Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 12401-12500 න් 15083

2. 1. 8.
උපවාන සූත්‍රය
554. එක් කලෙක ආයුෂ්මත් උපවාන තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් උපවාන තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවාන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව වැඩ හුන්හ. එකත්පස්ව වැඩ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපවාන තෙරණුවනට මෙය කීහ: “ඇවැත්නි උපවානයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත් යි තෙමේම දැනගන්නේදැ?” යි.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් “මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත්” යි තෙමේම දැනගන්නේය. ඇවැත්නි, මහණ තෙමේ සති සම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේය. වීර්‍ය්‍යය ද මවිසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්‍ත්‍ථවත් කොට (ප්‍රයෝජන සලකා) මෙනෙහි කරමි යි දැනගනී. ... ඇවැත්නි, මහණ තෙමේ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේ ය. වීර්‍ය්‍යය ද මා විසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කරමි යි. ඇවැත්නි,සාරිපුත්තයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මැනවින් අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවති යි මෙසේ දැනගන්නේ” යි.
2. 1. 9.
උප්පාද සූත්‍රය
555. මහණෙනි, මේ සප්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති.
2. 1. 10.
දුතිය උප්පාද සූත්‍රය
556. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපදනාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපන්නාහු නූපදිති යි.
පළමුවැනි පබ්බතවර්‍ගයයි.
එහි සූත්‍රනාමාවලිය:
හිමවන්ත, කාය, සීල, වත්‍ථ, භික්ඛු, කුණ්ඩලී, කූටාගාර,උපවාන සූත්‍රය ,අනෙක් උප්පාදසූත්‍ර දෙක ය යි දශ සූත්‍ර කෙනෙකි.
2. ගිලාන වර්‍ගය
2. 2. 1.
පාන සූත්‍රය
557. මහණෙනි, යම් සේ යම් කිසි ප්‍රාණීහු කලෙක ගමන ද කලෙක සිටුම ද කලෙක හිඳුම ද කලෙක ශයනය දැ යි සිවු ඉරියවු කෙරෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා එසේ ඒ සිවු ඉරියවු කෙරෙති. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද? යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙ යි.
2. 2. 2.
සුරිය සූත්‍රය
558. මහණෙනි, යම් මේ අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කලණ මිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීම පිණිස මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි.
2. 2. 3.
දුතිය සුරිය සූත්‍රය
559. මහණෙනි, යම් මේ අරුණ නැගීමෙක් වේ ද උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ යෝනිසෝමනසිකාරයෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේය, සත් බොජඟ බහුල කරන්නේ ය යන මෙය යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ සත්බොජඟ වඩා ද සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.මහණෙනි, යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරේ යි.
2. 2. 4.
ගිලාන සූත්‍රය
560. මවිසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ඇවැත් මහසුප් තෙරණුවෝ රෝගී ව දුකට පැමිණ දැඩිගිලන් ව පිප්ඵලිගුහාවෙහි වැඩවෙසෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ඇවැත් මහසුප් තෙරණුවන් වෙත එළඹිසේක. එළඹ පැනවූ අසුන්හි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඇවත් මහසුප් තෙරණුවනට මෙය වදාළසේක: “කස්සපයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද් ද? වැඩි නො වෙද් ද? මොවුන් ගේ අඩුවීමෙක් පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ?” යි. “වහන්ස, මට ඉවසිය නො හැකි ය, යැපිය නො හැකිය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්, ඔවුන්ගේ වැඩි වීම පෙනේ. අඩු වීම නො පෙනේ” යි.
කස්සපයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනෙවින් පවසන ලදහු වඩන ලදහු බහුල කරන ලදහු වෙසෙසින් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: කස්සපයෙනි, සතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, ධම්මවිජයසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, විරියසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ, බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පීතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, සමාධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය, මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්.” යි.
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ. සුගතයන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ” යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඇවැත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහසුප් තෙරණුවෝ ඒ ආබාධයෙන් ද නැගී සිටියහ. ඇවැත් මහසුප් තෙරණුවන්ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම විය.
2. 2. 5.
දුතිය ගිලාන සූත්‍රය
561. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රෝගී ව හටගත් දුක් ඇති ව දැඩි ගිලන් ව ගිජිකුළුපව්වෙහි වැඩවෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් මහමුගලන් තෙරණුන් වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවනට මෙය වදාළ සේක. “මොග්ගල්ලානයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කීම? යැපිය හැකි ද? කිම දුක්වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? මොවුන්ගේ අඩුවීම පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ ද?” යි. “වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැක්ක. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. මොවුන්ගේ වැඩිවීම පෙනේ. අඩුවීමෙක් නො පෙනේ” යි.
“මොග්ගල්ලානයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මුගලන, සිහිසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී ... මුගලන, උපේසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. මුගලන, මේ සත් බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී” යි.
“භාග්‍යවතුන් වහන්ස, සත් බොජඟ ඒකාන්තය, සුගතයන් වහන්ස, සත් බොජඟ ඒකාන්ත ය” යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඇවැත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහමුගලන් තෙරණුවෝ ද ඒ ආබාධයෙන් නැගී සිටියහ. ඇවැත් මහමුගලන් තෙරණුවන් ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.
2. 2. 6.
තතිය ගිලාන සූත්‍රය
562. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ හටගත් ආබාධ ඇතිසේක් දුක් ඇතිසේක් දැඩි ගිලන් වූ සේක් වෙති. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“චුන්‍දයෙනි, තොපට බොජ්ඣඞ්ගයෝ වැටහෙත්වා” යි. “වහන්ස, මේ සත්තබොජ්ඣඞ්ග කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: වහන්ස, සතිසම්බොජ්ඣඞ්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී ... වහන්ස, උපේඛාසම්බොජ්ඣඞ්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. වහන්ස, මේ සත් බොජ්ඣඞ්ගයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්” යි.
“චුන්‍දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ. චුන්‍දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ” යි.
ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ශාස්තෲන් වහන්සේ පිළිගත්සෙක් වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.
2. 2. 7.
අපාර සූත්‍රය
563. මහණෙනි, මේ සත් බොජඟ කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාබොජ්ඣඞ්ග යි. මහණෙනි, මේ සත්බොජඟ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිති යි. මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ:
1. “යම් ජනකෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද මිනිසුන් අතර ඔහු අල්පය. වැඩි මේ ඉතිරි ප්‍රජාව ඉවුර අනුවම (-සසරෙහිම) දුවයි.
2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතිනසුලු වෙද්ද ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (-සසර) හැර පරතෙරට යන්නාහ.
3-4. පණ්ඩිත තෙමේ අකුසල් දහම් දුරු කොට කුසල් දහම් වඩන්නේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයෙක දුෂ්කරසේ ඇලිය යුතු නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කරන්නේ ය.
5. යම් කෙනෙකුන්ගේ සිත බොජ්ඣඞ්ගයන්හි මැනැවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද ලොව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.
2. 2. 8.
ආරද්ධ සූත්‍රය
564. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ වරදනලද නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ ය. කවර සතෙක් ද? යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ වරදන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ යි.
2. 2. 9.
අරිය සූත්‍රය
565. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ (නිවන කරා පමුණුවන) මේ සත් බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතෙක් ද යත්: සිහිබොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවති යි.
2. 2. 10.
නිබ්බිදා සූත්‍රය
566. මහණෙනි, මේ සත්බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්. කවර සතෙක්ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත් යි.
දෙවෙනි ගිලානවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාණසූත්‍රය ද සුරියූපම සූත්‍ර දෙක ද අනෙක් ගිලාන සූත්‍ර තුන ද අපාර, ආරද්ධ, අරිය, නිබ්බිදා සූත්‍ර සතර දැ යි දශ සූත්‍ර කෙනෙකි යි.
3. උදායි වර්‍ගය
2. 3. 1.
බෝධාය සූත්‍රය
567. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, බොජ්ඣඞ්ගයෝ යැ බොජ්ඣඞ්ගයෝයැ යි කියනු ලැබෙත්. වහන්ස, කෙතෙකින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙද්දැ” යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට වඩ යි … උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩ යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙති යි.
2. 3. 2.
දේසනා සූත්‍රය
568. මහණෙනි, මේ සත් බොජඟ දේශනා කරමි. එය අසව. මහණෙනි, සත් බොජඟහු කවරහු ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, මොහු සත් බොජඟ යි.
2. 3. 3.
ඨානි සූත්‍රය
569. මහණෙනි, කාමරාගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, ව්‍යාපාදයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, ථීනමිද්ධයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, උද්ධච්චකුක්කුච්චයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී.
මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ … මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.
2. 3. 4.
යෝනිසෝ සූත්‍රය
570. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් සතිසම්බොජ්ඣඞ්ගය නූපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි ... නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නූපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි.
මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්චන්‍දයත් නූපදී. උපන් කාමච්චන්‍දයත් ප්‍රහීණ වෙයි. නූපන් ව්‍යාපාදයත් නූපදී. උපන් ව්‍යාපාදයත් ප්‍රහීණ වෙයි. නූපන් ථීනමිද්ධයත් නූපදී. උපන් ථීනමිද්ධයත් ප්‍රහීණ වෙයි. නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් ප්‍රහීණ වෙයි. නූපන් විචිකිච්ඡාවත් නූපදී. උපන් විචිකිච්ඡාවත් ප්‍රහීණ වෙයි. නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යෙයි ... නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.
2. 3. 5.
අපරිහානිය සූත්‍රය
571. මහණෙනි, සත්අපරිහානිය (නො පිරිහීමට කරුණු වූ) දහම් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සත්අපරිහානිය දහම් කවරහු ද යත්: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ය ... උපේඛාසම්බොජ්ඣඞ්ගය ය යි. මහණෙනි, මොහු සත්අපරිහානිය දහම්හු යි.
2. 3. 6.
ඛය සූත්‍රය
572. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී ද: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. “වහන්ස, සත්බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතිද්දෝ යි.
උදායි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පැතුරුණක් මහත් බවට පැමිණියක් අප්‍රමාණ වූවක් නිදුක් වූවක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්පමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වේ. තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් කර්‍මය ප්‍රහීණ වේ. කර්‍මය ප්‍රහීණ වීමෙන් දුක ප්‍රහීණ වේ. උදායි, මෙසේ තෘෂ්ණාක්‍ෂයයෙන් කර්‍මක්‍ෂය වේ. කර්‍මක්‍ෂයයෙන් දුඃඛක්‍ෂය වේ යි.
2. 3. 7.
නිරෝධ සූත්‍රය
573. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී ද? මේ සත් බොජ්ඣඞ්ගයෝ යි, කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි.මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලද්දාහු මෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් යි.
2. 3. 8.
නිබ්බේධ සූත්‍රය
574. මහණෙනි, නිබ්බේධභාගිය (කෙලෙස් නැසීමට හිත) මාර්‍ගය තොපට දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, නිබ්බේධභාගිය මාර්‍ගය කවරේ ද: මේ සත් බොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. “වහන්ස, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිද් දැ යි.”
උදායි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමුහය නසයි, පලයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත උපේඛාසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂ සමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමූහය නසයි, පලයි. උදායි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිත් යි.
2. 3. 9.
ඒකධම්ම සූත්‍රය
575. මහණෙනි, යම් දහම් කෙනෙක් මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරනු ලදහු සංයෝජනයන්ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතිද්ද මහණෙනි, මේ සත්බොජඟ යම්බඳු නම් එබඳු එක් දහමකු දු මම නො ම දකිමි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත්බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී. මහණෙනි, සංයෝජනයන් ට කරුණු වූ දහම් කවරහු ද යත්: මහණෙනි, ඇස සංයෝජනයන් ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... දිව සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... සිත සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි.මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ. මහණෙනි, මොහු සංයෝජනයන්ට කරුණු වූ දහම්හු යි කියනු ලැබෙත් යි.
2. 3. 10.
උදායි සූත්‍රය
576. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුමන දනව්වෙහි ශෙවතක නම් සුම්හයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, අසිරියෙකි. වහන්ස, පුදුමයෙකි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ මාගේ ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් කෙතෙක් බුහුමන් කරන ලද ද, වහන්ස, මම පෙර ගිහි වූයෙම් ම දහමින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. සඟන විසින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් දකිමින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ “රූපය මෙසේ ය, රූපයේ හටගැන්ම මෙසේ ය, රූපයේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනාව මෙසේ ය ... සංඥාව මෙසේ ය ... සංස්කාරයෝ මෙසේ ය ... විඥානය මෙසේ ය ... විඥානයේ හටගැන්ම මෙසේ ය ... විඥානයේ අස්තඞ්ගමය මෙසේ ය යි දහම් දෙසූ සේක.
වහන්ස, ඒ මම් ශුන්‍යාගාරයට ගියෙම් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදයව්‍යය සම්මර්‍ශන කෙරෙමින් මේ (පඤ්චස්කන්‍ධය) දුක’යි තතුසේ දැනැගතිමි. මේ (තෘෂ්ණාසමුදය) දුඃඛසමුදයැ”යි තතු සේ දැනැ ගතිමි. මේ (තෘෂ්ණානිරෝධය) දුඃඛනිරෝධැයැ’යි තතුසේ දැනැ ගතිමි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය) දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි තතුසේ දැනැගතිමි. වහන්ස, මා විසින් (විදර්‍ශනා) ධර්‍ම ද අවබෝධ කරන ලද යැ. (විදර්‍ශනා) මාර්‍ගය ද ලබන ලදි. මා විසින් යම් ධර්‍ම මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වේ ද (හෙ) ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති” යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ: වහන්ස, මා විසින් ස්මෘතිසම්බොධ්‍යඞ්ග ලබන ලද යැ. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරනලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ. … වහන්ස, මා විසින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග ලබන ලද. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බවට අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ. වහන්ස, මා විසින් මේ මාර්‍ගය ලබන ලද. මා විසින් යම් මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද මෙ අත්බවට අන් කිසෙක් නැතැ” යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ” යි.
උදායි, මැනවි, මැනවි. උදායි, මේ මග තොප විසින් පිළිලදී. යමෙක් තොප විසින් වඩන ලද ද, බහුල කරන ලද ද, (එය) “ඉපැද්ම ගෙවිණ බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනිකක් නැත” යි යම්සේ තෙපි දැනගන්නහු නම් එසේ එසේ වෙසෙන තොප ඒ බැව් පිණිස පමුණුවන්නේ යි.
තෙවෙනි උදායීවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බෝධාය, දේසනා, ඨාන, යෝනිසෝ, අපරිහානිය, ඛය, නිරෝධ, නිබ්බේධ, ඒකධම්ම, උදායි ය යි සූත්‍ර දසයකි යි.