Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 11601-11700 න් 15083

මහණෙනි, හිරිඔතප් දෙක සමග ම උපදනා විද්‍යාව කුසල්දහම් ඉපැද්මට පෙරටු වෙයි. විද්‍යාවෙන් යුත් පණ්ඩිතයාහට සම්‍යග්දෘෂ්ටි උපදී. සම්‍යග්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්ප උපදී. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යග්වචන උපදී. සම්‍යග්වචන ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යග්ආජීව වෙයි. සම්‍යක්ආජීව ඇත්තහුට සම්‍යග්ව්‍යායාම වෙයි. සම්‍යග්ව්‍යායාම ඇත්තහුට සම්‍යක්ස්මෘති වෙයි. සම්‍යක්ස්මෘති ඇත්තහුට සම්‍යක්සමාධි වේ.
1. 1. 2.
උපඩ්ඪ සූත්‍රය
2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වේ නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. වහන්ස, යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙන සුළු බවෙක් වේ ද මෙය බඹසර පිළිබඳ සම අඩෙකැ යි. ආනන්‍දය, එසේ නො කිය, ආනන්‍දය, එසේ නො කිය, ආනන්‍දය යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙනසුළු බවෙක් වේද, මෙය මුළුබඹසර යි. ආනන්‍දය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කළණයන් කෙරෙහි නැමෙන සුළු මහණ අරිඅටඟිමග වඩන්නේය. අරිඅටඟිමග බහුල කරන්නේ යන මෙය කැමති විය යුතුය.
ආනන්‍දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්‍දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට නැමෙනසුලුකොට සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වචනය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක් කර්‍මාන්තය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්ආජීවය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වය්‍යයාමය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්මාධිය වඩයි. ආනන්‍දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ මෙසේ අරිඅටඟිමග වඩයි. අරිඅටඟිමග බහුල කෙරෙයි.
ආනන්‍දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇතිබවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු: ආනන්‍දය, කලණ මිත් වූ මා කරාම පැමිණ උපත ස්වභාව කොට ඇති සත්‍වයෝ උපතින් මිදෙත්, ජරාව ස්වභාව කොට ඇති සත්‍වයෝ ජරායෙන් මිදෙත්,
මරණය ස්වභාව කොට ඇති සත්‍වයෝ මරණයෙන් මිදෙත්, ශෝකය පරිදේවය දුක දොම්නස දැඩි ආයාසය යන මෙයින් මිදෙත්. ආනන්‍දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇති බවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු යි.
1. 1. 3.
සාරිපුත්ත සූත්‍රය
3. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය, මැනවි මැනවි. ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය, අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණහු විසින් කැමති වියයුතු යි.
ශාරිපුත්‍රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩා ද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ශාරිපුත්‍රය, මෙසස්නෙහි මහණ විවේකනිශ්‍රිත කොට විරාගනිශ්‍රිත කොට නිරෝධනිශ්‍රිත කොට ව්‍යවසර්‍ගපරිනාම කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. ... සම්‍යක්සඞ්කල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි ... විවේකනිශ්‍රිත කොට නිරෝධනිශ්‍රිත කොට ව්‍යවසර්‍ගපරිනාම කොට සම්‍යක්සමාධිය වඩයි. ශාරිපුත්‍රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ මෙසේ අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය.
ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද, මෙය යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු: එසේ මැ ය, ශාරිපුත්‍රය, කල්‍යාණමිත්‍ර වූ මා කරා පැමිණ ජාතිධර්‍මසත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත්. ජරාධර්‍මසත්ත්‍වයෝ ජරායෙන් මිදෙත්. මරණධර්‍මයසත්ත්‍වයෝ මරණයෙන් මිදෙත්. ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෙපායාසයෙන් මිදෙත්. ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු යි.
1. 1. 4.
බ්‍රාහ්මණ සූත්‍රය
4. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දුටහ. (එ රියෙහි) සුදු පළඳනා ඇති සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. රිය සුදු ය, පරිවාරෝපකරණ ද සුදු ය. රැහැන් සුදු ය. කෙවිට සුදු ය. ඡත්‍රය සුදු ය. නළල්පට සුදු ය. වස්ත්‍ර සුදු ය. වාහන් සුදු ය. සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. තුලුන් දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයාගේ යානය වැනි යානයෙකැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත්නුවර පිඬු පිණිස පිවිස පසුබතැ පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස මම හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දිටිමි. සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. සුදු අබරණ ය, සුදු රිය ය, (ඇතිරිලි ඈ) සුදු පිරිවර ය, සුදු රැහැන් ය, සුදු කෙවිට ය, සුදු ඡත්‍ර ය, සුදු නළල්පට ය, සුදු වස්ත්‍ර ය, සුදු වහන් ය, සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. මොහු දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයානය වැනි යානයෙකැ”යි. වහන්ස, මෙ සස්නෙහි බ්‍රහ්මයානයක් පනවන්නට හැකි වේ දැ යි.
“හැකි ය ආනන්‍දය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු ද මේ අරිඅටඟිමඟට ම තෙල නමෙකි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාදිට්ඨිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසඞ්කප්පය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවාචාව රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාකම්මන්තය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය,
වඩන ලද බහුල කරන ලද සම්මාආජීවය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවායාමය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසතිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසමාධිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි.
“ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු දැ යි යම් සේ මේ අරිඅටඟිමඟට තෙල නමෙක් වේ නම් එය මෙ නයින් දතයුතු ය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක:
1. යම් ආර්‍ය්‍යමාර්‍ගයානයෙක ශ්‍රද්ධාව ද ප්‍රඥාවද යන ධර්‍මයෝ හැම කල්හි ධුරයෙහි යෙදුණාහු ද, ලජ්ජාව රියහිස වේ ද, (විදර්‍ශනා හා මාර්‍ග) සිත යොත වේ ද, සිහිය ආරක්‍ෂක රියැදුරා වේ ද,
2. (ආර්‍ය) අෂ්ටාඞ්ගික මාර්‍ග නැමැති රථය ශීලය අලඞ්කාර කොට ඇත්තේ ද ධ්‍යානය අකුර කොට ඇත්තේ ද වීර්‍ය්‍යය චක්‍ර කොට ඇත්තේ ද, උපේක්‍ෂාව ධුර සමත්‍වය කොට ඇත්තේ ද, අලෝභය ආවරණය කොට ඇත්තේ ද,
3. අව්‍යාපාද අවිහිංසා (ත්‍රිවිධ) විවේක යන පස යම් රථයයෙක ආවුධ වේ ද ඉවසීම පැළඳගත් යුද්ධ සැට්ටය වේ ද, නිවන පිණිස පවතී ද,
4. නිරුත්තර වූ මේ බ්‍රහ්මයානය හෙවත් ශ්‍රේෂ්ඨ යානය තමා කෙරෙහි හටගත්තේ නම් (ඒ) ප්‍රාඥයෝ ඒකාන්තයෙන් (රාගාදීන්) දිනමින් ලෝකයෙන් නික්මෙති යි.
1. 1. 5.
කිමත්‍ථිය සූත්‍රය
5. සැවැත්නුවර:
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ අප පුළුවුසිත්: “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි වහන්ස, මෙසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසම්හ: “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යි. වහන්ස, කිම? එසේ පුළුවුස්නා ලද අපි මෙසේ පවසන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? “භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කරමෝ ද? දහමට අනුදහමක් පවසමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ?” යි.
මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නහු වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනුදහමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොද පැමිණේ. “මහණෙනි, දුක පිරිසිඳ දැනගැනුම පිණිස මා කෙරෙහි බඹසර වෙසේ. “මහණෙනි, ඉදින් මේ දුක පිරිසිඳ දැනගනු පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතක් ඇද්ද” යි අන්තොටු පිරිවැජියෝ මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු: “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟෙක් ඇත, පිළිවෙතක් ඇතැ” යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟ කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමඟ ම ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙතැ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ විසඳන්නහු යි.
1. 1. 6.
භික්‍ෂු සූත්‍රය
6. සැවැත්නුවර:
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘බ්‍රහ්මචරිය ය බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. වහන්ස, බ්‍රහ්මචරියය කවරේ ද, බ්‍රහ්මචරියෙහි කෙළවර කවරේ දැ?” යි. මහණ මේ අරිඅටඟිමඟ ම බ්‍රහ්මචරිය ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණ, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යායෙහි කෙළවර යි.
1. 1. 7.
දුතිය භික්‍ෂු සූත්‍රය
7. සැවැත්නුවර:
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය’ යි කියනු ලැබේ. වහන්ස, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල කුමකට නම් වේ දැ?” යි. “මහණ, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල නිර්‍වාණ ධාතුවට මේ නම් ය. එයින් ආස්‍රවක්‍ෂය කියනු ලැබේ” යි. මෙසේ කී කල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අමත ය අමත ය” යි කියනු ලැබේ, වහන්ස, අමෘතය කවරේ ද, අමෘතගාමී මාර්‍ගය කවරේ දැ?යි. මහණ, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ “අමෘත ය”යි කියනු ලැබේ. මේ අරිඅටඟිමඟ ම “අමෘතගාමී මාර්‍ගය යි”. ඒ මෙසේ යි: “සම්‍යග්දෘෂ්ටි ය ... සම්‍යක්සමාධි” යි.
1. 1. 8.
විභඞ්ග සූත්‍රය
8. සැවැත්නුවර:
මහණෙනි, අරිඅටඟිමඟ තොපට දේශනා කරන්නෙමි, බෙදා දක්වන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියමි යි. ‘වහන්ස එසේ ය’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, අරිඅටඟි මඟ කවරේ ද, ඒ මෙසේයි: ‘සම්මාදිට්ඨිය ... සම්මාසමාධි’ යි. මහණෙනි, සම්මාදිට්ඨිය කවර යත්: මහණෙනි, දුකෙහි යම් දැනීමෙක්, දුක හටගැනීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමට යන පිළිවෙතෙහි යම් දැනීමෙක් වේ නම් මහණෙනි මේ “සම්මාදිට්ඨි” යයි කියනු ලැබේ.
මහණෙනි සම්මාසඞ්කප්පය කවරේ ද යත්: මහණෙනි යම් නෛෂ්ක්‍රම්‍ය සඞ්කල්පයක්, අව්‍යාපාදසඞ්කල්පයෙක්, අවිහිංසාසඞ්කල්පයෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාවාචා කවර යත්: මහණෙනි, යම් මුසාවායෙන් වැළකීමෙක්, පිසුනු වදනින් වැළකීමෙක්, රළු වදනින් වැළකීමෙක්, හිස්වදනින් වැළකීමෙක් වේ නම්, මහණෙනි මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාකම්මන්තය කවරේ ද යත්: මහණෙනි, යම් පණිවායෙන් වැළකීමෙක්, අයිනාදනින් වැළකීමෙක්, අබ්‍රම්සරින් වැළකීමෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාආජීවය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු තෙමේ වැරදි දිවිපෙවෙත හැර යහපත් දිවිපෙවෙතින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාවායාමය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නූපන් පවිටු අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. උපන් පවිටු අකුසල් දහම් පැහීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුසල් දහම් ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නො මුළාව පිණිස බොහෝබව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරිපුන්බව පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. මහණෙනි, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාසතිය කවර යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව කාය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (විඳුම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (සිත්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාසමාධිය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍ක විචාර සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්වීතිය ධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතිය ද වැළකීමෙන් උපේක්‍ෂා ද ඇති ව වෙසේ. සිහි ද ඇතිව මනාදැනුමුත් ඇතිව කයින් සුවත් විඳී, උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පෙර ම සොම්නස්දොම්නසුන්ගේ පහ ව යෑමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සම්මාසමාධි යි කියනු ලැබේ යි.
1. 1. 9.
සූක සූත්‍රය
9. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ වරදවා තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා වරදවා තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ වරදවා පිහිටුවන ලද දෘෂ්ටියෙන් වරදවා පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා වරදවා පිහිටුවන ලද බැවිනි.
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ මැනවින් තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා මැනවින් පිහිටුවන ලද බැවිනි.
මහණෙනි, මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් මහණ තෙමේ කෙසේ නම් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද නිවන පසක් කෙරේ ද, මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේත් මේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳියි, විද්‍යාව උපදවයි, නිවන පසක් කෙරේ යි.
1. 1. 10.
නන්‍දිය සූත්‍රය
10. සැවැත්නුවර:
එකල්හි නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයෙනි, කෙතෙක් දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙද්දැ? යි. නන්‍දිය, අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. නන්‍දිය, මේ අට දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති යි.
මෙසේ වදාළ කල්හි නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලද්දේ ය. වහන්ස, මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම්‍ කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්ව යි.
පළමුවැනි අවිජ්ජාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අවිජ්ජා සූත‍්‍රය ද උපඩ්ඪ සූත්‍රය ද සාරිපුත්ත සූත්‍රය ද බ්‍රාහ්මණ සූත්‍රය ද කිමත්‍ථිය සූත්‍රය ද භික්ඛු සූත්‍ර දෙක ද විභඞ්ග සූත්‍රය ද සූකනන්‍දිය සූත්‍ර දෙක දැ යි දශ සූත්‍ර කෙනෙකි.
2. විහාර වර්‍ගය
1. 2. 1.
විහාර සූත්‍රය
11. සැවැත්නුවර:
මහණෙනි, මම අඩවසක් එකලා වැ වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙකු භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකසුවයෙන් නැගී සිටි සේක් භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, මම බුදු වැ පළමු කොට යම් විහරණයෙකින් විසුයෙම් නම් එහි පෙදෙසකින් යුතු ව විසුවෙමි. මම මෙසේ දනිමි; “මිච්ඡාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි. මිච්ඡාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාආජීවහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාආජීව හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසමාධි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසමාධිහේතුවෙන් ද වේදනාව වෙයි, ඡන්‍දහේතුවෙන් ද වේදනාව වෙයි, විතක්කහේතුවෙන් ද වේදනාව වෙයි, සඤ්ඤාහේතුවෙන් ද වේදනාව වෙයි.
ඡන්‍දයත් නො සන්හුන්නේ වෙයි. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දය සන්හුන්නේ වේ. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝ නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. නො පැමිණි (රහත්බවට) පැමිණීමට වෑයමෙක් ඇත. එකරුණ ද පැමිණි කල්හි ඒ හේතුවේනුද වේදනාව වේ ය යි.
1. 2. 2.
දෙවන විහාර සූත්‍රය
12. සැවැත්නුවර:
මහණෙනි, මම තෙමසක් එකලා වැ වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. (ඉක්බිති) පිණ්ඩපාතය රැගෙන එන එක් මහණෙකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඇවෑමෙන් විවේකයෙන් නැගී සිටිසේක් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම බුදු ව පළමු කොට යම් විහරණයෙකින් විසුවෙම් නම් එහි පෙදෙසකින් යුතු ව විසුවෙමි. මම මෙසේ දනිමි. මිච්ඡාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාදිට්ඨි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. සම්මාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි. සම්මාදිට්ඨි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. (සියල්ල විතර කට යුතුයි) … මිච්ඡාසමාධිහේතුවෙන් ද වේදනාව වෙයි. මිච්ඡාසමාධි වූපසම හේතුවෙන්ද වේදනාව වෙයි. සම්මාසමාධි හේතුවෙන්ද වේදනාව වෙයි. සම්මාසමාධි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. ඡන්‍ද හේතුවෙනුදු වේදනාව වෙයි, ඡන්‍ද වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. විතක්ක හේතුවෙන් ද වේදනාව වෙයි. විතක්ක වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. සඤ්ඤාහේතුවෙන් ද වේදනාව වෙයි. සඤ්ඤාවූපසම හේතුවෙනුදු වේදනාව වෙයි.
ඡන්‍දයත් නො සන්හුන්නේ වෙයි. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දය සන්හුන්නේ වේ. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝ නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන් ද වේදනාව වේ. නො පැමිණි (අර්‍හත්‍වයට) පැමිණීම පිණිස වෑයමෙක් ඇත. එකරුණ ද පැමිණි කල්හි ඒ හේතුවේනුද වේදනාව වේ යි.
1. 2. 3.
සේඛ සූත්‍රය
13. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “සේඛය, සේඛ යයි කියනු ලැබේ” යි වහන්ස, කෙතෙකින් සේඛ වේ දෝ?” යි මෙසස්නෙහි මහණ සේඛ වූ සම්මාදිට්ඨීයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාසඞ්කප්පයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවාචායෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාකම්මන්තයෙන් යුතු වූයේ වේ ද, සේඛ වූ සම්මා ආජීවයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවායාමයෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසතියෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසමාධියෙන් යුතු වූයේ වේ ද, මෙතෙකින් මහණ සේඛ වේ යි.
1. 2. 4.
උප්පාද සූත්‍රය
14. සැවැත්නුවර:
මහණෙනි, මේ අටදහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: එනම් සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය ... යි මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 5.
දෙවන උප්පාද සූත්‍රය
15. සැවැත්නුවර:
මහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුදුසසුනෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක් ද යත්: එනම් සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 6.
පරිසුද්ධ සූත්‍රය
16. සැවැත්නුවර:
පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම් කෙනෙක් තථාගත අර්‍හත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 7.
දෙවන පරිසුද්ධ සූත්‍රය
17. සැවැත්නුවර:
මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම කෙනෙක් බුදුසන්නෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු බුදුසසුනෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 8.
කුක්කුටාරාම සූත්‍රය
18. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝත් ආයුෂ්මත් භද්ද තෙරණුවෝත් පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් භද්ද තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටුවියයුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩ හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ. “ඇවත් ආනන්‍දයෙනි, “අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි අබ්‍රහ්මචරියය කවරේදැ?” යි.
ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති. වැටහීම යහපති. පිළිවිසීම යහපති. ඇවත් භද්දයෙනි තෙපි “ඇවත් ආනන්‍දයෙනි, අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි, අබ්‍රහ්මචරිය ය කවරේදැ? යි මෙසේ පුළුවුසිවු දැ?” යි ඇවැත්නි, එසේ ය යි. ඇවැත්නි, මේ අට්ඨඞ්ගිකමිච්ඡා මාර්‍ගය ම අබ්‍රහ්මචරිය යයි. එනම් මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යි.
1. 2. 9.
දෙවන කුක්කුටාරාම සූත්‍රය