ තුදුසෙක් වේ නම් මේ (ඒ) නය යි.
2. 6. 3.
අග්ගි සූත්‍රය
599. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ … (පරියාය සූත්‍රයේ වර්‍ණනා කළ ක්‍රමය මැ යි) මහණෙනි, මෙබඳු වාද ඇති අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කිව යුතු වන්නාහු: ඇවැත්නි, යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට නො කල් ද? එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට කල් ද? ඇවැත්නි, යම් කලෙක සිත නොසන්සුන් වූයේ වේ නම් එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට නො කල් ද? එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට කල් දැ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා යම් සේ නම් එමෙනි. මහණෙනි, තථාගත කෙනකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් අසා හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි.
මහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලී. සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලී. උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නො නගාලිය හැක්කේ වේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මද ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහාලන්නේ නම් අමුගොමත් බහා ලන්නේ නම් අමු දරත් බහා ලන්නේ නම් සිහිල් සුලඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණක් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නො නගාලිය හැක්කේ වෙයි.
මහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ වේ ද; එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මැනැවින් නගාලිය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මඳ ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි වියලි තණත් බහා ලන්නේ නම් වියලි ගොමත් බහාලන්නේ නම් වියලි දරත් බහා ලන්නේ නම් මුවසුලඟත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට කලී. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මැනැවින් නගාලිය හැක්කේ වෙයි.
මහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ ද; නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නො සන්සුන් ය. එය මේ දහමින් නොසන්සිඳුවිය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේ ද; හෙතෙමේ එහි වියළි තණත් බහාලන්නේ නම් වියලි ගොමත් බහා ලන්නේ නම් වියලි දරත් බහා ලන්නේ නම් මුවසුළගත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනිකඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, එසෙයින් ම යම්කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් නො සන්සිඳුවිය හැකි වෙයි.
මහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් මැනැවින් සන්සිඳු විය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහා ලන්නේ නම් අමු ගොමත් බහා ලන්නේ නම් අමු දරත් බහා ලන්නේ නම් සිහිල් සුළඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනිකඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට කලි. ඒ කවර හෙයින යත්; මහණෙනි, සිත නො සන්සුන් ය. එය මේ දහම්වලින් මැනැවින් සන්සිඳු විය හැක්කේ වෙයි. මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමති විය යුතු යයි මම කියමි යි.
2. 6. 4.
මෙත්ත සූත්‍රය
600. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි හලිද්දවසන නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන හලිද්දවසන නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය: හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩි ය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නමෝ නම් මැනවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහු:
ඇවැත්නි, “මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි: “මහණෙනි, එවු, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත්සහගිය සිතින් එක්දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණි නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙව, කුළුණුසහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිව්වන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණ නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත කුළුණුසහගිය සිතින් පතුරුවා වෙසෙව. මුදිතා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිව්වන දිග ද, (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත්බවට ගිය නොපමණ වූ වෙර නැති දොම්නස් රහිත මුදිතා සහගත සිතින් පතුරුවා වෙසෙව. මැදහත් බව සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිව්වන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතුරුණු මහත්බවට ගිය නොපමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙව යි.
ඇවැත්නි, අපි දු සව්වනට මෙසේ දහම් දෙසමු: “ඇවැත්නි එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන නීවරණ පහ කොට මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසව … කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙවු. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත්බවට ගිය නො පමණ වූ වෙර නැති, දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි. ඇවැත්නි, මෙහි මහණ ගොයුම්හුගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කීම, අධික ප්‍රයෝග කිම, නානාත්‍වකිමැ’ යි.
එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. නොම පිළිකෙව් කළහ. නොපිළිගෙන නොපිළිකෙව් කොට “මේ භාෂිතයේ අරුත භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී දැනගන්නෙමු”යී හුනස්නෙන් නැගිට පිටත්ව ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ; වහන්ස, මෙහි අපි පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන හලිද්දවසනයට පිඬු පිණිස පිවිසියෙමු. වහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය: “හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල් වැඩිය, අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹෙන්නමෝ නම් ඉතා යෙහෙකැ”යි.
වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹුණෙමු. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූමු. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හිඳගත්තෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ:
ඇවැත්නි, මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි; “මහණෙනි එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත්සහගිය සිතින් ... එක් දිගක් පතුරුවා වෙසෙව … කුළුණු සහගිය සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව, එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව). මෙසේ උඩ යට සරස සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත්බවට ගිය නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි.
ඇවැත්නි, අපි දු සව්වනට මෙසේ දහම් දෙසමු. “ඇවැත්නි, එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව, … කුළුණු සහගිය සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි. ඇවැත්නි, මෙහි මහණ ගොයුම්හුගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් හෝ ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කිම, අධික ප්‍රයෝග කිම, නානාත්‍ව කිමැ යි.
වහන්ස, ඉක්බිති අපි ඒ අන්තොටුපිරිවැජ්ජන්ගේ වදන් නොම පිළිගතුම්හ. නො ම පිළිකෙව් කළම්හ. නො පිළිගෙන නො පිළිකෙව් කොට මේ වදනෙහි අරුත භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි දී දැනගන්නෙමු යි හුනස්නෙන් නැඟි පිටත්ව ගියෙමු යි. මහණෙනි, මෙබඳු වාද ඇති අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියයුතු වන්නාහ: ඇවැත්නි, කෙසේ වඩනලද මෛත්‍රීචිත්තවිමුක්තිය (අර්‍පණාසමාධිය) කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩන ලද කරුණාචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩනලද මුදිතා චිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩනලද උපේඛාචිත්තවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ දැ යි? මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. හේ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහිලා යම්සේ නම් එමෙනි. මහණෙනි, තථාගත කෙනෙකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් අසා හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත් ගන්නේ නම් දෙවියන් සහිත මරුන් බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි එබන්දකු මම නො ම දකිමි.
මහණෙනි, කෙසේ වඩන ලද මෛත්‍රීචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්; මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට මෙත්තාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... මෙත්තාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටුඅරමුණෙහි අනිටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟීම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් ඉටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටුහැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. ශුභවිමෝක්‍ෂයට හෝ පැමිණ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය (අර්‍හත්‍වය) අවබෝධ නොකරන මහණහට මෛත්‍රීචිත්තවිමුක්තිය ශුභය කෙළවර කොට ඇත්තීයයි මම කියමි.
මහණෙනි, කෙසේ වඩන ලද කරුණාචේතොවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට කරුණා සහගතසතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... කරුණා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි අනිටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති නම් එහිලා ඉටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහිත් ඉටු අරමුණෙහිත් ඉටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණහට කරුණාචිත්තවිමුත්තිය ආකාසානඤ්චායතනය පරම කොට ඇත්තී ය යි මම කියමි.
මහණෙනි, කෙසේ වඩන ලද මුදිතාචිත්තවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්; මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට මුදිතාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... මුදිතාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි ලා ඉටු හැගීම් ඇතිව වෙසෙයි ... ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහි ලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණහට මුදිතාචේතෝවිමුත්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇත්තී ය යි මම කියමි.
මහණෙනි, කෙසේ වඩන ලද උපේක්‍ෂාචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසේ. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසේ. ඉදින් ඉටුඅරමුණෙහිත් අනිටුඅරමුණෙහිත් අනිටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහිලා අනිටුහැඟුම් ඇතිවවෙසේ. ඉදින් අනිටුඅරමුණෙහිත් ඉටුඅරමුණෙහිත් ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසේ. ඉදින් ඉටුඅරමුණත් අනිටුඅරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනා දැනුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුත්තිය අවබෝධ නොකරන මහණහට උපේක්‍ෂා චිත්තවිමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇත්තී ය යි මම කියමියි.
2. 6. 5.
සඞ්ගාරව සූත්‍රය
601. එකල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය. භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නොවැටහේ ද, එයට හේතු කිම? ප්‍රත්‍ය කිම? භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ ද, එයට හේතු කිම? ප්‍රත්‍ය කිමැ යි.
බමුණ, යම් කලෙක කාමරාගයෙන් මඩනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කැල මැ නො වැටහෙයි. බමුණ, යම්සේ දියබඳුනෙක් ලතුයෙන් හෝ කහ පැහැයෙන් හෝ නිලපැහැයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ මුසු වූයේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම් කලෙක කාමරාගයෙන් මඬනාලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද: උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් … එසමයෙහි, උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කැල මැ නො වැටහෙයි.
බමුණ, නැවත අනෙකක් ද කියමි. යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ව්‍යාපාදය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නො හදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් ගින්නෙන් තැවුණේ කැකෑරුණේ හටගත් උණුසුම් ඇත්තේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතු සේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද උපන් ව්‍යාපාද දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතු සේ නො දනී ද එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නොවැටහේ. නො හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් පණක සෙවෙලින් හාත්පසින් වැසුනේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය. නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහෙයි. නො හදාළ මන්ත්‍ර කියනු ම කීම?
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් සුළගින් කම්පිත වූයේ සැලුණේ බැමුණේ හටගත් රළ ඇත්තේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නොවැටහේ.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ දුරු කිරීමත් ඇතිසැටියෙන් නො දනී ද; එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගු කලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නොහදාළ මන්ත්‍ර කියනුම කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් කැලැඹුණේ නොසන්හුන්නේ මඩවූයේ අඳුරෙහි තබන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ ඇතිසැටියෙන් නො දන්නේ ය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යයයි.
බමුණ, යම්කලෙක වූකලි කාමරාගයෙන් නොමඩනා ලද කාමරාගය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් කාමරාගය දුරු කිරීමත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකි. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් ලතුයෙන් හෝ කහපැහැයෙන් හෝ නිල් පැහැයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ නුමුසු වූයේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේ ය, දක්නේ ය. බමුණ, එසෙයින් ම යම්කලෙක කාමරාගයෙන් නො මඬනා ලද කාමරාගය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් කාමරාගය දුරු කිරීමත් ඇතිසැටියෙන් දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි, උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ව්‍යාපාදයෙන් නොමඩනා ලද ව්‍යාපාදය අනුව නොගිය සිතින් වෙසේ ද, උපන් ව්‍යාපාදයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කීම? බමුණ, යම්සේ දිය බඳුනෙක් ගින්නෙන් නොතැවුණේ නොකැකෑරුණේ නොහටගත් උණුසුම් ඇත්තේ වේ ද, ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම් කලෙක ථීනමිද්ධයෙන් නොමඩනා ලද ථීනමිද්ධය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් සෙවෙල්පෙණින් හාත්පසින් නො වැසුනේ වේද ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් නොමඩනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇති සැටියෙන් දනී ද ; එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතුසේ දනි, දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී. දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් සුළඟින් කම්පිත නොවූයේ නොසැලුණේ නොබැමුණේ නොහටගත් රළ ඇත්තේ වේ ද ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම් කලෙක විචිකිච්ඡාවෙන් නො මඬනා ලද විචිකිච්ඡාව අනුව නො ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ නිශ්ශරණයත් තතු සේ දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. දිගුකලක් මුළුල්ලෙහි නො හදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනුම කීම? බමුණ, යම් සේ පහන් වූ වෙසෙසින් පහන් වූ නො කැලඹුණු දියබඳුනෙක් එලියෙහි තබන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුව සටහන බලන්නේ තතු සේ දන්නේය. දක්නේ ය. බමුණ, එසෙයින් ම යම් කලෙක විචිකිච්ඡාවෙන් නොමඬනා ලද විචිකිච්ඡාව අනුව නො ගිය සිතින් වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ නිශ්ශරණයත් ඇති සැටියෙන් දනී ද, එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කිමැ යි. බමුණ, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගු කලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නොහදාළ මන්ත්‍ර පවා වැටහේ නම් (එයට) මේ හේතුයි. මේ ප්‍රත්‍යයයි.
බමුණ, මේ සත්තබොජ්ඣඞ්ගයෝ (සිත) නො අවුරන්නෝය. නොවසන්නෝය. සිත නො කෙලෙසන්නෝය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුක්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙකැයත්: බමුණ, සතිසම්බොජ්ඣඞ්ගය (සිත) නොඅවුරන්නෙකි. නොවසන්නෙකි. සිත නොකෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී ... බමුණ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුක්තිඵල පසක් කිරීම පිණිස පවතී. බමුණ, මේ සත්තබොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝය; නො වසන්නෝය. සිත නො කෙලෙසන්නෝය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිතැ යි . මෙසේ වදාළ කල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උවසුවකු කොට දරනසේක් වා යි.
2. 6. 6.
අභය සූත්‍රය
602. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජිකුළුපව්වෙහි වැඩවසනසේක. එකල්හි අභය රාජකුමාර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස, පුරණකස්සපයෝ මෙසේ කියති: නො දැන්මට නො දැක්මට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත. අහේතුක ව අප්‍රත්‍යය ව නො දැන්ම නො දැක්ම වේ. දැන්මට දැක්මට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත. අහේතුක ව අප්‍රත්‍යය ව දැන්ම දැක්ම වේ” යි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරනසේක් දැ යි ... රාජකුමාරය, නො දැන්මට නො දැක්මට හේතුවෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත.
සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රාජකුමාරය, දැන්මට දැක්මට හේතුවෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත. සහේතු සප්‍රත්‍යයව දැන්ම දැක්ම වේ” යි. වහන්ස, නොදැන්මට නොදැක්මට හේතුව කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? කෙසේ සහේතු සප්‍රත්‍යය ව නො දැන්ම නො දැක්ම වේ දැ යි.
රජකුමර, යම්කලෙක කාමරාගයෙන් මඬනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතු ව වෙසේද; උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතු සප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ව්‍යාපාදයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි, මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතුසප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඬනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද, නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් වෙසේ ද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නො දැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඬනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මේ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතුසප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ යි.
වහන්ස, මේ දහම්නය කිනම් දැ යි. රජකුමර, මොහු නීවරණ නම්හ යි. භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. වහන්ස, එක්එක් නීවරණයෙනුදු මඬනා ලද්දේ තතුසේ නො දන්නේය, නො දක්නේය. පඤ්චනීවරණයන්ගෙන් (මඬනා ලද්දේ) කවර කථා ද? වහන්ස, දැන්මට දැක්මට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? කෙසේ සහේතුසප්‍රත්‍යය වැ දැනීම දැකීම වේ දැ යි.
රජකුමර, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. හේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැකීමට දැනීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතු සප්‍රත්‍යය ව දැනීම දැකීම වේ ... රජකුමර, නැවත අනෙකක් ද කියමි; මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූසිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැනීමට දැකීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතුසප්‍රත්‍යව දැන්ම දැක්ම වේ යි.
වහන්ස, මේ දහම්නය කිනම් දැ යි. රජකුමර, මොහු බොජ්ඣඞ්ග නම්හ යි. භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. වහන්ස, එක් එක් බොජ්ඣඞ්ගයෙනුදු යුතු වූයේ තතුසේ දන්නේය, දක්නේය. සත්තබොජ්ඣඞ්ගයෙන් යුතු වූයේ කවර කථා ද? වහන්ස, ගිජුකුළුපව්වට නැගෙන මාගේ කයෙහි යම් විඩාවක් සිතෙහි විඩාවක් වී ද, හෙ ද සන්සිඳුනේය. මා විසින් දහම ද අවබෝධ කරන ලද්දේ යි.
සවැනි බොජ්ඣඞ්ගවර්‍ග ය යි.
එහි සූත්‍රනාමාවලිය:
ආහාර, පරියාය, අග්ගි, මෙත්ත, සඞ්ගාරව යන සූත්‍ර පස ද ගිජුකුළුපව්වෙහි අභයරාජකුමරුන් ප්‍රශ්න විචාළ සූත්‍රය වූ අභය සූත්‍රය දැ යි සූත්‍රසයෙකි.
7. ආනාපාන වර්‍ගය
2. 7. 1.
අට්ඨික සූත්‍රය
603. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහත් අනුසස් ඇති වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථික සංඥාවෙන් යුක්ත සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථිකසංඥාවෙන් යුක්ත උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී වේ යි.
2. 7. 2.
දුතිය අට්ඨික සූත්‍රය
604. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද කල්හි බහුල කරන ලද කල්හි ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි. මහණෙනි, අස්ථිකසංඥාව කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි රහත්බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමැති වියයුතු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, අස්ථිකසංඥාව මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි ම රහත් බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු යි.
2. 7. 3.
තතිය අට්ඨික සූත්‍රය
605. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
2. 7. 4.
චතුත්‍ථ අට්ඨික සූත්‍රය
606. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්ඛේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවතී ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවති යි.
2. 7. 5.
පඤ්චම අට්ඨික සූත්‍රය
607. මහණෙනි, අට්ඨික සඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් සංවේග පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් සංවේග පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත්සංවේගය පිණිස පවතී යි.
2. 7. 6.
ඡට්ඨ අට්ඨික සූත්‍රය
608. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසු විහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි -පෙ- අට්ඨික සඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතියි.
2. 7. 7-12.
පුළවක සූත්‍ර
609-614 මහණෙනි, පුළවකසඤ්ඤාව ... පවතී යි.
2. 7. 13-18.
විනීලක සූත්‍ර
615-620 මහණෙනි, විනීලක සඤ්ඤාව … පවතී යි.
2. 7. 19-24.
විච්ඡිද්දක සූත්‍ර
621-626 මහණෙනි, විච්ඡිද්දක සඤ්ඤාව … පවතී යි.
2. 7. 25-30.
උද්ධුමාතක සූත්‍ර
627-632 මහණෙනි, උද්ධුමාතක සඤ්ඤාව … පවතී යි.
2. 7. 31-36.
මෙත්තා සූත්‍ර