9. 2. 550-605.
අනිදස්සන සූත්‍ර
988-1043. මහණෙනි, තොපට (ඇසින් නොදැක්කහැකි ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 606-661.
නිප්පපඤ්ච සූත්‍ර
1044-1099. මහණෙනි, තොපට (තෘෂ්ණාදි ප්‍රපඤ්ච රහිත ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 662-717.
සන්ත සූත්‍ර
1100-1155. මහණෙනි, තොපට (ශාන්ත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 718-773.
අමත සූත්‍ර
1156-1211. මහණෙනි, තොපට (මරණ රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 774-829.
පණීත සූත්‍ර
1212-1267. මහණෙනි, තොපට (උතුම් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 830-885.
සිව සූත්‍ර
1268-1323. මහණෙනි, තොපට (භය රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 886-941.
ඛේම සූත්‍ර
1324-1379. මහණෙනි, තොපට (උපද්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 942-997.
තණ්හක්ඛය සූත්‍ර
1380-1435. මහණෙනි, තොපට (තෘෂ්ණාක්‍ෂය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 998-1053.
අච්ඡරිය සූත්‍ර
1436-1491. මහණෙනි, තොපට (ආශ‍්චර්‍ය්‍ය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1054-1109.
අබ්භූත සූත්‍ර
1492-1547. මහණෙනි, තොපට (නොහටගත් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1110-1165.
අනීතික සූත්‍ර
1548-1603. මහණෙනි, තොපට (නිදුක් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1166-1221.
අනීතිකධම්ම සූත්‍ර
1604-1659. මහණෙනි, තොපට (නිදුක් ස්වභාව ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1222-1277.
නිබ්බාන සූත්‍ර
1660-1715. මහණෙනි, තොපට (තෘෂ්ණා රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1278-1333.
ආඛ්‍යපජ්ඣ සූත්‍ර
1716-1771. මහණෙනි, තොපට (දුක් රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1334-1389.
විරාග සූත්‍ර
1772-1827. මහණෙනි, තොපට (විරාග ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1390-1445.
සුද්ධි සූත්‍ර
1828-1883. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ ශුද්ධිය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1446-1501.
මුත්ති සූත්‍ර
1884-1939. මහණෙනි, තොපට (භවත්‍රයෙන් මිදීම වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1502-1557.
අනාලය සූත්‍ර
1940-1995. මහණෙනි, තොපට (කාමාලය රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1558-1613.
දීප සූත්‍ර
1996-2051. මහණෙනි, තොපට (පිහිට වන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1614-1669.
ලෙණ සූත්‍ර
2052-2107. මහණෙනි, තොපට (ලෙන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1679-1725.
තාණ සූත්‍ර
2108-2163. මහණෙනි, තොපට (රැකවරණ ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1726-1781.
සරණ සූත්‍ර
2164-2219. මහණෙනි, තොපට (බිය නසන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1782-1837.
පරායණ සූත්‍ර
2220-2275. මහණෙනි, තොපට (පිහිට වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මවිසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මවිසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙලශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
(අසඞ්ඛත වාරය යම් සේ නම් එසේ විස්තර කට යුතු යි)
දෙවැනි දුතිය අසඞ්ඛත වර්‍ග යි.
එහි වාරනාමාවලිය:
අසඞ‍්ඛත, අන්ත, අනාසව, සච්ච, පාර, නිපුණ, සුදුද්දස, අජර, ධුව, අපලෝකිත, අනිදස්සන, නිප්පපඤ්ච, සන්ත,
අමත, පණීත, සිව, ඛේම, තණ්හක්ඛය, අච්ඡරිය අබ්භූත, අනීතික, අනීතික ධම්ම, නිබ්බාන
අබ්‍යාපජ‍්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීප, ලෙණ, තාණ, සරණ, පරායණවාරය යි [වාර තෙතිසෙකි. එක් එක් වාරයෙහි සූත්‍ර සපනස බැගින් අසඞ්ඛත සංයුත්තයෙහි සූත්‍ර මුළුල්ල 1848 කි. අසඞ්ඛත සංයුත්ත දෙවෙනි වර්‍ගයෙහි පමණක් සූත්‍ර 1837 කි.]
අසඞ්ඛත සංයුත්තය නිමියේ ය.
10. අබ්‍යාකත සංයුත්තය
1. අබ්‍යාකත වර්‍ගය
10. 1. 11.
ඛේමා සූත්‍රය
2276. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ඛේමා මෙහෙණ කොසොල් දනව්වෙහි සැරිසරන්නී සැවැත්නුවරටත්, සාකේතනුවරටත් අතර තොරණවත්‍ථුගම්හි විසීමට පැමිණියා වෙයි. එකල්හි පසේනදී කොසොල්රජ සාකේතයෙන් සැවැතට යන්නේ සාකේතයටත්, සැවතටත් අතර තොරණවත්‍ථුගම්හි එක්රැයක් විසීමට පැමිණියේ ය. එකල පසේනදී කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය “එව මම අද යමකු ඇසුරු කරන්නෙම් නම් තෝ එබඳු මහණකු හෝ බමුණකු හෝ තොරණවත්‍ථුවෙහි දනුව”යි.
එසේ ය දේවයන් වහන්සැ යි ඒ පුරිස් තෙමේ පසේනදී කොසොල් රජුට පිළිතුරු දී මුළු තොරණවත්‍ථුවෙහි ඇවිදින්නේ පසේනදි කොසොල් රජ යමකු ඇසුරු කරන්නේ නම් එබඳු මහණකු හෝ බමුණකු හෝ නො දැක්කේය. ඒ පුරිස් තෙමේ තොරණවත්‍ථුවෙහි වාසයට එළඹි ඛේමා මෙහෙණ දිටී. දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි කොසොල් රජහට මෙය සැලකෙළේ ය: “දේවයන් වහන්ස, දේවයන් වහන්සේ යමකු ඇසුරු කරන සේක් නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ තොරණවත්‍ථුවෙහි නැත. දේවයන් වහන්ස, ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා වූ ඛේමා නම් මෙහෙණක් ඇත. ‘පණ්ඩිත ය ව්‍යක්ත ය නුවණැත්තීය බහුශ්‍රුත ය විසිතුරු කතා ඇත්තී ය. මැනවින් වැටහෙන නුවණ ඇත්තී ය’යි ඒ ආර්‍ය්‍යාවගේ මෙබඳු කලණ කිතුගොසෙක් පැන නැංගේ ය. දේවයන් වහන්සේ ඇය ඇසුරු කරන සේක්වා යි.
එකල්හි පසේනදී කොසොල් රජ ඛේමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඛේමා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් පසේනදි කොසොල්රජ ඛේමා මෙහෙණහට මෙය කී ය: ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද, සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ දැ යි.මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී සත්ත්‍වයා මරණින් මතු වෙයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි, ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැයි කියහි, ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ ද යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියහි. ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද? සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි. ආර්‍ය්‍යාවෙනි යම්හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
මහරජ එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය.
මහරජ ඒ කිමැ යි හඟිවු ද? යමෙක් “වැලි මෙතෙකැ යි හෝ වැලි මෙතෙක් සියයකැ යි හෝ වැලි මෙතෙක් දහසකැ යි හෝ වැලි මෙතෙක් සියදහසකැ” යි හෝ ගංගා නදියෙහි වැලි ගණින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්‍ය්‍යාවෙනි මෙය නො වේ ම ය. යමෙක් “දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසකැ”යි හෝ මහමුහුදෙහි දිය මනින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්‍ය්‍යාවෙනි මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ආර්‍ය්‍යාවෙනි මුහුද මහත් ය. ගැඹුරු ය. නො පමණ ය. නො බැසගත හැක්කේ යි.
මහරජ එසෙයින් ම පනවන්නෙක් යම් රූපයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය. උසුන් මුල් ඇත්තේ ය. හිස් සුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ, තථාගතයන් වහන්සේ රූ පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැසගත හැකියහ, මහසමුදුර මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති.
පනවන්නෙක් යම් වේදනාවකින් සත්ත්‍වයා පනවන්නේ නම්, ඒ වේදනාව තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇත්තී ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී ය, නැවත නො හටගන්නා බව කරන ලද්දී ය, මතු නූපදනා ස්වභාව ඇත්තී ය. මහරජ තථාගතයන් වහන්සේ විඳුම් පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නො පමණයහ, නො බැසගත හැක්කහ, මහසමුදුර මෙනි, සත්ත්‍වයා මරණින් මතුවේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි පැනවීමට ද නො පැමිණෙති. යම් සංඥාවකින් සත්ත්‍වයා ....
පනවන්නෙක් යම් සංස්කාර කෙනකුන්ගෙන් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ සංස්කාරයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇතියහ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, නැවත නොහට ගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. මහරජ තථාගතයන් වහන්සේ සංස්කාර පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැස ගත හැක්කහ, මහසමුදුර මෙනි. සත්ත්‍වයා මරණින් මතු වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි පැනවීමට ද නො පැමිණෙති.
පනවන්නෙක් යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ විඥානය තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇත්තේ ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය, මහරජ තථාගතයන් වහන්සේ විඥාන පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැස ගත හැක්කහ, මහසමුදුර මෙනි. සත්ත්‍වයා මරණින් මතු වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි පැනවීමට ද නො පැමිණෙති යි.
ඉක්බිති පසේනදි කොසොල් රජ ඛේමා මෙහෙණගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී ඛේමා මෙහෙණ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි පසේනදි කොසොල් රජ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ” යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු වේ” යි මෙය මවිසින් නො පවසන ලදි. වහන්ස කිමෙක් ද, සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වේය යි ද මා විසින් නො පවසන ලදි ...
වහන්ස, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දාහු මහරජ සත්ත්‍වයා මරණින් මතු වේ යයි මෙය මවිසින් නො පවසන ලදැ යි වදාරවු ... වහන්ස කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දාහු මහරජ, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි එ ද මවිසින් නොපවසන ලදැ යි වදාරවු. වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිමැ යි.
මහරජ එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය. මහරජ ඒ කිමැ යි හඟිහි ද? යමෙක් ගංගානදියෙහි වැලි මෙතෙකැ යි හෝ ... වැලි මෙතෙක් සියදහසෙකැ යි හෝ ගණින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා ගණනායෙහි කුශලයෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය. යමෙක් මහ මුහුදෙහි දිය ලහසු මෙතෙකැ යි හෝ … දිය ලහසු මෙතෙක් සියදහසකැ යි හෝ දිය පමණ කරන්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා ගණකයෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ? යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස මුහුද විශාල ය, ගැඹුරු ය, නොපමණ ය. නො බැස ගත හැක්කේ යි.
“මහරජ එසෙයින් ම පනවන්නෙක් යම් රුවෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ රුව තථාගතයන්ට ප්‍රහීණ ය, උසුන්මුල් ඇත්තේ ය, හිස්සුන් තල් ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ තථාගත රූ පැනවීමෙන් මිදුණේ ය, ගැඹුරු ය, නොපමණ ය, නොබැසගත හැක්කේ ය, මහමුහුද මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේය යි පැනවීමට ද නො පැමිණෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි පැනවීමට ද නො පැමිණේ යි.
යම් වේදනාවකින් ... යම් සංඥාවකින් ... යම් සංස්කාර කෙනකුන්ගෙන් ... පනවන්නෙක් යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ විඥානය තථාගතයන්ට ප්‍රහීණ ය, උසුන්මුල් ඇත්තේ ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ, තථාගත තෙමේ විඥාන පැනවීමෙන් මිදුණේ ය, ගැඹුරු ය, නො පමණ ය, නොබැස ගත හැක්කේ ය, මහමුහුද මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේය යි පැනවීමට ද නො පැමිණෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි පැනවීමට ද නො පැමිණේ යි.
වහන්ස අසිරියෙකි, වහන්ස අද්භූත ය. යම්හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවිකාවගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳේ ද සමවේ ද විරුද්ධ නො වේ ද (එහෙයිනි). වහන්ස, එක්සමයක මම ඛේමා මෙහෙණ වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. ඒ ආර්‍ය්‍යාව ද භාග්‍යවතුන් වහන්සේ මෙන් මේ පදවලින් මේ ව්‍යඤ්ජනවලින් මේ අර්‍ත්‍ථය මට පැවසුවා ය. වහන්ස අසිරියෙකි, වහන්ස අද්භූත ය. යම් හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවිකාවගේත් අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳේ ද සම වේ ද විරුද්ධ නො වේ ද (එහෙයිනි). වහන්ස අපි දැන් යම්හ, අපි බොහෝ කිස ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ යි. මහරජ තෙපි දැන් ඒ සඳහා කල් දැන යි. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
10. 1. 2.
අනුරාධ සූත්‍රය
2277. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියෙක වෙසෙති. එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරාධ තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් තථාගත තෙමේ ඔහු පනවන්නේ “සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නොවේ යයි හෝ යන මේ සිවුකරුණෙහි ලා පනවා දැ” යි.