19. පැළලුප්නුවර:
එකත්පස්ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ” යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසර කෙළවර කවරේ දැ? යි.
ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත්නි, භද්දයෙනි තෙපි “ඇවැත්නි ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේද? බඹසර කෙළවර කවරේදැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි එසේ යයි.
ඇවැත්නි මේ අරි අටගි මග ම බඹසරය. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බඹසර කෙළවරයි.
1. 2. 10.
තෙවන කුක්කුටාරාම සූත්‍රය
20. පැළලුප්නුවර:
ආයුෂ්මත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි බඹසර කවරේ ද බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ? යි.
ආයුෂ්මත් භද්දයෙනි, මැනවි මැනවි. ආයුෂ්මත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත් භද්දයෙනි, තෙපි “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැයි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි, එසේ ය යි.
ඇවැත්නි, මේ අරිඅටගි මග ම බඹසර ය. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ඇවැත්නි, යමෙක් මේ අරිඅටගි මගින් සමන්‍වාගත ද, මේ තෙමේ බඹසැරි ය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මෙය බඹසර කෙළවර යි.
දෙවෙනි විහාරවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
විහාරසූත්‍ර දෙකෙකි. සේඛසුත්‍රයෙකි. අනෙක් උප්පාදසූත්‍ර දෙකෙකි. පරිසුද්ධ නමින් දෙකෙක් ද කුක්කුටාරාම නමින් තුනෙක්ද කියන ලදී. (මුළුල්ල දශයෙකි).
3. මිච්ඡත්ත වර්‍ගය
1. 3. 1.
මිච්ඡත්ත සූත්‍රය
21. සැවැත්නුවර:
මහණෙනි, මිථ්‍යාස්වභාවය ද සම්‍යක්ස්වභාවය ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මිථ්‍යා ස්වභාවය කවරේ ද යත්: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජිව මිච්ඡාවායාම මිච්ඡාසති මිච්ඡාසමාධි යි. මහණෙනි, මිථ්‍යාස්වභාව යයි කියනු ලැබේ.
මහණෙනි සම්‍යක්ස්වභාවය කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ස්වභාව ය යි කියනු ලැබේ.
1. 3. 2.
අකුසලධම්ම සූත්‍රය
22. සැවැත්නුවර:
මහණෙනි, අකුසල්දහම් ද කුසල් දහම් ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අකුසල් දහම්හු කවරහුද යත්. එනම් මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මොහු අකුසල්දහම්හු යි කියනු ලැබෙත්.
මහණෙනි, කුසල්දහම් කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මොහු කුසල්දහම්හු යයි කියනු ලැබෙත් යි.
1. 3. 3.
පටිපදා සූත්‍රය
23. සැවැත්නුවර:
මහණෙනි මිච්ඡාපටිපදාව (වැරදි පිළිවෙත) ද සම්මාපටිපදාව (නොවැරදි පිළිවෙත) ද තොපට දේශනා කරන්නෙමි එය අසවු. මහණෙනි මිච්ඡාපටිපදාව කවර යත්: මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ මිච්ඡාපටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාපටිපදාව කවර යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්මාපටිපදාව යයි කියනු ලැබේ.
1. 3. 4.
දෙවන පටිපදා සූත්‍රය
24. සැවැත්නුවර:
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත්හි පිහිටීම හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය නො සපයන්නෙක් වේ. මහණෙනි, වැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ වැරදි පිළිවෙතැ යි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය නො සපයන්නෙක් වෙයි.
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය සපයන්නෙක් වේ. මහණෙනි, නිවැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ නිවැරදි පිළිවෙතැයි කියනු ලැබේ. මහණෙනි මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය සපයන්නෙක් වේ යි.
1. 3. 5.
අසප්පුරිස සූත්‍රය
25. සැවැත්නුවර:
මහණෙනි, අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ මිථ්‍යාවචන ඇත්තේ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තේ මිථ්‍යාආජීව ඇත්තේ මිථ්‍යාව්‍යායාම ඇත්තේ මිථ්‍යාස්මෘති ඇත්තේ මිථ්‍යාසමාධි ඇත්තේ වේ. මහණෙනි මේ අසත්පුරුෂයා යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ සම්‍යක්සඞ්කල්ප ඇත්තේ සම්‍යග්වචන ඇත්තේ සම්‍යක්කර්‍මාන්ත ඇත්තේ සම්‍යගාජීව ඇත්තේ සම්‍යක්ව්‍යායාම ඇත්තේ සම්‍යක්ස්මෘති ඇත්තේ සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ.
1. 3. 6.
දෙවන අසප්පුරිස සූත්‍රය
26. සැවැත්නුවර:
මහණෙනි, අසත්පුරුෂයාත් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයාත් තොපට දේශනා කරන්නෙමි. සත්පුරුෂයාත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයාත් දේශනා කෙරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිථ්‍යා සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිත්‍යසමාධි ඇත්තේ මිථ්‍යාඥාන ඇත්තේ මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා යයි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා කවරේ ද? යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යක්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ සම්‍යග්විමුක්ති අත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා යයි කියනු ලැබේ යි.
1. 3. 7.
කුම්භ සූත්‍රය
27. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ කළය ආධාර (දරනු) රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර (දරනු) සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිත ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි, ආධාර සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ. මහණෙනි, සිතට ආධාරය කිමෙක් ද යත්: මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මේ සිතට ආධාර ය යි කියනු ලැබේ. මහණෙනි, යම්සේ කළය ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිතට ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි. ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ යි.
1. 3. 8.
සමාධි සූත්‍රය
28. සැවැත්නුවර:
මහණෙනි, තොපට ප්‍රත්‍ය සහිත පිරිවර සහිත ආර්‍ය්‍ය වූ සම්‍යක් සමාධිය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සප්‍රත්‍යය සපරිෂ්කාර ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය කවරේ ද යත්: “හේ මෙසේය: සම්මාදිට්ඨිය සම්මාසඞ්කප්පය සම්මාවාචා ය සම්මාකම්මන්තය සම්මාආජීව ය සම්මාවායාමය සම්මාසති” යි මහණෙනි, මේ සත්අඟින් සිතේ යම් එකඟබවෙක් වේ නම් එය සපරිෂ්කාර බවයි. මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය මෙසේ ප්‍රත්‍යය සහිත ය යි දු මෙසේ පිරිවර සහිත ය යි දු කියනු ලැබේ යි.
1. 3. 9.
වේදනා සූත්‍රය
29. සැවැත්නුවර:
මහණෙනි, මේ වේදනා තුනෙකි. කවරතුනෙක් ද යත්: සුව වේදනා යැ දුක් වේදනා යැ නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස අරිඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත් හේ මෙසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමඟ වැඩියයුතු යි.
1. 3. 10.
උත්තිය සූත්‍රය
30. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළවිය: භාග්‍යවතුන් වහන්සේ විසින් පස්කම්ගුණ කෙනෙක් වදාරන ලදහ. කවර පස්කම්ගුණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද” යි.
උත්තිය, මැනව මැනව. උත්තිය, මේ පස්කම්ගුණ කෙනෙක් මවිසින් පවසන ලදහ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාම සංහිත වූ ඇලුම් කටයුතු වූ ඇසින් දැක්කයුතු රූපයෝ ය ... කනින් ඇසියයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ය ... දිවෙන් දතයුතු රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ ය. උත්තිය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු මේ පස්කම්ගුණයෝ මා විසින් පවසන ලදහ. උත්තිය, මේ පස්කම්ගුණයන්ගේ ප්‍රහානය පිණිස අරිඅටඟිමඟ වැඩියයුතු. කවර අරිඅටඟිමගෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. උත්තිය, මේ පස්කම් ගුණයන්ගේ ප්‍රහානය පිණිස මේ අරිඅටඟිමගෙක වැඩියයුතු යි.
තෙවැනි මිච්ඡත්ත වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය මෙසේ ය:
මිච්ඡත්ත සූත්‍රය, අකුසලධම්ම සූත්‍රය, පටිපදා සූත්‍ර දෙක ය. අසප්පුරිස සූත්‍ර දෙක ය, කුම්භ සමාධි වේදනා උත්තිය සූත්‍ර සතර යැයි සූත්‍ර දශයෙකි.
4. පටිපත්ති වර්‍ගය
1. 4. 1.
පටිපත්ති සූත්‍රය
31. සැවැත්නුවර:
මහණෙනි, තොපට මිථ්‍යාප්‍රතිපත්තිය ද සම්‍යක්ප්‍රතිපත්තිය ද දෙසමි. එය අසවු. මහණෙනි, මිථ්‍යාප්‍රතිපත්ති කවර යත්: මිථ්‍යාදෘෂ්ටි යැ … මිථ්‍යාසමාධි යි. මහණෙනි මේ මිථ්‍යාප්‍රතිපදා යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්‍යක්ප්‍රතිපත්ති කවර යත්: සම්‍යක්දෘෂ්ටි ... සම්‍යක්සමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ප්‍රතිපදා යි කියනු ලැබේ.
1. 4. 2.
පටිපන්න සූත්‍රය
32. සැවැත්නුවර:
මහණෙනි, මිථ්‍යාප්‍රතිපත් ඇත්තහු ද සම්‍යක්ප්‍රතිපත් ඇත්තහු ද තොපට දෙසමි එය අසවු. මහණෙනි, මිථ්‍යාප්‍රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි … මිථ්‍යාසමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මිථ්‍යාප්‍රතිපත් ඇත්තේ ය යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්‍යක්ප්‍රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි මේ සම්‍යක්ප්‍රතිපත් ඇත්තේ ය යි කියනු ලැබේ.
1. 4. 3.
විරද්ධ සූත්‍රය
33. සැවැත්නුවර:
මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ වරදවන ලද ද, මැනැවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනෙවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලදී. මහණෙනි, අරිඅටඟිමඟ කවරෙ යත්: හේ මෙසේ ය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ වරදවන ලද ද, මෙනෙවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලද්දේ යි.
1. 4. 4.
පාරඞ්ගම සූත්‍රය
34. සැවැත්නුවර:
මහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට (-සසරින් නිවනට) යෑම පිණිස පවතිත්. කවර අටෙකැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ අටදහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතරට යෑම පිණිස පවතිත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේකි:
1. යම් ජන කෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද, මිනිසුන් අතර ඔහු අල්පයහ. වැලි මේ තදන්‍ය ප්‍රජාව මෙතෙර ම (සසරෙහි ම) ධාවන කෙරෙයි.
2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතින සුලු වෙද්ද, ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (සසර) හැර පරතෙරට යන්නාහ.
3-4. පණ්ඩිත තෙමේ අකුසල්දහම් දුරු කොට කුසල්දහම් වඩනේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයක දුකසේ ඇලිය යුතු වේ නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන් කෙරෙන් සිත පිරිසිදු කරන්නේ යි.
5. යම් කෙනකුන්ගේ සිත බෝධ්‍යඞ්ගයන්හි මැනවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද, ලෙව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.
1. 4. 5.
සාමඤ්ඤ සූත්‍රය
35. මහණෙනි, මහණුවම් ද මහණුවම්හි ඵල ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මහණුවම කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ මහණුවමැ යි කියනු ලැබේ. මහණෙනි, මහණුවම්හි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු මහණුවම්හි ඵල යැ යි කියනු ලැබේ යි.
1. 4. 6.
දෙවන සාමඤ්ඤ සූත්‍රය
36. මහණෙනි, ශ්‍රමණධර්‍මයත් ශ්‍රමණධර්‍මයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රමණධර්‍මය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි ඒ කවරැ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රමණධර්‍මය යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රමණධර්‍මයෙහි ඵල කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි මේ ශ්‍රමණධර්‍මයෙහි ඵලැ යි කියනු ලැබේ යි.
1. 4. 7.
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
37. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයත් ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්‍වය යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵල යැ යි කියනු ලැබේ යි.
1. 4. 8.
දෙවන බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
38. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයත් ශ්‍රේෂ්ඨත්‍වයෙහි ප්‍රයෝජනත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්‍වය යැ යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයෙහි ප්‍රයෝජන කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්‍වයෙහි ප්‍රයෝජනැ යි කියනු ලැබේ යි.
1. 4. 9.
බ්‍රහ්මචරිය සූත්‍රය
39. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි ඵලත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරඵල කවරෙ යත් සෝවත්ඵල සෙදගැමිඵල අනගැමිඵල රහත්ඵල යි. මහණෙනි, මොහු බඹසරඵලැ යි කියනු ලැබේ යි.
1. 4. 10.