ඇවැත්නි උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්‍රේෂ්ඨප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි හෝ” යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවන සේකැයි. මෙසේ කීකල් හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්ට මෙය කීහ: මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ ද බාලයෙක, අව්‍යත්තයෙකැ යි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවකවාදයෙනුත් බාලවාදයෙනුත් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට අවමන් කොට හුනස්නෙන් නැගී ගියහ.
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවෙකින් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම් මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙකු වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද කරුණු සහිත කිසිවාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ දැ යි. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ: එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහස්සේට මෙය සැලකළහ.
වහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියක වෙසෙමි. වහන්ස, එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙත එළඹියහ. එළඹ මා සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. වහන්ස එකත්පස්ව හුන් අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්‍රේෂ්ඨප්‍රාප්තියට පැමිණි යම් මේ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගත තෙමේ “සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙහි ලා පනවා දැ යි. වහන්ස, එසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මම මෙය කීයෙමි. ඇවැත්නි උත්තම පුරුෂ වූ පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් මේ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ “සත්ත්‍වයා මරණින් මතු වේයයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ යයි ... නො ම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවති යි.
වහන්ස මෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ. ‘මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ නමුත් බාලයෙක, අව්‍යක්තයෙකැ’යි. වහන්ස ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුත්, බාල වාදයෙනුත් මට අවමන් කොට හුනස්නෙන් නැඟී ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවකින් මට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම්, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක් කියන්නෙකුත් වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද, කරුණු සහිත කිසි වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ දැ? යි.
අනුරාධ, ඒ කිමැයි හඟිවු ද? රූප නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස අනිත්‍ය ය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස දුක් වෙයි. යමක් අනිත්‍ය වේ නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් තෙල ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම’ යයි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. වේදනාව නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ ද ... සංඥාව ... සංස්කාර … විඥානය නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේදැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් එය ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’ යි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස මෙය නොවේ ම ය.
අනුරාධ, එහෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයකුත් වේ ද ඒ සියලු රූපය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක්ක යුතු. අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි වේදනාවක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද … යම් කිසි සංස්කාර කෙනෙක් වෙත් ද … අතීත වූ හෝ අනාගත වූ පච්චුපන්න වූ හෝ අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු.
අනුරාධ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි, වේදනාවෙහිත් කලකිරෙයි, සංඥාවෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගනී.
අනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? රූපය සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාව සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. සංඥාව සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. සංස්කාර සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. විඥානය සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ ඒ කිමැ යි හඟිවු ද? රූපයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. රූපයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාවෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාවෙන් වෙන් ව ... සංඥාවෙහි ... සංඥාවෙන් වෙන් ව ... සංස්කාරයන් හි ... සංස්කාරයන්ගෙන් වෙන් ව ... විඥානයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. විඥානයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? රූපය ... වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
අනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? මේ ඒ රූපය නැත්තෙක්, වේදනා නැත්තෙක්, සංඥා නැත්තෙක්, සංස්කාර නැත්තෙක්, විඥානය නැත්තෙක් සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ, මෙහි ලා තොපට දිටුදැමියෙහි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්ත්‍වයෙකු නොලැබෙන කල්හි “ඇවැත්නි, උත්තමපුරුෂ වූ, පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම වේ නො ම නො වේ යයි හෝ යන මේ සිවු කරුණෙන් වෙන් ව පනවති” යි එය තොප විසින් පැවසීමට සුදුසු දැ? යි. වහන්ස මෙය නො වේ ම ය. අනුරාධ, මැනවි, මැනවි. අනුරාධ, මම පෙරත්, දැනුත් දුකත්, දුක්ඛනිරෝධයත් පනවමි යි.
10. 1. 3.
උපගත සූත්‍රය
2278. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත්, ආයුෂ්මත් කොට්ඨිත තෙරණුවෝත් බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක්, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ සැරියුත් තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය වදාළහ:
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිම “සත්ත්‍වයා මරණින් මතු වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු නොවේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
ඇවැත්නි කිම, “සත්ත්‍වයා මරණින් මතු වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ”යි කියවු ... ඇවැත්නි, කිම? “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, ඇවැත්නි “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි.
ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි.
ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
10. 1. 4.
සමුදය සූත්‍රය
2279. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. ඇවැත්නි, රූපය තතු සේ නො දන්නා නො දක්නා, රූප සමුදය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
වේදනාව තතු සේ නො දන්නා නො දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන සමුදය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, රූපය තතු සේ දන්නා දක්නා, රූප සමුදය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. වේදනාව තතු සේ දන්නා දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ දන්නා දක්නා, විඥාන සමුදය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යැ. මේ ප්‍රත්‍යය යි.
10. 1. 5.
පෙම සූත්‍රය
2280. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. ඇවැත්නි, රූපයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.
වේදනාවෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ... සංඥාවෙහි ... සංස්කාරයන්හි … විඥානයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.
ඇවැත්නි, රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නොම වේ නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
10. 1. 6.
ආරාම සූත්‍රය
2281. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ දැ? යි ... ඇවැත්නි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි මෙය ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියවු. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද නම් එයට හේතු කිම, ප්‍රත්‍ය කිමැ? යි.
ඇවැත්නි, රූපයෙහි ඇලෙන, රූපයෙහි ඇලුණු, රූපයෙහි සතුටු වූ, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද සිත් වේ. ඇවැත්නි, වේදනාවෙහි ඇලෙන, වේදනාවෙහි ඇලුණු, වේදනාවෙහි සතුටු වූ, වේදනා නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද වේ … ඇවැත්නි, සඤ්ඤායෙහි ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි ඇලෙන, විඤ්ඤාණයෙහි ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු වූ, විඤ්ඤාණනිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, රූපයෙහි නො ඇලෙන, රූපයෙහි නො ඇලුණු, රූපයෙහි සතුටු නො වූ, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, වේදනාවෙහි නො ඇලෙන, වේදනාවෙහි නො ඇලුණු, වේදනාවෙහි සතුටු නො වූ ... ඇවැත්නි, සඤ්ඤාවෙහි නො ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි නො ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි නො ඇලෙන, විඤ්ඤාණයෙහි නො ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු නො වූ, විඤ්ඤාණ නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නො වදාරණ ලද නම්, එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් නයෙකුත් වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, භවයෙහි ඇලෙන, භවයෙහි ඇලුණු, භවයෙහි සතුටු වූ, භව නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, භවයෙහි නො ඇලෙන, භවයෙහි නො ඇලුණු, භවයෙහි සතුටු නො වූ, භව නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
ඇවැත්නි, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම් එයට අන් කරුණෙකු දු වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, උපාදානයෙහි ඇලෙන, උපාදානයෙහි ඇලුණු, උපාදානයෙහි සතුටු වූ, උපාදාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, උපාදානයෙහි නො ඇලෙන, උපාදානයෙහි නො ඇලුණු, උපාදානයෙහි සතුටු නො වූ, උපාදාන නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් කරුණෙකු දු වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, තණ්හාවෙහි ඇලෙන, තණ්හාවෙහි ඇලුණු, තණ්හාවෙහි සතුටු වූ, තණ්හා නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, තණ්හාවෙහි නො ඇලෙන, තණ්හාවෙහි නො ඇලුණු, තණ්හාවෙහි සතුටු නො වූ, තණ්හා නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් කරුණෙකු දු වන්නේ දැ?යි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මෙහි දැන් මෙයින් මතු කුමක් කැමති වවු ද? ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, තෘෂ්ණා ප්‍රහාණයෙන් මිදුණු මහණහට පැනවීම පිණිස සසරවටෙක් නැතැ යි.
10. 1. 7.
ආයතන සූත්‍රය
2282. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීය: භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡයෙනි ‘ලෝකය ශාශ්වත ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය අශාශ්වත දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අශාශ්වත ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අන්තවත් දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය අන්තවත් ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අනන්තවත් දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අනන්තවත් ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් මොග්ගල්ලානයෙනි, කිම ඒ ම ජීවය, ඒ ම ශරීරය දැ?යි. වච්ඡයෙනි, ‘ඒ ම ජීවය, ඒ ම ශරීරය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ජීවය අනෙකක් ද? ශරීරය අනෙකක් දැ?යි. වච්ඡයෙනි, ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු වේ’ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො වේ’ ය යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වෙයි’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වෙයි’ යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අනන්තවත් යයි හෝ ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි හෝ ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ” යයි හෝ යම් හෙයකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද මහණගොයුම්හු “ලෝකය ශාශ්වත යයි දු, ලෝකය අශාශ්වත යයි දු, ලෝකය අන්තවත් යයි දු, ලෝකය අනන්තවත් යයි දු, ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි දු, ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි දු, සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ” යයි දු යම් හෙයෙකින් මෙසේ විසඳීමෙක් නො වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
වච්ඡයෙනි, අන්තොටු පිරිවැජියෝ ඇස ... “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කය ... සිත “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
වච්ඡයෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි ඇස “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. කය ... සිත “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේගේ “ලෝකය ශාශ්වත ය යි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි ද මෙසේ පැවසීම නො වෙයි.
ඉක්බිති වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: භවත් ගෞතමයෙනි, කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡ, “ලෝකය ශාශ්වත ය” යි මෙය මා විසින් නො පවසන ලදි. භවත් ගෞතමයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නොම නො වේ දැ?යි. වච්ඡය, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යි මේ ද මා විසින් නො පවසන ලදි.
භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයෙකින් මෙසේ පැවසීමෙක් නො වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
වච්ඡ, අන්තොටු පිරිවැජ්ජෝ ඇස … “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කය ... සිත “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජියන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
වච්ඡ, අර්‍හත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ වනාහි ඇස “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකී. කන ... නැහැය … කය … සිත “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු, ලෝකය අශාශ්වත යයි දු, ලෝකය අන්තවත් යයි දු, ලෝකය අනන්තවත් යයි දු, ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි දු, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි දු, සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ” යයි දු මෙසේ පැවසීමක් නො වෙයි.
භවත් ගෞතමයෙනි, අරුමයෙකි. භවත් ගෞතමයෙනි, පුදුමයෙකි. යම් හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි). භවත් ගෞතමයෙනි, මම දැන් මුගලන් මහණහු වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. මුගලන් මහණ ද භවත් ගොයුම්හු මෙන් මේ අරුත මේ පද වලින් මේ ව්‍යඤ්ජන වලින් මට පැවසීය. භවත් ගෞතමයෙනි, අරුමයෙකි. භවත් ගෞතමයෙනි, පුදුමයෙකි. යම් හෙයකින් දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි) යි.
10. 1. 8.
ඛන්‍ධ සූත්‍රය
2283. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: භවත් ගෞතමයෙනි, කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡ, “ලෝකය ශාශ්වත ය” යි මෙය මා විසින් නො පවසන ලදි ... භවත් ගෞතමයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡ, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද මා විසින් නො පවසන ලදි.
භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ .... සත්ත්‍වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිමැ, ප්‍රත්‍යය කිමැ යි? භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වත ය යි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
වච්ඡ, අන්තොටු පිරිවැජ්ජෝ රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. වේදනාව ආත්මය යි හෝ ... දකිත්. සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
වච්ඡ, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත වනාහි රූපය ආත්මය යි නො දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකී. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව ආත්මය යි නො දකී ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්මය යි නො දකී. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකී. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකී. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු මෙසේ පැවසීමක් නො වේ.
ඉක්බිති වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැඟිට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කී ය: භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය ශාශ්වත දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි ... භවත් මොග්ගල්ලානයෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ’ යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත ය” යි හෝ ... “සත්ත්‍වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිම? භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වතයයි” දු ... “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
වච්ඡයෙනි, අන්තොටු පිරිවැජ්ජෝ “රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී” යයි හෝ දකිත්. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥානය ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
වච්ඡයෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වූ කලී රූපය ආත්මය යි නො දකිත්. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකිත්. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකිත්. රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකිත්. වේදනාව ... නො දකිත්. සංඥාව … නො දකිත්. සංස්කාර.... නො දකිත්. විඥානය ආත්මය යි නො දකිත්. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකිත්. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකිත්. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේගේ “ලෝකය ශාශ්වත ය යි දු ලෝකය ආශාශ්වත යයි දු ලෝකය අන්තවත් යයි දු ලෝකය අනන්තවත් යයි දු ඒ ම ජීවය යි දු ඒ ම ශරීරය යි දු ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි දු සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යි දු මෙසේ වැදෑරීමක් නො වේ.
භවත් මොග්ගල්ලානයෙනි, අරුමයෙකි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුමයෙකි, යම් හෙයකින් යම් මේ දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද, ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි). භවත් මොග්ගල්ලානයෙනි, මම දැන් මහණගොයුම්හු වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. මහණ ගොයුම්හු ද භවත් මුගලන්හු මෙන් මේ පදවලින් ම, මේ ව්‍යඤ්ජනවලින් ම මේ අරුත මට පැවසූහ. භවත් මොග්ගල්ලානයෙනි, අරුමයෙකි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුමයෙකි, යම් හෙයෙකින් යම් මේ දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි) යි.
10. 1. 9.
කුතූහලශාලා සූත්‍රය
2284. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: භවත් ගෞතමයෙනි, පළමු ඉතා පළමු දවස්හි කුතූහල ශාලාවෙහි එක් රැස්ව හුන් බොහෝ වූ නන්තොටු මහණ බමුණු පිරිවැජ්ජයන් අතර මේ අතුරු කථාව පහළ විය.
මේ පූරණකස්සප තෙමේ සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හෙතෙමේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරිස වූ පරමපුරිස වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ ද, ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ”යි උපත්හි ලා පවසයි.
මේ මක්ඛලී ගෝසාල තෙමේත් ... මේ නිගණ්ඨනාතපුත්ත තෙමේත් ... මේ සඤ්ජයබෙල්ලට්ඨිපුත්ත තෙමේත් ... මේ පකුධකච්චායන තෙමේත් ... මේ අජිතකේසකම්බල තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා පවසයි.
මේ මහණ ගොයුම් තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උතුම් පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා නො පවසයි. වැලි දු “තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලුසුන් කෙළේ ය. මැනවින් මානය දුර ලීමෙන් දුක් කෙළෙවර කළේ” ය යි ඔහු ගැන මෙසේ පවසයි. භවත් ගෞතමයෙනි, ඒ මට කෙසේ නම් මහණගොයුම්හුගේ දහම දතයුතු දැ යි, සැකයෙක් වූයේ ම ය. විමතියෙක් වූයේ ම ය.
වච්ඡ, තා විසින් සැක කරන්නට සුදුසු ම ය. විචිකිච්ඡා කරන්නට සුදුසු ම ය. තොපට සැක කටයුතු තන්හි විචිකිච්ඡාව උපන. වච්ඡ, මම උපාදාන ඇත්තහුගේ උපත පනවමි. උපාදාන රහිත වූවහුගේ (උපත) නො පනවමි. වච්ඡ, යම් සේ ගින්න දර සහිත වූයේ දිලේ ද, දර රහිත වූයේ නො දිලේ ද, වච්ඡ, එසෙයින් ම මම උපාදාන සහිත වූවහුගේ උපත පනවමි. උපාදාන රහිතයාගේ (උපත) නො පනවමි යි. භවත් ගෞතමයෙනි, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද භවත් ගෞතම තෙමේ මෙයට කිමෙක් උපාදාන ය යි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද, එයට මම වාතූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි සුළඟ එයට උපාදාන වේ යි.
භවත් ගෞතමයෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ මොහුට කිමෙක් උපාදාන යයි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක මේ කයත් බහා තබාද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, එයට මම තණ්හූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි ඔහුට තණ්හාව උපාදාන වේ යි.
10. 1. 10.
අත්‍ථත්ත සූත්‍රය
2285. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: භවත් ගෞතමයෙනි, කිමෙක් ද, ආත්මය ඇද්දැ? යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද ආත්මය නැද්දැ? යි. දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැගී ගියේ ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වච්ඡගොත්ත පිරිවැජ්ජා ගිය නො බෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, පුළුවුස්නා ලද්දාහු වච්ඡගොත්ත පිරිවැජ්ජාගේ පැන කුමක් හෙයින් නො විසදූසේක් දැ? යි .
ආනන්‍ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්‍ද යම් ඒ මහණ බමුණු කෙනෙක් ශාශ්වත වාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්‍ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, ආනන්‍ද, යම් ඒ මහණ බමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්‍ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්‍ද, සියලු ධම්යෝ අනාත්මයහ යි විවසුන් නැණ ඉපදීම පිණිස මෙය මට සුදුසු වූයේ දැ? යි. වහන්ස, මෙය නොවේ ම ය. ආනන්‍ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, මුළා වූ වච්ඡගොත්ත පිරිවැජ්ජාට ‘පෙර මට ඒකාන්තයෙන් ආත්මය වූයේ ය, එය දැන් නැතැ’යි බෙහෙවින් මුළා වීම පිණිස වූයේ යි.
10. 1. 11.
සභිය සූත්‍රය
2286. එක් කලෙක ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවෝ ඤාතිකා ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩවෙසෙති. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන්ට මෙය කී ය:
භවත් කච්චානයෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්‍වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, යම් හෙයකින් එය මහණ ගොයුම්හු විසින් නො වදාරන ලද නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ? යි.
ඇවැත්නි, “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ පැනවීමට යමෙකුත් හේතු ද යමෙකුත් ප්‍රත්‍යය ද ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් පනවන්නෙක් “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ කවර හේතුවකින් ඔහු පනවන්නේ ද? (නො පනවන්නේ මැයි.)
භවත් කච්චානයෙනි, පැවිදි වූ ඔබට කෙතෙක් කල් දැ යි? ඇවැත්නි, වැඩි කලෙක් නැත. තෙවසෙකැ යි. ඇවැත්නි, මෙතෙක් (සුළු) කලෙකින් යමෙකුගේ දේශනාව මෙය වන්නේ නම් මෙපමණක් වූ ම ඒ ද ලොකු දේශනාවක් වන්නේ ය. ඉතා මනාප දේශනායෙහි ලා කතාවෙක් ම නැතැ”යි.
පළමු වැනි අබ්‍යාකත වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඛේමා, අනුරාධ, උපගත, සමුදය, පේම, ආරාම, ආයතන, ඛන්‍ධ, කුතූහලසාලා, අත්‍ථත්ත, සභිය සූත්‍ර යයි එකොළොසෙකි.
අබ්‍යාකත සංයුත්තය නිමි.
සළායතන වර්‍ගයෙහි සංයුත්ත නාමාවලිය:
සළායතන, වේදනා, මාතුගාම, ජම්බුඛාදක, සාමණ්ඩ, මොග්ගල්ලාන, චිත්ත, ගාමණී, අසඞ්ඛත, අබ්‍යාකත සංයුත්ත යයි සංයුත්ත දසයෙකි.
දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා යි.
සළායතන වර්‍ගය නිමි.
සුත්‍රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
පඤ්චම භාගය
මහා වර්‍ගය
1. මග්ග සංයුත්තය
1. අවිජ්ජා වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
අවිජ්ජා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලද, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පවට ලැජ්ජා නැතිකම හා බිය නැති කම සමගම උපදනා අවිද්‍යාව අකුසල් දහම් ඉපැද්මට පෙරටු වෙයි. අවිද්‍යාවෙන් යුත් අඥානයාහට මිථ්‍යාදෘෂ්ටිය උපදී. මිථ්‍යාදෘෂ්ටිය ඇත්තහුට මිථ්‍යාසඞ්කල්පය උපදී. මිථ්‍යාසඞ්කල්පය ඇත්තහුට මිථ්‍යාවචන උපදී. මිථ්‍යාවචන ඇත්තහුට මිථ්‍යාකර්‍මාන්ත වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇත්තහුට මිථ්‍යාආජීවය වෙයි. මිථ්‍යාආජීව ඇත්තහුට මිථ්‍යාව්‍යායාම වෙයි. මිථ්‍යාව්‍යායාම ඇත්තහුට මිථ්‍යාස්මෘති වෙයි. මිථ්‍යාස්මෘති ඇත්තහුට මිථ්‍යාසමාධි වේ.